විජේදාස රාජපක්ෂ සහ චම්පික රණවක-රෑ වැටුණු වලේ දවල් නොවැටෙමු – විමසිල්ලෙන් විජේදාස දෙස බලමු !
Posted on August 23rd, 2017

රවිප්‍රිය තුෂාර- යුතුකම සංවාද කවය

විජේදාස රාජපක්ෂ මහතා මෑතකදී කරන ප්‍රකාශ සහ හැසිරීම බොහෝදෙනෙක්ගේ කතා බහට සහ ගැටළුවට ලක් වී ඇත. එයට හේතුව එ.ජා.ප.යේ ප්‍රබල චරිතයක් වූ සහ සිංහල බෞද්ධ විරෝධී බවට ප්‍රසිද්ධියක් ඉසිලූ මෙතුමා ජාතිකත්වය දෙසට මාරු වීමයි. විජේදාස අවංකයිද? මේක කරන්නේ මිනිස්සු රවට්ටල බලය ලබා ගන්නද? මෙතන යටින් තියෙන සැලසුම මොකද්ද? කවද ආපහු ජාතිකත්වයටම විරුද්ධ වේවිද වගේ සාධාරණ ගැටළු සහ සැකයන් බොහොමයක් තිබෙනව. මෙම ගැටළු නිස ඔහුව තේරුම් ගැනීමට අපහසු තත්වයක් උදා වී ඇත. අද ජාතික මතවාදයේම සිටින එක් කොටසකට විජේදාස රාජපක්ෂගේ මෑත කාලීන ප්‍රකාශ නිසා ඔහු රට ජාතියේ ගැලවුම්කරුවා, දියසේන කුමාරයෙක් වී ඇත. ඒ අතර තවත් කොටසකට ඔහුගේ අතීත ක්‍රියාකාරකම් නිසා තවමත් මහා සිංහල බෞද්ධ විරෝධියෙක් ලෙසත් මෑත කාලීන ප්‍රකාශ රැවටීමක් ලෙසත් දක්වයි. මේ පිලිබඳව අපි විමසා බලමු. 

විජේදාස මහතාගේ ගැටලුකාරී පැත්ත සලකා බලමු. ඔහුගේ අතීතය බැලූ විට එය බොහෝ විට එජාප ප්‍රතිපත්ති සහ ජාතිකත්වයට විරුද්ධ ගමනේ ප්‍රබල චරිතයක් ලෙස පැවතුනේය. අවසන් ජනාධිපතිවරණ දෙකේදීම ඔහු විජාතික කණ්ඩායමේ ප්‍රබල කාර්යයක් ඉටු කලේය. ඒ වගේම මට මතක හැටියට ඔහු ජාතිකත්වය පැත්තට කරනම ගසන්නේ නැගෙනහිර පන්සල් නිරික්සීමට කරන චාරිකාවකදීය. මෙහිදී ඔහු සමඟ යන්නේ සහ ඔහුව ජාතිකත්වයට උස්සා තබන්නේ බොදු බල සේනාවයි. බොදු බල සේනාව අවිශ්වාසී නිසා මේ සිදුවීම තවත් සැක සහිත වෙයි. තවත් කරුණක් නම්, විජේදාස මහතාගේ ක්‍රියාවලිය රනිල් ඇතුලු විදෙස් බලවේගයන්ගේ විශාල කුමන්ත්‍රණයක කොටසක්ද යන සැකය මතු වෙයි. අද තිබෙන තත්වය බැලූවිට සාම්ප්‍රදායික එ.ජා.ප. පාක්ශිකයන්, ලිබරල් ඊනියා උගත් බුද්ධිමත් ජනතාව, දෙමළ සහ මුස්ලිම් අන්තවාදය, ජවිපෙ, ඊනියා වම සහ පාර්ලිමේන්තුවෙ විපක්ශය යන සියළු කොටස් ක්‍රියාත්මක වන්නේ එක අරමුණකටයි. අද ක්‍රියාත්මක වන බලවේගය ජවිපෙ සහ වම සූක්ශම ලෙස ඔවුන්ගේ පාලනයට නතු කරගෙන ඇත. ඇත්තෙන්ම දැන් ඇත්තේ ව්‍යාජ වමක් සහ ව්‍යාජ ජවිපෙක්ය. මෙම එකතුවට පිටින් සහ විරුද්ධව ඉන්නේ ජාතිකත්වය මුල් කරගත් කණ්ඩායමයි. මෙම විදෙස් කුමන්ත්‍රණකරුවන් විජේදාස මහතා හරහා උත්සාහ කරන්නේ ව්‍යාජ ජාතිකවාදී කණ්ඩායමක් නිර්මාණය කරගැනීම විය හැකිය. ඒ ඔස්සේ ජාතිකවාදීන් රවටා ඔවුන්ගේ සහය ඉදිරියේ එන මැතිවරණ වලදී විදෙස් බලවේග වලට උවමනා ආකාරයට හැසිරවීමට විය හැකිය. නැතහොත් මැතිවරණ තෙක් ජාතිකවාදීන් රවටා ඔවුන්ගේ සහය ලබාගෙන මැතිවරණයෙන් පසු ව්‍යාජ ජාතිකවාදය අත් හැර සැබෑ ජාතිකත්ව විරෝධය වෙත නැවත යනු ඇත. මේවා සියල්ල විය හැකි දේවල්ය. 

දැන් මේ සම්බන්ධ අනෙක් පැති විමසා බලමු. ජාතිකවාදියෙක් සදාකාලිකවම එම මතය දරන්නෙක්ද? ඔවුන් එම මතය දරන්නේ අවංකවමද නැතහොත් වෙනත් යටි අරමුණක් ඇතිවද? වත්මන් දේශපාලනඥයන් සම්බන්ධයෙන් මෙම ගැටළු වලට නිශ්චිත පිලිතුරු ලබා දිය නොහැකි බව මගේ මතයයි. මේ සඳහා හොඳම උදාහරණය චම්පික රණවක, රතන හිමි ඇතුළු හෙළ උරුමයේ හැසිරීමයි. ජාතිකවාදින් බොහොමයක් කුමන හෝ කාලයක හෙළ උරුමය වටා පෙල ගැසීමත් ඔවුන් අනුමත කිරීමත් සිදු විය. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ ජාතික මතවාදය වෙනුවෙන් පෙනී සිටි අතර ඇත්තටම ජාතිකත්වය වෙනුවෙන් ඉතිහාසයේ යම් සේවයක් කර ඇත. නමුත් අද ඔවුන් ඉන්නේ කොතනද? වඩාත්ම කපටි සහ අවස්ථාවාදී දේශපාලනයක නිරත වෙන චම්පික රණවක මහතා අද සිංහල බෞද්ධ විරෝධී පිලේ ඔවුන් සිටිමින් අසතුටු වන දේවල් කිරීමෙන් වැලකී සිටින අතර රාජපක්ශ විරෝධී මඩ ව්‍යාපාරයක නියැලෙයි. මධ්‍යම පාංතික ඊනියා ‘උගත් බුද්ධිමත් ජනතාව’ ආකර්ශනය කරගැනීමට විවිධ උපක්‍රම යොදයි. ඒ අතරම වක්‍රාකාරයෙන් සිංහල බෞද්ධ නායකයෙකු ලෙස පෙනී සිටීමට කරන උත්සාහයද අත් හැර නොමැත. මෙයින් එකිනෙකට වෙනස් පාඩම් 2ක් අපිට ඉගෙන ගත හැකිය. මේ කවරෙක්වත් තදින් විශ්වාස කළ නොහැක එසේ නොකළ යුතුය. බොහෝ කලක් ජාතිකත්වයේ සිටි හෙළ උරුමය වෙනස් වූවා නම්, මීට පෙර සැමදා ජාතිකත්ව විරෝධී වූ අයෙක් විශ්වාස කළ හැකිද? චම්පික සහ විජේදාස යන මහතුන් දෙදෙනාම අවස්ථාවාදී කපටි දේශපාලකයන් බව මගේ පෞද්ගලික අදහසයි. එමෙන්ම කුමන අරමුණකට හෝ හෙළ උරුමයට ඒ පැත්තට යා හැකි නම්, විජේදාස මහතාටද එයට විරුද්ධ පැත්තට පැමිණිය හැකි විය යුතු නොවේද? 

දේශපාලනයේදී හෝ යුද්ධයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැත. සරත් ෆොන්සේකා මහතා කැනඩාවේ සභාවකදී මේක සිංහලයන්ගේ රට යයි ප්‍රකාශ කළ නිසා අපි තවදුරටත් ඔහු ජාතිකවාදියෙක් ලෙස සලකනවාද? එම නිසා විජේදාස රාජපක්ශ මේක සිංහල බෞද්ධ රටක් ලෙස ලියා ඇත්තේ කොහේදැයි ඇසූ ප්‍රකාශයට සැමදා බැඳ තැබිය යුතුද? අපි කල යුත්තේ අන්ධ ලෙස විශ්වාස කිරිම නොව වඩා විචක්ෂණශීලී ලෙස මෙය සමඟ ගනුදෙනු කිරීමයි. සිංහල බෞද්ධ නායකයන් ලෙස අපි විජේදාස හෝ දැනටත් ජාතික මතයේ සිටින ඇතැම් දේශපාලකයන් නම් කල යුතු නැත. මොවුන් දේශපාලකයන්ය. අවංක හෝ අවංක නොවූ හේතු නිසා ඔවුන් ජාතික මතවාදයට පක්ශපාතීය. මොවුන්ගේ දේශපාලන අනාගතය ජාතිකත්වය සමඟ කෙසේ වේ දැයි අපිට කිව නොහැක. අප සැලකිය යුතුවන්නේ වර්තමාන කාලයේ ඔවුන්ගේ හැසිරීමයි. චම්පික රණවක සහ සරත් ෆොන්සේකා ජාතිකවාදීන් ලෙස ‘අද’ අපි සලකන්නේ නැත. විජේදාස රාජපක්ශ සහ කරුණා අම්මාන් ජාතිකත්වයට පක්ශ බව ‘අද’ අපිට සැලකිය හැකිය. එයිනුදු කරුණා අම්මාන් විජේදාස මහතාට වඩා විශ්වාසී බවටද සැලකිය හැකිය. අපි මෙසේ කොන්දේසි සහිතව සහ විචක්ශණශීලීව මෙය සලකා බැලිය යුතුය. අපිට මෙසේ කිරීමට වී ඇත්තේද අපිට ජාතිකවාදී නායකයන් සිය දහස් ගණනක් නොමැති නිසා බවද තේරුම් ගත යුතුය. 

අද විජේදාස මහතාගේ ක්‍රියාවන් යහපාලනයටම ගැටළුවක් වී ඇති බව පෙනෙයි. යහපාලන මැති ඇමති වරුම ඔහු ප්‍රසිද්ධියේ විවේචනය කරන අතර විශ්වාස භංගයක් ගෙන එන බව තර්ජනය කරති. යමපාලනයට තිබෙන ප්‍රශ්නය විජේදාස නීතිය නමා ඒකාබද්ධ විපක්ශයේ අය රිමාන්ඩ් භාරයට ගෙන පීඩනය එල්ල කිරීමට සහය නොදැක්වීමයි. සරලවම, පොලිස්පති CID,FCID විවිධ කොමිසම් මඟින් නමන දිග හරින නීතිය, විජේදාස මහතා හරහා නැමිය නොහැකි වී ඇත. එමෙන්ම විජේදාස මහතාගේ ක්‍රියාවන් සහ ප්‍රකාශන නිසා රජය අපහසුතාවයට පත් වී හිරවී ඇති බවක් පෙනෙයි. ඔවුන්ට විජේදාස මහතා අධිකරණ ඇමති ධූරයේ තියන්නත් බැරි, එයින් ඉවත් කරත් හානියක් සහ අපකීර්තියක් ලැබෙන තත්වයක් නැගී ඇත. මේ සියල්ල රජය විසින්ම කරන යම් මවා පෑමක්, රංගනයක් විය හැකි වුවත් යම් හෙයකින් විජේදාස මහතා ඉවත් කර ඒ වෙනුවට සරත් ෆොන්සේකා හෝ රංජන් රාමනායක වැන්නෙක් පත් කලහොත් නීතිය නවා සිදු වෙන දේශපාලන දඩයම් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට උත්සාහ කරන මේ වකවානුවේ රටට බොහෝ අවාසිදායක විය හැකිය. එමෙන්ම යහපාලන ආණ්ඩුව ඇතුලේ සිට එහි රටේ සම්පත් විකුනන ක්‍රියාවන් ඇතුලු එහි යම් යම් ක්‍රියාවන් විවේචනය කිරීම වැදගත්ය. මෙයින් යහපාලනයම අපහසුතාවයට පත් වෙන අතර ඔවුන්ට එරෙහි පීඩනයද වැඩි වෙයි. මේ ආකාරයෙන් වන බොහෝ හේතු නිසා විජේදාස මහතාගේ වත්මන් ක්‍රියා කලාපයට අපි විචක්ශන ශීලී ලෙස සහය ලබා දිය යුතූ බව මගේ අදහසයි. විජේදාස මහතා මෙම සිදුවීම් නිසා යහපාලනයේත්, NGO කණ්ඩායම් වලත්, ඊනියා උගත් බුද්ධිමත් ජනතාවගේත් විවේචනයට ලක් වී ඇත. එහිදී අපි ඔහුගේ සාධනීය ක්‍රියාවන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. 

මෙය බොහෝ විට විජේදාස මහතාගේ අවස්ථාවාදී දේශපාලනයේ තවත් එක් පියවරක් වීමට බොහෝ ඉඩ ඇත. කෙසේ වුවත් ජාතිකවාදීන් මෙහිදී උපක්‍රමශීලීව මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුය. ඔහුගේ ඉතිහාසය ගැන හැඟීම්බර නොවී, පවතින වාතාවරණය යටතේ යහපාලනයට එල්ල කර හැකි පීඩනයට විජේදාස මහතාගේ ක්‍රියාවන්ට උදව් දීමත්, ඔහුට ඇති මර්දනය පිටු දැකීමත් කළ හැකිය. නමුත් ඔහුගේ ප්‍රකාශයන් නිසා උද්දාමයට පත් වී ජාතිකත්වයේ ධජය ඔහු අතට නොදිය යුතුය. ඔහුව මාර්ගෝපදේශකය කරගත නොයුතුය. මෙය ජාතිකවාදීන් සහ ඒකාබද්ධ විපක්ශයේ දේශපාලකයන්ද එක ලෙස තේරුම් ගත යුතු දෙයකි. රැවටීමට ලක් වෙන්නේ නැතුව, මෙය අපගේ යහපාලන විරෝධී ක්‍රියාවලියේ තවත් එක් උපකරණයක් ලෙස බුද්ධිමත්ව සහ උපක්‍රමශීලීව භාවිත කළ යුතුය.

One Response to “විජේදාස රාජපක්ෂ සහ චම්පික රණවක-රෑ වැටුණු වලේ දවල් නොවැටෙමු – විමසිල්ලෙන් විජේදාස දෙස බලමු !”

  1. Christie Says:

    ඉන්දියානු අදිරදයේ කොලනියක් වන තිස් ලක්ශයකට වඩා වැඩි ඉන්දියානු කොලනිවාසීන් විසින් පාලනය කරන ඉන්දියානු යටත්විජිතයේ මුල් වැසියෝ එකිනෙකා කුලල් කාගනිති. ඇයි සින්හල අපි අපි කුලලල් කාගන්නේ කියා විපරම් කර බලාන්න. අපි බනින්නෙත් ගරහන්නෙත් සින්හලයන්ටය. මම කියන දේ ගැන සිතා බලන්න. ඔබේ අදහස් දක්වන්න.
    Ceylon the Indian Colony run by three million Indian colonists. They are doing well. We are fighting among ourselves like the oppressed in any society.
    Please think why do our leaders behave like that they do and why do we blame them one or the other. How come we are divided. Please think of what I am saying and respond.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress