අලිබාබා සහ වැඩ හතළිහ
Posted on June 30th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

අරාබි නිසොල්ලාසයේ තියෙන අලිබාබා සහ හොරු හතළිහ” කියන්නේ අපි පොඩි කාලයේ බොහොම කැමැත්තෙන් කියවපු, ඒ වගේ ම මතකයේ හොඳින් රැඳුණු රසවත් කතාවක්. ඒ කතාව මෙහෙම එකක්. අලිබාබා කියන දුප්පත් දරකපන්නා හොරු රැළක ගේ රහසක් දැනගත්තා. ඒ බව වටහාගත්ත හොරු හතළිස් දෙනා අලිබාබා ව මරන්න උපක්‍රම යෙදුවා. ඒත් අලිබාබා ගේ සේවිකාවට පුළුවන් වුනා තමන් ගේ නුවණ මෙහෙයවලා ඒ හොරු රැළ ම මරාදාන්න. අපේ සමහර අලි බබ්බු දැන් මේ කතාව කියන්නේ අග මුල මාරුකරලා. ඒ අය කියන විදිහට අලිබාබා කියන්නේ හොරු හතළිහේ නායකයා. අපේ ව්‍යවස්ථාව 19 වැනි වතාවට සංශෝධනය කරද්දි මේ අලුත් කතාව බොහොම තදින් ප්‍රචාරය කෙරුණා. අපේ රටේ හිටපු අලි බබෙක් ගැනත් ඔහු වටා එකතු වී සිටි හොරු හතළිහක් ගැන ඒ අලුත් කතාවෙන් කිව්වා. කොහොම හරි අපේ මන්ත්‍රීවරු 215 දෙනෙක් පක්‍ෂ භේද අත ඇරලා එකතුවෙලා අලුත් ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තා.

මේ වතාවේ කරපු සංශෝධනයෙන් හරි අපූරු නීතියක් අපිට හඳුන්වලා දුන්නා. ඒ නීතියෙන් කියැවෙන්නේ අපේ ඇමැති මණ්ඩලයට පත්කරන්න පුළුවන් ඇමැතිවරු 30 ක් විතරයි කියලා. ඊට පස්සේ සිද්දවුනු දේ අපි හැමෝ ම දන්නවා. ඒවා ගැන ඉතින් ආඩපාලි කිව්වා කියලා ලැබෙන සෙතේ මොකක්ද? හැබැයි මේ ලේඛකයා හිතන විදිහට වැදගත්වෙන්නේ කැබිනට් එකේ ඉන්න ඕන ඇමැතිවරු 30 ක් ද 40 ක් ද කියන එක නෙවෙයි. අපි වදවෙන්න ඕන මේ රටට අමාත්‍යාංශ කීයක් උවමනා ද කියන එක ගැනයි. ඉතින් ඒකට මුලින් ම කරන්න ඕන ආණ්ඩුව මැදිහත්වෙලා කළයුතු වැඩ මොනවා ද කියලා හඳුනගන්න එක. ඊට පස්සේ ඒවා වර්ගකරන්න පුළුවන්.

උදාහරණයක් විදිහට කියනවා නම් අධ්‍යාපනය කියන්නේ ආණ්ඩුවට විවිධ ක්‍රමවලින් මැදිහත්වෙන්න පුළුවන් විෂයයක්. ඒකට මොන්ටිසෝරි අධ්‍යාපනය, ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීයික අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, වෘත්තීය පුහුණු කටයුතු, අවිධිමත් අධ්‍යාපනය කියන මෙ කී නො කී හැම දෙයක් ම ඇතුළත් කරන්න පුළුවන්.  හැබැයි මේ කියන්නේ මේ හැම වැඩකට ම සල්ලි වියදම් කරගෙන ආණ්ඩුව කරගහන්න ඕන කියන එක නම් නෙවෙයි. මේ වැඩවලින් සෑහෙන ප්‍රමාණයක් අධීක්‍ෂණය කරන එක, නියාමනය කරන එක විතරක් ආණ්ඩුවෙන් වුනාම හොඳට ම ඇති.

මේ විදිහට විෂයය සීමාව හදුනාගත්තාට පස්සේ සළකා බලන්න පුළුවන් ඒ වැඩේට කරගහන්න ඇමැතිවරු කී දෙනෙක් උවමනා ද කියන එක. ඇමැතිවරු පත්කරන රටේ නායකයා හිතනවා නම් යම් වැඩක් තනියෙන් කරන්න හැකියාව තියෙන මන්ත්‍රීවරයෙක් ඉන්නවා කියලා ඔහුට හෝ ඇයට ඒ වැඩේ භාරදෙන්න පුළුවන්. හැබැයි තමන් වටේ ඉන්නේ ඒ තරම් ශක්තියක් නැති අය කියලා රටේ නායකයා සහසුද්දෙන් ම දන්නවා නම් ඒ වැඩේට දෙන්නෙක් තුන්දෙනෙක් පත්කරන්න වෙනවා. අපි මොකක් හරි බරක් උස්සද්දි වුනත් එහෙමනේ. තනියෙන් උස්සන්න පුළුවන් ඒවා තනියෙන් උස්සනවා. එහෙම බැරි ඒවා උස්සන්න තව අය හවුල් කරගන්නවා. හැබැයි එක වැඩේ දෙකක් බවට පත්කරගන්න තරම් අපි මෝඩ නෑ.

ඉතින් රටේ තියෙන අමාත්‍යාංශ ගණන තමයි ව්‍යවස්ථාවෙන් තීරණයකරන්න ඕන. ඒ එක්ක ම නියමකරගත යුතු දෙයක් තමයි ඒවාට අයත්වෙන ආයතන පාලනය වෙන්න ඕන විදිහ. උදාහරණයක් විදිහට කියනවා නම් මහ බැංකුව පාලනය කළ යුතු විදිහ මුදල් නීති පනතිනුත් තවත් අණ පනත්වලිනුත් නියම කරලා තියෙනවා. ඒ හින්දා මහ බැංකුවේ පාලනය ගැන වදවෙන්න උවමනාවක් මුදල් ඇමැතිට නෑ. චාරිත්‍රයක් විදිහට මුදල් නෝට්ටුවල අත්සන් කරන එකයි අප්‍රේල් 30 වැනි දා ට කලින් මහ බැංකුවෙන් තමන්ට භාරදෙන වාර්ෂික වාර්තාව භාරගන්න එකයි තමයි එයා කරන්නේ. ඊට අමතර ව, අලුත් අන පනත්, නීති රීති හඳුන්වාදෙන්න ඕන වෙලාවට ඒ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය එක්කත් පාර්ලිමේන්තුව ඇතුළෙත් වැඩකරන්න මුදල් ඇමැතිට වෙනවා. ආණ්ඩුවට සල්ලි ඕන වුනා ම බැඳුම්කර වගේ ඒවා විකුණලා ණය ඇරන්දෙන්න කියලා මහ බැංකුවට කියන්නත් මුදල් ඇමැතිට සිද්දවෙනවා.

මේ විදිහේ ක්‍රමයක් අනුගමනය කරනවා නම් රටේ තියෙන බො‍හෝ ආයතනවල පාලන බරින් අමාත්‍යවරු නිදහස් කරවන්න හරි ඈත් කරවන්න හරි පුළුවන්. ඉතින් බරින් අඩු අමාත්‍යාංශයකට කරගහන්න ඇමැතිවරු දෙතුන් දෙනෙක් ඕන කියලා කියන්න ඊට පස්සේ කාටවත් බෑ.

රටේ තියෙන්න ඕන අමාත්‍යාංශ මොනවා ද කියලා හඳුනාගෙන අදාළ නම්වලින් ම ව්‍යවස්ථාවට ඇතුළත් කරන එකේ තවත් ප්‍රයෝජනයක් තියෙනවා. මූලික ම දේ තමයි එහෙම කළා ම මිනිස්සුන්ට දැනගන්න පුළුවන් අදාළ කාර්යය අයිති මොන අමාත්‍යාංශයට ද කියන එක. දැන් තියෙන විදිහට මිනිස්සු දන්නේ ලොතරැයි අයිති විදේශ කටයුතු අමාත්‍යාංශයට වගේ දේවල් විතරයි. පරිගණක ශිල්පය දියුණුවෙලා තියෙන මේ කාලේ අපි සමහර තොරතුරු හොයාගන්නේ අදාළ අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ගිහිල්ලා. ඒත් දැන් අපේ රටේ ඒක කරන එකත් ලේසි නෑ. මොකද කෙහෙල් මොටෙයියෝ ගලවා ගලවා අතන මෙතන හිටවනවා වගේ අමාත්‍යාංශ හදන නිසා ඒවාට අදාළ වෙබ් අඩවි පවත්වාගෙන යන එකත් විහිළුවක් බවට පත්වෙලා. ඊට අමතර ව, තවත් දෙයක් මේ ලේඛකයා දන්නවා. අමාත්‍යාංශවලත් ඇමැතිවරුන්ගේත් විස්තර මහ බැංකු දිනපොතේ පළකරපු කාලයක් තිබුණා. ඒත් පෝයෙන් පෝයට අමාත්‍යාංශ හදන්න පටන්ගත්තාට පස්සේ, ඇමැතිවරු වෙනස්කරන්න පටන්ගත්තාට පස්සේ ඒ වැඩේ අත්හරින්න මහ බැංකුවට සිද්දවුනා.

වෙනත් රටවල් එක්ක විවිධ ගිවිසුම් අත්සන් කරද්දි ඒවාට බොහෝ වෙලාවට මැදිහත්වෙන්නේ අපේ රටේ අමාත්‍යාංශ. මේ විදිහේ ගිවිසුම්වලින් එකඟවුනු කාරණා ඉදිරියට කරගෙන යන්න පහසුවෙන්නේ ඒවාට සම්බන්ධ වුනු පාර්ශ්වවල නම් සහ විෂයය සීමාවන් වෙනස් නො වී මුල් විදිහට ම තිබෙනවා නම්. ඒත් දැන් අපේ රටේ කටයුතු කෙරෙන විදිහට සිද්දවෙන්නේ මොකක්ද කියලා හිතාගන්නත් බෑ. ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ එක අමාත්‍යාංශයක් එක්ක. වැඩේ පටන්ගන්න වෙලා තියෙන්නේ වෙනත් අමාත්‍යාංශයක් එක්ක. වැඩේ කරගෙන යන්න වෙලා තියෙන්නේ තවත් අමාත්‍යාංශයක් එක්ක. ඒක මොන වෙලාවේ වෙනස්වෙයි ද කියලා සක්කරයා තියා රටේ ජනාධිපතිතුමාවත් දන්නේ නෑ. ඉතින් ලෝකයට විහිළු සපයන රටක් බවටත් අපේ රට පත්වෙලා. ඇයි අමාත්‍යාංශය ඒ විදිහට ම තියාගෙන ඇමැති ව විතරක් වෙනස්කරන්න බැරි?

මේ හැම කාරණයක් ගැන ම හොඳින් හිතලා බැලුවොත් පැහැදිළි වෙයි ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න ඕන ඇමැතිවරු ගණන නොවන බව. නීතියෙන් නියම කරන්න ඕන රටේ තියෙන්න ඕන මොන මොන අමාත්‍යාංශ ද කියන එක. වර්ගකිරීම හරියට කරලා තියෙනවා නම් ඒවා කෙටි කාලයක් ඇතුළත වෙනස්කරන්න උවමනා වෙන්නේ නෑ. ඉතින් ඒ වර්ගකිරීමට ගැලපෙන විදිහටත් තමන් ගේ මන්ත්‍රීවරුන් ගේ ශක්තිය ගැනත් තක්සේරු කරලා අවශ්‍ය ඇමැතිවරු ප්‍රමාණය පත්කරන එක රටේ නායකයාට පුළුවන්.

මන්ත්‍රීවරු තෝරගන්න, ඇමැතිවරු පත්කරගන්න ඕන විදිහ ගැන වෙනත් අදහසක් මේ ලේඛකයාට තියෙනවා. ඒක ගැන වෙන ම ලිපියකින් කියන්නම්. ඊට කලින් තව දෙයක් කියන්න ඕන. ඒ, කලින් ලිපියකින් තැපැල් අමාත්‍යාංශයක් උවමනා නෑ කියපු කතාව ගැන. ඒ සම්බන්ධයෙන් කිහිප දෙනෙක් ම ප්‍රශ්න කරලා තිබුණා.

තැපැල් කන්තෝරුවලින් කරන්නේ ලියුම් භාරගන්න එකයි බෙදන එකයි. මේ ලේඛකයා හිතන විදිහට මේ තැපැල් කන්තෝරු ජාලය ඊට වඩා සෑහෙන වැඩ ප්‍රමාණයක් කරන්න යොදාගන්න පුළුවන්. ඒ වගේ ම, ඒක මුදල් මවන යන්තරයක් බවට පත්කරලා අපේ මිනිස්සු ශක්තිමත් කරන මාර්ගයක් බවට පත්කරන්නත් පුළුවන්. මේ ගැන මෙයට පෙර ලියූ ලිපියකින් දෙකකින් කියලා තියෙනවා.

මේ ජාලයත් එක්ක සන්සන්දනය කරන්න පුළුවන් තවත් ව්‍යාපාරික ජාලයක් රටේ තියෙනවා. ඒ අය භාරගන්නේ බෙදන්නේ ලියුම් වගේ දේවල් නෙවෙයි. ඒ අය ගනුදෙනු කරන්නේ සල්ලි. අපි ඒ ආයතනවලට කියන්නේ බැංකු කියලා. යම් යම් අඩුපාඩු තිබුණත් අපේ රටේ බැංකු ක්‍රමය හොඳින් ක්‍රියාත්මක වෙනවා. අපි පහසුව සඳහා වානිජ බැංකු ගැන විතරක් හිතමු. අපේ රටේ මේ වෙද්දි බලපත්‍රලාභී වානිජ බැංකු 25 ක් තියෙනවා. ඒ අතරින් ලංකා බැංකුවයි මහජන බැංකුවයි විතරයි කෙළින් ම රජයේ පාලනය යටතේ ක්‍රියාත්මක වෙන්නේ. අනෙක් හැම දේශීය බැංකුවක් ම ලැයිස්තුගත සමාගම් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ බැංකු ජාලය සම්බන්ධයෙන් බරක් මුදල් ඇමැතිට නෑ. බැංකු අධීක්‍ෂණ වැඩ මහ බැංකුව කරනවා. මහ බැංකුවේ තියෙන බැංකු අධීක්‍ෂණ, ව්‍යවහාර මුදල්, දේශීය කටයුතු, ගෙවීම් සහ පියැවීම් වගේ දෙපාර්තමේන්තුත් මූල්‍ය බුද්ධි ඒකකයත් මේ වැඩේට යම් යම් ආකාරවලින් සම්බන්ධවෙනවා. මේ වැඩවලට සෘජුව සම්බන්ධවෙන සේවක පිරිස දෙසිය පනහක් විතර ඇති. සේවක සුභසාධන හා පරිපාලන කටයුතුවලට සම්බන්ධ වෙන අයත් එක්ක ම ගත්තත් තුන්සියයකට අඩු පිරිසක් තමයි අපේ බැංකුවල වැඩ නියාමනය කරන්න මහ බැංකුව පැත්තෙන් දායකවෙන්නේ.

මේ විදිහට අපේ බැංකුවල වැඩ නියාමනය කෙරෙනවා නම් ඇයි ආණ්ඩුවට බැරි ඒ හා සමාන ක්‍රමයක් ඇති කරලා තැපැල් කන්තෝරුවල වැඩ කරගෙන යන්න? ඒකට දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ ඇතිකරගෙන දඟලන්නේ ඇයි? ලියුම් ගනුදෙනු කරනවා කියන්නේ මුදල් ගනුදෙනු කරනවාටත් වඩා බරපතල වැඩක් ද? ඉතින් මෙහෙම හිතද්දි තැපැලේ බලය තියෙන්න ඕන කා අතේ ද කියන එක ගැනත් ඒකේ විමධ්‍යගත කරන්න දෙයක් තියෙනවා ද කියන එක ගැනත් හිතලා බලන්න පුළුවන්.

වරුණ චන්ද්‍රකීර්ති ෴

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress