කැබිනට් එකත් අන්දලා… හම්බන්තොට ගිවිසුම අත්සන් කර ඇත්තේ වෙන එකක්.. කැබිනට්ටුවට දුන් එක නොවෙයි..
Posted on July 31st, 2017

lanka C news

මාගම්පුර වරායේ කොටස් හිමිකාරීත්වය පිළිබඳව, අදාළ කැබිනට් පත්‍රිකාවේ සහ ගිවිසුමේ සඳහන් කරුණු එකිනෙකට පරස්පර බවත් ඒ නිසා මාගම්පුර වරාය ගිවිසුම ජාත්‍යන්තර නීතිය සහ මෙරට ගිවිසුම් නීතිය අනුව නීතිවිරෝධි එකක් බවත් ජාතික නිදහස් පෙරමුණ දෙන්වා දෙයි.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ජයන්ත සමරවීර මහතා අද (29) පිටකෝට්ටේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේ ද සඳහන් කළේය.

මීට හරියටම වසර 30කට පෙර, එනම් 1987 ජූලි මාසයේ 29 වැනිදා තමයි එවකට පැවැති ජේ. ආර්. ජයවර්ධන පාලනය කුප්‍රකට ගිවිසුමක් මගින් මේ රට ඉන්දියාවට පාවා දෙනු ලැබුවේ. මේ රට කැබැලිවලට කඩා දමන, මේ රටේ සිංහල, දෙමළ හා මුස්ලිම් මිනිසුන් සදාකාලීක සතුරන් බවට පත් කරන ඉහත කී ඉන්දු – ලංකා ගිවිසුම, එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමග එවකට ඉන්දීය අගමැති රාජිව් ගාන්ධි විසින් අත්සන් තබනු ලැබුවා.

ඒ කුප්‍රකට ගිවිසුම අදත් ලාංකේය ජාතියට වද දෙනවා, ඉදිරි නිදහස් සංවර්ධන ගමන් මග අඩාල කරමින් තිබෙනවා. ඒ වගේම ලාංකේය ජාතියේ සමගිය අතුරුදහන් කිරීමට වලිකනවා. බෙදුම්වාදී, අන්තවාදී මූලධර්මවාදය පෝෂණය කොට ඉදිරියට ගන්න බලනවා. ඒ අඳුරුසහගත දිනය යළි පුනරුච්චාරණය වන දිනයක් බවට අද දිනය පත්ව තිබෙනවා. මීට වසර 30කට පෙර අද වැනි දවසක ‘ජයවර්ධන මාමා’ මේ රටේ උතුරු – නැගෙනහිර පළාත් ඉන්දියාවට පාවා දුන්නා. අද ‘වික්‍රමසිංහ බෑණා’ මේ රටේ දකුණු ප්‍රදේශය චීනයට පාවා දෙනවා.

තව නොබෝ වේලාවකින් මේ රටේ ස්වාධිපත්‍යයට, ජාතික ආර්ථිකයට මහා අපරාධයක් සිදු කරමින් මාගම්පුර වරාය ජාතියට අහිමි කරන ගිවිසුම අත්සන් කිරීමට සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. සොබාදහම් මාතාව අපට ලබා දුන් විශාලතම දායාදයක් තමයි මාගම්පුර ගැඹුරු මුහුදු පතුළ. 21 වැනි සියවසේ නිර්මාණය වූ කන්ටේනර් 29,000ක් පමණ බහාලන්න පුළුවන් විශාලතම නැව්වලට එන්න පුළුවන් වරායවල් 15ක් පමණයි ලෝකයේ තිබෙන්නේ. ඒ වරායවල් 15න් 2ක් අයිති මේ පුණ්‍ය භූමියට. ඉන් එකක් කොළඹ වරාය. අනෙක මාගම්පුර වරාය. තමන්ගේ වරායවල වටිනාකම අඩු වන නිසා පරදේශක්කාර බලවේග මුලින් මාගම්පුර වරාය හැදෙන එක වළක්වන්න විවිධ කුමන්ත්‍රණ සිදු කළා. බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිදු කළ විශිෂ්ටතම කාර්ය තමයි, ඉහත සියලු කුමන්ත්‍රණ පරදවමින්, ගැඹුරු මුහුදු පත්ල යොදා ගනිමින්, මාගම්පුර ජාත්‍යන්තර වරාය නිර්මාණය කිරීම.

නව සේද මාවත දැන් නිර්මාණය වෙමින් තිබෙනවා. එය වැටී ඇත්තේ මාගම්පුර වරාය හරහායි. තායිලන්තයේ ‘ක්‍රා ඇළ’ (Kra Canal) මේ අගෝස්තු මාසය වන විට කපා අවසන් වෙනවා. එවිට සේද මාවත කි.මි. 1600කින් පමණ කෙටි වෙනවා. නව සේද මාවත විවෘත වීමත් සමඟ දිනකට මාගම්පුර වරායට අත වනමින් යන නැව් ගණන 500කට අධික වන බවට චීනය ගණන් බලා තිබෙනවා. යුරෝපයේ සිට එන නැවක් තායිලන්තයෙන් තෙල්, වතුර ලබාගෙන යාත්‍රා කරන විට ඊළඟට හමු වන පළමු වරාය වන්නේ මාගම්පුර ජාත්‍යන්තර වරායයි. අප දන්නවා, නැවකට තෙල් සහ වතුර ප්‍රමාණවත් වන්නේ දින 10කටයි. තායිලන්තයේ සිට පැමිණෙන නැවක් මාගම්පුර වරායට ළඟා වීමට දින 11ක් ගත්තා. නමුත් දැන් ‘ක්‍රා ඇළ’ කපා සේද මාවත කෙටි කිරීමත් සමඟ නැවකට තායිලන්තයේ සිට මාගම්පුර වරායට ළඟා වීමට ගත වන්නේ දින 09ක් පමණයි. ඒ නිසා යුරෝපයේ සිට තායිලන්තය හරහා පැමිණෙන සියලු නැව්, තෙල්, වතුර ඇතුළු සියලු සැපයුම්, නඩත්තු කටයුතු සඳහා තෝරා ගන්නේ මාගම්පුර වරාය බව පැහැදිලියි. නුදුරේදීම මේ රටට ඩොලර් වැසි, විදේශ විනිමය වැසි, වස්සන අමිල ජාතික සම්පතක් තමයි 99 අවුරුදු බද්දකට කියා චීනාට කුණු කොල්ලයට ලබා දීමට යන්නේ. අද සිට මේ ජාතික සම්පත ජාතියට අහිමි වෙනවා.

‘කැබිනට් එකත් අන්දලා’

හෙට සිට මේ වරායට පැමිණෙන නැව්වලින් ලැබෙන සියලු ආදායම යන්නේ චීනාගේ සාක්කුවට බව ඉතා පැහැදිලියි. මාගම්පුර වරාය විකුණා දමන්න යන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,400කටයි. සිරිසේන – වික්‍රමසිංහ අාණ්ඩුව මේ ජාතික සම්පත විකුණා දැමීමට එරෙහිව රටේ සිව්දෙසින් නැගෙන විරෝධතා මැඩගෙන කෙසේ හෝ ඉදිරියට ආවා. අවසානයේ මාගම්පුර වරාය විකිණීම සිදු කරන්නේ කැබිනට් මණ්ඩලයත් අන්දලයි. මේ කැබිනට් මණ්ඩලයේ ඇතමුන් අන්දලා තිබෙනවා. තවත් සමහරුන් මේ ගනුදෙනුවට අදාළ කොමිස් කාක්කන් විසින් මිලදී ගෙන නිහඬකර තිබෙනවා.

අපි දැන් මීට අදාළ කැබිනට් පත්‍රිකාව සහ පාර්ලිමේන්තුවේ සභාගත කළ මාගම්පුර වරාය විකිණීමේ ගිවිසුම ඇසුරින් මේ ඇන්දිල්ල තේරුම් ගනිමු. කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් වෙනවා, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද චීනය වෙනුවෙන් CMPort සමාගම ද ගිවිසුමට එළඹෙන බව. ඒ අනුව මෙම ආයතන දෙකම සම්බන්ධකර ගෙන සමාගම් දෙකක් හැදෙනවා. එකක් තමයි HIPS සමාගම. එහි ප්‍රාග්ධන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 606ක්. හම්බන්තොට වරායේ සේවාවන් හා පොදු පහසුකම් කළමනාකරණය සඳහා මෙම සමාගම පිහිටුවනු ලබන බවයි කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ. මෙම සමාගමේ කොටස්වල 50.7%ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට ද ඉතිරි 49.3%ක් CMPort සමාගමට ද අයිති බව එහි සඳහන්.

ඊට අමතරව ප්‍රාග්ධන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 794ක් වන HIPG නමින් තවත් සමාගමක් පිහිටුවනු ලබන බව ද කැබිනට් පත්‍රිකාවේ සඳහන්. වරායේ මෙහෙයුම් වත්කම් කළමනාකරණය, වැඩිදුර සංවර්ධන කටයුතු, එහි යටිතල පහසුකම් හා බහාලුම් මෙහෙයවීම, අනෙකුත් මෙහෙයුම් වාණිජකරණය සඳහායි මෙම සමාගම පිහිටුවනු ලබන්නේ. එහි කොටස් හිමිකම බෙදී ගොස් ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරීයට 15%ක් සහ CMPort සමාගමට 85%ක් යන ආකාරයටයි. ඒ අනුව සේවා සපයන සමාගමේ (HIPS) වැඩි කොටස් අයිතිය වරාය අධිකාරීයටත් මෙහෙයුම් කටයුතුවලට අදාළ සමාගම (HIPG) සම්පූර්ණයෙන්ම පාහේ චීනයටත් හිමි බවයි කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ.

‘කැබිනට් පත්‍රිකාව සහ ගිවිසුම පරස්පරයි!’

නමුත් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබූ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ CMPort සමාගම අතර අත්සන් තැබීමට නියමිත ගිවිසුමේ සඳහන් වන්නේ HIPS සමාගමේ ප්‍රාග්ධන වටිනාකම ඩොලර් මිලියන 606ක් වුවත් එහි කොටස්වලින් 58%ක් CMPort සමාගමටත් ඉතිරි 42% ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් අයත් බවයි. නමුත් ආණ්ඩුව පවසන්නේ මාගම්පුර වරායේ සේවා කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි බවයි. වැඩි කොටස් අයිතියක් තිබෙන නිසා එහි සභාපතිවරයා පත් කිරීමටත් ශ්‍රී ලංකා රජයට හැකි විය යුතුයි. කැබිනට් පත්‍රිකාවේ තිබෙන දෙයත්, ආණ්ඩුව රටට කියපු දෙයත් බොරු බවට පත් කරමින් ගිවිසුමේ තිබෙනවා ඇත්තටම සිදු වන දෙය. ඒ අනුව HIPS සමාගමේ පාලනයත් හිමි වන්නේ එහි වැඩි කොටස් හිමිකාරීත්වය සතු CMPort සමාගමටයි. දැන් ඉතා පැහැදිලියි, එක් පැත්තකින් කැබිනට් මණ්ඩලයේ ඇතැමුන් අන්දලා, ඇතැමුන් කොමිස් මුදලින් මිලදී අරන්, අනෙක් පැත්තෙන් මුළුමහත් රටම රවටලයි මේ මහා අපරාධය සිදු කරන්නේ කියා.

‘මේක නීතිවිරෝධි ගිවිසුමක්’

අපි මේ පිළිබඳව ඊයේ (28) පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට සූදානම්ව සිටියදී තමයි අගමැතිවරයාගේ හස්ත සංඥාව අනුව කථානායකවරයා පාර්ලිමේන්තුව ලබන සතියට කල් තැබුවේ. ඒ අනුව අද අත්සන් තබනු ලබන්නේ කැබිනට් පත්‍රිකාවට පරස්පර ගිවිසුමක්. කැබිනට් පත්‍රිකාවේ කෙසේ සඳහන් වුවත් ගිවිසුම අනුව ඉහත කී සමාගම් දෙකෙහිම පාලනාධිකාරීය පිහිටුවීම සහ වැඩි කොටස් අයිතිය හිමි චීනයටයි. ඒ අනුව අද ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ CMPort සමාගම අතර අත්සන් තැබෙන ගිවිසුම නීතිවිරෝධි ගිවිසුමක්. ජාත්‍යන්තර නීතිය අනුවත්, ලංකාවේ ගිවිසුම් නීතිය අනුවත්, අද අත්සන් තැබෙන ගිවිසුම නීතිවිරෝධියි. ගිවිසුම් නීතිය අනුව, ගිවිසුමක් අවලංගු වීමට කාරණා 05ක් බලපානවා. ඉන් ප්‍රධානම එක තමයි, අවනිදේශනය හෙවත් කරුණු වසන් කොට දැක්වීම (Misreprecentation). කැබිනට් පත්‍රිකාවේ එකක්, ගිවිසුමේ තව එකක්. ඒ නිසා මේ ගිවිසුම අවලංගු කළ යුතුයි.

මේ ගිවිසුම අත්සන් තැබූ පසු 2007 අංක 07 දරන සමාගම් පනත අනුවත් මාගම්පුර වරායේ අයිතිය චීනයටයි ලැබෙන්නේ. HIPG සමාගමේ කොටස්වලින් 85%ක් හා HIPS සමාගමේ කොටස්වලින් 58%ක් හිමි චීනයටයි ඉදිරියේදී ඩොලර් වැසි වැස්සීමට සමත් මාගම්පුර වරාය සම්පූර්ණයෙන්ම හිමි වන්නේ. මේ රටේ දුගීභාවය නැති කිරීමට සමත් අනගිතම වස්තුව තමයි සිරිසේන – වික්‍රමසිංහ පාලනය චීනයට තුට්ටු දෙකට විකුණලා අත පිහිදා ගන්න හදන්නේ. කැබිනට් මණ්ඩලයත්, පාර්ලිමේන්තුවත් ජනතාවත් නොමඟ යවමිනුයි මේ ගිවිසුම අත්සන් තැබුවේ. ජාත්‍යන්තර නීතිය අනුවත් ලංකාවේ ගිවිසුම් නීතිය අනුවත් නීතිවිරෝධි වන මේ ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා පෙරට එන ලෙස අපි මේ රටට ආදරය කරන සියලු ජන බලවේග වෙතින් ඉල්ලා සිටිනවා”

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ජයන්ත වන්නිආරච්චි මහතා ද එක්ව සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress