වඩුවා දුටුවා ද?
Posted on July 9th, 2017

වරුණ චන්ද්‍රකීර්ති 

අටේ පන්තියෙන් නවය පන්තියට සමත්වුනා ම ශිල්පීය විෂයයක් ඉගෙනගන්න මේ ලේඛකයාට සිද්දවුනා. ඒ, අවුරුදු බර ගණනාවකට ඉස්සර. දැනුත් එහෙම වෙන්න ඇති. පොතේ පතේ දේවල් විතරක් ගිරව් වගේ කියවා කියවා ඉන්නවාට වඩා මොකක් හරි ශිල්පයක් ඉගෙනගන්න එක වටිනවානේ. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් දීලා තිබුණු ඒ මහඟු ඉඩකඩ ප්‍රයෝජනයට ඇරගෙන මේ ලේඛකයා තෝරගත්තේ වඩුවැඩ. මේ වගේ වැඩක් ඉගෙනගත්තා ම ගෙදර දොරේ තියෙන පුංචි පහේ වැඩක් හරි කරගන්න බැරිකමක් නැහැනේ. කොහොම හරි සතියකට පැය කිහිපයක් වඩුවැඩ ඉගෙනගැනීමේ වරම මේ ලේඛකයාට ලැබුණා. වඩුවැඩ ගුරුතුමා බොහොම පිළිවෙලට වැඩ කළ කෙනෙක්. පාසල් ගුරුවරයෙක් වුනා ම හොඳින් මැදපු ඇඳුමක් ඇඳගෙන පිළිවෙළට වැඩට යන්න එපායෑ. එහෙම වුනොත් තමයි ළමයි වුනත් පිළිවෙලකට හදාගන්න පුළුවන් වෙන්නේ.

මේ ශිල්පය ඉගෙනගැනිල්ල සතියකට පැය කිහිපයකට සීමා වුනත් අවුරුදු තුනක් ඉගෙනගත්තා ම ලැබෙන්නේ සුළුපටු දැනුමක් නෙවෙයිනේ. ඉතින් අපොස සාමාන්‍ය පෙළ විභාගයට වාඩිවෙන්න කලින් මේ ලේඛකයාට පුළුවන් වුනා වඩුවැඩ ගැන සෑහෙන දැනුමක් අත්පත් කරගන්න. කියත අල්ලන්න ඕන කෝණය මොකක්ද කියලා ඇහුවොත් ඒකට අදාළ උත්තරේ ටක්කෙට ම දෙන්න මේ ලේඛකයාට අද වුනත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. වැඩට ගන්න කියත් වර්ග ගැන, යතු කැට ගැන, බුරුම – අවගාර ගැන, විවිධ පූට්ටු වර්ග ගැන, ප්‍රක්‍ෂේපණ අඳින විදිහ ගැන, … . අපොයි, ඉගෙනගත්ත දේවල් මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් ලැබුණු ඒ ඉඩෙන් උපරිම ප්‍රයෝජන ගත්ත මේ ලේඛකයාට පුළුවන් වුනා වඩුවැඩට විශිෂ්ඨ සාමාර්ථයක් ලබාගෙන සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩ පෙන්නන්න.

කොහොම වුනත් පොඩි රහසක් කියන්න තියෙනවා. මේ ලේඛකයාට අදටත් බෑ ඇණයක් ගහන්න, ලීයක් කපාගන්න. සමහර විට ඇණවල, මිටිවල, කියත්වල, ලෑලිවල අඩුපාඩු තියෙනවා වෙන්න පුළුවන්. වායුගෝලයේ ඇතිවෙන වෙනස්කම් වුනත් මේවාට බලපානවා ද දන්නේ නැහැනේ. මේ වගේ බරපතල දේවල් ගැන මෙලෝ හසරක් දන්නේ නැති අය නම් ඇණ, මිටි, කියත්වලින් සෙල්ලම් කරනවා. හොඳ ම උදාහරණය තමයි මේ ලේඛකයා ගේ නිවසේ වහළ ගහන්න ආපු හාදයා. ඒ මනුස්සයා අටේ පංතියවත් පාස්වෙලා නෑ. ඉතින් කොහොම ද වඩුවැඩ ගැන පිළිවෙලකට ඉගෙනගන්නේ? ඒත් මොකක් හරි රහස් ක්‍රමයක් ප්‍රගුණ කරලා තියෙන හින්දා ඒ හාදයා වහළවල් ගහනවා වගේ වැඩ කරන්න දන්නවා.

ඉතින් ගෙදර දිග පළල මැනපු ඒ බාසුන්නැහේ කිව්වා බාල්ක, යට ලී, පරාල, රීප්ප මේ මේ ප්‍රමාණවලින් ගේන්න කියලා. ඇණ වර්ග කීපයකිනුත් කිලෝ යම් යම් ප්‍රමාණයක් ගේන්න කියලා. මොකද ඉතින්, උඩ නැගලා වහළ මනින්න තරම් දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයිනේ. කොහොම වුනත් ගමේ මනුස්සයානේ. හොඳට වහළ ගහන්න දන්නවා කියලා අලුතින් ගෙවල් හදපු අයත් රෙකමදාරු කළානේ. ඉතින් ඒ මනුස්සයා කියපු විදිහට බඩු මුට්ටු ගෙනැල්ලා දෙන්න මේ ලේඛකයා කටයුතු කළා. ගෝලයෝ දෙතුන් දෙනෙක් එක්ක ආපු බාසුන්නැහේ වහළ ගැහුවා. පරාල, රීප්ප, ඇණ ඉතිරි වුනෙත් නෑ. පොඩි පොඩි හුලස් කෑලි කැපුනා ඇරෙන්න බඩු මුට්ටු නාස්ති වුනෙත් නෑ. ඇත්තට ම ඒ මනුස්සයා කොහොම ද එහෙම කළේ?

මේක තමයි අපේ උගත්කමේ රහස. අපි ඉවරයක් නැතිව පොත්පත් කියවලා විභාග පාස්කරලා තියෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, පළමු උපාධිය විතරක් නෙවෙයි ආචාර්ය උපාධි පාස්කරන්න පවා අපිට පුළුවන් වෙලා තියෙනවා. අපේ මහත්තයා ගමට ම ආඩම්බරයක්” කියලා මේ ලේඛකයා වගේ විභාග පාස්කරපු අය දැක්කා ම ගමේ පන්සලේ හාමුදුරුවොත් කියනවා. ඒ විතරක් නෙවෙයි. අහළ පහළ ගම්වල හාමුදුරුවරුත් අපේ ගුණ වනනවා. වහළවල් ගහන අර හාදයාට මහත්තයා” කියලා ඒ මනුස්සයා ගේ බිරින්දැවත් කියන්නේ නැතුව ඇති.

මෑතක ඉඳලා අපේ මහත්තුරු කියන තව කතාවක් තියෙනවා. ඒ අය කියන විදිහට අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කිසිම අධ්‍යාපනයක් නැති මී හරක් ටිකක්. ඉතින් මේ අපේ මහත්තුරු කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න නම් පළමු උපාධියවත් සමත්වෙලා ඉන්න ඕන කියලා. ඒ වෙනුවෙන් නීති පනවන්න ඕන කියලා ඒ අය දවල් රෑ නැතුව ෆේස්බුක් එක හරහාත් කියනවා. ඒත් මේ නූගත්තු ඒ විදිහට නැගෙන මහා හඬට කන්දෙන්නේ නෑ. මේ ලේඛකයා අපේ මහත්තුරු කියන දේ ගැනත් හිතලා බැලුවා.

කොටි ත්‍රස්තවාදී උවදුර මඩින්න කරපු මෙහෙයුම ‍අවසන් වුනේ 2009 අවුරුද්දේ දී. ඒ කාලේ අපේ පාර්ලිමේන්තුවේ හිටියා ගාමිණී ලක්‍ෂමන් පීරිස් මහාචාර්යතුමා වගේ මහා උගත් මහත්තුරු. ඒත් ජනාධිපතිකම කළේ ඒ තරම් උගත්කමක් නැති කෙනෙක්. අනේ ඒ නූගතා වෙනුවට පීරිස් මහාචාර්යතුමා ජනාධිපතිකම කළා නම්? පීරිස් මහාචාර්යතුමාට සිංහලත් ඉංග්‍රීසිත් චතුර විදිහට වතුර වගේ කතාකරන්න පුළුවන්. නීතිය ගැනත් මහා පුදුමාකාර දැනුමක් තියෙනවා කියලානේ කියන්නේ. දැන් තියෙන “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව” පවා එතුමා මුල්වෙලා ආරම්භ කරපු එකක්නේ. ඒ තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ගේ නායකත්වයෙන් 1994 දී අත්පත් කරගත්ත ජනතා ජයග්‍රහණය” තහවුරුකරන්න කරපු මුල් ම කටයුත්ත. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිකමට ආයුබෝවන් කියලා දේශපාලනයට ආපු පීරිස් මහාචාර්යතුමාව අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමැතිතුමා විදිහට පත් කෙරුණා. උගතුන්ට තැන දුන්නා ම කරන්න පුළුවන් දේවල් කොච්චරක් නම් තියෙනවා ද!

ඉතින් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන් මහාචාර්යකමක් තියෙන කෙනෙක්ට විතරයි කියලා නීතියෙන් නියම කරගෙන තිබුණා නම් එතුමාට මේ රටේ ජනාධිපති වෙන්නත් තිබුණා. මහින්ද රාජපක්‍ෂ මහත්තයාට තංගල්ල නගර සභාව වගේ තැනක නාගරික මන්ත්‍රීකමක් කරගෙන ඉන්න තිබුණා. ඒත් අපේ රටේ උගතුන්ට තැනැක් නැහැනේ.

පාර්ලිමේන්තුවේ, රජගෙදර විතරක් නෙවෙයි. හැම තැනැක ම මෙහෙමයි. බලන්න අපේ වාහනයක් කැඩුණා ම හදන්නේ කවුද? අපේ රේඩියෝ එකක්, ටී වී එකක් කැඩුණා ම හදන්නේ කවුද? කිසිම සුදුසුකමක් නැති මිනිස්සුනේ. ඒ විතරක් ද? බලන්න අපේ දළදා පෙරහැරේ එහෙම නටන බෙර ගහන අය දිහා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පස් පාගන්නවත් සුදුසුකමක් නැති අයනේ. කොහෙ හරි ගමක ඉන්න ගුරුන්නාන්සේ කෙනෙක් යටතේ නටන්න, බෙරගහන්න ඉගෙනගෙන ඇවිල්ලා පෙරහැරේ නටනවා, බෙරගහනවා. මේ අය අපේ සෞන්දර්ය උපාධිධාරීන් අහලකින්වත් තියන්න පුළුවන් ද? ඉතින් අපේ ආණ්ඩුව කරන්න ඕන නැටුම් කලාවේ කෙළ පැමිණි අපේ උපාධිධාරී තරුණ තරුණියන්ට ගුරු පත්වීම් දීලා තව තවත් උපාධිධාරීන් බිහිකරන්න කටයුතු කරන එක නෙවෙයි ද?

අපේ රටේ මහ දැවැන්ත බුදු පිළිම හදලා තියෙනවා. රජ කාලේ හදපු ඒවා නෙවෙයි. මේ මෑත කාලේ හදපු ඒවා. වෙහෙරහේනේ, වැවුරුකන්නල, දඹුල්ලේ, ඇයි අර කුරුණෑගල ගල උඩ. මේ හැම එකක් ම වගේ ඒ ඒ පන්සල්වල හාමුදුරුවරු, දායක සභා, වෙළෙඳ සංගම් සම්බන්ධවෙලා කරපු වැඩ. ඔය වගේ වැඩ කරද්දි වුනත් අපේ උගත් අයට තැනැක් ලැබෙන්නේ නැහැනේ. ඒ වැඩවලට ඕනකරන සල්ලි හොයන්න, ඒ අරමුදල් කළමනාකරණය කරන්න, ඔය වගේ තව කොච්චරක් නම් වැඩ කරන්න තියෙනවා ද. ඒත් උගතුන්ට නිසි තැන නො දී තමයි මේ හැම වැඩක් ම කරන්නේ.

මේ අවුරුද්දටත් ලබන අවුරුද්දටත් ඌව වෙල්ලස්ස මුල් කරගෙන ඇතිවෙච්ච උඩරට මහ කැරැල්ලට අවුරුදු 200 ක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේක සමරන්න ලිපි ලියනවා, දේශන පවත්වනවා වගේ ම තව වැඩත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම්, වෙල්ලස්ස පැත්තේ මහා සිංහ ස්මාරකයක් හදන්න පුළුවන්. වෙහෙරහේනේ, වැවුරුකන්නල වගේ තැන්වල මහා බුද්ධ ප්‍රතිමා හදපු අපේ අයට දැවැන්ත සිංහ ස්මාරකයක් හදන එක වැඩක් නෙවෙයි. මේ වැඩකින් අපේ අභිමානය වඩවනවා වගේ ම ඒ පැත්තේ මිනිස්සුන් ගේ ජීවිතත් පෝෂණය කරන්න පුළුවන්. අපි හිතමු ඒ පැත්තේ බිමක මහජන චත්‍රරශ්‍රයකට ඉඩක් වෙන්කරලා ඒ මැද්දේ හදන පීඨිකාව උඩ නැගී සිටින සිංහ රාජයකු ගේ ප්‍රතිමාවක් නිර්මාණය කරනවා කියලා. මේ වැඩේ කරන්න පුළුවන් කාට ද?

ආණ්ඩුවට මෙහෙම දෙයක් කරන්න තියා හිතන්නවත් බැරි බව අපි දන්නවා. රාජ්‍ය තන්ත්‍රයේ කාර්යක්‍ෂම බවත් අපි දන්නවා. ඒ හින්දා අපිට කරන්න වෙන්නේ වෙන පැත්තක් දිහා බලන්න. මේ ලිපිය කියවන අපේ උගත් අයට හිතෙන්න පුළුවන් මේ කියන දේවල්වලින් තමන් ව අවඥාවට ලක්වෙනවා කියලා. ඇත්තෙන් ම, එහෙම කරන අදහසක් මේ ලේඛකයාට නෑ. සිංහ ස්මාරකයක් හැදීමට කරපු මේ යෝජනාව ඇත්තක් කරගන්න අපේ උගත් අයටත් දායකවෙන්න පුළුවන්. මේ වගේ වැඩකට ඔන කරන සැලැසුම් ඇඳලාදෙන්න අපේ උගතුන්ට පුළුවන්. ඉංජිනේරු දායකත්වය ලබාදෙන්නත් ඒ අයට පුළුවන්. වෙබ් අඩවියක් ආරම්භ කරලා මංගත විදිහට මුදල් හොයලා දෙන මාර්ගයක් සකස්කරන්නත් මැදිහත්වෙන්නත් පුළුවන්. නීති ආධාර වගේ උවමනාකම් පවා සපයලා දෙන්න පුළුවන්.

මේ මොනවා කළත් උගත්තු එක දෙයක් දැනගන්න ඕන. ඒ තමයි මේ වගේ වැඩක් ඉස්සරහට කරගෙන යෑමේ ජවය තියෙන්නේ අපි නූගත් කියලා හංවඩු ගහලා ඉන්න මිනිස්සු ළඟ කියන එක. ඉතින් අපේ උගත්තුන්ටයි නූගත්තු කියලා අඩුතක්සේරුවට ලක්කරලා තියෙන අයටයි අත්වැල් බැඳගන්න පුළුවන් නම් මේ සිංහයා ව නැගිට්ටවන එක අමාරු වැඩක් වෙන්නේ නෑ.

වරුණ චන්ද්‍රකීර්ති ෴

4 Responses to “වඩුවා දුටුවා ද?”

  1. Senevirath Says:

    හරි යටම හරි ස්තුතිය් යොදා අල හැදුවේ සාමාන්‍ය අය නැතිකෙරුවේ වත්මන් උගත්තු ඉසුරුමුණියට වින කලෙත් වත්මන් උගත්තු

  2. Christie Says:

    වරුන අපිට ලොකු ප්‍රස්න තියෙනවා. කාර්මික ඉගෙනීම නැතිකර දැම්මෙ කව්ද. කාර්මික විද්යාලයට යාබදව සින්හල නැටුම් බෙරවාදනය පටන්ගත්තෙ නිදහස ලැබෙන්න පෙර. ඒකෙ ඉගෙනගත් අය ස්කෝලවල ගුරුවරු වගෙ පත්කලා. බන්ඩ ඇවිල්ල ඉන්දියාවෙ ගිහින් උගත් උන් දැම්ම.බන්ඩගෙ උන් ඇවිල්ල සින්හලයට කෙලියෙ ඉන්දියාවත් එක්ක.

    Do you know tradesmen are paid well in the West?

  3. aloy Says:

    Waruna,
    I think your analogy is inappropriate. The carpenter (baas) knows his job, but he may not have ethics or training in that field. So when he gets the chance he does all kind of things with his authority. Thats what happened in our case particularly with our ruler. The best thing to do is before the theoritician is given a chance to dabble with other people’s destinies he should have been given some practical training. I believe most of so called academics should be given at least few years practical experience in the industry before they are given responsibilities in those fields.

  4. Wetta Says:

    මේ ලිපියේ එන වඩුවා කොහොමටවත් නුගතෙක් නෙමෙයි. අපි කොනක ඉඳන් වරද්දාගෙනයි ඉන්නේ අවුරුදු 500 ක් දිග සුද්දගේ ලනුව ගැට පිටින්ම ගිල දැම්ම නිසා.

    උගත්කම කියන්නේ මොකක්ද? යමක් ගැන හරි හැටි දැනුමක් ඇති බවයි. හරි හැටි දැනුමක් ගන්නේ කොහොමද? ඔන්න ඔතන තමයි අපි සුද්දගේ ලනුව ගිල්ලේ. උගත් කම කියන්නේ සුද්ද කියපු විදිහට කඩදාසි කෑල්ලක ලියල තියෙන සහතිකයක් කියල අපිත් හිතන්න ගත්ත. කඩදාසි කෑල්ලක් අතේ නැති එකා නුගතෙක් , එයාට කොච්චර වැඩ පුළුවන් වුනත් නුගතෙක්. පන්ති කාමරයක ඉඳගෙන ප්‍රශ්න පත්තරයක කොපිකරලා හරි කමක් නෑ උත්තර ලිවුවොත් උගත් කමක් තියෙන බව ඔප්පු වෙනවලු. පන්ති කාමරයක ඉඳගන්නෙ නැතුව දැනුමක් ලබන්න උගත්කමක් ගන්න බැරිද?

    දැන් බලන්න අපි හොඳට දන්න වික්කම-සිංහ චරිතය. 1972 නීති විද්‍යාලෙන් පිටවුනාලු, දිවුරුමුත් දුන්නලු, කිසි කෙනෙක් හීනෙකින්වත් අහල තියෙනවද එයා නඩුවකට පෙනී හිටිය කියල? අඩු ගන්නේ පැරදිච්ච නඩුවකට හරි? එහෙම නැත්තන් වෙනත් අධිකරණ කටයුත්තක වෘත්තිමය වශයෙන් යෙදුන කියල? අඩුගානේ නිකමට ලෝකෙට පේන්න හරි. නෑ. හැබැයි රෝල් කරපු කඩදාසියක් එක්ක ෆොටෝ අරන් ඇති, රාමු කරලා මොලයක් නැති බිත්ති රවටලා ඒවායේ අලයක් වගේ එල්ලලා ඇති. ඔය කඩදාසි කොලේ ඉතින් කොපි කරලා විභාග පාස් වෙලා ගත්ත වෙන්නත් පුළුවන්, අර අපොස උසස් පෙළ මදුරු කීටයාගේ ප්‍රශ්නේ වගේ තමයි. නැත්තන් ඉතින් ඔච්චරම හරියටම ඉගෙන ගත්තනං ඒවායින් වැඩක් කරලා පෙන්නන්න එපැයි? එහෙම වුනේ නැති නිසා, සහ දෙමවුපියෝ බලවත් සල්ලිකාර ප්‍රභූ වරු කියල සමහරු සලකන නිසා මොකක් හරි අමුතු කතාවක් නීති විද්‍යාලෙන් සිද්ධ වුනා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වෙතත් එයාට ඒ වෘත්තීය බැහැ කියල රටම දන්නවා. හැබැයි කඩදාසි රෝල අතේ තියෙන නිසා එයා මාර උගතෙක්. හැබැයි නඩු බෑ , වැඩ බෑ. නීති විද්‍යාලෙන් එලියට එන්නත් අවුරුදු 2කට කලින් තියාම සමාජයේ බලවත් දෙමවුපියෝ එයාව කැලණියේ ආසනයේ එජාප සංවිධායක කලේ උන්දැගේ අනාගතේ ගැන ගැන අමුතු යමක් තේරුන නිසා ලැජ්ජාව වහගන්නත් එක්ක වෙන්නත් ඇති.

    ඒත් අර මුළු වහලම අපුරුවට ඇස්තමේන්තු කරලා නොම්මර එකට හදපු වඩුවාගේ අතේ රෝල් කරපු කඩදාසියක් වෙනුවට තියෙන්නේ රෝල් කරපු බුලත් විටක් විතරක් නිසා එයා නුගතෙක්. කොහොමද අපේ මොලේ ?

    දැන් තේරෙනවනේ මොකක්ද උගත්කම කියන්නේ, නුගත්කම කියන්නේ කියල. මගේ මිම්මේ හැටියට අර වඩුවා පුදුම උගතෙක්, එයා වඩු වැඩ ගැන විශේෂඥ දැනුමක් සහ උගත් කමක් ඇති දක්ෂ වෘත්තිකයෙක්. අර කඩදාසි රෝල අතේ අරන් වැඩ බැරි බව දිනපතා රටට පෙන්නන මෝඩයා අන්ත නුගතෙක්. මට කරන්න දෙයක් නෑ, එක තමයි මට තේරෙන විදිහට සත්‍ය තත්වය.

    සුද්දා අවුරුදු 500ක් දිග ලනුව අපිට ගිල්ලනකම්ම අපේ සත් මහල් ප්‍රාසාද, සීගිරි බලකොටු තැනු සිවිල් ඉංජිනේරුවන්ට, පරාක්‍රම සමුද්‍ර, යෝධ ඇල හැදු වාරි මාර්ග ඉංජිනේරුවන්ට, නාගයින්ට පවා ශල්‍යකර්ම කල ධාතුසේන වැනි වෛද්‍යවරුන්ට, සුද්දන්ට, සොළීන්ට එලව එළවා ගැසූ යුද ශිල්පයේ කෙල පැමිණි රජුන්ට, සෙන්පතියන්ට, දස මහා යෝධයින්ට, මහාවංශය ලියු , ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කල ඇති දක්ෂ ලේඛක හිමිවරු ආදීන් කිසිවෙකුට ඒ අයගේ දක්ෂතා සහතික කරලා ලියපු රෝල් කරපු කඩදාසි තබුනේ නෑ, තිබුනත් කාටවත් ඒවායින් වැඩක් තිබුනෙත් නෑ. උගත් කම හෙවුවේ වැඩ වලින් මිසක් කඩදාසි වලින් නෙමෙයි. ඒ අය වැඩ පෙන්නලා වැඩ කාරයෝ වුනා. ඒ තමයි නියම උගත්තු.

    නුගත්තු කියන්නේ මෙලෝ වැඩක් හරියට කරගන්න බැරි අයට. උන්ට කඩදාසි රෝල් නෙමෙයි මෝල් ගණන් තිබුනත් උන් අන්ත නුගත්තු. උන්ට තමයි රටක් බාර නොදිය යුත්තේ. අද රටේ ආණ්ඩුවේ ඉන්න ඇමති වරු, අගමැති වරු, ජනපති වරු සහ නොයෙකුත් ආකාරයේ අච්චාරු වරු දිහා බලලා , ඒ අයගේ වැඩ කිරීමේ හැකියාව බලලා උන් උගත්ද, නුගත් ද කියල තීරණය කරන්න තරම්වත් අපි දැන් උගත් විය යුතුයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress