හොඳ වඩන සූත්‍රය
Posted on August 14th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

මතක විදිහට ඒ ගතවෙමින් තිබුණේ 1993 අවුරුද්ද. ඉරිදා පත්තරේක පළ කරලා තිබුණු වාර්තාවකින් කියැවුනේ අම්පාර මහඔය පැත්තේ මනුස්සයෙක් තනියෙන් වැවක් හදනවා කියලා. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සහෝදර ශිෂ්‍යයන් කිහිප දෙනෙකුත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යයන් කිහිපදෙනෙකුත් එකතුවෙලා මේ ගැන කතාකළා. ඊට පස්සේ තීරණයක් ගත්තා අවශ්‍ය මුදල්, උපකරණ, ආහාර පාන එකතුකරගෙන කණ්ඩායමක් විදිහට මහඔයට ගිහිල්ලා ඒ වැව හදන මනුස්සයාට උදව්වක් කරමු කියලා. විශ්වවිද්‍යාලයේ ගුරුවරු, සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, ඇතැම් ව්‍යාපාරිකයෝ මේ වැඩේට අතහිත දුන්නා. මහඔය හමුදා කඳවුරෙන් ට්‍රක් රථයකුත් විශාල ප්‍රමාණයේ කූඩාරමකුත් ආහාර පිසින කල්දේරමුත් ලබාදුන්නා. හමුදා කඳවුරෙන් උපකාර ලබාගන්න උදව් කළේ බෙංගමුවේ නාලක හාමුදුරුවෝ.

ඉතින් වීල්බැරෝ, උදලු, තාච්චි, යවුල් වගේ උපකරණත් හාල්, පොල්, පරිප්පු, මිරිස් තුනපහ වගේ කන බොන දේවලුත් බෙහෙත් අඩුවැඩියත් මිල දී ගත්ත මේ ලේඛකයා ඇතුළු විසි දෙනෙක් විතර පිරිසක් හමුදාවෙන් ලබාදුන්න ට්‍රක් රථයෙන් මහඔයට ගියා. සති දෙකක් විතර ඒ ගමේ නැවැතිලා ඉඳගෙන අර මනුස්සයාත් එක්ක හරි හරියට වැව හැදුවා. පුළුවන් තරමින් ඒ කටයුත්තට දායකවෙච්ච අපේ කණ්ඩායම ආපහු කොළඹට ආවා. මේ වැඩේ වෙනුවෙන් ආධාර උපකාර කරපු අයට ප්‍රණාමය පළකරන්න පුළුවන් වෙන්නේ කරපු දේ ගැන වචනයක් දෙකක් ඡායාරූපයක් එක්ක පත්තරේක පළකිරීමෙන් කියලා අපේ පිරිස තීරණය කළා. ඉතින් ඒ වැඩේ කරගන්න කියලා හිතලා පොඩි සටහනක් ලියාගත්ත මේ ලේඛකයා ඡායාරූප කිහිපයකුත් ඇරගෙන පත්තර කන්තෝරුවලට යන්න පටන්ගත්තා. ඒත් මේ වෙනුවෙන් ඉඩක් ලබාගන්න පුළුවන් වුනේ නෑ.

අපේ කට්ටිය මෙහෙම දෙයක් නොකර තර්ස්ටන් පාරේ දී බස් එකකට ගිනි තිබ්බා නම් ඒකට පත්තරවල මුල් පිටුවේ ම ඉඩ ලැබෙන්න තිබුණා. ඊට පස්සේ අපේ කට්ටියට ශිෂ්‍ය වීරයෝ බවට පත්වෙන්නත් තිබුණා. මෙහෙම වෙන්නේ ඇයි? මේ ලෝකයේ වෙන හැම දේක ම ප්‍රවෘත්ති වටිනාකමක් නෑ. ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ. බටහිර පර්යේෂකයෝ අපිට කියලා දීලා තියෙනවා ප්‍රවෘත්ති වටිනාකම් තියෙන්නේ මොන මොන විදිහේ සිදුවීම්වල ද කියලා. මුල් කාලේ කිව්වේ වටිනාකම් හතක් ගැන. දැන් නම් ප්‍රවෘත්ති වටිනාකම් හඳුනාගන්න නිර්ණායක විස්සක් විතර යොදාගන්නවා.

හැම දා ම සිද්දවෙන ඉර පායනවා ඉර බහිනවා වගේ දේවල් ප්‍රවෘත්ති නෙවෙයි. අපිට හුරුපුරුදු නැති අහලාවත් නැති වනවාටු වගේ රටක සිද්දවෙන දේවලුත් අපිට ප්‍රවෘත්ති නෙවෙයි. ප්‍රවෘත්තියක් වෙන්න නම් අදාළ සිද්දිය නෙගටිව් එකක් – ඒ කියන්නේ අපි පිළිගන්න හොඳ දේවල්වලට පටහැනි එකක්; වෙන්න ඕන. පොසිටිව් සිදුවීම්වල ප්‍රවෘත්ති වටිනාකමක් නෑ. ඒ වගේ ම අදාළ සිද්දිය අමුතු විප්‍රකාර එකක් වෙන්නත් ඕන. බල්ලෙක් මිනිහෙක් ව හපාකෑම ප්‍රවෘත්තියක් නෙවෙයි. හැබැයි මිනිහෙක් විසින් බල්ලෙක් ව හපාකෑම ප්‍රවෘත්තියක්. සිද්දිය ලොකු රටකට, ලොකු පවුලකට සම්බන්ධ නම් තවත් හොඳයි. අපේ ගමේ සුනිමල් කුරුණෑගල ගෑණු ළමයෙක් එක්ක චිත්‍රපටියක් බලන්න ගිය එක ප්‍රවෘත්තියක් නෙවෙයි. ඒත් අහවල් ඇමැතිතුමා ගේ පුතා අහවල් නායකතුමා ගේ දුවත් එක්ක රාත්‍රි සමාජශාලාවකට ගිහිල්ලා එද්දි වාහනේ ලයිට් කණුවක හැප්පුනා කියන එක මහ විශාල ප්‍රවෘත්තියක්. අපි වුනත් දැනගන්න කැමැති ඒ වගේ දේවල්.

වැව් හැදිල්ල ප්‍රවෘත්තියක් නො වී බස් ගිනි තැබිල්ල ප්‍රවෘත්තියක් වෙන්නේ මෙන්න මේ වගේ කාරණා හින්දා. මේ සෙල්ලමට ජනමාධ්‍යවේදීන්ට හරි මාධ්‍ය ආයතනවල ලොක්කන්ට හරි දොස් කියලා වැඩක් නෑ. අපේ මනසත් කැමැති කුණු රහ තියෙන දේවල් තළු මර මරා කන්න. ඉතින් අපි දැන් ලෝකය ගැන දැන ගන්නේ මේ විදිහට. අපි වටේ විතරක් නෙවෙයි ලෝකේ වටේ තියෙන හැම රටක ම සිද්දවෙන නරක දේවල්, විප්‍රකාර දේවල් අපි දන්නවා. ඒවා ගැන අපි උදේ හවස කතාකරනවා. අනිත් අයටත් කියලා දෙනවා. මේ වැඩේ අදාළ ප්‍රවෘත්තිවලට විතරක් නෙවෙයි.

බණ දහම් ගැන කතාකරන ඇතැම් අයත් මෙහෙමයි. මොකක් හරි විප්‍රකාර බණක් කිව්වොත් තමයි තමන්ට මිනිස්සුන් ගේ අවධානය දිනාගන්න පුළුවන් කියලා ඒ අය දන්නවා. ඉස්සර ඉඳලා කියාගෙන ආපු බණ ඒ විදිහට ම කියනවා නම් ඒ අයට තමන් ව මාර්කට් කරගන්න බෑ. ඉතින් අපේ පිළිගත් දහම් පිළිවෙත්වලට ගරහන එකත් ඒ අය ගේ දෛනික කටයුත්තක් බවට පත්වෙලා.

ඒ වගේ සමහර අය දැන් කියනවා පද්‍යයෙන් තියෙන සූත්‍ර අලුත් ඒවා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ගද්‍යයෙන් විතරයි” කියලා. මෙහෙම කියන අය හිතන්නේ නෑ අංගුත්තර, අරියවංශ, උභතෝ විභංග, ජාතක, දීඝ, ධම්මපද, සංයුක්ත, මජ්ඣිම, මහා වත්තාරියක වගේ භාණකවරු කට පාඩමින් ධර්මය රැකගන්න යොදාගත්ත උපක්‍රම ගැන. තවත් සමහරු කියනවා ආනන්ද හාමුදුරුවෝ බොරු කියලා තියෙනවා. මොකද ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරද්දි ආනන්ද හාමුදුරුවෝ මහණ වෙන්න හිතලාවත් තිබුණේ නෑ. ඉතින් කොහොම ද තමන් විසින් එ සේ අසන ලදී කියලා එයා කියන්නේ” කියලා. මෙහෙම කියන අය අමතක කරනවා අග්‍ර උපස්ථායකකම භාරගනිද්දි තමන් නොසිටි තැනක දී කරපු දේශනා තමන්ට නැවතත් අහන්න අවස්ථාවක් ලබාදෙන්න කියලා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන්වහන්සේගෙන් කරපු ඉල්ලීම.

ඉතින් දැන් දැන් අපේ රටේ මේ වගේ හපන්කම් පෙන්නන ධර්ම විප්ලවවාදීයෝත් පහළවෙලා. අභිධර්මය ගැන කිසිම හැදෑරීමක් නැති ව ඒ ගැන විවේචනය කරන අයත් ඉන්නවා. විසුද්ධි මාර්ගය සම්බන්ධයෙන් එල්ලවෙලා තියෙන පදනමක් නැති විවේචන ගැන මේ ළඟ දී ආරණ්‍යවාසී ව භාවනා යෝගී ව වැඩවසන එක්තරා ස්වාමීන්වහන්සේ නමක් මේ ලේඛකයාත් එක්ක කිව්වා. විසුද්ධි මාර්ගය කියන්නේ ආර්ය පර්යේෂණයේ යෙදෙන උන්වහන්සේලාට මග පෙන්වලා දෙන්න ථෙරවාදී මහාවිහාර සම්ප්‍රදාය තුළ රචනා කෙරුණු විශිෂ්ඨතම ග්‍රන්ථය. ඒ මහා ග්‍රන්ථයේ අන්තර්ගතය තර්ක බුද්ධියෙන් වටහාගන්න බෑ. ඒක අවබෝධ වෙන්නේ අදාළ මාර්ගයේ ගමන්කරන පුද්ගලයාට යි. උදාහරණයක් විදිහට කියනවා නම් සූප ශාස්ත්‍රය පිළිබඳ ව ලියැවිච්ච පොතක තියෙන දේ වැටහෙන්නේ ඒ ඇසුරෙන් කෑම පිසින්න උත්සාහ කරන කෙනාටයි. එහෙම නැතිව ඒක කියවලා තර්ක බුද්ධියෙන් ඒක ගැන කරුණු කිව්වා කියලා වැඩක් වෙන්නේ නෑ. ඒත් විප්‍රකාර කියවලා අවධානය දිනාගන්න උත්සාහකරන අයට ඒවා අදාළ නෑ.

මේ විදිහේ සෙල්ලම්කරන අයට පිනුම්ගහන්න පුළුවන් තවත් තැනැක් තමයි අපේ ඉතිහාසය. ඉතින් අපේ පිළිගත්ත ඉතිහාසයටත් මේ වගේ අය උඩ පැන පැන බැට දෙනවා. රාවණා කතාව කියන අය, බුදුහාමුදුරුවෝ අපේ රටේ ඉපැදුණා කියන අය, යක්‍ෂ කතාව උස්ස උස්ස පෙන්නන අය මේ වගේ වීරක්‍රියාවල යෙදිලා ඉන්නවා. ඉතින් මේ වර්ගයට අයිති සමහර අය පෙන්නලා දෙනවා අපේ හෙළ මුතුන්මිත්තෝ අහස්යාත්‍රාවල නැගිලා මෙසපොතේමියාවට ගිය විදිහ. මේ කියන කාලයට අයත් ගොඩනැගිලිවල නෂ්ටාවශේෂ මෙසපොතේමියාවෙන් හමුවෙලා තියෙන හින්දා ඒ අතර තමයි මේ අය හෙළ ලකුණු හොයන්නේ. ඒත් ඒ කාලයේ අපේ රටේ හෙළයෝ හදපු ගොඩනැගිලිවල නශ්ටාවශේෂ හොයාගන්න බෑ. ඒ කාලේ මේ රටේ හදලා තිබුණු ගොඩනැගිලිත් අහස්යාත්‍රාවලින් මෙසපොතේමියාවට ගෙනිච්චා ද දන්නේ නෑ!

කොහොම වුනත් මේ කියන්නේ පවතින දේ ඒ විදිහට ම පිළිගන්න කියන එක නෙවෙයි. මොන දේ වුනත් පිළිගන්න ඕන විචාර බුද්ධියෙන්. අපේ වංශකතාවල අඩුපාඩු තියෙන්න පුළුවන්. අතීතයේ සිද්දවෙච්ච හැම දෙයක් ම අංගසම්පූර්ණ ව වාර්තාකිරීමක් ඒ වංශකතාවලින් වුනා කියලා හිතන්න බෑ. අනිත් වැදගත් ම කාරණය තමයි ඒ ඉතිහාස‍ය ලිවීමේ අරමුණ තේරුම්ගැනීම. අපේ මහා විහාර සම්ප්‍රදාය ඇතුළේ හැම දෙයක් ම වගේ කරලා තියෙන්නේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන අරමුණ මුල් කරගෙන. අටුවා පවා ලියවලා තියෙන්නේ ඒ වෙනුවෙන්. ඉතින් පර්සියානු සංක්‍රමණිකයන් ගේ බලය මුළුමනින් ම බිඳලා බුද්ධ ශාසනයේ ස්ථාවරත්වය තහවුරු කරපු දුටුගැමුණු රජතුමා ව අපේ අසහාය ජාතික වීරයා බවට පත්කරන්නත් ඒ සංක්‍රමණිකයන්ට යක්‍ෂ ලේබලය අලවන්නත් අපේ ඉතිහාස රචකයෝ කටයුතු කරලා තියෙනවා. මේ ලේඛකයා ලියපු පෙරදිගට ගමනක්” පොතේ මේ ගැන කරුණු ඇතුළත්.

ළමයෙක් ලියපු රචනයක වැරැදි තියෙනවා දැක්කත් ඒ ළමයාට ඒක කියලා දෙන්න පුළුවන් පුතා ලියලා තියෙනවා බොහොම හොඳයි. හැබැයි මෙන්න මේ දේ මෙහෙම වුනා නම් වඩාත් හොඳයි” කියලා පෙන්නලා දෙනවා නම්. මේකයි වැරැදි අඩුපාඩු නැති කරන කලාව. එහෙම නැතිව ඒ රචනයයි ඒක ලියපු ළමයාවයි පතුරුගහලා අලුත් ළමයෙක් හදන්න අපි යොමුවෙන්නේ නෑ. ඉතින් රට, ජාතිය, ආගම එක්ක සම්බන්ධ කරුණු ඊටත් වඩා ගැඹුරුයි, බරපතලයි, සංකීර්ණයි. ඒවාට කරන අලාභ හින්දා මුළු ජාතිය ම අනතුරට ලක්වෙන්න පුළුවන්.

ලෙනින් විසින් මාක්ස්වාදය පෝෂණය කළා කියලා ඒ අදහස්වලට ගරුකරන අය කියනවා. ඒ අදහස් මාඕ විසින් තවදුරටත් පෝෂණය කළා කියලාත් කියනවා. ට්‍රොට්ස්කි විසින් මාක්ස් – ලෙනින් ගේ අදහස් පෝෂණය කළා කියලා කියන අයත් ඉන්නවා. මේක තමයි මොකක් හරි සම්ප්‍රදායක් වවන කලාව. එහෙම නැතිව මුල් සම්ප්‍රදායේ අඩු පාඩු කියවා කියවා ඉඳලා ඉස්සරහට යන්න කාටවත් බෑ. අඩුපාඩු සම්පූර්ණ කරන්න ඕන මූලික අරමුණට හානියක් නොවෙන විදිහට. අඩුපාඩුවලට පිළියම් යොදන්න ඕන හොඳ වැඩෙන විදිහට. ක්‍රම ක්‍රමයෙන් හොඳ වැඩෙද්දී තියෙන අඩුපාඩු ඉබේ ම මැකිලා යාවි. මේක තමයි හොඳ වඩන කලාව.

වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress