සංවර්ධන නිලධාරි අධීක්ෂණයට අඩු සුදුසුකම් සහිත නිලධාරීන් යෙදවීමෙන් ගැටළු රැසක්.
Posted on August 16th, 2017

Public Service Management Assistant Union 

ලේකම්
පළාත්පාලන හා පළාත්සභා අමාත්යාංශය,
යුනියන් පෙදෙස,
කොළඹ 02.

ලේකම්තුමණි,

සංවර්ධන නිලධාරි අධීක්ෂණයට අඩු සුදුසුකම් සහිත නිලධාරීන් යෙදවීමෙන් ගැටළු රැසක්.

උක්ත මැයෙන් සමස්ත ලංකා රජයේ සංවර්ධන නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ ප‍්‍රධාන ලේකම් අශෝක රාජපක්ෂ මහතා විසින් පළාත්සභා ආණ්ඩුකාරවරුන් සහ ප‍්‍රධාන ලේකම්වරුන් වෙත යොමුකරන ලද ලිපිය හා සම්බන්ධවයි.

එක් පැත්තකින් එකී ලිපිය නො දැනුවත්භාවය සහ යථාර්තය සැඟවීමට ගත් උත්සාහයක් සේ අපි දකිමු’ එනම්, ඔහු විසින් දක්වා ඇත්තේ උපාධිධාරීන් අධීක්ෂණයට ලිපිකරුවන් හා මූල්‍ය සහකරුවන් පත්කර තිබෙන බවකි. එහෙත් අද රජයේ කාර්යාල තුළ ලිපිකරු යයි තනතුරක් නොමැති බව පිළිබඳ ඔහුගේ නොදැනුවත්භාවය සම්බන්ධව අපි කණගාටු වෙමු.

තවද පසුගිය කාලය තුළ උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී පැවති රජයට හෝ වර්තමාන රජයට ඒ පිළිබඳව නිවැරදි වැඩපිළිවෙලක් හෝ දැක්මක් තිබුණේ නැති බව ඔහුට අමතක වී ඇත. ඒ නිසාම උපාධිධාරීන්ට ලොකු අසාධාරණයක් සිදුවූ බව අපද පිළිගනිමු. ඒ මක්නිසාද යත් ඒ මොහොතේ අදාළ තනතුරු හඳුනාගැනීමක් නොමැතිව රෝමයට වහළුන් පුරවන්නා සේ පුරප්පාඩුව පැවති රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවේ තනතුරුවලට ඔවුන් පත්කළ බව ඔහු අමතක කර ඇත. මේ නිසා අප සේවාවේ නිලධාරීන් ද අද බලවත් පීඩාවකට පත්කර ඇත්තේ අප සේවාව විසින් ඉටුකළ රාජකාරි ඉටුකිරීමට වෙනත් සේවාවන්හි ඊට ඉහළ වැටුප් තලයක පිරිසක් යෙදවීම නිසාය.

අනෙක් පැත්තෙන් 2012. 02. 24 දින නිකුත් කරන ලද අංක 1745/1 දරණ වැඩසටහන් නිලධාරී (සංවර්ධන නිලධාරී) සේවා ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති ඔවුන්ගේ රාජකාරි විෂය පිළිබඳව ඔහුගේ නොදැනුවත්භාවය සම්බන්ධවද අපි කණගාටු වෙමු. කෙසේ වෙතත් එකී සේවා ව්‍යවස්ථාවට අනුව ඔවුන්ට නියමිත රාජකාරි පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව එකී රාජකාරි ක්‍ෂෙත‍්‍රගත රාජකාරි බව එහි දන්වා ඇති කරුණුවලින් සනාථ වේ. ඒ බව තහවුරු කිරීමට තවත් කරුණක් නම් පසුගිය කාලයේ උපාධිධාරීන්ට සහන මිලට යතුරුපැදි ලබාදීමක් සිදුකළේ ද ඔවුන්ගේ ක්‍ෂෙත‍්‍රගත රාජකාරි නිසාවෙනි. එසේම සමහර කාර්යාල තුළ සේවය කරන අය ක්‍ෂෙත‍්‍ර රාජකාරි කරනවා යැයි ගමන්වියදම් දීමනාව ද ලබාගනිමින් සිටිති. එසේ ක්‍ෂෙත‍්‍රගත රාජකාරි වෙනුවෙන් බඳවාගත් පිරිසක් අද කාර්යාල තුළට වී රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවේ රාජකාරි ඉටුකිරීමට යෙදවීම සම්බන්ධව අප සංගමය දැඩි විරෝධය පළකරමු. එලෙස පත්කර ඇති ඔවුන් අධීක්ෂණය අප සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිදුකිරීම කිිසිසේත් ම අඩුපාඩුවක් සේ අප නොදකිමු.

මෙහිදී ඔහු අමතක කළ හෝ ඔහු නොදැනුවත් තවත් කරුණක් මතක් කළ යුතුව ඇති. එනම් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවට බඳවා ගැනීමේ ක‍්‍රමවේදය උපාධිධාරීන් බඳවා ගැනිම තරම් සරළ කරුණක් නොවන බවයි. කළමනාකරණ සහකාර සේවාවට බඳවා ගැනීමේ දී අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ ගණිතය සහ භාෂාව ඇතුළු විෂයයන් හතරකට සම්මාන ඇතිව එකවර විෂයයන් 06 කින් සමත්වීම සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස්පෙළ විෂයයන් 03 කින් සමත්වීම අනිවාර්ය වේ. තවද ලක්ෂ එකහමාරක් පමණ පෙනී සිටින, විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන දැඩි තරගකාරී විභාගයකින් තෝරාගන්නා ලද 3000ක පමණ පිරිසකට පමණි මෙකී සේවාවට ඇතුළත්වීමට හැකියාව ඇත්තේ. එකී පිරිස අතර උපාධිධාරීන් 50%, 60% පමණ සිටින බව පවා ඔහු නොදන්නා අතර ඒ පිළිබඳ අප පුදුමයට පත්වීමු. තවද මෙකී තරග විභාගයට පෙනී සිට එයින් අසමත් වූ සහ ඉහත මූලික සුදුසුකම්වත් සපුරා නැති විශාල පිරිසක් උපාධිධාරීන් ලෙස සංවර්ධන නිලධාරී සේවාව තුළ සිටින බව ඔහු මෙන්ම බොහෝ පරිපාලන නිලධාරීන් ද අමතක කර ඇති කරුණකි.

මේ සම්බන්ධව ඔහු විසින් දන්වා ඇති ගැටළු පැනනැග. ඇත්තේ බඳවාගත් තනතුරේ නොමැතිව වෙනත් තනතුරක රාජකාරි පැවරීම නිසාවෙනි. ඒ නිසා එය නිවැරදි කිරීම වෙනුවෙන් ආණ්ඩුකාරතුමන්ලා සහ ප‍්‍රධාන ලේකම්තුමන්ලා කටයුතු කරනු ඇතැයි අප සංගමය දැඩිව අවධාරණය කරමු.

ස්තූතියි.

මෙයට,

චන්දිම විමලසුරේන්ද්
රධාන ලේකම්
සංගමයේ නියමය පරිදි

 

යූ. පලිහවඩන
රධාන සභාපති
සංගමයේ නියමය පරිදි 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress