ප්‍රචණ්ඩත්වය 
Posted on July 29th, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

ප්‍රචණ්ඩත්වය සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ තමාටම හෝ වෙනත් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හෝ යම් ජන සමාජයකට හෝ විරුද්ධව, හිතාමතාම බලය හෝ කායික ශක්තිය භාවිත කිරීම මඟින් ශාරීරික ආබාධ, මානසික ආබාධ මරණය හෝ වියෝගය ඇති කිරීම හෝ ඇතිවිය හැකි ලෙසට ක්‍රියා කිරීම ලෙසය. ( Krug, Dahlberg, Mercy, Zwi & lozano, 2002) දේශපාලන ප්‍රචණ්ඩත‍්වය යනු දේශපාලන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රචණ්ඩකාරී ක්‍රියා යොදා ගැනීමයි. දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා ලොවපුරා මිනිසුන් සහ රජයයන් බහුල ලෙස යොදා ගන්නා ක්‍රමයක් වන්නේ ප්‍රචණ්ඩත්වයයි. මේ අර්ථයෙන් ගත් කල දේශපාලන ප්‍රචන්ඩත‍්වයෙන් අධික ලෙස-

-බැටකන රටවල් අතර ශ්‍රී ලංකාවද සිටී. පසුගිය දශක කිහිපය පුරා ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්වයේ නිම් වලලු පුලුල් වී තිබේ. ඡන්ද සමයේදී මැර පිරිස් කලහකාරී ලෙස හැසිරීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත. ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලාංකික සමාජය හා සංස්කෘතිය වෙලාගෙන ඇත. දේශපාලන ප්‍රචණ්ඩත්වය මෙන්ම එහිලා සබැදුණු සාධකද සංකීර්ණ හා බහුවිධ වුවත් ශ්‍රී ලාංකීය ජන සමාජය විනිවිද යන සහ වෙලාගත් සාධකයක් බවට ප්‍රචණ්ඩත‍්වය පත්වෙමින් පවතී.

දේශපාලන ප්‍රචණ්ඩත්වයට මූලික හේතු පෙන්වා දෙන ඩන්කන් පීඩර්සන් ට අනුව අධික ලෙස ණය බරින් පීඩිත දුගී රටවල ආර්ථීක හා පාරිසරික පරිහාණිය, සම්පත් හීනවීම සහ ජීවිකා වෘත්තින් ඛාදනය යනාදී සාධක ජන සමාජයේ විවිධ කොටස්වල දරිද්‍රතාව හා ආහාර අනාරක‍ෂිතතාව තීව්‍ර කරයි. විලෝපිත ක්‍රියාමාර්ගවල තරගකාරිත‍වයද දේශපාලන ප්‍රචණ්ඩත‍්වය සහ අභ්‍යන්තර යුද්ධ හටගැනීම යන සාධකත් සම්පත් හීනවීම නිසා තීව්‍ර වන වාර්ගික හා ආගමික ආතතියත් එකිනෙක හා බැදී පවතී ( ඩන්කන් පීඩර්සන් -දේශපාලන ප්‍රචණ්ඩත්වය. ජනවාර්ගික අර්බුදය සහ තත්කාලීන යුද්ධ සෞඛ්‍යය සහ සමාජ යහපැවැත්ම කෙරෙහි බලපෑම / Duncan Pedersen – political violence, ethnic conflict and contemporary wars : broad implication for health and social well – being ).

සාමූහික ප්‍රචණ්ඩත්වය ( Collective Violence )

සාමූහික ප්‍රචණ්ඩත්වය යනු තමන් යම් ( තාවකාලික හෝ යාවජීව ) කණ්ඩායමක සාමාජිකයින් ලෙස හදුන්වා ගන්නා පුද්ගලයින් විසින් තමන්ගේ දේශපාලනල ආර්ථීක හෝ සාමාජීය අරමුණු සාක්ෂාත් කර ගනු වස් තවත් කණ්ඩායමකට හෝ පුද්ගලයින් පිරිසකට විරුද්ධව ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමය.

විලියම් කොනසර් (William Kornhauser ) සාමූහික ප්‍රචණ්ඩත‍්වය පිළිබද සමාජ සම්බන්ධතා (Social Attachments Theory of Collective Violence ) ඉදිරිපත් කළ අතර එය යම් පුද්ගලයෙකු ප්‍රචණ්ඩකාරි කණ්ඩායමකට බැදීමේ හැකියාව කෙරෙහි ඔහුගේ සමාජ සම්බන්ධතා වල බලපෑම පිළිබදව අවධානය යොමු කරයගි සමාජ සම්බන්ධතා නොමැති මිනිසුන් තමනුත් සමාජයට අයත්ය යන හැගීම ඇති කර ගැනිම සඳහා මෙවැනි කණ්ඩායමකට බැදීමට වැඩි ඉඩකඩක් ඇතිබව එම න්‍යාය පැහැදිලි කර දෙයි.

සාමූහික ප්‍රචණ්ඩත්වය බොහෝ විට කණ්ඩායමක් විසින් සමාජය හැසිරවීමකි. එය හැසිරීමට විචල්‍ය ලෙස දර්ශීයව ප්‍රතිචාර දක්වයි. ඒක පාර්ශ්වික සහ රාජ්‍ය මැදිහත් වීම් හෝ අනුග්‍රහ නොමැති වීම එය සතර මහා ආකරයකින් බාහිරට විද්‍යාමාන වේ. නඩු නොවිමසා දඩුවම් කිරීම කෝලාහල කිරීම අපරාධ වැලක්වීමට නීතිය අතට ගැනීම සහ ත්‍රස්තවාදය වශයෙනි. මේවා වගකීමේ ස්වභාවය :පුද්ගල හෝ සාමූහික ) සහ සංවිධාන මට්ටම ( ඉහල හෝ දුර්වල ) අනුව පැහැදිලිව වෙන් කොට ගත හැකිය. ( Roberta Senechal De La Roche, Department of History, Washington & Lee University)

ශ්‍රී ලංකාවේදී සාමූහික ප්‍රචණ්ඩත්වය ප්‍රකාශයට පත්වී තිබෙන්නේ සිවිල් කෝලහාල විරෝධතා වධබන්දන පැමිණවීම් කොල්ල කෑම් හා මාෆියා කල්ලි යුද්ධ ආදී වශයෙනි. ශ්‍රී ලංකාවේදී එය දේශපාලනික හා වාර්ගික මුහුණු වරක් ගෙන ඇති අතර මානසික සෞඛ්‍ය මෙන්ම අර්ථීකය කෙරෙහිද දැඩි බලපෑමක් එල්ල තරයි.

ළමා අවධියේ මානසික ආතති සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම

යමකු ළමා කාලයේදී අත්විඳින පීඩා බුද්ධි වර්ධනයට දැඩිව බලපාන අතර එය යමෙකුගේ සමාජ හැසිරීම කෙරෙහි සෘණාත්මකව බලපෑ හැකිය. සාමූහික හෝ පුද්ගල ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වු ළමුන් සමාජය කෙරෙහි ක්‍රෝධය හා නොරිස්සුම් ගති දැක්විය හැකි අතර එය ප්‍රචණ්ඩකාරි ස්වභාවයකින් ප්‍රකාශයට පත්විය හැක. පර්යේෂණ වලට අනුව දේශපාලන ප්‍රචණ්ඩත්වයේ යෙදුණු ජර්මානු බාඩර් – මයින්හෝෆ් කන්ඩායමේ (German Baader – Meinhof group ) හිටපු සාමාජිකයින් බහුතරයකට ආතතීන්ට ලක්වූ ළමා කාලයක් තිබී ඇත. ළමා අවධියේ අත්විදින අයහපත් හා සෘණාත්මක අත්දැකිම් සහ සමාජ ප්‍රචණ්ඩත්වය අතර සම්බන්ධතාව බොහෝ පර්යේෂණ සනාථ කරයි. මිනිසුන් අත්විදින පීඩා හා ප්‍රචණ්ඩත‍්වය මීලග පරම්පරාවට උරුම විය හැකි අතර එය විෂම චක්‍රයකට මඟපාදයි. සමූල ඝාතන වලින් බේරුණු පුද්ගලයින්ගේ දරුවන්ට පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ( Post Traumatic Stress Disorder / PTSD ) වැලදීමේ නැඹුරුව පිළිබදව ආර් යෙහූඩා ඇතුලු පිරිස ( R. Yehuda, at all )1998 දී කරණ ලද අධ්‍යයනය ( American journal of psychiatry , 155 (9) : 1163-1171 ) මගින් තහවුරු වූයේ සමූල ඝාතන වලින් දිවි රැකගත් PTSD සහිත දෙමාපියන්ගේ දරුවන්ට PTSD වැලදීමේ අධික අවදානමක් ජීවිත කාලයටම පවතින බවත් පීඩාකාරි සිදුවීම්වලට පසු අන්‍යයන්ට වඩා වැඩියෙන් ඔවුන් ආතතියට ලක්වන බවත්ය. එබැවින් සමාජ දේශපාලන ප්‍රචණ්ඩත‍්වය ජන සමාජයට දැඩි හානිකර බලපෑම් ඇති කරයි.

ආගමික මූලධර්ම වාදය සහ ප්‍රචණ්ඩත්වය

ආගමික මූලධර්ම වාදය මහත් විවාදාත්මක සහ මතභේදාත්මක විෂයක් මෙන්ම නූතන ලෝකයේ සාමූහික ප්‍රචණ්ඩත්වයට හේතු වන සාධකයක්ද බවට පත්ව ඇත.
පසුගිය දශක කිපය තුල ආගමික මූලධර්ම වාදයේ පැතිකඩක් ලෙස ශ්‍රී ලංකාවේද සාමූහික ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වී ඇති අතර එම නැඹුරුව තීව්‍ර වෙමින් පවතී තම ඇදහීම සහ විශ්වාස වල ප්‍රචණ්ඩකාරීත‍වය වැලද ගන්නා පූජකයින් මානසිකව අසමතුලිත පුද්ගලයින් වන අතර ඔවුන් අන්‍යාගමිකයින් දකින්නේ විරුද්ධ වාදින් ලෙසය. මොවුහු තම ආගමෙන් පිටස්තර පුද්ගලයින් පිළිබදව කටයුතු කිරීමේදි අන්‍යොන්‍ය අවබෝධයෙන් තොර වන අතර අන්‍යාගමිකයින්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම බොහෝ විට සාධාරණීකරණය කරති මොවුහු වෛරය දේශනා කරන අතර ප්‍රචණ්ඩත්වයට තම අනුගාමිකයින් උසි ගන්වති. සාමූහික ප්‍රචණ්ඩත්වය අනුමත කරන පූජකයින්ට බොහෝ විට ඇත්තේ පීඩිත ළමා අවධියක් වන අතර ඔවුන් සමහරෙකු ලිංගික අපචාර වලටද ලක්වූවන්ය. ඔවුන්ගේ ක්‍රෝධය හා වෛරය පොදුවේ පැතිර තිබීමට හෝ තම ඇදහීම් වලට හෝ වර්ගයාට පිටස්තර පුද්ගලයින් වෙත පමණක් යොමූ වී තිබීමට හෝ හැක. ඔවුහු තමන් ගේ අනාරක‍ෂිත හැගිම් ආගමට එරෙහි තර්ජනයක් හෝ කුමන්ත්‍රණයක් හෝ ලෙස සලකන අතර ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කිරීමට එය යොදා ගනී.

ප්‍රචණ්ඩත්වයට හේතු වන දේශපාලන අන්තවාදය

ලෙයාඩ් විල්කොක්ස් ( Laird Wilcox ) අර්ථ දක්වන පරිදි දේශපාලන අන්තවාදය යනු තම දේශපාලන මතිමතාන්තර ඉන් ඇති විය හැකි අවාසනාවන්ත ප්‍රතිවිපාක, ඒවායේ ප්‍රායෝගික නොවන ස්වභාවයන් හා ඒවාට විරුද්ධ මතවාද හා හැගිම් නොසලකා, තම මතයම මිස අන් කිසිදු මතයක් නොඉවසන ආකාරයෙන් අනුන්ගේ ජීවිත වලට නිදහසට සහ මානව හිමිකම් වලට ගරු නොකරන දේශපාලන ස්වභාවයක් වෙත ගමන් කරමින් තර්ක කිරීමට පමණක් නොව ප්‍රතිවාදින් විනාශ කිරිමේ අදහසද ඇතිවල අන්තගාමි ලෙස ක්‍රියාත්මක කිරීමයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන අන්තවාදය විවිධ මුහුණුවර වලින් ක්‍රියාත්මක වන අතර බොහෝ විට ජාතිකත්වය හා ආගමික මතවාද උපයෝගී කරගනිමින් ප්‍රකාශයට පත් වේ. දේශපාලන අන්තවාදියෙකු යනු විශේෂයෙන්ම දේශපාලන කටයුතු වලදී පොදු සම්මතයෙන් බැහැර ක්‍රියාමාර්ග අනුමත කරන හෝ තෝරා ගන්නා අයෙකි. මොහුගේ සමාජ විරෝධි ආකල්ප බොහෝ විට සැගවී පවතින අතර සුදුසු අවස්ථාව එළඹි කල්හි ඒවා පිටතට ප්‍රදර්ශනය වේ. දේශපාලන අන්තවාදීහු බොහෝ විට ආගම හෝ ජනවර්ගය මත පදනම් වූ සර්වසම (homogeneous) සමාජයක් නිර්මාණයෙහිලා උත්සුක වෙති.

බහු වාර්ගික හා බහු ආගමික ස්වභාවය නොසලකා හරිමින් සර්වසම සමාජයක් නිර්මාණය කිරීම පසුපස ඇති ගැඹුරු මනෝ විද්‍යාත්මක පසුබිම කුමක්ද රෑ මෙය අන්තවාදියා තුල ඇති කෘරතර සමලිංගික ආශයන් විදහා දක්වයි.

මෙය ඇඩොල්ෆ් හිට්ලර් තුල දක්නට ලැබුණි. ජර්මනියේ සර්වම සමාජයක් තැනීමට ඔහු අපමණ වෙහෙසක් දැරීය. ආර්ය වර්ගය (Aryan Race) අනෙකුත් වර්ග අතර ශ්‍රේෂ්ඨ වන බව හිට්ලර් විශ්වාස කළ අතර ඔහු අන් ජන වර්ග නොඉවසුවේය. ඔහුගේ අන්තවාදය කාමුක ස්වභාවයක් ඉසිලීය. හාවඩ් සරසවියේ ප්‍රකට පුද්ගල ලක්ෂණ විශේෂඥයකු (Personality Specialist) වූ හෙන්රි මරේට අනුව හිට්ලර් තම ලිංගිකත්වය පිළිබද ව්‍යාකූල විය.

DSM 4 ට අනුව සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන නමුදු සමලිංගික ආශයන් කෘරත්වය සමග මිශ්‍රව තිබේනම් සහ අදාල පුද්ගලයා එමගින් අධික ලෙස අසහනයට පත්ව සිටී නම් එමගින් රෝගී තත්වයක් හටගත හැක. තම ලිංගිකත්වය පිළිබද දැඩි ලෙස ව්‍යාකූලව සිටින තම කෘරත්වය සමග මිශ්‍රව තිබේන සමලිංගික ආශයන් පාලනය කරගත නෙහැකි දෙශපාලන අන්තවාදියා සර්වසම සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ඕනෑම කැපකිරිමන් කරනු ඇත. ඔහු මෙම අන්තවාදී දර්ශනය තම ජීවිත අරමුණ බවට ජත් කර ගනී. ජර්මානුවන් වරක තම නිදහස එවන් පුද්ගලයෙකුට බාර කළහ.

දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය

දේශපාලන ප්‍රචණ්ඩත‍්වය සමාජ සංවිධානයේ සියලු ස්ථර වලදී ප්‍රකාශයට පත්වේ. ශ්‍රී ලංකාවේ දීර්ඝ යුද්ධය විසින් දේශපාලන ප්‍රචණ්ඩත‍්වය සාධාරණීකරණය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය මහත් විප්ලවකාරී වෙනසකට බඳුන් කර ඇත. ගිනි අවි නිදහසේ සංසරණය වීම මෙම තත්වය තීව්‍ර කළ අතර ප්‍රචණ්ඩත්වය එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත්ව ඇත. බොහෝ දේශපාලකයින් එම තත්වයට උඩගෙඩි දුන් අතර එය බලය ලබා ගැනිම සහ විරුද්ධවාදීන් බිය ගන්වමින් පාලනය කිරීමට පහසු මාර්ගයක් ලෙස සැලකීය. දේශපාලන ප්‍රචණ්ඩත්වයේ විෂම චක්‍රය ශ්‍රී ලාංකික ජන සමාජයේ සියලු ස්ථරවලට බලපෑම් එල්ල කළේය.

Uppsela සරසවියේ සාමය හා ගැටුම් පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රිස්ටීන් හොග්ලන්ඩ් (Kristine Hoglund of the Dept. Of Peace and Conflict research – Uppsela University ) ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රචණ්ඩත‍්වයේ ස්වභාවය මෙසේ විස්තර කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කෝණයෙන් බලන කල ප්‍රචණ්ඩත්වය හා අනාරක‍ෂිත බව මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි විවිධාකාරයෙන් බලපෑ හැකිය. ඡන්දදායකයින් ලියාපදිචි වීම අඩාල කිරීමට බිය වැද්දීම් හා තර්ජන භාවිත කල හැක. ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් ප්‍රචණ්ඩත‍්වයට ඇති බිය නිසා ඡන්දය දැමීමෙන් වැලකී සිටියහොත් එය අවසාන මුලු ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවට බලපෑ හැක. මැතිවරණ ව්‍යාපාරය තුල සිඳුවන පහරදීම්ල තර්ජනය කිරීම් සහ දේශපාලන ඝාතන දේශපාලන ප්‍රතිවාදින් ඡන්ද ව්‍යාපාරයෙන් බැහැරව යාමට හෝ මැතිවරණය පැවැත්වීම වැලැක්වීමට හෝ හේතුවිය හැකිය. 

වෛද්‍ය රුවන් එම්। ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress