යෝධයෝ හදන්න
Posted on August 6th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

දැන් හැම වෙලාවේ ම වගේ අපි තීරණගන්නේ හැඟීම්වලට මුල්තැන දීලා. යම් යම් වැඩ කරන්න ගියා ම සිද්දවෙන අලාභ ගැනවත් අපි හිතන්නේ නෑ. පාරේ වාහනයක් එළවද්දී පවා අනිත් වාහනකාරයන්ට පාඩම් උගන්වනවා වගේ භාරදූර කටයුතුත් අපි අපේ කරට ගන්නවා. කවුරු හරි එකෙක් වැරැදි විදිහට වාහනේ ඉස්සර කරනවා දැක්කොත් ඌට හොඳ පාඩමක් උගන්නන්නම් කියලා හිතාගෙන තව එකෙක් පාර හරස්කරනවා. මේ පාඩම් ඉගැන්නිල්ල වෙනුවෙන් තමන් ගේ පැට්‍රල් පුච්චගන්නවා. තමන් ගේ කාලය නාස්ති කරගන්නවා. තමන් ගේ ලේ කෝප කරගන්නවා. ඒත් මදි කියලා හිතන වෙලාවට ගහ බැණගන්න මට්ටමටත් මේ ව්‍යාපෘතිය වර්ධනය කරගන්නවා.

අපේ කට්ටිය පාර දිගේ කරන මේ විදිහේ වික්‍රමාන්විත ක්‍රියා අද අපි පත්වෙලා ඉන්න තත්ත්වය තේරුම්ගන්න පුළුවන් එක උදාහරණයක් විතරයි. උණුවෙන් කිරිබතක් දුන්නත් දැන් කාලේ අපේ සිංහලයෝ ඒක කන්නේ අතයි කටයි දෙක ම පුච්චගෙන. කිසිම දෙයක් සැලසුම් කරලා කරන පුරුද්දක් අපිට නෑ. අඩු වැඩි වශයෙන් අපි හැම කෙනෙක් ම වගේ මෙහෙම තමයි. උගත් බුද්ධිමත් කියන අය අතර ඇතිවෙන වාද විවාදවල දී පවා මුල් තැන ලැබෙන්නේ හැඟීම්බර විවේචනවලට. ඉතින් ඒවා ඇතුළෙත් වැඩිපුර දකින්න පුළුවන් කා කොටාගන්න, ගහ බැණගන්න ගාලගෝට්ටි. බොහෝ වෙලාවට වාද දිනන්න හදන්නේ පුද්ගලික කරුණු ඉස්මතුකරලා.

වයස අවුරුදු දොළහක් දහතුනක් වෙච්ච අපේ ගොඩක් ළමයි පවා කරන්නේ අම්මාට තාත්තාට තමන් ගේ තරහ පෙන්නලා ප්‍රශ්නවලින් පැනලා යන්න හදන එක. මේ විදිහට තරහ පෙන්නුවොත් තමන්ට ආදරේ එවුන් ගේ, තමන්ට හිතවත් එවුන් ගේ කටවල් වහන්න පුළුවන් කියලා ඒ ළමයි දන්නවා. ඉතින් හොඳට ලොකු මහත්වෙච්ච වැඩිහිටියෝ වුනාට පස්සෙත් අපි ඒ උපක්‍රමවලින් ම ගොඩයන්න හදනවා. ඒත් ඒ වෙද්දි අපිට සෙල්ලම්කරන්න වෙන්නේ සමාජයත් එක්ක. ඉතින් මේ වැඩ හින්දා අපේ කාලයෙන් සෑහෙන ප්‍රමාණයක් වැයවෙන්නේ ගහ බැණගන්න. ඒ කාලය ප්‍රයෝජනවත් දේකට යෙදුවා නම් කරන්න පුළුවන් දේ, අත්පත් කරගන්න පුළුවන් දේ කොච්චරක් ද කියලා අපි හිතන්නේ නෑ.

අපිට වැළැඳිලා තියෙන මේ රෝගය ගැන අපේ හතුරෝ දන්නවා. ඉතින් අපි ව කෝපගන්වන එකත් තමන් ගේ උපක්‍රමයක් බවට පත්කරගන්න ඒ අයට පුළුවන්. කවුරු හරි තමන්ට අභියෝගයක් කියලා දැක්කා ම කරන්න තියෙන්නේ ඒ විදිහට අභියෝගයක් වෙන කෙනා ව තරහගස්සවන එක විතරයි. එහෙම වුනා ම තමන්ට අභියෝගයක් වෙච්ච කෙනා මහ ගෝරියකට පැටලෙනවා කියලා අපේ හතුරෝ දන්නවා. ඉතින් කරන්න ඕන කලින් කලට ඒ වගේ අය ව අවුස්සලා ඒකට පොහොර වතුර දාලා ඒ මනුස්සයා ගේ කාලය, හැකියාව නාස්තිකරලා දාන එක විතරයි. තරහ ගැස්වීමෙන් මිනිස්සුන් ව ලෙඩකරන්නත් පුළුවන්. ඉස්සර කාලේ චීනයේ යුද්ධවල දී කරපු දෙයක් තමයි හතුරාට විෂ පෙවූ ඊයකින් විදලා ඒ මනුස්සයා ව තරහගස්සවන එක. ඉතින් ඇඟ පුරා ම විෂ දුවලා ඉතා ම සුළු කාලයක් ඇතුළත ඒ මනුස්සයා මරණයට පත්වෙනවා.

ඉතින් අපි මේ අඩුපාඩු තේරුම්ගන්න ඕන. ඒ වගේ ම අපිට තියෙන අභියෝගවලට මුහුණදෙන්නේ කොහොම ද කියලා හොඳින් හිතලා බලන්නත් ඕන. අපේ සමාජය ඇතුළේ ඔඩු දුවලා තියෙන ප්‍රශ්න දවසකින් දෙකකින් විසඳන්න බෑ. ඒවා විසඳන්න පුළුවන් ඉතාමත් විධිමත් ව සකස්කරගන්න දීර්ඝකාලීන වැඩපිළිවෙලකින්. මේ ගැන පාඩම් අපි ඉතිහාසයෙන් ඉගෙනගෙන තියෙනවා. අපි හැමෝ ම දන්නවා කාවන්තිස්ස රජතුමා රට වෙනුවෙන් ඉටුකරපු ශ්‍රේෂ්ඨ කාර්යය. තමන්ට ගෑණු ඇඳුම් එව්වා කියලා එතුමා සැලුණේ නෑ. පියවරෙන් පියවරට විධිමත් ව සැලසුම් කරලා ඉතාමත් ශක්තිමත් හමුදාවක් ගොඩනගන්න එතුමාට පුළුවන් වුනා. ඒ හමුදාවට උවමනා යෝධයෝ බඳවාගන්නත් එතුමා කටයුතු කළා. ඉතින් දුටුගැමුණු කුමාරයාට කරන්න තිබුණේ ඒ හමුදාවට නායකත්වය දීලා සටන මෙහෙයවන එක විතරයි.

ඒත් දැන් අපේ රටේ දුටුගැමුණුලා බිහිකරන්න හදන්නේ කාවන්තිස්සලා නැතුව. යෝධයෝ හදන ඕනකමක්, ඒ වෙනුවෙන් දියත්කරපු වැඩපිළිවෙලක් කාටවත් නෑ. මෙයට පෙර ලිපියෙන් කියපු විදිහට තමන් ගේ සෙල්ෆිය උස්ස උස්සා පෙන්නන්න විතරයි අපේ අය දැන් දඟලන්නේ. ඉතින් මේ විදිහේ සෙල්ෆී සෙල්ලමකට බාධාවක් වෙන එකෙක් දැක්කොත් ඒකා ව කැතිගාලා දාන එක තමන් ගේ එක ම අරමුණ බවට පත් කරගන්න අයත් අපි අතර දැන් ඉන්නවා. මේක මහා භයානක දෙයක්. මේ වගේ පොඩි පොඩි ආරවුල් හින්දා ඇති කරගන්න අමනාප සංසාරය පුරාවට ම ඇරගෙන යන මහා වෛරයක් බවට පත්වෙන්නත් පුළුවන්. බෞද්ධයෝ වුනා ම අපි මේවා ගැන හොඳින් හිතන්න ඕන. තරහ ගිය වෙලාවට හක්කේ තියාගන්න ගල්කැට ඉක්මනින් අහකට දාන හැකියාව අපි වගාකරගන්න ඕන. පෘථග්ජන අපි අතර තරහ අමනාපකම් ඇතිවෙන එක අමුතු දෙයක් නෙවෙයි. ඒත් ඒවා අමතක කරන්න පුළුවන් නම් විතරයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ.

යෝධයෝ කියලා කියන්නේ කඩු මුගුරු ඇරගෙන සටනට යන අයට විතරක් නම් නෙවෙයි. හැම ක්‍ෂේත්‍රයක ම යෝධයෝ ඉන්න ඕන. අද අපිට ආර්ථික යෝධයෝ නෑ. අපේ අතේ තියෙන පිච්චියටත් තට්ටුවෙන විදිහේ දේවල් යෝජනාකරන්න තමයි අපි දැන් කැමැති. යෝජනා කරලා නිකම් ඉන්නවාත් නෙවෙයි. ඒවා ක්‍රියාත්මක කරවගන්න කියලා අපි පාරටත් බහිනවා. දැන් රඟදැක්වෙන සයිටම් නාඩගම තමයි මේ සම්බන්ධයෙන් පෙන්නන්න පුළුවන් හොඳ ම උදාහරණය. ඈත අතීතයේ ඉඳලා ම අපේ රට ප්‍රසිද්ධ වෙලා තිබුණේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් විදිහට. ඒත් අද අපේ ළමයි සල්ලි වියදම් කරගෙන නේපාලය, බංග්ලාදේශය වගේ රටවල්වලටත් යනවා ඉගෙනගන්න. අපේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩකට මේ සල්ලි යොදාගන්න පුළුවන් කියන එක ගැන කතාකරන්නවත් අපේ අය කැමැති නෑ. ඉතින් කොහොම ද අපේ රටේ ආර්ථික යෝධයෝ ඇතිවෙන්නේ?

පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ වගේ දැනුමින් පිරුණු ස්වාමීන්වහන්සේලා හොයාගන්න එක අද කාලේ පහසු කටයුත්තක් නෙවෙයි. අනේ අපිට පණ්ඩිත ස්වාමීන්වහන්සේ නමක් දෙන්න” කියලා අපිට ආණ්ඩුවෙන් ඉල්ලන්න බෑ. ඒ වගේ අය බිහිවෙන්න ඕන මේ සමාජය තුළින් ම යි. ඒ වෙනුවෙන් ආධාර උපකාර කරන එක සෙසු අයට කරන්න පුළුවන්. ශාසනික යෝධයන් බිහිකරන කටයුත්තත් අපේ පිං පොතට ඇතුළත් කරගන්න ඕන. ඒ වගේ ම, ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම අයත් ශාසනික යෝධයෝ හදන්න පුළුවන් කියන එකත් අපි අමතක කරන්න හොඳ නෑ.

සරෝදය වාදනය කරපු උස්තාද් අලි අක්බාර් ඛාන්වත් සිතාරය වාදනය කරපු පණ්ඩිත් රවි ශංකර්වත් බිහි කළේ සංගීත උපකරණ දෙසීයක් විතර වාදනය කරන්න පුළුවන්කමක් තිබුණු උස්තාද් අලා උද්-දීන් ඛාන්. පණ්ඩිත් අමරදේව පවා එතුමා ගේ ගෝලයෙක්. ඉතින් තමන් උරුම කරගත්ත සංගීත උරුමය ලෝකය පුරා පතුරවන්න පුළුවන් යෝධයෝ සෑහෙන ප්‍රමාණයක් බිහිකරන්න අලා උද්-දීන් ඛාන් කියන සංගීතඥයාට පුළුවන් වුනා. එතුමා ගේ ගෝලයෝත් තමන් ගේ ගුරුතුමා ව ඒ විදිහට ම අනුකරණය කරන මූසිලයෝ බවට පත් නො වී තම තමන්ට පුළුවන් මාර්ගවලින් ඉස්සරහට ගියා. ඉතින් මේ අය විවිධාකාර සංගීත ශිල්පවල කෙළ පැමිණියා. ඒත් ඒ හැම ජයග්‍රහණයක ම ගෞරවය හිමිවුනේ ඒ අය ගේ ගුරුතුමාට – ඒ කියන්නේ අලා උද්-දීන් ඛාන් සංගීතඥයාට.

අද අපේ සමාජයට උවමනා කරන්නේ මේ විදිහට යෝධයෝ බිහිකරන්න පුළුවන් ගුරුවරු. ඒත් පහුගිය අවුරුදු සීයක විතර කාලය දිහා ආපහු හැරිලා බැලුවොත් අපිට ඇතිවෙන්නේ මහා දුකක්. යම් ප්‍රමාණයකින් හරි මෙහෙම දෙයක් කරන්න උත්සාහ කරලා තිබුණේ කුමාරතුංග මුනිදාස වගේ අය විතරයි. ඒත් එතුමා ගේ සමහර ගෝලයෝ කුමරතුඟුන් ගේ අගේ” වන වනා හිටියා මිසක් එතැනින් ඔබ්බට ගෝලයෝ හැදිල්ලක් ගැන හිතුවේ නෑ.

අපි අපේ ගුරුවරුන්ට ගරු කළයුතු බව, වන්දනා කළ යුතු බව අමුතුවෙන් කියන්න ඕන කාරණයක් නෙවෙයි. මේක අපිට අපේ සංස්කෘතියෙන් ම උගන්නලා තියෙන දෙයක්. ඒත් ගුරුවරයාට ගරුකරනවා කියන්නේ ඒ ගුරුවරයා ගැන උදේ හවස ප්‍රශස්ති ගායනා කරමින් ඉන්නවා කියන එක නම් නෙවෙයි. ගෝලයන්ට පුළුවන් වෙන්න ඕන ගුරුතුමා ගේ නම දිදුළුවන විදිහේ යෝධයෝ බවට පත්වෙන්න. එහෙම නැතුව ගුරුතුමා වාදනය කරපු වීණාව ඒ විදිහට ම වාදනය කරන්න ලෑස්තිවෙනවා නම් බිහිවෙන්නේ යෝධයෝ නෙවෙයි. මූසිලයෝ! ඒ විදිහට ඉහළ නැගලා තමන් ගේ ගුරුවරයාට අභියෝග කරන මූසිලයන් ව පරද්දන්න සක්කරයාගෙන් විතරක් නෙවෙයි සක්කරයා ගේ පුතා වයිමාගෙන් උදව් ගත්තත් කමක් නෑ.

ඉතින් අපේ සමාජයේ ඉන්න හැම පාර්ශ්වයකට ම අයත් අය මේ යෝධයන් හැදිල්ල ගැන හිතන්න ඕන. හැම කෙනෙක්ට ම දුටුගැමුණු කෙනෙක් වෙන්න බෑ. ඒ වගේ ම, හැම කෙනෙක්ට ම යෝධයෙක් වෙන්නත් බෑ. ඒත් යෝධයෙක් බිහිකරන වැඩකට දායකවෙන්න අපි කාට කාටත් පුළුවන්. ඒ වෙනුවෙන් මුලින් ම කරන්න ඕන ඒ විදිහට යෝධයෙක් බවට පත්වෙයි කියලා හිතන්න පුළුවන් අය ව සමාජයෙන් හඳුනාගන්න එක. ඒ ඒ කෙනා ලබාගෙන තියෙන සහතික ප්‍රමාණය නෙවෙයි මේ වැඩේට අදාළ නිර්ණායකය වෙන්නේ. කාලයක් තිස්සේ කරන නිරීක්‍ෂණයක් හරහා තමයි මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. අපි හැමෝ ම වගේ අහලා තියෙනවා වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා කියන දරුවා අමරදේව බවට පත්කරන්න අපේ සමාජය මුල්වෙච්ච විදිහ. ඉතින් අපිට උවමනාකරන යෝධයෝ හදන එක අපේ සමාජයට ආගන්තුක කටයුත්තක් නෙවෙයි. ඉතින් අපිට ගෑණු ඇඳුම් එව්වත්, මොන අකටයුතුකම්වලට මුහුණදෙන්න සිද්දවුනත් මේ සමාජ කටයුත්ත තව තවත් කල්දැමිය යුතු නෑ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress