දුෂිත කෙරවලපිටිය විදුලි බලගාරය ටෙන්ඩරය තවත් නොරච්චෝලයක්! විදුලිබල ප්‍ර‍සම්පාදන කමිටු සභාපති, සාමාජිකයා ඉල්ලා අස්වෙයි.
Posted on August 19th, 2017

රජිත් කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

විදුලිබල ස්ථාවර ප්‍ර‍සම්පාදන කමිටුවේ සභාපති ජී.එස්.විතානගේ මහතා සහ සාමාජික ජේ.ආර්.එල්.වසන්ත මහත්වරුන් ඉල්ලා අස්වී ඇත. විදුලිබල හා පුණර්ජනණීය බලශක්ති අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා හොරු අල්ලන්නට යැයි කියා හැට දෙලක්ෂයක් ව්‍යාපෘතිය වෙනුවෙන් බිම ඉදගෙන දින දෙකක් ගතවීමටත් පෙර මෙම ඉල්ලා අස්වීම විශේෂයක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුතු ‘විදුලිබ ප්‍ර‍සම්පාදන කමිටුව‘ ඩීසල් විදුලි මාෆියාව පවත්වාගෙන යාමත්, ගල්අගුරු වංචාව, එක් විදුලි ඒකකයකින් රු. 14 ක් රජයට පාඩු කරන ඉංජිනේරු මාෆියාව පවත්වා ගැනීම, ජෙනරේටර් මිලදී ගැනීම පමණක් නොව මේ විට කැබිනට් මණ්ඩලය විසින් නවතා දමා ඇති කෙරවලපිටිය LNG ටෙන්ඩරයට සම්බන්ධ යාන්ත්‍ර‍ණය යි.

කෙරවලපිටිය ගණුදෙණුව

මෙ.වෝ. 300 ක ඩීසල් විදුලි බලගාරයක් ඉදි කොට වසර 3 කින් LNG බලාගාරයක් බවට පරිවර්ථනය කිරීමට විදුලි බල මණ්ඩලය ටෙන්ඩර් කැදවීය. මෙම දුෂිත ගණුදෙනුවේ 2017 පෙබ. 6 දින පුවත් පත් නිවේදනයක් මගින් කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් හෙළි කළේය. එවකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා ද එම ගණුදෙනුව අන්ත දුෂිත බවත්, විදුලිබල ලේකම් සුරේන් බටගොඩ එම ගණුදෙණුව පිටුපස සිටින බවත් හෙළි කළේය. ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාට ඉල්ලා අස්විමට සිදු වූයේ එම අනාවරණය හේතුවෙනි.

ආයෝජන මණ්ඩලය ලංකාවේ මුදල් නොමැතිව විදේශීය ආයෝජන ලෙස LNG බලාගාර 6 ක් ඉදිකිරීම සදහා ආයෝජකයින් සොයා ගෙන තිබුණි.

ලංකා භාණ්ඩාගාරයෙන් අති දැවැන්ත මුදලක් වැය කරමින් ඉදි කිරීමට යෝජිත කෙරවලපිටිය ප්‍ර‍තිචක්‍රීය බලාගාරය ටෙන්ඩර් කැදවීමේ සිටම අන්ත දුෂිත ගණුදෙනුවකි.

සමාගම් 8 ක් ටෙන්ඩර් ඉදිරිපත් කිරීමෙන් පසුව තාක්ෂණික හේතු මත එයින් 2 ක් ඉවත් කරන ලදී. ඉතිරි සමාගම් 6 අතුරින් සුරේන් බටගොඩ ලේකම්වරයාට අවශ්‍ය සමාගමේ ටෙන්ඩරය පමණක් විවෘත විය. එය තාක්ෂණික කමිටු නිර්දේශයට පටහැනිය. තාක්ෂණික ඇගයීමට අනුව අඩුම සුදුසුකම් සහිත සමාගමේ ටෙන්ඩරය පමණක් විවෘත වූයේ ‘දේශපාලන-නිලධාරි‘ අවශ්‍යතාව මත ය.

විදුලි මාෆියාවට අවශ්‍යව ඇත්තේ මෙම බලාගාරය ඉදිකිරීම වලකා පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමය. ප්‍ර‍බල දේශපාලනඥයෙකුට අවශ්‍යව ඇත්තේ තමාට සම්බන්ධ රජයේ විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ආයතනයකට මෙම ටෙන්ඩරය ලබාගැනීමය. ප්‍ර‍සම්පාදන කමිටු සභාපති හා සාමාජිකයාගේ ඉල්ලා අස්වීම එහි ප්‍ර‍තිඑලයකි.

ඩීසල් විදුලි උත්පාදන ටෙන්ඩරය

රුපියල් මිලියන 5000 ක් වැය කරමින් මෙගාවෝට් 60 ක විදුලිය උත්පාදනය සදහා ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍රගෙන ඒවේ කැබිනට් පත්‍රිකාව සියඹලාපිටිය-බටගොඩ සුසංයෝගය විසින් ඉදිරිපත් කරනු ලැබූවේ 2016 දෙසැම්බර්ය මසය. ‘විවෘත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවීම මගින් තෝරා ගැනීමට’ යෝජනා වූ නමුත් අන්ත දුෂිත ගණුදෙණුවක් ලෙස සැකසි මේ ගණුදෙනුවට එදා මුදල් අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය චම්පික රණවක විරෝධය පළ කළේය.

ජී.එස්.විතානගේ, ආචාර්ය සුරේන් බටගොඩ සහ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරිවරයා ඇතුළු කණ්ඩායමක ප්‍රසම්පාදන කමිටුවක් හරහා මිලදී ගැනීම සිදුවූ අයුරු මෙසේය.

  • ජෙනරේටර් මිල දී ගැනීමට 2016.12.28 දින රැස්වීමක් පවත්වා, තාක්ෂණික නිර්ණායක සකසා දිනකට පසුව 2016.12.29 අදාළ මිලදී ගැනීමට පුවත්පත් දැන්වීමක් පළ විය.
  • පසු දින, 2016.12.30 දින අංක 16/2774/727/056 දරණ කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරනු ලබයි. (සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් දින 7 කට පෙර කැබිනට් කාර්යාලයට බාරදිය යුතුය)
  • තාක්ෂණික ඇගයීම් කමිටුව 2017.01.16 දින අවසන් වන ටෙන්ඩරයට ඇගයීමට ලක් කරන අතර ඇග්රිකෝ, ලක්දනවි, පවර් සොලූෂන් එන්වී, The consortium of Ceylex (Pvt) and Aifaris (LLC) යන ආයතන වෙතින් ඉදිරිපත් වූ මිල ගණන් එම කමිටුව විසින් ඇගයීමට ලක් කරයි. තාක්ෂණික ඇගයීම් කමිටුව තීරණය කරන්නේ අදාළ මිලදී ගැනීමේ වටිනාකම රු. මිලියන 6,268 ක් බවයි.
  • අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලය ‘ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවන්න’ 2017 ජනවාරී 10 දා අවසර ලැබෙන විට ඩීසල් ජෙනරේටර් මිල දී ගැනීම සදහා 2016 දෙසැම්බර් 29 වන දා පුවත්පත් දැන්වීම් පළ කර තිබුණි.
  • 2017 ජනවාරි 16 උදේ 10 ට දක්වා ටෙන්ඩරය බාර ගැනිම සිදු කොට එදිනම මෙය අගයීමකට ලක් කොට, 2017 ජනවාරි 17 ප්‍රසම්පාදන මණ්ඩලය අනුමැතිය දී ඇත.
  • 2017 ජනවාරි 18 දින විදුලි ලේකම් සුරේන් බටගොඩ පෙබරවාරි 06ට පෙර ‘ඇග්රිකෝ ඉන්ටර්නැෂල් සමාගම හරහා විදුලිය ජනනය ආරම්භ කිරීමට‘ විදුලි බල මන්ඩලයට දැනුම් දී ඇත.
  • ඇමති රංජිත් සියඹලාපිටිය හා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ ඒ වන විට මිල දී ගැනීම අවසන් කොට ඇති දුෂිත, ක්‍රම විරෝධී ගණුදෙනුව සදහා කැබිනට් අනුමැතිය ව්‍යාජ කරුණු මත පදනම්ව 2017 ජනවාරි 26 දින අනුමැතිය ලැබීය.

ගල් අගුරු වංචාව

ශේෂ්ඨාධිකරණයේ අංක SC FR NO. 394/2015 දරණ නඩු තීන්දුව හා විගණකාධිපතිවරයාගේ 2016 මැයි 02 දිනැති විගණන විමසුම මගින් තහවුරු වූ කුප්‍ර‍කට ගල් අගුරු වංචාව මෙසේය.

  • POE/C/CEB/Coal-sport/2016/2 දරණ විගණන විමසුම මගින් ලංකා රජයට ගල් අගුරු මිලදී ගැනීමක දී රුපියල් මිලියන 1803 ක පාඩුවක් සිදුවීම ඇත.
  • ගල් අගුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් SC FR NO. 394/2015 දරණ නඩු තීන්දුවේ [Shocks the conscience of the Court, especially when the awarding of the tender involves Public Funds”] ලෙස ද දැක්වේ. ඉහත නඩුවේ වගඋත්තරකරුවන් වූයේ ද, සුරේන් බටගොඩ, විදුලි සාමාන්‍යධිකාරිවරයා සහ ඊයේ ටෙන්ඩර් කමිටුවෙන් ඉවත් වූ ජී.එස්.විතානගේ සහ ජේ.ආර්.එල්.වසන්ත යන අය යි.
  • ගල් අගුරු ටෙඩන්ඩර් මගඩිය මගින් මෙරටට අහිමි කොට ඇති මුදල (විගණාකාධිපතිවරයාට අනුව රු. මිලියන 4135 කි.) ඩොලර් 78 ක විවෘත වෙළෙදපොල වටිනාකමක් සහිත ගල් අගුරු මෙටික් ටොන් එකක් ඩොලර් 90 බැගින් ලබා ගැනීම නිසා ආසන්න වශයෙන් එක් නැවකින් ශ්‍රී ලංකා රජයට කෝටි 12 කට ආසන්න මුදලක් පාඩු විය.

විදුලිබල මාෆියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ නිරීක්ෂණ

  • විදුලිබල හා පුණර්ජණනීය බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටෙන්ඩර් බහුතරයක් අන්ත දුෂිත ගණුදෙනු වේ. එය මුල්‍ය වටිනාකම දෙවැනි වන්නේ බැදුම්කර වංචාවට පමණී. ඩීසල් විදුලි ජනනය හේතුවෙන් රටට ඒකකයින් රු. 14 කට ආසන්න මුල්‍ය පාඩුවක් සිදුවේ.
  • මහින්ද රාජපක්ෂ රජය සමයේ විදුලිබල කේෂ්ත්‍රයේ සිදු වූ දැවැන්ත දුෂණ වංචා එලෙසින්ම වෙනත් දේශපාලනඥයින් හා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු වෙමින් පවතී.
  • විදුලි මාෆියාවට රජයේ ඉහළම දේශපාලන නායකත්වයේ ආරක්ෂාව හා රැකවරණය ලැබී ඇත.
  • විදුලිබල අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරි හා තාක්ෂණික කමිටු කිහිපයක් මගින් ටෙන්ඩර් අවුල් කිරීම, දුෂිත මිලදී ගැනීම්, රටට වාසිදායක ආයෝජන අඩාල කිරීම, දිගින් දිගටම සිදු කරනු ලබන අතර ටෙන්ඩර් ක්‍රියාවලිය අවුල් කිරීම සිදු කරනු ලබයි. ඒ සදහා ද දේශපාලනික හා ඉහළ නිලධාරි ආරක්ෂාව සහිත කණ්ඩායමක රැකවරණය ලැබී ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

One Response to “දුෂිත කෙරවලපිටිය විදුලි බලගාරය ටෙන්ඩරය තවත් නොරච්චෝලයක්! විදුලිබල ප්‍ර‍සම්පාදන කමිටු සභාපති, සාමාජිකයා ඉල්ලා අස්වෙයි.”

  1. NAK Says:

    Through out all these years secretaries appointed to the power and energy ministry have been accused of corruption.

    KKWP, Ferdinando and now Batagoda.

    That means it is not that only they are corrupt but it is with the blessings and encouragement of their political masters are making them to be corrupt.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress