සූරියවැවේ සිංහ කුසලානය
Posted on June 2nd, 2017

වරුණ චන්ද්‍රකීර්ති

ජාත්‍යන්තර බෙරවාදන සහ වෙස්මුහුණු උත්සවයක් පැවැත්වීමෙන් අපේ සංස්කෘතික උරුමයන් ඉස්මතු කරවීමටත් ඒ හරහා විශාල ප්‍රමාණයකට ජීවනෝපාය මාර්ග උදාකරගැනීමටත් අවස්ථාවක් සළස්වලා දෙන්න පුළුවන් කියලා මෙයට පෙර ලියූ ලිපියෙන් කිව්වා. ඒක හුදෙක් ම ප්‍රාථමික මට්ටමේ යෝජනාවක් විතරයි. ඒක ඇත්තක් කරගන්න කළ යුතු වැඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. කලින් ලිපියකින් කියපු විදිහට උගතුන් සංවිධානගත වෙන්න ඕන මේ විදිහේ යෝජනා ක්‍රියාවට නැංවීමට උවමනා කරන ප්‍රායෝගික සැලැසුම් හදන්න. ඉතින් මේ වගේ වැඩ වෙනුවෙන් කළ යුතු බිම් මට්ටමේ අධ්‍යයන කටයුතු සෑහෙන ප්‍රමාණයකුත් තියෙනවා. මූලික ව කෙරෙන අධ්‍යයනයකින් මේ කාර්යයට දායක කරගන්න පුළුවන් මිනිස්සු, සංවිධාන, ආයතන මොනවා ද කියලා හොයාගන්න ඕන. දැන් කාට හරි අහන්න පුළුවන් ඒ වගේ වැඩට ඕන සල්ලි දෙන්නේ කවුද කියලා. ඒ ගැන වදවෙන්න ඕනකමක් නෑ. විශ්වවිද්‍යාල ගුරුවරුන්ට පුළුවන් මේ විදිහේ කටයුතු ක්‍ෂේත්‍ර අධ්‍යයන කටයුතු විදිහට තමන් ගේ ශිෂ්‍යයන්ට පවරන්න. විවිධාකාර පැවැරීම් සම්පූර්ණ කරලා දෙන එක ශිෂ්‍යයන් ගේ අධ්‍යාපන කටයුතුවලට ම අදාළ කාර්යයක්.

පළමු උපාධි සඳහා කරන පැවැරීම්වලට අමතරව ශාස්ත්‍රපති උපාධි, ආචාර්ය උපාධි වෙනුවෙන් කරන පර්යේෂණවලටත් මේ වගේ වැඩ පාදක කරගන්න පුළුවන්. පැවැරුම් කරන්න ඕන, පර්යේෂණ කරන්න ඕන වාර්තා ලියලා, නිබන්ධන ලියලා කොහේ හරි මුල්ලකට දාන්න නෙවෙයි. ඒ වැඩවලින් තමන්ට, සමාජයට යමක් ලැබෙන්න ඕන. ඉතින් මෙයට පෙර ලිපියෙන් කරපු යෝජනාවට – ඒ කියන්නේ ජාත්‍යන්තර බෙරවාදන හා වෙස්මුහුණු උත්සවයක් පැවැත්වීම හා සම්බන්ධ යෝජනාවට අදාළ මූලික අධ්‍යයන කටයුතු කරන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහදෙනකුට වුනත් පුළුවන්. විවිධ ක්‍ෂේත්‍ර ආවරණය කෙරෙන විදිහට මේ අයව යොදවන්න ගුරුවරු දැනගන්න ඕන.

මේ ලේඛකයාට හිතෙන විදිහට ප්‍රදේශයේ විහාරස්ථාන, ග්‍රාමීය මට්ටමේ සංවිධාන, ග්‍රාම නිලධාරී හා සංවර්ධන නිලධාරී කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය හා නගර සභා, ප්‍රදේශයේ පොලිස් ස්ථාන, ව්‍යාපාරික සංගම් වගේ ආයතන මේ වැඩේටට අදාළයි. ඊ ළඟට ප්‍රදේශයේ සිතියම් විධිමත් විදිහට සකසාගන්න ඕන. ප්‍රදේශයේ තිබෙන සම්පත් විධිමත් ව හඳුනාගැනීමත් කරන්න ඕන. වැදගත් ම දේ තමයි ප්‍රශ්න ඇති නොවෙන විදිහට මේ වැඩේ කරන්නේ කොහොම ද කියලා හොයලා බලන එක. අදාළ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන් ගේ සමාජ සංස්කෘතික ඕන එපාකම් අමතක කරලා මේක කරන්න හැදුවොත් තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ. ඉතින් මේ හැම දෙයක් ගැන ම හොඳින් හොයලා බලන්න ඕන.

කරන්න ඕන මූලික ම දේ තමයි මේ වගේ අරමුණක් වෙනුවෙන් දැන උගත් පිරිස් සංවිධානගත වීම. මේ වගේ වැඩ තනියෙන් කරන්න බෑ. අදාළ ආරම්භක කටයුතු සඳහා යම් මුදලක් අවශ්‍ය වෙනවා නම් මේ විදිහේ වැඩකින් සෘජු ප්‍රතිලාභ ලබන්න පුළුවන් සංචාරක හා හෝටල් ක්‍ෂේත්‍රයේ අයගෙන් උදව් උපකාර ඉල්ලගන්නත් පුළුවන්. ඒත් ඒ මිනිස්සු වුනත් මුදලක් වියදම් කරන්න ඉදිරිපත්වෙන්නේ ප්‍රායෝගික යමක් කරන්න සූදානම් බව ක්‍රියාවෙන් ම පෙන්නුවොත් විතරයි. අනික් වැදගත් ම කාරණේ තමයි තම තමන් ගේ දේශපාලන පක්‍ෂපාතකම් මේ වගේ වැඩකට පටලවා නොගෙන ඉන්න එක. මේ ලේඛකයා ලියන ලිපිවල දී කිසි ම දේශපාලන පක්‍ෂයකට හෝයියා කියලාවත්, තවත් පක්‍ෂයකට බැන වැදිලාවත් නෑ. මේ දේශපාලන කාකොටාගැනිල්ල ඔළුවේ තියාගෙන කරන්න පුළුවන් දෙයක් නෑ.

අනෙක් වැදගත් කාරණය තමයි විවිධ ක්‍ෂේත්‍රවල උගතුන් ගේ එකතුවීමක් අවශ්‍ය බව තේරුම්ගැනීම. සමාජ, ආර්ථික, මූල්‍ය, ව්‍යාපාරික, කළමනාකරණ වගේ ක්‍ෂේත්‍රවල අයට විතරක් නෙවෙයි චිත්‍ර, නැටුම්, සංගීත, සිනමා වගේ ප්‍රසාංගික කලා ක්‍ෂේත්‍රවල අයටත් මේ වෙනුවෙන් කළයුතු වැඩ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ හැම ක්‍ෂේත්‍රයක ම දැනුමක් තියෙන අය සංවිධානගත වුනොත් විතරයි මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. කලින් ලිපියකින් කියපු විදිහට මේ ආකාරයෙන් සංවිධානගත වීම අපේ අයට ආගන්තුක දෙයක් නෙවෙයි. අපේ මිනිස්සු කොහොමත් සංවිධාන හදාගන්න දක්‍ෂයි. ඉතින් ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නවා මිසක් ආණ්ඩුව මුල්වෙලා මේවා කරයි කියලා බලාගෙන ඉන්න හොඳ නෑ. ආණ්ඩුව මුල්වුනොත් මේවා කෙරෙන්නේ නිලධාරි තන්ත්‍රයක් හරහා. ඒක ප්‍රායෝගික දෙයක් නොවන බව අපි අත්දැකීමෙන් ම දන්නවා. ඉතින් ආණ්ඩු දිහා බලාගෙන කන්නලව් කරන සෙල්ලමෙන් අපි ඈත්වෙන්න ඕන.

මේ ලිපිය ලියන්නේ ජාත්‍යන්තර බෙරවාදන හා වෙස්මුහුණු උත්සවය සංවිධානය කරගැනීමට කළ යුතු දේ ගැන ම කියන්න නම් නෙවෙයි. මේ කියන්න හදන්නේ තවත් හීනයක් ගැන. හැබැයි මේ වගේ හීන ගැන ම කියා කියා ඉන්න අදහසක් මේ ලේඛකයාට නෑ. සිහින නොදකින ජාතිය ලොවැ නො නඟී” කියලා ලියපු හින්දා තමන් දැකපු, දකින හීනයක් දෙකක් ගැන කියන එක යුතුකමක් කියලා මේ ලේඛකයා හිතනවා. ඉතින් මේ කරන්නෙත් ඒ යුතුකම ඉටුකිරීමක්. ඒ හින්දා වැඩි වැල්වටාරම් කියන්නේ නැතිව කෙළින් ම වැඩේට බහින්නම්.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයිති සූරියවැවේ පිට්ටනියක් හදලා තියෙනවා. මේක හදලා තියෙන්නේ ක්‍රිකට් ගහන්න. ඒත් දැන් කාලයක් තිස්සේ ඒක අතහැරලා දාලා. ඒකට සුදු අලියෙක් කියලාත් කියනවා. කොළඹත් නුවර, ගාල්ල වගේ ප්‍රධාන නගරවලත් ක්‍රිකට් ගැහුවාට අපේ සමාජයට මේ බෝල සෙල්ලම ඇතුළුවෙලා අවුරුදු 35 ක් 36 ක් විතර ඇති. අපේ රටට ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබෙන්න කලින් අපේ ගම්වල මිනිස්සුන්ට මේ සෙල්ලම ගැන දැනුමක් අවබෝධයක් තිබුණේ නෑ. ටෙස්ට් වරම් ලැබීමත්, රූපවාහිනිය ලැබීමත් සිද්දවුනේ එක කාලෙක. ඉතින් කොහොම කොහොම හරි මේ සෙල්ලම අපේ මිනිස්සු අතර පැතිරුනා. කාලයක් ඇබ්බැහියක් තරමට ම ක්‍රිකට් බැලිල්ල නැගලා ගියත් දැන් ඒ ගැන උනන්දුවෙන අය ටිකක් අඩුයි. කීයක් ගහලා ද, විකට් කීයක් කැඩිලා ද වගේ විස්තර ටිකක් එහෙන් මෙහෙන් දැනගන්නවා ඇරෙන්න රූපවාහින දිහා කට ඇරගෙන බලාගෙන ඉන්න අය, රේඩියෝව කණේ ගහගෙන ඉන්න අය ටිකෙන් ටික අඩුවෙලා ගිහිල්ලා.

ඒත් ඉතින් අපේ මොකක් හරි පිට්ටනියක මොකක් හරි ලොකු තරඟයක් තියෙන වෙලාවට බලන්න යන පිරිසකුත් නැතුවා නෙවෙයි. ඉතින් සූරියවැවේ ක්‍රිකට් ගැහුවොත් බලන්න යන අය නෑ කියන්න බෑ. ඒත් මේ බැලිල්ලෙන් ඒ පැත්තේ මිනිස්සුන්ට, පොදුවේ ගත්තම රටට එච්චර ප්‍රතිලාභයක් – ඒ කියන්නේ ආර්ථික ප්‍රතිලාභයක් අත්වෙයි කියලා හිතන්න අමාරුයි. අපේ කොල්ලෝ සද්දේ දාගෙන සූරියවැවට ගිහිල්ලා රටකජු ගොට්ටක්, බඩ ඉරිඟු කරලක්, වඩයක් කාලා අඩියකුත් ගහලා ආපහු ගෙදර යයි. ඊට පස්සේ ආයෙත් සූරියවැව ආලපාලු වෙලා යයි. ඉතින් මේ සම්පතින් වෙනත් වැඩක් ගන්න බැරි ද? මීට වඩා ආදායමක් මේකෙන් උපද්දවා ගන්න බැරි ද? මේ විස්තරකරන්න හදන්නේ මේ සිතුවිල්ල මුල් කරගෙන දැකපු හීනයක්.

ඒ හීනය තමයි සූරියවැව පිට්ටනිය පාපන්දු ගහන්න යොදාගන්න එක. අපේ පාපන්දු ගැහිල්ල බොහොම පහළ මට්ටමක තියෙන හින්දා මේ වගේ යෝජනාවක් කරන එකේ තේරුම මොකක්ද කියලා බොහෝ දෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේ කියන්නේ සූරියවැවේ අපි පාපන්දු ගහන්න ඕන කියන එක නෙවෙයි. මේ කියන්නේ සූරියවැවේ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් සංවිධානය කරන්න පුළුවන් කියන එකයි. මේකට කණ්ඩායමක් විදිහට අපි සහභාගීවෙන්න ඕන නෑ. එහෙම නම් මේකට සහභාගී කරගන්න පුළුවන් කවුද?

මේකට සහභාගීවෙන්න කියලා ආසියානු කලාපයේ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායම් පහකට හයකට ආරාධනාකරන්න පුළුවන්. මේ කියන්නේ ආසියානු පාපන්දු කුසලානයට සහභාගී වෙන සියළුම රටවල් ගැන නෙවෙයි. ඒ වගේ ලොකු තරගාවලියක් සංවිධානය කිරීමේ හයියක් අපිට නෑ. ඒත් කලාපයේ ඉන්න ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක් මේ වැඩේට සම්බන්ධ කරගන්න අපිට පුළුවන් කියලා මේ ලේඛකයාට හිතෙනවා. මොන රටවල් ගැන ද මේ කියන්නේ?

ජපානය, දකුණු කොරියාව, චීනය, සෞදි අරාබිය සහ ඉරානය. මෙන්න මේ රටවල් පහ ගැනයි මේ ලේඛකයා හිතන්නේ. ජපානය අවස්ථා හතරක දී ආසියානු පාපන්දු කුසලානය දිනාගෙන තියෙනවා. සෞදි අරාබියත් ඉරානයත් අවස්ථා තුනක දී ඒ හපන්කම කරලා තියෙනවා. දකුණු කොරියාව අවස්ථා දෙකක දී ආසියානු කුසලානය දිනාගෙන තියෙනවා. අවස්ථා දෙකක දී අනුශූරතාව දිනාගන්න චීනය සමත්වෙලා තියෙනවා. ඓතිහාසික, සමාජ සංස්කෘතික හා දේශපාලනික හේතු හින්දා ජපානය – චීනය අතරත්, ජපානය – දකුණු කොරියාව අතරත්, චීනය – දකුණු කොරියාව අතරත් අරියාදුකම් තියෙනවා. සෞදි අරාබිය හා ඉරානය අතරත් එහෙමයි. ඉතින් මේ අය එකිනෙකාට එරෙහිව පාපන්දුවෙන් තරග කරනවා කියන්නේ ඒවා වටේ ප්‍රේක්‍ෂකයන් විශාල පිරිසක් ආකර්ශනය කරගන්නවා කියන එකයි. මේ අයට අපේ සිංහ කුසලානය වෙනුවෙන් තරග වදින්න අවස්ථාවක් ලබාදෙන්න පුළුවන්. ඒ වගේ වැඩකින් උපයන්න පුළුවන් ආදායම ගැන අමුතුවෙන් විස්තරකරන්න ඕන නෑ.

දැන් ගැටලුව වෙන්නේ මේ වගේ තරගාවලියකට මේ මිනිස්සුන්ව ගෙන්නගන්නේ කොහොම ද කියන එකයි. මේ රටවල් පහත් එක්ක ම අපේ හොඳ සම්බන්ධකම් තියෙනවා. එහෙම තියෙන බව අපේ හැම ආණ්ඩුවක් ම කියනවා. ඉතින් රාජතාන්ත්‍රික මට්ටමින් මේ ගැන සාකච්ඡාකරන්න බැරිකමක් නෑ. රාජ්‍ය නායක මට්ටමින් වුනත් කතාකරලා බලන්න පුළුවන්. ජපානය, දකුණු කොරියාව එකඟවුනොත් චීනයට එකඟ නො වී ඉන්න පුළුවන්කමක් නෑ. ඉරානය එකඟවුනොත් සෞදි අරාබියට එකඟ නො වී ඉන්න පුළුවන්කමක් නෑ. ඒ අය අතර තියෙන අරියාදුවලින් වැඩක්ගැනීමේ හැකියාවක් අපිට තියෙන්න ඕන.

ඉතින් මේ වගේ වැඩකින් සෙත සැලසෙන්නේ සූරියවැව වටේ ඉන්න මිනිස්සුන්ට විතරක් නෙවෙයි. තවත් සුදු අලියෙක් කියලා හංවඩු ගහලා තියෙන මත්තල ගුවන්තොටුපලට වුනත් මේ වැඩෙන් වැඩක් වෙයි. ගුවන්තොටුපල, වරාය හදපු පමණින් ඒවා සල්ලි උපද්දවන්නේ නෑ. ඒ වටා මේ වගේ වැඩ කරන්න අපිට පුළුවන්වෙන්න ඕන. සිංහ කුසලානය පිළිබඳ මේ අදහස ඒකට එක පිළියමක් විතරයි.

මේ ලියපු ලිපි දෙකෙන් හඳුන්වලා දුන්නේ රස්සා උපදවන්න පුළුවන් වැඩ දෙකක්. මේවායින් උපදින්නේ සංචාරක අංශයේ, හෝටල් අංශයේ රැකියා විතරක් නෙවෙයි. ආහාර පාන, ඇඳුම් පැළඳුම් වගේ නිපැයුම් බොහෝමයකට වෙළෙඳපොළක් හොයාගන්නත් ඒ එක්කම පුළුවන් වෙනවා. බෙරවාදන හා වෙස්මුහුණු උත්සවයේත්, සිංහ කුසලානයේත් මාධ්‍ය විකාශන අයිතිය විකිණීමෙන්, වෙළෙඳ දැන්වීම් වගේ දේවල්වලින් උපයන්න පුළුවන් ආදායමත් අතිවිශාලයි. මේ වගේ කටයුතු පවත්වන්න පුළුවන් අවුරුද්දට එක වතාවක් විතරයි තමයි. ඒ වතාවක් සතියකට – වැඩි ම වුනොත් දවස් දහයකට සීමාවෙයි. ඒත් ඒ හරහා උපදවන දේ ඒ දවස් කීපයට සීමාවෙන්නේ නෑ.

විවේචනයට දක්‍ෂ අපේ සමහරු කියන්න පුළුවන් මේවා නිකම් ඇස් බැන්දුම් වැඩ කියලා. ඒත් රටකට, ඒ රටේ මිනිස්සුන්ට ආදායම් උපදවාගන්න පුළුවන් ගොවිකම්, කර්මාන්ත නිමැවුම් ආදියෙන් විතරක් නම් නෙවෙයි. කෙරෙන ගොවිකම්වලට, හදන නිමැවුම්වලට වෙළෙඳපොළක් ඇතිකරන විදිහ ගැනත් අපි හිතන්න ඕන. ඉතින් මේ වගේ වැඩවලින් ඒ අවස්ථා ඇති කරගන්න පුළුවන්. හැබැයි මේකෙන් කියන්නේ නෑ අපි මේ වගේ දේවල් විතරක් කර කර ඉන්න ඕන කියලා. වෙන වෙන දේ කරන අතර මේ වගේ දේ ගැනත් අවධානය යොමු කරලා මේවා කෙරෙන තැනට වැඩයොදන්න පුළුවන් නම් හරි.

ඒත් හීනෙන් අලි දැකපු අය ගැන මිසක් සිංහයෝ දැකපු අය ගැන අහලා තියෙනවා ද?

වරුණ චන්ද්‍රකීර්ති෴

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress