නාරද හාමුදුරුවෝ
Posted on August 12th, 2017

 වෛද් රුවන් එම් ජයතුංග

නාරද මහා ස්ථවිරයන් වහන්සේගේ සෙවනේ ධර්මය හැදෑරීමටත් උන් වහන්සේ ගේ කරුණා ගුණයන් විඳීමටත් දැණුම උකහා ගැනීමටත් අප වාසනාවන්ත වූයෙමු. වචනයේ පරිසමාප්තියෙන් උන් වහන්සේ බුද්ධ පුත්‍රයෙකු වූ සේක .  නාරද මාහිමියන් යනු දැණුම ගංගාවකි. උන් වහන්සේ විසින් ලියන ලද ධර්ම පොත පත ඉතා ගැඹුරුය​. නාරද හිමියන් වැනි පරිපූර්ණවූ භික්‍ෂුවක් මට මෙතෙක් හමුවී නැත​. අද දිනයේදී මම නාරද හාමුදුරුවන් ගේ ශිෂ්‍යයෙකු බව  කියන්නේ  ඉතා අභිමානයෙනි. 

 වජිරාරාමයේ නාරද හාමුදුරුවන් ගේ කරුණාභරිත දෙනෙත් ප්‍රිය වචනයන් අර්ථසම්පන්න දැහැමි දිවිය ගැන කල්පනා කිරිමේදී අද දිනයේ මෙවැනි භික්‍ෂූන් ගේ  විරළභාවය  අප දකින්නෙමු. එහෙත් අහේතුවකට මෙන් අද දිනයේ  අප බොහෝ සෙයින් දකින්නේ සිත කය වචනය අසංවර සිවුරුකාරයෝ වෙති.  නැතහොත් ගෝල්ඩන් කී ආයතන වල මිලියන ගනන් මුදල්  තැන්පත් කරන බිස්නස් උන්නාන්සේලාය.   එක් අතකට බුදු සසුන විලෝපනය කරන මෙම මදාවි චීවරධාරීන්  මෙන්ම බිස්නස් උන්නාන්සේලා තම දෙනෙතින් නොදැකීමට නාරද මාහිමියන් පින් කොට තිබුණු බව පෙනේ. 

නාරද මාහිමියන්  උපත ලබන්නේ 1898 වසරේදීය​. සාන්ත බෙනඩික් විද්‍යාලයේ  සහ සිලෝන් යුනිවර්සිටි කොලීජියේ අධ්‍යාපනය ලබා වයස 18 දී මහණ දිවියට ඇතුළු වන නාරද හාමුදුරුවන් ලොව පතල ධර්ම දේශකයෙකු බවට පත් වෙති. උන් වහන්සේ ඉන්දියාව , යුරෝපය , ඉන්දුනීසියාව , වියට්නාමය , උතුරු ඇමරිකාව යනාදී රටවල් රැසකට වැඩම කොට බුදු දහම ප්‍රචාරය කළහ​.  

 වජිරාරාමය බැබලුනේ නාරද හිමියන් නිසාවෙනි.  වජිරාරාමයේ දහම් පාසල දිවයිනේ ප්‍රමුඛ දහම් පාසල විය​. සමහරක් විට උන් වහන්සේ පන්ති වලට වැඩම කොට ධර්ම ප්‍රශ්න අසති. උන් වහන්සේ කතා කරන්නේ ඉතා කාරුණික ස්වරයෙනි. මේ නිසා කිසිදු බියක් නොමැතිව කුඩා අප නාරද හාමුදුරුවන් අසන ප්‍රශ්න වලට පිලිතුරු දුන්නෙමු. නිවැරදි පිලිතුර දෙන ළමුන්ට එතුමන් බැජ් එකක් දෙති . මෙම බැජ් එකක්  නාරද හාමුදුරුවන් ගෙන් ලද විට එය අපට  මහත් ආඩඹරයක් වූ අතර එය පාසල වෙත ගෙන ගොස් මිතුරන්ටද පෙන්නුවෙමු. වරක් වජිරාරාම දහම් පාසලේ දෙක හෝ තුන් වසරේදී පන්තියේ පළවනියා වී මම නාරද හාමුදුරුවන් අතින් තිළිණයක් ලැබුවෙමි. එය ධර්ම පොතකි. මෙම පොතද ලියන ලද්දේ නාරද මාහිමියන් විසිනි. එම පොත බොහෝ කාලයක් අපගේ මහ ගෙදර තිබුනේය​. 

නාරද හමුදුරුවන් ගේ කීර්තිය ජාත්‍යන්තරව පැතිරී තිබුනේය​. ඒ කාලයේදී ලෝකයේ විවිධ රට වල ධීමතුන් නාරද හාමුදුරුවන් හමු වීමට එති. ඔවුන්ව අපට හඳුන්වා දීමටත් ඔවුන් ගේ කතා සිංහලට පරිවර්තනය කිරීමත් නාරද හාමුදුරුවන් කළහ​. මෙලෙස ආ පිරිස අතර බෞද්ධයන් පමණක් නොව ඉන්දියාවේ හිංදු පූජකයන් , ඇමරිකාවේ දේවගැතියන් යනාදී පිරිස් පවා සිටි බව මට මතකය​. නාරද හාමුදුරුවන් සියළු ආගම් වලට ගරු කල අතර අන්‍යගමිකයන් සමගද සංවාද පවත්වාගෙන යන ලදි. 

නරද හාමුදුරුවන් පිටරට ගොස් යලි මෙරටට වඩින  විට දහම් පාසලේ ළමුන් වූ අපට ඇපල්, චීස් , මුද්දරප්පලම් , මිදි ආදිය ගෙන එති. මේ 1977 පෙර කාලය හෙවත් මෙකී අනර්ඝ කෑම දකින්නටවත් නොතිබූ කාලයකි​.  නාරද හාමුදුරුවන් මෙවැනි කෑම වර්ග ගෙනවිත් අපට දෙති. මේ නිසා  නාරද හාමුදුරුවන් පිටරට සිට වැඩම කරන විට අප ආශාවෙන් උන් වහන්සේ පන්සලට වඩින තෙක් බලා සිටියෙමු. 

වරක් දහම් පාසලේ ඉහළ පන්තියක සිටියදී මමත් ඩී.එස් සේනානායක විද්‍යාලයේ  සිසුවෙකුත් මැජෙස්ටික් සිනමා ශාලාවේ තිරගත වූ ස්ටා වෝස් චිත්‍රපටය  බැලීම සඳහා කට්ටි පැන්නෙමු. අහේතුවකට මෙන් අප දෙදෙනාව ශිෂ්‍ය ආචාර්‍යවරයෙකුට හසු විය​. ඔහු අප දෙදෙනාව නාරද හාමුදුරුවන් වෙත ඉදිරිපත් කලේය​. තෙමුණු කුකුලන් දෙදෙනෙකු මෙන් අප දෙදෙනා නාරද හාමුදුරුවන් ඉදිරියේ වරදකරී දෙනෙත් වලින් බිම බලාගෙන සිටි අතර නාරද හාමුදුරුවන් අප දෙදෙනාට ඉතා කරුණාවෙන් කතා කොට විස්තර ඇසූහ​. ඉන් පසු අප දෙදෙනාට අවවාද දී තුටු පඞුරු ලෙස   බෞද්ධ පොත් දෙකක් ද දුන්හ​. එපමණක් නොවේ. මේ වේලාවේ පන්සලේ කුස්සියේ  කේක් වගයක් තිබෙන බවත් කේක් කෑලි දෙකක් කා තේ බොන ලෙසටද කීහ​. අප දෙදෙනා නාරද හාමුදුරුවන්ට වැඳ කුස්සියට ගියේ යලි දහම් පාසල් කට් නොකරමි යන අධිෂ්ඨානයෙනි. උන් වහන්සේ නඩු ඇසුවේ එසේය​.  වරදකරුවන්ට අවමාන කලේ හෝ ඔවුන්ව  දඞු කඳේ ගැසුවේ නැත.  

නාරද හාමුදුරුවන්ට දේශපාලකයන් ගරු කල අතර උන් වහන්සේ ඔවුන් ගේ වල්ගා පසුපස නොගියේය​. එසේම දේශපාලකයන්ට සෙත් පිරිත්  කීම පිරිත් නූල් ගැට ගැසීම   වැනි ලාමක දෙකයි පනහේ වැඩද නොකලේය​. මේ නිසා සියළු පක්‍ෂ වල නායකයෝ නාරද හාමුදුරුවන්ට ගරු බුහුමන් කළහ​.

වරක් අග්‍රාමාත්‍ය ප්‍රේමදාස මහතා දහම් පාසලේ සිසුන්ට තෑගි බෙදා දීමට පැමිනි අතර එක් ආචාර්‍යවරයෙකු ප්‍රේමදාස මහතාට , ප්‍රේමදාස  මහත්මියට මෙන්ම ඔවුන් ගේ දරුවන් වූ  සජිත්ටත් දුලාංජලීටත් ආසන පනවා තිබුනේය​. එවකට සජිත් ගේ වයස අවුරුදු දොලහක් පමණ වන්නට ඇත​. උත්සවයට වැඩම කල නාරද මාහිමියන් සජිත්ටත් දුලාංජලීටත් අනෙකුත් ළමුන් අතර ඉඳ ගැනීමට නියම කළහ​. උන් වහන්සේ තමන් ගේ කතාව ආරම්භ කලේ අගමැතිතුමාගේ ළමුන් දෙදෙනාත් මේ දහම් පාසලේ ඉන්න අනෙක් ළමුනුත් මට එකයි කියමිනි. අද කාලයේ දේශපාලකයන් ඉදිරියේ මෙවැනි පෞරුෂයක් පෙන්විය හැකි යතිවරයෙකු සිටීද කියා මම නොදනිමි. 

නාරද හාමුදුරුවන්  කුඩා අපගේ සිත් වලට ආගම්වාදයේ , ජාතිවාදයේ වර්ගවාදයේ විශ එන්නත් කලේ නැත​. එතුමන් අපව හුරු කලේ මානුෂිකවාදීව සිතීමටය​. මේ නිසා අගතීන් ගෙන් තොරව ලෝකය දෙස බැලීමට අප පුරුදු වූයෙමු. 

නාරද හාමුදුරුවන් අපවත් වන්නේ 1983 වසරේදීය​. ඒ  වන විට මම උසස් පෙළ පන්තියට අවතීර්ණව සිටියෙමි.  පසු කාලයක වජිරරාමයට යන විට උන් වහන්සේ වැඩ සිටි විහාර ගෙය , දම් දෙසූ ශාලාව දකින විට නාරද මාහිමියන් නොමැති අඩුව දැණුනි. 

නාරද මාහිමියන් තුල බුදු දහම පිළිබඳව ගැඹුරු අවබෝධයක් තිබුනු බව මට තේරුම් ගියේ පසු කාලයක උන් වහන්සේ ලියූ පොත් කියවන විටදීය​. සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පොත් ලිවීමට නාරද හාමුදුරුවන්ට දැණුම තිබුනේය​. තවද පාලි භාෂාව පිලිබඳව ඉංග්‍රීසියෙන්ද උන් වහන්සේ පොතක් ලියා තිබුනේය​. නාරද හාමුදුරුවන් ගේ පොත පත කියවා බුදු දහම වැළඳ ගත් සුදු ජාතිකයෝ බොහෝ වෙති. මින් සමහරක් පැවිදිද වූහ​. 

නාරද හාමුදුරුවන් ගේ පොතක තිබූ පාඨයක් මගේ මතකයට නැගේ. බුදු දහම යනු සර්වඅශුභවාදයට (pessimism  ) මෙන්ම  සර්වශුභවාදයට (optimism   ) අයත් නොවන දහමක් වන අතර බුදු දහම අයත් වන්නේ යථාර්ථවාදයටය​. ලෝකයේ දුක තිබෙන බව බුදුරදුන් පිලිගත් අතර දුක නිවීම සඳහා මාර්ගයක්ද දේශනා කල සේක​. ඒ නිසා බුදු දහම සර්වඅශුභවාදයට අයත් වන්නේ නැත​. 

නාරද මාහිමියන් අපවත්වී වසර ගනනකට පසු දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ පොතක් ලියූ අතර එම පොතේ බුදු දහම සර්වඅශුභවාදයට යටත් දෝ කියා ප්‍රශ්න කොට තිබුනේය​. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් නැගූ ප්‍රශ්නයට වසර ගනනාවකට ඉහතදී නාරද මාහිමියන් විසින් පිළිතුර දී තිබුනේය​. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress