දේශීය බීජ සංගම් අහෝසියි බීජ අයිතිය බංගලිදේශයට
Posted on July 26th, 2017

මතුගම සෙනෙවිරුවන්

            පාරම්පරික බීජ කටුගෙට දමා දෙමුහුන් නව බීජ සමග අත්වැල් බැඳගත් රාජ්‍ය කෘෂිකර්ම ප්‍රතිපත්තිය වෙළෙඳ පළ ආර්ථිකය වෙනුවෙන් යලි සකස් වන්නට ආරම්භ වූයේ අසූව දශකයෙන් අනතුරුවය. විවෘත ආර්ථිකය යටතේ රජයේ බිත්තර වී ගොවිපළ වල් පෞද්ගලික අංශයට විකුණා දැමූ පසු බහුජාතික සමාගම් විසින් බීජ ඒකාධිකාරය තමන් සතු කර ගත්හ.කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ දේශපාලනඥයන් වරින් වර මේ සමාගම් සමග ඇති කර ගත් ගිවිසුම් නිසා දේශීය බීජ අයිතිය පවා අන්සතු කරලිය හැකි බීජ පණත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. පසුගිය කාලයේ දිවි නැගුම හරහා මෙම බහුජාතික සමාගම් අත්කර ගත් ප්‍රගතිය ඉතා විශාලය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි පලපුරදු ආයතනයක් තුළින් ඉටු කරගත හැකි ඵලදායී ජනතා මෙහෙවර පසෙකට කර මෙම බහුජාතික සමාගම් මත යැපීමට උත්සාහ කිරීම තුළින් රටේ සෑබෑ උරුමයක් වූ බීජ අයිතිය අන්සතු වෙමින් ඇත. මෙහි නවතම පියවර වන්නේ මහඉළුක් පල්ලම ගොවිපළ සතු ඉඩම් අක්කර තුන්සීයක් බංගලිදේශ සමාගමකට පවරා දෙමුහුන් බීජ නිෂ්පාදනයට පෙළඹවීමයි.මෙම ගිවිසුම හොර රහසේම පසුගියදා අත්සන් කර ඇත.

          මෙම කර්යයේ එක් පාර්ශවයක් වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි.  මෙම නව ගිවිසුම අත්සන් කර ඇත්තේ මෙම රාජ්‍ය ආයතනය සහ බංගලි දේශයේ ලාල් ටීර් බීජ සමාගමයි.මේ දෙපිරිස අතර ඇති වන එකඟතාවය යටතේ පහත සඳහන් පරිදි රජයේ කෘෂීකර්ම ප්‍රතිපත්තිය තුළ බීජ නිෂ්පාදනය කෙරෙන පරිදි ගිවිස ගෙන ඇත.

  • අත්තිවාරම් බීජ නිෂ්පාදනය සහ පවත්වාගෙන යෑම
  • එළවුළු බීජ නිෂ්පාදනය පිණිස නව දෙමුහුන් තාක්ෂණය යොදා ගැනීම.
  • එළවුලු බීජ සංවර්ධනය දෙමුන් කරණය එම සංරක්ෂිත ප්‍රභේදයන් පවත්වා ගෙන යෑම ගබඩා කර ගැනීම පර්යේෂණ ආදී සියලු කටයුතු බංගලි දේශ සමාගම සතු වේ. මෙහිදී තුන්වන පාර්ශවයකට කිසිම මැදිහත් වීමක් කළ නොහැකි වන ලෙසටද ගිවිසුම සකස් කර තිබේ.

මෙම කටයුත්ත සඳහා රජයෙන් ඉඩම් අක්කර තුන්සීයක් පමණ ලබා දීමට දැනට එකඟ වී ඇතැයි දැන ගන්නට ඇත. මේ සඳහා යොදා ගනු ඇත්තේ මහ ඉළුක් පල්ලම ගොවිපලේ ඉඩම් බව ද දැන ගන්නට ඇත.එසේම වැඩ පිළිවෙලේ සාර්ථකත්වය මත තවත් ඉඩම් ලබා දීම රජයේ පාර්ශවයේ එකඟතාවයයි.

          මෙහිදී මතු වන ප්‍රශ්ණය නම් උක්ත ඉලක්ක ලඟා කර ගැනීමට දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව ශක්‍යතාවයක් නොමැතිද යන්නයි. රජයේ මුදල් වියදම් කොට වාර්ෂිකව පුහුණු කරනු ලබන කෘෂිකර්ම නිළධාරීන් සිටින රටක ඒ සඳහා භූමිය වශාල වශයෙන් යොදා තිබෙන රටක විදේශීය සමාගමකට සියලු පර්යේෂණ කටයුතු සහ බීජ නිෂ්පාදනය භාර දීම කෙතරම් දුරට ආහාර සුරක්ෂිතතාවය පැත්තෙන් සාධාරණද යන්න අප සලකා බැලිය යුතුය. එසේම මේ වන විට දේශීය බීජ සංගම් 19000 ක් පමණ රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ.බීජ නිෂිපාදනයට එම සංගම් තුළද විශේෂ ශක්‍යතාවයක් ඇත. පසුගිය රජය කාලයේ ද  පැල්වෙහෙර ගොවිපළ සතුව තිබූ විශාල ඉඩම් ප්‍රමාණයක් පුද්ගලික සමාගමකට බදු දී තිබුණි. එම ක්‍රියාවට එරෙහිව යහපාලන ඇමතිවරයෙකු වන වසන්ත අලුවිහාරේ මහතාගේ පොරොන්දුව වූයේ නව රජය බලයට පත් වූ පසු එම ගිවිසුම අවලංගු කරන බවයි. නමුත් එසේ සිදුව නොමැත.එසේ නම් මෙම බදු දීම් හරහා රජය බලාපොරෙත්තු වන්නේ කුමක්ද යන්න පිළිබඳ විමසීමක් කළ යුතුය.

        2001 වසරේ දී රජය ශාක බෝ කරන්නන්ගේ අයිතිවාසිකම් පණත නමින් කෙටුම්පතක් සකස් කළහ.මෙයට සාභාගි වූයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ බුද්ධිමයදේපළ කාර්යංශයයි. මෙම පණතෙහි පසුබිම ඇති වන්නේ ලෝක වෙළෙඳ සංවිධානය මගින් රටවල් අතර පවතින වෙළෙඳාම දියුණු කරවීමේ අරමුණින් ඇති කළ ගිවිසුම්ය. වානිජ වටිනාකමක් ඇති  බුද්ධිමය දේපළ  සඳහා රැකවරණ ලබා දීමේ අරමුණින් එහිදී එක් එක් රටවල්  ස්වකීය වපසරිය තුළ නීති කෙටුම්පත් ඇති කිරීමට ගිවිස ගෙන ඇත. ශ්‍රී ලංකාව මෙතනදී තෝර ගෙන තිබෙන්නේ නව ශාක ප්‍රභේද සඳහා බුද්ධිමය දේපළ ලබා දීමේ නීති කෙටුම්පත් ඇති කරලීමටයි.ඒ අනුව 2001 වර්ෂයේ සකස් කළ මූලික ලියවිල්ල පණතක් ලෙස වර්ධනයව තවමත් සම්මත කර ගෙන නොමැත. ඊට හේතුව වරින් වර ගොවීන් ගෙන් ගොවි සංවිධාන වලින් මීට එල්ල වූ විරෝධතාවයයි. නමුත් කිසිවිටක් මෙම අදහස කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ බල ධාරින් විසින් ඉවත් කර ගත්තේ නැත. දැන් යළිත් එම අදහස මතුව එන්නේ මෙලස විදෙශීය සමාගම් වලට ඉඩම් බදු දීමෙන් පසු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එම සමාගම් අතරත් ඒකාබද්ධ ගිවිසුම් වලට යෑමෙන් අවශ්‍ය පසුබිම සකස් කරවීමටයි. එවිට අවශ්‍යතාව පැණ නැගී නීති කෙටුම් පත පාර්ලිමෙන්තුවට දමා සම්මත කර ගැනීමට පහසු වේ.

      මෙම පණත කෙටුම්පතේ ඇති වගන්ති තිහෙන් ගම්‍ය වන කාරණා කීපයක් මෙලෙසය. එහිදී ශාක බෝකරන්නා යනු යම් ශාක ප්‍රභේදයක් අභිජනනය කරන වැඩි දියුණු කරන හෝ අනාවරණය කරන පුද්ගලයාය. මෙතෙක් එම කාර්යය කරන ලද්දේ රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. ඔවුහු ජනතා සුභ සිද්දිය සඳහා එය කළහ. සේවවාක් ලෙසට පවත්වා ගෙන ගියහ. නමුත් වෙළෙඳාම මූලික කර ගත් සමාගමක ඉලකක්කය එය නොවේ .විශේෂයෙන් දෙමුහුන් බීජ යනු වෙනස් ප්‍රභේද දෙකක් අතර අන්තරාභිජනනයෙන් ඇති වන බීජයි. මේවා එම ප්‍රභේද දෙකේම යහපත් ලක්ෂණ හා විශේෂයෙන් වැඩි දියුණු කරලීමෙන් වැඩි අස්වනු ලබා ගැනීමට වගා කෙරේ. එහිදී දෙවනි වර වගාවෙන් ලබා ගන්නා බීජ වලින් පළමු අස්වැන්න නොලැබී යයි. එම තත්ත්වය තුළ ගොවියා නිරන්තරයෙන් බීජ ලබා ගැනීමට පෙළඹේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ ගොවියාද ආරක්ෂා කර ගනිමින් මෙලෙස  අත්තිවාරම් බීජ සහ පැලෑටි රෝපණ ද්‍රව්‍ය සැපයීම් සේවය සැලසීමයි. සීතඑළිය අර්තපල් ගොවිපළ තුළින් මෙම සේවය ඉහළින්ම ඉටු කරන බව කවුරුත් දනී.නමුත් සමාගම් බලන්නේ තමන්ගේ ලාභය තර කර ගැනීමටයි. එහිදී ඔවුහු එම ලාභය පවත්වාගෙන යෑමට ඒකාධිකාරි අයිතිවාසිකම් මාලාවක් අනුගමනය කරති.යම් කිසි සුළු වෙනස් කමක් ඇත්තා වූ පැලෑටියක් හෝ බීජයක් අභිනනය කරන්නා වූ එම සමාගමට මෙම පණතින් ආරක්ෂාව ලබා දේ.ඇතැම් විට දේශීය පාරම්පරික බීජයක සුලු වෙනසකමක් ඇති කොට අභාජනනය කළ විටද බෝකරන්නාට බුද්ධිමය දේපළ අයිතිය හිමිය. එවිට පාරම්පරික බීජය පවා වතා කරන්නට අවසර ගත යුතු වේ.මේ අන්දමින්  ගොවියාට හිමි වන වරප්‍රසාද එකින් එක අහිමි කරන්නට මෙම පණත මගින් පසුබිම සැලසේ. එහි වාසි අත්වන්නේ ශාක බෝකරන්නා වන සමාගම් වලටයි.

      මෙවැනි තත්ත්වයක් යටතේ කෘෂීකර්ම දෙපාර්තමේන්තුව සතු ගොවිපළවල් යොදා ගෙන වානිජ පරමාර්ථයෙන් බීජ අභිජනනය නව පැලෑටි සකස් කිරීම ආදී කාර්ය කිරීමේදී අනාගතයේදී රජය විසින් කරන මැදිහත් වීම ඉතාමත් අවම වනු ඇත.පණත සම්මත කිරීමෙන් පසු ඒ පිළිබඳව ප්‍රශ්ණ කිරීමටද නොහැක වනු ඇත. එවිට නිසැකයෙන්ම ගොවියා බහුජාතික සමාගම් වල වහලෙකු බවට පත් වීම නොවැලැකවිය හැකිය.එසේම විදේශ වලින් ගෙන්වන ඇතැම් මව් බීජ වෛරස ආසාදිත වූ ඒවා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙන් යහපත් නිරෝධායන පිළිවෙත් අනුගමනය කිරීමක් සමාගම් වලින් බලාපොරොත්තු විය නොහැකිය.එම රෝග කාරක මෙරට මුල් බැස ගැනීමෙන් දේශීය බීජ සම්පත පවා අනතුරට ලක් වනු නිසැක වේ. අධික ලෙස කෘෂිරසායන භාවිතය දැනට අඩු කර ඇතත් ඉදිරියේදී එම බාධක පවා ඉවත් කරලීමට මෙම ගිවිසුම් නිසා රජයට සිදු වනු ඇත. එම තත්ත්වය තුළ බංගලි බීජ සමාගමක් සමග අත්සන් කරගත් මේ  ගිවිසුම මගින් රටේ බීජ උරුමය සදා කාලික ලෙසට අන්සතු වීම වැලැක්විය නොහැකි වනු ඇත.ගොවි පුතෙකු වශයෙන් රටේ  ඉහළම පුටුවට පැමිණි ජනපතිවරයාගේ බංගලිදේශ ගමනන් පසු ඇතිවූ මෙම ගිවිසුම මගින් ගොවි අයිතිවාසිකම් ද සහමුලින් වැළලී යන්නට ඉඩ හසර සැලසෙනු ඇත.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress