නෙවිල් ජයවීර සමග මා පැවැත්වූ ගුවන් විදුලි සම්මුඛ් සාකච්චාව 1987 දී
Posted on July 12th, 2017

සාකච්චාව මෙහෙය වූ පාලිත පෙරේරා විසිනි.

————————————————————————————————————

එකල ගුවන් විදුලි සංස්ථාවේ වැඩ සටහන්වල තත්වයන්ට හා වැඩ සටහන් නිලධාරීන්හට වුර්තිය තත්වයක් (Professionalism) ළඟා කර දුන්  පුද්ගලයා ලෙස නෙවිල් ජයවීර මහතා අපට හොඳින් මතකයට නැගේ.

වසර 42 කට ( 1925 – 1967 ) ආසන්න කාලයක් රජයේ දෙපාර්තමේන්තුවක්ව පැවැතී ලංකාවේ ගුවන් විදුලි සේවය, 1967 දී සංස්ථාවක් බවට පත් කිරීමේ භාරදූර තීක්ෂණ මෙහෙවර ඉටු කෙරූනේ ඔහු අතිනි. එපමණක් නොව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රථම සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා වුයේද ජයවිර මහතාය. 1970 තෙක් සංස්ථා සභාපතිවරයා ලෙස සේවය කල හෙතෙම, 1970 දී බලයට පත්වූ රජය විසින් වව්නියාවේ දිසාපතිවරයා ලෙස මාරු කර යවනු ලැබිය.

1953 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශන විද්‍යා උපාධිය ලබා, එහිම දර්ශන විෂය පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කොට, 1955 දී ලංකා සිවිල් සේවයට බැඳුනු ජයවීර මහතා, බදුල්ලේ, යාපානයේ, ත්‍රිකුණාමලයේ හා අවසානයේ වව්නියාවේ රජයේ දිසාපතිවරයා ලෙස රාජකාරි ඉටු කොට 1977 දී, කල් පිරීමටත් පෙර රජයේ සේවයෙන් විශ්‍රාම ගත්තේය. ලංකා සිවිල් සේවයේ විශිෂ්ටතම පරිපාලන නිලධාරියකුගේ සේවය එසේ අකාලයේ නිමාවට පත් විය.

ඉන් පසු බ්‍රිතාන්‍යයේ පදිංචියට ගිය ජයවීර මහතා , බිබිසිය, ලෝක ක්‍රිස්තියානි සන්නිවේදන ආයතනය ඇතුළු ලෝක ආයතන රාශියකට ජන මාධ්‍ය විශේසඥයකු ලෙස සිය ඥානය ලබා දුන්නේය. අවසානයේ 1994 දී සියලු කටයුතු වලින් විශ්‍රාම ගත් නෙවිල් ජයවීර මහතා,  දැන් සිය බිරිඳ ට්‍රික්ෂි සමග බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ ගම්බද පලාතක ජිවිතයේ සැදෑ සුවය විදිමින් සිටි.

ශ්‍රී ලංකාවේ හා ලෝකයේ ජන මාධ්‍ය භාවිතය අරබයා මීට වසර 30 කට ඉහත 1987 දී, ජයවීර මහතා දැක්වූ අදහස් හා මතවාද අදටත් කාලෝචිතය. මෙහි පහත දැක් වෙන්නේ,  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කරන ලද එම සම්පුර්ණ සාකච්චාවයි

———————————————————————————————————

පාලිත

නෙවිල් ජයවීර මහතාණෙනි, මම හිතන්නේ අපි මුණ ගැසෙන්නේ අවුරුදු 17කට පස්සෙයි. ඒ කියන්නේ 1970 දී මගේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසට ඔබ සමුගත්තාට පසුව අවුරුදු 17කට පස්සෙයි. ගුවන් විදුලි දෙපාර්තමේන්තුව සංස්ථාවක් බවට පරිවර්තනය කිරීමේදී මුලිකව කටයුතු කලෙත් ඔබයි, ඒ 1967 දී. දැන් ඔබ ලන්ඩන් නුවර සිට ලංකාවට පැමිණ තිබෙනවා, මේ අන්තර් ජාතික සන්නිවේදන සම්මන්ත්‍රණයේ දේශනයක් පැවැත්වීමට. එහිදී ඔබ විග්‍රහ කළා ප්‍රවුර්ති කලාවේදියා  කියන්නේ කවුද කියලා. අපේ වුර්තියට අදාළ අපට තවත් ප්‍රශ්නයක් තියෙනවා, එනම්, බටහිර රටවලින් තුන්වැනි ලෝකයේ රටවලට තොරතුරු සැපයීමේදී අසමබරතාවයක් අපට පෙනෙන්න තියෙන බව. ඒ වගේම තුන්වැනි ලෝකයේ රටවල්ද තමන්ගේ ප්‍රවුර්ති ඉදිරිපත් කිරීමේදීත් මේ අසමබරතාවය පෙන්නුම් කර තියෙනවා. මේ ගැන මොනවද කියන්න තියෙන්නේ ? 

ජයවීර මහතා –

පළමුවෙන්ම මම කැමතියි ඒ ප්‍රශ්නය කොටස් කරනවා නම්. පළමුවෙන් අපි සලකා බලමු ජාතියන්තර අංශයෙන් අසමබරතාවයක් තියෙනවද නැද්ද යන  කාරණය. බොහෝ දෙනෙක් පිළිගත්ත සත්‍යයක් තමා, ජාතියන්තර රටාවේ එහෙම සමබරතාවයක් නැති බව. මේකට නොයෙකුත් හේතු තියෙනවා.ඇතැම් අය එම සමබරතාවය තීරණය කර ගෙනම පරමාර්ථයක් වශයෙන් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ ඇතැම් නිවේදක හෝ කතෘවරුන් ඒ ගොල්ලන්ගේ සහජ ගතියක් නිසා හෝ වේවා විශ්වාසයක් නිසා හෝ වේවා සමබරතාවයට වඩා ඒගොල්ලන්ගේ සංස්කෘතික පක්ෂපාතිත්වයයි බල පවත් වන්නේ. එහෙම ඕනෑකමක් අධිෂ්ටානයක් නැතුව වුනත්, ඉබේම එහෙම තත්වයක් පවතින්න ඉඩ තිබෙනවා. එකට හේතුන් තියෙනවා. අයිතිහාසික , සංස්කෘතික , රාජකාරි හේතුන් නිසා ජනසන්නිවේදකයන් අනුගමනය කරන්නේ බොහෝ දුරට එහෙම සමබරතාවයක් නැති වියාපාරයක්. මේ කරුණ ඒ අයට මොන විදිහකින් පහදලා දෙන්න හැදුවත්, ජනසන්නිවේදනයේ  ඉන්න බොහෝ අය ඒදේ පිලි ගන්නේ නෑ .මම දන්නේ නෑ මොන හේතුවක් නිසාද පිලි ගන්නේ නැත්තේ කියලා. මං හිතන්නේ ඒක ඒගොල්ලෝ පරිවර්තනය කර ගන්නේ ඒක ඒඅයට කරන කැළලක් වශයෙන්. එකයි තියෙන තත්වය. දැන් මෙහාට සපයන ප්‍රවුර්ති වල විතරක් නොවයි සමබරතාවයක් නැත්තේ. තුන්වැනි ලෝකය ගැන ප්‍රචාරය කරන හැම ප්‍රවුර්තියක්ම සමබරතාවයෙන් රහිතයි. බොහෝ දුරට මම දැකල තියෙනවා, තුන්වැනි ලෝකයේ යමක් ගැන ප්‍රකාශ කරනවද බටහිර රටවල පත්තරවල, එක්කෝ යම්කිසි කැරැල්ලක් ගැන එහෙම නැත්නම් දුෂණයක් ගැන එහෙම නැත්නම් ගං වතුරක් , භුමි කම්පාවක් ගැන මිනි මැරීමක් ගැන වගේ අශෝබන දෙයක් ගැන විතරයි ප්‍රචාරය කරන්නේ.

පාලිත –

ජයවීර මහත්මයා හිතනවද ඔය තත්වය යටතේද බටහිර ලෝකයේ සිටින ප්‍රවුර්ති කලාවේදීන් දැන් මේ ලංකාවේ තියෙන ත්‍රස්තවාදී තත්වය විකුර්ති කර, ඔවුන්ගේ පාට‍කයන්ට අවශ්‍ය කරන පැත්තට හරවලා තියෙන්නේ කියලා ?  

ජයවීර මහතා –

ඒක සම්පුර්ණ ඇත්ත. බොහෝදුරට ඇත්ත. ඒ ගැන මම ඒ අයගෙන් කරුණු විමසලා තියෙනවා. එහෙම සිදු වෙන්න පුළුවන් බව ඒ අය පිලිගන්නවා. නමුත් ඒ අය කියන්නේ, එහෙම කරන්නේ , රජයෙන් ඒ අයට අවශ්‍ය කරන ප්‍රවුර්ති දෙන්නේ නැති නිසාය කියලයි. ඒ කියන්නේ රජයෙන් මාර්ග සපයලා නෑ ඒ අයට ඕන කරන විදියට ආරංචි ලැබීමට. එක අතකින් ඒ චෝදනාවට හේතු තියෙනවා. තවත් අතකින් බැලුවම ආණ්ඩුවකට බෑ ප්‍රවුර්තිකරුවන් ඉල්ලන ඉල්ලන විදිහට ප්‍රවුර්ති ලබා දෙන්න. ඕනෑම රජයක තිබෙනවා රහස් අංශයක්. දැන් එංගලන්ත ආණ්ඩුවෙන් ගිහිල්ල පර්වුර්ති ඉල්ලුවට හැම දෙයක්ම දෙන්නේ නෑ, මට මතකයි ෆෝක්ලන්ත යුද්දය කාලයේදී මෙහෙ තිබෙනවාට වඩා ප්‍රවුර්ති තද බදයක් විශාල වශයෙන් එහෙ පැවතුනා. වෙන එකක් තියා  බ්‍රිතාන්‍යයේ හිටපු ජනතාව ඒ අයගේ ෆෝක්ලන්ඩ් යුද්දය ගැන ඒ අය ආරංචි ලබා ගත්තේ බටහිර මාධ්‍ය මාර්ගයෙන්. ඉතින් ඒ අංශයෙන් බැලුවම ඒක මේ ලංකාවේ විතරක් තියෙන දුර්වලතාවයක් නෙවෙයි.

පාලිත –

තවත් ප්‍රශ්නයක් තමයි , ලංකාව, ඉන්දියාව ඇතුලත් තුන් වැනි ලෝකයේ රටවල් වල තියෙන , දේශපාලන පක්ෂග්‍රාහීතාවයන් ගුවන් විදුලි වැඩ සටහන් වලින් ඉවත් කරන්නේ කොහොමද කියන තත්වය.

ජයවීර මහතා –

අපි පළමුවෙන්ම, පිළිගන්න ඕනේ එවැනි බලපෑම් සම්පුර්නයෙන්ම ඉවත් කරන්න බැරි විත්තිය.  කිසියම් රටක කිසියම්ම සමාජයක සම්පුර්න පිරිසිදු ප්‍රවුර්ති වියාපාරයක් පවතින්නේ නෑ . එහෙම කියලා තවත් කියන්න තියෙන්නේ, අන්තිම වශයෙන් එවැනි ප්‍රවුර්ති රටාවක් ඇති කිරීමට කරුණු දෙකක් අවශ්‍යයයි කියලයි. දේශපාලනඥයෝ ඒ අයට තියෙන බලය පාවිච්චි කිරීමේදී හරයන්, values , සමාජ හරයන්ට මිට වඩා ගරු කරන්න ඕනේ. සත්‍ය කියන දේ, සමබරතාව කියන හරය ගැන ඒ දේශපාලනඥයන් සල කන්න ඕනේ. එහෙම මම කියන්නේ බොහෝ දුරට  දේශපාලනඥයන් විපක්ෂයේ ඉන්න කොට සීහ නාද කරනවා ප්‍රවුර්ති රටාවේ අපක්ෂතාවයන් තියෙන්න ඕනේ කියල. පර්වුති රටාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. බොහෝදුරට මම අත්දැකීමෙන් දැකල තියෙනවා, එම අයම බලයට පත් වුනාම ඒ කියපු හැම දේශනාවක් වගේම ඒ අයට අමතක වෙනවා. ඒ කියන්නේ දේශපාලනඥයන් තුලින් ඒ අවභෝදය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන එකයි.  දේශනා කලාට මදි, අනිත් අංශය තමයි , ගුවන් විදුලියේ ඉන්න පාලකයෝ දෑන ගන්න ඕනේ, ගුවන් විදුලියත්, රුපවාහිනියත්, ජන සන්නිවේදන රාජකාරියත් ආරක්ෂා කර ගන්න. ඒ අය සම්පුර්ණයෙන් කැප වෙන්න ඕනේ, ඒ අයගේ පවුද්ගලික දියුණුවට නොවේ , ඕනෑම රාජකාරියකටයි කැප වෙන්න ඕනේ.  ඕනෑම වුර්තියක් රඳවා  තියෙන්නේ එක්තරා රටාවකට. (බාදා කරමින් )   

  පාලිත –

ඔබත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ඉන්න කාලයේ ක්‍රියා කලේ ඔය ආකාරයටද?   දේශපාලනඥයන්ට යට උනේ නැද්ද?

ජයවීර මහතා –

දේශපාලන බල පෑම්වලට යට වුණේ නෑ කියල මම කියන්නේ නෑ. මොකද එහෙම තත්වයක් ලෝකයෙන් හොයා ගන්න බෑ. නමුත් මට කියන්න පුළුවන්, කිසිම බයක් නැතිව, කිසිම අවස්ථාවක එවක හිටපු රජයේ අගමැතිවත් ඇමතිවරයා හෝ වේවා, ස්තිර ලේකම්වරයා හෝ මාර්ගයෙන් වත් මට අණක් ලැබුනේ නෑ අහවල් දේ කරන්න අහවල් එක්කෙනාව පත් කරන්න, අහවල් කෙනාට දඬුවම් දෙන්න කියල. එහෙම අනක් නොලැබුණේ එක හේතුවක් වෙන්න පුළුවන්, ඒ අයගේ තිබුන ගුණවත්කම නිසා. තවත් හේතුවක් වෙන්න පුළුවන්, ඒ අය තුල ඇතැම් විට හැඟීමක් ඇති වෙන්න ඇති, එහෙම  අනක් දුන්න නම් ඒක ක්‍රියාත්මක නොවෙන්න පුළුවන් බවට ඒ අය තුල හැගීමක් තියෙන්න ඇති කියන එක. තවත් එකක්, ඒ අය තුල ඇතැම් විට තියෙන්න ඇති හැඟීමක්, එහෙම එනක දුන්නොත්  අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග හැප්පිමක් ඇති වෙන්න පුළුවන් කියන කාරණයත්. ඉතින් රජයෙන් බලපෑමක් වශයෙන් තිබුනේ නෑ .ගුවන් විදුලියේ මම රාජකාරි කරන කාලයේ හැම උත්සාහයක්ම ගත්තේ, එවකට පැවතුන රජයේ, සමාජයේ දර්ශනය, ඒ කියන්නේ සංවර්ධන දර්ශනය, ඒක ඒකාලයේ බල පෑවෙ වගා වියාපාර  අංශයෙන්, අන්න ඒ අංශයෙන් ගුවන් විදුලිය යොදවන්න. ඒ හැරෙන්න දේශපාලන අංශයෙන් කියල බල පෑමක් ඇති උනේ නෑ .

පාලිත –

දැන් මට මතකයි ඒකාලයේ එක්දහස් හැට ගණන් වල උදේ, වැඩ සටහන් සමාලෝචන රැස්වීම්වලදී ඔබ කියා සිටිය, අදට ඕන කරන්නේ ශේක්ෂ්පියර්ගේ නාට්‍ය නොවෙයි, ආහාර ප්‍රශ්න වගා වියාපාරය වගේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගුවන් විදුලියෙන් සාකච්චා කිරීමයි කියල. ඒ අනුව  “ප්‍රතිරාවය”, “ජාතික ප්‍රබෝධය” වැනි වැඩ සටහන් ඔබ හදුන්වා දුන්නා. ඔබ හිතනවාද ඔබ එදා කියූ කතාව අදටත් අදාලයි කියල? 

ජයවීර මහතා –

එය සම්පුර්ණයෙන්ම අදටත් අදාලයි කියලා මම කියනවා. එවැනි දර්ශනයක් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ගුවන් විදුලියටත් රුපවාහිනියටත් ඒ මාධ්‍ය දෙකෙන්ම සමාජයට ඇති වෙන සේවය හුගක් දුරට අඩු වෙනවා. අද මම කියන්නේ නෑ ගුවන් විදුලියත් රූපවාහිනියත් වගා වියාපාරයට ශ්‍රමය යොදා වන්න ඕනේ කියලා. අද පවතින ප්‍රමුකත්වය දිය යුතු දේවල් වෙනස් දේවල්. නමුත් සමාජයේ දේවල් වලට ප්‍රමුකත්වය දිය යුතුයි. සමාජ වගකීමක් ඇතුවයි ඕනෑම මාධ්‍යක් ක්‍රියාත්මක කල යුත්තේ. අද පවතින කරුණු, නොයෙකුත් දේවල් වෙන්න පුළුවන්, පාරවල්වල කෙරෙන ගමනා ගමනයට මොන විදිහේ විනයක් අනුගමනය කල යුතුද යන ප්‍රශ්නය ගැන මිනිසුන්ගේ සිත් යොමු කරවන්න පුලුවන් මාධ්‍යයෙන්. දුෂණ ප්‍රශ්න ගැන සිත් යොමු කර වන්න පුළුවන්. බොහෝ දෙනා තුල අද හැගීමක් තියෙනවා, තමාගේ ප්‍රයෝජනය , තමාගේ දියුණුව තමාගේ අභිවුර්දිය  ගැන විතරක් සලකා ගත්තොත් ඇතියි කියල. මගේ සහෝදරයාගේ අභිවුර්දියත් මගේ අවට ඉන්න කෙනාගේ  අභිවුර්දියත් ගැන සැලකීම මගේ යුතුකමක් නොවේය යන හැගීම අද බොහෝ දුරට මිනිසුන් අතර පවතිනවා. අන්න එවැනි දෙයක් මර්දනය කිරීමට මාධ්‍ය යොදවන්න පුළුවන්. අද මම ගුවන් විදුලියේ හෝ රුපවාහිනියේ හිටිය නම් ප්‍රමුකත්වයක් දෙන්නේ අන්න ඒ වගේ දේවල් වලට. .

පාලිත –

ඔබ ගුවන් විදුලියේ වගා සටන මෙහෙයවූ පුද්ගලයා හැටියට, ඊට පස්සේ ප්‍රතිවුර්ද්ධ දේශපාලන පක්ෂ එය හාස්‍යට ලක් කළා, මේ ගැන අද ඔබට මොකද හිතෙන්නේ, ඒ ක්‍රියාදාමය හරිද වැරදිද?

ජයවීර මහතා –

මම එම දර්ශනයම ප්‍රචාරය කරනවා. හැබැයි එකක් මම කියන්න කැමතියි, අවුරුදු පහළොවකට එපිටදී කියපු දේවල් හුගක් දුරට දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ කාලේ මහවැලි වියාපාරයට ප්‍රචාරය දුන්නයි කියලා මාව බොහෝ දුරට විවේචනය කලා. ඒක දේශපාලනයේ දෙයක්. අද මේ රටේ සංවර්ධනයේ අරටුව වන්නේ මහවැලි වියාපාරයයි. මගේ හැගීම අනුව අද මහවැලි වියාපාරයට ප්‍රචාරයදීම අඩුයි. මගේ හැගීම අනුව මුළු ලෝකයේම, මුළු ආසියාවේම මෙවැනි සංවර්ධන වියාපාරයක් අපට දකින්න ලැබිලා නෑ .මම් මේ යම් ඇමතිවරයෙක් හෝ  ආණ්ඩුවක් ගැන හෝ  ප්‍රසන්සාවක් ගෙනි යනවා නොවෙයි. මේක සත්‍යක්. එහෙම තිබියදී ඇයි අපේ තියෙන මාධ්‍ය මාර්ගයෙන් මිනිසුන් තුල අවභෝදයක් ලබා දෙන්නේ නැත්තේ ඒ වියාපාර ගැන. ඉතින් එදා මම එහෙම කලාය කියලා විවේචන  තිබුනා, මේ වියාපාරය පටන් ගන්නටත් ඉස්සෙල්ලා ඉඳලා. මම හැදුවේ ඒ පිළිබද රටේ මිනිසුන් තුල මානසික රටාවක් ඇති කිරීමට.

පාලිත –

මේ කොළඹ පැවති සම්මන්ත්‍රණයේදී ඔබ කියා සිටියා, ලංකාවේ ප්‍රවුර්ති කලාවේදීන්ගේ නිර්භීත අපක්ෂපාති භාවය ගැනත් ඒ ගැන ඔබ වැඩි වැඩියෙන් කතා කළාත්. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම, අපට මතක් වෙනවා, නික්සන්ගේ කාලේ වෝටර්ගේට්  සිද්ධිය නිසා නික්සන් බොහෝ කරදර වලට පාත්‍ර උන බව. මේ ඊයේ පෙරේදා රේගන්ට මහත් හිස රදයක් දුන්නා, ඉරාන්ගේට් කියන සිද්ධිය අනුව. මෙවැනි වාර්තා කිරීම් ලංකාවේ තත්වය යටතේ ලංකාවේ ප්‍රවුර්ති කලාවේදීන්ට කරන්න පුළුවන් දෙයක්ද?

ජයවීර මහතා –

නැහැ. මෙහේ කරන්න පුළුවන් කමකුත් නෑ , අවශ්‍යත් නෑ .අපි  ප්‍රවේසම් වෙන්න ඕනේ,  වෙනත් සමාජයක කරන හැම නැටිල්ලක්ම අපට අවශ්‍යත් නෑ, නටන්න හැකියාවකුත් නෑ. තව කරුණක් අපි මතක තබා ගත යුතුව තිබෙනවා, ඔය බ්‍රිතාන්‍යයේ ඇමෙරිකාවේ බටහිර සමාජවල සැහෙන දුරට මුල් බැහැපු ප්‍රත්‍යක් තිබෙන සමාජයක්. වැරදි විදිහට ජන සන්නිවේදන මාධ්‍ය යෙදෙව්ව්යි කියලා ඒ සමාජ වලට තර්ජනයක් එල්ල වෙන්නේ නෑ. තුන්වැනි ලෝකයේ තිබෙන සමාජ බොහෝ දුරට මොලොක් චපල සමාජයවල් .ඒක නිසා ජන සන්නිවේදනය යොදවන කොට, ඒ කරුණ නිතරම අපි සිහිපත් කල යුතුව තිබෙනවා. ඒ නිසා ඒ අතින් හැම දෙයක්ම අපට කරන්න බෑ. නමුත් ඒ නිසාම තමයි, ජන සන්නිවේදනය යෙදවීමේදී ඊට වඩා සියුම් දර්ශනයක් අපි අනුගමනය කල යුතුව තිබෙන්න්නේ. දැන් ඒ රටවල් වල “ලෙස්සේ එෆ්යාර් ” කියන ප්‍රතිපත්තියක් පවතින්නේ. ඕනෑම කෙනෙකුට පත්තරයක්  ගහන්න පුලුවන්නම් , නිවේදනය කරන්න පුළුවන් නම් රටේ නීති කඩ කරන්නේ නැත්නම්, එකේ වැරද්දක් නෑ. දැන් අපේ රටවල්වල එහෙම්මම කරන්න ඉඩ දෙන්නත් බෑ  මොකද එක්තරා රාමුවක් ඕනේ, එක්තරා ස්ථිරත්වයක් ඕනේ අපේ සමාජයට. ඒ “ලෙස්සේ එෆ්යාර් ” ප්‍රතිපත්තිය අනුගමනය කරන්න බෑ මේ රටවල් වල.      

පාලිත –

ජයවීර මහත්මයාණෙනි, එහෙම නම් මොකද බිබිසියට කඩා වැදුනේ, එංගලන්තයේ රහස් පොලිස්සිය, ඔත්තු සේවා චන්ද්‍රිකාවක් පිලිබදව හැදු චිත්‍රපටිය අත් අඩංගුවට ගැනීමට. එතනින් ගිහාම ඊට සමාන සිද්ධියක් නිසා බිබිසි වර්ල්ඩ් සර්විස් කියන එක, දවසක් වැඩ වර්ජනය කොට වැඩ සටහන් ප්‍රචාරය නතර කොට සටන් කළා. එංගලන්තයේ සිටින සන්නිවේදකයන් පවා ස්වාධීනත්වය පතා සටන් කරනවා නේද? ඇයි එහෙම නම් මේ තත්වයක් ඇති උනේ?

ජයවීර මහතා –

එම තර්කයම මම අනිත් පැත්තට පාවිච්චි කරන්නම්. එහෙම කරන්න යාමෙන් තමයි බිබිසියේ තිබුන ස්වාධීනත්වය අහෝසි වේගෙන යන්නේ. රජයට හැගීමක් ඇති උනා මුළු රටටම තර්ජනයක් වෙන විදිහේ වැඩක් බිබිසිය මාර්ගයෙන් සකස්‌ කර ගෙන යනවයි කියලා. එහෙම හැගීමක් ඇති වුනාම රජයට වගකීමක් ඇති වුනා, ඒක වැරදි අවභෝදයක් වෙන්න පුළුවන්, නමුත් ඒ ගොල්ලන්ගේ අවභෝදය හැටියට තර්ජනයක් එල්ල වීගෙන එන බව ඒගොල්ලන්ට  අවභෝද උනා. එහෙම උනාම ඒ ගොල්ලන්ට රජය හැටියට වගකීමක් තියනවා ජාතික ආරකෂව ගැන සල කන්න. ඉතින් අන්න ඒ පරමාර්ථ මතයි බිබිසියට කඩා පෑන්නේ.

පාලිත –

ඔබ අනුමත කරනවද ඒක?

ජයවීර මහතා –

මම කරුණු සියල්ලක්ම දන්නේ නැති නිසා මම අදහසක් ප්‍රකාශ කරන්න කැමති නෑ.  මම කියන්නේ මේකයි, රජයට නෙමේ සමාජයේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වේගෙන එනවා නම් ඕනෑම තැනකට කඩා පැනීමට රජයට අයිතිවාසිකමක් විතර නෙමෙයි, වගකීමක් තිබෙනවා. 

පාලිත –

එතකොට ඔබ කතා කරන මාධ්‍යයේ  ස්වාධීනත්වයට මොකක්ද වෙන්නේ?

ජයවීර මහතා –

ස්වාධීනත්වයට වඩා ප්‍රමුකත්වය දිය යුත්තේ ඒ අවස්ථාවල් වලදී සමාජයේ ආරක්ෂාවයි. දැන් බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තියෙන විත්තිය හැම එක්කෙනාම පිලි ගන්නවා. නමුත් යුද්ධ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී  ක්‍රමයක් තිබුනේ නෑ .වෙන එකක් තියා, පුංචි ඇම්බට්ටයන් වගේ හිටිය ෆෝක්ලන්ඩ් එක්ක  යුද්ධ කරද්දී, මේ හරියට රුසියාවත් එක්ක යුද්ධ කරනවා වගේ මුළු රටේම පැවතුනා  ආරක්ෂා තත්වයක්. ඉතින් ඕනෑම සමාජයකට අයිතියක් තියෙනව වගකීමක් තියෙනවා, හැම එහෙකටම වඩා  ඉහලින් ප්‍රමුකත්ත්වයක් දෙන්න ජාතික ආරක්ෂාවට. එම කරුණම විකුර්ත කරන්න පුළුවන්, අනික්  විදිහට පාවිච්චි කරන්න පුලුවන්, මේ රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වේගෙන එන නිසා අපි මේක කරනවයි කියලා. එකට ප්‍රතිකර්මයක් වශයෙන් සපයන්න පුළුවන්, මිනිසා තුල සමාජය තුල තියෙන අවභෝදය.

පාලිත –

ජයවීර මහතා, බොහෝ වෙලාවට මේ කලාපයේ සන්නිවේදන කටයුතු සඳහා ඔබ නිතර වගේ ගමන් කරනවා. ඉන්දියාව, බංගලිදේශය, නේපාලය, මාලදිවයින, පකිස්ථානය වගේ අපේ කලාපයේ රටවල් සමග සංසන්දනය කරලා බලන කොට, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්තාවේ වැඩ සටහන් වල තත්වය ගැන ඔබේ සතුටක් තියෙනවද?

ජයවීර මහතා –

ඔව් ඒ ගැන මට කිසිම බයක් නැතිව කියන්න පුළුවන්. මේ ආසියාවේම තියෙන ගුවන් විදුලි හා රුපවාහිනි වැඩ සටහන් වලට වඩා, මෙහේ ඒවා ඉහල මට්ටමකින් ක්‍රියාත්මක වෙන බව කියන්න කෑමතියි. එක අතකින් බලන කොට මේ රටේ රුපවාහිනිය දියුණුවී තිබෙන තරම මට හාස්කමක් වගෙයි. අවූරුදු  හතක් ඇතුලත  ඉන්දියාවට වඩා, බන්ගලිදේශයට සිගප්පුරුවට මැලේසියාවට වඩා දියුණු වෙලා තියෙනවා.

පාලිත –

ඔබ රුපවාහිනියේ තත්වය විශිෂ්ට බව සදහන් කළා. ඔබ 1965දී ඇයි, ගුවන් විදුලි මධ්‍යස්ථානයට අමතරව රුපවාහිනියක් දෙන්න බටහිර ජර්මනිය ඉදිරිපත් වෙච්ච් අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප  කලේ?

ජයවීර මහතා –

හේතු කීපයක් නිසා. අපේ මුදල් තත්වය ඒ කාලේ බොහොම දුර්වල නිසා රුපවාහිනි ක්‍රමය කර පිටට ගන්න අපට ශක්තියක් තිබුනේ නෑ. දෙවනුව, රූපවාහිනියට බහින්න ඉස්සෙල්ලා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මට පුද්ගලික වගකීමක් තිබුනා මුළු රටම ආවරණය කරන මධ්‍යම තරංග ගුවන් විදුලි ක්‍රමය සකස් කර දීමට. එවැනි සුළු පහසු කමක්වත් ඒකාලේ තිබුනේ නෑ. ඉතින් රුපවාහිනී ක්‍රමයකට ගොඩ බහින්නේ කොහොමද අපි මධ්‍යම තරංග ක්‍රමය වත් හරියට  ක්‍රියාත්මක කරන්නේ නැතිව.  තුන් වෙනුව, මට වැටහුනා දේශපාලනය අතින් බැලුවා නම්, දේශපාලනඥයන් අතින් බැලුවා නම්, රුපවාහිනිය වැනි මාධ්‍යයක ඔවුන් යෙදවීමට තරම් පරිනත භාවයක්  ඔවුන් තුල තිබුනේ නෑ.  සැහෙන ප්‍රමාණයක පරිනත භාවයක් අවශ්‍යයි, මෙවැනි බල සම්පන්න මාධ්‍යක් රටක ක්‍රියාත්මක කරන්න නම්. මගේ වැටහීම නම්, ඔවුන් ඒක සෙල්ලම් බඩුවක් වගේ යොදවයි කියලයි මට අවභෝද උනේ. 

පාලිත –

ජයවීර මහතාණෙනි, දැන් අපට තියෙනවා ලොකු තරගයක්. ප්‍රබල රුපවාහිනිය හා කරට කර ඉන්න නම් ගුවන් විදුලිය කොහොමද සකස් වෙන්නට ඕනේ?

ජයවීර මහතා –

තරගයක් විය යුතුයි කියලා මම පිළිගන්නේ නෑ . තරගයක් තියෙනවා නම් එක වැරදි හැගීමක්. ඇත්ත වශයෙන්ම රුපවාහිනි ක්‍රමය ලෝකයේ මුලින්ම විවුර්ත කරපු වෙලේ ඇතැම් අය කිව්වා, ගුවන් විදුලිය මේකෙන් අහෝසි වෙයි, අභාවයට යයි කියලා. නමුත් එහෙම දෙයක් වුනේ නෑ දැන් බටහිර රටවල් වල බොහෝ දුරට රුපවාහිනිය අතින් සම්පුර්ණත්වයට ඇවිල්ල අතියෙනවා. නමුත් ගුවන් විදුලිය එවකට තිබුනට වඩා දියුණු වෙලා තියෙනවා. ඒ කුමක් නිසාද? දැන් ගුවන් විදුලියට සවන් දෙන්නේ ඒ කාලයේ වගේ ගෙදර තියෙන විසිත්ත සාලාවේ නොවේ. වැඩිපුර සවන් දෙන්නේ කාර් වල ගමන් කරන කොට. ඒ නිසා අපි ගුවන් විදුලි ශයිලිය වෙනස් කරන්න ඕනේ. ලොකු කතාවල් වලට සවන් දෙන්නේ නෑ ගුවන් විදුලි මාධ්‍යයෙන්. ලොකු දේශනාවල් වලට සවන් දෙන්නේ නෑ. කෙටි ප්‍රවුර්ති වලට සවන් දෙයි, විනෝද කතාවලට සවන් දෙයි. සංගීතයට බොහොම ඉහලින් සවන් දෙයි . ගුවන් විදුලියෙන් තමයි සංගීත සංස්කෘතික අංශය දියුණු වෙන්නේ. ඉතින් අපේ දර්ශන අපි සංශෝධනය කල යුතුව තිබෙනවා. කාලය වෙනස් වෙන කොට ගුවන් විදුලි වැඩ සටහන් විනයත් වෙනස් වෙන්න ඕනේ. මම හිතන්නේ නෑ ඒ කාලේ පැවැතුපු පැය භාගයේ වැඩ සටහන් වලට ජනතාව ඒ තරම් සවන් දෙයි කියලා. හැබැයි, තවත් එකක් කියන්න තියෙනවා,  ගම්බද පලාත්වල තාමත් සියයට අනුවක තරම් සමාජයක් තුල ගුවන් විදුලිය ක්‍රමය පවතිනවා. සියයට තාමත් පහකට වැඩිය නෑ රූපවාහිනියට. ඒක නිසා සම්පුර්ණයෙන්ම පරිවර්තනය කරන්න උවමනාවක් නෑ, මේ තාක්ෂණික වියාපාරය දියුණු වෙනකොට, ගුවන් විදුලිය තුල යම් කිසි පරිවර්තනයක්, දර්ශනය අතින් පරිවර්තනයක් විය යුතුයි. 

පාලිත –

ජයවීර මහතාණෙනි, මට ඉඩ දෙන්න කෙලින් ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. ඔබට ශ්‍රී ලංකා  ජන  මාධ්‍ය ශේෂ්ත්‍රයේ ඉහලම තානාන්තරයක් පිරිනැමුව හොත්  ඔබ එය පිලි ගන්න කැමතිද?

ජයවීර මහතා –

ඒකට මම කෙලින්ම උත්තරයක් දෙන්න කැමති නෑ. නොයෙකුත් හේතුන් නිසා. මම එහෙම ඔව් කිව්වොත් ඒක පරිවර්තනය වෙන්න පුළුවන් මම ආරාධනාවක් පිලි ගන්න ලැස්තියි කියලා. බෑ කිව්වොත් ඒක පරිවර්තනය වෙන්න පුළුවන් මම රටට සේවයක් කරන්න ලස්තියක් නැති බවට. ඉතින් ඕකට ඉංග්‍රීසියෙන් කියනවා නම්, ඕක Hypothitical Question එකක්. ඒක දක්ෂ සන්නිවේදකයෙක් අහන ප්‍රශ්නයක්. ඒ වගේම දක්ෂ පාලකයෙක් ඒකට ලේසියෙන් වැටෙන්නෙත් නෑ. ( දිගටම සිනාසෙයි )

පාලිත –

බොහොම ස්තුතියි ජයවීර මහතාණෙනි, අවුරුදු දාහතකට පසුව මේ ගත කල විනාඩි කීපය මම ඇත්තෙන්ම සතුටක් වින්දා.

ජයවීර මහතා –

බොහොම ස්තුතියි පාලිත.

(  සාකච්චාවේ සම්පුර්ණ කාලය විනාඩි 26 යි තත්පර 49 යයි. දැනට වසර 30 ක් පැරණි මෙම සාකච්චාව තැටි ගත වී ඇති සිඩිය අසමින්, මෙය යතුරු ලේඛනයට පිටපත් කරනු ලද්දේ,   – 2017 ජුනි මස 28 දා  පාලිත පෙරේරා විසිනි.  )

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress