සිංහල වෙදකමට චීන බෙහෙත්!
Posted on July 3rd, 2017

වරුණ චන්ද්‍රකීර්ති

2013 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ තම මව ගේ අවමංගල්‍ය කටයුතුවලටත් හත් දවසේ පින්කමටත් සහභාගීවෙලා ආපහු චීනයට ගිය මේ ලේඛකයාට ඇය ගේ තුන් මාසයේ පින්කම වෙනුවෙන් නැවතත් ලංකාවට එන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඉතින් ඇය වෙනුවෙන් පිනක් කරන්නම් කියලා හිතාගෙන මේ ලේඛකයා ගියේ චීනයේ පූථුඕ කන්දට. මේ කන්ද චීනයේ තියෙන බෝධිසත්ව මණ්ඩල හතරින් එකක්. මහ මුහුදේ පිහිටලා තියෙන මේ කන්ද කැපකරලා තියෙන්නේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්වහන්සේ වෙනුවෙන්. මේ කන්දේ විහාරස්ථාන විශාල ප්‍රමාණයක් ඉදිකරලා තියෙනවා. ඉතින් පූථුඕ කන්ද කියන්නේ හිතේ හැටියට පිනක් දහමක් කරගන්න පුළුවන් තැනක්. හැබැයි මේ ලිපිය ලියන්නේ ඒක ගැන විස්තර කියන්න නම් නෙවෙයි.

පූථුඕ කන්දට කරපු වන්දනාවෙන් පස්සේ ආපහු පෙයි-චිං නුවරට ගිහිල්ලා දවස් දෙක තුනක් යද්දී මේ ලේඛකයාට සිද්දවුනා විශ්වවිද්‍යාලයේ තියෙන වෛද්‍ය මධ්‍යස්ථානයට යන්න. ඒ, තමන්ට වැළැඳිලා තිබුණු උදරාබාධයකට බෙහෙත් ගන්න. චීනයේ රෝහල්වල දී මුලින් ම කරන්න ඕන සුළු මුදලක් ගෙවලා අංකයක් ලබාගන්න එක. ඊට පස්සේ රෝහලේ ඉන්න වෛද්‍යවරයෙක් ළඟට යොමුකරනවා. ඉතින් තමන්ට යන්න කියපු කාමරයට මේ ලේඛකයා ගියා. ඒ කාමරයේ හිටියේ මැදිවියේ දොස්තර මහත්තයෙක්. තිබුණු අමාරුකම් ගැන විස්තර අහපු දොස්තර මහත්තයා මේ ලේඛකයාට කිව්වා වැළැඳිලා තියෙන්නේ අජීර්ණයක් හින්දා චීන වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්න එක වඩා සුදුසුයි කියලා. එහෙම කියලා ඒ වෛද්‍ය මධ්‍යස්ථානයේ ම තියෙන චීන වෙද අංශයට යන්න මග පෙන්නුවා. ඉතින් තමන්ට උවමනා කරන වෙදකම් කරගන්න මේ ලේඛනයාට පුළුවන් වුනා.

චීනයේ දී හෙම්බිරිස්සාවක් හැදිලා බටහිර වෛද්‍යවරයෙක් ළඟට ගියත් ඒ අය සාමාන්‍යයෙන් දෙන්නේ ක-ලී කියලා කියන චීන පේයාව වගේ දේවල්. ඒ කාලේ මේ දේවල් ගැන වැඩි දැනීමක් මේ ලේඛකයාට තිබුණේ නෑ. චීනයේ බටහිර වෛද්‍යවරු තමන් ගේ රටට ආවේනික වෙදකම් පහත් කරලා සළකන්නේ නැති බව විතරක් මේ ලේඛකයාට වැටහුනා. ඒත් මෑත කාලයේ දී තවත් දෙයක් දැනගත්තා. ඒ තමයි චීනයේ තියෙන නීතියක් ගැන. මේ නීතියේ හැටියට චීනයේ තියෙන සෑම බටහිර රෝහලක ම චීන වෛද්‍ය අංශයක් අනිවාර්යයෙන් ම පවත්වා ගෙන යා යුතුයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ වර්ධනය වෙලා ඉදිරියට ආපු මේ වෙදකමට හිමි තැන ලබාදෙන්න චීන ආණ්ඩුව ඒ විදිහට මැදිහත් වෙලා ඉන්නවා. ඒ වගේ ම, තමන් ගේ උරුමය පහත්කරලා කතාකරන පුරුද්දක් චීනයේ ඉන්න බටහිර වෛද්‍යවරුන් අතර නෑ. චීන වෙදකමේ හපන්කම් ගැන බටහිර වෛද්‍ය විද්‍යාවේ කෙළ පැමිණි මහාචාර්යවරු පවා පම්පෝරි කතා කියනවා.

ඉතින් චීන වෙදකමට තියෙන මේ පිළිගැනීම හින්දා චීන-බටහිර ඒකාබද්ධ රෝහල් පවා ඇතිකරන්න චීන්නු පෙළැඹිලා ඉන්නවා. පෙයි-චිං ෆර්ස්ට් හොස්පිටල් ඔෆ් ඉන්ටග්‍රේටඩ් චයිනීස් ඇන්ඩ් වෙස්ටර්න් මෙඩිසින් කියන රෝහල තියෙන්නේ මේ ලේඛකයා නිතර යන එන මාර්ගයක උතුරු පැත්තෙන්. පෙයි-චිං හොස්පිටල් ඔෆ් ඉන්ටග්‍රේටඩ් ට්‍රැඩිසනල් චයිනීස් ඇන්ඩ් වෙස්ටර්න් මෙඩිසින් කියන රෝහල තියෙන්නේ මේ නගරයට අයිති හයි-තියැන් දිස්ත්‍රික්කයේ. (මේ රෝහල්වල ඉංග්‍රීසි නම් කිව්වේ අපේ අයට වැටහෙන්නේ එහෙම කිව්වොත් තමයි කියන කාරණය සළකලා). මේ වගේ රෝහල් චීනයේ හැම තැන ම වගේ තියෙනවා.

තවත් කාරණයක් කියන්න ඕන. චීනයේ බටහිර වෙදකම් ජනප්‍රිය නාගරික මධ්‍යම පාංතික පිරිස් අතර. ගැමි ජනතාවත් සමාජයේ ඉහළ ස්ථරවලට අයිති මහා ධන කුවේරයොත් යන්නේ චීන බෙහෙත් ගන්න. තමන් දන්න හඳුනන එක්තරා වයසක වෙද නෝනා කෙනෙක් ඇපොයින්ට්මන්ට් එකක් දෙන්න යුවාන් 600 ක මුදලක් (ඒ කියන්නේ, රුපියල් දහතුන් දාහකට වඩා වැඩි මුදලක්) අයකරන බව මේ ලේඛකයා දන්නවා. හැබැයි හුසමක් කටක් ගන්නේ නැතිව ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න මේ වෛද්‍යවරුන්ට රෝහල්වලින් ඉඩ දෙන්නේ නෑ. මේ කියපු වෙද නෝනාට දවසකට බලන්න පුළුවන් ලෙඩ්ඩු තිස්දෙනෙක් විතරයි කියලා අදාළ රෝහලින් නියමකරලා තියෙනවා. ඒ, එහෙම නොවුනොත් වෛද්‍යවරයාට උවමනාකරන විවේකය නො ලැබෙන හින්දා.

මේවා දකිද්දී අපි ගැන ඇතිවෙන්නේ මහා දුකක්. අපි අපේ සිංහල වෙදකම කොච්චර නම් පහළට දාලා ද කතාකරන්නේ. කසාය බීලා, තෙල් ගාගෙන දොස්තර මහත්තයෙක් ළඟටවත් යන්න අපි බයයි. වැරැදිලා හරි එහෙම කළොත් අපේ දොස්තර මහත්තුරු නෝනලා පරලවෙන විදිහ අපි දන්නවා. ඇත්තට ම මොකක්ද අපිට වෙලා තියෙන්නේ? ඇයි අපි අපේ දේවල්වලට මේ තරම් ගරහන්නේ? බොරුවට පංච මහා බලවේග කතා කිව්වාට අපේ ගම්වල ඉන්න වෙදමහත්වරුන්ට කිසි ම තැනක් දෙන්න මේ රටේ ඉන්න දැන උගත් පිරිස කැමැති නෑ. ඒ අයට ලැබිලා තියෙන්නේ හතරවැනි මට්ටමේ පිළිගැනීමක්. ඉහළින් ම ඉන්නේ බටහිර වෙදකමේ පරප්‍රාප්ත අපේ දොස්තර මහත්තුරු නෝනලා. ඊ ළඟට ආයුර්වේද වෛද්‍යවරු. දැන් ආණ්ඩුවේ ආයුර්වේද වෛද්‍ය පිඨයේ ඉගෙනගන්නේ බටහිර වෛද්‍යවරයකු වීමේ බලාපොරොත්තුවෙන් උසස් පෙළ ජීව විද්‍යා විෂයයන් හදාරලා ඒ වැඩේ කරගන්න ලකුණු මදිවෙච්ච අය. ඊ ළඟට හෝමියෝපති වෛද්‍යවරුන්ටත් තැනැක් තියෙනවා. අන්තිමට තමයි අපේ සිංහල වෙදමහත්තුරු ඉන්නේ. ඒ අය ගේ වැඩ බලන්න, අධීක්‍ෂණය කරන්න ආයුර්වේදය ඉගෙනගත්ත අය ව පත්කරලා ඉන්නවා.

අපේ සිංහල වෙදකම කියන්නේ වෛද්‍ය පීඨයක දී විතරක් උගන්නන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ගුරුවරයා ගේ සේවනේ ඉඳිමින් ඉගෙනගත යුතු එකක්. චීන වෙදකම උගන්වන්නෙත් මීට සමාන ක්‍රමයකට ම කියලා මේ ලේඛකයා දන්නවා. වෛද්‍ය පීඨයකින් මූලික අධ්‍යාපනය ලබපු අය වෙදමහත්තයෙක් ගේ වෙද නෝනා කෙනෙක් ගේ අත් උදව්වට යනවා. ඒ විදිහට ගුරුවරයෙක් සෙවනේ කාලයක් තිස්සේ ශිල්පය ප්‍රගුණකරනවා.

මේ කාරණය ගැන හිතද්දී චීනයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා මේ ලේඛකයාට හිතෙනවා. ඒ, චීන වෙදකම නෙවෙයි. කැමැති කෙනෙක් චීන වෙදකම ඉගෙනගත්තට කමක් නෑ. බටහිර වෙදකම් ඉගෙනගන්න අපිට, මීට හරියට ම අවුරුදු 100 කට කලින් (ඒ කියන්නේ 1917 දී, කල්කටාවට ගිහිල්ලා අවුරුදු තුනක් ඉගෙනගෙන ආපු පණ්ඩිත ගේබ්‍රියල් පෙරේරා වික්‍රමආරච්චි වෙදමත්තයා අනුගමනය කරලා අරිෂ්ඨ, කල්ක, ගුලිවලට මුල් තැනක් දෙන ආයුර්වේදය ඉගෙනගන්න අපිට, ඕන නම් චීන වෙදකම වුනත් ඉගෙනගන්න බැරිකමක් නෑ.

ඒත් අපිට අපේ ම කියලා හොඳ වෙදකමක් තියෙන හින්දා වැඩි බරක් ඒ වෙනුවෙන් යොදන එක තමයි වඩාත් ම වටින්නේ. ඉතින් අපේ සිංහල වෙදමහත්තුරුන්ට පිළිගැනීමක් ලැබෙන වැඩපිළිවෙලක්, අපේ වෙදකමට සැළකිල්ලක් ලැබෙන වැඩපිළිවෙලක් අපි සකස් කරගන්න ඕන. මුලින් ම කළ යුත්තේ ඒ අය ව ආයූර්වේදය ඉගෙනගත්ත අය ගේ පාලනයෙන් නිදහස් කරගන්න එක. ආයූර්වේදය කියන්නෙයි අපේ සිංහල වෙදකම කියන්නෙයි එකක් නෙවෙයි. ඉතින් අපේ වෛද්‍යවරුන් ගේ වැඩ ගැන බලන්න ඕන ඒ අයගෙන් ම පත් කරගත්ත සභාවකින්. එහෙම කළොත් ආයූර්වේදය ඉගෙනගත්ත අයට පුළුවන් ආයූර්වේද වෛද්‍යවරු ගැන හොඳින් හොයලා බලන්න තමන් ගේ කාලයත් හැකියාවත් වෙන්කරන්න.

ඉතින් චීනයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම තමයි අපේ වෙදකම ඉහළට නංවන්න නම් කළ යුත්තේ මොනවාද කියලා හොයලා බලන එක. මේ වෙනුවෙන් විධිමත් අධ්‍යයනයක් කරන්න වෙනවා. එහෙම නැතුව මේ ලේඛකයා කරනවා වගේ උඩින් පල්ලෙන් කරුණු හොයලා බලලා මේක කරන්න බෑ. මේ දේවල් කරන්න නම් ඒ වෙනුවෙන් අපේ වෛද්‍යවරු කිහිපදෙනෙක්වත් සංවිධානය වෙන්න ඕන. පුළුවන් තරමින් සංවිධානය වෙලා තමන් ගේ අනන්‍යතාව රැකෙන විදිහට වෙදමහත්තුරු ගැන, ඒ අය ගේ කටයුතු ගැන හොයලා බලන තමන් ගේ ම පාලක සභාවක් පිහිටුවාගැනීමට උවමනා කරන හඬනැගීමේ වැඩපිළිවෙලකට මුල්වෙන්න ඒ අයට පුළුවන්. ආයුර්වේද ආධිපත්‍යයෙන් නිදහස් නො වී සිංහල වෙදකම ඉස්සරහට ගන්න පුළුවන් කියලා මේ ලේඛකයා හිතන්නේ නෑ.

අදීනකම රැකගන්න පුළුවන් වෙන්නේ අපේ දේ වර්ධනය කරගන්න උවමනාකරන මාර්ග සොයාගැනීමෙන් මිසක් පිටස්තර අයට බැන බැන ඉඳීමෙන් නෙවෙයි. චීනය කියන්නේ මේ විදිහට විවිධ මාර්ග හොයාගෙන තමන් ගේ හැකියාවන් වැඩිදියුණු කරගත්ත රටක්. ඒ අය අනුගමනය කරන ක්‍රම එකක් නෑර ඒ විදිහට ම අපිට අනුගමනය කරන්න පුළුවන් කියලා කාටවත් කියන්න බෑ. ඕනෑ ම රටක, ඕනෑ ම සංස්කෘතියක හොඳ දේ වගේ ම නරක දේත් තියෙනවා. ඉතින් චීනය වගේ මහා රටක තියෙන්න පුළුවන් අඩුපාඩුත් සුළුපටුයි කියලා කියන්න බෑ. ඒ විතරක් නෙවෙයි. ඒ අයට හොඳ හැම දෙයක් ම අපිට හොඳ වෙන්න පුළුවන්කමකුත් නෑ. ඒ වගේ ම ඒ හැම දෙයක් ම අපිට ගැලපෙන්න පුළුවන්කමකුත් නෑ. ඒත් බටහිරින් ඉගෙනගන්න අපිට, ඉන්දියාව කියලා හදලා තියෙන රටින් ඉගෙනගන්න අපිට, චීනයෙනුත් යමක් ඉගෙනගන්න බැරිකමක් නෑ. චීන්නු තමන් ගේ වෙදකම රැකගන්න, ඉස්සරහට ගන්න කරන දේ ආදර්ශයට ගන්න පුළුවන් එක දෙයක්.

ඉතින් අපේ සිංහල වෙදකම ඉස්සරහට ගන්න ක්‍රමයක් ගැන අපිට හිතලා බලන්න පුළුවන්. ඒ වෙනුවෙන් චීන ආදර්ශය විධිමත් විදිහට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ ආදර්ශය ගැන අපේ ආණ්ඩුවට කියලා දෙන්න පුළුවන්. එහෙම කරලා ඒ වෙනුවෙන් ඕන කරන නීති, අණ පනත් සම්මත කරවාගන්න පුළුවන්. ඉතින් මේ ගැන හිතන්න කාලය ඇවිල්ලා. මේ සම්බන්ධයෙන් අපේ වෙදමහත්තුරුන් ගේ අවධානය යොමුවෙයි කියලා මේ ලේඛකයා හිතනවා.

වරුණ චන්ද්‍රකීර්ති ෴

2 Responses to “සිංහල වෙදකමට චීන බෙහෙත්!”

  1. Wetta Says:

    ඉතාම වටිනා තොරතුරු රැසක් ලබාදුන් මේ ලිපිය ලිවුවාට බොහොම ස්තුතියි.

    සිංහල වෙද මහතුන් මුදලට වැඩ කරන මානසික දුප්පතුන් නොවන නිසා ඔවුන්ට එක්වී මෙවන් කටයුත්තක් කිරීමට අවශ්‍ය මුදල් නම් වූ අතීසාර වස්තුව හිඟ බව නම් සහතිකයි. ඊට සහයෝගය දැක්වීමට අවශ්‍ය ඉතා ඉහල මට්ටමක ප්‍රඥාවක් දැන් පවතින රුකඩ පාන්ඩුවේ මෝඩයින්ගේ නුවනේ නැති නිසා එය ලබාදෙන්න පුළුවන් ස්වෙච්චා ආයතනයක් ඉක්මනින් බිහි වුනොත් අපුරුයි කියලා හිතෙනවා.

  2. Christie Says:

    ඔබේ ලිපිය ඉතා වැදගත්.

    සින්හල වෙදකම නැත්නම් වට්ටෝරු වෙදකම 56යේ ඊනියා විප්ලවෙයෙන් පස්සෙ වලට ගියා.

    චීන වෙදකමෙත් අපේ වට්ටොරු වෙදකම වගේ පත අට එකට හිඳල තමයි දෙන්නෙ. කටු ගැහිල්ල, ඇඟපත මිරිකීම එයට අයත්.

    බටහිරත් හරියට චීන වෙදකම පතලයි.

    Sඉන්හල වෙදකම අද නැත්තටම නැතිවී තරම්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress