ගංවතුරටත් වඩා භයානක විපතක්
Posted on May 30th, 2017

නලින් ද සිල්වා

මෙරට සමාජය, සිංහල සමාජය, කඩා වැටෙමින් තිබෙනවා. ගංවතුරෙන් පෙනී යන්නේ එයයි. මේ ගැන විශේෂ දෙයක් කියලත් බැහැ, නොකියත් බැහැ.  ගංවතුර විපතෙන් පීඩාවට පත් අය වෙනුවෙන් මගෙන් එතරම් දෙයක් සිදු වුණේ නැහැ. මා කිසිවක් නොකළ තරම්. කාට හරි කියන්න පුළුවන් මා වැදි බණ කියනවා කියලා. ඒත් මට දැනෙන කරුණක් දෙකක් නොකියාම බැහැ. අපේ සමාජය ව්‍යවස්ථා සම්පාදනයෙන් නොවුණත් අනෙක් කරුණුවලින් ඉතා විමධ්‍යගත සමාජයක්. විමධ්‍යගත කියන වචනය එතරම් සුදුසු නැහැ. අප දැන් බොහෝ දේ ප්‍රකාශ කරන්නේ බටහිර සංකල්පවලින්. අප ක්‍රියා කරන්නේ ප්‍රාදේශීය ව හා සාමූහික ව. පඬියන්ට අනුව එය ගෝත්‍රිකවාදය වෙන්න පුළුවන්.

සුනාමිය අවස්ථාවේ සිට අද වන තුරු සමාජය කඩා වැටී ඇති ආකාරය ගංවතුරෙන් පෙන්නුම් කරනවා. එදා ඉතා ඉක්මණින් මිනිසුන් පීඩාවට පත් අයට උදවු උපකාර කළා. ඒ ඒ ස්ථානවල ඒ දේ සිදු වුණා. ආණ්ඩුවෙන් බොහෝ දේ කෙරෙන්නේ නැහැ. ආණ්ඩුව ක්‍රියා කරන්නේ මධ්‍යගත ව. එය අපේ ක්‍රමයක් නො වෙයි. බටහිර වුණත් මෙවැනි හදිසි අවස්ථාවක දී මධ්‍යගත ව ක්‍රියා කරන්න බැහැ. ඔවුන්ට ඇති වූ ආපදා අවස්ථාවන්හි එය පැහැදිලි වුණා. මේ ගැන දීර්ඝ ව පසුව කතා කරන්න ඕන. දැනට කියන්න ඕන කරුණ තමයි අද අප එදා තරම් ප්‍රාදේශීය ව හා සාමූහික ව ක්‍රියා නොකරණ බව. නිලධාරීන් මධ්‍යගත ව ක්‍රියා කරන නිසා හදිසි අවස්ථාවක දී ඔවුන්ගෙන් වැදගත් දෙයක් සිදුවන්නේ නැහැ. අද අර මූල්‍ය අපරාධ කොට්ඨාසයත් සමග ඔවුන් තවත් හිරවෙලා.

මේ අවස්ථාවේ දේශපාලනය ගැන කතා කිරීම මනුෂ්‍යත්වය අමතක කිරීමක් ලෙස කිසිවකු කියන්න පුළුවන්. ඇතැමුන් කියන්නේ මට මිනිසත් බවක් නැහැ කියා. මිනිසත් බව ඇත්තේ දේශපාලනඥයන්ට හා ප්‍රසිද්ධත්වය අවශ්‍ය වෙනත් පුද්ගලයන්ට වෙන්න පුළුවන්. එහෙම වුනත් මේ සඳහන් කරන්නේ ඉතා කාලීන හා වැදගත් කරුණක්. එය නොකියාම බැහැ.

රවි කරුණානායක මුදල් ඇමති ධුරයේ තබා ගැනීමට රනිල් බොහෝ මහන්සි වී තියෙනවා. එහෙත් මෛත්‍රිපාල ඉතා තදින් රවි ඉවත් කළ යුතු යැයි කියා තියෙන බවට ආරංචි පැතිර යනවා. රවි වෙනුවෙන් පෙනී හිටියේ රනිල් හා එ ජා ප පමණ ද? සමහර විට රවිට අවසානයේ දී මුදල් අමාත්‍යාංශයේ කොටස් කිහිපයක් දෙන්න පොරොන්දු වුනා ද දන්නේ නැහැ. එය ගැසට් නිවේදනයෙන් බලා ගන්න පුළුවන්. එහෙම කෑලි ගලවල අමාත්‍යාංශ දෙන්නෙ නැත්නම් හොඳයි.

ඩී බී එස් ජෙයරාජ් කියන්නෙ කැනඩාවෙ ජීවත් වන දෙමළ ක්‍රිස්තියානි භක්තිකයෙක්. ඔහු මෙරට පුවත්පත්වලත් සේවය කර තිබෙනවා. ඔහුට මට මෙන් නොව තොරතුරු ලැබෙනවා. ඔහු ලැබෙන තොරතුරුවලින් සමහරක් ඔහුගේ වෙබ් අඩවියේ පළ කරනවා වෙන්න පුළුවන්. ඒ ගැන මා හරියට ම දන්නේ නැහැ. ඔහු කොපමණ තොරතුරු හෙළි කරනවා ද යන්න මා දන්නේ නැහැ. ඔහුගේ ලිපි ඇතැම් විට මෙරට පුවත්පත්වලත් පළ වෙනවා. මට ඔහු මුණ ගැසී ඇති. එහෙත් ඔහු මගේ මිතුරකු නො වෙයි. ඔහු ලියන දෙයින් මට විශ්වාස කළ හැකි දේ පමණක් මා නැවත කියනවා. පඬි පෝතකයකු කියන්න පුළුවන් මා සඳහන් කරන්නේ ජෙයරාජ් කියන දේ පමණක් කියා.

පසුගිය විසිවැනි දා ජෙයරාජ්ගේ ලිපියක් ඩේලි මිරර් පුවත්පතෙහි පළ වුණා. එහි මහින්ද හා ගෝඨාභය මෝදි හමුවීම හා එයට ජී එල් පීරිස් හා බැසිල් මැදිහත් වූ ආකාරය ගැන ඔහු ලියා තිබුණා. ඔහු ජී එල් හා බැසිල් නමින් හඳුන්වා නොතිබුණාට ඔහු දී තිබූ හෝඩුවාවල් අනුව ඔවුන් හඳුනා ගැනීම අපහසු වූයේ නැහැ. මා මේ තොරතුරු මැයි විසිවැනි දා මගේ ලිපියෙහි සඳහන් කළා. මා තොරතුරු ලබාගත්තේ ඩේලි මිරර් පත්‍රයෙන් බව මගේ ලිපියේ සඳහන් වුණා.

විසිවැනි දා පිට වු ඩේලි මිරර් පුවත්පතට ජෙයරාජ් අඩුම තරමෙන් දහනවවැනි දා තම ලිපිය යොමු කරන්න ඕන. ඔහුට අදාළ තොරතුරු මගේ ලිපියෙන් ලබා ගන්න කිසිම විධියක් නැහැ. මා මගේ ලිපිය ලිව්වෙ එදින ඩේලි මිරර් ලිපිය කියවීමෙන්  පසුව දොවාල් දෙවියො යන මැයෙන්.  එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයෙ ඇතැමුන් කියන්න පටන් අරන් ඩේලි මිරර් පත්‍රයෙහි අදාළ ලිපිය පළවුණේ මගේ ලිපියෙන් තොරතුරු ගෙන කියා. මගේ ලිපිය දහනවවැනි දා වත් පළ වුණා නම් එහෙම කියන්න පුළුවන් කමක් තිබුණා. එහෙත් මගේ ලිපිය පළ වූයේ මැයි විසිවැනි දා. 

මට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයෙන් හරි මෙරට දේශපාලනඥයන්ගෙන් හරි තොරතුරු ලැබෙන්නේ නැහැ. මට ඔවුන් සමග ඇසුරක් නැහැ. මා තොරතුරු ලබා ගන්නේ වෙනත් අයගේ ලිපිවලින්. එහෙත් විශ්ලේෂණය හා නිගමන මගේ. මට යම් කිසි ඉවකුත් තියෙනවා. මහින්ද හා ගෝඨාභය ජී එල් ද සමගින් මෝදි හමුවීම කිසිසේත් ම සිංහලයන්ට සුබ කටයුත්තක් නො වෙයි. මට ඒ හමුව හා එහි පසුබිම ගැන කියන්න අවශ්‍ය වුණා. ඒ සිංහලයන්ට අනතුරු ඇඟවීමට. සිංහලයන්ට නායකයකු සොයා ගැනීමේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙලා.

ජෙයරාජ් තවත් ලිපියකින් වැදගත් කරුණක් හෙළිදරවු කරනවා. රවි මුදල් ඇමති කමෙන් ඉවත් කරන්නට යෑම ගැන මහින්ද දුරකතන පණිවුඩයක් මගින් රවිට තම කණස්සල්ල පළ කර ඇති බව ජෙයරාජ් කියනවා. එමෙන් ම ඔහු කියනවා යෝෂිත රාජපක්‍ෂ රවි හමුවීමට ඒ දිනවල ගිය බවත්. යෝෂිතගෙ ආරංචිය කෙසේ වෙතත් දුරකතන ඇමතුම ගැන මට වෙනත් ප්‍රභවයකින් ද ඊයේ දැනගන්න ලැබුණා. ඔහු සඳහන් කෙළේ එය මහින්ද විසින් රවි දිනාගනු ලැබීමක් ලෙස. රවි දිනාගනු ලැබුවේ රනිල් ගෙන් ද? රනිල් හා රවි එක ම සංස්කෘතියක ගජ මිතුරන්. ඔවුන් වෙන් කරන එක පහසු නැහැ.

අපට කිව හැක්කේ මෛත්‍රිපාලගේ රවි මුදල් ඇමති කමෙන් කිරීමේ අරමුණට මහින්ද විරෝධය පා ඇති බවයිි. ඒකාබද්ධ විපක්‍ෂයට රවි ගැන විවිධ චෝදනා තිබුණා. එසේ තිබිය දී දුරකතන පණිවුඩය දීමේ අවශ්‍යතාව කුමක් ද? අප හැමදාමත් කියා සිටියේ මෛත්‍රිපාල කෙතරම් ද්‍රෝහි කමක් කර තිබුණත් මහින්ද ඔහු සමග එක් වී රනිල් ඉවත් කළ යුතු බවයි. එහෙත් එසේ වන්නේ නැහැ. පෞද්ගලික වෛරය දිගින් දිගට ම පවතිනවා. රනිල් දිගින් දිගට ම අගමැති ධුරයේ රැඳී සිටිනවා. ඔහු හදිසියේ ම මෙන් පෞද්ගලික චාරිකාවක් සඳහා එක්සත් රාජ්‍ය බලා පිටත් වෙලා. ප්‍රතිකාර ගැනීමට කියා කියනවා. ඒ කුමක් වුවත් රටේත් ජාතියේත් ආගමේත් යහපතට ඔහු අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි. එසේ නොකළොත් ඔහු තමන්ට අවශ්‍ය වන විධියට ව්‍යවස්ථාවකුත් සම්මත කර ගනීවි. එය ගංවතුර විපතටත් වඩා භයානක බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.

නලින් ද සිල්වා

2017 මැයි 30

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress