අගමැති රනිල් “වමට සිග්නල් දමා දකුණට හරවන්න“ හදනවා – කීර්ති තෙන්නකෝන් කියයි.
Posted on August 6th, 2017

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය 

අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතා විසින්  යෝජිත ‘ඡන්ද සිතියම ඇකිලීමේ ව්‍යවස්ථා සංශෝධන‘ ජනතාවගේ පරම ඡන්ද අයිතිය පැහැර ගැනීමක් බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය  පවසයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද(06) කොළඹ රාජගිරියේ පැවති මැතිවරණ නිරීක්ෂකයින්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ , ගරු අගමැතිවරයා විසින් 2017 ජූලි 28 දිනැති ගැසට් පත්‍රයේ පළ කර ඇති ‘විසිවන සංශෝධනය කෙටුම්පත‘ මගින් ලංකාවේ මැතිවරණ සිතියම ඌව පළාත් සභාවේ ධූර කාලය අවසන්වන 2019 ඔක්තෝබර් පළමු සතිය දක්වා අකුළා දැමීමට පරිසරය සකස් කරන බවයි.

 ‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ධූර කාලය අවසන් වන 2019 දෙසැම්බර් 8 දිනය හෝ එයට ආසන්නතම දිනයක් දක්වා ‘මැතිවරණයක මුහුණ නොදී සිටීමට‘ අගමැතිවරයාට ඇති කැමැත්ත ඔහු විසින්ම නව සංශෝධනය මගින් හෙළිදරව් කර ඇති බව මෙහිදී පෙන්වා දුන් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජය විසින් පරාජයට පත් කළ 18 වන ව්‍යවස්ථා සංශෝධනය වඩා මෙම 20 වන සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බවයි.

‘ඡන්ද සිතියම ඇකිලීමේ ව්‍යවස්ථා සංශෝධනය‘ ලෙස මෙම ව්‍යවස්ථා සංශෝධනය හැදින්විය හැකි  බව කීර්ති තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළ අතර එම ව්‍යවස්ථා සංශෝධනය මඟින්  අපේක්ෂිත අරමුණු 3 ක් පිළිබඳව ද පෙන්වා දුන්නේය.

  1. පළාත් සභා සියල්ලේම ඡන්ද විමසීම එකම දිනක පැවැත්වීම. පළාත් සභා විසුරුවන දිනය (නිශ්චිත දිනය) නියම කිරීමේ බලය පාර්ලිමේන්තුවට පවරා ගැනීම
  2. එකම දිනක මැතිවරණ පැවැත්වීම සදහා සමහර පළාත් සභාවල කාලය දීර්ඝ කිරීමක් සිදු කිරීම
  3. යම් හේතුවකින් පළාත් සභාවක් විසිරුවා හැරීමක් සිදු වූ විට එකී පළාත් සභාව පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීම

යන කරුණු එම අරමුණු බව පෙන්වා දුන් කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සිය ස්ථාවරය රටට හෙළි කළ යුතු බවයි. යෝජිත ‘ඡන්ද සිතියම අකිලීමේ ව්‍යවස්ථා සංශෝධනය‘ ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී  බවත්  එය පාර්ලිමේන්තුවේ 2/3කින් පමණක් නොව ‘ජනමත විචාරණයකින්‘ ද සම්මත විය යුතු බව තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළේය.. පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් ‘දයානන්ද දිසානායකට එරෙහි කරුණාතිලක සහ තවත් අය‘අංක 509/98 දරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව මගින් ‘ජනමත විචාරණයකින් තොරව ඡන්ද කල් දැමිය නොහැකි බව‘ පැහැදිලිවම දක්වා ඇති බව සිහිපත් කළ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතා මැතිවරණය කල් දැමීම සදහා ‘ජනමත විචාරණයක්‘ පැවැත්වූ බවයි. 

 වත්මන් අගමැතිවරයා, මැතිවරණයකට මුහුණදීමට නොහැකිව සිටින පාර්ලිමේන්තුවේ පක්ෂ කිහිපයක ද සහාය ඇතිව, පාර්ලිමේන්තු කුමන්ත්‍ර‍ණයකින් ‘පස්සා දොරෙන්‘ ‘මැතිවරණ සිතියම ඇකිලීමේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට දරන උත්සහයක් ලෙස මෙම  සංශෝධනය හැඳින්විය හැකි බව කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා සඳහන් කළේය.

බැදුම්කර මගඩිය හේතුවෙන් එජාප නායකයා සහ එජාපය මේ වන විට දැවැන්ත අර්බුදයකට ලක්වී ඇති බවත්  පක්ෂයේ උප නායකවරයා පමණක් නොව හිටපු සභාපති මලික් සමරවික්‍ර‍ම හා වත්මන් මහ ලේකම් කබීර් හෂිම් යන අමාත්‍යවරු ද ‘කොමිසම හමුවට කැදවීමට‘ ඇති හැකියාව රහසක් නොවන බවද හෙතෙම මෙහිදී කීය. දුෂිතයින් රැකීමේ ‘යහපාලන රජයේ අවශ්‍යතාව‘ ලංකාවේ මැතිවරණ සිතියම අකුළා දැමීමට හේතුවක් නොවිය යුතු බව කැෆේ සංවිධානයේ ස්ථාවරය බව තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.

මෙයට පෙර 20 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට නියමිතව තිබුනේ ‘මිශ්‍ර‍ මැතිවරණ ක්‍ර‍මයක් පිළිබද‘ ජනතාව ඉල්ලා සිටි මැතිවරණ සංශෝධනයකි. එය යහපාලන රජයේ ප්‍ර‍මුඛ මැතිවරණ පොරොන්දුව බව කියා සිටි කීර්ති තෙන්නකෝන් මහතා  සඳහන් කළේ  මැතිවරණ සංශෝධන වෙනුවට රජය ‘මැතිවරණ සිතියම ඇකුළා දැමීමට‘ දරණ උත්සාහය ලැජ්ජා සහගත බවයි.

මෙම මාධ්‍ය හමුවේදී  ජාතික මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ජාතික සම්බන්ධීකාරක රසාංග හරිස්චන්ද්‍ර මහතා ද අදහස් දැක්වීය.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress