ලිබරල් හණමිටිය
Posted on July 16th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

දීඝ නිකායේ මහා වර්ගය අවසන් වෙන්නේ පායාසි රාජඤ්ඤ සූත්‍රයෙන්. මේ සූත්‍රයෙන් විස්තර කෙරෙන කතාවත් ධර්ම කරුණුත් ඒ විදිහට ම සිංහල විමානවස්තු ප්‍රකරණයේ පායාසි වර්ගයේ අවසානයට තියෙන උත්තර විමාන වස්තුවේත් තියෙනවා. මරණයෙන් පස්සේ පරලොව යන සත්ත්වයෙක් ඉන්නවා ද කියලා හොයලා බලන්න පායාසි රාජඤ්ඤ කියන බමුණා මරණාසන්න මිනිස්සුන්ව කප කපා, පතුරු ගස ගසා, කල්දේරම්වල දාලා තම්බ තම්බා පර්යේෂණ කටයුත්තක නිරතවුනා. ඒ, ගැලීලියෝ ගැලිලි උපදින්න අවුරුදු දෙදාහකට විතර ඉස්සර. ඉතින් අපිට පර්යේෂණ ක්‍රම හඳුන්නලා දුන්නේ ගැලිලි කියලා කියන එක නිවැරැදි නෑ. කොහොම වුනත් ගැලිලිට පාඩුවේ ඉන්න ඉඩදීලා මේ කියන්න හදන දේ ගැන විතරක් කියන්නම්. මරණයෙන් පස්සේ පරලොව යන සත්ත්වයෙක් නැති බව තමන් කරපු පර්යේෂණවලින් තහවුරු කරගත්ත පායාසි රාජඤ්ඤයා ඒ ගැන කුමාර කාශ්‍යප මහ රහතන්වහන්සේ එක්ක වාදකළා. මේ වාදයට අදාළ කරුණු පායාසි රාජඤ්ඤ සූත්‍රය කියවලා අපේ පාඨකයන්ට දැනගන්න පුළුවන්.

මේ සූත්‍රය අවසානයේ අපි හැමෝ ම දන්න හොඳ කතාවක් තියෙනවා. කුමාර කාශ්‍යප මහ රහතන්වහන්සේ මේ උපමාව කතාව පායාසි රාජඤ්ඤයාට දේශනා කළේ තමන් ගේ මතය වැරැදි බව දැන දැනත් ඔහු ඒක අතහරින්න අපහසු බව පැවසූ අවස්ථාවේ දී. ඒ තමයි හණ මිටියේ කතාව. ධනය හොයාගෙන එක්තරා දනව්වකට කිය එක්තරා යහළුවන් දෙදෙනෙක් හණ වැහැරි බර දෙකක් බැඳගෙන ආපසු තමන් ගේ ගමට යද්දී එක යහළුවෙක් මහමග දී හමුවුන වටිනා දේවල් එකින් එක කරට ගත්තේ හණ මිටියත් ඊට පස්සේ අහුලාගත්ත වටිනාකමින් අඩු දේවලුත් එකින් එක විසිකරලා. ඔහුට අන්තිමට මසුරන් පොදියකුත් ලැබුණා. ඒත් අනෙක් පුද්ගලයා එක දිගට ම මුල දී ලැබුණු හණමිටිය ම කරේ තියාගෙන ගෙදර ගියා. මේ කතාව අපි හැමෝ ම දන්නවා.

හැබැයි දැන් අපේ සමහර අය මේ කතාව කියන්නේ පරණ දේවල් අත ඇරලා අලුත් දේවල් වැළඳගත යුතුයි කියන අර්ථයෙන්. ඒත් හණමිටියක් කියලා කියන්නේ මසුරන් පොදියකට වඩා පරණ එකක් වෙන්න බෑ. රන් මසුරන් කියන්නේ අවුරුදු දහස් ගණනක් වුනත් වෙනස් නො වී තියෙන වටිනා දෙයක්. හණ කියන්නේ ඒ තරම් වටිනාකමක් නැති අඩු කාලයක දී විනාශවෙන දෙයක්. ඉතින් පරණ හණමිටි ගැන කියන කතා ඒ තරම් වලංගු ඒවා නෙවෙයි. මේ හණ මිටි කතාවෙන් කියන්නේ පරණ දේවල් වැඩක් නෑ, අලුත් දේවල් තමයි හරි වගේ අදහසක් නම් නෙවෙයි. මේ කියන්නේ වටිනාකමක් නැති දේවල් කරගහගෙන ඉන්නේ නැතුව හොඳ, වටිනා, ප්‍රයෝජනවත් දෙයක් දේවල් පිළිගන්න කියන එකයි. හොඳ, වටිනා, ප්‍රයෝජනවත් දේවල් අලුත් වෙන්නත් පුළුවන්, පරණ වෙන්නත් පුළුවන්.

ලිබරල් අදහස් ඉස්සරහට ඇවිල්ලා වැඩි කාලයක් නෑ. ජෝන් ලූක් ගේ කාලේ ඉඳලා ම ගණන් බැලුවොත් මේ අදහස් ඇතිවෙලා අවුරුදු තුන්සිය පනහක් විතර ඇති කියලා කියන්න පුළුවන්. නිදහස සහ සමානාත්මතාව කියන මූලික අදහස් උඩ තමයි ලිබරල් මතවාද ඇතිවෙලා තියෙන්නේ. ඉතින් ප්‍රකාශනයේ නිදහස, තමන් කැමැති ආගමක් ඇදැහීමේ නිදහස, මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, අනාගමික රාජ්‍ය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව, නීතියේ පාලනය, නිදහස් වෙළෙඳාම වගේ දේවල් ලිබරල් මතවාදයෙන් ඉස්මතු කරනවා. මේ අදහස් හරි සුන්දරයි. බොහොම සාධාරණ බවත් පැහැදිළියි. ඊට අමතර ව, මේ අදහස්වලට ඇමෙරිකානු ජනපද සංගමය ඇතුළු බටහිර රටවල් අනුග්‍රහය දක්වනවා. මේ අදහස් ලොව පුරා පතුරවන්න, ස්ථාපිතකරන්න ඒ අය විවිධ උපක්‍රම අනුගමනය කරනවා. ඉතින් අධ්‍යාපනය හරහා, ජනමාධ්‍ය හරහා, කලා නිර්මාණ හරහා මේ අදහස් අපි ළඟට ගලාගෙන එනවා.

එංගලන්තය පාලනයකරපු අවසාන රෝමානු කතෝලික රජතුමා – ඒ කියන්‍නේ දෙවැනි ජෙම්ස් රජතුමා; ගෙදර යවන්න ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානි අය විලියම් කුමාරයාත් එක්ක එකතුවෙලා 1688 අවුරුද්දේ කරපු විප්ලවයේ ප්‍රතිඵලය තමයි මේ මතවාදය ලබපු මුල් ම දේශපාලන ජයග්‍රහණය. ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානි අය තවත් අය එක්ක එකතුවෙලා දිගින් දිගට ම ප්‍රංශයේ මහා ලුවී රජතුමා ගේ කතෝලික පාලනයට පහරදුන්නත් ඒක සාර්ථක වුනේ නෑ. ඒත් ක්‍රම ක්‍රමයෙන් මුල් ලිබරල් අදහස් ප්‍රංශ සමාජය ඇතුළේ පතුරුවා හරින්න ඒ අය කටයුතු කළා. ඉතින් 1793 වෙද්දි 16 වැනි ලුවී රජතුමාව ගිලටිනයට යවලා ජනතාව ගේ පාලනයක්” ඇතිකරන්න ලිබරල් අදහස් දරපු අයට පුළුවන් වුනා. ඒ වෙද්දි පරණ ලෝකය අත ඇරලා අලුත් ලෝකය” හොයාගෙන ගිය අය එකතුවෙලා කරපු ඇමෙරිකානු විප්ලවය ජය ඇරගෙන ගතවෙලා තිබුණේ අවුරුදු 17 ක් විතරයි.

ලිබරල් මතවාද, අදහස් ගොඩනැගිලා තියෙන්නේ පුද්ගලාන්තික සංස්කෘතික අගය පද්ධතියක් උඩ. රෝමානු කතෝලික අය සාමූහික අගය පද්ධතියකට මුල්තැන දීලා කටයුතු කළා. කොහොම හරි සාමූහිකත්වයට මුල් තැනක් දීපු කතෝලික සංස්කෘතියට පහුබහින්න සිද්දවුනා. ලිබරල් අදහස් ඉදිරියට ආවා. හැබැයි මෙහෙම වුනා කියලා තමන් ගේ සංස්කෘතිය හෙළාදකින්න, හෑල්ලුවට ලක්කරන්න එංගලන්ත මිනිස්සු හරි ප්‍රංශ මිනිස්සු හරි කටයුතු කරන්නේ නෑ. සංස්කෘතික අගය පද්ධතියේ වෙනසක් සිද්දවුනා මිසක් එංගලන්තයේ සංස්කෘතිය ප්‍රංශයට ආරෝපණය කරගැනීමක් සිද්දවුනේ නෑ. ඉතින් මොන වෙනස්කම් වුනත් අදටත් තමන් ගේ සංස්කෘතික අනන්‍යතාව රැකගන්න ප්‍රංශ මිනිස්සුන්ට පුළුවන්වෙලා තියෙනවා.

ඒත් ලිබරල් අදහස්වලට මුල් තැනක් දෙන අපේ සමහර අය ඒ විදිහට කටයුතු කරන්නේ නෑ. අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රංශයේ තිබුණු කතෝලික සංස්කෘතිය වගේ එංගලන්තයේ ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානි සංස්කෘතියට කිට්ටු එකකුත් නෙවෙයි. ඉතින් ප්‍රංශයේ වගේ සංස්කෘතික අගය පද්ධතියේ වෙනසක් මේ රටේ ඉක්මනින් සිද්ද නොවෙන එක ගැන අපේ ඇතැම් ලිබරල් චින්තකයෝ කම්පාවෙනවා. මේ ළඟ දී එක ජනමාධ්‍යවේදියෙක් කියනවා ආසියාතික කුඩා දූපතක වෙසෙන නූගත් ජනතාව නෛසර්ගිකව ජාතිවාදී සහ ආගම්වාදී මෙන්ම හැඟීම්බර බියමුසු සිතුවිලි වල පසුවන ජනතාවක් බැවින්” ලිබරල් මතවාදී අරගලය දැවැන්ත පරිමාණයකින් සිදුකළ යුතුයි කියලා.

ලිබරල් අදහස් ගොඩනැගුණේ ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානි සංස්කෘතික පසුබිමක කියලා මේ අය තේරුම්ගන්නේ නෑ. අනෙක් අතට ලිබරල් මතවාදයේ තියෙන්නේ යම් යම් වියුක්ත අදහස්. උදාහරණයක් විදිහට කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය කියලා නිශ්චිත පාලන ආකෘතියක් ඒ මතවාදය තුළ නෑ. එංගලන්තයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි ප්‍රංශයේ තියෙන්නේ. ඉතින් අනෙක් රටවල මිනිස්සුත් ලිබරල් අදහස් පිළිගන්න පෙළැඹෙනවා නම් තම තමන්ට ගැලැපෙන විදිහේ ප්‍රජාතන්ත්‍රවාද ඇතිකරගන්න ඒ අය කටයුතු කරාවි. අපේ ලිබරල් අයටත් පුළුවන් වෙන්න ඕන අපේ සංස්කෘතික පරිසරයට ගැලපෙන විදිහේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් හදන්න උවමනා කරන අඩුවැඩිය ලබාදෙන්න.

කාන්තාවට සම තැන දෙන්න ඕන කියන ලිබරල් අදහසත් මේ අය අපිට කියලා දෙනවා. ඉන්දියාව කියලා හදලා තියෙන රට හරහා ලැබුන මූගල් සංස්කෘතික අගය පද්ධතියෙනුත් අපේ හැසිරීම් යම් ආකාරයකට පාලනය කෙරුනත් සිංහල බෞද්ධ සමාජය ඇතුළේ කාන්තාවන්ට වැදගත් තැනැක් හිමිවෙලා නෑ කියලා කියන්න බෑ. අපේ ගෙදර බුදුන් තාත්තා නෙවෙයි. පවුලකට කුළුඳුලේ ම ගැහැණු දරුවකු ලැබීම අපි සළකන්නේ වාසනාවක් විදිහට. ඉතින් අදටත් අපේ රටේ වැඩියෙන් ඉන්නේ කාන්තාවෝ. කාන්තාවන්ට නොසළකන සංස්කෘතියක මෙහෙම වෙනවා ද? ඉතින් එංගලන්තෙන් හරි ප්‍රංශයෙන් හරි ඉගෙනගත්ත ඒ සම අයිතිවාසිකම් කතාව ඒ විදිහට ම අපේ රටේ පැලකරන්න අමාරුයි. ටිකක් හරි වෙනස් කරලා කියනවා නම් වැඩක් වෙයි.

හැබැයි මේ මොන දේ කරන්න වුනත් මුලින් ම තමන් ගේ සංස්කෘතිය අගයකිරීමේ හැකියාවක් ඒ අයට තියෙන්න ඕන. ලිබරල් අදහස් තියෙන අපේ අයට සංස්කෘතියක් අගයකිරීමේ හැකියාවක් නෑ කියලා කියන්න බෑ. ඒ වගේ අදහස් තියෙන ඇතැම් අය බොහොම අපූරුවට ප්‍රංශයේ, භූතානයේ, ටිබටයේ වගේ ඈත ඈත බිම්වල සංස්කෘතික අංග අගයකරනවා මේ ලේඛකයා අහගෙන ඉඳලා තියෙනවා. හැබැයි හැමදාම දකින සිංහල සංස්කෘතියේ කරමල සුදුයි කියලා ඒ අයට හිතෙනවා වෙන්න පුළුවන්.

ලිබරල් අදහස් දරන මේ අය පිටස්තරයෝ නෙවෙයි. අපේ ම සිංහල මිනිස්සු. ඉතින් ඒ අයට පුළුවන් තමන් ඉගෙනගෙන තියෙන දේවල් මේ සමාජය ස්ථාවරකරන්න, දියුණුකරන්න යොදවන්න. හැබැයි ඒක කරන්න පුළුවන් ඒ අදහස් පිළි නොගන්න අයට බැනලාවත් ඒ අය ව පහත්කරලා සළකලාවත් නෙවෙයි. අපේ මිනිස්සු සිංහලකම ගැන බෞද්ධකම ගැන කතාකරන්නේ අර මාධ්‍යවේදියා කියපු වි‍දිහේ දූපත් මානසිකත්වයක් හින්දා නෙවෙයි. අපේ ඉතිහාසය ගැන අපි කියවන්නේ අහේතුක පම්පෝරි නෙවෙයි. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන එක අපි අපේ ජාතික වගකීමක් විදිහට පවරගත්ත කටයුත්තක්. මේ දේවල් මුලින් උපුටලා දාලා ලිබරල් අදහස් මේ බිමේ පැලකරන්න කියලා කවුරුහරි හිතනවා නම් ඒක වෙන්නේ නෑ. අන්තිමට මහා අවුලක් වෙලා තමයි ඒ ව්‍යාපෘතිය අවසන්වෙන්නේ.

ඒ හින්දා ලිබරල් හණමිටියෙන් නූල් හදන්නත් රෙදි වියන්නත් ඒ රෙදිවලින් අපිට ගැලපෙන ඇඳුම් මහන්නත් පුළුවන් ද කියලා ඒ අය උත්සාහ කරලා බලන්න ඕන. එහෙම නැතුව ඒ හණමිටිය ඒ විදිහට ම අපේ කරපිටට පටවන්න හදනවා නම් එකෙන් වැඩක් වෙන්නේ නෑ.

වරුණ චන්ද්‍රකීර්ති ෴

4 Responses to “ලිබරල් හණමිටිය”

  1. Wetta Says:

    මේ ලිපියේ “ලිබරල් හන මිටිය” යන යෙදුම ඉතාම කාලෝචිතයි, මන්ද, සාමුහික වගකීමෙන් බැහැරවූ පුද්ගලාන්ත චින්තනයක් වන ලිබරල් මතවාදය ඇත්තෙන්ම අද අති විශාල හන මිටියක් පමණක් ම බවට පත්වී ඇති ලෙස මමත් දකින නිසා.

    ඔය හන මිටිය බිම දමා අපිට වටින, අපේම දෙයක් අහුලා ගනිමු, එය රැගෙන අපට දුර ගමනක් යා හැකියි.

    ස්තුතියි වරුණ ඔබේ නිර්මානශිලිත්වයට.

  2. Ratanapala Says:

    Many thanks Waruna Chandrakeerthi for your extremely wise and learned article above to enlighten our not so enlightened countrymen who are ever ready to carry the Hana Miti especially if it comes from the Christian West. . Many thanks to Wetta too for your comments.

    I wonder if you could help me how to write in Sinhala Fonts to Lankaweb. I use an Apple Macbook Pro as my laptop. Is there a computer program that will let me do this. I usually write in English which I use for want of a medium to express my views.

    Can you please help me.

  3. Dilrook Says:

    @Ratanapala

    You can use Google Sinhala Transliteration. Type in English letters and space bar will turn it into Sinhala. Or you can pick from the suggestions. After some getting used to, you can fluently write. You can copy it and paste it here.

  4. Ratanapala Says:

    Many thanks Dilrook for your kind advice. I will try and see.

    Kind regards.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress