බල සන්නියට සාත්තුවක්!
Posted on June 26th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

අවුරුදු 30 ක විතර කාලයක් තිස්සේ අපේ සමහරු මතුරන මන්තරයක් තියෙනවා. ඒ තමයි බලය විමධ්‍යගතකිරීම” කියන මන්තරේ. මේක අපූරු වැඩක්. මිනිස්සුන්ට කරන්න පුළුවන් වැඩ ගොඩක් ආණ්ඩුව බදාගන්නවා. ඊට පස්සේ ඒ බදාගත්ත දේවල් බෙදන්න තව ආණ්ඩු හදනවා. ඉතින් තියෙන ප්‍රශ්න විසඳන්න කියලා හිතාගෙන පළාත් නවයෙත් ආණ්ඩු නවයක් ඇති කරලා. මේ සෙල්ලමෙන් විසඳුණු ප්‍රශ්නය මොකක්ද? මහ ආණ්ඩුව මදිවට දැන් තවත් ආණ්ඩු නවයක්! ආණ්ඩුකාරයෝ ඉන්නවා. මහ ඇමැතිලා ඉන්නවා. පළාත් ඇමැතිලා ඉන්නවා. පළාත් මන්ත්‍රීවරු ඉන්නවා. පළාත් ලේකම්ලා ඉන්නවා. පළාත් අධ්‍යක්‍ෂලා ඉන්නවා. පළාත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඉන්නවා. පළාත් නියෝජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඉන්නවා. පළාත් … අපොයි! මේ ඉන්න අය ගැන කියන්න ගියොත් මේ ලිපියේ වෙනත් දෙයක් ලියන්න ඉඩක් ඉතිරිවෙන එකක් නෑ.

බලය විමධ්‍යගත කරනවා” කියන මන්තරේ මතුර මතුරා අපේ කට්ටඩියෝ ටික මොකක්ද මේ කරන්නේ? මිනිස්සුන්ගෙන් පවරගත්ත බලය ගොඩගහන්න තව තව දේවාල හදනවා. ඉතින් ඒ දේවාලවලට අරක්ගත්ත අයට දොළ පිදේණි පුදන්න වෙලා තියෙන්නේත් අපිටමයි. ඒ මදිවට මේ දෙයියොයි යක්කුයි ගහ මරාගන්නවා. ආණ්ඩුවයි පළාත් ආණ්ඩුයි ඇණ කොටාගන්නවා. පළාත් ආණ්ඩුයි ප්‍රාදේශීය ආණ්ඩුයි හොට පටලවාගන්නවා. මේ කා කොටාගැනිල්ලා ඉවර කරන්න කියලා මේ සමහර යක්කුන් ගේ ඔළු ගලවලා අනිත් පැත්තට හයිකරනවා. ඒවා හඳුන්වන්නේ ව්‍යවස්ථා සංශෝධන වගේ ලොකු වචනවලින්. ඒත් අපේ රටේ නටන මේ මහසොහොන් සමයම ඉවරවෙන පාටක් නෑ. අපිට වෙලා තියෙන්නේ මේ පරලවෙලා දඟලන එවුන් ඉල්ලන ඉල්ලන වෙලාවට කුකුල්ලුයි බිත්තරයි උන්ට දි දී හූල්ල හූල්ල ඉන්න.

මිනිස්සුන්ගෙන් පවරාගත්ත දේවල් උන්ට ම ආපහු දෙන විදිහක් හොයාගත්තා නම් මේ බලය විමධ්‍යගතකිරීමේ” සන්නිය නටන්න උවමනා වෙන්නේ නැහැනේ. ඔළුවේ තියෙන්නේ ම සභා, සභා, සභා” විතරයි. ආණ්ඩුව, ප්‍රාදේශීය සභා, නගර සභා, ගම් සභා අනවශ්‍යයි කියලා නෙවෙයි මේ කියන්නේ. සමහර වැඩ කරන්න ඒ වගේ ආයතන ඕනකරනවා. උදාහරණයක් විදිහට රටේ ආරක්‍ෂක හමුදා පවත්වාගෙන යන එක ආණ්ඩුව විසින් ම කරන්න ඕන වැඩක්. ආණ්ඩුවට කරන්න පුළුවන් ඒ විදිහේ තව පොදු වැඩ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ ම, පළාත් පාලන ආයතනවලටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒත් දැන් මේ අය බදාගෙන ඉන්න ඒවායින් සෑහෙන ප්‍රමාණයක් මිනිස්සුන්ට ම කරගන්න පුළුවන් දේවල්. ඒවා මිනිස්සුන්ට පවරලා දෙන්න බැරිකමක් නෑ.

ඒ විදිහට මිනිස්සුන්ට පවරලා දෙන්න පුළුවන් වැඩ සෑහෙන ප්‍රමාණයක් ගැන මේ ලේඛකයා අවස්ථා ගණනාවක දී ම කියලා තියෙනවා. නළාවේ අයිතිය හොඳහිතට” ලිපියෙන් පෙන්නලා දුන්නා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ජනතාව අතට පවරන්න පුළුවන් ක්‍රමයක් ගැන. බස් කඩ දෙකක් සහ දුම්රිය කඩයක්” ලිපියෙන් කිව්වේ මගී ප්‍රවාහන කටයුත්ත මිනිස්සුන්ට පවරන්න පුළුවන් විදිහක් ගැන. මමත් මිනීමරුවෙක්” ලිපියෙන් පෙන්නුවා කුණු ප්‍රශ්නය ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ම විසඳගන්න කළ යුතු දේ. ඔළුබක්කන්ටත් කාලයක්” සහ සූරියවැවේ සිංහ කුසලානය” ලිපිවලින් පෙන්නුවා රැකියා උපද්දවාගන්න මිනිස්සුන්ට කරන්න පුළුවන් දේ. ඊට පස්සේ රෝද තුනේ ආණ්ඩුව” ලිපිය ලියලා පෙන්නුවා මිනිස්සුන්ට මිනිස්සුන් ගේ වැඩ ආපහු භාරදීලා ආණ්ඩුවට ඒවා අධීක්‍ෂණය කරන්න, නියාමනය කරන්න පුළුවන් විදිහ ගැන. අනේ සීසර් – අපට හිමි දේ දෙන්න” ලිපියෙන් පෙන්නුවා දූෂණ අක්‍රමිකතා නැති කරන්නත් අකාර්යක්‍ෂමතාව නැතිකරන්නත් ඒ වගේ ම අපේ මිනිස්සු ශක්තිමත් කරන්නත් කරන්න ඕන දේ ගැන. අන්තිමට ලියපු ගමයි පන්සලයි සමාගමයි” ලිපියෙන් පෙන්නුවා ගම් මට්ටමින් විවිධ සමාගම් ඇතිකරලා අපේ මිනිස්සු ශක්තිමත් කරන්න පුළුවන් ආකාරය.

මේ කියන්නේ ධනවාදී ක්‍රමයක් ‍අපේ රටේ ස්ථාපිතකරන්න කියන එක නම් නෙවෙයි. බටහිරින් හඳුන්වා දීපු ධනවාදී ආර්ථික ක්‍රමයේ දී සමාජයෙන් ඈත්වුනු මහ විශාල ධන කුවේරයෝ බිහිවෙනවා. ඉතින් ඒ ක්‍රමයේ අකටයුතු විදිහට හඳුනාගත්ත ශ්‍රමය සූරාකෑම, අතිරික්තිය වගේ දේට විසඳුම් දෙන්න කියලා හිතාගෙන සමාජවාදී ක්‍රමය යෝජනා කෙරුණා. ඒත් ඒ ක්‍රමය අසාර්ථක බව මුළු ලෝකය ම මේ වෙද්දි වටහාගෙන ඉවරයි. අපිට වෙනත් විකල්පයක් ගැන හිතන්න බැරි ද? අනෙකුත් රටවල්වල කො‍හොම වුනත් ධන කුවේරයන්ට, සිටුවරුන්ට අපේ සංස්කෘතිය ඇතුළේ ඉඩක් නෑ. ඉතින් ඒ හින්දා, ධනකුවේරයෝ දෙතුන් දෙනෙක්ට ආණ්ඩුවේ වැඩ පවරලා මිනිස්සු ඒ දැවැන්ත සමාගම්වල සේවකයන් බවට පත්කිරීම අපේ රටේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සංස්කෘතික ස්වභාවය ඇතුළේ අපි කරන්න ඕන මිනිස්සු මුල්වෙලා හදාගන්න විවිධ ප්‍රමාණයේ සාමූහික සමාගම් ජාලයකට ආර්ථික කාර්යයන් පැවැරීම කියලා මේ ලේඛකයා විශ්වාසකරනවා. අවශ්‍ය නම් මේ මතවාදය සමාජ ස්වශක්තිවාදය” වගේ විච්චූර්ණ වචනයකින් නම් කරන්නත් පුළුවන්. ඒත් මේ ලේබල්වලින් ඇති ප්‍රයෝජනේ මොකක්ද? ඒ හින්දා, ඒ ගැන වදවෙවී ඉන්න ඕනකමක් නෑ. දැනට කළ යුතු දේට අපි අපේ අවධානය යොමුකරමු.

මෙයට පෙර ලිපියෙන් කිව්වේ ගම් මට්ටමින් විවිධ සමාගම් ඇතිකරගන්න පුළුවන් ආකාරයක් ගැන. එයට අමතර ව, ප්‍රාදේශීය මට්ටමින් ඇතිකරගන්න පුළුවන් සමාගම් ගැන ඉඟියකුත් ඒ ලිපිය අවසානයේ දී ලබාදුන්නා. ඒ මොන වගේ සමාගම් ද? මූලික ව ම ගම්වල පිහිටුවන සමාගම්වලට උවමනා කරන කළමනාකරණ සේවා සපයන ආයතන ප්‍රාදේශීය ව පිහිටුවන්න පුළුවන්. ඒ ඒ ප්‍රදේශවල ඉන්න උපාධිධාරී තරුණ තරුණියන්ට මේ වගේ කළමණාකරණ සේවා සමාගම් පිහිටුවලා යමක් හම්බකරගන්න බැරිකමක් නෑ. ඒ වගේ ම, ගම් මට්ටමේ කටයුතු විගණනය කරන්න, ගිණුම්ගත කරන්න, ආයෝජන අරමුදල් කළමනාකරණය කරන්න වගේ විවිධ සේවා සපයන සමාගම් ඒ අයට ආරම්භකරන්න පුළුවන්. මේ වගේ සමාගම් ආරම්භකරන්න, පවත්වාගෙන යන්න විශාල ධනයක් උවමනාකරන්‍නේ නෑ. අවශ්‍ය වෙන්නේ දැනුමත් අවංක කැපවීමත් විතරයි.

සේවා සපයන ආයතනවලට අමතර ව ප්‍රාදේශීය වෙළෙඳ සමාගම් ඇතිකරන්නත් බැරිකමක් නෑ. උදාහරණයක් විදිහට රෙදිපිළි අලෙවිසල් වගේ දේවල් ගැන කියන්න පුළුවන්. මේ වගේ ඒවා ගම් මට්ටමින් පවත්වාගෙන යන්න පුළුවන්කමක් නෑ. ඒත් ප්‍රාදේශීය ව කළමනාකරණය කෙරෙන ආයෝජන අරමුදලකින් අදාළ ප්‍රදේශයේ මේ වගේ ආයතන ඇතිකරන්න පුළුවන්. ඒ වගේ ම, ඒවාට අවශ්‍ය කළමානාකරණ ආදී සේවා සපයන වැඩෙත් කලින් කියපු විදිහට පිහිටුවාගන්නා ආයතනවලින් ම කරන්න පුළුවන්. අවශ්‍ය විදිහට මේ වැඩ දිස්ත්‍රික්ක මට්ටමෙන් පවා කරන්න පුළුවන්.

මේ විදිහට ඇතිවෙන්නේ මිනිස්සුන් ගේ ධනයෙන් ම ගොඩනැගෙන සමාගම්. ඒවා ගේ ප්‍රතිලාභය ලැබෙන්නෙත් මිනිස්සුන්ට ම යි. එහෙම වුනා ම, අපේ සල්ලිවලින් වෙන එවුන් රජ සැප විඳිනවා” වගේ අදහස් ඇතිකරගන්න උවමනා වෙන්නේ නෑ. දැනට තිබෙන ක්‍රමය තුළ ප්‍රාදේශීය ව වෙළෙඳාමට අරක්ගෙන ඉන්න පිරිසක් හින්දා තමයි ඒ වගේ අදහස් ඉස්මතුවෙලා තියෙන්නේ. මේ වගේ ක්‍රමයක දී එහෙම වෙන්නේ නෑ. අපි අවුරුදු කෑවත් ඒකේ වාසිය අපිට ම ගලාගෙන එනවා. ඒ, මේ සමාගම් වෙනුවෙන් අපි කරන සාමූහික ආයෝජනයේ ප්‍රතිලාභය අපිට ම ලැබෙන හින්දා. ඉතින් පොඩි පොඩි දේවල්වලටත් සිංහලයිනි එකතුවව්” වගේ සටන්පාඨ කිය කියා ඉන්න ඕනවෙන්නේ නෑ. මිනිස්සුන්ට පුළුවන් තමන් ගේ ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් පහසුවෙන් ම එකතුවෙන්න.

මේ වගේ වැඩවලින් බල සන්නියට විසඳුමක් ලැබෙන්නේ කොහොම ද කියලා කාට හරි අහන්න පුළුවන්. මේක සිද්දවෙන ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි තමන්ට කියලා හම්බ කරගන්න මාර්ග ලැබුණා ම අපේ අය ආණ්ඩුවේ රස්සා පස්සේ යන එක නවත්තන්න තියෙන ඉඩ. උපාධිධාරීන්ට වුනත් හම්බ කරගෙන කන ක්‍රම මේ තුළින් බිහිවෙනවා. ඒ විතරක් නෙවෙයි. ආණ්ඩුව කරන සමහර වැඩ කෙළින් ම මේ වගේ සමාගම්වලට භාරගන්න පුළුවන්. එතකොට, ඒ වෙනුවෙන් රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න තියෙන උවමනාව නැතිවෙනවා. උදාහරණයක් විදිහට තැපැල් සේවා සැපයීමේ කටයුත්ත ගැන කියන්න පුළුවන්.

දැන් අපේ තැපැල් සේවා පවත්වා ගෙන යන්නේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් යටතේ. මෙයට පෙර ලිපියෙනුත් පෙන්නලා දීපු විදිහට තැපෑල කියන්නේ සෑහෙන්න ලාභ උපයන්න පුළුවන් ආයතනයක්. ඒත් දැන් එහෙම නොවෙන බව අමුතුවෙන් විස්තරකරන්න උවමනා නෑ. අපේ තැපැල් දෙපාර්තමේන්තුව සපයන සේවා ගැන අපිට වැඩි විශ්වාසයකුත් නෑ. ඒ මදිවාට තැපැල් සේවකයෝ වැඩවර්ජනවලට යොමු වෙන එකෙත් අඩුවක් නෑ. මේ ගැන හොයලා බලන්න තැපැල් අමාත්‍යාංශයකුත් තියෙනවා. තැපැල් ඇමැති කෙනෙක්, නියෝජ්‍ය ඇමැති කෙනෙක් පවා ඉන්නවා. තැපැල්පති කෙනෙක් ඉන්නවා. කොළඹට අමතර ව ඒ ඒ පළාත භාර නියෝජ්‍ය තැපැල්පතිලාත් ඉන්නවා.

මේ කවුරු හිටියත් අන්තිමට මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ තැපැල් කාර්යාල සහ ඒවා ගේ ඉන්න අය. මේ තැපැල් කාර්යාල ටික ඒ ඒ අන්තවල ඉන්න මිනිස්සු එකතුවෙලා හදාගත්ත සමාගම්වවලට පවරන්න පුළුවන් නම් මිනිස්සු ඒවාගෙන් ලාභ උපයලා පෙන්නයි. ඊට අමතර ව, ප්‍රාදේශීය මට්ටමේ, දිස්ත්‍රික්ක මට්ටමේ සහ කොළඹ කරන තැපැල් හුවමාරු කටයුතුවලට පවා මිනිස්සුන් ගේ සමාගම් හවුල් කරගන්න පුළුවන්. පරිගණක ශිල්පය දියුණුවෙලා තියෙන කාලයක ඒ ඒ සමාගම් අතර ආදායම් බෙදාගන්න ක්‍රමයක් හදන එක වැඩක් නෙවෙයි. ආණ්ඩුව කරන්න ඕන මේ වැඩ නියාමනය කරන එක විතරයි. මෙහෙම කරන්න පුළුවන් නම් තැපැල් ඇමැති කෙනෙක් මොකට ද? මේ වැඩෙන් බල සන්නිය සනීපවෙන්නේ නැති ද?

 

වරුණ චන්ද්‍රකීර්ති ෴

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress