රෝද තුනේ ආණ්ඩුව
Posted on June 9th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

දැන් අපේ රට ආණ්ඩු කරන්නේ විධායකයයි ව්‍යවස්ථාදායකයයි අධිකරණයයි කියන දැති රෝද තුනෙන් සැකසුණු යාන්ත්‍රණයකින් කියලා කියනවා. ඒ විදිහට ගත්තම මේ තියෙන්නේ රෝද තුනේ ආණ්ඩුවක් කියලා කියන්න පුළුවන්. මේ රෝද තුන කැරැකෙන්න ඕන විදිහ ගැන ව්‍යවස්ථාවෙන් කියනවා. කොහොම හරි කැරැකෙන විදිහේ අවුලක් තියෙනවා කියලා දැනෙන හින්දා යලට වගේ ම මහටත් මේ ව්‍යවස්ථාව සංශෝධනය කරනවා. හිටපු ගමන් අලුත් ව්‍යවස්ථා හදන්න ඕන කියලාත් සද්දකරනවා. ඒ වෙනුවෙන් කමිටුත් පත්කරනවා. කොමිෂන් සභාත් පත්කරනවා. එක ජංජාලයයි.

අවුලක් තියෙන බව නම් පොඩි ළමයින්ටත් තේරෙනවා ඇති. මේවා ගැන හිතද්දී මේ ලේඛකයා කුඩා කාලේ කියවපු ලස්සන කතන්දර පොතක් ගැන මතක්වෙනවා. නොගැලපෙන රෝද” කියලා තමයි සිංහලට පරිවර්තනය කරපු ඒ රුසියානු පොත නම් කරලා තිබුණේ. හැබැයි ඒ කතාවේ රෝද හතරක් තිබුණා. එකක් එකකට ප්‍රමාණයෙන් වෙනස්. ප්‍රමාණයෙන් වෙනස් රෝද හතරක් කරත්තයකට හයිකරලා. ඉතින් හරි ජරමරේ. ඒක මොන විදිහකින්වත් ඉස්සරහට දක්කගෙන යන්න පුළුවන්කමක් නෑ. කුකුළෙකුයි ඉත්තෑවෙකුයි හාවෙකුයි ඒ කතාවේ හිටිය බව මේ ලේඛකයාට මතකයි. අනිත් කට්ටිය ගැන කල්පනාවෙන්නේ නෑ. කොහොම හරි ඒ කට්ටිය එකතුවෙලා ඒ නොගැලපෙන රෝදවලින් වැඩ ගන්න විදිහක් හොයාගත්තා. ඒවා වෙන්කරලා වතුර මෝලකුයි පිටි මෝලකුයි තව මොන මොනවා ද යි හැදුවා.

රෝද හතරක කරත්තයක් හදලා තියෙන විදිහයි රෝද තුනක වාහනයක් හදලා තියෙන විදිහයි වෙනස්. රෝද තුනක කරත්තයක් කියලා කියන්න මේ ලේඛකයා කැමැති නෑ. එහෙම කිව්වා ම අපේ ආණ්ඩුව කරත්තයක් වගේ කියලා කාට හරි හිතෙන්න පුළුවන්. කොහොමත් රෝද තුනක් දාලා මොකක් හරි වාහනයක් හැදුවොත් එකක් තියෙන්න ඕන ඉස්සරහින්. අනිත් දෙක පස්සෙන්. ඒත් ආණ්ඩුව කියන්නේ වාහනයක් වගේ වෙන්න ඕන කියලා කවුරුවත් කියලා නැහැනේ. ඒ හින්දා මේ ඉස්සරහ පස්ස ගැන අපි වදවෙන්න ඕන නෑ. තමන්ට හරියි හරියි කියලා හිතෙන තැන්වල ව්‍යවස්ථා වඩුවෝ ඒවා හයිකරයි. මේ කියන්න හදන්නේ ඒ එකලස්කරලා තියෙන එකේ හැඩරුව ගැන නෙවෙයි. මේ යන්තරේ උඩට පටවාගෙන තියෙන බර ගැන.

ආණ්ඩුවක් විසින් කළ යුතු දේවල් තියෙනවා. මේ වැඩවල තරම, ස්වාභාවය රටින් රටට, කලින් කලට වෙනස්වෙනවා.. අපි අනිත් රටවල් ගැන වදවෙන්නේ නැතිව අපේ රට ගැන හිතමුකෝ. 1948 අවුරුද්දේ සුද්දෝ ආපහු යද්දී අපිට ව්‍යවස්ථාවක් හදලා දීලා ගියා. ඒකෙන් කියලා තිබුණු විදිහට ආණ්ඩුව කරගෙන යන්න කියලාත් කිව්වා. ඒ විදිහට හදලා දීපූ ව්‍යවස්ථාව වෙනස්කරන එකත් යම් ආකාරයකින් වළක්වලා තිබුණා. ඒ මදිවාට එංගලන්තේ මහ රාජිනිය අතෙත් තෝන් ලණුවක් තියාගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි. සුද්දෝ හදලා ලොකු මහත්කරපු ප්‍රභූ පිරිසකුත් රටේ හිටියා. ඉතින් තමන් කැමැති විදිහට ආණ්ඩු කරන නිදහසක් සේනානායක මහත්තයා වගේ අයට තිබුණේ නෑ. ඒත් එතුමා තමන්ට පුළුවන් තරමින් අපේ රටේ මිනිස්සු එකතුකරගෙන, රට වෙනුවෙන් යමක් කරන්න හැදුවා. ඉතින් අපේ රටේ ජනයා වැඩි දෙනෙක් පක්‍ෂ භේදයක් නැතිව එතුමාට ගරුකරනවා. ටයි කෝට් ඇඳලා හිටියත් ඒ ඇතුළේ හිටිය සේනානායක මහත්තයා මහ කළු සිංහලයෙක් කියලා උදයසිරි වික්‍රමරත්ත කියපු කතාව ඇත්ත.

ඒ කොහොම වුනත් නිදහස ලැබුණා කියලා කිව්වාට තමන් එදිනෙදා අත්දකින දේවල්වල ලොකු වෙනසක් අපේ ගම්වල මිනිස්සු දැක්කේ නෑ. අපේ රටේ අදටත් වැඩි ජනගහනයක් ඉන්නේ ගම්වලනේ. ඉතින් කවදත් ඒ මිනිස්සුන් ගේ උවමනා එපාකම් වෙනුවෙන් පෙනී හිටපු ඒ ගම්වල නායකයෝ – ඒ කියන්නේ හාමුදුරුවරු, ගුරුවරු, වෙදමහත්තුරු; ඉස්සරහට එන්න පටන්ගත්තා. මේක ස්වභාවික තත්ත්වයක්. එහෙම නැතුව අවස්ථාවාදයක්වත් තවත් සමහරු කියන විදිහට ආගම්වාදයක්වත් ජාතිවාදයක්වත් නෙවෙයි. මිනිස්සු ඒ විදිහට ප්‍රතික්‍රියා දක්වන එකේ වැරැද්දක් නෑ. ඉතින් ඒ මිනිස්සුන් ගේ අදහස් විවිධාකාර විදිහට ප්‍රකාශවෙන්න පටන්ගත්තා. නිදහස ලැබුණා කියලා කියපු හින්දා එංගලන්තේ මහා රාජිනියට විරුද්ධ ව පාරට බහින්න ඕනකමක් ඒ මිනිස්සුන්ට තිබුණේ නෑ. ඒ අය දැක්කේ තමන් ගේ වටපිටාවේ වෙන දේවල්. උදාහරණයක් විදිහට ගත්තොත් රටේ රාජ්‍ය භාෂාව විදිහට තවදුරටත් පාවිච්චි වුනේ ඉංග්‍රීසි. පාසල් සෑහෙන ප්‍රමාණයක් අයිතිවෙලා තිබුණේ ක්‍රිස්තියානි පල්ලිවලට. මේ වගේ දේවල් වෙනස්වෙන්න ඕන කියලා මිනිස්සු කිව්වා.

ලිබලර් අදහස්වලට කැමැත්තෙන් හිටිය බණ්ඩාරනායක මහත්තයා සුදු රෙද්දක් ඇඳගෙන ඉස්සරහට ආවේ ඒ වෙලාවේ. ඒ රෙද්ද ඇතුළේ හිටියේ සිංහලයෙක් නෙවෙයි කියලා උදයසිරි ම කියලා තිබුණා. හොඳ නිරීක්‍ෂණයක්. කොහොම වුනත් මිනිස්සුන් ගේ උවමනා එපාකම් වෙනුවෙන් යමක් කරන්න එතුමා උත්සාහ කළා. ඒ කරපු දේවල්වලින් වෙච්ච හොඳ නරක ගැන වෙන ම කතාකරන්න ඕන. කොහොම වුනත් හොඳ අපූරුවට තිබුණු විද්‍යාලංකාර, විද්‍යෝදය පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල බවට පත්කරපු එකෙන් වෙච්ච දේ ගැන හිතද්දී නම් ඇතිවෙන්නේ මහා කම්පාවක්. ඊට පස්සේ සිරිමාවෝ මැතිනිය පාසල් රජයට පවරාගත්තා. මහ වතු රජයට පවරාගත්තා. මාක්ස්වාදී අදහස් තිබුණු අයත් ආණ්ඩුකරන්න එකතුවුනා. අන්තිමට 1972 දී, ව්‍යවස්ථාව වෙනස්කරලා එංගලන්තේ මහා රාජිනිය අතේ තිබුණු තෝන් ලණුවත් අයින්කළා.

මේක අපි කවුරුත් දන්න කතාවක්. ඒත් මේ ඉතිහාස කතාවෙන් කියැවෙන දෙයක් තියෙනවා. ඒ තමයි පහුගිය අවුරුදු 70 ක විතර කාලය තුළ අපේ රට කරවපු විදිහ. ඉතින් රෝද තුන කරකවා කරකවා ඉන්නවාට වඩා දෙයක් කරන්න ආණ්ඩුවලට සිද්දවුනා. බස් දිවිල්ලට කරගහපු එක ඒ සම්බන්ධයෙන් පෙන්නන්න පුළුවන් හොඳ ම උදාහරණය. මුලින් කියපු සමාජ සංස්කෘතික කාරණාවලට අමතර ව මේ වැඩවලට මූලිකවෙච්ච තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි, ඒ මුල් කාලේ හිටිය අපේ මිනිස්සු අතේ එහෙමකට සල්ලියක් නොතිබුණු එක. ඒත් පහුගිය අවුරුදු 40 ක විතර කාලය ඇතුළේ මේ වාතාවරණය වෙනස්වෙන්න ගත්තා. සල්ලිවලට මුල් තැනැක් දීලා වැඩකරන්න අපේ මිනිස්සු පටන්ගත්තා. අපි කැමැතිවුනත්, අකැමැතිවුනත් දැන් වෙන්නේ ඒ දේ තමයි. දැන් අපේ අය අතේ යම් ප්‍රමාණයක සල්ලියක් තියෙනවා. ඉතින් ආණ්ඩුව කරේ තියාගත්ත දේවල්වලින් කීපයක්වත් මිනිස්සුන්ට භාරදෙන්න බැරිකමක් ආණ්ඩුවට නෑ.

මේ කියන්නේ ආණ්ඩුව කරගෙන යන ඒ කටයුතු මුදලාලිලා කීපදෙනකුට භාරදෙන්න කියන එක නෙවෙයි. බස් කඩ දෙකක් සහ දුම්රිය කඩයක්” ලිපියෙන් කිව්වේ ඒ විදිහට කරන්න පුළුවන් දෙයක්. ඇත්තෙන් ම දැනටත් මේ වගේ දෙයක් හරි අපූරුවට අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි බැංකු පවත්වාගෙන යන විදිහ. ලංකා බැංකුව, මහජන බැංකුව, ඉතිරිකිරීමේ බැංකුව වගේ කීපයක් හැරුනා ම අනෙක් ඒවා ආණ්ඩුව කරේ තියාගෙන යන්නේ නෑ. ඒ වගේ ම, ඒවා මුදලාලිලා දෙන්නෙක් තුන්දෙනෙක්ට අයිති ඒවාත් නෙවෙයි. බැංකුවකින් අයිති කරගන්න පුළුවන් උපරිම කොටස් ගණන ගැන නීතියෙන් කියනවා. බැංකු පනත, මුදල් ව්‍යාපාර පනත, කල්බදු සමාගම් පනත, ගෙවීම් හා පියවීම් පද්ධති පනත වගේ නීති රෙගුලාසිවලින් මේ වගේ ආයතන මේච්චල් කරනවා. මුදල් නීති පනතින් කියලා තියෙන විදිහට මහ බැංකුව වැඩ කරනවා. අඩුපාඩු නැතුවා නෙවෙයි. ඒත් මේ රටේ බැංකු ක්‍රමය ගැන, ඒවා අධීක්‍ෂණය කරන විදිහ ගැන ලොකු ආරවුලක් අපි අතර නෑ.

මහ බැංකුව කියන්නේ ආණ්ඩුවට කෙළින් ම අයිති ආයතනයක් නෙවෙයි. අර්ධ-ස්වෛරීකමක් ලැබෙන විදිහටයි ඒක ස්ථාපිතකරලා තියෙන්නේ. ගවනර් කෙනෙක් යටතේ මහ බැංකුව පාලනය වෙන්නේ ඒ හින්දා. ආණ්ඩුව ඒකට ඇඟිලි ගහන්නේ නෑ කියන එකවත්, ඒකේ හැම වැඩක් ම හරි අපූරුවට වෙනවා කියනවා කියන එකවත් නෙවෙයි මේ කියන්නේ. හැබැයි නීති රීති පැහැදිළි හින්දා මේකත් එක්ක වැඩි සෙල්ලම්කරන්න බැරි බව දැනටමත් අපි දන්නවා. එහෙම කරන්න ගියා ම වෙන්නේ නාගන්න.

විදුලි සංදේශ නියාමන කොමිසමත් මීට සමාන ආකෘතියක් යටතේ තමන් ගේ රාජකාරි කරනවා. ඉතින් මේක හොඳ ආකෘතියක්. අද අපේ රටට ඕන මේ විදිහට වගකීම් භාරගන්න පුළුවන් නියාමන හා අධීක්‍ෂණ ආයතන. බස් කෝච්චි දුවන එක විතරක් නෙවෙයි, අධ්‍යාපන – සෞඛය සේවා ලබාදෙන එක පවා මේ විදිහට අධීක්‍ෂණය කරන්න, නියාමනය කරන්න පුළුවන්. ඕන කරන්නේ ඒ ඒ ඒවාට ගැලපෙන විදිහේ හොඳ නීති පද්ධතිත් පාලන ආකෘති ගණනාවකුත් හදාගන්න එක විතරයි. අධ්‍යාපන – සෞඛ්‍ය ගැන කියපු කතාව අහලා සෑහෙන පිරිසක් කලබල වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන වෙන ම විස්තරකරලා වෙන්න ඕන විදිහ ගැන වෙන ම කියන්න ඕන. මේ කියන්නේ ආණ්ඩුව ගැනනේ. ඉතින් ඒ වැඩේ ඉවරයක් කරලා ඉඳිමු.

ආරක්‍ෂක හමුදා, පොලීසිය වගේ ආයතන පවත්වා ගෙන යන එක, ආදායම් බදු අයකරනවා වගේ වැඩ කරන්න වෙන්නේ ආණ්ඩුවට ම තමයි. ඉතින් ආණ්ඩුව විසින් ම කළ යුතු වැඩ ගැනත් මිනිස්සුන්ට පවරන්න පුළුවන් වැඩ ගැනත් අවබෝධයක් අපිට තියෙන්න ඕන. එහෙම නැතිව මේ රෝද තුනේ අට්ටාලය උඩට ඕනවාට වඩා බර පැටෙව්වා ම වෙන්නේ ඒ එකක්වත් හරියට නොකෙරෙන එක. එක පැත්තකින් මේවා කරගෙන යන්න තරම් ආදායමක් ආණ්ඩුවට නෑ. ඒ මදිවාට මේවා පාලනය කරන මුවාවෙන් ඒවාට තව තවත් මිනිස්සු පුරවන්න අවස්ථාවක් ආණ්ඩු කරවන අයට ලබාදීලා තියෙනවා. ඉතින් ඒවා දවසෙන් දවස බංකොලොත් වෙනවා. ඒ වියදම් පිරිමහ ගන්න කියලා ආණ්ඩු අදේටත් දවල්ටත් රෑටත් ණයගන්නවා. ඔය හැම දෙයක් අස්සේ ම පුළුවන් තරමින් යටිමඩි ගහගන්නත් ආණ්ඩු කරවන අයට පුළුවන් වෙලා තියෙනවා. මේ හැම දෙයක් ම කරන්නේ මහජනයා ගේ සුභසිද්ධිය වෙනුවෙන් කියලානේ ඒ අය කියන්නේ.

ඉතින් මේ රෝග, ව්‍යාධි – ඒ විතරක් නෙවෙයි, වංචා දූෂණ හැම එකකට ම මුල්වෙච්ච කරුණු කාරණාවලින් එකක් විදිහට ආණ්ඩුවේ බරපතලකම සළකන්න බැරි ද? ආණ්ඩුව කරන්න ඕන තමන් විසින් කළ යුතු සහ කරන්න පුළුවන් වැඩ විතරයි. අනිත් වැඩ මිනිස්සුන්ට භාරදෙන්න ඕන. හැබැයි මේ කියන්නේ ආණ්ඩුව සන්තක කරගෙන ඉන්න දේවල් මුදලාලිලා දෙතුන් දෙනෙක්ට විකුණන්න කියන එක නෙවෙයි කියන එක නැවත වතාවක් කියන්න ඕන. ප්‍රේමදාස මහත්තයා ජනතාකරණය කියලා කරන්න හැදුවේ මෙහෙම වැඩක් නෙවෙයි කියන එකයි මේ ලේඛකයා හිතන්නේ. සාමාන්‍ය මිනිස්සු ගැන වදවුනත් මේ විදිහේ වැඩපිළිවෙලක් ගැන අදහසක් එතුමාට තිබුණා කියලා හිතන්න අමාරුයි. ඉතින් එතුමාට පුළුවන් වුනේ හතරවටින් වෙඩි බෝම්බ පත්තුකරන පරිසරයක් ඇතුළේ ඉඳගෙන කළුවරේ කණාපල්ලන් ගහනවා වගේ වැඩ කරන්න විතරයි.

මේ වෙද්දී අපි පාඩම් සෑහෙන ප්‍රමාණයක් ඉගෙනගෙන ඉවරයි. ඉතින් ඒ ඉගෙනගත්ත දේවල් ගැන හිතලා අපේ ප්‍රශ්නවලට උත්තර හොයන එකයි අපි දැන් කරන්න ඕන.

වරුණ චන්ද්‍රකීර්ති ෴

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress