වීරයා මරලා!
Posted on August 20th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

තා-ඡිං නගරය තියෙන්නේ චීනයේ හෙයි-ලුං-චියං (කළු මකර ගංගා) පළාතේ. ඒ ප්‍රදේශයේ තමයි චීනයේ විශාලතම ඛනිජ තෙල් නිධි පිහිටලා තියෙන්නේ. චීනයේ ඊසාන පැත්තේ තියෙන මේ පළාත්වල ශීත කාලය ඉතාමත් දිග එකක්. දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවල උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුවෙන් පහළ විස්සක් තිහක් විතර වෙනවා. ඉතින් 2015 ජනවාරි මාසය මුල දී මේ ලේඛකයා හෙයි-ලුං-චියං පළාතේ අගනුවරට ගියේ ඉතාමත් අලංකාර විදිහට ඉදිකරලා තියෙන හිම මාළිගා බලන අදහසින්. ඒ විසිතුරු බැලුවාට පස්සේ තා-ඡිං නගරයට යන්නත් තීරණය කළා. ඒ, තෙල් බිම් බලන්න ම නම් නෙවෙයි. තා-ඡීංවල අයෝමය පුරුෂයාට සම්බන්ධ ස්ථාන ගැන විස්තර ටිකක් හොයලා බලන්න ඕන කියලා හිතාගෙන.

මේ අයෝමය පුරුෂයා තමයි වං චින්-ශි. 1923 අවුරුද්දේ චීනයේ කන්-සු පළාතේ ඉපැදුණු වං චින්-ශි තමන් ගේ අන්ධ පියාත් එක්ක හිඟමනේත් ගිහිල්ලා තියෙනවා. වයස අවුරුදු 8 දී ඔහු වැඩ කළේ ගොපල්ලෙක් විදිහට. තවත් අවුරුදු 7 ක් ගතවුනාට පස්සේ ඔහු තෙල් කොම්පැණියක වැඩට ගියා. වං චින්-ශි ගේ වීරක්‍රියා ගැන කතා පටන්ගන්නේ ඒත් එක්ක. පස්සේ කාලෙක තා-ඡීං ප්‍රදේශයේ තෙල් කැණීමට ගිය කණ්ඩායමක නායකයා බවට පත්වෙන ඔහුට 1969 වෙද්දී කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට පත්වෙන්නත් පුළුවන් වුනා. 1970 අවුරුද්දේ දී – ඒ කියන්නේ වයස අවුරුදු 47 ක් වෙද්දි; ඔහු මියගියා.

වං චින්-ශී ව හැඳින්වෙන්නේ චීනයේ අයෝමය පුරුෂයා කියලා. ඔහු ගේ වීරත්වය නංවන්න චීන ජනතාව විසින් – විශේෂයෙන් ම තා-ඡීං නගරයේ ජනතාව විසින්; කරලා තියෙන දේ මෙච්චරයි කියලා කියන්න බෑ. ඔහු ගේ දැවැන්ත ප්‍රතිමා ඉදිකරලා තියෙනවා. ඔහු වෙනුවෙන් අනුස්මරණ කෞතුකාගාර ඉදිකරලා තියෙනවා. ඔහු ගේ නමින් මාර්ග, ක්‍රීඩාංගන, පාසල් නම් කරලා තියෙනවා. ඔහු ගේ චරිතය නිරූපණය කෙරෙන චිත්‍රපට නිර්මාණය කරලා තියෙනවා. ඔහු ගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ ගැන පාසල් දරුවන්ටත් කියලා දෙනවා. ඊට අමතර ව, බිස්නස් වැඩට දක්‍ෂ චීන්නු මේ කටයුතු හරහා යමක් හම්බ කරගන්නත් කටයුතු කරනවා.

මේවා කොමියුනිස්ට් ආණ්ඩුවේ ප්‍රොපගැන්ඩා (පම්පෝරි, බොරු ප්‍රචාර) කියලා කාට හරි කියන්න පුළුවන්. ඒත් චීනය කියන්නේ අවුරුදු තුන් හාරදාහක අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන රටක් බව අපි අමතක කරන්න හොඳ නෑ. ඉතින් චීනය කියන්නේ වීරයෝ ලක්‍ෂ ගණනක් ඉන්න රටක්. ඒ ඈත කාලයේ දී වගේ ම අදත් ඒ රටේ වීරයෝ බිහිවෙනවා. ඒ අයට හිමි තැන චීන සමාජය විසින් අඩුවක් නැතිව ලබාදෙනවා.

වීරයන්ට අදාළ වැදගත් කාරණයක් අපි තේරුම්ගන්න ඕන. වීරයෝ කියන්නේ අංගසම්පූර්ණ මිනිස්සුන්ට නෙවෙයි. ඒ අයත් අපි වගේ ම පෘථග්ජනයෝ. ඉතින් වීරයෙක් ගේ ඇදයක් කුදයක් හොයන එක මහ වැඩක් නෙවෙයි. නැපෝලියන් ගේ පවා කොච්චරක් නම් ඇදකුද තියෙන්න ඇති ද? ඒත් අපි මුල් තැන දීලා තියෙන්නේ වීරයෝ කියලා හඳුනගත්ත අය ගේ අඩුපාඩු හොයන්න. හැම දේ ම සැක කරන පුරුද්දකුත් අපිට බෝවෙලා. බුදුහාමුදුරුවෝ අපේ රටට වැඩම කළා කියලා අපේ ඉතිහාසයේ සඳහන් කතාව පවා දැන් ඉන්න අපේ සමහර අය සැක කරනවා. මෙහෙම දෙයක් ගැන සන්සන්දනයෙන් හිතන්නවත් අපි දන්නේ නෑ. ෆා ෂියැන් හාමුදුරුවෝ චීනයෙන් පිටත්වුනේ වයස අවුරුදු 67 දී. අපේ රටට එද්දී උන්වහන්සේ ගේ වයස අවුරුදු 80 ක් වෙලා. ෆා ෂියෑන් හාමුදුරුවෝ කියන්නේ බුදුවෙච්ච කෙනෙක් නෙවෙයිනේ. ඉතින් ඒ වගේ සාමාන්‍ය පුද්ගලයෙක් ඒ තරම් වයස ගිහිල්ලා කරපු වික්‍රමය ගැනයි අපි පුදුමවෙන්න ඕන. ඉතින් ඒ වගේ කාරණා ගැන හිතද්දි බුදුහාමුදුරුවෝ අපේ රටට වැඩම කළා කියලා කියන වාර්තා ගැන සැක හිතන්නේ කොහොම ද?

අද අපේ රටේ වීරයෝ බිහිවෙන්නේ නැති තරම්. යම් කෙනෙක් ගේ අඩුපාඩු උලුප්පලා පෙන්නුවා ම ඒ මනුස්සයා වීරයෙක් බවට පත්වෙන්නේ කොහොම ද? මෑත කාලයේ දී අපි අතර බිහිවෙච්ච වීරයෙක් තමයි ගාමිණි කුලරත්න. තරුණ කාලයේ දී ම තමන් ගේ ජීවිතය පූජාකරපු හින්දා ඔහු ගේ ඇදයක් හොයාගන්න එක අපිට අමාරු වැඩක්. ඉතින් ඔහු ගේ වීරත්වයක් ගැන අපි වාද විවාද කරන්නේ නෑ. ඒත් ඔහුට ලැබෙන්න ඕන තැන අපේ සමාජය විසින් ප්‍රමාණවත් ව පිරිනමලා තියෙනවා ද කියන එක ගැන නම් සැක සහිතයි. හසලකත් අලිමංකඩත් ඔහු වෙනුවෙන් ඉදිකරලා තියෙන ස්මාරකවලින් ඒ දේ සිද්ද වෙනවා ද?

ඕනෑ ම සමාජයකට වීරයෝ උවමනා කරනවා. පොඩි ළමයෙක්ට වුනත් යම් හොඳ දෙයක්, ආදර්ශමත් දෙයක් පහසුවෙන් ම කියලා දෙන්න පුළුවන් වීරයෙක් ගේ චරිත කතාවක් හරහා. තර්ක, න්‍යාය හරහා විතරක් මිනිස්සුන් ව දැනුම්වත් කරන්න අමාරුයි. ඉතින් මිනිස්සුන්ට මග පෙන්වන වැඩේ පහසු කරගන්න නම් වීරයන්ටත් ඔවුන් හා සම්බන්ධ කතාවලටත් නිසි තැනැක් ලබාදෙන්න සමාජය කටයුතු කරන්න ඕන. ඒත් වීරයන් විදිහට යම් පමණකින් හරි හඳුනගත්ත අයට පවා සුදුසු තැන සුදුසු විදිහට ලබාදෙන්න අපි අසමත් වෙලා තියෙනවා. කොටි උවදුර දුරු කළාට පස්සේ ඒ වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සිහිකරලා ස්මාරක හදන එක රට පුරා ම යම් යම් ආකාරවලින් සිද්දකරලා තියෙන බව ඇත්ත. ඒත් ඒ කටයුතු කිසියම් සැලැස්මකට අනුව සිද්ද කළා කියලා කියන්න අමාරුයි.

මේ සම්බන්ධයෙන් පෙන්නන්න පුළුවන් හොඳ ම උදාහරණය තමයි වැලිසර නාවික හමුදා කඳවුර මායිමේ මීගමු පාරට මායිම් ව ඉදිකරලා තියෙන මහා ස්මාරකය. මෙහෙම එකක් තියෙන බව දන්නේ ඒ පාරේ යන එන අය විතරයි. ඒ වෙනුවෙන් මහා මුදලකුත් වියදම් කරලා තියෙන බවට සැකයක් නෑ. ඒත් ඒ කළ දෙයින් ලැබිලා තියෙන ප්‍රතිඵලය මොකක් ද? ඒ මහා ස්මාරකය දැන් තියෙන විදිහට ඉන්ධන පිරවුම් හලක් අසළ ඉදි නො කර වැල්ලවත්ත පැත්තේ මුහුදේ පීඨිකාවක් හදලා ඒ මත්තේ නිර්මාණය කළා නම් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. එහෙම කළා නම් ඒ විදිහේ ඉදිකිරීමක් ඉබේ ම මේ රටේ මිනිස්සුන් ගේ මනසේ රජවෙන ස්මාරකයක් බවට පත්වෙනවා. ඒ හරහා තවත් විවිධ කාර්යයන් රැසකුත් නිර්මාණය වෙනවා. ඒත් අපේ අය එහෙම හිතන්නේ නෑ.

වීරයෙක් කියලා කියන්නේ අපි හැමෝ ගේ ම උසස් අපේක්‍ෂාවන් නිරූපනය කරන දැවැන්ත චරිතයකට. ඉතින් ඒ වෙනුවෙන් ඉදිකෙරෙන ස්මාරකයක ඒ දැවැන්ත බව ගැබ්වෙලා තියෙන්න ඕන. මේ කාරණය අමතක කරලා හදන අඟුටුමිටි ස්මාරක දවසෙන් දෙකන් මිනිස්සුන් ගේ මතකයෙන් ඈත්වෙලා යනවා. මෑත කාලයේ පවා දැවැන්ත බුද්ධ රූප ඉදිකරලා තියෙන අපේ මිනිස්සුන්ට සංවිධානාත්මක ව මේ වගේ වැඩකරන්න බැරිකමක් නෑ. කලින් ලිපියකිනුත් කියපු විදිහට උඩරට මහ කැරැල්ලට අවුරුදු දෙසීයක් පිරෙන මේ අවුරුද්දේ ඒ වෙනුවෙන් යමක් කරන්න අපේ මිනිස්සුන්ට පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඒ වෙනුවෙන් උවමනා කරන සැලසුම් හා නායකත්වය විධිමත් විදිහට අපේ මිනිස්සුන්ට ලබාදීම විතරයි.

වීර චරිත ගැන විවිධ ඇගැයීම් තියෙන්න පුළුවන්. අපි වීරයෝ කියලා කියන්නේ ඉපැදිච්ච දවසේ ඉඳලා මැරෙන කල් හැම දවසක ම දවල් රෑ නැතිව වීරක්‍රියා කරපු අයට නෙවෙයි. යම් මනුස්සයෙක් වීරයෙක් කියලා අපි හඳුනගන්නේ ඒ මනුස්සයා තමන් ගේ ජීවිත කාලයේ යම් විශේෂ අවස්ථාවක හරි යම් කාල වකවානුවක හරි කරපු කියපු දේ සළකලා. වීරක්‍රියා නො කරන වෙලාවට ඔහු හැසිරෙන්නේ අනිත් මිනිස්සු වගේ ම තමයි. යුද්ධයක දී අභිත ව ඉදිරියට යන කෙනෙක් එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ දී උපාසකයෙක් විදිහට කටයුතු කරන කෙනෙක් නොවෙන්නත් පුළුවන්. ඒ වගේ සමහර අය ගේ හැසිරීම අපිට සාපේක්‍ෂ ව තරමක් රෞද්‍ර වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ කරුණු ගැන සාධාරණ විදිහට හිතලා මතලා තීරණ ගන්න පුළුවන්කමක් අපිට තියෙන්න ඕන.

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා කරපු කියපු දේ ගැන ඉස්මතු වෙලා තියෙන ආරවුල ගැනත් යමක් කියන්න ඕන. විදේශකයකු වෙච්ච එතුමාට අපේ සම්ප්‍රදායන් ගැන ප්‍රමාණවත් දැනුමක් තිබුණා කියලා හිතන්න බෑ. ඉතින් ඒ හින්දා එතුමා මුල්වෙලා කරපු කියපු දේවල්වලත් අඩුපාඩු තිබීම ස්වභාවිකයි. උදාහරණයක් විදිහට එතුමා මුල්වෙලා ආරම්භ කරපු පාසල් ගැන අපිට හිතන්න පුළුවන්. ඒ පාසල් ඒ විදිහට ම පවත්වා ගෙන යෑමෙන් අපේ අවශ්‍යතා ඉෂ්ටවෙන්නේ නැති බවට මතයක් තියෙනවා. ඉතින් අපි කරන්න ඕන අපිට උවමනා විදිහට ක්‍රම ක්‍රමයෙන් ඒ පාසල් වෙනස් කරගන්න උවමනා කරන වැඩපිළිවෙලක් විධිමත්ව සකස් කරගන්න එක. ඒ පාසල් එතුමා මුල්වෙලා ආරම්භ කළාට ඒවා පවත්වගෙන යන්නේ අපිනේ. ඉතින් අපිට පුළුවන් නම් ඒ පාසල්වල ඉගැන්විය යුතු දේ ගැනත් ඒවා ඉගැන්විය යුතු ක්‍රමය ගැනත් විධිමත් අදහස් සමුදායක් අපේ සමාජයට ලබාදෙන්න ඒවා යම් දවසක අපිට උවමනා කරන අධ්‍යාපනික ආයතන බවට පත්වේවි. මේවා දවසකින් දෙකකින් කරන්න බැරි බව අමුතුවෙන් කියන්න උවමනා නෑ.

වීරයෝ කියලා සම්මත අය ගේ අඩුපාඩු ගැන වචනයක්වත් නොකියන ප්‍රතිපදාවක් අපි අනුගමනය කරන්න ඕන කියලා මේ කියන කතාවෙන් අදහස් කරන්නේ නෑ. ඒ අඩුපාඩු ගැන අපි කතාකරන්න ඕන. එහෙම නොවුනොත් අඩුපාඩු හදාගැනීමේ අවස්ථාව අපේ සමාජයට ලැබෙන්නේ නෑ. ඒත් වැඩියෙන් කියන්න ඕන, වැඩියෙන් හුවා දක්වන්න ඕන ඒ අය කරපු යහපත් දේ කියන එක අපි තේරුම්ගන්න ඕන. මෙයට පෙර ලියපු හොඳ වඩන සූත්‍රය” ලිපියේ කරුණු පවා මේ වැඩේට අදාළ කරගන්න පුළුවන්. ඕල්කොට්තුමා කරපු කියපු දේවල්වල ගැටලු නො ගැලපෙන තැන් තියෙනවා නම් ඒවා වුනත් මේ ක්‍රමයට හදාගන්න පුළුවන්. ඉතින් මොන අඩුපාඩු තිබුණත් වීරයන් ව මරන එක වීරකමක් නෙවෙයි.

වරුණ චන්ද්‍රකීර්ති

2 Responses to “වීරයා මරලා!”

  1. Senerath Says:

    A lot of Weerayos killed. Prbahkaran was one for Tamils. Even karunanayaka is a weeraya to his people. It depends on who is claiming the man is a weeraya, not to mention Rajapaksas. Only Mervyn Silva did not looked like one, even though he tried to by tiea man to a tree.
    If you are a Buddhist, Buddha has given various definitions to various weerayas but he probably did not use that term. Biggest weeraya is the Arahant, who destoryed all his own fetters.

  2. Christie Says:

    There are no Indian Colonial Parasites in China.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress