රටම දන්නා විජයදාස රාජපක්‍ෂ ද්‍රෝහියෙක්‌ද,වීරයෙක්‌ද?
Posted on August 19th, 2017

උපුටා ගැන්ම දිවයින

(නීතිය නොනැමීමේ වරදට දේශපාලන දංගෙඩියට ගෙන යැමට සූදානම් කරන විජයදාස රාජපක්‍ෂ මෙහෙයුම පිළිබඳ විශේෂ ලියුම්කරුවකුගේ හෙළිදරව්ව.)

වර්තමාන අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මේ දිනවල ලංකාවේ දේශපාලන කරලියේ වඩාත්ම කතාබහට ලක්‌ව සිටින දේශපාලනඥයාය. ඊට හේතුව හදිසියේම ඔහුට එරෙහිව එක්‌සත් ජාතික පක්‍ෂය අභ්‍යන්තරයෙන් එහි පතුළ බිඳගෙන නැගී එන්නට වූ චෝදනා සමුදායකි. මුලින්ම එක්‌සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක්‌ ගන්නා වූ මෙම චෝදනා අද වනවිට අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය සරත් ෆොන්සේකා, අමාත්‍ය චම්පික රණවක, රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, අමාත්‍ය ගාමිණී ජයවික්‍රම ආදීන් හරහා පක්‍ෂයේ ඉහළම තලයේ නායකයන්ගේ මුවින් පවා නැගෙන්නට පටන්ගෙන හමාරය.

එම චෝදනාවලට අනුව අද ආචාර්ය විජයදාස රාජපක්‍ෂ යනු වර්තමාන යහපාලන රජයේ කැබිනට්‌ මණ්‌ඩලය විසින් ගනු ලැබූ තීන්දු තීරණ පිටස්‌තර සමාජයේදී දැඩි විවේචනයට ලක්‌කරන දේශපාලනඥයෙකි. එමගින් කැබිනට්‌ මණ්‌ඩලයේ හා රජයේ සාමූහික වගකීම යන කාරණාව අමු අමුවේ උල්ලංඝනය කරන ලද අමාත්‍යවරයෙකි. රජයේ යහපාලන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යැමේදී බාධාකාරී වූ පුද්ගලයෙකි. සිය අමාත්‍ය ධුරයේ වගකීම් හා යුතුකම් මැනවින් ඉටු නොකරන අමාත්‍යවරයෙකි. නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු මැනවින් පාලනය නොකිරීම හරහා රජය ප්‍රමුඛත්වය දී ඉතා ඉක්‌මනින් නිමකළ යුතු නඩු කටයුතු හිතාමතාම ප්‍රමාද කරවන දේශපාලනඥයෙකි. එමගින් පසුගිය රජය තිබූ සමයේ සිදුවූ හොරකම් වංචා දූෂණ හා අක්‍රමිකතාවලට සැකකරුවන් වූ රාජපක්‍ෂවරු ඇතුළු සිය ගණනක්‌ ඔවුන්ගේ හිතවතුන් වෙත දඬුවම් ලබාදීමට බාධාකාරී වූ පුද්ගලයෙකි. රාජපක්‍ෂවරු ඇතුළු එකී පුද්ගලයන්ට මේ සමාජයේ උපද්‍රවයකින් තොරව නිදැල්ලේ සිටින්නට පහසුකම් සලසන පුද්ගලයෙකි.

මේ සියල්ලටම වඩා නීතිපති දෙපාර්තමේන්තුවේ අහංකාර, උද්දච්ච නොහික්‌මුණ නිලධාරීන් යොදාගෙන මේ ආණ්‌ඩුවේ සිටින කාර්යශූර දක්‌ෂ අවංක ඇමැතිවරු නිරපරාදේ වරදකරුවන් කරවන්නට මෙහෙයුම් දියත් කරන පුද්ගලයෙකි. පක්‍ෂයට හතුරුකම් කරන්නෙකි. ද්‍රෝහියෙකි. අදක්‍ෂයෙකි. වැඩබැරි ටාසන් කෙනෙකි. කොටින්ම කිවහොත් රන්ජන් රාමනායක තරම්වත් අධිකරණ අමාත්‍ය ධුරයට නුසුදුසු අදක්‍ෂයෙකි.

කලක පටන් රජයේ යම් යම් ප්‍රබල අමාත්‍යවරුන්ගේ මුවින් පමණක්‌ ඉඳහිට නැගුණු මේ චෝදනා එක්‌සත් ජාතික පක්‍ෂයේ පොදු චෝදනාවක්‌ බවට වර්ධනය වූයේ හිටපු මුදල් අමාත්‍ය හා හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක බැඳුම්කර පරීක්‍ෂණ කටයුතු සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවට සාක්‌ෂිකරුවෙකු ලෙස ගෙන්වන්නට පටන් ගැනීමට සමගාමීව බව පැහැදිලිය. කොමිසම හමුවේ ඇමැති රවී නිරුත්තර වීමත් ඔහුට විරුද්ධව කොමිසම හමුවට ගොනුවූ විවිධ චෝදනා තහවුරු වීමත් සමඟ පක්‍ෂය තුළින් අමාත්‍ය විජයදාස රාජපක්‍ෂට නැඟෙන්නට වූ චෝදනා සියල්ලද වඩාත් වේගවත් විය.

අද වනවිට එම චෝදනා විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක්‌ ගෙන එන්නට තරම් කරුණක්‌ ලෙස කතා බහට ලක්‌වී හමාරය. එක්‌සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයාගේ පටන් ඉදිරි පෙළ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හරහා නැගෙන මේ චෝදනා දැන් පක්‍ෂ නායකත්වය පවා නිරුත්තර කිරීමෙන් කාගේත් අවශ්‍යතාව කුමක්‌ද කියා මතයක්‌ සමාජගතවී අවසන්ය. සමාජගත එම මතයට අනුව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ වහාම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතුව පවතී, නොඑසේනම් පක්‍ෂය තීන්දුවක්‌ ගෙන ඔහුව එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගත යුතුව පවතී. ඒ සඳහා පසුගිය බ්‍රහස්‌පතින්දා පෙරවරුවේ වෙනම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමක්‌ද පවත්වා තිබිණි.

මෙම චෝදනා මත එක්‌සත් ජාතික පක්‍ෂය අභ්‍යන්තරයෙන් ආරම්භ වූ විඡේදාස රාජපක්‍ෂ විරෝධී සටන පසුගිය සතිය මැද වනවිට සමාජගත කාරණාවක්‌ ලෙස කරලියට ගෙන එන්නටද රාජ්‍ය නොවන සංවිධානවල ආධාරයෙන් ක්‍රියාකරන බලවේග කිහිපයක්‌ පියවර ගත්හ. සාධාරණ සමාජයක්‌ ව්‍යාපාරය, පුරවැසි පෙරමුණ වැනිවූ මෙම සංවිධාන එකමුතුවෙන් පසුගිය බදාදා කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී ‘ලක්‍ෂ 62 ජන බලය සුරකිමු’ යනුවෙන් ජන රැලියක්‌ පැවැත්විණි. ලක්‌ෂ 62 ක්‌ ඡන්දය දී බෞතීස්‌ම කළාවූ වත්මන් යහපාලන ආණ්‌ඩුවේ බලය හා වැඩපිළිවෙළ සුරකිමු යෑයි කියා මෙම ජනරැලිය පැවැත්වුණත් එහි එහි සටන්පාඨ පෙළගැසී තිබුණෙන් එහි දේශන පැවැත්වූ දේශකයෝ සංවිධානය වී සිටියේත් විජයදාස රාජපක්‍ෂට එරෙහි සටන සමාජගත කරන්නට බව සඟවන්නට මේ සටන මෙහෙයවූ නායකයන්ට නොහැකි වූහ.

රැලියට දේශකයන් ලෙස එක්‌වූ යහපාලන රජයේ වීරයන් හා බුද්ධිමතුන් ලෙස ඔවුන්ට සලකන සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ, ජිප්සීස්‌ සුනිල් පෙරේරා, ආචාර්ය දඹර අමිල, වික්‍රමභාහු කරුණාරත්න, අමල්කා ප්‍රභාත් ආදී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පමණක්‌ නොව, ඇමැති රාජිතලා ඇතුළු රජයෙන් නිල වශයෙන් සම්බන්ධ වූ නියෝජිතයෝ ද මේ සටන විඡේදාස විරෝධී සටනක්‌ බව සමාජය හමුවේ ඔප්පුකර සිටියහ.

එක්‌ පැත්තකින් රටේ රාජ්‍ය නොවන සංවිධාන විජයදාස රාජපක්‍ෂ එපා කියයි. තවත් පැත්තකින් රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, ගාමිණී ජයවික්‍රම, අජිත් පී. පෙරේරා, පී. හැරිසන්, වැනි ඇමැතිවරුන්ගේ සිට පසුපෙළ මන්ත්‍රීවරු වන කාවින්ද ජයවර්ධන, චමින්ද විඡේසිරිලා දක්‌වා එජාප පාක්‌ෂිකයෝ විඡේදාස ඉවත් කරන්නට වෙහෙසති. තවත් පැත්තකින් රටේ මුස්‌ලිම් දේශපාලන බලවේග ඉතා සූක්‍ෂම ලෙස හා පරිස්‌සමින් විඡේදාස රාජපක්‍ෂට එරෙහිව සටන් ව්‍යාපාර ගෙන යමින් සිටිති. තවත් පැත්තකින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ දේශපාලනයකට මුවාවී සිටින එහෙත් එක්‌සත් ජාතික පක්‍ෂයේ දේශපාලනඥයන් මෙන් ක්‍රියාකරමින් සිටින දේශපාලනඥයන් පිරිසක්‌ එජාපයෙන් මේ සටනට යමින් උදව් උපකාර කරති.

මෙසේ වන්නට හේතුව කුමක්‌ද? විජයදාස රාජපක්‍ෂ කියන රටම දන්නා දේශපාලනඥයා මේ කියන තරමට අදක්‍ෂයෙක්‌ද. මේ කියන තරම් සැබෑ යහපාලනයට බාධකයක්‌ද? මේ කියන එතරම් හොරු ආරක්‌ෂා කරන්නට කැපවූවෙක්‌ද, මේ කියන තරම් නීතිය අතට ගෙන නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවමින් ආණ්‌ඩුවේ සිටින යහපත් දක්‌ෂ අමාත්‍යවරු අමාරුවේ දමන්නට කැපවූවෙක්‌ද? මේ කියන තරම් රාජපක්‍ෂවරුන්ට නිදැල්ලේ ඉන්නට උදව්කරන්නෙක්‌ද රටේ ජනතාවට උත්තර සොයන්නට මේ ආකාරයේ නහුතයක්‌ ප්‍රශ්න කන්දරාවක්‌ පැමිණ අවසන්ය.

රටම දන්නා විජයදාස රාජපක්‍ෂ මේ රටේ ජීවත්වන නීති ක්‍ෂේත්‍රය පිළිබඳ ඉහළ දැනුමක්‌ හා පරිණත අත්දැකීම් සම්භාරයක්‌ ඇති සීමිත දේශපාලනඥයන් අතර ප්‍රමුඛ වූ අවංක යුක්‌තිගරුක දේශපාලනඥයෙකි. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ආශිර්වාදයෙන් ජාතික දේශපාලනයට පිවිසෙන ඔහු දේශපාලන මඩ ගොහොරුවේ වුව ඇඟේ මඩ නොතවරාගෙන අවංකව යා යුතු මග තෝරා බේරා ගෙන පරිස්‌සමින් ඉදිරි ගමනක්‌ ගිය දේශපාලනඥයෙකි. මේ පරිස්‌සම තුළ ඇතැම් විට ඔහු තනතුරු වරදාන වරප්‍රසාද පවා අත්හැර දමා ස්‌වාධීන ගමනක්‌ යන්නට තීන්දු කළේ ඇඟේ පතේ මඩ තවරා ගැනීම තම දේශපාලන ගමනට බාධකයක්‌ වන බව දන්නා නිසාය. එසේ මහින්ද රාජපක්‍ෂ රජයෙන් ඔහුට දුන් අමාත්‍ය ධුරය ඔහු එපා කීවේය. ඇමැතිකම භාර ගන්නට රාජ්‍ය නායකයා කළ පෙරැත්තය නිසා මාස ගණනාවකට පසු එය බාරගත් අමාත්‍යවරයා ඉතා පරිස්‌සමින් අමාත්‍ය ධුරයේ කටයුතු ඉටුකරමින් සිටියේය. මහින්ද රාජපක්‍ෂ සමයේදී රජය සමග ඇතිවූ එක්‌තරා ආරවුලක්‌ මත ඇතිවූ ප්‍රතිපත්තිමය නොගැළපීම නිසා රජයට බාධා නොකර ඔහු තනතුර අතහැර දමා පාර්ලිමේන්තුවේ හුදෙකලා ස්‌වාධීන මන්ත්‍රීවරයකු වුණේ මහින්ද රජය ඒ වනවිට ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේ මාහැඟි කටයුත්තට අත ගසා තිබූ බැවින් ඊට බාධාවක්‌ නොවිය යුතු නිසාය. නොඑසේනම් මහින්ද රජය හා ප්‍රතිපත්තිමය වශයෙන් ගැටුණු කරුණු පිළිගැනීම නිසා නම් නොවේ.

පසුකලෙක මහින්ද රාජපක්‍ෂලාගේද ආශිර්වාදය ඇතිව කෝප් කමිටුවේ සභාපතිත්වයට පත්වන ආචාර්ය විජයදාස රාජපක්‍ෂ කෝප් කමිටුවේ රාජකාරිය නිසි ලෙස ඉටුකරන්නේ රාජ්‍ය මට්‌ටමේ දූෂිතයන් හා වරදකරුවන් මෙන්ම වැරදි ලොවට හෙළිදරව් කිරීමේ හා ඒවා නතරකරවීමේ අභිලාෂය පෙරදැරිවයි. රාජ්‍ය මට්‌ටමේ වංචා දූෂණ වලින් පිරුණාවූ කෝප් කමිටු වාර්තාව දෙකක්‌ම ඔහු ඉදිරිපත් කළේ මේ රටේ යුක්‌තිය නීතිය සර්ව සාධාරණ හා මානව අයිතිවාසිකම් ගරුකරන කෝටි සංඛ්‍යාත ජනතාවගේ ආශිර්වාදයද සහිතවයි.

පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකු ලෙස පමණක්‌ නොව, රටේ නීති ක්‍ෂේත්‍රය ගැන දැන උගත් අත්දැකීම් බහුල නීතිවේදියෙක්‌ ලෙසද ඔහු නීතියෙන් රටට ජනතාවට ලොකු සේවාවක්‌ද ස්‌වාධීනව ඉදිරිපත්වී නොමිලයේ ඉටුකළේ ජාතියට ජයග්‍රහණ රැසක්‌ අත්පත්කර දෙමිනි. 2001 එජාප ආණ්‌ඩුව විසින් සොච්චම් මුදලකට පුද්ගලික අංශයට විකුණා දැමූ ලංගමය යළි රටට දිනා දුන්නේද ශ්‍රී ලංකා රක්‌ෂණ සංස්‌ථාව විකූණා දැමූ පසු එය නඩු කියා යළි රටේ ජනතාවට දිනා දුන්නද පුද්ගලික අංශයට පවරා දුන් එබඳු රාජ්‍ය ආයතන හා රාජ්‍ය සම්පත් රාශියක්‌ යළි ජාතියට දිනා දුන්නේද ඔහු සතු නීති ක්‌ෂේත්‍රයේ දැනුම සහ පරිණත භාවය කිසිදු අය කිරීමකින් තොරව මහජන සුබ සිද්ධිය වෙනුවෙන් යොදවා කරන ලද කැප කිරීමේ ආනුභාවයට පිංසිදු වන්නටය. අදටත් රක්‍ෂණය, ලංගමය හා ඇතැම් බැංකු ජනතා දේපළ ලෙස රටේ පවතින්නේ ඔහු එදා කරන ලද කැපකිරීම නිසා බව දන්නේ මේ රටේ ජනතාවගෙන් කීයෙන් කීදෙනෙක්‌ දැයි විමසා බැලීම යුක්‌ති යුක්‌තය. 

පසුගියදා රජය විසින් කිසිදු වග විභාගයකින් තොරව, වගකීම් විරහිත ලෙස චීනයට විකුණා දැමූ හම්බන්තොට වරාය බදු දීමක්‌ නොව විකුණා දැමීමක්‌ හා සම බව විජයදාස රාජපක්‌ෂ පෙන්වා දුන්නේත් එය නැවත කෙසේ හෝ ලංකාවට දිනා දෙන බව නිර්භයව ප්‍රකාශ කරන්නේ සිය දැනුම මත හා අත්දැකීම් සම්භාරය මත ගොඩනැඟුන අනල්ප ආත්ම විශ්වාසය නිසාම බව පැහැදිලිය. 

එවන් නිහඬ සේවාවක්‌ රට හමුවේ සලසා දුන්, එවන් සේවාවකට අනාගතයේ ද කැපවන බවට නිර්භයව කියා පළ කරන මේ නීතිගරුක, යුක්‌තිගරුක මිනිසා හැටි හැටියේ වෙනස්‌ වී යහපාලන රජයේ ගමන් මඟට බාධා කරන, යහපාලනයේ පොරොන්දු අනතුරේ හෙළන, රටට, ජනතාවට සතුරුකම් කළ හොරුන්ට හා වංචනිකයන්ට ආරක්‌ෂාව සලසන භයානක පුද්ගලයකු වූයේ කෙලෙසදැයි විමසා බැලීම ඉතා වැදගත් කාරණාවකි. 

සත්තකින්ම විජයදාස රාජපක්‌ෂ මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ බහුතරයක්‌ දෙනා, ඇමැති රාජිත, ඇමැති ෆොන්සේකා, ඇමැති අජිත් පී. පෙරේරා, මන්ත්‍රී නලීන් බණ්‌ඩාර කියන ආකාරයේ හොරෙක්‌ද නැද්ද, ද්‍රෝහියෙක්‌ද නොවේද… ඒ කරුණු ගැන සොයා බැලීම සාධාරණ සමාජයක්‌ කියා දෙයක්‌ සැබෑවටම ප්‍රාර්ථනා කරන මේ රටේ පොදු ජනතාවගේ වගකීමක්‌ මෙන්ම, යුතුකමද බව කියනු කැමැත්තෙමි. 

මේ තරම් මහ හඬක්‌ නඟමින් රටේ අරගල කරන සාධාරණ සමාජයක්‌ උදෙසා කැපවුණු රාජ්‍ය නොවන සංවිධාන හා ව්‍යාපාර ඇමැති විජයදාස රාජපක්‌ෂට විරුද්ධ වූයේ ඇයි? පුරවැසි බලය කියා ගන්නා සංවිධාන විජයදාස රාජපක්‌ෂට එරෙහිව අවි අමෝරා ඇත්තේ ඇයි? 

මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී හෙළිදරව් වුණු කරුණු අතර එක්‌ ප්‍රබල හේතුවක්‌ තිබිණි. එය නම් මෙතෙක්‌ පැවැති රජයන් ජාතික සම්පත් හා රාජ්‍ය සම්පත් විකිණීමේ ප්‍රතිපත්තියට එරෙහිව විජයදාස රාජපක්‌ෂ මෙතෙක්‌ කල් දරනු ලැබූ ඔහුගේ ස්‌වාධීන මතයයි. රාජ්‍ය දේපොළ පුද්ගලික අංශයට හෝ වෙනත් රටකට හෝ වෙනත් රජයකට පවරා දීමේ කටයුත්තේ දී ඔහු සිටියේ වත්මන් රජයේ ප්‍රතිපත්තියට ඉඳුරාම වෙනස්‌ ස්‌ථාවරයකය. හම්බන්තොට වරාය චීනයට දීමේ ගනුදෙනුවට ඔහු සිය විරෝධය ප්‍රකාශ කරන්නේ එම ප්‍රතිපත්ති ප්‍රකාරවය. ඒ නිසා එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්ති සම්පාදකයෝ සහ නියමුවෝ පමණක්‌ නොව, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම වැනි එජාප ප්‍රතිපත්තිවලට සමපාත අදහස්‌ දරන ඇමැතිවරු පවා විජයදාස රාජපක්‌ෂ සමග උරණ වෙති. මේ විස්‌තර වෙන වෙනම ගෙන කතා කළ යුතු වෙන වෙනම මාතෘකාය. යහපාලන රජයේ යහපාලන වැඩපිළිවෙල විජයදාසගේ ප්‍රතිපත්ති හා ගැටෙන්නට පටන් ගන්නේ එතැන් සිටය. 

ඒ හා සමගම පැමිණි ජනාධිපති විශේෂ කොමිසමේ රවී කරුණානායකගේ සාක්‍ෂියත් සමඟ තත්ත්වය තව තවත් දරුණු වෙයි. රවි කරුණානායකගෙන් ප්‍රශ්න කිරීම්වලදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොදුවේ සාමාන්‍යයෙන් අනුගමනය කරන දැඩි ක්‍රියා පිළිවෙත එක්‌සත් ජාතික පක්‍ෂයේ රවීට හිතවත් කොටස්‌ තක්‌සේරු කළේ විජයදාස රාජපක්‌ෂගේ ලිහිල් අධිකරණ ඇමැති කළමනාකාරිත්වය නිසා නිර්මාණය වූවක්‌ බවය. රවීගේ නඩුව අහන්නට නීතිපති දෙපාර්තමේන්තුව දක්‌වන උනන්දුව හා කාර්යක්‍ෂම භාවය මහින්ද රාජපක්‌ෂගේ ගෝඨාභයගේ, නාමල්ගේ, බැසිල්ගේ, ශිරන්තිගේ, මේජර් නිශ්ශංක සේනාධිපතිගේ නඩුව අසන්නට නොදක්‌වන්නේ මන්දැයි කියා චෝදනාව ආවේද ඇමැති විජයදාස රාජපක්‌ෂටය. රවීට හිතවත් රවීගෙන් වරදාන වරප්‍රසාද (අධීක්‍ෂණ මන්ත්‍රීවරු ලෙස අමතර ලක්‌ෂ ගණනක දීමනා හා මාසිකව ඉන්ධන සහිත සැප ප්‍රාඩෝ වාහන) ලබන මන්ත්‍රීවරු පළමුවත්, රාජිත, ෆොන්සේකා, චම්පික, අජිත් පෙරේරා, මලික්‌, ඉරාන් දෙවනුවත්, එජාප නායකත්වය තෙවනුවත් විජයදාස විරෝධී සටන ආරම්භ කරන්නේ ඒ අනුවය.

රාජ්‍ය නොවන සංවිධානවලින් උදව් උපකාර ලබන “ලක්‍ෂ 62 ක ජයග්‍රහණයේ හිමිකරුවෝ” කියා ගන්නා සංවිධාන එකමුතුව විජයදාස විරෝධී සටන් ධජය අතට ගන්නේ ඇයිදැයි වෙනම සලකා බැලිය යුතුය. ඒ සටන සම්බන්ධ වන්නේ එම රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ කටයුතුවලට ඩොලර් වලින් මහා පරිමාණ ආධාර උපකාර සලසන බටහිර බලවතුන් බව දැන් රහසක්‌ නෙවේ. එයටද ආසන්න වශයෙන් බලපෑ සිද්ධියක්‌ තිබේ.

පසුගිය දිනක ලංකාවට පැමිණි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් සමඟ අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ සිදුකළ බහින් බස්‌වීම අපට මෙහිදී ප්‍රබල සාක්‍ෂියක්‌ ලෙස දැක ගන්නට තිබේ. ඉන් උරණ වූ බෙන් එමර්සන් ආපසු යන්නේ විජයදාස රාජපක්‌ෂට තර්ජනයක්‌ද කරමිනි. ඒ තර්ජනය තුළ නොකියවුණු බොහෝ දේ තිබුණු බව දැන් පැහැදිලිව පෙනෙන්නට පටන්ගෙන ඇත.

ඊළඟට රාජිතගේ රාජපක්‌ෂ විරෝධය කවරක්‌ද යන්න සලකා බැලිය යුතුය. විජයදාස සමඟ රාජිත උරණ වන්නේ අද ඊයේ නොව, ඔහුට 2001 දී පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහිමි වූ නඩු තීන්දුවේ සිට බව කිව යුතුව ඇත. එම නඩු තීන්දුවේදී ඔහුට මන්ත්‍රීකම අහිමි වූයේ ත්‍රිවිධ හමුදාවට සහ ඔසුහලට කල්ඉකුත් වූ ඖෂධ වර්ග ලේබල අලුතින් අලවා කරන ලද වංචාව හෙළිදරව් වීම නිසාය. නීති පොත්වල ඇති අලුත්ම නීති ගෙනැවිත් මේ වරද ඔප්පු කර රාජිත සහ සේනාරත්න ඇසෝෂියේෂන් සමාගම වරදකරුවන් කරන්නට ක්‍රියා කළ මහ මොළය වන්නේ ද විජයදාස රාජපක්‌ෂය. එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා මැතිනියගේ හා මංගලගේ උවමනාව මත ඩිලාන් පෙරේරා ලවා මහාධිකරණයේ නඩුවක්‌ පවරා සේනාරත්න ඇසෝෂියේෂන් නමැති ආයතනය චූදිතයා කළ නඩුව අදටත් නීති ක්‌ෂේත්‍රයේ බොහෝ අයට අමතක වී නැති බව පැහැදිලිය. එදා රාජිතගේ මන්ත්‍රී ධුරය අහිමි වූවේ විජයදාස රාජපක්‌ෂගේ කැපවීම නිසාය. ඒ ගැන විස්‌තරය වෙනම ලිපියකින් කියනු කැමැත්තෙමි.

ඊළඟට ෆොන්සේකා මහතා මේ තරම් විජයදාස රාජපක්‌ෂට වෛර කරන්නේ ඇයිද යන කාරණාවද වෙනම ලිපියකි. ලැබුණේ කෙසේද කියා ඔප්පු කර ගත නොහැකි රුපියල් කෝටි 9 කට අධික ධනයක්‌ තවමත් අධිකරණය භාරයේ පවතින්නේ විජයදාස රාජපක්‌ෂගේ “නීතියට වැඩ” ප්‍රතිපත්තිය නිසාය. සරත් ෆොන්සේකාගේ විජයදාස විරෝධය කෝටි 9.5 ක්‌ වටිනා ගනුදෙනුවක්‌ බව හෙළි කිරීම අනාගතයේ පැමිණෙන තවත් වෙනම ලිපියකි.

ඒ අනුව වත්මන් රජය තුළ කටයුතු කරන සමහර ශ්‍රීලනිප ඇමැතිවරුන්ටද වෙන වෙනම පුද්ගලික ගනුදෙනු විජයදාස රාජපක්‌ෂ සමඟ තිබෙන බව සැබෑය. ඒවාද හෙළිකළ යුතු කාරණාය.

විජයදාස රාජපක්‌ෂ දංගෙඩියට ගෙන යන්නට යහපාලනයේ නාමයෙන් එකමුතු වී ඇති මේ බලවේග සියල්ල අද කරමින් සිටින්නේ ජාතික කර්තව්‍යයක්‌ නොව, පුද්ගලික ගනුදෙනු රැසක එකතුවකින් සැදුම්ලත් අසාධාරණ අවශ්‍යතාවයක්‌ බව මේ රටේ ජනතාවට රහසක්‌ විය යුතු නැත. එබැවින් මේ ලිපි මාලාවේ දෙවැනි තුන්වැනි ලිපිවලින් ඒ ගනුදෙනු එකින් එක රටට හෙළිකිරීමේ බලාපොරොත්තුවෙන් අදට මේ ලිපිය හමාර කරන්නේ පාඨකයන්ගේ කියෑවීමේ පහසුව සඳහාය. මෙම ලිපිය එම ලිපි මාලාවට පූර්විකාවක්‌ වනු ඇත.

විශේෂ ලියුම්කරුවකු විසිනි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress