පාර්ලිමේන්තුවේදී හෙළිවූ රාජ් රාජරත්නම් කවුද?
Posted on August 19th, 2017

උපුටා ගැන්ම දිවයින

දෙවියකුගේ වෙස්‌ගත් කොටි යක්‍ෂයා

පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවේදී රාජ් රාජරත්නම් නමැත්තකු ගැන ප්‍රකාශයට පත්විය. රාජරත්නම් ළඟ සේවය කළ ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි අද මහ බැංකුවේ අධිපති ලෙස ක්‍රියාකරන බවද පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කෙරුණි.

එහෙත් කවුද මේ රාජ් රාජරත්නම්? ව්‍යාපාරිකයෙක්‌ද, එසේත් නැත්නම් අහිංසකයෙක්‌ද, එසේ නොවේ නම් තක්‌කඩියෙක්‌ද යන්න මෙරට ජනතාව නොදනී.

අද අපි හෙළිදරව් කරන්නේ රාජ් රාජරත්නම් කවුද යන්නයි. මෙයට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීමට යෑයි කියමින් රාජ් රාජරත්නම් මෙරටට පැමිණියේ දෙවියකු ලෙසිනි.

එහෙත් ඔහු මිනීමරු කොටි ත්‍රස්‌තවාදී සංවිධානයට උදව් කළ යක්‍ෂයෙකි. ඇමරිකාවේ 236 වැනි කෝටිපතියා ලෙස හැඳින්වූ රාජ් රාජරත්නම්ට මෙරට සමාගම්වල ආයෝජන කරන ලෙස කොළඹ ව්‍යාපාරිකයකු විසින් ඉල්ලා තිබුණි. එම ව්‍යාපාරිකයා එකළ කොටස්‌ වෙළෙඳපොළේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක්‌ වූයේ 2009 ඔක්‌තෝබර් 19 දා වන විට රාජ් රාජරත්නම් ඔහුගේ ගැලියන් පන්ඩ් නමැති සමාගම මගින් රුපියල් බිලියන 13.5 ක අති විශාල මුදලක්‌ දේශීය සමාගම්වල ආයෝජනය කිරීමයි.

එහෙත් රාජ් රාජරත්නම් ගැන රහස්‌ පොලිසිය හෝ ත්‍රස්‌ත මර්දන පොලිසිය විමර්ශනය නොකළේ රාජරත්නම් දේශපාලන බලවතකු නිසාය. රාජරත්නම් එතරම් විශාල මුදලක්‌ මෙරට සමාගම්වල ආයෝජන කළේ මන්ද යන්න ගැනද නිරීක්‍ෂණය වූයේ නැත. එහෙත් රාජරත්නම් ජාතියේ පිනට පහළ වූ දෙවියකු ලෙසට ඇතැම් දේශපාලනඥයන් විසින්ද, ඉංග්‍රීසි මාධ්‍යයන් ද හඳුන්වනු ලැබීය. එහෙත් එකවරම රාජ රාජරත්නම් පැළඳ සිටි වෙස්‌ මුහුණ ගැලවී බිමට වැටුණි. ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය කනෙක්‌ට්‌කාර් විසින් යොදවා තිබූ රුද්රා නමින් හඳුන්වනු ලැබූ ද්‍රවිඩයකු රාජරත්නම් පිළිබඳ සියලු තොරතුරු එෆ්. බී. අයි. පොලිසියට හෙළිකිරීමෙන් මේ දෙවියාගේ සැබෑ තත්ත්වය හෙළිවිය.

වන්නියේ සිට ඇමරිකාවට පැමිණි රුද්රා එෆ්. බී. අයි. ඒජන්ත කනෙක්‌ට්‌කාර් වෙත හෙළිකළේ ගැලියොන් අරමුදල සඳහා කොටි සංවිධානය රාජරත්නම්ට අති විශාල මුදලක්‌ ලබාදුන් බවයි.

Rudra told us that LTTE Had given raj a very Large Sum of money for him to luvest in the Galleon fund – F.B.I. report

එසේම 2002 නොවැම්බර් මස රාජරත්නම් ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ සමර්සෙට්‌ නමැති සුපිරි හෝටලයේදී 400 කට අධික පිරිසක්‌ වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ පවත්වනු ලැබීය. එම අවස්‌ථාවට සවන්දීමට හැකි සූක්‌ෂම උපාංග පැළඳි රුද්රාද සහභාගි විය.

ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වූ ඉලංගයි තමිල් සංගම් නමැති කොටි හිතවාදී සංගමයේ 25 වැනි සමරුව නිමිත්තෙන් මෙම රාත්‍රි සාදය සංවිධානය කර තිබුණි. එහිදී රාජරත්නම් රැස්‌ව සිටි පිරිස අමතමින් මෙලෙස ප්‍රකාශ කළේය.

“අපි කොටින්ගේ අරමුණු වෙනුවෙන් සහය දැක්‌විය යුතුයි. ඔවුන්ව ත්‍රස්‌තවාදීන් යෑයි හඳුන්වනවා. ඔව්.” අපි ත්‍රස්‌තවාදීන් තමයි. කොටි අපේ ත්‍රස්‌තවාදීන් යෑයි රාජරත්නම් කියා සිටියේය. එහිදී අත්පොළසන් හඬ නැඟුණි.

මේ සමයේ රුද්රා නමැත්තා රජරත්නම්ට ඉතා ලෙන්ගතු ලෙස කටයුතු කළේය. ඇමරිකානු රජය කොටි සංවිධානය තහනම් කිරීම නිසා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකුට ඩොලර් මිලියනයක පගාවක්‌ දීමෙන් මෙම තහනම අහෝසි කළ හැකි බව රුද්රා තවදුරටත් රජරත්නම්ට කීවේය. ඊට ප්‍රතිචාර දැක්‌වූ රාජරත්නම් පගාව දීමට යොදවා ගත හැකි කොටි දෙදෙනා සිය නිවසට කැඳවාගෙන එන ලෙස රුද්රාට දැනුම් දුන්නේය. රුද්රා ඇමරිකාවේ කොටි ක්‍රියාකාරිකයකු වූ චන්ද්රD සමඟද සමීපව ක්‍රියාකළේය.

දිනක්‌ රුද්රා සහ චන්ද්රD අතර සාකච්ඡාවක්‌ පැවැති අවස්‌ථාවේ රාද්රාගේ පපුවේ සිරකර තිබූ පටිගත කිරීමේ උපාංගයක්‌ බිමට වැටුණි. එහිදී චන්ද්රD කලබලයට පත්විය.

එහෙත් එය පේජර් යන්ත්‍රයක්‌ බව පවසමින් රුද්රා විසින් චන්ද්රDව නොමග යවනු ලැබීය.

2003 අගෝස්‌තු මස දිනෙක රුද්රා සහ චන්ද්රD ඇමරිකාවේ සිට වන්නියට පැමිණ ඇත. ඒ වනවිටත් ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසිය රුද්රාගේ පපුවේ සියුම් පටිගත කිරීමේ උපාංගයක්‌ සවිකර තිබුණි.

ඒ වන විට රාජ් රාජරත්නම් විසින් ටී.ආර්.ඒ. හෙවත් ද්‍රවිඩ පුනරුත්ථාපන සංවිධානය හරහා කොටි සංවිධානයට ඩොලර් මිලියන පහක්‌ ලබාදී තිබූ බව එෆ්.බී.අයි. පොලිසිය සොයාගෙන තිබුණි.

රාජරත්නම් විසින් සිය බැංකු ගිණුම්වලින් එම මුදල් ටී.ආර්.ඒ. සංවිධානයට බැරකර තිබුණේ මිස්‌ටර් “බී” යන අන්වර්ථ නාමයෙනි.

එහෙත් මිස්‌ටර් “බී” යනු රාජරත්නම් බව එෆ්.බී.අයි. පොලිසිය සොයාගෙන තිබුණි. එෆ්.බී.අයි. පොලිසියට මේ තොරතුරු හෙළිවූයේ ඇමරිකානු කොටස්‌ වෙළෙඳපොළ තුළ රාජරත්නම් ජාවාරම් සිදුකිරීම ගැන විමර්ශනය කරන අවස්‌ථාවේදීය.

2009 ඔක්‌තෝබර් 16 දා එෆ්.බී.අයි. පොලිසිය රාජරත්නම්ව අත්අඩංගුවට ගැනීමත් සමඟම කොටි ඩයස්‌පෝරාව දැඩි කම්පනයට පත්විය. ඇප මත නිදහස්‌ වූ රාජරත්නම් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාවේ අධිකරණයද අවමානයට ලක්‌කළේය. ශ්‍රී ලංකාවේ නම් මම විනිසුරුවරයෙක්‌ව රුපියල් 50,000 ක මුදලකට ගන්නවා. විනිසුරු සමඟ භෝජන සංග්‍රහයකටද සහභාගි වෙනවා යෑයි රාජරත්නම් කියා සිටියේය.

එසේම ඔහු සිය මිතුරෙක්‌ කොළඹට එවා ශාස්‌ත්‍රකරුවකුගෙන් ඔහුගේ අනාගතය කෙසේ දැයි විමර්ශනය කර ඇත. එහිදී ශාස්‌ත්‍රකාරයා රාජරත්නම් සහ ඔහුගේ බිරිය උපන් වේලාවන් බලා පවසා ඇත්තේ සියලුම චෝදනාවලින් නිදහස්‌ වන බවය.

එහෙත් ශාස්‌ත්‍රකාරයාට හා රාජරත්නම්ටද වැරදුනි.

ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසිය රාජරත්නම් පිළිබඳව වැඩිදුරටත් කළ විමර්ශනයේදී හෙළිවූයේ අලිමංකඩ හමුදා කඳවුර අල්ලා ගැනීම නිසා ප්‍රීතියට පත් රාජරත්නම් හෙවත් මිස්‌ටර් බී ඩොලර් මිලියනයක්‌ කොටි සංවිධානයට තෑගි කළ බවය.

එසේම දූෂණ චෝදනා මත රාජරත්නම් අත්අඩංගුවට ගැනීමට එෆ්.බී.අයි. පොලිසිය ක්‍රියා කිරීමෙන් පසු ඔහුගේ මෙරට තිබූ රුපියල් බිලියන 1.3 ක වත්කම් තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියා කළේ නැත.

ඊට හේතුවූයේ තම මිතුරන් ඉහළ තැන්වල සිටින බව රාජරත්නම් ප්‍රකාශ කිරීමයි.

මිස්‌ටර් බී හෙවත් රාජ රාජරත්නම් සතු රුපියල් බිලියන 1.3 ක මුදලට සිදුවූයේ කුමක්‌දැයි මහබැංකු බලධාරීන් පවා හෙළිකළේ නැත.

ඊට හේතුව වූයේ රාජරත්නම්ට අත තැබීමට රහස්‌ පොලිසිය, ත්‍රස්‌ත මර්දන ඒකකය මෙන් එවකට සිටි මහ බැංකු බලධාරීන්ද බිය වීමයි.

2003 අග භාගයේදී රාජරත්නම් ඇමරිකාවේ සිට කොළඹට පැමිණ කිලිනොච්චියට ගියේය. එහිදී ඔහු දුටුවේ බිම් බෝම්බවලට ගොදුරු වූ ද්‍රවිඩ තරුණයන්ය. මේ නිසා කම්පාවට පත්වූ බව කියන රාජරත්නම් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බලධාරීන්ද ගොනාට ඇන්දවීමට ක්‍රියා කළේය.

2004 ජනවාරි 14 දා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැති උත්සවයකට ඔහු සහභාගි විය. ඔහු එම උත්සවයේදී බිම් බෝම්බ සෙවීමේ යෙදෙන සුනඛයන් හය දෙනෙක්‌ තානාපති කාර්යාල බලධාරීන්ට බාර දුන්නේය.

එහිදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා රාජරත්නම්ව ඇගයීමකට ලක්‌කළේය. මේ සමයේ ඊනියා සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක විය.

මෙවන් පසුබිමක්‌ මැද 2007 නොවැම්බර් මස ඇමරිකානු භාණ්‌ඩාගාරය රාජරත්නම්ගේ වත්කම් තහනම් කෙරුණි.

එහෙත් ශ්‍රී ලංකා රජය ඔහුට එරෙහිව කිසිදු පියවරක්‌ ගත්තේ නැත.

2011 මැයි මස ඇමරිකානු අධිකරණය එරට කොටස්‌ වෙළෙඳපොළේ සිදුවූ දූෂණ ක්‍රියා 14 කට රාජරත්නම් වැරදිකරු බව තීරණය කළේය. එහෙත් ඊට පෙර රාජරත්නම්ට තවත් බරපතළ චෝදනාවක්‌ එල්ල විය.

ඒ මරාගෙන මැරෙන බෝම්බවලට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් රැසකගේ ඥතීන් රාජරත්නම්ගෙන් වන්දි ඉල්ලා නිව්යෝර්ක්‌ අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කිරීමයි.

මේ නඩුවේ පැමිණිලිකාරිය වූයේ කරුණාමුණිගේ චමිලා ක්‍රිශාන්තිනීයි. ඇය සහ පැමිණිලිකරුවන් 27 කට අධික පිරිසක්‌ වෙනුවෙන් ඇමරිකානු අධිකරණය හමුවේ නඩුව ගොනු කළේ නීතිවේදී මයිකල් එල්ස්‌නර්ය.

ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පෙනී සිටි එල්ස්‌නර් අධිකරණය හමුවේ පැවසුවේ පැමිණිලිකරුවන් විසින් කොටින්ට සහය වූ රාජරත්නම්ගෙන් යුක්‌තිය ඉල්ලා සිටින බවය.

එහිදී රාජරත්නම් වෙනුවෙන් පෙනී සිටි ජිම් වෝල්ඩන් නමැති නීතිවේදියා ප්‍රතිචාර දක්‌වමින් රාජරත්නම් පුණ්‍ය සංවිධානවලට උපකාර කර ඇති බවත් ශ්‍රී ලංකාවේ සෑම වාර්ගික ජන ප්‍රජාවකටම අරමුදල් ලබාදී ඇති බවත් කියා සිටියේය.

මේ නිසා ශ්‍රී ලාංකිකයන්ගේ නඩුව ප්‍රතික්‌ෂේප කරන ලෙස නීතිවේදී වෝල්ටර් ඉල්ලා සිටියේය.

එහෙත් ඒ වන විට නීතිවේදී එල්ස්‌තර් ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසියෙන් රාජරත්නම්ගේ පැටිකිරිය පමණක්‌ නොව කොටින්ට අරමුදල් යෑවූ චෙක්‌පත් අංක පවා සොයාගෙන තිබුණි.

මම සියලු කරුණු අධිකරණයට යොමුකළා යෑයි එල්ස්‌නර් “ඉරිදා දිවයින” කළ විමසීමට ප්‍රතිචාර දක්‌වමින් හෙළිකළේය.

එල්ස්‌නර් එම කරුණු ඉදිරිපත් කිරීමට පෙර මෙරටට පැමිණියේය. ඔහුට කොළඹදී හමුවූයේ රහස්‌ පොලිසියේ හිටපු පරීක්‍ෂක ලයනල් මුණසිංහයි.

මේ හිටපු රහස්‌ පොලිස්‌ නිලධාරියා කොටි සංවිධානය සිදුකළ අපරාධ රැසක තොරතුරු සහ සාක්‍ෂි රැසක්‌ද සොයාගෙන තිබුණි.

ඔහු එම සාක්‍ෂි සහ කොටි ඝාතනවල තොරතුරු එල්ස්‌නර්ට බාරදීමට ක්‍රියාකළේය.

මයිකල් එල්ස්‌නර්¨ තමාට එරෙහිව සියලු සාක්‍ෂි ගොනුකර ඇති බව රාජරත්නම්ට අනාවරණය විය.

එල්ස්‌නර්¨ දිනක්‌ කොළඹ සිටින අවස්‌ථාවේ ලයනල් මුණසිංහ සමගද සාකච්ඡාවකට යොමුවිය. එම සාකච්ඡාව පැවැත්වෙන සමයේ රාජරත්නම්ට ඇමරිකානු අධිකරණය හමුවේ නඩුව ගොනුකර නොතිබුණි.

මේ සාකච්ඡාව පැවැත්වූ ස්‌ථානයට යුද මහාචාර්යවරයකු ලෙසට හඳුන්වාගත් අයෙක්‌ද පැමිණීමෙන් ලයනල් මුණසිංහ පුදුමයට පත්විය. සිංගප්පූරු ව්‍යාජ යුද මහාචාර්ය ලෙස හඳුන්වනු ලැබූ මොහු පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය සමයේදී ආරක්‍ෂක අමාත්‍යාංශය මෙන්ම යුද හමුදාවටද රැවටීමට ක්‍රියාකළේය.

රාජරත්නම්ට එරෙහිව පවරන නඩුවේ සාක්‍ෂි පිටපතක්‌ තමාට දෙන ලෙස මොහු කළ ඉල්ලීම ලයනල් මුණසිංහ ප්‍රතික්‌ෂේප කළේය. එහෙත් නඩුවේ පැමිණිලිකරුවන් කවුදැයි හෙළිවී තිබුණි.

මයිකල් එල්ස්‌නර් විසින් නඩුවේ පැමිණිලිකරුවන් ලෙස පහත දැක්‌වෙන පිරිස නම්කර තිබුණි.

ප්‍රියන්ත පෙරේරා, පුන්‍යශීලි ධම්මිකා රාජපක්‍ෂ, සදීශ ජයසිංහ ගුණසේකර, මියුරින් සිල්වා, අනුෂා කුමාරි ප්‍රනාන්දු, කුසුමාවතී දාබරේ, සුදර්ශනී ගමගේ, සරත් චන්ද්‍රසෝම, මොනිකා කීර්තිලතා, සාගරිකා ප්‍රියදර්ශනී, කේ. පියරත්න පත්මසිරි තෙවරජපෙරුම, රමණි පීරිස්‌, වී. බුලරත්න, වයි. සුමනාරාණි, කේ. ගුණවතී, පත්මිණී මහමුදලිගේ, ටි්‍රක්‌සි පෙරේරා, මනෝහරී මෙන්ඩිස්‌, විජයරත්නම් රාජරත්නම්, ඩී. දයාවතී ඇතුළු පිරිස පැවරූ නඩුව ඉවතට දමන ලෙස රාජරත්නම්ගේ නීතිවේදියා කළ ඉල්ලීම ඇමරිකානු විනිසුරු ඩෙනිස්‌ කැවන්හොග් විසින් ප්‍රතික්‌ෂේප කෙරුණි.

එහෙත් රාජරත්නම් ඉන් සැලුනේ නැත. ඔහු මෙරට නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි හිටපු සොලිසටර් ජනරාල්වරයකුගේ සහය ලබා ගත්තේය.

මේ හිටපු සොලිසටර් ජනරාල්වරයා අපූරු තර්ක කීපයක්‌ ඉදිරිපත් කළේය. ටී. ආර්. ඕ. සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් නැති බවත් එම සංවිධානයට අරමුදල් සපයන අවස්‌ථාවේ ශ්‍රී ලංකා රජය කොටි තහනම ඉවත්කර ඇති බවත් ඔහු කියා සිටියේය.

රාජරත්නම්ගේ වත්කම් එවකට පැවැති රජය යටතේ තහනම් නැති බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව ද එම වත්කම් තහනම් කර නැති බවටත් හිටපු සොලිසටර් ජනරාල්වරයා සිය වාර්තාව ඇමරිකානු අධිකරණයට යොමුකරමින් පළකළේය.

එහෙත් ඒ සියලු තර්ක ඇමරිකානු අධිකරණය ප්‍රතික්‌ෂේප කරනු ලැබීය. මේ අතර ත්‍රස්‌ත මර්දන අංශයට රාජරත්නම්ට එරෙහි නඩුව ගැන වාර්තා විය. එවකට ත්‍රස්‌ත මර්දන ඒකකයේ බලධාරියෙක්‌ හිටපු රහස්‌ පොලිස්‌ පරීක්‍ෂක ලයනල් මුණසිංහ කැඳවා රාජරත්නම්ට එරෙහි නඩුවේ සාක්‍ෂි ඇත්නම් ත්‍රස්‌ත මර්දන ඒකකයට ලබාදෙන ලෙස ඉල්ලීමක්‌ කළේය.

එහෙත් ඒ නිලධාරියා කවුදැයි ලයනල් මුණසිංහ මැනවින් හඳුනාගෙන තිබුණි. විජය කුමාරතුංග ඝාතන නඩුවේ සැකකරුවකු රහස්‌ පොලිසියෙන් මහ රෑ අතුරුදන් වීම ගැන ජනාධිපති කොමිසමක්‌ විසින් මේ නිලධාරියා වගකිවයුතු බව නම්කර තිබූ බව ලයනල් මුණසිංහ දැන සිටියේය.

මම ඒ සියලු සාක්‍ෂි ඇමරිකානු නීතිවේදියාට ලබාදුන්නා. මා ළඟ දැන් කිසිදු ලියවිල්ලක්‌ නැතැයි ලයනල් මුණසිංහ එම බලධාරියාට කියා සිටියේය.

මෙම පසුබිම මැද රාජරත්නම්ට එරෙහි සාක්‍ෂි දුන් සාක්‍ෂිකරුවන්ගේ අනන්‍යතාවය වසන් විය.

එසේම පැමිණිලිකරුවන් කවුදැයි නඩුව ගොනු කරන තුරු රාජරත්නම්ට දැන ගැනීමට නොහැකි විය. අද වනතෙක්‌ තමාව එෆ්.බී.අයි. පොලිසිය පාවා දුන් රුද්රා හෙවත් ජුදාස්‌ නමැත්තා ගැන රාජරත්නම්ට වාර්තා වූයේ නැත.

රාජරත්නම්ගේ කොටි කතාව අවසන් වී නැත. රාජරත්නම් මෙරට සමාගම්වල මුදල් ආයෝජන කරද්දී බලයේ සිටියේ එජාප රජයයි. ඔහු වරදකරු වන අවස්‌ථාවේ ශ්‍රීලනිප රජය බලයේ සිටියේය.

එහෙත් රාජරත්නම්ගේ මෙරට සබඳතා ගැන විමර්ශනයක්‌ පැවැත්වූයේ නැත. එය විස්‌මය දනවන සිදුවීමකි.

එසේම ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසිය වැඩිදුරටත් රාජරත්නම්ගේ ගිණුම් ගැන පරීක්‍ෂණ කිරීමේදී හෙළි වූයේ අලිමංකඩ හමුදා කඳවුර අල්ලා ගැනීමේ සතුට නිසා ඔහු ඩොලර් මිලියනයක්‌ කොටි සංවිධානයට දුන් බවය.

එය තහවුරු වූයේ එෆ්.බී.අයි. පොලිසියේ ඒජන්තවරයකු වූ ලුවිස්‌ පොරෙල්ලා 2007 අප්‍රේල් මස අධිකරණය වෙත දිව්රුම් පෙත්සමක්‌ ඉදිරිපත් කරමින් 2000 ජුලි සිට සැප්තැම්බර් දක්‌වා කාලය තුළ රාජරත්නම් ඩොලර් 1000,000 ක චෙක්‌පත් තුනක්‌ ලන්ඩන් නුවර ද්‍රවිඩ පුනරුත්ථාපන සංවිධානය වෙත යවා ඇති බව කියා සිටීමෙනි.

එම විමර්ශනයේදී තවදුරටත් හෙළිවූයේ රාජරත්නම්ගේ පියාවූ ජෙසුදාසන් රාජරත්නම්ද කොටින්ට අරමුදල් ලබාදී ඇති බවයි. රාජකුමාර් රාජරත්නම්ට සහ ඔහුගේ පියාවූ ජෙසුදාසන්ට එල්ල වූ කොටි චෝදනා සම්බන්ධව ඔවුන්ගේ නීතිවේදී ජෝන් මවුඩ් ප්‍රතිචාර දක්‌වා ඇත.

එසේම 2006 අගෝස්‌තු මස පමණක්‌ රාජරත්නම් කොටින්ට ඩොලර් 56,600 ක මුදලක්‌ යවා තිබේ. ඔහු තවත් කපටිකමක්‌ කළේය. ඒ සුනාමි ව්‍යසනයෙන් විපතට පත් බූස්‌සේ පිරිසකට නිවාස ඉදිකර දීමටද ක්‍රියා කිරීමයි. එහෙත් රාජරත්නම්ගේ මෙම පසුබිම නොදත් එම නිවාසලාභීහු රාජරත්නම්ව දෙවියකු ලෙස හඳුන්වනු ලැබීය.

කොටි සංවිධානයේ ප්‍රධානතම ආධාරකරු වූ රාජරත්නම් කොටින්ට අරමුදල් යෑවීම සඳහා මේරිලන්ට්‌ ද්‍රවිඩ පුනරුත්ථාපන කාර්යාලයේ යහයද ලබාගෙන තිබුණි.

මේ රහස්‌ තොරතුරු එෆ්.බී.අයි. පොලිසිය නිරීක්‍ෂණය කරන බව රාජරත්නම් දැන සිටියේ නැත.

ඔහු තමිල් සංගම් සංවිධානයේ සංවත්සරය අමතමින් මෙලෙසද ප්‍රකාශ කර තිබුණි.

එම කතාව එෆ්.බී.අයි. පොලිසිය පටිගත කළේය.

කොටි සංවිධානය යනු නිදහස උදෙසා සටන් කරන සංවිධායක්‌, ජෝර්- වොෂින්ටන්, මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා වැනි විමුක්‌තිවාදීන්වත් ත්‍රස්‌තවාදීන් ලෙස හැඳින් වූවා.

කොටි සංවිධානය කිසි විටෙක ඝාතන සිදුකර නැත.

ඇමරිකානු කොටස්‌ වෙළෙඳපොළේ දූෂණ ක්‍රියාලට වරදකරු වූ රාජ රාජරත්නම්ට 2011 මැයි 11 දා වසර 11 ක සිරදඬුවමක්‌ද, ඩොලර් මිලියන 150 ක්‌ද නියම විය. එහෙත් එෆ්.බී.අයි. පොලිසිය කොටින්ට අරමුදල් සැපයීම ගැන ඔහුට නඩු පැවරුවේ නැත.

ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුද රාජරත්නම්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගත්තේ නැත. එය අදටත් අබිරහසකි.

මෙලෙස රාජ රාජරත්නම්ගේ කොටින්ට අරමුදල් සැපයීමේ ක්‍රියාදාමයන් ශ්‍රී ලංකාව තුළදී වසන් වෙද්දී යාපනයේ කිසිදු ප්‍රචණ්‌ඩකාරී සිදුවීමකට පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයෙක්‌ සම්බන්ධව නැති බව පුනරුත්ථාපන කොමසාරිස්‌ මේජර් ජනරාල් ජානක රජනායක පවසා ඇත. ඔහු මේ බව පවසා ඇත්තේ පුනරුත්ථාපනය වූ බව කියන කොටි ක්‍රියාකාරීන් පිරිසකට කුකුල් පැටවුන් බෙදා දීමේ උත්සවය අමතමිනි. එහෙත් ස්‌විස්‌ ඩයස්‌පෝරාව සහ යාපනයේ හිටපු කොටි ක්‍රියාකාරීන් අතර පවතින සබඳතාවය මේජර් ජනරාල්වරයා නොදන්නා බව කිව යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress