නීතිය නවලා ඉවරයි…දැන්  ඇතුලේ අයවත් දෙකට නවයි රහස්‌ වීඩියෝව එළියට අවේ කොහොමද?
Posted on August 19th, 2017

ගයාන් සමරසිංහ

“පුළුවන් නම් හරියට කරනවා බැරිනම් දාලා යනවා” මේ ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ තිස්‌හතර වැනි (34) පොලිස්‌පතිවරයා වන පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රකාශයකි. පොලිස්‌පතිවරයා ලෙස වැඩ භාරගත් පසු මාධ්‍ය හමුවේ ඔහු එලෙස ප්‍රකාශ කරමින් වැඩිදුරටත් කියා සිටියේ උස්‌ පහත් භේදයකින් තොරව තමා නීතිය අකුරටම ඉටුකරන බවත්, කිසිම ආකාරයකින් නීති විරෝධී ක්‍රියාවක්‌ සිදු වීමට ඉඩ නොතබන බවත්ය. තවද දූෂිත පොලිස්‌ නිලධාරීන් ගැන වෙනම විමර්ශන කටයුතු සිදු කරන බවද හෙතෙම පැවසීය.

නව පොලිස්‌පතිවරයාගේ එම ප්‍රකාශයත් සමඟ බොහෝ පිරිස්‌ පවසා සිටියේ කොන්ද කෙළින් තියෙන පොලිස්‌පතිවරයකු පත්වී ඇති බවයි. එලෙසම පොලිස්‌පතිවරයා ජනතාවට දැනෙන ආකාරයේ වැඩ සටහන් බොහෝමයක්‌ ක්‍රියාවට නැංවූවේය. පාතාල මර්දනය, නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක්‌ ගත්තේය. පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළද දැඩි විනයකින් යුතුව පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ බිහි කිරීමට ඔහු උත්සාහ කළේය.

 

 

 

පොලිස්‌පතිවරයා පහර දීමට සැරසෙන අයුරු

එලෙස ජනතාව තුළ දැඩි විශ්වාසයක්‌ ගොඩනඟා ගත් පොලිස්‌පතිවරයාගේ රෙදි ගැලවෙන්නට පටන් ගන්නේ උත්සවයක්‌ අමතන මොහොතක ලැබුණු දුරකථන ඇමතුමක්‌ නිසාය. විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය රැසක්‌ එම උත්සවය ආවරණය කිරීමට පැමිණ තිබුණි. ඒ වන විට උත්සව සභාව අමතමින් සිටියේ පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ය. එක්‌වරම ඔහු තමා පවත්වමින් සිටි කතාව නවතා ජංගම දුරකථනය අතට ගත්තේ ලැබෙන දුරකථන ඇමතුම කාගෙන්ද කියා බැලීමටයි. ඒ සමඟම පොලිස්‌පතිවරයාගේ මුහුණ මදකට වෙනස්‌ විය.

උත්සව සභාවක සිටින වග ඔහුට අමතක වුණාද යන්න තවමත් අපට දැඩි ප්‍රහේළිකාවකි. එය කෙසේ වෙතත් පොලිස්‌පතිවරයා කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිව උත්සවයට පැමිණ සිටි සියලුම පිරිස්‌ ඉදිරියේ ජංගම දුරකතන ඇමතුමට පිළිතුරු ලබා දුන්නේය. එම දුරකථන සංවාදය, උත්සවය ආවරණය කිරීමට ගිය විද්යුත් මාධ්‍යවේදීන්ගේ වීඩියෝ කැමරාවල මනා ලෙස පටිගත වී තිබුණි.

එදින බොහෝ විද්යුත් මාධ්‍යවල ප්‍රධාන පුවත වූයේ පොලිස්‌පතිවරයාගේ එම දුරකථන ඇමතුමයි. එහිදී පොලිස්‌පතිවරයා දුරකථන ඇමතුම ලබාගත් පුද්ගලයාට පවසා සිටින්නේ එෆ්.සී.අයි.ඩී. යට පැමිණෙන නිලමේව අත්අඩංගුවට නොගන්නා ලෙස තමා අදාළ නිලධාරියාට උපදෙස්‌ දුන් බවයි. ඔහු උත්සව සභාව ඉදිරියේ කිහිප වරක්‌ම දුරකථන ඇමතුම ලබාගත් පුද්ගලයාට ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් පැවසුවේ කිසි විටෙකත් නිලමේව අත්අඩංගුවට නොගන්නා බවත් කටඋත්තරය ලබාගෙන නිදහස්‌ කරන බවත්ය.

එලෙස එම දුරකථන ඇමතුම සම්බන්ධ වීඩියෝ පටය පිටවීමත් සමඟ පොලිස්‌පති පූජිත් ජයසුන්දරගේ රෙදි ගැලවුණි. ඔහුත් දූෂණ නිලධාරියකු බව බොහෝ පිරිස්‌ හැඳින්වූහ. පාර්ලිමේන්තුවේදී පවා එම දුරකථන ඇමතුම සම්බන්ධ වාද විවාද ඇතිවිය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම සිද්ධිය හෙළා දකිමින් පොලිස්‌පතිවරයාගෙන් නිදහසට කරුණු විමසා තිබුණි.

පුරා සති ගණනක්‌ පුරාවට එම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ වෙබ් අඩවි ජාලා සහ තවත් විවිධ මාධ්‍ය ඔස්‌සේ පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාට විවිධ ප්‍රහාර එල්ල කළේය. නීතිය නැවූ පොලිස්‌පතිවරයා ලෙසද හැඳින්වූහ. ඒ කිසිවක්‌ ගණන් නොගත් පොලිස්‌පතිවරයා තවත් අවස්‌ථා කිහිපයකදී උත්සව සභාවලදී දුරකථන ඇමතුම්වලට පිළිතුරු දෙන අයුරු ජනතාවට දැක ගන්නට ලැබුණි. රටේ වැදගත් පුද්ගලයකු වන පොලිස්‌පතිවරයා උත්සව සභාවලදී රටටම ඇසෙන ලෙස ජංගම දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබාදීම කොතරම් අශිෂ්ට සම්පන්න ක්‍රියාවක්‌ද යන්න තවමත් ඔහුට අවබෝධ වී නොමැත.

පසුගිය සතියේ යළිත් වරක්‌ පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පිළිබඳ ආන්දෝලනාත්මක වීඩියෝ පටියක්‌ අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවි හරහා දැක ගන්නට ලැබුණි. එහිදී පොලිස්‌පතිවරයා පොලිස්‌ මූලස්‌ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවකුට සහ සිවිල් ඇඳුමින් සැරසී සිටින පොලිස්‌ නිලධාරියකුට බැණ වදිමින් පහරදීමට සැරසෙන අයුරුත්, තවත් කාන්තා පොලිස්‌ නිලධාරිනියකට ඉතා අසභ්‍ය අයුරින් බැණ වදින අයුරුත් පැහැදිලිව දැක ගන්නට හැකිවිය.

එම ආන්දෝලනාත්මක වීඩියෝ පටය දැකීමත් සමඟ යළිත් වරක්‌ පොලිස්‌පතිවරයාට එරෙහිව මැති ඇමැතිවරු, ඉහළ නිලධාරීන් ජනතාව සහ විවිධ සමාජ වෙබ් අඩවි ජාලා විවිධ කතා පැවසූහ. බොහෝ පිරිස්‌ පැවසුවේ පොලිස්‌පතිවරයා යළිත් වරක්‌ නීතිය තම අතට රැගෙන අත්තනෝමතිකව ක්‍රියා කරන බවයි. අපි ඒ සිද්ධිය පිළිබඳ සොයා බැලුවෙමු.

ඇත්තටම එම සිදුවීම සිදුවී ඇත්තේ මාස හතරකට පමණ ඉහතදීය. එහෙත් එම වීඩියෝ පටය එළියට පිටවී ඇත්තේ ගිය සතියේය. ඒ වන තුරු මෙම සිද්ධිය දැන ගෙන සිටියේ කිහිප දෙනෙකු පමණි. ඒ කෙසේ වෙතත් අපට දැනගන්නට ලැබුණු ආකාරයට එම සිද්ධියේ ඇත්ත නැත්ත මෙසේය.

පොලිස්‌පතිවරයා දැනට මාස කිහිපයකට ඉහතදී චක්‍රලේඛයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ සෑම පොලිස්‌ නිලධාරියකුම තම රාජකාරි පටන් ගැනීමට මත්තෙන් විනාඩි දහයක්‌ අනිවාර්යෙන් භාවනා කළ යුතු බවයි. එසේ කිරීමට අකමැති අන්‍යාගමිකයන්ට ඒ මොහොතේ තමන් කැමති ආගමක්‌ ඇදහීමට අවසර ලබාදී තිබේ. එලෙස කිරීමෙන් පොලිස්‌පතිවරයා කරුණු දෙකක්‌ බලාපාරොත්තු වී තිබේ. ඒ මහජනතාව සමඟ කටයුතු කිරීමේදී පොලිස්‌ නිලධාරීන්ගේ මනස නිරවුල්ව තිබීමත් ආගමානුකූලව ජීවත් වෙද්දී පොලිස්‌ නිලධාරියකුගේ අතින් සිදුවන වැරැදි අවම වන බවත් නිසාය. පොලිස්‌ මූලස්‌ථානයේ මෙම ආගමික වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක වනවා දැයි පොලිස්‌පතිවරයා නිරතුරුව සොයා බලයි. සමහර දිනවල පොලිස්‌පතිවරයා සෘජුව ගොස්‌ එය නිරීක්‍ෂණය කරන අතර එසේ නොමැති දිනවලට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනත් නිලධාරියකු පත්කර තිබේ.

ජාතික ගීතය සහ පොලිස්‌ ගීතය ගායනා කළ පසු අනිවාර්යෙන්ම පොලිස්‌ නිලධාරීන් විනාඩි දහයක්‌ මෙම ආගමික වැඩසටහනේ නිරත වී සිටිය යුතුය. පසුගිය බක්‌ මාසයේ දිනක පොලිස්‌පතිවරයා තවත් නිලධාරියකු සමඟ එම ආගමික වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලුවේය. එහිදී ඔහුට දැන ගන්නට ලැබුණේ විදුලි සෝපාන ක්‍රියාකරු සහ තවත් පොලිස්‌ නිලධාරියකු එම කාර්යයේ නොයෙදී ඇති බවයි. පොලිස්‌පතිවරයාට යකා නැග්ගේය. ඔහු විදුලි සෝපාන ක්‍රියාකරුට සහ පොලිස්‌ නිලධාරියාට ඉතාමත් සැර පරුෂ අයුරින් බැණ වැදී පහරදීමට සැරසුණේය. එලෙස බැණ වැදී එතැනින් ඉවතට යන පොලිස්‌පතිවරයාට කාන්තා පොලිස්‌ නිලධාරිනියකද ආගමික වැඩසටහනට සහභාගි නොවී සිටින අයුරු දැක ගන්නට ලැබුණි. එය දැකීමෙන් පොලිස්‌පතිවරයා යළිත් උරණ විය. එම පොලිස්‌ නිලධාරිනියටද ඉතා අසභ්‍ය ලෙස බැණ වැදුණේය.

සිද්ධිය එතැනින් අවසන් විය. ඉන්පසු පොලිස්‌ මූලස්‌ථානයේ සියලුම නිලධාරීහු එම ආගමික වැඩසටහනට සම්බන්ධ වූහ. ඒ පොලිස්‌පතිවරයා එම ආගමික වැඩසටහන සම්බන්ධයෙන් දැඩි විමසිල්ලකින් සිටින නිසාත්, ඔහුට තිබූ බිය නිසාත්ය. කාලය එලෙස සැඟවී ගියේය. එහෙත් පසුගිය සතියේ දිනක මෙම වීඩියෝව කවුරුන් හෝ අන්තර්ජාලයට එක්‌ කර තිබුණි. ඒ සමඟම බොහෝ පිරිස්‌ යළිත් වරක්‌ එම සිද්ධිය අල්ලාගෙන පොලිස්‌පතිවරයාගේ රෙදි ගැලෙව්වෝය.

පොලිස්‌පතිවරයාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කළ එම ආගමික වැඩසටහන ඉතා උචිත සහ ඵලදායී එකක්‌ බව අපි අවිවාදයෙන් යුතුව පිළිගන්නෙමු. එහෙත් එම සිද්ධිය ඇතිවූදා පොලිස්‌පතිවරයා ආවේගශීලීව හැසිරුණු ආකාරය ඉතා අශෝභනය. රටේ ඉහළම තනතුරක්‌ දරන එවැනි නිලධාරියකු එලෙස හැසිරෙන්නේ නම් අන් අය ගැන කවර කතාද?

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් එක්‌ භයානක පැතිකඩක්‌ තිබේ. එනම් පොලිස්‌ මූලස්‌ථානයේ තිබුණ රහසිගත වීඩියෝවක්‌ මෙලෙස එළියට පිටවූවා නම් එම මූලස්‌ථානයේ ඇති තවත් රහසිගත වැදගත් තොරතුරු පවා එළියට පිටවීමට ඉඩකඩ තිබේ. එමනිසා පොලිස්‌ මූලස්‌ථානයේ ආරක්‌ෂාව පිළිබඳව ද පොලිස්‌පතිවරයා මීට වඩා සොයා බැලිය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress