වෛද්‍ය රුවන් එම් ජයතුංගේ ඕපාදූප
Posted on July 20th, 2017

කුඩගම්මන සීලරතන හිමි

වෛද්‍ය රුවන් එම් ජයතුංග මෑතක දී පළ කළ ලිපිවල වත්මන් ශී‍්‍ර ලාංකික සංඝ සමාජය පිළිබඳව කිසියම් අදහසක් පළ කිරීමට දරණ වෑයමක් පෙනෙන මුත්, ඒවා සාමාන්‍යයෙන් නිතර පළවන අදහස්වලින් එහා යන බවක් නොපෙනේ.   ඒ කියන දේවල්වල කිසියම් සත්‍යයක් ඇති නමුත්, බහුතරය  ඕපාදුප යයි මට හැෙඟ්. යුගයෙන් යුගය කවර සමාජයක වුව සුවිශේෂ පුද්ගලයන් පහළ වූ ආකාරයට ම ලාංකික සමාජයෙහි ද විවිධ දක්‍ෂතා ඇති භික්‍ෂූන් වහන්සේ කවදටත් වැඩ සිටිති. ශක්ති පමණින් ඥාන පමණින් යම් යම් සමාජයීය මෙහෙවරයන් ඉටුකර වියෝ වූ යතිවරුනට අතපසු වූ බරපතළ ම දෙය තමතමන් කළ කී හරියවත් කර කියාගත නොහැකි තමන්ගේ යයි කිවහැකි ශිෂ්‍ය පුත‍්‍රයන් තනා වඩා තබා යන්නට නොහැකි වීම ය. එ නිසා, පොදුවේ සංඝ සමාජයෙහි මහා හිදැසක් දැකිය හැක. වෛද්‍ය රුවන් ජයතුංගයන්ට දම් ඇදුරු වී යයි කියන නාරද හිමියන් පවා, සාර්ථක ද්විභාෂක බෞද්ධ වියතකු වුව ද උන්වහන්සේ ඇවෑමෙන් ආධිපත්‍ය දැරූ වජිරාරාමය වසර ගණනාවක් පාලූවට ගිය අතර අද ද ඉඳහිට නම ඇසෙන තවත් එක් පන්සලකට වඩා යමක් එනමින් නැත.        

              කලකට පෙර වියෝ වූ ආරාමික නඩු පිළිබඳ පළපුරුදු නීතිඥවරයකු වරක් පැවසුවේ බුදුන් වහන්සේ ධරමාන සමයෙහි සිට ම ගොඩනැගෙන පරම්පරා උරුමයක් වශයෙන් ධර්මය රැුක ගැනීම පසුකාලයෙහි දේපළ රැුක ගැනීමේ සම්ප‍්‍රදායකට වෙනස් වූ බව ය. මෙම තත්වය අද වනවිට ශී‍්‍ර ලංකාවෙහි බුදු සසුනක් නොමැති වී, දේපල ඇත්නම් රැුක බලාගෙන, තමතමනට රිසි පරිදි හැෙඟන සිතෙන  ඕනෑ ම දෙයක් බුදුදහම ලෙස තේරුම් කරමින්, සිවුරු දරා සිටින, තනි තනි මිනිසුන් පිරිසකගේ ව්‍යාපාරයක් දැකිය හැකි තැනට පිරිහී තිබේ. හැම කෙනෙකු ම තනි තනිව කැපී පෙනෙන්නට වෑයම් කරන එහි නවකයන් පුහුණු කිරීමක් නැති අතර, ඔවුන්ට මග පෙන්වීමක් හෝ නියාමනයක් ද නොකෙරේ.

               ශී‍්‍ර ලාංකික භික්‍ෂුව සම්බන්ධ තවත් කක්‍ෂණයක් ප‍්‍රකටව දැකිය හැක. තායිලන්තය. ලා ඕසය සහ ඉුරුමයට සාපේක්‍ෂව ශී‍්‍ර ලාංකික භික්‍ෂුව කිසිවෙකුටත් ඇහුම්කන් දෙන කෙනෙකු නොවේ. ඔහු දායකයන්ගෙන් යැපෙන්නෙකුට වඩා, දායකයන් විසින් නඩත්තු කළයුතු යයි සිතන මෙන් ම ඔවුනගෙන් නඩත්තු වීම ඔවුන්ගේ අයිතියක් යයි සිතන, ඔවුනගේ ආගමික අවශ්‍යතා සපුරමින් අවශ්‍ය අවස්ථාවල ඔවුනට අවවාද අනුශාසනා කරන, සාමාන්‍ය සමාජයට ඉහළින් සිටින සමාජ ප‍්‍රපඤ්චයකි. දරුවකු පැවිදිකළ මොහොතේ ම දෙමාපියන් ඇතුළු රැුස්ව සිටින සියල්ලන්ගේ නමස්කාරයට ලක්වීමෙන් ඔවුන් තුළ ඇතිකරවන මානය මුලූ ජීවිත කාලය පුරාවට තදින් තහවුරු වෙමින් ඔවුන් ව නිවනින් ඈත් කරවන බව ඔවුහු නොසළකති. එහෙත්, පුදුම සහගත දෙය සහත දැක් වූ කිසිදු රටක පැවිද්දනට නොලැබෙන පිළිගැනීමක් සහ ගරුසරු දැක්වීමක් ශී‍්‍ර ලාංකික සමාජයෙහි තවමත් තිබේ.

               බැමිණිතියා මහා සායෙන් පසුව එතෙක් මුඛ පරම්පරාගතව පැවති ධර්ම-විනය රැුක ගැනීමේ අභියෝයට මුහුණ දුන් සමකාලීන භික්‍ෂූන් අතර වූ සංවාදයක් පිළිබඳ තොරතුරු මනෝරථපූරණිය අංගුත්තර නිකාය අටුවාවෙහි දැක්වේ. ඒ අනුව, ධර්මය රැුක ගැනීමේ අභියෝගය ජයගත හැක්කේ කෙසේ දැ’යි සාකච්ඡුාවට භාජනය වී තිබේ. එහි දී වැඩි ඡුන්දයක් ලැබී ඇත්තේ ධර්මය හැදෑරීමට මිස, පිළිවෙතට යොමුවීමට නොවේ. එහෙයින්, ලෝකය දකින්නේ ශී‍්‍ර ලාංකික භික්‍ෂුව ධර්මය දන්නා එහෙත් නොපිළිපදින්නෙකු ලෙස ය. එක්තරා අතකින් භික්‍ෂුව ගැරහීමට ලක් වීමට මෙම වාතාවරණය ද තුඩුදෙන බව දැකිය හැක.   

                ලාංකික සමාජයෙහි ධර්ම විනය පිරිහීම කඩිනම් කළේ හැත්තෑ අටේ ආර්ථික විපර්යාසය බව පැහැදිළි ය. වරක් මහැදුරු සරච්චන්ද්‍රයන් පැවසුවේ වෙළඳපොළ අර්ථක‍්‍රමය එතෙක් නොදුටූ විරූ මිනිසකු තනන බව ය. එතුමන්ට අනුව අවස්ථාවෝචිතව භූමිකා රංගනයක යෙදී වෙහෙසට පත්ව දවස නිමා කරන ඒ විපර්යාසයට අනුහුරු වූ මිනිසා, දිනෙන් දිනට ජීවත් වන, තමන්ට ම ආගන්තුකයකු වූ, අමුතු ම කෙනෙකි. එකවර ම මරණයට පත්වීමේ භාග්‍ය නොඑළඹියේ නම්, පැය කිහිපයකටවත් නිසොල්මන් ව තමන් වැතිර සිටින්නට වුවහොත්, ඒ අය තුළ එතුවක් කල් මිනිසකු ජීවත් වූ නොමැති බව පසක් වීමෙන් ඔහු මහත් කම්පාවකට පත්වනු නියත ය. මා දකින ආකාරයට අද ශී‍්‍ර ලාංකික සමාජයෙහි සිටින ගිහි පැවිදි බොහෝ දෙන එසේ තමතමාට ම ආගන්තුක වූවන්ගේ පරපුරේ අය ය.

                බුදුන් වහන්සේ විසින් සිගාලෝවාදය සහ තවත් බොහෝ තැන්වල පෙන් වූ පරිදි සමාජයෙහි පදනම ආර්ථිකයයි. එය ම අවධාරණය කරන කාර්ල්මාක්ස්ගේ සමාජ විග‍්‍රහය අනුව ආර්ථිකය සමාජයෙහි අධෝ ව්‍යුහයයි. මේ භික්‍ෂූන් වහන්සේලා තැනෙන්නේ ඒ පදනමෙහි ය. දායකයා (සමාජය* ඔරුවකටත් භික්‍ෂුව එහි නැගී එතෙරට යන මගියාටත් උපමා කළ බුදුන් වහන්සේ පෙන්වා වදාළේ, භික්‍ෂුව ඔරුව එතෙරට ගෙන යා ගැනීමට අසමත් වන තත්වයක් තුළ දෙදෙනා ම ගිලී මැරෙන බව ය. ඒ දිරාපත් වූ ඔරුව මගියාට දොස් නැගීමෙන් ඵලක් නොවන අතර, පණ බේරා ගැනීමට කළයුතුව තිබෙන එක ම දෙය දෙදෙනා අතර කෙරෙන සානුකම්පිත සංවාදයකින් පිළිගත හැකි ආස්ථානයකට එළඹීම පමණි.        

              ශී‍්‍ර ලාංකික භික්‍ෂූන් වහන්සේ බහුතරය දිනෙන් දින කුණු වෙමින් ලොව ම ගඳ ගස්වන දේශීය දේශපාලන ගොහොරුවෙහි ගිලෙන්නේ ඒ ඇත්තන් විසින් උදුරා ගනු ලැබූ සමාජ නායකත්වය යළි දිනා ගැනීමේ උපක‍්‍රමයක් ලෙස වියහැකි නමුත් එය සාර්ථක වූ බවක් නොපෙනේ. ඒ වෙනුවට අද දැකිය හැක්කේ      

විවිධ මාධ්‍ය ඔස්සේ භූමිකා රංගනයක නිරත භික්‍ෂූන් පිරිසකි. ඒ මාධ්‍ය ආයතනවලට සම්බන්ධ වීමට අවශ්‍ය වන්නේ ජනපි‍්‍රය වීමේ අභිලාශයෙන් මඩනා ලද, ඒ වෙනුවෙන්  ඕනෑම දෙයක් කැප කිරීමට සූදානම් භික්‍ෂූ පිරිසක් මිස බහුතරය නොවේ. භික්‍ෂුව මෙසේ ඉහත මහැදුරු සරච්චන්ද්‍රයන් පැවසූ ආකාරයේ නලූවකු වීම ඉබේ ම සිදුවන්නක් නොවේ.

             හැත්තෑ අටේ පෙරළිය හුමුවේ ඇතිවන සමාජ සංස්කෘතික හානිය දුටු යතිවරුන් අතර පලිපාන චන්දානන්ද අස්ගිරි මහ නාහිමි, මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි සහ මාදුලූවාවේ සෝභිත මාහිමි මුල් තැනක් ගත් අතර, උන්වහන්සේලාගේ හඬ ඉතා බලවත් විය. ඒ හඬ යටපත් කෙරෙන තුරුම්පුවක් පාවිච්චි කෙරුණේ මුලූ මහත් සඟසසුන ම විනාශ කෙරෙමිනි. එවකට පැවති රජය, පැවිදි පිරිවෙන් සිසුවකු සඳහා වසරකට රු. 450ක් සහ ගිහි සිසුවෙකුට සහ පුස්තකාල පහසුකම් සඳහාත් වාර්ෂික ව මුදල් ප‍්‍රදානයක් කිරීමට ඉදිරිපත් වීම පිරිවෙන් අධ්‍යක්‍ෂ හිමිවරුනට ඉල්ලමක් විය. අද වනවිට, මේ මුදල තෙගුණය ද ඉක්මවා වැඩිවී තිබෙන අතර, ව්‍යාජ වාර්ෂික වාර්තා ඔස්සේ පිරිවෙන් අධ්‍යක්‍ෂවරුන් මෙතෙක් අත්කර ගත් ජාතික ධනයෙන් සිදු වූ මොන ම හෝ ආර්ථික සමාජ ප‍්‍රගතියක් පෙන්නුම් කළ හැකි වී නම් අද නැගෙන අවලාද යටපත් වන්නට තිබුණි.

              හැත්තෑ අටට පෙර පිරිවෙණකට ශිෂ්‍යයකු ඇතුළත් කිරීම පරම්පරා ගණන් දිගට පවත්නා සමාජ ආගමික සබඳතා ගොඩ නැගෙන, සතර පේරුවේ ම දායක සහභාගිත්වය ලැබුණ. මහත් වගකීම් සහගත පින්කමකි. දායකවරු තමන්ගේ ආරාමයෙහි පොඩි හුමුදුරුවන් ඉගෙනුම ලබන පිරිවෙණට වාර්ෂික දාන පිරිනැමූ අතර, ස්වකීය විහාරස්ථානයේ කුදු මහත් කටයුතුවලට ඒ පිරිවෙණෙහි නායක කාරකාදි මහ සඟරුවනේ සහභාගිත්වය නිතර ලබා ගත්හ. මේ හරහා පොඩිහාමුදුරුවන් පිළිබඳ ඇගයීමක් සිදු වූ අතර, උන්වහන්සේ අත්කර ගන්නා කුසලතාමය සහ දැනුමේ ප‍්‍රගතිය සියලූ දායකයන් අතර ප‍්‍රචලිත විය. එහෙත්, බහුතරයකට ප‍්‍රතිපාදන ලබා දී ඉහත කී නාහිමිවරුන්ගේ හඬ යටපත් කරවා ගත් රජයන්ගේ මුදලට කෑදර වූ බොහෝ පාරිවේණික අධ්‍යක්‍ෂවරු ඔලූගෙඩි වැඩිකර ගැනීමේ සහ වැඩි මුදලක් ලබා ගැනීමේ මෙහෙයුමකට අවතීර්ණ වූයෙන් අර සබඳතා ජාලය නිහඬව නිවී ගියේ ය. අණු මාත‍්‍ර වරදෙහි බිය දක්නා සුලූව වාසය කිරීම අවධාරණය කෙරුණ බොදු හැදියාවෙන් මෙහෙයැවුණු පෙර පිරිවෙන්පති හිමිවරු සිසුන්ට දැඩි දඬුවම් දුන් ආකාරය සිහිපත්වන විට අදත් දැනෙන්නේ දැඩි බියකි.   

              දිනක් හරංකහව සංඝානන්ද පිරිවෙණෙහි (තවමත් තිබේ දැ’යි නොදනිමි* එක් තරුණ ශිෂ්‍ය භික්‍ෂුවකගේ නොමනා හැසිරීමක් එම පන්තියට උගන්වමින් සිටි ගිහි ගුරුවරයකුව කෙතරම් අපහසුවකට පත් කළේ ද යත් එකවර ම ගැරුවරයාගේ පහර දීමකට තරුණ පැවිදි ශිෂ්‍යයා ලක් ව තිබේ. ඒ භික්‍ෂවගේ  හැසිරීම එතරම් ම නොපනත් වූවකි. එකල මහනුවර දිස්ති‍්‍රක්කයේ දියුණු පිරිවෙණක් වූ එහි ශිෂ්‍යයෝ කිපුණහ. පැමිණිල්ල පිරිවෙන්පති නාහිමියන්ට ඉදිරිපත් කෙරිණි. ගුරුවරයා ගෙන්වා සිද්ධිය විමසා දැනගත් නාහිමියෝ සියලූ සිසුන් පිරිවෙණ හැරගිය ද තමන් වහන්සේ ඒ ගුරු භවතා පිරිවෙණෙහි තබා ගන්නා බව ප‍්‍රසිද්ධියේ කියා සිටියහ. ශිෂ්‍ය භික්‍ෂූහු නිහඬ ව පන්තිවලට ගියහ. එහෙත්, ඉහත ආර්ථික පෙරළියෙන් උඩුයටිකුරු වී ගිය පිරිවෙණ, අනතුරුව බලයට පත් රජයන් විසින් වරින් වර දීමනාව වැඩි කිරීමත් සමග සුණුවිසුණු වී ගියේ ය. දැන් තිබෙන පිරිවෙණ් බහුතරය හිතුමනාපේ  ඕනෑම කෙනෙකුට ඉගෙනුම ලැබිය හැකි, මොන ම ආකාරයෙන්වත් වරදක් පෙන්වා දිය නොහැකි, අවාසනාවන්ත ආයතන සමූහයකි. ඒවායින් ඔය කියන ආකාරයේ චරිත බිහිවිය හැකි පසුබිමක් නොමැත.

             ශී‍්‍ර ලාංකික ආරාමවල පැවිදි කරවීම සිදුවන ආකාර ද කිහිපයකි. එකක් ඥාති ශිෂ්‍ය පරම්පරාව පවත්වා ගැනීම සඳහා ලේ ඥාතිත්වයක් ඇති දරුවන් පැවිදි කරවීම ය. ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර පවත්වා ගෙන යාමට තෝරාගත් දරුවන් පැවිදි කරවීම අනෙකකි. පිරිවෙණෙහි දීමනාව වැඩි ප‍්‍රමාණයක් ලබා ගනිමින්, ගුරු සංඛ්‍යා පවත්වා ගැනීමට පැවිදි කරවීම තවෙකකි. කිසිවක් සොයා නොබලා අහුවෙන කෙනෙක් පැවිදි කරවීම, ආයතන පාලූ වීම මග හරවා ගැනීමට වියපත් වූවන් පැවිදි කරවීම, පවුල් පසුබිමෙහි ගැටලූ නිසා පැමිණ පැවිදිවීම සහ අඟපසඟ බලා පැවිදි කරවීම ද කෙරෙන බව කණගාටුවෙන් වුව සඳහන් කළයුතු ය. මෙයින් මුල් ශීෂ්‍ය භික්‍ෂූන් අතිශය වරප‍්‍රසාද ලාභීන් ය. සමාජයේ ගැරහුමට ලක්වන බහුතරය ඒ පිරිස අතරින් ආ අය නොවේ. මේවා බැලූබැල්මට මිස, ශාස්තී‍්‍රයව කරුණු පරීක්‍ෂා කර දක්වනු ලබන අදහස් නොවේ.

            අවිවාහක පිරිමි ගැහැණු පමණක් සිටින ආයතනවල ලිංගික සබඳතා ඇතිවීම සාමාන්‍ය ස්වාභාවික සංසිද්ධියක් නමුත් ළමා අපයෝජනය කෙසේවත් අනුමත කළ හැක්කක් නොවේ. එයින් වන පෞරුෂ හානිය, මනෝ-කායික දුබලතා මෙන් ම ඇතැම් අමානුෂික සංසිද්ධීන් ද අඩුවක් නොමැත. බොහෝවිට, ඉහත ගණපූරණය පවත්වා ගැනීමට පැවිදි කෙරෙන්නේ බෙහෙවින් පාරිසරික සහ ආර්ථික ගැටලූ ඇති පවුල්වල දරුවන් ය. පිරිවෙන්වලට දිළිඳු දරුවන් සපයන ව්‍යාපාරිකයන් ද දක්නා ලැබේ. ඒ දරුවන්ට ලැබෙන යම්යම් සත්කාර, තෑගිබෝග නිසා, සිත්තුළ පවත්නා ආතතිය සඟවා ගෙන හෝ තවත්     සමහර විටක අවස්ථාව පැමිණෙන තෙක් රැුඳී සිටින අදහසින් විඳ දරාගෙන සිටින හෝ ඔවුන්ගේ තත්වය  තවත් වියවුල් වන්නේ කලවයස් සමග වැඩිහිටි භික්‍ෂූන්ගේ අමන අවශ්‍යතා සපුරාලීමට පසුබට වීමෙන් නොතකා හැරෙන තැනට වැටීමත් සමග ය. එතැන් පටන් කෙසේ හෝ ආරාවුල් කර ඔහුව ආයතනයෙන් බැහැර කරවීම ආයතනාධිපතිවරුන්ගේ අභිලාශය වෙයි.

             ශී‍්‍ර ලාංකික ආරාමික පරිසරය හා ආශි‍්‍රත අත්දැකීම් ලොවට පෙනෙන ආකාරයේ පාවාඩ වියන් යටින් ගොස් පිරුවට මත වැඩහිඳිමින් ලබන ඒවා ම නොවේ. වෛද්‍ය ජයතුංග පවසනවාට වඩා අමානුෂික මෙන් මදුෂිතය. ජුගුප්සා ජනක ය. බොහෝ තරුණ භික්‍ෂූන් ප‍්‍රකට කරන්නේ ඒ මානසික පීඩාවන් ය. මෙම තත්වය යම් තරමකට හෝ අවම කළහැක්කේ දැන උගත් දායකවරුන් කුඩා හිමිවරුන්ට සමීප ව තමන්ගේ දරුවන් වැනි ම ය වැනි ආකල්පයකින් තොරතුරු සොයා බලා අවශ්‍ය මග පෙන්වීම් කිරීමට යොමු වීමෙනි. එහෙත්, ප‍්‍රකට ව දැකිය හැක්කේ ස්වකීය ආගමික අවශ්‍යතා පමණක් සපුරා ගැන්මට ඒ අය ද මේ කුඩා ජීවිත පාවිච්චි කරන බවක් පමණි. එහි ලා වියතුනට කළහැකි එක් දෙයක් පිළිබඳ අත්දැකීමක් මට තිබේ. කවදත් කෙස් රැුවුල් කපන සිරිතකට හුරුවී තිබෙන මා බස් නැවතුමක සිටිය දී මහානුභාව සම්පන්න රථයක් නවතා කැමති නම් මිනුවන්ගොඩට ඇරලවිය හැකි යයි පැවසී ය. මා සිටි තැනින් බසයකට නැග ගැනීමේ අපහසුව දැන සිටියෙන් දෙවරක් සිතන්නට පසුබට නොවුනෙමි. වාහනය පැදවූයේ ටයි කෝට් ඇඳගත් වැදගත් පෙනුම ඇතියෙකි. බඹ කිහිපයක් ඉදිරියට ඇදෙද්දී එතුමා ම දෙස  ඕනෑකමින් බලා, ”හාමුදුරුවනේ, ඩංසමකසවාතාතපසිරිංසප සම්පස්සානං” කියන්නේ කුමක් දැ’යි විමසී ය. දෛනික භික්‍ෂු ප‍්‍රත්‍යවේක්‍ෂාවෙන් එය ඔහු ඉගෙනගෙන තිබුණේ පාසැල් වියෙහි දී, ඔහුගේ පියාගේ සෙහොයුරෙකු වූ නාහිමි නමකගේ පන්සලෙහි නේවාසික ව සිට නුවර පාසැලකට යද්දී ය. එය පහදා දුන් පසුව එතුමා පැවසූයේ භික්‍ෂූන්ට බසයකට නැග ගැනීමට තිබෙන අපහසුව දන්නා ඔහු යන එන පාරවල්වල බස් නැවතුම්පළවල කෙස්රැුවුල් කැපූ හිමිනමක සිටිනු දුටුවොත් කැඳවාගෙන යන බවත්, දන්නවා දැ’යි බලන්නට ඒ පැනය නැගූ බවත් ය. තවත් අත්දැකීමක් කියමි. යොවුන් වියෙහි පැවිදි වූ මා හමුවට හැම බ‍්‍රහස්පතින්දා ම උදෑසන ආ දායක මහත්මයකු බදාදා රාති‍්‍ර දම්දෙසුම ගැන කතාබස් කරන්නට පුරුදුව සිටියේ ය. මුල් ම දිනයෙහි ඒ ගැන නොදැන සිටි මුත්, ජාම බේරාගත් මම දෙවන දින සිට නොවරදවා ම බදාදා රාති බණ ඇසීමට පුරුදු වීමි. අදටත් අන්තර්ජාලයෙන් සුදුසු දම්දෙසුමක් ඇසීමේ පුරුද්ද තිබේ. මෙබඳු ගතිසිරිත් පුරුදු කරවමින් භික්‍ෂූනට කලණ මිතුරන් වීම කාට වුව කළහැකි වටිනා දේ ය.   

         දේශ දේශාන්තරණය බහුල වී ඇති මෑතක සිට දක්නා ලැබෙන තවත් දෙයක් මේ පරිහානිය තීව‍්‍ර කරවනු නිරනුමානය. පිරිකර පූජා කිරීම සාම්ප‍්‍රදායික සංසිද්ධියක් වන අතර එහි දී කිසි ම ප‍්‍රයෝජනයක් නොමැති දේ ලැබෙන අවස්ථා කොතෙකුත් තිබේ. විදේශගත ලාංකිකයන් සිවුරු පිරිකර ආදියක් සපායා ගත නොහැකි නිසා, ලියුම් කවරයක බහා ලූ කිසියම් මුදලක් පුදන සිරිතක් තිබේ. මෑතක සිට මෙම සිරිත ශී‍්‍ර ලාංකිකයන් අතර ද ජනපි‍්‍රය වෙමින් පවත්නා බවක් අසා ඇත. ඇතැම් අවස්ථාවල වැඩිහිටි භික්‍ෂූන් ම ඒ සඳහා දායකවරුනට උපදෙස් දෙන බව ද කියවේ. මුදල් කළමනාකරණයක් නොදන්නා භික්‍ෂූන් මෙම මුදල නාස්තිකර ගැනීම නිරනුමාන මෙන් ම, ඒවා නිරර්ථක මාධ්‍යවල වියපැහැදම් කිරීම ඉතාම අනර්ථකාරී ය. අඩුම තරම පිරිවෙන් බලධාරීන් විසින් මේ නොදරුවන්ට මුදල් කළමනාකරණය පිළිබඳ විධිමත් පුරුදු ඇති නොකරවන්නේ නම්, ඇතිවිය හැකි තත්වය අතිශයින් බියකරු ය. මගේ සමීප හිතවතකු ඔහුගේ නිවසෙහි ආගමික අවශ්‍යතාවකට වැඩමවාගත් වැඩිහිටි භික්‍ෂුවකට අවශ්‍ය දෙයකට ප‍්‍රයෝජනයට ගනු මැනවැයි සෑහෙන මුදලක් පිරිනමා තිබුණි. එදින හැන්දෑවේ ඔහුට කතා කළ භික්‍ෂුව ප‍්‍රශංසා කිරීමට ම දුරකථනයෙහි ගතකළ කාලය සඳහා ඊටත් වැඩි මුදලක් වියදම් වන්නට ඇතැ’යි මා සමග පැවසූ හිතවතා ඒ සඳහා ඔහුගේ කාලයත් සෑහෙන තරමක් විනාශ කළේ යයි පැවසුවේ සංවේගයෙනි. මුදල සර්පයකු ලෙස දුටු බුදුන් වහන්සේ මුදල් ඇතිබව යනු පංචකාමය ම භුක්තිවිඳීම යයි දැක්වූහ. පංචකාම සේවනය ඉක්ම වූ ධර්ම සංවාද බහුල කිරීම මෙම තත්වයන් පාලනය කර ගැනීමට මහඟු උපකාරයක් වනු ඇත.

කුඩගම්මන සීලරතන හිමි

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress