ශ්‍රී ලංකාව අපායේ දොරටුව අබියස… .
Posted on July 29th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

2015 ජනාධිපතිවරණයට පෙර ප්‍රචාරණ වේදිකාවල පැවැත්වූ කතාවලදී, රනිල් වික්‍රමසිංහ විසින් උපහාසයෙන් සිනාසෙමින් පැවසුවේ මහින්ද රාජපක්ෂ විශ්‍රාම සුවයෙන් පසුවෙද්දී, තමන් විසින් හම්බන්තොට වරාය නැව්වලින්ද, මත්තල, ගුවන් යානාවලින්ද පුරවන බවය. නමුත් එසේ පුරවන්නට නැව්ද, ගුවන් යානාද ගෙනෙන්නේ කෙසේද කියා ඔහු පැවසුවේ නැත. නමුත් අද වන විට ඔහු හම්බන්තොට වරාය නැව්වලින් පිරවීමට චීනයට භාර දී ඇත.

2015 ජනවාරි 8 දා ට කලින් මොවුන් මැතිවරණ වේදිකා ගණනේ පුන පුනා කියමින් ගියේ හම්බන්තොට වරාය යනු මහා ගලක් සහිත, පිහිණුම් තටාකයක් බවත්, එය මහා නාස්තිකාරී සුදු අලියෙකු බවත්ය. මේවා කියමින්, මේවාට නාස්තිකල මුදල් ගැන පවසමින් ඔවුහු මහජනතාවගේ මනස තමන් වෙත නම්මා ගත්හ. නමුත් එදා එසේ කියූ වත්මන් රජයේ ඇත්තන්ට නොපෙනුන වටිනාකමක්, හම්බන්තොට වරාය වෙත චීන රජය දුටුවේය. ඔවුන් බිලියන ගණන් ගෙවා මෙය තමන්ට පවරා ගැනීමට කටයුතු කලේ ඒ අනුවය. ඔබ ලෝක සිතියම නිරික්සන්නේ නම් ශ්‍රී ලංකාව පිහිටා ඇති ආකාරය අනුව, එය ඉන්දීය සාගරයේ වැටී ඇති මුහුදු මාර්ගවලට විවෘතව ඇති ආකාරය දකිනවිට, හම්බන්තොට, කොළඹ සහ ත්‍රිකුණාමලේ වරායන්හි ඇති වැදගත්කම අමුතුවෙන් නොකීවාට ඔබට වැටහෙනු ඇත. නමුත් අවාසනාවකට බලය සඳහාම කෑදරකමින් ඉහවහා ගොස් සිටි රනිල් ප්‍රමුඛ එජාප නඩය, මෙසේ එහි සැබෑ තතු වසන් කරමින් ජනතාවගේ මනැස් අන්ධ කරදැමූහ. ඔවුන් මේ වරාය චීනයට පවරා දුන්නේ එහි වටිනාකම නොදත් නිසා නොව හොඳින්ම දත් නිසාය. මේ අපට මතක ඇති කාලයේ පටන්ම තිබූ එජාපයේ ජන්ම ගතියයි. එනම් තමන්ට උරුමව ඇති දේ විකුණාගෙන කෑම මිස අන් මගක් නොදකින ආර්ථික නැඹුරුවයි.

වරාය පැවරීම ගැන සාකච්ඡා වූ කැබිනට් රැස්වීමේදී මේ නීච ගණුදෙනුවට විරුද්ධව කරුණු පවසා ඇත්තේ විජේදාස රාජපක්ෂ සහ චම්පික රණවක යන අමාත්‍යවරුන්ය. නමුත් මේ ඛෙදවාචකයේ ආරම්භය වූ යහපාලන රජය පිහිටුවීමේදී ‘ණය කන්ද’ ගැන ගැයූ ගීතිකාවලට මොවුන්ද අත්වැල් ගායනයෙන් හවුල් වූහ. හම්බන්තොට වරායේ ආදායමෙන්, මෙය ඉදිකරන්නයට ගත් ණය ගෙවන්නට වැයවන කාලය ගණන් හදා කියූ චම්පික රණවක ඇමතිවරයා, නියැන්ඩතාල් මානවයා හෝමෝ සේපියන් බවට පත්වීමට යන කාලය සමග එය සසඳමින්, මේ ණය ගෙවා අවසන් වනවිට මිනිසා වෙනත් සතුන් වර්ගයක් බවට පරිවර්තනය වී සිටිය හැකියයිද කීවා මතකය. එදා ඒ කිසිවෙකු මෙම ඉදිකිරීම් රටේ ආදායම් උත්පාදනය සඳහා යොදා ගන්නේ කෙසේද කියා සිතා බැලුවාවත්ද නොදනිමි. ඔවුන්ගේ වෛරයෙන් පිරි දෑස් යොමුව තිබුනේ එම වරායේ හෝ ගුවන් තොටුපලේ නාම පුවරුවේ සටහන්ව තිබූ ‘මහින්ද රාජපක්ෂ …….’ යන වචන කිහිපය වෙත පමනි. විජේදාස රාජපක්ෂ ඇමතිවරයා පවසන්නේ ඉදිරියේදී පිහිණුම් තටාකයක් බවට පත්වන්නේ කොළඹ වරාය බවයි. ඇයිද කිවහොත්, මේ හම්බන්තොට වරාය බදුගත් චීන රජය අපේක්ෂා කරන්නේ තමන් වැයකල මුදලට උපරිම ලාභයක් බැවින්, තමන්ට හැකි තරම් නැව් ප්‍රමානයක් ඒ වෙත කැඳවා ගැනීමටය. චීනය ලෝකයේ වෙළඳපොල ආධිපත්‍ය පතුරුවන ආකාරය සැවොම දනිති. ඒ අනුව අනාගතයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිකම්ම කේඩෑරි ආයතනයක් බවට පත්වනු ඇත.

මේ පිලිබඳව විජේදාස රාජපක්ෂ මෙසේ කතා කරද්දී, මංගල සමරවීර සහ මහින්ද සමරසිංහ යන ඇමතිවරු ඔහුට පවසන්නේ ‘ගෝත්‍රික විදියට හිතන්න එපා’ කියායි. ඒ අතර හම්බන්තොට වරාය චීනයට පවරා, ඉඩම් අක්කර දහස් ගණනක්ද ඔවුන්ටම පවරා දුන් පසු හම්බන්තොට ‘සුර පුරයක්’ වනු ඇතැයි ඇමති සජිත් ප්‍රේමදාස පවසන්නේය. මේ බව ජනතාවට පහදා දීමට රජය වෙනුවෙන් ඔහුම ඉදිරිපත් වෙයි. සාමාන්‍ය දෙමළ ජනතාවටවත් වැඩක් නැති ඊනියා සාමයක නමින්, රටෙන් කෑලි කඩා එල්ටීටීඊ සංවිධානයට ඩෙඟා නටන්නට භාර දුන් රනිල්ටත්, එල්ටීටීඊ සංවිධානයේ ලණු ගිල, ඔවුන්ට අවි ආයුධ, සිමෙන්ති කන්ටේනර පිටින් සැපයූ මියගිය ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ  ‘සහජාත’ පුත්‍ර රත්නයටත් මෙම ක්‍රියාවන්හි ප්‍රතිඵල මීට වඩා පැහැදිලිව අවබෝධ නොවීම පුදුමයක් නොවේ. ඇමති සාගල රත්නායක, මෙම ගිවිසුමේ, වසර 70 ක ට, 80 ක ට පසුව එන කොන්දේසි, එනම් එම කාලයට වලංගුවන ගිවිසුමේ නම්‍යශීලී කොන්දේසි ගැන ජනතාවට විස්තර කර දෙන්නේ ඔහුත්, අසා සිටින අයත් එතෙක් කල් ජීවත් වේ යැයි සිතාගෙනද?

මේ සියලුම ව්‍යසන අද ඊයේ කඩාවැටුනු ඒවා නොවන බව යම් දැනුම් තේරුම් ඇති අයෙකුට වැටහී යා යුත්තේ රනිල්ගේ දේශපාලන ජීවිතයට වසර 40 ක් සපිරුන බව කියමින් කේක් කපාගෙන කෑ රනිල් – මෛත්‍රී ඇතුලු සහචරයින් රැල දකින විටය. මෙම දේශපාලන සන්ධිස්ථානය වෙනුවෙන් රනිල් ඇතුලු එජාප නඩය ‘1977 න් පසු ශ්‍රී ලංකාව අත්කරගත් දියුණුව’ නමින් සැණකෙලි නටන්නට කටයුතු කරන මේ මොහොතේත්, 2014 වනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමනක් සාමාජිකයෙකුව සිටි ජනාධිපතිවරයාටවත් මීට වඩා දුර නොපෙනීම පුදුමය. ඒ ඔහු, අද මේ සිදුවන ජාතික සම්පත් මංකොල්ලය සහ නොරටුනට විකුණා ජීවත්වන බංකොලොත් ධනවාදී ප්‍රතිපත්තියේ ආරම්භයද රනිල්ගේ සතලිස් වියැති දේශපාලන ගමනේ ආරම්භයත් සමගම සිදුවන බව, 2014 වනතුරු, වසර 50 ක ට ආසන්න වූද, එජාපයට බොහෝ සෙයින් වෙනස් වූද දේශපාලන ගමනක් පැමිනි අයෙකු ලෙස දැනගත යුතු නිසාය.

1977 ට පෙර පැවති යුගය යම් ප්‍රමානයකට මගේ මතකයේ පවතී. අදද සමහරුන් ‘සත් වසරක සාපය’ ලෙස එම යුගය හැඳින්වූවත්, එකල ගෙවූ ඒ සරළ ජීවිතය අද විමසා බැලීමේදී ඊට පසු කලෙක අප පසුකර පැමිනි ‘භීෂණ සමය’ට හෝ  ‘දුර්දාන්ත පාලනය’ට වඩා හොඳය කියා තවමත් සිතෙනු වැලකිය නොහැක. කෙසේ වුව ඒ වසර හත තුල රට ණය බරින් නිදහස් වූ ආකාරය සහ ස්වයං නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමේ ප්‍රතිඵල ගැන ජනතාවට වැටහෙන පරිදි කියා දීමට නම් එකල පාලකයෝ අසමත් වූහ. 1977 ජුලි මස පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අප සවන් දුන්නේ ගුවන් විදුලිය ඔස්සේය. එකල රූපවාහිනිය නොවීය. දේශපාලනය හරිහැටි වැටහෙන්නට තරම් මුහුකුරා නොගියද, එදා ඒ මැතිවරණ ප්‍රතිඵල මට දැනුනේ, කුමක්දෝ බියජනක ව්‍යසනයක පෙරනිමිත්තක් මෙනි. ඉවුරු කඩාගෙන පිටාර යන සැඩ ගංදිය කඳක් බඳුවූ ඒ දේශපාලන ප්‍රවාහය ඉන් මතු වසර 17 ක් පුරා සමස්ත ශ්‍රී ලංකික සමාජයම, සංවර්ධනය කෙසේ වෙතත්, ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් මහා සෝදා පාලුවකට ලක් කලේය. එසේ කඩාගෙන යන්නට තරම් දුර්වල ඉවුරු සෑදූ ඊට පෙර බලයේ සිටි රජයටද මේ චෝදනාවෙන් නිදහස් වීමක් නොමැත. නමුත් ඔවුන් මහ ලොකුවට කයිවාරු ගසන විවෘත ආර්ථික ප්‍රතිපත්ති නියමාකාරයෙන් භාවිතාකල රටවල්ද ලොවේ නැතුවා නොවේ. නමුත් එදා ඒ පෙරලියත් සමග ශ්‍රී ලාංකික දේශපාලනය තුල ටිකෙන් ටික පැලපදියම් වන්නට වූ ජඩකම සහ ආත්මාර්ථකාමිත්වය සමග මෙවන් න්‍යායයන් හරියන්නේ නැත.

එදා තමන් ලද 6/5 ක ජනබලය යොදාගත් ජේ. ආර්. ජයවර්ධන, ව්‍යවස්ථාව වෙනස් කරමින් විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කරමින් තමන්වම ජනාධිපති ලෙස පත් කරගත්තේය. ඊට පෙර සිහිපත්කල යුතු වැදගත් යමක් තිබේ. 77 ජුලි මස මහ මැතිවරණය ජයග්‍රහණය කල විගස එජාප නායක ජේ. ආර්. ජයවර්ධන අගමැතිවරයා පොලිසියට පුරා සතියක නිවාඩුවක් ලබා දුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මහත් දරුණු වූ පලිගැනීම්වලට ගොදුරු වෙත්දී, ඒවා වලකන්නට හෝ එම පැමිනිලි භාර ගන්නට සතියක් ගතවන තෙක් ශ්‍රී ලංකාවේ පොලිසියක් ක්‍රියාත්මක නොවීය. ඊනියා ‘ධර්මිශ්ඨ සමාජය’ තුල ජේ. ආර්. භෞතීස්ම කරනු ලැබුයේ ‘අතිගරු ජනාධිපති උතුමාණන්’ යන නමිනි. වෙළඳ හා නාවුක කටයුතු අමාත්‍යවරයා ලෙස එදා ලලිත් ඇතුලත්මුදලි විවෘත ආර්ථික ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර ඔහුට අනුව එහි ප්‍රතිඵල නෙලා ගන්නට නම්, රටේ නගර, ගම් දනව් යාවන පරිදි මාර්ග පද්ධතිය දියුණු වීම අත්‍යවශ්‍ය විය. නමුත් එම අරමුණ හෝ විවෘත ආර්ථිකය හා බැඳුනු අනිකුත් අංග නිසි පරිදි ක්‍රියාත්මක වීද?

අපනයන වෙළඳපොලද වක්කඩ කැඩුවාක් මෙන් විවෘත වූයෙන්, රට තුලට ගලා එන්නටවූ දහසකුත් දේ අතර කිසිසේත් අත්‍යවශ්‍ය නොවන දේද වූයේ එහි පාලනයක් හෝ සැලැස්මක් නොවූ නිසාය. එහෙත් ඒ ඔස්සේ ශ්‍රී ලාංකික ආර්ථිකයේ කොඳු නාරටිය බඳුව තිබූ කෘෂිකර්මය සහ සහ තේ, පොල්, රබර්, කුරුඳු වැනි අපනයන වගාවන් මහත් ගරාවැටීමකට ලක්විය. ඉන් වඩාත්ම අසීරුතාවට පත් වූයේ උතුරුකරයේ සහ රජරට ජීවත්වූ කෘෂිකර්මාන්තය ජීවිකාව කරගෙන සිටි ජනතාවය. මෙසේ අඩාල වන කෘෂි ආර්ථිකයට සාධාරණ විකල්පයක් වශයෙන් කිසිදු වැඩපිලිවෙලක් රජය සතුව නොතිබුනා පමනක් නොව ඔවුන් එය නොසලකා හැරි බවද පැහැදිලිව පෙනුනෙන් එදා ව්‍යාප්ත වෙමින් ආ වර්ගවාදී ත්‍රස්තවාදයට තවත් හේතු කාරණා සැපයින. එය එසේ නොවීනම්, ඒ ඒ දේශපාලකයන්ගේ දේශපාලන න්‍යායපත්‍රවලට වැඩකල අතලොස්සක් ජනතාවට හැරුනකොට සාමාන්‍ය මිනිසුන්ට වෙනම රටක් අවශ්‍ය නොවනු ඇත. අවාසනාවකට වෙනත් රජයකට යුද්ධය සමග ගණුදෙනු කරනු විනා වෙනත් සවර්ධනයක නියැලෙනු නොහැකි වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය අවසන් වනවිට වර්ගවාදී ප්‍රශ්නය ඔඩුදුවා තිබිනි.

මේ උතුරුකරයේ ජනතාවට මෙසේ තමන් කොන්වී යයි හැඟෙන්නට පමනක් නොව, තමන් මත මර්දනයේ රාජ්‍ය හස්තය ක්‍රියාත්මක වනබව අත්දකින්නටද බලපෑ ප්‍රධාන හේතුව එජාප පාලනයයි. ද්‍රවිඪ එක්සත් විමුක්ති පෙරමුණ එකල ප්‍රධාන විපක්ෂය විය. 5/6 ක බලයක් ඇතිව සිටි රජයේ බලය ගිලිහී තිබුනේ උතුරේ පමනි. 1981 සංවර්ධන සභා චන්ද මංකොල්ලය සිදුවන්නේ ඒ අනුවය. යාපනය පුස්තකාලය ගිනි තබා විනාශකල ඔවුහු සිවිල් වැසියන් බිය ගන්වමින්, පුවත්පත් කාර්යාල ගිනිතබමින් තිරශචීන චන්ද මංකොල්ලයක් සිදුකලහ. 1983 දී මුලු සිංහල ජාතියම අපකීර්තියට පත්කල කලු ජුලියේ සිදුවීම් මෙන්ම, එහි වරද, ප්‍රජාතන්ත්‍රවාදී මාවතක සිටි ජනතා විමුක්ති පෙරමුණ පිට පටවමින් ඔවුන්ව තහනම් පක්ෂයක් බවට නම් කිරීමද ඉතිහාසයේ සිදුවූ මහත් ව්‍යසනයන් ලෙස දැක්විය හැක. මන්ද 80 දශකය අගභාගයේ සිදුවූ භීෂණ සමයට මග පෑදුවේ එම පක්ෂ තහනමයි. එය හුදෙක් පක්ෂ තහනමක් නොව එක්සත් ජාතික පක්ෂ රජයේ හිතුවක්කාර පාලන සමයේ කරළියට ගෙනා ප්‍රතිපත්තිමය තීරණ අතර තවත් බරපතල විනාශකාරී තීරණයක් වීය.

1980 ජුලි මස දියත් වූ ඓතිහාසික වැඩවර්ජනයද ශ්‍රී ලාංකික ඉතිහාසයේ තවත් කලු පැල්ලමක් ලෙස සටහන්ව ඇත. ඉන්පසු 1987 -90 සමයේ රට මුහුණ දුන්, තරුණ ජීවිත 60,000 ට වඩා බිලිගත් භීෂණ සමයද අර 40 වසරක සංවර්ධනයේ නොමැකෙන සටහන්ය. මේවා නැවත නැවත මතක් කරන්නට සිදුවන්නේ ඒ පරණ මිනිසුන්ම යලිත් රට පරණ තැනටම ගෙන යන්නට තැත්කරන බවක් පෙනී යන හෙයිනි. ඉහත සඳහන්කල සිදුවීම් සමග බරපතල ලෙස නම ඈඳුන පුද්ගලයෙකු වන වත්මන් අගමැතිවරයා අද කේක් කවාගනිමින් තම 40 වසරක දේශපාලන දිවිය සමරන්නට සැණකෙලි නටන්නට උත්සාහ කරයි නම් එයින් ගම්‍ය වන්නේ ඔහු තමන් සහ තම පැරණි රජය මෙතෙක් කල කී දෑ නිවැරදිය කියා සිතන බවත්, ඉතිහාසයෙන් කිසිදු පාඩමක් ඉගෙනගෙන නැති බවත්ම නොවේද?

විවෘත ආර්ථිකය ඔස්සේද නොදනිමි. ශ්‍රී ලංකාවට මත්කුඩු එන්නට පටන් ගත්තේද 1981 දීය. පත්වීම් දීමට සම්මුඛ පරීක්ෂණ ‘රෙස්ට් හවුස්’ වල තැබූ බවට, පැවති සමගි පෙරමුණු රජයට චෝදනාකල නව එජාප රජය තම ප්‍රතිපත්ති ඔස්සේ, මුදල් උපයනු පිනිස කැමැත්තෙන්ම ‘රෙස්ට් හවුස්’ යන ප්‍රවනතාවක් බිහිකලේ රට තුල දිළිඳු – ධනවත් පරතරය බෙහෙවින් පුලුල් වෙත්දීය. මුදල් ඉපයුවොත් විඳින්නට ලෞකික සැප සම්පත් බහුලවූ රටේ හොඳින් හෝ නරකින් මුදල් ඉපයීමේ මාර්ගද බහුල වීම නිසා, දේශපාලකයන්, ඔවුන්ගේ හෙංචයියලා සහ ඔවුන් වටාද එල්ලුන කූඩැල්ලන්ගෙන් සැදුනු යැපීම් ජාලයක් රටතුල ඇතිවී, වංචා දූෂණ සංස්කෘතියක්ද බිහිවිය.

2015 බලයට එන කාලයේ හිටපු ජනාධිපති අරභයා ප්‍රකට වූ ‘ෆයිල්’ කතාවද, එකල ජේආර් විසින් රජයේ මැති ඇමතිවරු වෙතින් ලබාගෙන තිබූ බව කියන දාතම රහිත ඉල්ලා අස්වීමේ ලිපි කතාවේම නව මුද්‍රණයකි.

ජනතාවට 2015 දී වෙනසක් අවශ්‍යව තිබූ බව සැබෑය. නමුත් ඊට විකල්පය වූයේ නූල අදින බලය තම අත් තබාගත් රනිල්ගේ පදයට නටන මෛත්‍රීපාල සිරිසේන නොවන බව ජනතාවට පෙර වටහා ගත යුතුව තිබුනේ, මෛත්‍රීට තම චන්දය දීමට ජනතාව පෙලඹවූ ජවිපෙ වැනි දේශපාලන පක්ෂ සහ උගතුන් යයි කියන පිරිස්ය. අද ඉන් කොටසක් තමන් කරගසා පත්කරගත් පව්කඳ ගැන අවංකව පසුතැවෙන මුත්, එතරම් ඉක්මනින් අතීතය අමතක කිරීම ගැන නම් ඔවුනට සමාව දිය නොහැක.

රටට පිළිලයක්ව තිබූ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීම සම්බන්ධව අවශ්‍ය වෙලාවේ, අවශ්‍ය තීරණ ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිසි ගෞරවය ලැබිය යුතුය. නමුත් එය ඔහුට හෝ ඔහු වටකරගෙන සිටි උදවියට තමන් පමනක් සුඛිත මදිත වීමට දුන් බලපත්‍රයක් නොවේ. අනිත් නායකයන් විසින් සැහැල්ලුවට ලක්කර තිබූ නමුදු ඒ ජනතාව රටේ නායකයා වෙතින් අපේක්ෂා කල කාර්යභාරය එයයි. කෙසේ වුවද 2015දී සිදුවූ බල පෙරලියේදී, මිනිසුන් පිලිබඳව වටහා ගැනීමට රාජපක්ෂ තුල වූ නොහැකියාව කැපී පෙනුනි. නමුත් ඔහුව එසේ මනස් අන්ධභාවයට පත්කලේ අර අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමයයි. යුද ජයග්‍රහණයත් ඊට එක්වූ කල තත්වය වඩා බරපතල විය. 2010 න් පසු පාර්ලිමේන්තුව තුල 2/3 ක බලයක් ඇතිව සිටි ඔහු ව්‍යවස්ථාව වෙනස්කර, විධායක ජනාධිපති තනතුර අහෝසිකර, එම විධායක බලය පාර්ලිමේන්තුවට ලබා ගන්නට කටයුතු කලා නම් කතාව මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබිනි. නමුත් ඒ වෙනුවට තෙවන වර ජනාධිපති පදවියට තරග කරන්නට ගොස් කල් තබාම බලය අහිමි කරගත්තා මදිවාට, ඒ තුල දැන් සිටින ඉහඳ පණුවන් රැළක් බඳුවූ ජරාජීර්ණ දේශපාලකයන් පිරිසට හිතේ හැටියට රට කා දමන්නට පාර කල් තබාම කපා දුන්නේය.

 
ඉතින් අද හම්බන්තොට වරාය පරම්පරා ගණනාවකට අහිමි කරවන ගිවිසුම් ගසද්දී, මේ වසර අවසානයට පෙර මත්තලත් එසේ පවරා දන බවට, ජනමතයකට කිසිදු ලෙසකින් මායිම් නොකර අගමැතිවරයා වහසි බස් දොඩවද්දී, ජනතාව සංවිධානය කර එකාවන්ව පාරට ඇදගෙන එන්නට, පාර්ලිමේන්තුව වටලා මෙම නිහීන වූද, නිර්ලජ්ජී වූද ක්‍රියාවලිය නවතන තුරු සටන් කරන්නට සමත් පෞරුෂයක් ඇති එක දේශපාලකයෙකු අප රටේ වේදැයි සිතන හදවත කකියයි.  

එසේ පාරට බැසීම පිනිස, තත්වයෙහි පවතින භයානකත්වය අවබෝධ කරගනු වෙනුවට, තෙල් සංස්ථා වර්ජනයේදී ඒ මිනිසුන්ට ඉතා පහත් ලෙස දොස් පවරන ජනතාව ඕනෑ තරම් සිටියහ. මේ මිනිසුන් වර්ජනය කලේ තම බඩ ගෝස්තරය වෙනුවෙන් නොව ශ්‍රී ලංකාවට අහිමි වන්නට යන අනාගතය වෙනුවෙන් බව නොතේරෙන මෙවන් මුග්ධ මිනිසුන් සමග කුමන සටන්ද? එක අතකට ඒ ගැන අප පුදුම විය යුතු නැත. තම මැති ඇමතිලාට සුඛෝපභෝගී වාහන ගෙන්වන්නට මිලියන ගණන් නිර්ලෝභීව වැය කරන මේ රජය, අධ්‍යාපනයට අයවැයෙන් වෙන් කරනුයේ 2% කි. ඒ ප්‍රමානය තුලවත් පවතින ලිංමැඩි අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්නට වැඩ පිලිවෙලක් නොමැති අතර, ඒ තුල බිහිවන උගතුන්ද පටු ආත්මාර්ථකාමී කුහකයන්ය. ඉතින් මෝඩයන් සිටින තරමට තම ක්‍රමය පවත්වාගෙන යාම මොවුන්ට පහසුය.

එදා එජාපයේ දුර්දාන්තපාලනය හමුවේ හිරිවැටී සිටි ශ්‍රී ලාංකික ජන සමාජයට ජනඝෝෂා, පාද යාත්‍රා තුලින් නව පණක් දුන්, එදා තරුණ තරුණියන් පැහැරගෙන යද්දී, ටයර් සෑයේ දැවෙද්දී, රනිල්ගේ මූලිකත්වයෙන් බටලන්ද වධකාගාරය පවත්වාගෙන යද්දී ඊට එරෙහිව එහි වද විඳි අසරණයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි මහින්දලා, දිනේෂ්ලා කොහිද? ඔවුන්ද මේ ජඩ දේශපාලන සංස්කෘතිය තුල අන්ධව ගියෝද?

එදා සුහුඹුල් තරුණ වියේදී, එජාපයේ යෝධ මැර ප්‍රතිරූපයට එරෙහිව, ඔවුන් විනාශය කරා ඇදගෙන යමින් සිටි රටේ අනාගතය වෙනුවෙන් තම ජීවිතය දෙවන තැන තබමින්, වීදි බැසි ජවිපෙ සොයුරු සොයුරියන් අද කොහිද? මුදලින්, බලයෙන් ඉහඳ තැබූ සමාජයක ඔවුන්ගේ හඬ වියැකී ගියාද?

දැන්වත් එකාවන්ව පෙරට නොආවොත් අපේ දරුවන්ට අපේය කියන්නට රටක් ඉතිරි වේද?????

4 Responses to “ශ්‍රී ලංකාව අපායේ දොරටුව අබියස… .”

  1. Ananda-USA Says:

    MORE SKULDUGGERY by the Yamapalanya:

    At a meeting today (the Video is on Youtube), the NFF made the following Revelation about a DISCREPANCY in the Hambantota Port Lease:

    The Hambantota Port Services (HPS) Ltd company (valued at 606 million USD)

    1. will be owned in the ratio of 50.3 : 49.7 in favor of SL owning the MAJORITY of shares according to the Bill presented to the Cabinet, BUT

    2. it will be owned in the ratio of 42.0 : 58.0 in favor of the Chinese company owning the MAJORITY of shares according to the AGREEMENT that was signed yesterday.

    In addition, the Hambantota Port Group (HPG) Ltd company (valued at 794 million USD)will ber owned in the ratio of 15.0 : 85.0 in favor of the Chinese company owning the MAJORITY of shares according to BOTH the ocuments approved by the Cabinet AND the AGREEMENT signed yesterday.

    Therefore, the Chinese company will own 58% of HPS Ltd and 85% of HPG Ltd, a MAJORITY share in BOTH companies.

    This reduction in Sri Lanka’s ownership of 8.7% in HPS Ltd from 50.7% to 42.0% represents a sum of 57.3 million USD!

    Who AUTHORIZED this DISCREPANCY at Sri Lanka’s EXPENSE?

    Who will PROFIT from this? Are these BRIBES GIVEN to YAMAPALANA Ministers?

    Is this why, the Speaker of the House SHUTDOWN the DEBATE on this Bill in Parliament, called the VOTE to Approve the Lease against VOCIFEROUS OPPOSITION, and FLED the HOUSE in an unseeming hurry, suspending Parliament and PREVENTING FURTHER DISCUSSION until August 4, 2017??

    WE NEED the Hambantota Port LEASE AGREEMENT to be IMMEDIATELY REVOKED & an INVESTIGATION LAUNCHED into POSSIBLE CRIMINALITY in this MATTER!

    Is the PANA-NATHI JANA-PATHI listening, or is he ASLEEP at the HELM as USUAL?

  2. Hiranthe Says:

    Thank you Theja for a fantastic analysis.

    This is one of the saddest and darkest days in the Modern History of Mother Lanka. This is only second to Rajiv JR package which was enforced on us under duress by Endia.

    What was the JO doing during this Hambantota episode?. WW as usual had a press conference but shouted from the top of his voice like in a May day rally, so the moderate people are feeling shy to show that they are following him, although they agree 100% to what he says.

    We don’t have a charismatic leader to lead the nation in a time like this. MR seems to be taking a real political modes operandi and does not reveal what his plans are for the country and talking bullshit like he is the real president of SLFP etc etc which is not the need of the hour.

    At this moment people do not care of parties… they will gather behind the leader who will deliver the country from chaos to prosperity. We all know that MR is well capable of doing a good job once he is given the power but still he is surrounded by the likes of Mahindananda, a big thief, GL a Federal champion.. whom people don’t trust. People love and live the ideas of WW but do not want to be labelled as his followers as he is behaving no better than a Union Leader when he address the nation.

    What a pathetic situation. Even the Sunday Divaina considers giving Hambantota to China is a simple matter compared to the Bond scam and asking why people are not protesting about the Bond scam.. Why can’t these people see the long term damage to Mother Lanka by losing a revenue earning asset like Hambantota??

  3. NAK Says:

    Today’s majority of our people,especially the youth are content with a ‘koththu’ and few hours in the facebook.
    They don’t seem to be worried about losing Hambanthota port.
    Look at the fuss they make to get ‘SAITEM’ closed while not even whisper about losing this national treasure.
    Ranil is a curse on this country and so are the JVP.

  4. Senerath Says:

    SInhalaya sleeping, fighting over how to rob the country, while LTTE has started war !

    පොලිසියේ දෙදෙනකුට කෝපායිහිදී
    ආයුධයකින් පහරදීලා…

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

    යාපනය කෝපායි කොන්ඩාවිල් ප්‍රදේශයේදී නාඳුනන දෙදෙනකු විසින් පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහර දී කැපුම් තුවාල සිදුකර පලාගොස්‌ ඇතැයි කෝපායි පොලිසිය පවසයි.

    යතුරුපැදිවලින් පැමිණි දෙදෙනකු මෙසේ ඊයේ (30 වැනිදා) දහවල් 12.15 ට පමණ තියුණු ආයුධවලින් පහර දී ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා ‘දිවයින’ ට පැවසීය.

    රාජකාරියට යමින් සිටි කෝපායි පොලිසියට අනුයුක්‌තව සේවය කරන කොස්‌තාපල්වරුන් දෙදෙනකු මෙම පහරකෑමට ලක්‌ව තිබේ.

    ඉන් එක්‌ අයකු ද්‍රවිඩ ජාතිකයකු බව පොලිසිය කියයි.

    කැපුම් තුවාල ලැබූ පොලිස්‌ නිලධාරීහු දෙදෙනා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබති. මෙම පහරදී පලාගිය නාඳුනන දෙදෙනා සොයා කෝපායි පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress