මනෝ චිකිත්සනයේ කාලීන අවශ්‍යතාව
Posted on June 15th, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

මනෝ චිකිත්සනය මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයේදී අත්‍යාවශ්‍ය වන අංගයකි. විශාදය , කාංසා අක්‍රමතා , කායික රූපී ආබාධ , පෞරුෂ අක්‍රමතා , ඇනොරෙක්සියාව , බුලිමියාව මෙන්ම  මනෝ ව්‍යාධික රෝග වලදීද මනෝ චිකිත්සනය නිර්දේශ කෙරේ.  දියුණු මානසික සෞඛ්‍ය සේවාවන් පවතින රටවල මනෝ චිකිත්සනය ඉතා ක්‍රමානුකූලව පිලිගත් සම්මතයන් අනුව වෘත්තිකවේදීන් මගින් රෝගීන්ට ලබා දෙයි.වර්තමානයේ බොහෝ බටහිර විශ්ව විද්‍යාල වල මනෝ චිකිත්සනය විශේෂිත විශයක් ලෙස ආචාර්‍ය උපාධිය දක්වා ඉහල​ට හැදෑරිය හැකිය​. එසේම මනෝ චිකිත්සනය විධිමත්ව යාමනය කිරීම සඳහා වෘත්තීයවේදී ආයතන තිබේ. මනෝ චිකිත්සනය සඳහා මෙවැනි ආයතන වල ලියාපදිංචිය වෘත්තිකයන්ට අනිවාර්‍ය වෙයි. 

මනෝ චිකිත්සනයේදී  මානසික රෝග විසින් මස්තිෂ්කයේ ඇති කරන රසායණික ක්‍රියාවලිය අවතක්සේරු නොකරයි. විශාදය ,භින්නෝන්මාදය , උල්ලාසය (mania) වැනි අක්‍රමතා තිබෙන රෝගීන් ගේ මස්තිෂ්කයේ රසායනික ක්‍රියාවලියේ අසමබරතාවන් තිබෙන අතර එය සමබර කිරීම සඳහා විශේශයෙන් ප්‍රති මනෝව්‍යාධික ඖෂධ රෝගියාට ලබා දිය යුතුය​. ප්‍රති මනෝව්‍යාධික ඖෂධ සමග මනෝ චිකිත්සනය ලබා දීම මගින් රෝගියාගේ රෝග ලක්‍ෂණ අඩු කිරීම මෙන්ම ප්‍රතිසාධනය වේගවත් කරයි. 

මනෝ චිකිත්සක , ආචාර්  Sheri Van Dijk 

බොහෝ විට මනෝ චිකිත්සනය ඖෂධ ප්‍රතිකාර වලට සමාන්තරව ලබා දීම දැකිය හැකි අතර එමගින් රෝගීන් ගේ සුවය ඉක්මන් මෙන්ම වේගවත් වන බව පරියේෂණාත්මකව පෙන්වා දී ඇත​. ඉතා මෑතකදී (2017) ජර්මානු පරියේෂක Seidler විසින් කරන ලද අධ්‍යනයකදී විශාදය සහ පෞරුෂ අක්‍රමතා සහිත රෝගීන් මනෝ චිකිත්සනය මගින් ඉතා ප්‍රශස්ථ සුවයක් ලබන බව හෙලි වී තිබේ. එසේම අධික ලෙස දුම් පානයට හුරු වූ මානසික රෝගීන් ඖෂධ ප්‍රතිකාර (nicotine patch /  bupropion)  සමග ප්‍රජානන චර්‍යාත්මක ප්‍රතිකාර (Cognitive Behavior Therapy) ලබා දීමේදී දුම් පානය නවත්වන ලද බව පරියේෂක Loreto වාර්තා කරයි.  ඕස්ට්‍රේලියානු පරියේෂක Schubert (2016) පෙන්වා දෙන අන්දමට EMDR  (Eye Movement Desensitization and Reprocessing)  මනෝ ප්‍රතිකාරය පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ (PTSD) රෝග ලක්‍ෂණ අවම කිරීම සඳහා බෙහෙවින් උපකාර වෙයි. තවද ජර්මානියේ Philipps  විශ්ව විද්‍යාලයේ පරියේෂක Lincoln විසින් කරන ලද පරියේෂණයකින් වාර්තා වී තිබෙන්නේ මනෝ ව්‍යාධික රෝග (එනම් භින්නෝන්මාදය , ද්වී ද්‍රැව විශාදය , මනෝ ව්‍යාධික විශාදය ) තිබෙන රෝගීන් හට ප්‍රජානන චර්‍යාත්මක ප්‍රතිකාර ලබා දීමේදී ඔවුන් ගේ මනෝ ව්‍යාධික රෝග ලක්‍ෂණ ප්‍රශස්ථ අයුරින් යාමනය වන බවයි.

2004 සුනාමි ව්‍යසනයේදී ඇමරිකානු මනෝ විද්‍යාඥ නැන්සි එරෙබෝ ගේ අධීක්‍ෂණයෙන් සහ සෞඛ්‍යය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ මූලිකත්වයෙන් EMDR මනෝ ප්‍රතිකාරයන් අප විසින් සුනාමි ආශ්‍රිත විශාදය මෙන්ම සුනාමි ආශ්‍රිත  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවන් පෙන්වන ලද රෝගීන්ට ලබා දුන් අතර එමගින් ඔවුන් ඉතා ඉක්මනින් රෝග ලක්‍ෂණ වලින් මිදී ගිය අයුරු විද්‍යාමාන විය. තවද යුද හමුදා රෝහලේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ අධීක්‍ෂනයෙන් EMDR මනෝ ප්‍රතිකාරය සහ ඖෂධ ප්‍රතිකාරයන් යුද ආතතිය නිසා   පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයට ලක්වූ හමුදා සෙබලුන්ට ලබා දුන් අතර ඔවුන් ගේ රෝග සුවයේ වේගවත් බව නිරීක්‍ෂණය විය​. 

මනෝ චිකිත්සනයේ ආරම්භ කරන ලද්දේ මධ්‍යකාලීන වෛද්‍යවරයෙකු වූ අවිසෙන්නා  (ක්‍රි.ව 980 –  1037) විසිනි. රෝගීන් උදෙසා මුලින්ම වචනයත් දෙවනුව පැලෑටියත් තෙවනුව සැතත් යොදා ගන්නා ලෙස ඔහු උපදෙස් උන්නේය​. රෝගීන් සඳහා භාෂණ ප්‍රතිකාරයේ අවශ්‍යතාව අවිසෙන්නා පෙන්වා දුන්නේය​.   ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් රජ කෙනෙකු වූ  බුද්දධාස රජ මානසික රෝගියෙකු සුවපත් කරන ලද බව ඉතිහාසයේ සඳහන් වෙයි. මෙම රෝගියා සඳහා ප්‍රතිකාරයේදී බුද්දධාස රජතුමා  (ක්‍රි.ව 341 – 370 AD)  මනෝ චිකිත්සන මාධ්‍යක් ලෙස භාෂණ ප්‍රතිකාරය යොදා ගන්නා ලදි.  

යුරෝපයේ මුලින්ම මනෝ චිකිත්සන සායනයක් ආරම්භ කරන ලද්දේ ජර්මානු ජාතික මනෝ විද්‍යාඥ විල්හෙල්ම් වුන්ඩ්ට්  විසිනි. ඒ ක්‍රි. ව 1879 දීය​. එහෙත් යුරෝපයේ මනෝ චිකිත්සනය ප්‍රචලිත හා වැඩි දියුණු කරන ලද්දේ වෛද්‍ය සිග්මන් ෆ්‍රොයිඩ් විසිනි. මේ නිසා නූතන මනෝ චිකිත්සනයේ පියා ලෙස සිග්මන් ෆ්‍රොයිඩ්ව හැඳින්වූවාට වරදක් නැත​. ෆ්‍රොයිඩ් විශාදය , භින්නෝන්මාදය , පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය වැනි මානසික රෝග රැසකට මනෝ විශ්ලේශණය මගින් ප්‍රතිකාර කරන අයුරු පෙන්වා දුන්නේය​. 

මනෝ විශ්ලේශණය ප්‍රතිකාරක මාධ්‍යක් ලෙසටද රෝගීන් ගේ මනසේ ක්‍රියාකාරීත්වය අධ්‍යනය  කරන මෙවලමක් ලෙසටද  යොදා ගැනේ. මෑත කාලයේදී  ලැකාන් මෙන්ම ජැක් ඩෙරීඩා විසින් මනෝ විශ්ලේශණය ප්‍රතිකාරය වඩාත් ක්‍රමවත්ව සහ විශ්ලේශණාත්මකව භාවිතා කරන ලද අන්දම පෙන්වා දුන් අතර ප්‍රංශය ඇතුළු සමහර යුරෝපීය රටවල මනෝ විශ්ලේශණය මනෝ වෛද්‍යවරුන්ට අනිවාර්‍ය විශයක් වෙයි. 

ෆ්‍රොයිඩ් ගේ චින්තනය බොහෝ මනෝ චිකිත්සකයන්ට බලපෑ අතර ඔවුන් විසින් වඩා දියුණු සහ එලදායී මනෝ චිකිත්සන ක්‍රම හඳුන්වා දෙන ලදි. විශේශයෙන් මනෝ විද්‍යාඥ ඇල්බට් එලයිස් විසින් හඳුන්වා දුන් Rational Emotive Therapy මෙන්ම මාටින් සෙලිග්මාන් ගේ විශාදයේ ගතිකයද මනෝ චිකිත්සනයේදී භාවිතා වෙයි.  ෆ්‍රොයිඩ් ගේ  ප්‍රතිකාර ක්‍රමවේදය ඉගෙන ගත් නමුත් පසුව ඒවා බැහැර කොට පුද්ගල කේන්ද්‍ර උපදේශන ක්‍රමය (Client Centered Therapy) ඉදිරිපත් කල කාල් රොජර්ස්  මනෝ චිකිත්සනයේ එක් ප්‍රධාන නියමුවෙකි. වර්තමානයේ කාල් රොජර්ස් ගේ විධික්‍රමය බහුලව භාවිතා වෙයි. 

   

මනෝ චිකිත්සක , ආචාර්  Daria J Kuss 

වඩාත් සංකීර්ණ මානසික අක්‍රමතා තිබෙන රෝගීන් සඳහා මනෝ චිකිසන ක්‍රමයක් ඇමරිකානු මනෝ වෛද්‍ය එරන් ටී බෙක් විසින් ඉදිරිපත් කරන ලදි. ප්‍රජානන චර්‍යාත්මක ප්‍රතිකාර ( CBT/ Cognitive Behavior Therapy) ලෙස හඳුන්වන මෙම ක්‍රමවේදය ලෝකයේ බොහෝ චිකිත්සක ආයතන වල භාවිතා කරනු ලබයි. තවද 1987 දී ඇමරිකානු මනෝ විද්‍යාඥවරියක් වන ෆ්‍රැන්සින් ෂැෆීරෝ විසින් ඉදිරිපත් කරන ලද  EMDR  (Eye Movement Desensitization and Reprocessing)මනෝ චිකිත්සන ක්‍රමයද ප්‍රචලිතව භාවිතා වෙයි. මෙම EMDR ප්‍රතිකාරය ඇමරිකානු  සහ  කැනේඩියානු මනෝවිද්‍යා ආයතන විසින් පිලිගන්නා මනෝ ප්‍රතිකාරක මාධ්‍යක් වේ. මනෝ වෛද්‍ය එරන් ටී බෙක්ට මෙන්ම මනෝ විද්‍යාඥ   ෆ්‍රැන්සින් ෂැෆීරෝට මුල් කාලයේදී ෆ්‍රොයිඩ් ගේ බලපෑම තිබුනි. 

වෛද්‍ය ජොන් කැබට්සින් විසින් බෞද්ධ භාවනා ක්‍රම ආශ්‍රයෙන් එළි දක්වන ලද Mindfulness (සතිය) මෙන්ම Mindfulness-Based Stress Reduction (MBSR) ක්‍රමවේදය මනෝ චිකිත්සක  ක්‍රමයක් ලෙස බටහිර ලෝකයේ පැතිරී යයි. පසුගිය වසර දහය ඇතුලත මෙම චිකිත්සක ක්‍රමය ආශ්‍රිතව ස්නායුවේදී පරියේෂණ ගනනාවක් කොට තිබේ. එසේම මෙම චිකිත්සක ක්‍රමය මගින් මොලයේ ධනාත්මක වෙනස්වීම් සිදු වන බව සනාත කොට ඇත​. මේ නිසා මානසික රෝග වලදී බෞද්ධ මනෝ චිකිත්සනය Buddhist Psychotherapy වැදගත් තැනක් ගනියි. 

සංවර්ධිත ලෝකයේ මනෝ චිකිත්සනය ඉතා දියුණු මට්ටමක තිබුනද ලංකාවේ මනෝ චිකිත්සනය තවමත් පවතින්නේ ළදරු මට්ටමිනි. තවද  ලංකාවේ මනෝ චිකිත්සනය නිසි ආකාරව යාමනය නොවේ. මනෝ චිකිත්සනය සහ උපදේශය සඳහා පුහුණුව ලත් විද්වතුන් ගේ අඩුවක් තිබෙන අතර බොහෝ විට ව්‍යාජ සුදුසුකම් සහිතව පුද්ගලයන් විසින් මානසික රෝගීන් උදෙසා උපදේශයන් සහ මනෝ චිකිත්සනය සාවද්‍ය ආකාරයෙන් ලබා දෙති. මෙය මානසික සෞඛ්‍ය බලධාරීන් ගේ අවධානයට යොමු විය යුතුය​. එසේම වෛද්‍යවරු පුහුණු කිරීමේදී මනෝ චිකිත්සනය විශයක් ලෙස වඩාත් ගැඹුරුව ඉගැන්වීම වැඩදායක වෙයි.  

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress