භීෂණයට අත වනන්නෝ
Posted on July 26th, 2017

නලින් ද සිල්වා

යාපනයේ සිසුවියකු වූ විද්‍යාගේ ඝාතනය පිළිබඳ නඩුව විභාග කරන  මහාධිකරණ විනිසුරුගේ ආරක්‍ෂක නිලධාරියකු වෙඩි වැදී මිය ගිහින්. තවත් ආරක්‍ෂක නිලධාරියකු වෙඩි වැදී රෝහලේ. මේ පිළිබඳ විවිධ කතා ජනමාධ්‍යයේ කියැවෙනවා.  පොලිසිය කියන දේ විශ්වාස කිරීම අපහසුයි. මාර්ගය අවහිරවීමක් නිසා ඇති වූ ආරවුලක් හේතුකොටගෙන  පොලිස් ආරක්‍ෂක නිලධාරියා මියගිය බවයි පොලීසිය කියන්නේ. එහෙත් වාර්තා වී ඇති අන්දමට විනිසුරුතුමා කියන්නේ තමාට තැබූ වෙඩිල්ලකින් නිලධාරියා මිය ගිය බවයි.

පොලිසිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය නායකයකු වූ රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම ගැනත් සංගත නොවන කතා කියනවා.  මෙහි දී වෛද්‍යවරුන් කියන කතාවත් පොලීසිය කියන කතාවත් විශ්වාස කළ යුතු නැහැ. රයන් පැහැර ගෙන යෑමට මහදවල් වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලය ඉදිරීිපිටට දෙනෝ දාහක් මැද පොලීසිය පැමිණේවි යැයි හිතන්න බැහැ. එහෙත් පොලීසියට අත්අඩංගුවට ගැනීමට වුවත් මෙයට වඩා වෙනස් අයුරකින් ක්‍රියාකරන්න තිබුණා. ආණ්ඩුව කළේ අත්අඩංගුවට ගැනීමක්වත් පැහැර ගැනීමක්වත් නොව වැඩ වර්ජනයකට කැඳවා ගැනීමක්,  භීෂණයකට අතවැනීමක්. භීෂණයට අත වැනීම ගැන වෛද්‍යවරුන්, ජනමාධ්‍ය, පෙරටුගාමීන් හා ජ වි පෙරමුණත් වගකිව යුතුයි. සයිටම් ප්‍රශ්නය විසඳා අවසානයි. සයිටම් අහෝසි කිරීම එකම විසඳුම වන්නේ වෛද්‍යවරුන්ට, කාලෝට, පෙරටුගාමීන්ට, ජ වි පෙරමුණට හා ආණ්ඩුව පෙරළීමට තම මාධ්‍ය හා සේවකයන් යොදා ගන්නා මාධ්‍ය ලොක්කන්ට පමණයි. මේ මාධ්‍ය ලොක්කන් තම මාධ්‍ය ආණ්ඩුවට විරුද්ධව මෙයෙවන ගමන් රනිල්ට මධුවිත වක්කරනවා. සයිටම් නැත්නම් වෙනත් අයිටම් මගින් ආණ්ඩුව භීෂණයක් දියත් කරනවා. පෙරටුගාමීන් හා ජ වි පෙ එයට ආධාර කරනවා. වෛද්‍යවරුන් හා ජනමාධ්‍ය පෙරටුගාමීන් පසුපස යනවා. වෛද්‍යවරුන් සමහරකුට ඇතැම් මාධ්‍ය ලොක්කන්ට මෙන් ම දේශපාලන අරමුණු තිබෙනවා. අපට ගේම් කාරයන් කීවත් මාධ්‍ය ලොක්කන්  තමයි නියම ගේම් කාරයන්.

යාපනයේ සිද්ධ වන්නේ වෙනම ම දෙයක් නො වෙයි. කොළඹ සිදුවන දෙයමයි. එහෙත් පිටපත තරමක් වෙනස්. ආණ්ඩුව ඊනියා සංහිඳියාවක් ගැන කතා කරමින් ත්‍රස්තවාදයට හිස එසවීමට ආධාර කරනවා. විිද්‍යා ඝාතනය ගැන අප අධිකරණයට බලපාන දෙයක් කියන්නේ නැහැ. එහෙත් මේ ස්විස් කුමාර් කවුද? විනිසුරුවරයාට වෙඩි තැබීමට තැත්කළ ත්‍රස්තවාදියා හුදෙක් බීමතින් සිටියකු ද? ඔහු හා ස්විස් කුමාර් අතර සම්බන්ධයක් තිබේ ද? ඔහු කොටියකු බව ඔහුගේ සහෝදරයකු කියනවා. අද දේශපාලනඥයන් නැවත කොටි සංවිධානයක් බිහි කිරීමට උත්සාහ කරනවා. ආණ්ඩුවට පැවැත්මට හා  නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමට ත්‍රස්තවාදය හා භීෂණය අවශ්‍යයි.

විනිසුරුැවරයා දෙමළ, ආරක්‍ෂක නිලධාරියා සිංහල. සාමාන්‍යයෙන් විනිසුරුවරයකු හැසිරෙන ආකාරයට නො වෙයි මේ විනිසුරු හැසිරී තිබෙන්නේ. ඔහු තම ආරක්‍ෂක නිලධාරියාගේ බිරීයට පහත් වී නමස්කාර කර තිබෙනවා. අනෙක් නිලධාරියා හමුවීමට රෝහලට ගොස් හැඟුම්බර ව ක්‍රියා කර තිබෙනවා. ඇතැම් පඬියන් ඔහුට චෝදනා කිරීමට ඉඩ තිබෙනවා විනිසුරු නිලයේ ගෞරවය නොරැකි බව කියමින්. ලංකාවේ තරම් පඬියන් වෙනත් රටක නැතුව ඇති. ආණ්ඩුව ඇති කිරීමට තැත් කරන්නේ යැයි කියන ඊනියා සංහිඳියාව වෙනත් අයුරකින් රටේ ම තිබෙනවා. විනිසුරුවරයා කොටි බලවත් කාලයේ සිට ම රැක බලාගෙන ඇත්තේ මියගිය ආරක්‍ෂක නිලධාරියා. සාමාන්‍ය දෙමළ ජනයා ත්‍රස්තවාදීන් නො වෙයි. ඇතැමුන් ත්‍රස්තවාදීන් බව ඇත්ත. ඒත් ඒ කිහිප දෙනයි. ඒ කිහිප දෙනා අතර දේශපාලනඥයන් ඉන්නවා. ඔවුන් බලය සඳහා දෙමළ ජනයා කුපිත කරන කතා කියනවා. ආණ්ඩුවත් උතුරේ දේශපාලනඥයනුත් සංහිඳියාවක් ගැන කියමින් තිබෙන දැන හැඳිනීම් මිනිස්කම් නැති කරන්න උත්සාහ කරනවා.

බොරු වැඩවර්ජන, වෙඩි තැබීම් ආදිය අවසානයේ දී සේවය කරන්නේ ආණ්ඩුවටයි. ඇතැම් විට ආණ්ඩුවේ නියෝජිතයන් මේ වෘත්තීය සමිතිවල ඉන්නත් පුළුවන්. මේ සියල්ල  විද්‍යුත් මාධ්‍යයෙහි ඊනියා රියැලිටි ෂෝ වගේ. රියැලිටි ෂෝවලටත් පිටපතක් තියෙනවා. ඒත් අප හිතන්නේ කිසිම පුහුණුවක් නැතිව ඒ විකාශය කෙරෙන බවයි. අද දේශපාලනය ඊනියා රියැලිටි ෂෝ එකක් වගේ.

අපේ රටවල ප්‍රශ්නය කසිකබල් සමාජයීය විද්‍යාඥයන් කියන ආකාරයට පශ්චාත් යටත්විජිත රාජ්‍යයක් ගොඩ නගා ගැනීමට නොහැකි වීම නො වෙයි. මේ බොහොමයක් සමාජයීය විද්‍යාඥයන් දොස්තරලා ආදීන් දන්නේ දෙන දෙයක් පාඩම් කර ගෙන විභාගවල ලකුණු ගැනීම පමණයි. ඔවුන් නිර්මාණය කළ එක සංකල්පයක් ප්‍රවාදයක් තියෙනවා ද? ඔවුන් දන්නේ පශ්චාත් යටත්විජිත රාජ්‍යය, පශ්චාත් නූතනත්වය වැනි බටහිර පට්ට ගහන සංකල්ප පඬියන් මෙන් පුනරුච්චාරණය කිරීම පමණයි. එක පඬියකු නිවන ගැන කතා කරන්නේ තියෙන දෙයක් ලෙස සලකමිනුයි. එය තියෙන්නේ නිව්ටෝනීය අවකාශයේ ද, අයින්ස්ටයිනීය අවකාශ කාලයේ ද එයිනුත් පිටත ද කියලා කිව්ව නම් හොඳයි.

මෙරට එක් ප්‍රශ්නයක් නම් බටහිර බොරු ප්‍රජාතන්ත්‍රවාදය බලය ලබා ගැනීමට හා රැක ගැනීමට බටහිරයන් මෙන් සියුම් ව යොදා ගැනීමට බැරි වීම. මෙරට දේශපාලනඥයන් බටහිර බොරු ප්‍රජාතන්ත්‍රවාදය යොදා ගන්නේ ගොරහැඩිව. ඔවුන් මොනවා කළත් හෙළිදරව් වෙනවා. දේශපාලනඥයන්ට ම හරියන පොලිස් මාධ්‍ය ප්‍රකාශලාත් ඉන්නවා. මෙරට තවත් ප්‍රශ්නයක් නම් අප අපේ පැරණි දැනුම බල්ලට දැමීම. පඬියන් එය සලකන්නේ මිථ්‍යා ලෙස. ඒ බටහිරයන් ඔවුන්ට කියා ඇති ආකාරයට. අප ආධ්‍යාත්මික බලය ගැන කතා කරන විට ඔවුන් හිනහවෙනවා. අපට මෝඩයන් නාකි මැන්ටල කියනවා. දෙවියන් පෙන්නන්න කියනවා. මා ඒ අභියෝගය පිළිගෙන තිබෙනවා. එහෙත් එයට පළමු පඬියන් ගුරුත්වාකර්ෂණ බලයක් තිබෙන බව පෙන්වන්න ඕන. මා ඔවුන්ට අවකාශ කාල වක්‍රතාව පෙන්නන්න කියන්නේ නැහැ. ඔවුන්ට එය තේරෙන්නේ නැහැ.

අප බටහිර දැනුම මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. අපට එය අවශෝෂණය කර ගැනීමට තේරෙන්නේ නැහැ. පඬියන් නිකම් ම ගිරවා දමා පශ්චාත් යටත්විජිත  රාජ්‍ය ගැන දොඩවනවා. එවැනි පඬියන් පොල්පිත්තකින් කපා ගන්න පුළුවන්. මේ පොල්පිති පඬියන් දොස්තරලා ආණ්ඩුවේ භිෂණ උගුලට වේගයෙන් ඇදී යන්නේ එයට අත වනමින්.

 

නලින් ද සිල්වා

2017 ජූලි 25

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress