උමා ඔය වැලිමඩ හා හාළිඇල විනාශ කළ බව දැන්වත් පිළිගන්න  – මානව හිමිකම් කේන්ද්‍ර‍ය පරිසර ලේකම්තුමාට කියයි.වැලිමඩ හාලිඇළට තවමත් රුපියලක් වන්දි නෑ.
Posted on July 26th, 2017

කීර්ති තෙන්නකෝන් 

උමා ඔය හේතුවෙන් ගොවිතැන් විනාශ වූ වැලිමඩ/හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව වෙත වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් කළේය.

බණ්ඩාරවෙල සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි වගා හානි සිදු වූ ගොවීන් හා ඉඩම් හිමියන් හට වගා හානි වන්දි  ගෙවා ඇති නමුත් එය වැලිමඩ සහ හාලි ඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මේ දක්වා ක්‍රියාත්මක නොවන එම මානව හිමිකම් කේන්ද්‍ර‍ය පවසයි.

බණ්ඩාරවෙල හා ඇල්ල ව්‍යසනය උමා ඔය හේතුවෙන් සිදු වූ බව රජයේ නිලධාරීන් තහවුරු කොට ගෙන ඇති නමුත්, වැලිමඩ (සහ හාලිඇල සහ වෙනත් කළාප) හානිය සිදුව ඇත්තේ උමා ඔය හේතුවෙන් බව අදාළ රජයේ පාර්ශව විසින් මේ දක්වාම තහවුරු කර, නිර්දේශ හා සහතික කිරීම් සිදු කොට නොමැත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයා පවසන්නේ, උමා ඔය පළමු විනාශය සිදු වූයේ පුහුල්පොල, දික්කාපිටිය ප්‍රදේශයටත් හාලිඇළ පනංගල ප්‍රදේශයටත් සිදු වූ ව්‍යසනයට උමා ඔය හේතු වූ බව රටම දන්නා කරුණක් බවයි.  වැලිමඩ දික්උල්පත, වැවතැන්න හා  එළමල්ලන්ද වැව් මේ වන විට සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇත.  හාලි ඇල පනංගල වැව ද වගාවන් සදහා තවදුරටත් ජලය ලබා දිය නොහැකි මට්ටමට පත්ව ඇත. ප්‍රදේශයේ ජල උල්පත්, ජලාශ, දිය ඇලි, දිය කදුරු 3150 කට වැඩි ප්‍ර‍මාණයක් උමා ඔය විනාශයට ගොදුරු වී ඇත.

ලියන්ගහවෙල ඇති වූ දැවැන්ත නාය යාම උමා ඔය ඉදිකිරීම් නිසා ඇතිවීවූවක් නොවන බව රජයේ නිලධාරීන්ගේ වාර්තා දක්වයි.  නමුත්, උමග හා නාය ගිය ස්ථානය අතර දුර කි.මි. 1.2 කි.  උමගට කි.මි. 2.5 ට වඩා දුරින් ඇති ස්ථානවලට ද මෙහි බලපෑම සිදුවන බව දැන් විද්‍යාත්මකව තහවුරු වී ඇත.

වැලිමඩ සශ්‍රීකම බිම් කොටස මුළුමනින්ම පිට්ටනියක් බවට පත්ව ඇත්තේ උමා ඔය ව්‍යවසනය නිසා බව නැවත නැවත කිව යුතු නැත.  එය ඇසට පෙනෙන, ව්‍යවහාරික බුද්ධියට දැනෙන දෙයකි.  එය විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට, අර්ථ ගන්වා ගැනීමට සමත් රාජ්‍ය නිලධාරීන් අප සතුව ඇතැයි විශ්වාස කළ හැකිය.

වැලිමඩ, දික්කාපිටිය, පුහුල්පොල, පනංගල ලංකාවේ වැඩිම ආදායමක් උපයන ගොවි බිම් ය.  වර්ග අඩි 479,160 ක ජල ධාරිතාවක් ඇති දික්උල්පත වැවේ වත්මන් ජල ධාරිතාව වර්ග අඩි 12,000 කට අඩුය. ඒ ද තැන තැන මඩ කඩිති මෙනි.  කුඹුරු අක්කර 99 ක් අස්වද්දන්නට වතුර ද, තවත් අක්කර 72 ක එලවළු වගා කරන්නට වගා බිම් 228 කට කෘෂි ජලය ද, දික්උල්පත වැවෙන් ලැබුණි.   උමා ඔය ව්‍යාපෘතිය විසින් විනාශ කරන්නට පෙර වසරකට වී කිලෝ 235,620 ක් ද, එක් කන්නයකට අර්තාපල් කිලෝ 891,000 ක සාමාන්‍ය අස්වැන්නක් ද ලැබුණි. කත්කාලි, ගෝවා, බෝංචි, නොකොල්, ඇතුළු උඩරට එලළුලු සදහා සරු බිමක් හැමදාම දික්උල්පත වැව විසින් පමණක් සාදා තිබුණි. අනෙකුත් ස්ථාන සම්බන්ධයෙන් ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන මගින් තහවුරු කළ දත්ත ලබා දිය හැකි බව ද තෙන්නකෝන් මහතා ගේ අත්සනින් යොමු කළ ලිපියේ සදහන් වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress