ගමයි පන්සලයි සමාගමයි!
Posted on June 22nd, 2017

වරුණ චන්ද්‍රකීර්ති

මේ ලිපියේ මාතෘකාව දැකපු ගමන් ම අපේ අය කලබලවෙන්න පුළුවන්. මේ මොන විකාර කතාවක් ද කියලාත් අපේ අයට හිතෙන්න පුළුවන්. ‍මේක අපේ සංස්කෘතිය විනාශකරන්න හදන අයකු ගේ උප්පරවැට්ටියක් කියලාත් කියන්න පුළුවන්. අපි කවුරුත් කැමැති වැවක්, කුඹුරු යායක්, පන්සලක් තියෙන ගමක් ගැන හිතන්න. ඒත් ඒ ගම දැන් නෑ. පන්සල නම් තාමත් තියෙන බව ඇත්ත. ඒත් 1980 න් විතර පස්සේ අපේ ගම් බරපතල විදිහට වෙනස්වෙන්න ගත්තා. ප්‍රේමදාස මහත්තයා ගේ උදාගම් ව්‍යාපාරයත් මේකට බලපෑවා. ඒත් ඒක එක හේතුවක් විතරයි. මේ විපරියාසය වෙන්න බලපෑවේ එක ම එක හේතුවක් කියලා කියන්න බෑ. තව තව හේතු ගොඩක් තියෙනවා. මේ කියන්නේ ඒ හේතු ගැන නෙවෙයි. ඒ වගේ ම, අද අපේ ගම්වලට වෙලා තියෙන දේ ගැනත් නෙවෙයි. මේ කියන්න හදන්නේ අපේ මිනිස්සු ශක්තිමත් කරන්න පුළුවන් මාර්ගයක් ගැන.

අපේ ගම්වල මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් තමන්ට සල්ලි කීයක් හරි ලැබුණාම කරන්නේ කඩයක් දාගන්න එක. ඒත් මාස කීපයක්වත් මේ විදිහට හදාගන්න කඩ පවත්වගෙන යන්න ඒ අයට බෑ. එක පැත්තකින් අපේ අයට මේ වෙළෙඳාම ගැන වැටහීමක් නෑ. අනික් පැත්තෙන් පොතට – ඒ කියන්නේ ණයට, බඩුගන්න අයත් සෑහෙන ප්‍රමාණයක් ගම්වල ඉන්නවා. ඉතින් මාය දෙක තුනක් යද්දී මේ විදිහට අටවාගන්න කඩ වැහිලා යනවා. තමන් ගේ ගමෙත් මේ විදිහට අවසන් ගමන් ගිය කඩ පනහකට හැටකට වඩා තියෙන බව මේ ලේඛකයා දන්නවා. මේ මුදල් නාස්තිය වලක්වාගන්න විදිහක් නැති ද?

මේ අතර පිරමීඩ ක්‍රමවල, ව්‍යාජ ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍රමවල, වෙළෙඳ සැලැසුම් ක්‍රමවල සල්ලි ආයෝජනය කරන්නත් අපේ අය යොමුවෙලා. මේවාට අහුවෙන්න එපා කියලා මහ බැංකුව වගේ ආයතන උදේ රෑ කියනවා. රැවටෙන්න එපා කියලා කිය කියා හිටියාට මදි. මිනිස්සුන්ට විකල්ප මාර්ග කියලා දෙන්නත් ඕන. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ඇතිකරගන්න විධික්‍රමත් කියලා දෙනවා තමයි. ඒත් අපේ මනසට ඒ වගේ කතා තේරෙන්නේ නෑ. දෙකයි එක්ස් එකතුකිරීම තුනයි වයි වගේ කතා තේරුම්ගන්න පුළුවන් මනසක් නෙවෙයි අපිට තියෙන්නේ. අපේ මිනිස්සුන්ට ඊට වඩා ප්‍රායෝගික විදිහට තේරුම්කරලා දෙන්න පුළුවන් ක්‍රම හඳුන්වලා දෙන්න පුළුවන්කමක් අපිට තියෙන්න ඕන.

අපි සාමූහික වැඩවලට කැමැතියි. පන්සල්වල දායක සභාවලින් සෑහෙන වැඩක් වෙනවා. මොන මොන අඩුපාඩු තිබුණත් මරණාධාර සමිතිවලිනුත් යමක් වෙනවා. ඒත් ආර්ථික වැඩපිළිවෙලක් විදිහට යම් ප්‍රමාණයකට හරි සාර්ථක වුනේ සණස සමිති විතරයි. ඒ, සණස සභාවාරවලට සහභාගී නොවන අයට දඩ ගහන ක්‍රමයක් ඒ යටතේ ක්‍රියාත්මක වෙච්ච හින්දා. ඒත් සණස කියන්නෙත් නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලක් නෙවෙයි. මීට අමතරව, සමෘද්ධිය යටතේත් යම් යම් දේවල් කරන්න හදනවා. අනිවාර්ය ඉතිරිකිරීම් හඳුන්වලා දීලා තියෙනවා. ඒ මත සමෘද්ධි බැංකු පවා ඇතිකරලා තියෙනවා. ඒත් මිනිස්සුන් ව නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලකට යොමු කිරීමක් ඒ යටතේ වෙන්නේත් නෑ. තමන් උපයන, ඉතිරිකරන මුදල්වලින් වැඩක් ගන්න විදිහක් මිනිස්සුන්ට කියලා දීලාත් නෑ. ඉතින් මේ ප්‍රශ්න හඳුනාගෙන නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලක් පටන්ගන්න මාර්ගයක් මතුකරගන්න බැරි ද? මේ කියන්න හදන්නේ මේ ප්‍රශ්නයට උත්තරයක්.

කිසිම තේරුමක් නැතිව කරන කඩ දැමිල්ලෙන්, පිරමීඩ ක්‍රම පස්සේ යන එකෙන් පැහැදිළි වෙන දේ තමයි අපේ මිනිස්සු අතර යම් මුදලක් තියෙන බව. ඒ වගේ ම, ඒ මුදල් ආයෝජනය කරන ක්‍රමයක් අපේ මිනිස්සු නොදන්න බව. ඉතින් මේ මුදල් යම් ආකාරයකින් ගමේ ම සංචිතයකට, ආයෝජන අරමුදලකට යොමුකරලා ඒ වෙනුවෙන් ප්‍රතිලාභයක් ලබාදෙන ක්‍රමයක් හඳුන්වලා දෙන්න අපිට පුළුවන් වෙන්න ඕන. මේ කාරණේ පැහැදිළි කරන්න පුළුවන් නිශ්චිත උදාහරණවලින්. ඉතින් සුදුසු යෝජනා කිහිපයක් මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.

අද ගම්වල වත්තක් සුද්ද කරගන්න කෙනෙක් හොයාගන්න එක අමාරු වැඩක්. මොකද ඉස්කෝලේ ගිහිල්ලා, විශ්වවිද්‍යාලේ ගිහිල්ලා විභාග පාස්වෙච්ච අය කැමැති මැදපු ඇඳුමක් ඇඳගෙන, බත්මුලකුත් බැඳගෙන මාස් පඩියක් වෙනුවෙන් කන්තෝරුවක රස්සාවකට යන්න. වත්තක් සුද්ද කරනවා වගේ දේ සළකන්නේ කුලී වැඩ විදිහට. ඇයි ගමක ඇතිකරන කුඩා සමාගමකින් මේ වැඩේ කරන්න බැරි? හැම ගමක ම ඒ වගේ වැඩකරන කුඩා සමාගමක් ඇතිකරලා ඒකට බලපත්‍රයක් දෙන්න පුළුවන්. නියමිත මුදලක් ඉඩම් හිමියන්ගෙන් ලබාගෙන ඒවා සුද්ද පවිත්‍ර කරලා දෙන්න මේ සමාගමට සම්බන්ධ අයට පුළුවන්. අවශ්‍ය නම් ඒ අයට නිල ඇඳුමක් දෙන්නත් පුළුවන්. ඉතින් මෙහෙම කරනවා නම් ඩෙංගු මදුරුවෝ නැතිකරනවා වගේ වැඩවලට ආණ්ඩුව කරගහන්න උවමනා නෑ.

හැම අවුරුද්දේ ම වගේ පාසල් පටන්ගන්න කලින් පංති කාමර පිරිසිදු කරන, ඒවාගේ තීන්ත ගාන වැඩක් සිද්දවෙනවා. මේවා කරන්නේ දෙමව්පියන් ගේ ශ්‍රම දායකත්වයෙන්. ඒත් ඒ වැඩ සංවිධානය කරන රැස්වීම්වලට ඇවිල්ලා පම්පෝරි කියවන අය ඒවාට හවුල්වෙන්නේ බොහොම අඩුවෙන්. හැම දා ම වැඩකරන අය තමයි අන්තිමට ඉතිරිවෙන්නේ. ඉතින් මේ වගේ වැඩත් ගම්වල පිහිටුවන කුඩා සමාගමකට පවරන්න පුළුවන්. දෙමව්පියන්ගෙන් එකතුකරන මුදලකින් ඒ වැඩේට වියදම්කරන්න පුළුවන්. එහෙම වුනා ම පම්පෝරි කතා කියන අයවත් එක විදිහට මේ වැඩේට දායකකරගන්න පුළුවන් වෙනවා. වැඩේ හරියට වෙන බවට සහකික කරගන්නත් පුළුවන් වෙනවා.

කුඹුරු වැවිල්ලට, කුඹුරු කැපිල්ලට වුනත් මෙහෙම වැඩ පිළිවෙලක් ගැලපෙනවා. දැන් කාලේ කුඹුරක් අඳේකට දෙන එක වුනත් ලේසි නෑ. ඉතින් ගමක ගොවි සමාගමක් තියෙනවා නම් ඒ අයට පුළුවන් ඒ වැඩේ භාරගන්න. එහෙම වුනා ම ගමේ සල්ලි ගමේ ම ඉතිරි කරගන්න වුනත් පුළුවන්. මේ වගේ ගොවි සමාගමකට පුළුවන් කුඹුරු කරනවාට අමතර ව ගොඩ ඉඩම් වගාකරන වැඩේට වුනත් කරගහන්න. අපේ පොල් ඉඩම්වල යටි වගාවක් කෙරෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඉතින් මේක විශාල සම්පත් නාස්තියක්. මේවා මිනිස්සුන්ට තනි තනියෙන් කරගන්න බැරිවුනාට සමාගමකට පවරලා කරවාගන්න පුළුවන්. මේ වැඩට හවුල්වෙන්නේ තමන් ගේ ගමේ ම සමාගමක් හින්දා ඒ ගැන හොයලා බලන එක කාටත් අමාරු නෑ.

එක්තරා සමීක්‍ෂණ කටයුත්තකට මේ ලේඛකයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ උස්ගල සියඹලන්ගමුව වැව කිට්ටුව තියෙන ගමකට ගියා. ඒ දවස්වල මේ වැවේ මාළු අල්ලන වැඩේ පාලනය කෙරුනේ ධීවර සමිතියකින්. ආණ්ඩුවක් පෙරලිච්ච ගමන් අලුත් ආණ්ඩුවට හිතවත් අය පැනලා ඒ සමිතියේ බලය අල්ලගන්නවා. ඉතින් ඒ වැවේ මාළු ඇල්ලීමත් දේශපාලන බලපොරයක ගොදුරක් බවට පත්වෙලා. වැවට කොච්චරක් නම් මාළු පැටව් මුදාහැරියත් උන් ලොකු මහත්වෙන්න කලින් අල්ලන එක වළක්වන්න විදිහක් නෑ කියලා ඒ ගමේ ගැමියෙක් මේ ලේඛකයාත් එක්ක කිව්වා. මේ මාළු දේශපාලනය නවත්තන්න පුළුවන් කොහොම ද? මේ ගමේ ධීවරයෝ එකතුකරලා සමාගමක් පිහිටුවන එක තමයි මේකට තියෙන හොඳ ම විසඳුම. සමාගමක් කියන්නේ ධීවර සමිතියක් වගේ ආණ්ඩු පෙරළිත් එක්ක බලය මාරුවෙන ආයතනයක් නෙවෙයි.

ගම්වල ඩිස්පැන්සරි සෑහෙන ප්‍රමාණයකුත් තියෙනවා. මේ ලේඛකයා ගේ නිවසේ ඉඳලා මීටර් 400 ක් විතර නැගෙනහිර පැත්තට මහ පාරේ ඇවිදගෙන යද්දී මේ විදිහේ ඩිස්පැන්සරි හයක් පහුකරන්න පුළුවන්. මේ ඩිස්පැන්සරිවල ලෙඩ්ඩු බලන්නේ ඒ ප්‍රදේශයේ ම ඉස්පිරිතාලවල වැඩකරන දොස්තර මහත්තුරු. හැම දා ම හවසට, සති අන්තයට මේ අය ඩිස්පැන්සරිවලට එනවා. ඒ හැම ඩිස්පැන්සරියක ම පොඩි ෆාමසියකුත් තියෙනවා. දොස්තර මහත්තයා ලෙඩ බැලුවාට පස්සේ එතැන වැඩකරන ගෑණු ළමයෙක් සල්ලි ඇරගෙන බෙහෙත් ටික දෙනවා. ඉතින් රුපියල් සීයක් හමාරක් වියදම් කරලා මේ විදිහට බෙහෙත් ගන්න එක අපේ හැම ගමක ම පාහේ සිද්දවෙන දෙයක්. මේ විදිහට විසිරිලා තියෙන ඩිස්පැන්සරි වෙනුවට හැම ගමක ම එක වෛද්‍ය මධ්‍යස්ථානයක් හදන්න බැරි ද? මේ වැඩේට ආණ්ඩුව වියදම්කරන්න ඕන නෑ. ගමේ සල්ලිවලින් ඒ වැඩේ කරගන්න පුළුවන්. ඕන කරන්නේ ඒ වැඩේට උවමනාකරන පරිපාලන හා නෛතික අවසරය ලබාදෙන එක විතරයි. එහෙම වුනොත් මේ වැඩේ පිළිවෙලක් වෙනවා.

ගමේ සමූපකාරය පවා මේ විදිහේ සමාගමකින් පවත්වාගෙන යන්න පුළුවන්. තැපැල් කාර්යාලයත් මේ වගේ සමාගමකට පවරන්න පුළුවන්. තැපැල් කාර්යාලය කියන්නේ ලියුම් බෙදන වැඩේ විතරක් කරන තැනක් වෙන්න ඕන නෑ. පත්තර විකුණනවා වගේ වැඩ පවා ඒකට භාරගන්න පුළුවන්. මංගත (ඔන්-ලයින්) වෙළෙඳාමට පහසුකම් සළසන ආයතනයක් බවටත් පත්කරගන්න පුළුවන්. ඒත් මේ තරම් සල්ලි හම්බකරන්න පුළුවන් ආයතන අද පවත්වාගෙන යන්නේ පාඩුවට. ඒකට හේතුව මේවා දෙපාර්තමේන්තු යටතේ පාලනය කරන්න උත්සාහ කරන එක. ඉතින් මේ විදිහට ගමේ සල්ලි ආයෝජනය කරන්න පුළුවන් වැඩ මොන තරමක් තියෙනවා ද?

කොහොම වුනත්, මේ සමාගම් ඇතිකරන්න ඕන යම් ආකාරයක හවුල් සමාගම් විදිහට. ලාභයක් උපයන්න පුළුවන් කියලා පැහැදිළි වුනා ම ගමේ අය ම ඒ වැඩට හවුල්වෙයි. ආණ්ඩුව කරන්න ඕන ඒවා හරියට වෙනවා ද කියලා අධීක්‍ෂණය කරන ක්‍රමයක් හදන එක විතරයි. ඊට අමතර ව මේ සමාගම්වල වැඩ විගණනය කරනවා වගේ වැඩ ප්‍රාදේශීය මට්ටමෙන් පිහිටුවාගන්න සමාගම්වලින් කරන්නත් පුළුවන්. ඒ ගැන මී ළඟ ලිපියෙන් කියන්නම්.

වරුණ චන්ද්‍රකීර්ති ෴

2 Responses to “ගමයි පන්සලයි සමාගමයි!”

  1. Senerath Says:

    “ගමේ සමූපකාරය පවා මේ විදිහේ සමාගමකින් පවත්වාගෙන යන්න පුළුවන්.”

    “සමූපකාරය”, is leterally “together we help” or is started as little companies to help each other. Shares of such companies supposed to be owned by the villagers.
    This something that can be done in even developed economies.

  2. Christie Says:

    ඉතාම හොඳ අදහසක්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress