සිවුරට ඇයි මාංචු…?
Posted on June 10th, 2017

උපුටා ගැන්ම දිවයින

වර්ගවාදය හෝ වර්ගෝත්තමවාදය අවභාවිතාවෙන් සිදුවන්නේ සමස්‌තයක්‌ වශයෙන් රට හා ජාතිය ආපස්‌සට යාමකි. ඉන් පැවසෙන්නේ වර්ගෝත්තමවාදයේ සුභාවිතාවක්‌ද තිබිය හැකි බවය. අප කැමති වුවද අකමැති වුවද වර්ග හා වර්ගාන්තර ගැටුම් ලෝක ස්‌වභාවයක්‌ මිස අනෙකක්‌ නොවේ. දූරදර්ශී ප්‍රාඥයකුට වර්ග හා වර්ගාන්තර ගැටුම් කළමනාකරණය කිරීමේ හැකියාව තිබිය යුතුය. විශේෂයෙන්ම ජනවර්ග හා ජනවර්ගාන්තර ගැටුම් කලමනාකරණය කිරීම දේශපාලනයෙහි නියුක්‌ත ප්‍රාඥයකුගේ සත්‍යතාවය පෙන්නුම් කරන්නකි. ඉන් ද්වනිත වන්නේ ජනවර්ග හා වර්ගාන්තර ගැටුම් කලමනාකරණය කළ නොහැක්‌කා දේශපාලන ප්‍රාඥයෙක්‌ නොවන බවය. නැතහොත් ප්‍රඥවන්ත දේශපාලකයකු නොවන බවය. එසේත් නැතහොත් දේශපාලනයෙහි නුසුදුස්‌සකු බවය.

ඉහත කී දේශපාලන නුසුදුසුකමකට වඩා නුසුදුසුකමක්‌ දේශපාලනයෙහි මීට අදාළව එයි. එනම් ජනවර්ග හා ජනවර්ගාන්තර ගැටුම් අවභාවිතාවෙහි යෙදවීමයි. දියබොරවන තුරු සිට මාළු බාන්නා සේ ද ආපදාවක්‌ වනතුරු සිට සූක්‍ෂමව රටවල් ආක්‍රමණය කරන්නා සේද එය සද්භාවයේ සිනහවෙන් කොල්ලකෑමකි. ජනවර්ග හා ජනවර්ගාන්තර ගැටුම් සිය පක්‍ෂ දේශපාලනයෙහි වාසියට හරවා ගැනීමත්, එමගින් තම දේශපාලන ඉලක්‌ක සම්පූර්ණ කර ගැනීමට එකී ගැටුම් යාත්‍රාවක්‌ කර ගැනීමත්, එකී දේශපාලනයේ කුහකත්වයක්‌ මිස දේශප්‍රේමී ලක්‍ෂණයක්‌ නොවන්නේ ය. කවර හෝ ගැටුමක්‌ හා ව්‍යසනයක්‌ ආත්මීය උදර පෝෂණය සඳහා හෝ සිය දේශපාලන ඉලක්‌කය සපුරා ගැනීම හෝ පාර්ලිමේන්තුව උත්තරීතර නම් එය නියෝජනය කිරීමට සුදුස්‌සකු නොවන්නේය.

වර්ග හා වර්ගාන්තර ගැටුම් දෙස බැලිය යුත්තේ තමාට වාසිදායක ළඟ පෙනෙන කණ්‌ණාඩියකින් නොවේ. අතීතය පෙනෙන හා අනාගතය දකින දුරේක්‍ෂයකින් පමණි. කිසියම් රටක ප්‍රායෝගික ඉතිහාසය එහි පැවැත්ම හා රටේ හා ජනතාවගේ අනාගත සුරක්‍ෂිතතාව උදෙසා වර්ගාන්තර ඝට්‌ඨන සන්සිදුවීම හෝ කලමනාකරණය කිරීම කළ යුත්තේ ය.

ප්‍රකාශිත මූලාශ්‍රයයන් සියුම්ව අධ්‍යයනය කිරීමෙන් නූතන ශ්‍රී ලංකාවේ වර්ගවාදය හා වර්ගවාදීන් හඳුනා ගැනීම අපහසු නොවන්නේය. වර්ගවාදියා ආක්‍රමණය කරයි. වර්ගවාදියා තම වර්ගයේ සුරක්‍ෂිතතාවය වෙනුවෙන් අනෙක්‌ වර්ගය වැනසීමෙහි යෙදෙයි. වර්ගවාදියා සිය වර්ගයේ පැවැත්ම වෙනුවෙන් අන් සියලු වර්ග නැසිය යුතු යෑයි හෝ නොතිබිය යුතු යෑයි සිතයි. වර්ගවාදියා ප්‍රජාවේ සර්වත්‍ර කුලකය උදෙසා පෙනී නොසිටියි. ඔහු පෙනී සිටින්නේ ප්‍රජාවේ සර්වත්‍ර කුලකයෙහි ඇති ජනවර්ගයේ උපකුලකයක්‌ වෙනුවෙනි. එකී උප කුලකයේ රක්‍ෂණය හා පෝෂණය වෙනුවෙනි. එහි ප්‍රවර්ධනය වෙනුවෙන් පමණි. තවද එකී ජනවර්ග උප කුලකයේ පැවැත්ම උදෙසා අනෙක්‌ ජනවර්ගයන්ගේ නොපැවැත්ම ප්‍රාර්ථනා කරන්නෙකි. ඒවායේ විනාශය හා වඳවීම පතන්නෙකි. මේ විනාශකාරී වර්ගෝත්තමවාදයේ ස්‌වලක්‍ෂණ වේ. ඉහත කී නිර්ණායකයන් මගින් ජාත්‍යන්තර හා ජාතික වර්ගවාදය හඳුනා ගැනීම අපහසු නොවන්නේය.

වර්ගවාදය, ජාතිවාදය වැනි මාතෘකා උදෙසා සංවේදී වන්නවුන් හා එකී මාතෘකා යටතේ සාකච්ඡා පවත්වන්නවුන් ද, ක්‍රියාකාරීවන්නවුන් ද යන සියලු දෙනා වර්ගවාදීහු නොවෙති. ඔවුහු වර්ග සංවේදීහු වෙති. ජනවර්ගයක ආරක්‍ෂාව වෙනුවෙන් ද ජනවර්ග ප්‍රචණ්‌ඩත්වය පිටුදැකීම වෙනුවෙන් ද, වර්ගාක්‍රමණයට එරෙහි ප්‍රතිරෝධාත්මක ප්‍රතික්‍රියා දැක්‌වීම වෙනුවෙන්ද පෙනී සිටින්නා වර්ගාක්‍රමණිකයෙකු නොව වර්ගාරක්‍ෂකයකු වන්නේ ය. වර්ගාරක්‍ෂකයා වර්ගාක්‍රමණිකයකු ලෙස අරුත් ගැන්වීම අපරාධයක්‌ පමණක්‌ නොව, අඥනකමක්‌ද වේ. සොරා හා රැකවලා එක්‌ අයකු වන්නේ කෙසේද? සොරකම් කිරීමට එරෙහිවීම සොරකම් කිරීමට එරෙහිව හඬ නැඟීම, සොරකම් කිරීම වරදකැයි කීම ආක්‍රමණය කිරීමක්‌ සේ නිර්වචනය කරන්නේ කෙසේ ද? සොරා වෙනුවෙන් පෙනී සිටීම හා රැකවලුන්ට එරෙහි වීම යනු දෙකක්‌ නොව එකකි. සොරාගේ සොරකම පිළිබඳ කතා නොකිරීම සොරාගේ සොරකම පිළිබඳව කතා කරන්නවුන්ට එරෙහි වීම සොරාගේ පාර්ශ්වයට ආශිර්වාද කිරීමක්‌ මිස රැකවලුන් වෙනුවෙන් පෙනී සිටීමක්‌ නොවේ.

කර්මාන්ත ශාලාවක අධ්‍යක්‍ෂ මණ්‌ඩල ප්‍රධානියා සහ කළමනාකරුවා තමාගේ පාලනය යටතේ පවත්නා කර්මාන්ත ශාලාව සොරකම් කිරීමට එන සොරුන් ද ඊට ඉඩ නොදෙන රැකවලුන් හා ගම්වාසීන් ද පිළිබඳ පැමිණිල්ලක්‌ විභාග කරති. එය පැහැදිලි හොරකමක්‌ ආක්‍රමණයක්‌ හෝ ඊට එරෙහි වූ සැබෑ රැකවලුන් පිළිබඳ පැමිණිල්ලකි. අරුමයට කරුණ නම් අධ්‍යක්‍ෂ ප්‍රධානියා හා කළමනාකරු රැකවලුන් වැරැදිකරුවන් කර අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීමයි. කර්මාන්ත ශාලාවේ හිමිකරුගේ දූ පුතුන්ට මෙය අදහාගත නොහැකි තීන්දුවකි. මෙම කතාව කැකිල්ලේ රඡ්ජුරුවන්ගේ රාජ සභාවක සිදුවිය හැක්‌කකි. එසේ නොවන රාජ සභාවක සිදුවන්නේ නම් අධ්‍යක්‍ෂ මණ්‌ඩල ප්‍රධානියා ද, කළමනාකරුවාද සොරුන්ගේ පාර්ශ්වකරුවන් විය යුත්තේම ය.

ක්‍රියාව හා ප්‍රතික්‍රියාව එකක්‌ යෑයි පැවසීම විද්‍යාත්මක නොවේ. ක්‍රියාකරුවා සහ ප්‍රතික්‍රියාකරුවා එකෙකුම යෑයි හෝ පටලවා ගැනීම එක්‌කෝ අඥනකම ය. නැතහොත් කපටිකමය. නූතන ශ්‍රී ලංකාවේ ජනවර්ගවාදී ක්‍රියාකාරීන් හා ජනවර්ගවාදී ප්‍රතික්‍රියාකාරීන් හඳුනා ගැනීම එතරම්ම අපහසු කාර්යක්‌ ද, ජන සන්හාරක වන්ධ්‍යාකරණ සැලසුම්, පුරාවිද්‍යා ආශ්‍රිත ජාතික උරුමයන් වැනසීම, බලහත්කාර පදිංචිකරවීම්, ජාතික වනෝද්‍යාන ආක්‍රමණය කිරීම්, රහස්‍ය එන්නත්කරවීම් වැනි සදාචාරශීලී නොවන ක්‍රියා වර්ගවාදීව කරන්නේ නම් ඒවා වර්ගවාදී ක්‍රියාකාරකම් මිස අන් කුමක්‌ද? ඊට එරෙහිවීම වර්ගවාදී ප්‍රතික්‍රියාකාරකම් ලෙස හඳුනා ගැනීමට අපහසු ද? දියේ ගිලී අනාථ වූ විට සහන යාත්‍රාවෙන් ගොස්‌ ආධාර බෙදන්නේ හෝ බේරාගන්නේ තමන්ගේ එකා පමණක්‌ නම් හා තමන්ගේ නොවන එකා බේරා නොගන්නේ නම් එය වර්ගවාදය මිස අන් කවරක්‌ද? තම වර්ගයේ එකා වෙනුවෙන් එක ජාතියක කේක්‌ එකක්‌ ද, අනෙක්‌ ජාතියක එකා වෙනුවෙන් විෂකාරක ඇතුළත් කේක්‌ එකක්‌ ද හදන්නේ නම් ඔහු වර්ගවාදියෙකි. ඊට එරෙහිවන්නා වර්ග ප්‍රතික්‍රියාවාදියෙකි. කොත්තු රොටියට කෙළ ගසා අන් ජාතියක එකෙකුට විකුණා මුදල් ගැනීම වර්ගවාදයටත් වඩා පහත් පාදඩකමකි. ඊට එරෙහි වීම පාදඩකමට ප්‍රතික්‍රියා දැක්‌වීමකි. කෙළ ගැසීම වර්ගවාදී ක්‍රියාවක්‌ නම් ඊට එරෙහිවීම ප්‍රතික්‍රියා දැක්‌වීමකි. මේ අනුව ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවත්නා වර්ගවාදී ක්‍රියා හා ප්‍රතික්‍රියා හඳුනා ගැනීම පහසු වැඩකි. එහෙත් තමාට උවමනා තැනැත්තා වැරදිකරුවකු කිරීමට යත්න දැරීම මේ කාලයේ දේශපාලන න්‍යායකි. එය නූතන ශ්‍රී ලාංකේය දේශපාලනයේ පමණක්‌ නොව ජිනීවා දේශපාලනයේද නූතන න්‍යාය වේ.

එක්‌ පංචතන්ත්‍ර කතාවක්‌ වෙයි. එක්‌ ගඟක ඉහළ ඉවුරේ මුව පැටියෙක්‌ වතුර බොයි. පහළ ඉවුරේ ව්‍යාඝ්‍රයෙක්‌ වතුර බොයි. ව්‍යාඝ්‍රයාගේ සැබෑ උවමනාව වන්නේ මුව පැටියාව ඝාතනය කිරීමයි. ඔහු මුව පැටියාට දොස්‌ කියයි. ගඟේ ඉහළ ජලය බොර කිරීමත්, බොර වතුර තමාට බොන්නට සිදුවීමත් මුව පැටියා ඝාතනය කිරීමට සාධාරණ හේතු වශයෙන් ව්‍යාඝ්‍රයා ඉදිරිපත් කරයි. ව්‍යාඝ්‍රයා විසින් ගොනු කරන ලද චෝදනා පත්‍රය විභාග කරනා කැලෑ බලධාරීහු මින් මතුවට වතුර අවශ්‍ය නම් පහළින් බොන ලෙසට මුව පැටියාට අවවාද කරයි. කීකරුව අණ පිළිගන්නා මුව පැටියා පහළින් වතුර බොයි. ඉහළින් වතුර බොන ව්‍යාඝ්‍රයා එය දැක පන්නාගෙන විත් මුව පැටවා ග්‍රහණයට ගනී, මුව පැටියාව ඝාතනය කරයි. නිදහසට කරුණු විමසන කැලෑ බලධාරීන්ට ව්‍යාඝ්‍රයා පවසන්නේ මුව පැටියාගේ සීයා මීට වසර ගණනකට පෙර ඉහළින් වතුර බී තමාට බීමට තිබූ ජලය බොර කළ බවයි. මේ ගොදුර ග්‍රහණය කර ගැනීමේ උපාය උපක්‍රම පිළිබඳ නූතන භාවිතාවේ අතීත කතාවකි.

කවරම හෝ ආකාරයේ ජාතිවාදී ක්‍රියාවක්‌ කරන්නේ නම් ඒ තැනැත්තා අත්අඩංගුවට ගන්නැයි නියෝග නිකුත් කර ඇති බව මාධ්‍ය මගින් දැනගන්නට ලැබේ. එය සැලකිය යුතු යහපත් ප්‍රවනතාවකි. නිවැරැදිව ක්‍රියාත්මක වන්නේ නම් සහයෝගය දැක්‌විය යුතු අදහසකි. ඒ සියල්ලටම පෙර ජාතිවාදය හා ජාතිවාදියා පිළිබඳ නිරවුල් හා නිරවද්‍ය මායිම් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ ය. එසේ නොවී ගලගොඩඅත්ත ගමේ ඉපදී පැවදිභාවය ලද්දෙකු අත්අඩංගුවට ගැනීමටම කැසකවන්නේ නම් එහිලා ඇති සද්භාවයක්‌ නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress