සෙල්ෆීවත්තු විවරණය
Posted on July 30th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

අද මේ රටේ තියෙන ප්‍රධාන ම ප්‍රශ්නය තමයි අපි බෙදිලා කා කොටාගන්න එක. මේ බෙදිල්ල පක්‍ෂ, පිල්, කඳවුරු මට්ටම ඉක්මවා ගිය එකක්. දැන් දැන් පුද්ගල මට්ටමින් පවා අපි බෙදිලා කා කොටාගන්නවා. මේ පොරකෑමට මුල්වෙලා තියෙන්නේ තමන් හරියට ම හරි, අනිත් එවුන් වැරැදියි, උන් තමයි හැම දේකට ම වගකියන්න ඕන කියන සිතුවිල්ල. බොහෝ වෙලාවට අපි යමක් පිළිගන්නේ ඒ දේ හරියි කියලා අපිට වැටහෙන නිසා බව ඇත්ත. එහෙම නැති නම් අපි ඒ දේ පිළිගන්නේ නැහැනේ. ඒත් අපේ වැටහීම් ශක්තිය ගැන ඇගැයීමක් අපිට තියෙන්න ඕන. මොකද අපි කවුරුවත් අංගසම්පූර්ණ මිනිස්සු නෙවෙයිනේ. තම තම නැණ පමණින් තමයි අපි යමක් තේරුම්ගන්නේ. ඉතින් යම් යම් හේතු හින්දා අපේ වැටහීමේ යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ හින්දා අපි හරියි කියලා පිළිගන්න දේවල්වලත් අඩුපාඩු තියෙන්න පුළුවන්.

ඒත් අධික මමත්වය හින්දා අපේ අඩුපාඩු ගැන හිතන්න උනන්දුවක් අපි අතර නෑ. ඒ වගේ ම, කණ්ණාඩියක් දිහා බලලා තියෙන දොසක් නිවැරැදි කරගන්නවා වගේ වැඩකින් සෑහීමකට පත්වෙන්න පුළුවන්කමක් දැන් අපිට නෑ. අපිට දැන් ඕන අපේ මූණුවල සෙල්ෆී ගහලා ෆේෂ්බුක් එ‍කටත් දාන්න. මම සෙල්ෆී ගහන්නෙත් නෑ, මගේ පින්තූර ෆේෂ්බුක් එකේ දාන්නෙත් නෑ” කියලා කවුරු හරි ප්‍රබුද්ධයෙක් කියන්න පුළුවන්. ඒත් එහෙම කිව්වාට ඒ අය කතාකරද්දී, යමක් ලියද්දී, යම් අදහසක් ප්‍රකාශ කරද්දී අඩුවක් නැතිව මම, මම, මම, …” කියන සෙල්ෆිය පිටකරන බව අපිට පේනවා. ඒ වගේ ම මේ විදිහට මමත්වයෙන් මෝහනයට පත්වෙච්ච අය ඉවරයක් නැතිව අනිත් අයට ගරහනවා, හෙලා තලා කතාකරනවා. ඒ අය ගේ දොස් හොයනවා. තවත් මනුස්සයෙක්ට වචනයකින් හරි ගරුකරන්න එහෙම අය කැමැති නෑ.

ඉතින් මේ විදිහට සෙල්‍ෆී ගහන අපි හොයන්නේ ම අනුන් ගේ ඇදකුද. මේ රටේ හැම ප්‍රශ්නයකට ම වගකියන්න ඕන දේශපාලනඥයෝ” කියන කතාව උදේ හවස අපේ කටෙන් පිටවෙන්නෙත් මේ ව්‍යාධියේ රෝග ලක්‍ෂණයක් විදිහට. මේ වගේ අඩුපාඩු, අවුල් වියවුල් තියෙන රටක බොහොම පිරිපුන්, අඩුපාඩුවක් නැති දේශපාලනඥයන් ඉන්න පුළුවන්කමක් නැති බව අමුතුවෙන් කියන්න උවමනා නෑ. ඉතින් උන් ගේ අඩුපාඩු, වැරැදි තියෙනවා. ඒත් ඒ දේවල් කිය කියා හිටියා කියලා අපේ ප්‍රශ්න විස‍ඳෙන්නේ නෑ. අපි මුලින් ම කරන්න ඕන අපේ අඩුපාඩු හඳුනාගන්න උත්සාහකරන එක. ඊට පස්සේ ඒ විදිහට හඳුනාගත්ත අඩුපාඩු හදාගන්න පිළියම් යොදන එක.

අපේ අයට බෝවෙලා තියෙන මේ සෙල්ෆී ලෙඩේට (අපි මේ ලෙඩේට සෙල්ෆියාව කියලා කියමු) මුල්වෙච්ච තවත් කාරණයක් තමයි යමක් ඉගෙනගන්න තියෙන අකැමැත්ත. මේ ලේඛකයා තේරුම් ඇරගෙන තියෙන විදිහට මේකට හේතුවෙලා තියෙන්නේ අපේ සිංහල මිනිස්සු අතර තියෙන පුදුමාකාර හැකියාවක්. සෑහෙන විදේශිකයන් ප්‍රමාණයක් එක්ක ගනුදෙනු කරලා තියෙන මේ ලේඛකයා සැසැඳීමෙන් දැකලා අවබෝධ කරගෙන තියෙනවා අපේ සිංහල මිනිස්සු අතර තියෙන ඒ හැකියාව. ඒ තමයි යමක් ග්‍රහණය කරගැනීමට තිනෙ දක්‍ෂකම. කියන පමාවෙන් යම් දෙයක් ග්‍රහණය කරගෙන, වටහාගන්න අපේ අය සෑහෙන ප්‍රමාණයකට පුළුවන්. අපේ පොඩි ළමයි අතර මේ හැකියාව හොඳින් පිහිටලා තියෙනවා. ඉතින් මේ වගේ හොඳ දෙයක් අපේ අඩුපාඩුවකට හේතුවෙලා තියෙන්නේ කොහොම ද කියලා මේ ලිපිය කියවන අයට හිතෙන්න පුළුවන්.

මේක හොඳින් තේරුම්ගන්න පුළුවන් අපේ පොඩි ළමයි දිහා බැලුවාම. අපිට ඉන්න ඉතා ම දක්‍ෂ බුද්ධිමත් ළමයි වයස අවුරුදු දොළහ දහතුන වෙද්දී ඉගෙනගන්න වැඩ අත ඇරලා දානවා. ඊට පස්සේ ඒ ළමයි හැසිරෙන්නේ අපි හැම දෙයක් ම දන්නවා. අපිට හැම දෙයක් ම තේරෙනවා. අපිට උගන්නන්න වදවෙන්න එපා” විදිහට. ඒ ළමයි වයස අවුරුදු දොළහ, දහතුන වෙද්දී ම සත්‍යය අවබෝධකරගෙන. ඉතින් අපේ සමාජයේ බොහෝ වෙලාවට ඉස්සරහට යන්නේ දක්‍ෂ, බුද්ධිමත් ළමයි නෙවෙයි. තමන් ළඟ තියෙන හැකියාවක් ම අපේ දක්‍ෂ ළමයින් ගේ ඉදිරි ගමන වළකන බාධාවක් බවට පත්වෙලා. හැබැයි මේ කිව්වේ අපේ හැම ළමයෙක්ට ම අදාළ න්‍යායක් නෙවෙයි කියන එකත් අවධාරණය කරන්න ඕන.

කුං ගුරුතුමා (අපිට අස්සවලා තියෙන විදිහට නම්, කොන්ෆියුසියස්තුමා) කියලා තියෙනවා මට දැන් හතළිහයි, සැකයක් නෑ” කියලා. මේක චීනයේ තියෙන බොහොම ජනප්‍රිය කියමනක්. මනුස්සයෙක්ට මූලික ඉගෙනීම් අවසන් කරන්න පුළුවන් වෙන්නේ වයස අවුරුදු හතළිහේ දී කියන එක තමයි ඒ කියමනෙන් අදහස් වෙන්නේ. අපි හැමෝ ම දන්න දේ තමයි සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වය අවබෝධ කරගත්තේ වයස අවුරුදු තිස් පහේ දී කියන එක. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමිතා පුරපු බෝධිසත්වයන්වහන්සේටත් බැරිවුනා වයස අවුරුදු දොළහක් දහතුනක් වෙද්දී සත්‍යය අවබෝධ කරගන්න. ඒත් අපේ පොඩි ළමයෙක් එක්ක කතාකරලා බලන්න. එහෙම නැතිනම් තවමත් උසස් පෙළ විභාගය විතරක් සමත්වෙලා ඉන්න අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් එක්ක කතාකරලා බලන්න. ඒ අය තුන් ලෝකය ම අතැඹුලක් සේ දන්නවා.

ඉතින් මේ ලෙඩේ අපි සෑහෙන දෙනෙක්ට වැළැඳිලා. අපේ කොල්ලෝ කියන විදිහට අපි තරම් හැම දෙයක් ම දන්න අය ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ” කියලා කියන්න පුළුවන්. දොස්තරලා දන්නවා පාලම් හදන විදිහ. ඉංජිනේරුවෝ දන්නවා වෙදකම් කරන විදිහ. පාර අතුගාන මනුස්සයා පාර අතුගාන එක ඇරෙන්න අනිත් හැම දෙයක් ම දන්නවා. නිකමට හරි ලෙඩක් හැදුනා කියලා හිතන්න. මේ රටේ ලෙඩ්ඩුන්ට වඩා ඉන්නේ වෙද්දු. මග දිගට හම්බවෙන හැම එකෙක් ම ලෙඩට හොඳ බෙහෙතක් ගැන කියයි. ලෙඩට හේතුවෙච්ච කාරණා ගැනත් කියයි. ඉතින් සර්වඥතා ඥාණයෙන් හෙබි, බවදුකට පවා බෙහෙත් හේත් දන්න අයගෙන් අපේ සමාජය පිරිලා. හැම දෙයක් ම දන්නවා නම් ආයෙත් මොකට ද ඉගෙනගන්නේ? ඉතින් අපේ අය ඉගෙනගැනීම අත ඇරලා.

අනිත් මිනිස්සු පහත් කරලා හෙලාදැකලා කතාකරන අය වැඩියෙන් ම ඉන්නේ අපේ සමාජයේ වැඩවාසය කරන සහතිකපත්‍රලාභීන් අතර. තමන්ට මේ සහතික ලැබිලා තියෙන්නේ යම් යම් විෂය කරුණු කිහිපයක් ඉතා කෙටි කාලයක් තුළ පංති කාමර ඇතුළේ ඉගෙනගත්ත නිසා බව ඒ අය අමතක කරනවා. ඊ ළඟට ඒ අය හිතන්නේ නෑ තමන් ගේ සහතිකය අදාළවෙන්නේ තමන් ඒ විදිහට ඉගෙනගත්ත දේට විතරයි කියලා. මේ කියන දෙයින් අදහස් වෙන්නේ නෑ යම් කෙනෙක් ගේ දැනුම ඒ කෙනා ලබාගත්ත සහතිකවලට විතරක් සීමාවෙනවා කියලා.

ඉගෙනගන්නවා කියලා කියන්නේ නවත්තන්න පුළුවන් කටයුත්තක් නෙවෙයි. ඒ වගේ ම, ඉගෙනගන්නවා කියලා කියන්නේ පොත්පත්වලින් ලෝකය දකිනවා කියන එක විතරක් නෙවෙයි. පොතක, පත්තරයක තියෙන්නේ ඒ දේ ලිවීම සඳහා ලියන්නා විසින් තෝරාගත්ත දෙයක්. ඒ විදිහේ දේවල් තේරාගන්න ඔහුට හෝ ඇයට බලපාන කරුණු කාරණා තියෙනවා. පොත්, පත්තරවල තියෙන ඉඩකඩ ගැනත් ලේඛකයාට හිතන්න වෙනවා. ගුවන්විදුලි, රූපවාහිනී වැඩසටහනක දී නම් තියෙන කාලය ගැන හිතන්න වෙනවා. ඊට පස්සේ තමන් තෝරාගත්ත දේ තමන් කැමැති විදිහට අවධාරණය කරන්න ලියන්නා කටයුතුකරනවා. ඒ වගේ ම ඒ දේ තමන්ට වැටහෙන විදිහටත් තමන් ගේ අරමුණට ගැලපෙන විදිහටත් අර්ථදක්වන්නත් ඔහුට හෝ ඇයට සිද්දවෙනවා. ලේඛකයා අගයකරන දේවල් ඒ තෝරාගැනීම්, අවධාරණය කිරීම්, අර්ථදැක්වීම් පිටුපස තියෙනවා. ඊට අමතර ව, ඒ ලේඛකයා ගේ භාෂා සන්නිවේදන හැකියාව විසිනුත් ඒ ලියන දේ පාලනය කෙරෙනවා. ඉතින් පොතක, පත්තරයක පළකරලා තියෙන්නේ ලෝකය පිළිබඳ සාධාරණ, අපක්‍ෂපාත, පරිපූර්ණ දැනුමක් කියලා හිතන එක ලොකු වැරැද්දක්.

මේ ලේඛකයාත් ඉවරයක් නැතිව බොහෝ දේවල් කතාකරනවා. මේ ලිපිපෙළේ ලියලා තියෙන්නේ ඔහු විසින් ලබාගෙන තියෙන සහතිකවලට අදාළ කරුණු කාරණා විතරක් නෙවෙයි. ඒ කොහොම වුනත් මේ ලිපිපෙළට ඇතුළත් කරලා තියෙන්නේ ඔහු විසින් කාලයක් තිස්සේ ඉගෙනගත්ත දේවල්. මේ දේවල් ඉගෙනගන්න පොඩි ළමයි පවා තමන්ට ගුරුවරුවෙලා තියෙන බව මේ ලේඛකයා දන්නවා. මේ ලෝකයේ අපි ආශ්‍රයකරන හැම කෙනෙක් ම පාහේ අපේ ගුරුවරු කියලා කියන්න පුළුවන්. තුන්දෙනෙක් සමඟ ගමනක් ගියොත් මට ගුරු වන කෙනෙක් ඒ අතර අනිවාර්යයෙන් ම ඉන්නවා” කියලා කුං ගුරුතුමාත් කියලා තියෙනවා. කුං ෆූ-ත්ස කියන එක තමයි කොන්ෆියුසියස් විදිහට ඉංග්‍රීසියට පෙරලලා තියෙන්නේ. ෆූ-ත්ස කියලා කියන එකේ තේරුම ගුරුතුමා කියන එක. එතුමා ලෝකය ම දන්නා ගුරුවරයෙක්. ඒත් එතුමාට පුළුවන් වුනා තමන්ට යමක් ඉගෙනගන්න පුළුවන් ගුරුවරු මහමග දී පවා හඳුනාගන්න. ඒ අයගෙන් යමක් ඉගෙනගන්න.

මේ විදිහට කරන්න පුළුවන්වෙන්නේ සෙල්ෆී ගහන එක නවත්වනවා නම් විතරයි. අධික මමත්වයෙන් පෙළෙනවා නම් යමක් ඉගෙනගැනීමේ හැකියාව අපෙන් ගිලිහිලා යන්න පුළුවන්. පෘථග්ජන අපි කවුරුත් මමත්වයෙන් පීඩාවිඳින බව ඇත්ත. ඒත් ඒක යම් පමණකින් හරි තුනී කරගන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඒත් අද බොහෝ දෙනෙක් මේ ඇත්ත තේරුම් ඇරගෙන නෑ.

මේ ලිපිවලත් යම් ආකාරයක විවේචනයක් ගැබ්වෙලා තියෙන බව ඇත්ත. ඒත් මේ ලිපිවලින් කිසි ම කෙනෙක්ව පුද්ගලික ව විවේචනය කරලා නෑ. තමන් ඒ තරම් කැමැති නැති අදහසක් පවා උපේක්‍ෂාවෙන් ඉවසලා ඒ ගැන යමක් කියන්න පුළුවන්කමක් අපිට තියෙන්න ඕන. එහෙම නොවුනොත් අපේ සමාජයට බෝවෙලා තියෙන කා කොටාගන්න රෝගය සනීප කරගන්න අපිට පුළුවන් වෙන එකක් නෑ. අපේ සමාජය තව තවත් බෙදිලා ගිහිල්ලා සෙල්ෆිය විතරක් ඉතිරිවේවි!

වරුණ චන්ද්‍රකීර්ති ෴

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress