එමර්සන්ට එරෙහිව විජයදාස
Posted on July 20th, 2017

නලින් ද සිල්වා

මානව අයිතිවාසිකම් හා ප්‍රතිත්‍රස්තවාදය පිළිබඳ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකාර එමර්සන්ට විජේදාස රාජපක්‍ෂ ඉතා තදින් පිළිතුරු දී ඇති බවට දි අයිලන්ඩ් පුවත්පතේ ඊයේ වාර්තා වී තිබුණා. ජනමාධවේදීන් මාධ්‍ය සාකච්ඡාවක දී එමරසන්ගෙන් ඒ ගැන ඇසූ අවස්ථාවේ දී ඔහු කියා ඇත්තේ පෞද්ගලික සාකච්ඡාවල දී සිදු වූ දේ ඔහු ප්‍රසිද්ධියේ නොකියන බවයි. එමර්සන් සුද්දකුට සරිලන පිළිතුරක් දී තිබෙනවා. ඔහු ප්‍රශ්නයෙන් ගැළවෙලා. සුද්දන්ගේ හැටි ඔහොමයි.

අද වන විට ආණ්ඩුවේ මැදිහත් වීමෙන් කොටින්ට විරුද්ධව වීරෝදාර ව සටන් කළ නාවික හමුදා නිලධාරියකු අත්අඩංගුවට අරගෙන. ඒකාබද්ධ විපක්‍ෂයටත් පුළුවන් මාධ්‍ය සාකච්ඡා පවත්වන්න විතරයි. දැන් දේශපාලනය මාධ්‍ය සාකච්ඡාවලට හා රැස්වීමකින් පසුව මාධ්‍යයට කරන ප්‍රකාශවලට (ඊනියා වොයිස්කට්) සීමා වී ඇති නිසා  ඒකාබද්ධ විපක්‍ෂයට වෙන දෙයක් කරන්න බැරුව ඇති. ඒකාබද්ධ විපක්‍ෂය මොන මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවත් රණවිරුවන් අත්අඩංගුවට ගැනීම දිගට ම කෙරීගෙන යනවා. හෙට අනිද්දා ගෝඨාභයත් අත්අඩංගුවට ගනීවි කියා කතා පැතිර යනවා.

විජයදාස රාජපක්‍ෂට එමර්සන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශංසාවක් කිරීමට මා ඉක්මන් වන්නේ නැහැ. ඔහු ආණ්ඩුවේ ඇමතිවරයෙක්. ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස රණවිරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඔහුත් වග කියන්න ඕන. විජයදාස රාජපක්‍ෂ අනෙක් අතට මේ ආණ්ඩුව බලයට පත් කිරීමට දරදිය ඇද්ද කෙනෙක්. බටහිරයන් මේ ආණ්ඩුව බලයට පත් කරන්නේ ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත් රාජපක්‍ෂලාට හා රණවිරුවන්ට දඬුවම් දීමටත් බව අප එදා කියන විට විජයදාස රාජපක්‍ෂ හිටියේ කොහේ ද? මේ ආණ්ඩුව බිඳ වැට්ටවීමට විජයදාස කරන්නේ කුමක් ද?

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී මානව අයිතිවාසිකම් පැත්තකට දැමීමට සිදුවන බවට එංගලන්ත අගමැතිනි තෙරේසා මේ කර ඇති ප්‍රකාශය ගැන එමර්සන්ලා මුනිවත රකිනවා. මාධ්‍යවේදීන් ද ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. බටහිරයන්ගෙන් ප්‍රශ්න ඇසීමේ දී මෙරට මාධ්‍යවේදීන් කුලෑටි ගතියක් පෙන්නුම් කරනවා. එමර්සන්ලාට පැන යෑමට ඉඩ දීමෙන් මාධ්‍යවේදීන් තම යුතුකම හරිහැටි ඉටු කරන්නේ නැහැ.

ත්‍රස්තවාදයකට විරුද්ධ මෙහෙයුම් කියන්නේ සාමාන්‍ය යුද්ධයක් නො වෙයි. සාමාන්‍ය යුද්ධයක දී දෙපැත්ත ම නිල හමුදා මගින් නියෝජනය වෙනවා. දෙපැත්තට ම එක විධියට යුද්ධ නීති බලපැවැත්වෙනවා. එහෙත් ත්‍රස්තවාදයකට විරුද්ධ මෙහෙයුම්වල දී ත්‍රස්තවාදීන්ට යුද්ධ නීති බලපැවැත්වෙන්නේ නැහැ. ඔවුන් මානව අයිතිවාසිකම් කඩ කළා ද නැද්ද යන්න ගැන එමර්සන්ලා විමසන්නේ නැහැ. ඔවුන්ට විරුද්ධව ජෙනීවාහි මානව අයිතිවාසිකම් චෝදනා ඉදිරිපත් වන්නේ නැහැ. එහෙත් ජෙනීවා මානව හිමිකම් අයිතිවාසිකම් අයිතිකරුවන් අප වැනි රටක් ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන මෙහෙයුම්වල දී යුද්ධ නීති රැක්කේ ද මානව අයිතිවාසිකම් රැක්කේ ද ආදී දහසකුත් එකක් ප්‍රශ්න නගනවා. ත්‍රස්තවාදීන්ට මානව අයිතිවාසිකම් කඩ කිරීමට අවසරය තියෙනවා ද?

ඒ අතර මානව අයිතිවාසිකම් අයිතිකරුවන් බටහිර රටවලින් අපෙන් මෙන් ප්‍රශ්න  කරන්නේ නැහැ. බටහිර රටවල් අල් ක්වෙයිදාවට, අයිසිස් ත්‍රස්වාදීන්ට එරෙහිව බෝම්බ දමද්දී එයින් සිවිල් වැසියන් කී දෙනකු මිය ගියා ද කියා ප්‍රශ්න කරන්නේ නැහැ. තෙරේසා මේගේ ප්‍රකාශය මානව අයිතිවාසිකම් අයිතිකරුවන් අනුමත කරනවා ද? මා නම් අනුමත කරනවා. එපමණක් නොවෙයි. ලංකාවේ හමුදාවන්ට විරුද්ධව ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම් ගැන ජාත්‍යන්තරය පරීක්‍ෂණ කරන පරීක්‍ෂණවලට මා විරූද්ධයි.

ත්‍රස්තවාදීන් මානව අයිතිවාසිකම් තුට්ටුවකට මායිම් නොකරන විට හමුදාවත් මානව අයිතිවාසිකම් මායිම් නොකළ යුතු යැයි මා කියන්නේ නැහැ. එහෙත් ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන මෙහෙයුම්වල දී සුදුසු පරිදි ක්‍රියාත්මක වීමට හමුදාවන්ට නිදහස තිබිය යුතුයි. කොටි සංවිධානය මානව අයිතිවාසිකම් කඩ කළ විට ඔවුනට විරුද්ධව කුමක් කෙරිණි ද? තැන තැන පිපිරූ බෝම්බවලින් මිය ගියේ හමුදා භටයන් නො වෙයි. කැබිතිගොල්ලෑවේ දී මිය ගියේ හමුදා භටයන් නො වෙයි. අරංතලාවේ දී මියගියේ හමුදා භටයන් නො වෙයි. කොටින්ට විරුද්ධව විභාගයක් නොකරන්නේ ඇයි? මේ ඝාතනවලට කොටි සංවිධානය පමණක් නොව ටී එන් ඒ වැනි දේශපාලන සංවිධානත් වග කිව යුතුයි. ඒත් සම්බන්ධන්ලා සුමන්තිරන්ලා විග්නේස්වරන්ලා නිදහසේ හැසිරෙනවා. මානව අයිතිවාසිකම් අයිතිකරුවන් සම්බන්ධන්ලාට සුමන්තිරන්ලාට විග්නේස්වරන්ලාට විරුද්ධව පරීක්‍ෂණ, ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණ කරන්නේ නැත්තේ ඇයි?

හමුදා මෙහෙයුම් අවසන් කාලයේ දී කොටි සාමාන්‍ය ජනයා ලක්‍ෂ තුනක් පමණ මිනිස් පළිහක් ලෙස යොදා ගත්තා. එය මානව හිතවාදී වෙන්න ඇති. එහි දී ද අන් හැම තැනක දී ද අපේ හමුදාව ඉතාමත් විනය ගරුකව ක්‍රියා කළා. හමුදාවට විරුද්ධව ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණවලට පමණක් නොවෙයි හමුදාවෙන් බාහිර ව කෙරෙන සියළු පරීක්‍ෂණවලට අප විරුද්ධ විය යුතුයි. පරීක්‍ෂණ කිරීම හමුදාවට භාර විය යුතුයි.

එමර්සන්ලා පදනම් වන්නේ ඕපදූප මත. ඔවුන් අඩු තරමේ නිශ්චිත ඇසින් දුටු සාක්‍ෂිවත් ඉදිරිපත් කරන්නේ නැහැ. මේ මානව අයිතිවාසිකම් අයිතිකරුවන්ට ලංකාවට ඒමට කිසිම අවසරයක් නොදිය යුතුයි. ඒත් අපට එවැනි දෙයක් මේ නිවට ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. විජයදාස රාජපක්‍ෂ ආණ්ඩුවේ ඉඳගෙන එමර්සන්ට විරුද්ධව කරන කතා නරක නැහැ. ඒත් එහි ප්‍රතිඵලය කුමක් ද? රනිල් විජයදාස රාජපක්‍ෂ සමග එකඟ වෙනවා ද? ආණ්ඩුවේ හැම ඇමති ම ජනාධිපති වෙන්න හැදුවත් ආණ්ඩුව කරගෙන යන්නේ අගමැති.

 

නලින් ද සිල්වා

2017 ජූලි 15

One Response to “එමර්සන්ට එරෙහිව විජයදාස”

  1. Ratanapala Says:

    We commend the Minister for his forthrightness in confronting another piece of white trash who thinks they can forever ride roughshod over smaller countries like Sri Lanka. However Minister’s bravado will remain just bravado if it is not possible to follow up with the UN authorities through the right channels.

    Much cannot be expected knowing we have a President who is only looking after his own personal welfare and living from day to day to survive his illgotten presidency. And much cannot be expected knowing we have a Prime Minister whose only task is to fulfil the foreign agenda given to him by the Western Christian powers led by the US who engineered the Regime Change of Jan 2015 and his personal agenda to undo the Sinhala Buddhist establishment in Sri Lanka.

    If the Minister is genuine he should follow his righteous anguish against this International interloper by making contacts with countries similar to Sri Lanka who are at the receiving end of similar unwarranted intrusions and forming a common front, so that Sri Lanka will not be alone to face the wrath of the UNITED HYPOCRITES also called the United Nations!

    We need the backing of Russia and China on this matter. They are the ones who can make an impact at the UN, UN Security Council and other relevant UN Agencies. It is high time the world look up to another mechanism to rival the now defunct and corrupt UN!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress