ධර්මිෂ්ඨ විප්ලවය-සුද්දගෙ නීතිය අපට එපා -ගලගොඩ‌අත්තේ ඥානසාර හිමි (හෝමාගම උසාවිය, 2016 ජනවාරි 25) 
Posted on August 27th, 2017

චන්ද්‍රසිරි විජයවික්‍රම,

අබුද්දස්ස කාලය
උසාවිය නිහඬයි යන වාර්‌තා චිත්‍රපටියෙන් පෙන්වන්නේ මහව උසාවියේ නිතීඥයින්, පොලිසිය, නීතිපති දෙපාර්‍තමේන්තුව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ශ්‍රේෂ්ඨාධිකරණය හා රටේ අධිකරණ ඇමති යන පාර්‌ශව සියල්ලම වෙන වෙනම හා එකතුව, මහව මහේස්ත්‍රාත්‌වරයා විසින් ක්‍රමාණුකූලව සිදුකල ස්ත්‍රී දූෂණ දෙකක් යට ගැසූ අන්දමය. එසේනම් උසාවිය තුල හයියෙන් ඈනුමක් ඇරියත් දඬුවම් කරනවා නේද යයි කියමින්, ඥානසාර හාමුදුරුවන් සුද්දගෙ නීතිය අපට එපා කියමින් කෑ ගැසීමේ තනි සිද්ද්ධිය උන්වහන්සේව රිමාන්ඩ්භාරයේ තැබීමට තරම් හේතුවක් වන්නේ කෙසේද? අලි පැටව් සම්බන්‌ධයෙන්, නඩුකාරයාට ඇප දෙන්නටත්, උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ව රිමාන්ඩ් කරන්නටත් (පසුව අසාද් සාලි මැදිහත්‌ව නිදහස් කරන්නටත්) හේතුව කුමක්ද?  ඥානසාර හිමියන්ව නිහඬ කිරීමේ පරමාර්‌ථයෙන් මේ රටේ වංක, අශීලාචාර දේශපාලකයින් හා කළු සුද්දන් ක්‍රියාකලේ ඇයි? උන්වහන්සේව හෙලා දකින ගමන් මාදුළුවාවේ සෝභිත හිමියන්ව කරේ තබාගෙන ගියේ ඇයි? පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් කතාකරමින් සිවුරට අගෞරව කරනවා යන තර්‍කය නිසාමද? 

කුඩම්මාගේ සැළකිලි
මහින්ද රාජපක්‍ෂ හා මෛත්‍රීපාල සිරිසේන/රනිල් වික්‍රමසිංහ ආණ්ඩු විසින් සිංහල බෞද්ධයාට අහිතකර ලෙස බලපාන ලෙස ගන්නා තීරණ පිළිඹදව ලංකාවේ මහානායක හාමුදුරුවරු ගත්තේ අනුශාසනාදීමේ පිළිවෙතකි. 1802 සිටම ඓතිහාසිකව බලනවිට අටපිරිකර හා පලතුරු වට්ටියක් ගෙන මහනුවරට බැහැදැකීමට යාම හැර, කොළඹ බිෂොප්ලාට තිරයෙන් පිටුපස ලැබෙන අන්දමේ සැළකිල්ලක් ඔවුන්ට කවදාවත්ම ලැබුණේ නැත. 2002 සෝම හාමුදුරුවන්ගේ භූමිකාව, 2004 ජාතික හෙල උරුමයේ ආගමනය, 2012 මැයි මාසයේ බොදු බල සේනාව කරලියට ඒම යන කාරණාවලදී මහානායක හාමුදුරුවරු තුෂ්ණිම්භූතව ඒවා දෙස බලා සිටියේය. බුදුවරු, රහත්‌වූ අය දැන් රටේ ඉන්නවා කියන විට වගේමය. 1940 ස් ගණන්වල විනයවර්‌ධන ව්‍යාපාරය (හාමුදුරුවරුන් නැති බුද්ධාගම) ගව මුත්‍රා බොමින් මිනී පිට්ටනිවල රාත්‍රිය ගතකල කාලයේ මෙන්‌ය. මෙසේ සන්සුන්ව හා උපේක්‍ෂාවෙන් සිටි ඔවුන්ව ඉවසීමේ සීමාවෙන් ඔබ්බට දැම්මේ රටේ ආණ්ඩුව පොලිසිය යොදවා නීතිය හරහා සංඝ දමනයක නියැළී සිටින බව පැහැදිලිවම රටට පෙනීයාමත් සමඟය. රට දෙකට බෙදීමෙන් ඔබ්බට ගිය රට කැබලි හත අටකට කඩා විනාශ කිරීමේ ඩොලර් ව්‍යාපාරයක් ගෙනයන එන්ජිිෝ නඩ එලිපිටම ඥානසාර හිමියන් බිල්ලට ගන්නට ක්‍රියාකිරීමය.

අස්ගිරි නාස් ලණුව
අනිත් නිකායවල් මෙන් නොව, පලිපානේ චන්දානන්ද මහනාහිමියන්ගේ කාලයේ සිටම වඩා ඉදිරියෙන් සිටි අස්ගිරි පාර්‍ශවයට, පණිවුඩකරුවාට වෙඩිතැබීමේ මෙම එන්ජිිෝ උපක්‍රමය නිසියාකාරව අවභොධ වීම විමතියට කරුණක් නොවේ. අස්ගිරිය විසින් පර්‍යේෂණ හා සංවර්‍ධන කටයුතු පිළිඹඳ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් පවා පිහිටුවා තිබේ. මේ නිසා ඥානසාර හිමියන්ගේ මස් රාත්තලම ඉල්ලන නොයෙක් අයට අස්ගිරිය විසින් සම්‍යයක් දෘෂ්ඨික ප්‍රතිචාරයක් දක්‌වන ලදී. එය නම් පණිවුඩකරුවා, පණිවුඩයෙන් වෙන්කර ගතයුතු බව ආණ්ඩුවට දැන්‌වීමය. මේ පණිවුඩය, එනම් නායකයෙක් නැතිව අතරමංවී සිටින සිංහල බෞද්ධයාට වන හානිය විමසා බැලිය යුතුය, චන්ද්‍රිකා මැතිණිය පත්කල 2002 බුද්ධ ශාසන කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්‌මක කලයුතුය යන්නට තමන් එකඟවන බව 2017 ජූනි 20 දා නිකුත්කල ප්‍රකාශනයකින් ආණ්ඩුවට භාර දෙන ලදී. ඉන් නොනැවතී ජූලි 4 දා ආණ්ඩුවට දැන්‌වූයේ අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේ රටට අනවශ්‍ය බවය. නොදන්නා යකාට වඩා දන්න යකා හොඳ බවය.
රටේ සමස්ථ සංඝ සංස්ථාවම මෙම ප්‍රකාශණය අනුමත කරන ලද්දේ ඊට පක්‍ෂ දේශපාලනයක් නැති නිසාය. ආණ්ඩුවට අල්ලා ගන්නට සිදුවූ මේ කොටි වලිගය නිසා වෙඩිකෑ ඌරන් මෙන් වියරුවූ වංක දේශපාලකයින් හා එන්ජිිෝ නඩ දඩි බිඩියේ දඹුල්ලෙන් අස්ගිරි ආක්‍රමණයක් ඇරඹුවේය. පුදුමය නම් 1551 දොන් ජුවන් ධර්‌මපාල කතෝලික රජුගෙන් පසුව ප්‍රථම වරට 2017 දී කතෝලික කාඩිනල්තුමා විසින් ලංකාවේ සුළු ජන වර්‍ග විසින් ලංකාවේ සිංහල බෞද්ධ පදනම පිළිගත යුතුය, අයුතු අන්‍යාගමීකරණය නතරකල යුතුය යනුවෙන් ප්‍රකාශකල විට කිසිවෙක් කාඩිනල්තුමා පසු පස ලුහුබැඳ නොයාමය. 
මේ වන විට බෞද්ධයා කෙතරම් බාල්දුවට වැටී තිබේදැයි මැණගතහැකි මිම්මක් නම් තරුණ නිලියක් විසින් කිසි හිරිොත්තපයක් නැතිව මීතොටමුල්ලේ කුණු කන්ද ජේතවනාරාමයට ගොස් දැමූ පින්තූරයක් කලා නිර්‌මානයක් ලෙස අගයමින් ඉන්ටර්නෙට් එකට කොපිකර දැමීමය. මඩු පල්ලිය හෝ කෝවිලක්, අරාබි සල්ලි වලින් හදන යෝධ මුස්ලිම් පල්ලියක් මතක් නොවුනේ ඇයි? යම් විදේශ සංචාරක කාන්තාවක් ඇගේ උරහිසේ හෝ බාහුවේ බුදුරුවක් පච්චකොටා ඇතිවිට ඇයව පිටුවහල් කරන පොලිසිය මෙහිදී නිහඬ ඇයි?

 
හාමුදුරුවරු හා කළු සුද්දන් අතර ගැටුම
ජාතියේ මුර දේවතාවුන් යන සංකල්පය දෙස මෑතදී ඉංග්‍රීසිකාරයා ලංකාව අල්ලාගත් කාලයේ සිට බලනවිට, එය එක පැත්තකින් පන්සලත්, අනිත් පැත්තෙන් (සුද්දන් හා) කළු සුද්දනුත් යන දෙකොටස අතර ඇතිවූ අරගලයක් බව පෙනේ (රට අල්ලාගෙන සිටි සුද්දන් එසේ නොසිතුවානම්  ජපනුන් ලංකාවට ගොඩ බැස්සොත් හාමුදුරුවරු සිර කඳවුරුවලට ගෙනයාමේ [1945 දෙසම්බර් 7 පර්ල් හාබර් ජපන් ප්‍රහාරයට පසු ඇමෙරිකාවේ පුරවැසියන්‌වූ ජපන් ජාතිකයින්ට කලා මෙන්] ප්ලෑනක් ලංකාවේ සිටි හමුදා ආඥාදායක අද්මිරාල් ලේටන් විසින් සළකා බලන්නේ නැත). මහානායක හිමිවරුන් මේ මැදිහත්‌වී සිටින්නේ එවැනි අරගලයකටය. ඩොලර් බලය යොදවා මේ අරගලය දියාරු කිරීමට මේ රටේ නිල්, කොල, රතු පක්‍ෂ හා එන්ජිිෝ කළු සුද්දන් ක්‍රියාකරමින් සිටී. සිංහල බෞද්ධයින් විසින් පක්‍ෂ දේශපාලනයට අන්ධ නොවී, තිස් අවුරුදු යුද්ධය නිමාකර ගත්තා සේම, 1923/4 සිටම එන රට කැබලි කිරීමේ ව්‍යාපාරයෙන් රට මුදා ගැනීමට මහානායක හිමිවරුන් ආරම්භකල ධර්මිෂ්ඨ විප්ලවයට එක්‌විය යුතුය. කොට උඩ යන රටක්, බල්ලාට ගිය අශීලාචාර රටක් බේරා ගත හැකි බෞද්ධ මාර්‍ගයක් රටට ඇත. 

සුද්දගෙ නීතිය
යටත් විජිතවල නිදහස් සටන කියන්නේ සුද්දගෙ නීතිය අපට එපා කියන එක නොවේද? මීට හේතුව සුද්දා යටත් විජිත තමන්ගේ වාසිය සඳහා පවත්‌වා ගෙන ගියේ සුද්දගෙ නීති හරහා වීමය. ලන්දේසි කාලයේදී කුරුඳු ගහක් කැපීමට දඬුවම මරණය වූයේ ඒනිසාය. අප්‍රිකාවේ මාවු මාවු ව්‍යාපාරය මෙන් නොව ලංකාවේ මාක්ස්වාදීන් විස්කි බොමින් බංගවේවා යයි කිව්වේ මෙහි එක්තරා අන්තයකට යමින්‌ය. සති පූජාව යයි කියමින් වැන්ඳඹුවන් බලෙන් ගිනිමැලයට තල්ලුකිරීම තහනම් කල ඉන්දියාවේ නීතිය හැර රටක යහපත ගැන සිතා සුද්දන් පාස්කල නීතියක් මට සිහිපත් නොවේ. සුද්දාගේ සූරාකෑමේදී ඔවුන්ට කත් ඇද ඔත්තු සපයා කල්තියාම සම්බොඩීස්ලාවූ කුමාරසූරියර්-ඔබේසේකර පවුල්, සොයිසලා-සේනානායකලා වැනි නෝබොඩීස්ලා අළුතෙන් සම්බොඩීස්ලා වීම නොරිස්සුවේය. කෙසේ වෙතත් මේ දෙගොල්ලම කළු සුද්දන්, තෙම්පරාදු පංචස්කන්‌ධ, මිස රටේ සිංහල බෞද්ධ ශිෂටාචාරයේ සාරධ‌ර්‍ම කෙරෙහි කිසි තැකීමක් කල අය නොවීය.

හීනමානය යටි හිතට රිංගවීම
මුලින් හුදෙක් පුද්ගලික ලාභ ප්‍රයෝජන තකාම සුද්දන් පස්සේ ගිය මේ කළු සුද්දන් පසුව සුද්දන් විසින් ඇතිකල හීනමානයකට (හියුමිලියේෂන්) ගොදුරුවිය. ඒ සමඟ පැටළුණු තවත් දෙයක් නම් බෙදා පාලනය කිරීම යන රීතියය. සුද්දන්ට විරුද්ධව නිදහස් සටන් ගෙන ගිය අය පසුව සුද්දන්ගේ අනුකාරකයින්‌වුන අන්දම තියඩෝර් ෆොන් ලෝ විසින් ඔහුගේ ද වර්ල්ඩ් රෙවොලූෂන් ඔෆ් වෙස්ට‌ර්‌නයිශේෂන් (1987) යන පොතේ පෙන්වාදී ඇත. මේ අනුව නේරු, නිකෲමා, නසාර්, ටිටෝ, සුකර්ණෝ, මaaෝ සේතුන්, සටාලින් යනාදී කී නොකී හැමෝම අඩු වැඩි වශයෙන් බටහිර විප්ලවය නමැති මැෂිමට හසුවුන කළු සුද්දන් බවට පත්‌විය. මීට අසු නොවූ අය වශයෙන් අනාගාරික ධ‌ර්‌මපාල, සුරේස් චන්ද්‍රබෝෂ්, (බොහෝ දුරට ගාන්‌ධි හා අම්බෙඩ්කාර්), බුරුමයේ ජෙනරාල් අවුන් සාන්, අගමැති ඌනු, කාම්බෝජයේ සීහනුක්, කොන්ගෝවේ පැට්‍රිස් ලුමුම්බා, හා රටෙන් සූරාගත් ධනය ප්‍රංශයෙන් ආපසු ඉල්ලා සිටි හේතියේ ජීන් ඇරිස්ටයිඩ් වැනි ස්වල්පයක් දෙනා සැළකිය හැකිය. මේ සැමට අත්‌වූ ඉරණම ලොවම දනී.
මෙසේ හීනමානයක් කළු සුද්දන්ගේ යටි හිතට කිඳාබැස්සවීම නමැති කාසියේ අනිත් පැත්තවූයේ වයිට් මෑන්ස් බර්‌ඩන් යන කතාවය. ලංකාවේ ගම-වැව-දාගැබ යන ත්‍රිත්‌වය අමතක කොට ඇමෙරිකාවේ ටෙනසිවැලි ගංඟා යෝජනාක්‍රමය වැනි යෝධ ව්‍යාපාර වැරදි ලෙස ගල් ඔය වැනි කුඩා ගඟකට පටවා ගත්තේ (කුඩා උඩුගං ජලාශ සහිත පරිසර හිතවේදී ක්‍රමයක් දොස්තර එස් ඒ වික්‍රමසිංහ මහතා යෝජනා කලේය) , නැත්නම් යෝධ මහවැලි ව්‍යාපාරය කලබලයට දමාගත්තේ හා දැන් රට අමාරුවේ වැටී ඉන්නා අනිසි ප්ලෑන් අනුව කල අධිවේගී මාර්‍ග, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, උමා ඔය ව්‍යාසනය යනාදිය මේ කාසියේ දෙපැත්තේම විපාක වලට උදාහරණය. මේ හීනමාන වසංගතය ඒ කාලයේම හඳුනාගෙන ඊට බේතක් අනාගාරික ධර්‌මපාලතුමා නියම කලේය. පඹයෙකු සදා, සුදුහුණු ගා, ගෙය ඉදිරිපිට තබා ඊට උදේ හවස පර සුද්දා-පර සුද්දා කියමින් පයින් ගහන ලෙස ඔහු කියා සිටියේ සුද්දාට අවමාන කිරීමට නොව සිංහලයාගේ හීනමානය අඩුකරවීමට ව‌ත්‌ සිතාය. චාල්ස් වෙනුවට චන්ද්‍රසිරි කියා නමක් මට දමා ඇත්තේ ඒ නිසාය. අන්දමන්ද වූ සමහරු දරුවන්ට සිංහල නමක් (ගමට-කුස්සියට) හා ඉංග්‍රීසි නමක් (රටට-කන්තෝරුවට) වශයෙන් නම් දෙකක් දැම්මේය.

චතුරාර්‍ය සත්‍යය
අස්ගිරි හාමුදුරුවරුන් මූලිකවී අතගසා ඇති ජාතික මෙහෙවර සාර්‍ථකව ඉදිරියට ගෙනයාමට හැකිවන්නේ රට අගාධයට (දුක) වැටී ඇත්තේ කුමක් නිසාද (දුකට හේතුව) කියා විමසා බැලීමෙනි. දුක නැති කිරීම නොහොත් මේ අගාධයෙන් ගොඩ ඒමට මඟක් තිබෙනවාද යන කාරණාවේදී දේශපාලකයින් මේ රටේ ජනයා රවට්ටනවාද, සමහර හාමුදුරුවරුත් දැන දැනම හෝ නොදැන ඔවුන්ට එකතුව සිටිනවාද යන්න කිසි පැකිලීමකින් තොරව විමසා බැලිය යුතුය (කෝට්ටේ රජ මහාවිහාරයේ ප්‍රධාන දායකයා ලෙස ප්‍රසිද්ධ කතෝලික දේශපාලකයෙකු පත්‌වූයේ කෙසේද?). මළ හෝ නොමළ දේශපාලකයින්ට සුදුහුණු නොගා අසත්‍ය හෝ අර්‌ධ සත්‍ය වෙනුවට මුළු කතාවම (ගුඩ්, බෑඩ් හා අග්ලි) ලිවිය යුතු යමෙකුට අපහාස කිරීමට නොව නොමඟ ගොස් සිටින මේ රටේ මහජනයාගේ යහපත උදෙසාය. උදාහරණයක් වශයෙන් බොදු බල සේනාව ලංකාවේ මුස්ලිම් ජනයාට හිරිහැර කරනවා යන වැරදි අදහස දලයි ලාමා, බිෂොප් ටු ටු, ඇමෙරිකන් ජනාධිපතිව සිටි ජිමී කාටර්ගේ සිට කළු සුද්දන්ගේ පවතින පාලන ක්‍රමයට නීතියට විරුද්ධව ගැටෙන ගමේ වීරයෙකුවන පාලිත තේවරප්පෙරුම මන්ත්‍රී දක්වාම පැතිර ඇත. මෙම ඩොලර් මතය ගාමිණී වියන්ගොඩ ප්‍රධාන පුරවැසි බලය නම් ඩොලර් නඩය විසින් දැනටමත් අස්ගිරි විප්ලවයටද පටවා ඇත්තේ මේ හාමුදුරුවරු තාමත් වැඩවසම් යුගයේ අදහස් දරණවා යයි කියමින් පස්සා දොරෙණි.
ලංකාවේ ඉතිහාස කථාව සුද්දන් හා කළු සුද්දන් අපට උගන්වා ඇති අන්දමට නොව මහජනයාගේ පැත්තෙන් විමසා බැලිය යුතුවන්නේ මෙවැනි ඩොලර් ජාල නිසාය. උදාහරණයක් වශයෙන් 2016 ජනවාරි 1 දා පොළොන්නරුවේදී සිරිසේන ජනාධිපතිතුමා මෙසේ කියා සිටියේය. [මම] රටට හොඳක් මිස නරකක් සිදු නොකර [මගේ] යුග මෙහෙවර හරිහැටි ඉටුකලා.  තවදුරටත් ඔහු කියා සිටියේ, ඩී එස් රට නිදහස් කර ගත්තා; බණ්ඩාරනායක බමුණු කුලය බිඳ දැම්මා; මැතිණිය පොදු සම්පත් ජනතා අයිතියට ලබාදුන්නා; ජේ ආර් බලය බෙදා හැරියා; ප්‍රේමදාස දුගී ජනතාව සමෘධිමත් කලා; මහින්ද යුද්ද්ධය අවසාන කර රටට සාමය  ලබාදුන්නා. රටේ දේශපාලකයින් පිළිඹඳ ඔහුගේ මේ ආකල්පය මේ රටේ මිනිසුන් පොදුවේ දරණ ආකල්පයට බොහෝසෙයින් සමානය. ඩඩ්ලි සේනානායක මහතා මේ රටේ ප්‍රජාතන්‌ත්‍රවාදයේ ප්‍රතිමූර්ථිය ලෙස සළකණ ඔවුන් 1962 කුමණ්ත්‍රනයට ඔහු සර් ජෝන් සමඟ හවුල්වූ බව නොදනී. මෙවැනි නොමඟයාම් බොහෝය. මීට වෙනස්‌ වන්නේ වික්ටර් අයිවන්ගේ චෞර රැජින යන පොත පමණය. එසේ නැත්නම් මගේ සැමියා නොමරා මැරුවේ ඇන් ඇම් යන බණ්ඩාරනායක මැතිණියගේ කියමනය. කළු සුද්දන්ගේම කොටස් වශයෙන් පෙඩරල් සිංහලයින්, ඊළම් දමිළයින්, හා මාක්ස්වාදීන් යන අනු කොටස් සිටී. මේ කොටස් වලට පටහැනිව ඉන්නා කොටස ලෙස අස්ගිරිය ප්‍රමුඛ හාමුදුරුවරුන් හා නිහඬ, නිදාසිටින, අවදි කලයුතු සිංහල බෞද්ධ බහුතරය සැළකිය හැකිය. රට ගැන දැනුමක් ඇති හෝ නැති සාමාන්‍ය ජනයා මේ නායකයින් සම්බ‌න්‌ධයෙන් දරණ ආකල්පය කුමක්ද? 

සිංහල නායකයින් රට විනාශ කිරීම
අඩුපාඩු, දුර්‍වලකම් නැති මිනිසුන් මේ ලෝකයේ නැත යන න්‍යාය ධර්‌මයට යට‌ත්‌ව, මේ රටේ දුක හා දුකට හේතුව සොයා යන අපක්‍ෂපාත (හා රීසනබල්) ගමනකදී, මෙවැනි උදෘත පාඨ රටේ යහපත හා රටේ සාමාන්‍ය ජනයාගේ පැත්තෙන් බලනවිට පිළිගත නොහැකිය. ලංකාවේ සිංහල දේශපාලන පක්‍ෂ නායකයින් රට ගැන හරි දැණුමක් හා දැකුමක් නොතිබුණු අයය. ඔවුන් ඓතිහාසිකව කල වැරදි දැන නොගෙන අදත් සිදුවන ඒ වැරදි හරියාකාරව වටහා ගැනීමට හෝ වැළැක්‌වීමට නොහැකිය. 1918-1923 දී සිට ලංකාවේ වර්‌ධනයවූ ඊළම් ව්‍යාපාරය නිමකල හැකිවූයේ තිස් අවුරුදු යුද්ධයකින් පසු 2009 මැයි 19 දාය (ඊළම් ව්‍යාපාරය 1956, 1976 හෝ 1983 දී ආරම්භවුණා කියා සිතන අය කෙතරම්ද?). ඊට හේතුව 1931 ට හෝ 1948 ට පසුව වත් අවංකව ක්‍රියාකල, හීනමානයක් නොතිබූ නායකයින් නොසිටීමය. මොවුන්ට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය අනුව යමින් දමිළ ඊළම්වාදයට සාධාරණ විසඳුමක් දිය නොහැකිවූයේ මේ හීනමානය නිසාය. ඊට සුදුසුකම් ඇති ආත්මාර්‍ථකාමි නොවූ නායකයෙක් නොවීමය.
1910-23: සිංහල කළු සුද්දන්ගෙන් ඊළම් දමිළයින් වෙන්‌වීම
සිරිසේන ජනාධිපතිතුමා භක්තියෙන් කතාකල ඉහත නම් සඳහන් වුණ හා නොවුණ නායකයින් සාමුහිකව ලංකාව කොට උඩ යවා අශීලාචාර කිරීමට වගකිව යුතුය. එය විස්තර කිරීමට යාම වෙනම පොතක් ලිවීමකි (ඉතිහාස මහාචාර්‍ය කිංස්ලි ද සිල්වා විසින් ලියන ලද ජේ ආර් ජයවර්‍ධන චරිතාපදානය කියවන විට කෙලින්ම හා එහි පේලි අතරින් මෙහිලා බොහෝ කරුණු එලියට පනී). ඉහත සඳහන් නායකයින් ඊළම් ගමන නැවැත්‌වීමට අසමත්‌වූ අයය. ඒ ඔවුන්ගේ වැරදි දර්‍ශනය හා වැරදි දැනුම නිසාය. අද වනවිට විදේශ නිලධාරීන් කොළඹ කන්තෝරුවල ඉඳගෙන යුුෙන්‌ඕ මාසික පඩි ලබමින් රට කැබලිකිරීමේ ව්‍යවස්ථා ලියන්නේ මේ නිසාය. ඩී එස් රටට නිදහස ලබාගත්තා කියන අය ඩී එස් රට එක්සත් කලා කියා කියනවා දැන් නොැසේ. ඔහු එක්සත් ජාතික පක්‍ෂය කියා එකක් ගැටගසා ගත්තේ 1923 සිට හිස ඔසවන ඊළම් විෂබීජය වැලලීමට මිස එය මැරීමට නොවේ. සුද්දන්ට එක්සත් චිත්‍රයක් මවා පෙන්නන්නටය. ඔහුගේ උපදේශකයින්‌ වූයේ හාමුදුරුවරු නොව ක්‍රිස්තියානි බලවේගය. අදත් මේ රටේ ඇති මූලික ගැටළුව මෙයය. අද සිදුවන්නේ කටින් බතලකොළ සිටුවීමය. ධර්මිෂ්ට සමාජය, ලිච්චවි පාලනය, සිංහල බෞද්ධ උරුමය රකිනවා වැනි කතාය. ඔබේසේකර-කුමාරසූරියර් පවුල් දෙක හරහා ලංකාවේ සිවිල් පාලනය ගෙනගිය සුද්දන්ට, 1910 වනවිට පිටරට ගොස් ඉගෙනගෙන ආ කරාව, දුරාව, සලාගම තරුණයින්ගේ තමන්ටද තැනක් ඉල්ලා කල පෙත්සම් සටනට සවන්‌දීමට සිදුවිය. ඒ වනවිට දේශපාලන නායකත්‌වය ගෙන සිටි කුමාරසූරියර් පවුල් මේ ඉල්ලීම් ඉදිරියේ චකිතයකට පත්‌වීමය. ඊට හේතුව රටේ චන්ද දායකයින්ගේ සංඛාව ක්‍රමයෙන් වැඩිවෙනවාත් සමඟම (ධනය හා උගත්කම යන සීමා වෙනුවට) සිංහල නියෝජිත සංඛ්‍යාවද වැඩිවීම නතරකල නොහැකිවීමය. 1832 සිට ආ සිංහල දෙමළ සම නියෝජනය දුන්නේ, සිංහල හා මලබාර් වැසියන් (1910 වනවිට දෙමළ කියා ජන සංගණනයට නම් කල) ලංකාවේ සම ආරම්භක ජාතීන්‌ නිසාය යන සිතුවිල්ල දෙදරා යාමය.  
1911 කොළඹ උගත් ලාංකික ආසනය සඳහාවූ චන්දයේදී කරාවේ සිංහල කළු සුද්දා පරදවා මැඩ්‍රාස්‌වල විශ්‍රාම සුවයෙන් සිටි පොන්නම්බලම් රාමනාදන් දිනීම ජයග්‍රහණයට යටින් තිබූ පරාජය පිළිඹඳ පෙරනිමිත්තක් විය. 1915 මුස්ලිම්-සිංහල කෝලාහලයේදී පොන්නම්බලම් සහෝදරයින් සිංහලයින්ටවූ අසාධාරණයට විරුද්ධව කතාකලත් මූලික අර්බුදය ඉන් වෙනස් නොවීය. රුවන්ඩාවේ ටුට්සි සුළුජන කොටසට හුතු මහජාතියට වඩා ඉහළින් සැළකුවා මෙන්, ඉන්දියාවේ හින්දු-මුස්ලිම් භේදයක් ගොඩනැඟුවා මෙන් ලංකාවේද දමිළ සුළුජන කොටස බෙදා පාලනයේ අංගයක් වශයෙන් නඟා සිටුවීමට සුදු ආණ්ඩුකාරයින් ක්‍රියාකලේය. ඕලන්දයින් යාපනේ දුම්කොළ වගාව කලා මෙන් ඉංග්‍රීසීන් විසින් වන්නි ප්‍රදේශයේ මලබාර් ජනයා පදිංචිකරවීම අසාර්‍ථකවූයේ මැලේරියා මදුරුවා නිසාය.

1924-49: කළු සුද්දන් හා දෙමළ රාජ්‍ය පක්‍ෂය
1832 දී ආරම්භවුණ ජාතීවාදී නියෝජන ක්‍රමය යටතේ ලංකාවේ නායකයින් ලෙස, සුද්දන්ගේ අනුග්‍රහය යටතේ පෙනී සිටි දමිළ නායකයින් (පොන්නම්බලම් අරුණාචලම්) 1919 දී ජාතික සංගමයක් පිහිටුවා ගෙන 1923 වනවිට ඉන් ඉවත්‌ව දෙමළ ජාතිවාදය ව්‍යාප්ත කිරීමට ක්‍රියාකළේ මෝඩ සිංහලයින් යටතේ සිටින්නේ කෙසේද යන ආකල්පය මතය. 1918 දී ඉන්දියා-ලංකා පෙඩරේෂන් එකක් සදන්නට යෝජනාකල අරුණාචලම් පොන්නම්බලම් මහතා, 1919 දී ආරම්භකල ලංකා ජාතික සංගමයෙන් 1921 දී අස්වී, 1923 දී ලංකා දෙමළ සමිතිය පිහිටුවා ගත්තේය. එහි අරමුණ ‌වූයේ, ලංකාව, දකුණු ඉන්දියාව හා අනිකුත් දෙමළ වැසියන් සිටින යටත් විජිත වල (මලයාව වැනි) දෙමළකම පණගැන්‌වීම, පැතිරවීම, එකමුතුකම හා සංවිධානය කිරීමය  (ඨෙ ඉඩෙ ඔෆ් අ පන්-Tඅමිලින් ස්ටටෙ- ටො කේප් අලිවෙ අන්ඩ් ප්‍රොපගටෙ ඨ්‍රොුඝොුට් Cඑය්ලොන්, Sඔඋඨෙර්න් Iන්ඩි අන්ඩ් ඨෙ Tඅමිල් චොලොනිෙස්, ඨෙ උනිොන් අන්ඩ් සොලිඩරිට්‍ය් ඔෆ් Tඅමිලකම්, ඨෙ Tඅමිල් ළන්ඩ්).
පසු කලෙක ජී ජී පොන්නම්බලම් මෙය එලිපිටම කියා සිටියේය. මෙසේ ජීවත්‌වෙනවාට වඩා තවදුරටත් සුද්දන් යටතේම සිටීමට ඔවුන්ට කැමති විය. ඉතිහාසය හා ජන සංඛ්‍යාව නිසා අත්‌වුන මේ දෙමළ හීනමානය සම මන්ත්‍රී නියෝජන ක්‍රමයක් මඟින් පුරවා ගැනීමට බැලීම ඔවුන්ගේ ඊළඟ උත්සාහය විය. ඔවුන් සමඟ ගණුදෙණු කල ක්‍රිස්තියානි සිංහල කළු සුද්දන්, සිංහල බෞද්ධයින් (හා දුප්පත් කතෝලිකයින්) ගැන කිසි තැකීමක් නොකොට ගිවිසුම් මඟින් මහජාතිය සුළුජාතිය හා සමාන කරන්නට එකඟවිය. පසු කලෙක ජී ජී පොන්නම්බලම් විසින් පනහට-පනහ ලෙස ඉදිරිපත්කලේ මෙයය.  
ලන්ඩන් ආණ්ඩුව අනුගමනය කලේ මීට වෙනස් ප්‍රතිපත්තියකි.  අවුරුදු සීයකට පසුව 1931 දී ජාතිවාදී නියෝජන ක්‍රමය අහෝසි කර, හැම කළු සුද්දෙක්ම විරුද්ධවූ සර්‍වජන චන්ද බලය රටට දීමෙන් රටේ විප්ලවයක් ඇති කිරීමට ලන්ඩන් සුද්දන් ක්‍රියාකලේය. සිංහල කළු සුද්දන් මෙහිදී හැසුරුණේ ආත්මාර්‍ථකාමි මෝඩ රැළක් ලෙසය. ඊළම්වාදය නිසි ආකාරයට හඳුනාගෙන එයට බෞද්ධ විසඳුමක් දීමට සිංහල ක්‍රිස්‌තියානි මන්ත්‍රීන්ට හෝ සිංහල අර්‌ධ බෞද්ධ (මව/පියා/භාර්‍ර්‍යාව ක්‍රිස්තියානි) මන්ත්‍රීන්ට හෝ දැනුමක්, දැකුමක් නොවීය. මේ වනවිට මේ ගිහියෝ හාමුදුරුවරුන්ව පිළිකන්නට තල්ලුකර දමා තිබුණි. ජාතික සංගමය සමග හවුල්ව ක්‍රියාකිරීමට අනාගාරික ධර්‌මපාලතුමා ගත් උත්සාහය නිෂ්ඵලබව එතුමාට ඉක්මණින්ම අවභොධවිය.

1940 ස් ගණන් වල, දෙවන ලෝක යුද්ධය කිට්ටුවන විට සිංහල කළු සුද්දන්ට අමතරව ලංකාවේ බලවේග හතරක් වත් තිබුණේය. එකක් නම් දමිළ ඊළම් ව්‍යාපාරයය. අනුරාධපුර පුරාවස්තු සංරක්‍ෂණය කිරීමට රජයේ මුදල් යෙදවීම දමිළයින්ට කල ඩිස්ක්‍රිමිනේෂන් එකක් යයි ජී ජී පොන්නම්බලම් සෝල්බරි කොමිෂමට කියා සිටීමෙන් මේ දෙමළ කළු සුද්දන්ගේ සැබෑ මුහුණ එලිවිය. යුරෝපයට ගොස් ණැන විකල් කරගෙන ලංකාවට ඇවිත් විකාර කල මාක්ස්වාදී බංගවේවා කළු සුද්දන් දෙවන කොටසය. ඊළඟට සිටියේ අතීත ලංකාවේ ගම-වැව-දාගැබ යන ත්‍රිත්‌වය අනුව යමින් රට ගොඩ නැඟීමට, යුරෝපීය පැරඩයිම් එක වෙනුවට බෞද්ධ සම්මුතිවාදය යොදාගෙන ක්‍රියාවෙන් එහි සාර්‍ථකත්‌වය පෙන්වා දුන් විද්‍යෝදය පිරිවෙනේ භික්‍ෂූන් ය. ධර්‌මපාල උපදේශය අනුව මෙසේ ක්‍රියාකල ප්‍රධාන නායකයා වූයේ කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන්‌ය. මීට අමතරව ගිහි සිංහල බෞද්ධ පිරිසක් අමධ්‍යප ව්‍යාපාරය, කොස් පැල සිටවීම, ගව ඝාතනයට විරුද්ධවීම, සමූපාකාරය, පුරාවස්තු රැකගැනීම වැනි ජාතික කටයුතුවල නිරතව සිටියේය. 
රජුගේ උපන් දිනයට ශ්ත්‍රොත්‍ර ගයන, ආණ්ඩුකාරයාට ආවඩන තැනක් යයි සැළකුණ විද්‍යෝදය පිරිවෙනේ මේ ගම්බද ක්‍රියාකලාපයට වෙනස්‌ව විද්‍යාලංකාර පිරිවෙන සමාජවාදී නාගරික දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කලේය. යක්කඩුවේ ප්‍රඥාරාම, වල්පොල රාහුල, බඹරැන්දේ සිරි සීවලී යන හාමුදුරුවරු මීට අයත්ව්‌ය. කළුකොඳයාවේ හාමුදුරුවන්ගේ ග්‍රාම ප්‍රතිසංස්කරණ හා අපරාධමර්‌දන ජාතික ව්‍යාපාරය කළු සුද්දන් විසින් බකල් කල අතර විද්‍යාලංකාරයෙන් ආ භික්‍ෂුවගේ උරුමය යන තර්‍ජනය, පොලිටිකල් මන්ක්ස්ලාගේ හාමුදුරුවරුන්ට නොගැලපෙන අනිසි ව්‍යාපාරයක් සේ හංවඩු ගසන්නට ඩී බී ජයතිලකත්, ඩී එස් සේනානායකත් ක්‍රියාකලේය. මොවුන් සිටියේ ක්‍රිස්තියානි බලවේග හා වෙලී සිටි සිංහල, දෙමළ කළු සුද්දන් අතරය.

පියෙක් නැති ජාතිය
හිට්ලර්‌ට විරුද්ධව චර්චිල්ට යුද අවි දෙන්නට ඇමෙරිකන් ජනාධිපති රුසවේල්ට් එකඟවූයේ යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය යටත් විජිත වලට නිදහස දෙනවා යන චර්චිල්ගේ පොරොන්‌දුව උඩ නිසා ලංකාවට නිදහස ලබාදීමට හිට්ලර්‌ද හවුල්වී ඇත. ඉන්දියාව අතහැර යාමට සිදුවන විට ලංකාව අල්ලාගෙන සිටීමේ වැඩක් නැතිබව සුද්දන්ට පෙනී ගියේය. මේ නිසා රට භාරදී යාමට සුදුසු කළු සුද්දෙක් සොයා ගතයුතු විය. සිංහල, පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි භාෂා දන්නා ඩී බී ජයතිලක වෙනුවට හතේ ශ්‍රේණිය දක්‌වා පාසැල් ගිය කැලෑ ජෝන් යයි කලින් නම්දරා සිටි ඩී එස් සේනානායකව ඉදිරියට ගත්තේ  ඒ නිසාය (මෙහිදී සඳහන් කලයුතු දෙයක් නම් මේට්ලන්ඩ් ආණ්ඩුකාරයා සිවිල් සේවකයින් වශයෙන් ගෙනාවේ අවුරුදු දොළහ දහතුනේ කොළුගැටයින් බවය). ජාතික නිදහස් ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටි ඔහුගේ වැඩිමහල් සහෝදරයා, එෆ් ආර් සේනානායක, අකාලයේ රටට අහිමිවිය. රටේ ශිෂ්ටාචාරය ගොඩනැඟූ සිංහල බෞද්ධයින්ට දුන් දඬුවම ලෙස සැළකිය හැකි 29 වගන්තිය, අයිවෝර් ජෙනිංන්ස් හරහා කලින් සැදූ අමාත්‍ය මණ්ඩල කෙටුම්පතට දැම්මේ ඩී එස් ය. ඉන් පසු අගමැතිවී, ආණ්ඩුව සරණං ගච්චාමි කියා ශික්‍ෂා පදයක් නැතැයි කියා බෞද්ධයින්ට අවඥාවෙන් ඔහු කතා කලේද ඔහුම ගෙනා මේ වගන්තිය යටතේය. රටේ ඉතිහාසය-භූගෝල විද්‍යාව ගැන හරි හමන් දැනුමක් ඔහුට නොවීය.
ඩී එස් වෙනුවට සර් ඩී බී ජයතිලක ලංකාවේ අගමැතිවුනා නම් ලංකාවේ ඉතිහාසය වෙනස් වන්නට තිබුණා යයි බලංගොඩ ආනන්දමෛත්‍රී නාහිමියන් වරෙක කියා තිබුණි. කළුකොඳයාවේ හාමුදුරුවන් රට වෙනුවෙන් කල සුළු ඉල්ලීමක්වත් ඉටු කිරීමට ශක්තියක් නොතිබූ (සහකාර පොලිස් අධිකාරී ඔස්මන්ඩ් ද සිල්වාට අවුරුදු කීපයකට ස්ථාන මාරුවක් නොදී කෑගල්ල පොලිස් දිස්ත්‍රික්කයේම ඉන්නට ඉඩදීමට දුන් පොරොන්‌දුව කඩකිරීම), 1943 දී ජේ ආර් මන්ත්‍රී වනතුරුම කැළණිය චන්ද කොට්ඨාශයට ඩිස්පැන්සරියක්වත් නොසෑදූ ඔහු ගැන මට යමක්  සිතාගත නොහැකිය. කැළණිය පන්සල ආශ්‍රයෙන් හැදුන නිසා මාක්ස්වාදීන් විසින් ඇබිත්තයා යයි කෑ ගැසූ ඔහුට විරුද්ධව බ්‍රේස්ගේඩල් සිද්ධියේදී සිටම සුදු පොලිස්පති හරහට සිටියේය. ඔහු ධර්‌මපාලතුමාටද විරුද්ධව සිටියේය. ඔහුටත්, ඔහුට පසු එන් කිව් ඩයස් හා ගුණපාල මලලසේකර යන අයටත් ජාතික ව්‍යාපාරයක් ගොඩ නැඟීමට නොහැකිවූයේ කුමක් නිසාද යන්න ලංකාවේ හා ලන්ඩනයේ ලේඛණාගාරවලට ගොස් පර්‍යේෂණ කලයුතු මාතෘකාවකි. මොවුන්ට කළු සුද්දන්ගේ බලය මැඩගෙන ඉදිරියට ඒමට නොහැකිවූ බවට උදාහරණයක් නම් අද වනතුරුවත් පේරාදෙණිය හෝ වෙනත් සරසවි ශාලාවක් ධර්‌මපාල ශාලාව කියා නම් කරන්නට කාටවත් නොසිතීමය. මේ බුද්ධාගමට ප්‍රමුඛත්‌වය දෙනවා කියන රටේ, දලයිලාමාට දළදා මාළිගා වැඳ ගැනීමට ඇවිත් යාමට දවස් දෙකකවත් වීසා නොදෙන්නේ කෙසේද? මේවා දේශපාලකයින් කරන ප්‍රොඩාවල් නොවේද?

ලංකාවේ අගනුවර අනුරාධපුරයට ගෙන යා යුතුයයි බෞද්ධ කොමිසන් සභා වාර්‍තාවෙන් 1955 දී කල නිර්දේශය මෙසේ බෞද්ධ දේශපාලන මාවතක් ගැනීමට කල උත්සාහයකට ඉතිහාසයෙන් නිදසුනකි.  දේශපාලනය කියන්නේ දේශය, පාලනය කිරීමටය. දේශය කියන්නේ රටේ භූමිය, භූගෝල විද්‍යාව ය. ඉතිහාසය කියන්නේ රටක අතීත භූගෝල විද්‍යාවට ය. රටේ අගනුවර අනුරාධපුරයට ගෙන යන්නට යෝජනා කිරීම රටේ ඉතිහාසයේ හා භූගෝල විද්‍යාවේ වටිනාකම හඳුනා ගැනීමකි. ලංකාවේ පාර්ලිමේන්තුව (අගනුවර?) කොළඹ සිට සැතපුම් දහයක් ඈතට, ගොඩකරන ලද වගුරු බිම් ප්‍රදේශයකට ගෙන යෑම, බෞද්ධයින් විසින් 1955 දී කල යෝජනාවට, 1979 (1982) දී ලංකාවේ කළු සුද්දන් විසින් කරන ලද සරදමක් නොවේ ද? මෙම සිද්ධිය ලංකාව ගිය හා දැන් යන වැරදි මාවත පිළිඹදව කදිම නිදසුනකි. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දැන් නිරන්තරව සිදුවන ගංවතුරු මෙම වගුරු බිම් ගොඩ කිරිමේ එක් අහිතකර ඍජු ප්‍රතිඵලයක් පමණය.

ඩී එස් ප්‍රමුඛ සිංහලයින් නියෝජනය කලේ සුද්දන්ට බටර්‌ගා හෝ කෙසේ හෝ ඔවුන්ගෙන් බලය තමන් අතට ලබාගන්නට ක්‍රියාකල කළු සුද්දන් පිරිසය. මේ වනවිට ඔවුන්ට තිබුණු භීතිය නම් ජී ජී පොන්නම්බලම්ලා විසින් ප්‍රශ්ණ ඇතිකර වැඩේ බකල් කරාවිය යන්නය. මේ දමිළ නායකයාගේ අසාධාරණ ඉල්ලීම් වලට ඩොනමෝර් හෝ සෝල්බරි කොමිෂන් සභා එකඟ නොවූ අතර එම වාර්‌තා කියවනවිට පෙනෙන්නේ ඔවුන් මේ ගැන සිංහලයින්ට කෙළින්ම හා වක්‍රව අනතුරු ඇඟවීම්ද කල බවය.  රටට නිදහස ලැබෙනවා යන්නෙන් අදහස් කරන්නේ, 1505 සිටම රටේ සිංහල බෞද්ධ ජනතාවට සිදුවූ හිංසා, කෲර වධ බන්‌ධන, සමූල ඝාතන, වෙනස්කම් කිරීම් වලට සහනයක් නොවේද කියා සිතුවා නම් 29 වගන්තිය වැන්නක් ඩී එස් විසින් ගේන්නේ නැත. ඊට හේතුව මහජාතියට කල අපරාධ ඉවත්කිරීම සුළු ජන වර්‍ගවලට වෙනස්කම් කිරීමක් නොවන නිසාය. ඩී එස් ගෙනා පුරවැසි පනතට 1951 දීත් බණ්ඩාරනායක රාජ්‍ය භාෂා පනතට 1964 දීත් මේ වගන්තිය හරහට සිටියේය. එහෙත් අද 2017 වනවිට පුරවැසිකම දීමේ කොන්දේසි තවත් තද කිරීමට ඇමෙරිකාවේ ජනාධිපති උත්සාහ කරමින් සිටී.

29 වගන්තියෙන් රටේ සිංහල ජාතිය පාවාදීම නිසා දෙමළ ඊළම් වාදය ඉවත් නොවන බවට හොඳම උදාහරණය නම් පුරවැසි පනතට පක්‍ෂව චන්දය දුන් ජී ජී පොන්නම්බලම්ව දෙමළ ද්‍රෝහියෙක් ලෙස චෙල්වනායගම් විසින් හංවඩු ගැසීමය. සිංහලයින් හා සහයෝගයෙන් වැඩකරන දමිළ දේශපාලකයින් දෙමළ ද්‍රෝහීන් ලෙස හැඳින්‌වීම මනෝගනේෂන් විසින් කරුණා අම්මන්ව ද්‍රෝහියෙක් ලෙස නම්කිරීම දක්වාම දිගටම පවතී. ත්‍රිකුණාමලය ඉන්දියාවටදී එකතුවීම, ටැමිල්නාඩ් (කලින් මැඩ්‍රාස් ප්‍රොවින්ස්) හින්දි-බ්‍රාහ්මණ විරෝධී වෙනම රටක් ව්‍යාපාරය හා හවුලේ ක්‍රියාකිරීම, දෙමළ රාජ්‍ය පක්‍ෂයක් 1949 දී සැදීම, හැම මහජන ව්‍යාපාරයක්ම (සර්‍වජන චන්දබලය, නිදහස් අධ්‍යාපනය, ගොවි ජනපද, වතු ජනසතුව යනාදී) තවත් සිංහලීකරණයක් ලෙස හෙලා දැකීම මැලේසියාවේ සිට හා මැඩ්‍රාස් සිට ආ ක්‍රිස්තියානින් පිරිසකගේ ක්‍රියාවක් මිස හින්දු දෙමළ ජනයාගේ මතයක් නොවන බව ක්‍රිස්තියානීන් හා බද්ද්ධවූ සිංහල නායකයින් දුටුවේ නැත. මේ නිසා පිළිකාවකට කෑම දෙනවාසේ චෙල්වනායගම්ගේ පිට කසන්නට ඔවුන් ක්‍රියාකලේය. දැනට චුට්ටක්, පස්සේ ගොඩක් යන උපක්‍රමය ඔහුගේ උපක්‍රමය විය. මේ මාර්‍ගය අද වනවිට කෙතරම් උඩුදුවා ගොස් දැයි පේන්නේ 2017 අගෝස්තු 6 වනවිට විග්නේෂ්වරන් කියන්නේ බුදු හාමුදුරුවන්ටත් කලින් දෙමළ ජනයා ලංකාවේ සිටි බවත්, උතුරේ හා නැඟෙනහිර දැන් තිබෙන බෞද්ධ නටබුන් අතීතයේ බෞද්ධයින්ව සිටි (පසුව ආපසු හින්දු ආගමට ගිය) දමිළයින්ගේ වැඩය කියාය (කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය). 

සිංහල බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් දෙමළ ඊළම් අර්බුදය දෙස නොබැලීමේ දුක 1957 හා 1965 බණ්ඩාරනායක හා ඩඩ්ලි සේනානායක ගිවිසුම් වලින් පෙනේ. ලංකාවේ උතුරු හා නැඟෙනහිර පලාත් වල දෙමළ නිජභූමියක් තිබේයයි කියන පිරිසකට ඒ පලාත් වල ඉඩම් බලතල දීමට එකඟවන මෝඩයින් කවුද? ඩඩ්ලි ගිවිසුම අනුව උතුරු නැඟෙනහිර ජනාවාස ඉඩම් දීමේදී එම ප්‍රදේශයේ ඉන්නා දෙමළ නොවන ජනයාට ඉඩම් දෙන්නේ, මුලින්ම ප්‍රදේශයේ හා පලාතේ ඉන්නා දෙමළ අයැදුම්කරුවන්ට ප්‍රමුඛතාවය දී ඉන්පසු ලංකාව පුරාම ඉන්නා දෙමළ ජාතික ඉල්ලුම් කරුවන්ටද ඉඩම්දිමෙන්ද පසුව තවත් ඉඩම් කට්ටි ඉතුරු වුනොත්‌ය! 1987 දී ජේ ආර් නම් රාජිව් ගාන්ධිගේ හිරකාරයාට සිදුවූයේ නිජභූමි කතාව වක්‍රව 13 සංශොධනයට ඇතුළු කිරීමටය. මහාචාර්‍ය තෙන්නකෝන් විමලානන්ද විසින් ඩඩ්ලිට 1965 කාලයේදී වතුකරයේ ඩී එම් කේ හා කල්ලතෝනි ව්‍යාපාරය ගැන අනතුරු ඇඟවූවත් බලයේ කෑදරකම රටට වඩා ඩඩ්ලිට වැදගත් විය. එහෙත් ඔහුගේ චන්ද පෝස්ටර්‍වල තිබුණේ සක්‌විති රජකම ලැබුණත් රට පාවා නොදෙමි කියාය. ඒ කාලයේ ත්‍රිකුණාමළ ප්‍රදේශයේ සිංහල ජනයා පදිංචි කරවූයේ ජාතිය ගැන සිතූ ආර් ජී සේනානායක මහතාය. අද ඊළම් සටන ගෙනියන්නේ රනිල්-චන්ද්‍රිකා-මෛත්‍රීපාල තුන්කට්ටුව ප්‍රමුඛව විදේශ ආධාර හරහාය. අද වනවිට රට දෙකඩ කිරීමෙන් ඔබ්බට ගිය රට කැබලි කිරීමේ ව්‍යාපාරයක් කෙරීගෙන යයි. මාක්ස්වාදීන්, ක්‍රිස්තියානීන් හා පෙඩරල්-ඊළම්කාරයින් එය භාරව සිටී (ලංකාව කැබලිකිරීම යන ලිපිය බලන්න).

යුරෝපීකරණයවූ හීනමානය
චෙල්වනායගම් කොසොවෝ ආකාරයේ විසඳුමක් ගැන 1950ස් ගණන්වල කතා කලේය. ලක්‍ෂ්‌මන් වික්‍රමසිංහ නම් පූජකවරයෙක් ඔහුව සැළකුවේ ටැමිල්ස්ලාගේ මෝසස් ලෙසය. මාක්ස්වාදීන් මෙන් ඩී එස්, දුටුගැමුණු රජතුමා ගඩොල් මෝඩයෙක් යයි නොකිව්වත් රටේ හාමුදුරුවරුන්ගේ අදහස් ඔහු ගණන් ගත්තේ නැත. ඔහු අන්ධානුකරණයෙන් කොපිකලේ බටහිර ඇඳුම් හා බටහිර මතය. අද වනවිට ලංකාව කැබලිකරන්නට යන අය කොපි කරන්නේත් නන්මැජෝරිටේරියන් ඉන්ස්ටිටියුෂන් නම් සුළු ජන වර්‍ග මහජාතියෙන් සුරැකීමේ උපක්‍රමය. උදාහරණයක් වශයෙන් ලංකාවේ දෙමළ හා මුස්ලිම් උපජනාධිපතිලා දෙන්නෙක් සිටිය යුතුයයි කියන යෝජනාව සඳහන් කල හැකිය. ඉන් ඔබ්බට ගොස් මොවුන් දකුණු සුඩාන් කියා රටක් කඩාදී අද සිදුවී ඇති මහා විනාශයට උත්තර දෙන්නට කෙනෙක් නැත. අළුත් රටේ තෙල් ටික නම් පිටරටට ඇදී යයි.
1832 සිට 1931 තෙක් අවුරුදු සීයක් පුරා තිබූ ජාතිවාදී නියෝජිතවාදී ක්‍රමයක්, 1931 සිට 1947 වැනි කෙටි කාලයක් තුල හදිසියේම ප්‍රජාතන්ත්‍රවාදී, ජාතිවාදී නොවන නියෝජිත ක්‍රමයකට පෙරලෙන්නේ නැත.  මේ බව පේරාදෙණියේ සිට ආචාර්‍ය උපාධිය සඳහා පර්‍යේෂණයක් කල ඉංග්‍රීසි ජාතික ජේන් රසල් විසින් ඩොනමෝර් යුගයේ ජාතිවාදී දේශපාලනය නම් පොතේ සවිස්තරව පෙන්වාදී ඇත. ඩොනමෝර් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීන්ලාවූයේ, ස්වල්ප දෙනෙක් හැර, ලංකාවේ සිටි, තේ, රබර්, පොල් වතු, පතල්, රේන්ද, කොන්ත්‍රාත්, වෙළදාම්, බිස්නස් යනාදියෙන් ධනවත්‌වූ කැඩිච්ච සිංහල කතාකල කළු සුද්දන් පිරිසක්‌ය. දෙමළ මැත් ප්‍රොපෙසර් සී සුන්දරලිංගම්ගේ සේවය ලබාගෙන තනිකර සිංහල අමාත්‍ය මණ්ඩලයක් පවා සැදූ මොවුන් ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ප්‍රතික්‍ෂේපකර ගල උඩ සිටි බලලුන්සේ වුන දෙමළ ඊළම්කාරයින්ට අනුකම්පාවෙන් සැළකුවේ නැත. උතුරේ ඇති උග්‍ර කුලභේදය නිසා පීඩාවිඳින, දෙමළ දේශපාලනයෙන් ඉවත්කර ඇති දෙමළ ජනයා ගැන සිතුවේ නැත. ඉංග්‍රීසීන් ගොඩනැඟූ ආනයන-අපනයන විවෘත ආර්ථික ක්‍රමය, කොළඹට සීමාවූ දියුණුව, ඉංග්‍රීසි කතාකරණ හා ඉංග්‍රිසි බැරි යන ලංකා දෙක යන මේ මහජන ප්‍රශ්ණ ඔවුන්ට වැදගත් නොවීය.
මේ සියල්ලටම වඩා මේ මහජන ප්‍රශ්ණ වලට රටේ ඉතිහාසයෙන් හා භූගෝල විද්‍යාවෙන් කදිම විසඳුමක් සොයාගෙන සාර්‍ථක ලෙස එය රටේ ක්‍රියාත්මකකල ජාතික ව්‍යාපාරයට සහාය දෙනවා වෙනුවට එය කඩාකප්පල්කර දැමීම සමාව දිය නොහැකි ජාතික අපරාධයකි.ප්‍රඥාශෙඛර මහනාහිමියන් විසින් 1933 දී හේවාගම් කෝරළයෙන් ආරම්භ කරන ග්‍රාමාරක්‍ෂක හා අපරාධ මර්‍දන ව්‍යාපාරය ය (ස්වයංලිඛිත ශ්‍රීප්‍රඥාශෙඛර චරිතාපදානය, 1970, 282 පිටුව) අක්බාර් විනිශ්චයකාරතුමා, තරුණ සහකාර පොලිස් සුපිරින්ටැන්ඩන්ට් ඔස්මන්ඩ් ද සිල්වා හා දෙමළ ජන කොටස්, ගම්මුලාදෑනීන්, විදානaාරච්චිලා ද හවුල් කරවා ගෙන ඇති කල මෙම ව්‍යාපාරය විශේෂ කරුණු 99 ක් කෙරෙහි අවධානය යොමු කලේය.  “පරලොවටම සීමා නොවූ ධර්‍මදේශනාක්‍රමයක් රටට අත්‍යාවශ්‍යක බව” උන්වහන්සේගේ අදහස විය (283 පිටුව). 1935 දී පිහිටුවූ මාක්ස්වාදී සමසමාජ පක්‍ෂය ද මෙම ව්‍යාපාරයට සහයෝගයක් දුන්නේ නැත.

 
අනාගාරික ධර්‌මපාලතුමාගේ උපදේශයවූ, භික්‍ෂූන් පන්සලෙන් එලියට බැස මහජනයාට සේවය කලයුතුය යන්න අනුව යමින් ආරම්භවූ මේ ව්‍යාපාරයට ස්වදේශ කටයුතු භාර ඇමති සර් ඩී බී ජයතිලක මැදිහත් නොවූවේ මක්නිසාද? සුදු හා කළු සුදු නිලධාරීන් ඉදිරියේ ඔහු අසරණවූ නිසාද? (කළුකොඳයාවේ නාහිමි පිළිඹඳ ලිපිය බලන්න).  ඩී එස් සේනානායකගේ වියලි කලාපයේ මහාපරිමාණ ජනාවාසවලට වඩා රටපුරාම ගම්මානවලට සුදුසු වූයේ මේ සුළුපරිමාණ ව්‍යාපාරයය. ඩොනමෝර් කොමිෂම ඔවුන්ට පුරුදු එංගලන්තයේ කවුන්ටි කවුන්සිල් ක්‍රමයට අනුව යමින් යෝජනාකල  දිස්ත්‍රික් සභා අදහසවත් ක්‍රියාත්මක නොකිරීමට බණ්ඩාරනායක පලාත් පාලනය භාර ඇමති තීරණය කලේ කුමක් නිසාද? ගම් සභා සම්මේලන මිස කළුකොඳයාවේ හිමියන්ගේ ව්‍යාපාරයට ඔහු උදව් නොකලේ ඇයි? මාක්ස්වාදීන් මැලේරියා ලෙඩ්ඩුන්ට කුළුබඩු ගෙනගියා මිස හාමුදුරුවරුන්ගේ මේ ජනතාවාදී ව්‍යාපාරය ගැන නොසිතුවේය. මේ සියල්ලන්ම කළු සුද්දෝ නොවේද? මහජන සුබසෙත උදෙසාවූ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් සඳහා කැපවීමෙන් ක්‍රියාකලේ කන්නන්ගර මහතා පමණය. ඔහුවද චන්දයෙන් පරාජය කර දමන ලදී. 

මේ දේශපාලකයින් ඒ කාලයේ කලේ රට ගැන නොව තමන් ගැන සිතා කල විනාශය. ඩී බී ජයතිලකව පෙන්ෂන් යැවීම හා පසුව බණ්ඩාරනායකව එලවා ගැනීමට සර් ජෝන්ව යොදවාගෙන ඉන් පසු පුතාට අගමැතිකම ලැබෙන්නට පාර දැමීම ඩී එස් ගේ නූල් සුත්තරේ විය. මේවායේදී සර් ඔලිවර් ගුණතිලක හා ට්‍රොස්කිවාදයෙන් දෑවැදිවාදයට ගිය එස්මන්ඩ් වික්‍රමසිංහ යටින් සිටි කළු සුද්දන් විය. අද වනවිට ලංකාවේ සිදුවන්නේද පුද්ගලික වාසි, පලි ගැනීම් මත මහින්ද, චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රීපාල වැනි අය රට කැබලි කිරීම නොවේද? අස්ගිරි ව්‍යාපාරයට සම්බන්‌ධ හැම හාමුදුරුනමක් හා ගිහියෙක්ම කළුකොඳයාවේ හාමුදුරුවන්ගේ ස්වයංචරිතාපදානය කියවියයුතු මේ නිසාය. අද රටට ඇති එකම පිළියම ජන සභා සංකල්පය ක්‍රියාවට නංවා සිංහල දෙමළ හා මුස්ලිම් ජනයාව ගම් මට්ටමින් බලවත් කිරීමය. පක්‍ෂ දේශපාලකයා වෙනුවට රටේ වියතුන්ද හවුල්වන ආකාරයකට මහජනයාට ස්වයංපාලන බලතල දීමය. මේ සම්බන්‌ධයෙන් සීතා අරඹේපොල නම් විශේෂඥ වෛද්‍යවරිය දුන් අනඟි කතාවක් යූ-ටියුබ් (වියත් මඟ, 2017 වාර්ෂික සමුළුව) එකේ ඇත. 

අස්ගිරි ව්‍යායාමය සාර්‍ථක කරගත හැකිවන්නේ, රතු, නිල් හෝ කොල දේශපාලන පක්‍ෂවලට නොගෑවුණ ස්වාධීන මහජන දේශපාලන ව්‍යාපාරයක් සඳහා ගිහියන්ට මඟ පෙන්‌වීමෙන් පමණය. එහිදී මහජනයා ඉදිරියේ තැබිය යුත්තේ (සටන් පාඨය, මැතිවරණ ප්‍රකාශණය විය යුත්තේ), 1832 කෝල්බ්‍ර‌ැක් සුත්‍රයේ සිට මේ දක්‌වාම මේ රටේ පවතින කළු සුද්දන්ගේ පාලන රාමු ක්‍රමය (කොළඹ පැරඩයිම් එක) වෙනුවට, බෞද්ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති, සම්මුතිවාදී ප්‍රජාතන්ත්‍රවාදය, නූතන විද්‍යාව හා පරිසර විද්‍යාව, සැමට සමාන අවස්ථා ලබාදීමේ නීති හා ලෝකල් ස්වයංපාලනය (ස්මෝල් ඊස් බියුටිෆුල්) ගමට ගෙන එන, ජන සභා සංකල්පය ක්‍රියාවට නංවනවා යන්නය. 1987 දී ජේ ආර් විසින් පත්කල ඉඩම් කොමිෂම් (සැසි වා‌‌‌ර්‌තා අංක 3-1990) වාර්‌තාවේ නිර්දේශකල අන්‌දමට, රටේ පරිපාලන ඒකකවල මායිම් ගංඟා නිම්න අනුව සකස් කරන බවය. ඒ මඟින් තිරසර සංවර්‌ධනයට අදාල ඉලක්ක හා ජනවර්‍ග අතර සහජීවන ලඟාකර ගන්නා බවය. 1948 සිටම ලංකාවේ තිබෙන්නේ භූමීය (ලොකේෂන්) වශයෙන් ජනයා මුහුණදෙන විෂමතා (ස්පේෂියල් ඉනික්‌විටීස්) මිස හිතා මතාම  ජන වර්‍ග වලට විෂම ලෙස සැළකීමේ (රේෂියල් ඩිස්ක්‍රිමිනේෂන්) ක්‍රියාවලියක් නොවේ. අඟුනකොලපැලැස්සේ හෝ මොනරාගල සිටින සිංහල, මුස්ලිම් හා දෙමළ ජනයා මුහුණ දෙන්නේ එකම ප්‍රශ්ණවලටය (එහෙත් දැන් 13-ඒ සංශොධනය යටතේ පෙනීයන්නේ මඩකලපුවේ ඉන්නා සිංහලයින්ට ජාතිය අනුවත් උතුරේ ඉන්නා බෞද්ධයින්ට ආගම අනුවත් වෙනස්කම් කරණ බවය). 

යම් යම් පරිපාලනමය අඩුලුහුඬුකම් හැරෙනවිට ලංකාවේ දෙමළ හෝ වෙනත් සුළු ජනවර්‍ග වලට පමණක් බලපාන්නාවූ ප්‍රශ්න ලංකාවේ නැත. ටැමිල්නාඩ් දෙමළ ජනයාටවත් නැති අයිතිවාසිකම් ලංකාවේ දෙමළ ජනයාට ඇත. ලංකාවේ පවතින්නේ ජාතිවාදී ප්‍රශ්නයක් නොව රටේ පොදුවේ විසිරී ඇති ආර්ථික හා සමාජීය විෂමතා පිළිඹඳ ප්‍රශ්නයකි. “කොළඹට කිරි අපිට කැකිරි” කියා 1971 ජේ වී පී කැරැල්ලේදී කියවුන මෙය “ගිව් අස් වට් කලම්බු ගෙට්ස්” යනුවෙන් දෙමළ ත්‍රස්තවාදියෙක්ව සිටි කරුණා අම්මාන් විසින් 2006 දී විසින් නැවත සඳහන් කරන ලදී.  උඩරට ගැමි පුනරුත්ථාපන කොමිෂම හෝ නොයෙක් බෞද්ධ කොමිෂන් සභා විසින් යුරෝපීය පාලන කාලයේදී ජාතියට හා ආගමට සිදුකල අයථා හානි නිවැරදි කිරීමද මීටම ඇතුලත් කල යුතුවන්නේ මහජාතියට කල අසාධාරණකම් ඉවත්කිරීම සුළුජාතීන්ට හානි කිරීමක් නොවන නිසාය.

තමන් මහළු වනවිට දූදරුවන්ට තැනක් පාදාදීමට සිතන දේශපාලකයින්ට කොළඹ පාලන ක්‍රම රාමුවෙන් (කලම්බු පැරඩ්‍යිම්) ගැලවීමට හැකියාවක් නැත. 1832 සිට මේ රටේ පවතින පලාත් නවයේ බෙදීම කොළඹ ක්‍රමයේ හදවතය. කොළඹ ක්‍රමය දෙමළ ඊළම් බෙදුම්වාදයේ ඔක්‍ෂිජන් නලයය. මෙම කොළඹ ක්‍රමය ඉවත් කිරීමේ මූලික පියවර වන්නේ 13 වන සංශොධනය ඉවත්කිරීමය. එසේ කර උගත් පාඩම් හා සංහිඳියා කොමිෂමද නිර්දේශකර ඇති ආකාරයට ගම් මට්ටමින් ජනතාවට බලය පැවරීම “කරුණා පැරඩයිම්” කියා හැඳින්‌විය හැක්කේ දෙමල බෙදුම් වාදය ජීවිකාව කරගත් දෙමළ පිරිසක් වෙනුවට දෙමළ ජනතාවට ‘”නිදහසේ”  තමන්ගේ පුද්ගලික අවශ්‍යතා හා පොදු අපේක්‍ෂා, රට දෙකට කැඩීයාමේ අනතුරකින් තොරව ඉටුකරගැනීමට ඉන් අවකාශයක් ලැබෙන නිසාය. ඉන්දියාව, ඇමෙරිකාව හා යුරෝපා සංගමය විසින් දෙන්නට කියන හරියාකාර, සැබෑ බලය බෙදාහැරීම (මීනින්ෆුල් ඩෙවොලූෂන්) එයය. එසේ නැතිව 13-ඒ පාරේ අළුත් ව්‍යවස්ථාවකට යනවා කියන්නේ සුඩානයෙන් දකුණු සුඩාන් කියා රටක් සදා කර ඇති විනාශය ලංකාවටද කර, උතුරේ පඹයින් ගෙන් ත්‍රිකුණාමළය ලබාගැනීමත්, දේශ සීමා ගැටුම් ඇතිකර, දැන් නවගුණවැල් ගණිමින් බණ මඩුවල ඉන්නා වයසක උපාසක උපාසිකාවන්ට ඔවුන්ගෙන් පසුව සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයක් රටේ නැති කිරීමත්‌ය. 

මෙවැනි පැරඩයිම් වෙනසක් කිරීමට ඇති ලොකුම බාධාව දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් හෝ ඇමෙරිකාව හෝ ඉන්දියාව නොව, 13 වන සංශොධනය යටතේ බලවත්‌ව, ධනවත්‌ව, වැජඹෙන දකුණු පලාත් සභා හතට සම්බන්‌ධ කොටස් හා අළුත් චන්ද ක්‍රමයෙන් රැකී සිටින ජාවාරම් කාරයින්ගෙන්‌ය. ගම් මට්ටමින් බලය පැවරීම කල යුත්තේ පක්‍ෂ දේශපාලනයෙන් තොරව තෝරාගන්නා 12 දෙනෙකුගෙන් සමන්‌විත ජන සභාවකටය. මෙවැනි ක්‍රමයක් යටතේ දැනට ලංකාවේ පවතින නොයෙක් ආකාරයේ, මිනිසුන්ගේ දෛනික ජීවිත ප්‍රශ්නවලින් සියේට 70 ක් පමණ නිරාකරණය කරගත හැකිය. ශාරියා අර්බුදය හා ගංවතුර, නායයාම් යනාදී දැවෙන ප්‍රශ්ණ වාෂ්පවී යනු ඇත.

ලංකාව කැබලි කිරීමේ දෙමළ-ක්‍රිස්තියානි බෙදුම්වාදී ව්‍යාපාරයත්, ලංකාවේ සමාජ, ආර්ථික, සදාචාරාත්මක සාරධර්‍ම හා පරිපාලන කළමනාකරණ රටාව ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පැවතීමත්, සිංහල ජාතියට, විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ට හා දුප්පත් කතෝලිකයින්ට, මුහුණ දීමට සිදුවී ඇති ප්‍රධාන අනතුරු දෙකය. මාලදිවයින, ඇෆ්ඝනිස්ථානය, ඉන්දුනීසියාව යන රටවලට (හා කාෂ්මීරයට) අතීතයේදී සිදුවූවා මෙන් ලංකාව ද ඉස්ලාම් ෂාරියා රටක් කිරීමේ ව්‍යාපාරය තවමත් නිය පොත්තෙන් කඩා දැමිය හැකි ප්‍රමාණයේ පවතින තවත් අභියෝගයකි.

සුදු පාලකයින්ගේ වාසිය සඳහා 1832 දී පටන් ගත්, ලංකාවේ පරිසර භූගෝල විද්‍යාවට පටහැනි, කෘතිම මායිම් වලින් යුත් පලාත් නමයේ ක්‍රමය අහෝසි කර, අපේ දිවයින ප්‍රධාන ගංඟා නිම්න හතකට බෙදිය යුතුය. ආර් ප්‍රේමදාස මහතා විසින් නැණ විකල්ව 4,000 සිට 14,000 දක්වා වැඩි කල ග්‍රාම සේවා වසම්, මතු පිට හෝ භූගත ජලය ආශ්‍රයෙන් නිර්‌ණය කල මායිම් අනුව අළුතින් ස්ථාපිත කල යුතුය. පක්‍ෂ දේශපාලනයෙන් තොරව තෝරා පත් කර ගත් දොලොස් දෙනෙකුගෙන් යුත් ජන සභාවකට ඒවායේ සිවිල් පරිපාලනය භාර දිය යුතුය. ගම් මට්ටමින් ජනතාවට බලය පැවරිය යුතුයැයි උගත් පාඩම් හා සංහිඳියා කොමිසම කල නිර්දේශය මෙම ජන සභා තුලින් ක්‍රියාත්මක කල යුතුය. 

දිවයිනේ ලොකු කුඩා ගංඟා නිම්න 103 ක් හඳුනා ගෙන ඇති අතර, ගම් මට්ටමින් ජන සභාවල සිට පලාත් මට්ටමින් ප්‍රධාන ගංඟා නිම්න හතක් වශයෙන් බෙදෙන්නේ මෙම ගංඟා නිම්න 103 ය. මෙම ගංඟා නිම්න කලාප හත නම් යාල්පානම්, රජරට, දඹදෙණි, කැළණි‌, රෝහණ, මහවැලි හා දීඝවාපී ය (අංක — සිතියම බලන්න). මෙම අළුත් ගංඟා නිම්න “පලාත්” භූමි ප්‍රමාණයෙන් එක සමාන සේ වන අතර, සෑම පලාතකටම සාගර මූණතක් ඇත. දිය උල්පත, ඇල, ඔය, ක්‍රමයෙන් පහලට ගලා ගොස් ලොකු ගංඟා නිම්න හතක් වන අන්දමට, ජලය මුල් කර ගත් පරිසර නිර්‌ණායක අනුව මායිම් ඇති ජන සභා වලින් එම ගංඟා නිම්න හත සමන්‌විත වේ. 1987 දී ජේ ආර් ජනාධිපති විසින් පත්කල ඉඩම් කොමිෂම 1990 දී නිකුත් කල වාර්‌තාව නිර්දේශ කලේද මෙම සංකල්පයමය.

ගිනිගත්‌හේන පොලිසියේ වහලේ එක පැත්තට වැටෙන වැහි වතුර මහවැලි ගඟටත්, අනිත් පැත්තේ වතුර කැළණි ගඟටත් ගලා යනවා කියන්නේ මේ “ගංඟා නිම්න පලාත්” දෙකේ මායිම එතැනදී එම පොලිස් ඉඩමෙන් සළකුණු වෙන බවය. පාර්ලිමේන්තු චන්ද කොට්‌ඨාශ (හා අවශ්‍ය නම් දිස්ත්‍රික් මට්ටමේ සිවිල් පරිපාලන ඒකක ද) මෙම ජන සභා එකතුවකින් සමන්‌විත වේ. මෙසේ එක් “ගංඟානිම්න පලාතක” ජන සංඛ්‍යාව අනුව තීරණය වූ එක්තරා චන්ද කොට්‌ඨාශ ගණනක් (හා අවශ්‍ය නම් සිවිල් දිස්ත්‍රික් දෙක තුනක්) තිබිය හැකිය. වැදගත් කරුණ නම් මේ හැම ඒකකයකම මායිම් පරිසර/ස්වභාවධර්‍මයට එකඟ මායිම් වීමය. නිව්සීලන්තය එරට නීතියෙන් එය තීරණය කර ඇතිවාමෙන්, ලංකාවේ ද කුඩාම සිවිල් පාලන ඒකකයේ (ග්‍රම සේවක වසමේ හෙවත් ජන සභාවේ) පදනම පරිසරමය නිර්‌ණායක (ඉකොලොජිකල්) විය යුතුය.

ලෝකල් ගවර්න්මන්ට් රිෆෝම් කොමිසම (අභයවර්‍ධන කොමිසන් වාර්‌තාව) මගින් 1999 දී නිර්දේශ කලේද, 1988 දී කල විකාර ප්‍රාදේශීය සභා ක්‍රමය වෙනුවට ආපසු පරණ ගම් සභා ක්‍රමයට හා වෝඩ් චන්ද ක්‍රමයට යන ලෙසය. 1981 දී ගම් සභා 549 ක් හා වෝඩ් 7137 ක් විය. 2011 වනවිට මහ නගර සභා 23ක්, නගර සභා 41 ක් හා ප්‍රාදේශීය සභා 271 ක් විය. මේ හැම එකකම වෝඩ් මායිම් ග්‍රාම සේවා වසම් වල පරිසර (ඉකොලොජිකල්) මායිම් හා ගැලපිය යුතුය. මෙම ජන සභා පක්‍ෂ දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක වීමත් සමග පක්‍ෂ දේශපාලනය මත දුවන මෙම අකාර්‍යක්‍ෂම, දූෂිත, ලෝකල් ගවර්න්මන්ට් යුනිට් බොහොමයක්ම ක්‍රමයෙන් දියවී යාමට ඉඩ ඇත.

මෙසේ පරිසරාත්මක නිර්‌ණායක අනුව භූමීය කුඩා ඒකක වලට බෙදීම දැන් ලෝකය පුරාම පැතිරෙමින් පවතී. ඈත අතීතයේ සිටම මෙම දිවයින ගම-වැව-දාගැබ යන ත්‍රිත්‌වය මත රඳා පැවති සමාජයක් විය. සෑම ගමක්ම වැවක් ආශ්‍රයෙන් ගොඩ නැඟුණි. එය වැව් බැඳි රාජ්‍යයක් විය. 1990 ගණන් වලදී උඩ වලවේ නිම්නයෙන් හඳුනාගත්  ‘වැටිය’ යන සංකල්පය අනුව, වැසි කාලයේදී වැටියක් (බැම්මක්) බැඳ ගඟේ හෝ ඔයේ වතුර උඩට ඔසවා, උස් බිම ජලයෙන් යට කර, ආපසු එම ජලය පහලින් ගඟටම නැවත නැවත එකතු කරන වැටි වැල මෙම එතෙක් නොදැන සිටි  ත්‍රිත්‌වයේ තවත් මූලික ලක්‍ෂණයක් විය. මෙම වැටි වාරි ක්‍රමය අනුව පරිසරාත්මක ගම්මාන (ඉකෝ විලේජස්) රට පුරාම  විසිරී තිබිණි.  කලින් සිතා සිටියේ, මෙම වැටි, වියලි කලාපයේ ගංඟා ආශ්‍රිතව ඉදිකල සිය ගණන් කුඩා වැව් වල නටබුන් වු වැව් බැමි කියාය.  ගිරවෙක් මෙන් කඩ පාඩමින් ඒබ්‍රහම් සුමන්තිරන්ගේ මුඛයෙන් පිටවූයේ “නොබෙදුන එක්සත් රට තුල උපරිම බලය බෙදීම ක්‍රමය යටතේ” සහයෝගයෙන් ක්‍රියා කිරීමට කැමති බවය. මෙය රොබට් බ්ලේක් වැනි බටහිර ක්‍රිස්තියානි බලවේග කියන “නියමාකාරයටම බලය බෙදීම” (මීනින්ෆුල්) යන්න විග්‍රහ කිරීමකි. නමුත් සුමන්තිරන් වෙනත් මුඛයකින් ඒ කාලයේ කිව්වේ 2015 ජනවාරි සිට උතුර හා නැගෙනහිර එකතු කිරීමට සත්‍යක්ග්‍රහයක් අරඹා ‘සහයෝගය’ දෙන බවය. උතුර හා නැගෙනහිර එකතු කිරීමකට සිංහලයින් කැමති නොවන බව ඔහු හොඳින්ම දනී.  මොවුන්ට සද්භාවයක් නැත. බෙදුම් වාදය අතහැර දැම්මා යයි ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන දිවුරුම් පෙත්සම් ඒ කාලයේ හිට්ලර් අත්සන් කල ගිවිසුම් වගේ ය.

හසලක වීරයින් සමඟින්, ගෝඨාභය රාජපක්‍ෂ හා සරත් ෆොන්සේකා විසින් බේරාදුන් රට අධූරදර්ශී ලෙස ක්‍රියා කිරීම නිසා රාජපක්‍ෂ ජනාධිපතිතුමා විසින් නැවත යුද්ධ මාවතකට ඇදගෙන යනවා සේ පෙනේ. සර්‍වාගමික පූට්ටුව හා බහු ජාතික නාඩගම යන බටහිර ක්‍රිස්තියානි නව යටත් විජිත වාදී මත අනුගමනය කර වෙස්සන්තරලා වීමට ගිය පසු ගිය ජනාධිපතිලා දෙන්නෙක්ම සිරි සංඝබෝලා වී ඉතිහාස ගතවිය. තාමත් නියපොත්තෙන් කඩා දැමිය හැකි ෂාරියා විෂ පැලෑටියක් ද ඇත. 1978 න් පසුව ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින සිංහල බෞද්ධ සාර ධර්‍ම, ජාතක කතා ආශ්‍රයෙන් ගොඩ නැගුනාවූ ඉපැරණි ශිෂ්ටාචාරයක් රැක ගැනීමේ යුද්ධයක් ද ඇරඹීමට අවශ්‍යවී අත. මෙම සියළු යුද්ධ දිනා ගැනීම සඳහා බොහෝ දුරට සාර්‌ථක වන විසඳුමක් ජන සභා සංකල්පය ක්‍රියාවට නැගීම මගින් ලබා ගත හැකිය. එය එක ගලකින් කුරුල්ලන් කීප දෙනෙක්ම බිම දමා ගන්නවා යන කියමන වගේ ය.

දෙමළ බෙදුම් වාදය උඩුදුව ගිය තුවාලයක් බවට පත් කලේ සුද්දන් විසින් 1948 දී ලංකාව පවරා දී ගිය, ක්‍රිස්තියානීකරණය වූ, කොළඹ කළු සුදු පන්තිය විසින් ය. එය පසුව පිළිකාවක් වූයේ 1971 දී ලැබුණ අනතුරු අඟවීමක් තිබියදීත් සුද්දන් විසින් රට සූරා කෑමේ ක්‍රියාවලියේදී රටට උරුම කරදී ගිය පරිසර, සමාජීය හා ආර්ථික, මානව හා භූගෝලීය (භූමිය) විෂමතා, ජනයාට සමාන අවස්ථා අහිමිවීම යන ප්‍රශ්න විසදීමට කළු සුද්දන්ට ඕනෑකමක් නොතිබීම හෝ හැකියාවක්, දක්‍ෂතාවයක් නොතිබීම හෝ විය හැකිය. දරිද්‍රතාවය, සමාන අවස්ථා නැතිවීම, ස්ථානගත උග්‍ර ජීවන විෂමතා දෙමල ජනයාට පමණක් සීමාවූ ප්‍රශ්න නොවේ. කොළඹ සිටින සියේට 65 ක් වන දෙමල හා මුස්ලිම් ජන කොටස් ලංකාවේ සිටින පොහොසත්ම කොටස ය.

දෙමළ ජනයා වැඩිපුර ජීවත් වන්නේ දකුණේ පලාත් හතේ විසිරී ය. ටැමිල් නාඩ් උවදුරු, කෙනෙහිලිකම් හා ලෝකයේ දෙමළ රටක් සදා ගැනීමේ දෙමල ව්‍යාපාරය ඉදිරියේ 13-ඒ යටතේ බලය බෙදීමට සිතීම සිංහල ජාතියේ ගෙල සිඳීමකි. ඊට හේතුව 13-ඒ මර උගුලට මූල වූ 1987 දී රජිව් හා ඩික්‍ෂිට් ජේ ආර් ලවා බලෙන් අත්සන් කරගත් “ගිවිසුමේ” ලංකාවේ උතුර හා නැගෙනහිර ඓතිහාසික දෙමළ ප්‍රදේශය කියා සඳහන් කර තිබීමය. නීතිය කියන්නේ බූරුවෙක් බව දෙමළ බෙදුම්වාදීන් හොඳින් තේරුම් ගෙන ඇත. ඓතිහාසිකව සිංහල බෞද්ධයින්ට සිදු කල හා 1948 න් පසුව සිදුවන හිරි හැර හා වෙනස් කම් ඉවත් කිරීම සෙසු සුළු ජන කොටස් වල මානව අයිතිවාසිකම් කඩ කිරීමක් නොවේ. මේ හේතුව උඩ වෙනම රටක් උදෙසා පාරක් කපා ගන්නට බැලීම අසාධාරණ වන්නේ දෙමල ජනයාට ලංකාවේ දී ලැබෙන වරප්‍රසාද ඔවුන්ට ඔවුන්ගේ නිජ භූමිය වන ටැමිල්නාඩ් වලදී වත් නොලැබෙන නිසාය.

යම් විධියකින් ලංකාව දෙකට (හෝ හත අටකට) කැඩූනොත්, ඉන්දියාවෙන් හා ලෝකයේ අනිත් රටවලින් ලංකාවේ අළුතින් පිහිටුවා ගත් ඊලම් රටට වක්කඩ කැඩුවා සේ ගලා එන, සංක්‍රමණික දෙමල ජනයා සමග, භූමි මායිම් හා ගංඟා ජලය සඳහා මරා ගන්නා දකුණු ආසියාවේ පලස්තීනයක් හා ඊශ්‍රායලයක් බිහිවනු ඇත. වීම යනු සිංහල බෞද්ධයාගේ මළබෙරය ගැසීම ය (ටැමිල්නාඩ් හා එය අවට ප්‍රාන්ත අතර මෙවැනි ‘යුද්ධ’ නිතර හටගනී). මෙවැනි පසු බිමක් යටතේ, සාකච්චා කර සමථයකට (කොම්ප්‍රොමයිස්) ඒමට නොහැකි නම් සිංගප්පූරුවේ ලී ක්වාන් ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට සිදුවන (2006 ජූලි 20 දා මාවිල් ආරු ඇනිකට් එකෙන් ඇරඹී-2009 මැයි 19 දා නන්දිකඩාල් වගුරෙන් අවසන් වූවා මෙන්), රීසනබල් (මධ්‍යම ප්‍රතිපදාව) විසඳුම කුමක්ද? 

එම විසඳුම නම් ඔවුන් වැඩියෙන් ඉන්නා බිම් ප්‍රදේශවල (ස්ථානවල-ලොකේෂන්ස්) ඔවුන්ගේ එදිනෙදා කටයුතු ඔවුන් කැමති ආකාරයට කරගෙන යාමට ඉඩ සලසා දීමය. වරක් කුමාර් පොන්නම්බලම් විසින් කොළඹදී පැවසූ පරිදි ඔවුන්ගේ පොදු අභිලාශ හා ප්‍රාර්‌ථනා සිංහලයින්ගේ අයිතිවාසිකම් හා නොගැටෙන තාක් දුරට ඒවා ශාක්ශාත් කර ගැනීමට ඉඩ දීම බෞද්ධ ආකල්පය විය යුතුය.  දෙමළ ජනයා රවටන බෙදුම්වාදී ටී එන් ඒ අතලොස්ස වෙනුවට, කෙලින්ම, දෙමළ ජනයාට, ඔවුන් බහුතරයක් සිටිනා ජන සභා ප්‍රදේශ වල තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යාමට බලය පවරා දීම, රොබට් බ්ලේක්, බෑන් කි මූන්, නවනීතන් පිල්ලේ, හිලරි ක්ලින්ටන්, සෝනියා ඝාන්ධි හෝ නරේන්ද්‍ර මෝඩි යනාදීන් බල කර දන්වා සිටින මීනින්ෆුල් (නියම වශයෙන්, ඇත්ත වශයෙන්ම) බලය බෙදා දීමකි (ඩිවොලූෂන්). ජන සභා යටතේ යම් ස්වෛරීභාවයක් දෙමළ ජනයාට ලැබෙන නමුත්, රට දෙකට කැඩීමේ සැඟවුන න්‍යාය පත්‍ර වලට ඉඩක් නැත.

බෞද්ධ දේශපාලනය – විසඳුම
මෙම විසඳුම ක්‍රියාවට නැගීම සඳහා ගතයුතු මූලික පියවරවල් කීපය මෙහි පහතින් දක්වා ඇත. සර්වෝදය සංවිධානය විසින් මීට සමාන ග්‍රාමෝදය සමිති ක්‍රමයක් බොහෝ ප්‍රදේශවල ක්‍රියාවට නගා ඇතැයි කියැවේ. ග්‍රාම රාජ්‍ය ක්‍රමයක් ඇති කල යුතුය යන යෝජනාව ලංකාවේ ගාන්ධි සංවිධානය විසින් ද දිගින් දිගටම යෝජනා කරමින් සිටී. බොහෝ දෙනෙක් නොදන්නා වැදගත් කරුණක් නම ගැමි දිරිය යනුවෙන් පක්‍ෂ දේශපාලනයෙන් තොරව (දේශපාලක ඇඟිලි ගැසීමෙන් තොරව) ගම් වල මිනිසුන් විසින් කෙලින්ම ක්‍රියාත්මක කල ව්‍යාපාරයක් රටේ පැතිරෙමින් තිබුණු බවත්, එය බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයා විසින් අහෝසිකර දමන ලද බවත් ය. මෙය උතුරේ දෙමළ ජනයා අතරටද ගෙන ගියා නම් මේ වන විට දෙමළ ජනයා බෙහෙවින් තෘප්තිමත් වීමට හොඳටම ඉඩ තිබුණි.

1. ලංකාවේ තිබුණු ග්‍රාම සේවක වසම් 4,000, ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් 14,000 දක්වා වැඩි කරන ලදී. මෙයට හේතුව කුමක්දැයි බුද්ධිමත් හේතුවක් වාර්‍තා වී නැත. මෙම ග්‍රාම සේවක වසම් පරිසරයට අනුකූල මායිම් වන මතුපිට හෝ භූගත ජලය මූලාශ්‍ර කරගත් අළුත් භූගෝලීය ඒකක වලට නැවත බෙදිය යුතුය. අළුත් ඒකක සංඛ්‍යාව 4,000 ට වැඩි හෝ අඩු විය හැකිය.

2. සෑම ජන සභාවකම ස්ථිර පර්‍යේෂණ ඒකකයක් පිහිටු විය යුතුය. මෙම පර්‍යේෂණ ඒකකය ජන සභා ප්‍රදේශයට අදාල දත්ත එකතු කර සංඛ්‍යා ලේඛන, සටහන් හා, සම්පත්, භූමි පරිභොගය, නායයන ප්‍රදේශ, ගංවතුරට යටවන ප්‍රදේශ, පරසර දූෂණය යනාදියට අදාල සිතියම් පිලියෙල කල යුතුය. මෙම දත්ත හා සිතියම් මධ්‍යම ආණ්ඩුවේ ජාතික ජන සභා පර්‍යේෂණ ඒකකය විසින් ප්‍රමිත කරන ලද ආකාරයට එකතු කර පරිගණක ගත කල යුතුය. මෙම දත්ත ජාතික භූමි පරිභොගය පෙන්වන නිතර අළුත් කල හැකි මහා පරිමාන ජාතික සිතියම් බවට පෙරලිය හැකි විය යුතුය. මෙවැනි සිතියම් පිලියෙල කිරීම එංගලන්තයේ ආරම්භ වූයේ 1930ස් 40 ස් ගණන් වලය. පාසැල් වල භූගෝල විද්‍යාව උගන්වන ගුරුවරු, ගුරුවරියන් හා ශිෂ්‍යයින් මෙයට හවුල් කරවා ගත යුතුය. ප්‍රභාකරන් විසින් ග්‍රාම සේවක වසම් මට්ටමෙන් මෙවැනි සිතියම් 2002 ට පසු පිළියෙල කෙරෙව්වේය.

මෙම ඒකකයේ නිලධාරීන් ඔවුන්ගේ එදිනෙදා පැමිණීම හා විනය කටයුතු (නිතරම ප්‍රමාදවී හෝ බීමත්‌ව වැඩට පැමිණීම?) සම්බන්ධයෙන් ජන සභා සභාපතිටත්, ජන සභාවටත් හා මාස දෙකකට වරක් කැඳවන ජන සභාවේ චන්ද දායකයින්ගේ සභාවටත් අනුක්‍රමයෙන් වගකිව යුතුය. 
ඔවුන්ගේ වෘත්තිය රාජකාරි සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු මධ්‍යම ආණ්ඩුවේ ජන සභා පර්‍යේෂණ අධ්‍යක්‍ෂක ජෙනරාල්ටය. ඔවුන්ගේ වෘත්තිය කටයුතු හෝ වගකීම පැහැර හැරීමක් සම්බන්ධයෙන් ජන සභාවේ සභාපති, ජන සභාව හෝ ජන සභා චන්ද දායක සභාවට යම් ප්‍රශ්නයක් මතු වුවහොත් එය ලිඛිතව අධ්‍යක්‍ෂක ජෙනරාල්ට වාර්‍තා කල යුතුය. 

පරිගණකවල හෝ වෙනත් බාහිර වාර්‍තා, සටහන් වෙනස් කිරීමේ බලයක් ජන සභා කමිටු සාමාජිකයින්ට නැත. පරිගණක දත්ත, සටහන් හා සිතියම් චන්ද දායකයින්ට විමසා දැක බලා ගැනීමට හැකි වනසේ ජන සභා කාර්‍ය්‍යාලයේ, මහජන පුස්තකාලයේ හා පාසැල් වල ප්‍රදර්‍ශනය කල යුතුය. ඕනෑම ජන සභාවකට වෙනත් ජන සභාවල දත්ත හා සිතියම් හා අනිකුත් තොරතුරු පරිගණකය මගින් දැක බලා ගත හැකි විය යුතුය.

3. පරිසර (ඉකොලොජිකල්) නිර්‌ණායක අනුව මායිම් කල එක් එක් ග්‍රාම සේවක වසමකම පක්‍ෂ දේශපාලනයෙන් තොරව තෝරා පත් කර ගත් දොලොස් දෙනෙකුගෙන් යුත් ජන සභා කමිටුවක් ස්ථාපිත කල යුතුය. චන්ද කොට්‌ඨාශය වන්නේ මුළු ග්‍රාම සේවක වසමය. අවුරුදු තුනක කාලයක් සඳහා පත් වෙන ජන සභාවේ සාමාජිකයින් හතර දෙනෙක් සෑම අවුරුද්දකදීම ඉන් ඉවත්‌විය යුතුය. ඔවුන්ට දෙවරක් පමනක් නැවත චන්දය ඉල්ලා සිටිය හැකිය.

4. ග්‍රාම සේවක වසම තුල ප්‍රතිපත්ති තීරණ ගැනීමේ බලය ඇත්තේ ජන සභාවට ය. ඉන්දියාවේ පංචයාති රාජ්‍ය නීතිය මෙන් ජන සභාවලට පවරන බලතල ලංකා ව්‍යවස්ථාවෙන් නියම කල යුතුය. උදාහරණයක් වශයෙන්, ජනසභා භූමි ප්‍රදේශය තුල සිදුවන ජනයාගේ එදිනෙදා ජීවිතයට බලපාන කාරණා වන, කෘෂිකර්‍මය, කර්‍මාන්ත, වානිජ කටයුතු, හෝටල්, මූලික සෞඛ්‍යය, සනීපාරක්‍ෂාව, ජල කළමනාකරµඅය, කැලි කසල, පරිසර දූෂණය, පස හා පරිසරය සුරැකීම, මූලික අධ්‍යාපනය යන දේ ජන සභාවේ කාර්‍ය්‍යවේ.

5. ස්වභාවික හෝ ආර්ථික හෝ අවශ්‍යතාවය අනුව එකිනෙකට මායිම් වන ජන සභා කීපයකට එකිනෙකාට පොදුවේ බලපාන තීරණ ගත හැකිවේ. ආගම, කුලය හෝ භාෂාව සම්බන්ධව කරුණු මීට ඇතුලත් නොවේ.

6. සෑම ජන සභාවකම සභාපතිලා ගෙන් දිස්ත්‍රික් හා/හෝ “ගංඟා නිම්න පලාතේ” ජන සභා මණ්ඩලය සැදේ.

7. ගංඟා නිම්න ජන සභා මණ්ඩල හත, එකකින් දහදෙනෙකු බැගින් ජාතික ජන සභා කවුන්සිලයට නියෝජිතයින් යවයි. ලංකාවේ සෙනේට් සභාවක් නැවත පිහිටු වන්නේ නම් එම සභාවට මෙම ජාතික ජන සභා කවුන්සිලයෙන් නියෝජිතයින් යවනු ඇත. ලංකාවේ පාර්ලිමේන්තුවටද මෙම නියෝජිතයින් යවනු ඇත.

8. පාර්ලිමේන්තුව, විධායක ජනාධිපති ධූරය, මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යංශ යන රාජ්‍ය පාලන ඒකක හා ජන සභා අතර ගණු දෙණු දැන් පවතින 13-ඒ  ජරමරය මෙන් නොව, රටේ තිරසර සංවර්‍ධනයට හේතුවන ආකාරයට තෝරා බේරා ගත යුතුය. ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්‍යාල ප්‍රදේශයක් තුල එම ප්‍රදේශයට අනුයුක්ත රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව, ග්‍රාම සේවක වසමක් තුල සිටින රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව අතිවිශාලය. මේ රජයේ පාසැල් ගුරු සංඛ්‍යාවට අමතරය. මොවුන් හැමදෙනාම ජන සභා හරහා මහජන සේවයට සම්බන්‌ධ කරගත යුතුය.

මෙහි ඉහතින් දක්වා ඇත්තේ මෙම විසඳුම ක්‍රියාවට නැගිය හැකි අන්දම ය. මෙම අදහස සාකච්චා කර, විග්‍රහ කර බැලිය යුතුය. මෙම විසඳුම බෞද්ධ සම්ප්‍රදාය හා එකඟවන විසඳුමකි. ඉතිහාසයේ මෙවැනි බෞද්ධ භික්‍ෂූ දේශපාලන ක්‍රියා එමට ඇත. 1805 පෙබරවාරි 27 දා නෝර්ත් ආණ්ඩුකාරයා ඔහුගේ මව් රටට දන්වා යැව්වේ භික්‍ෂූන් හා ගිහියන් අතර ඇති සම්බන්ධය නැතිකර දැමිය යුතු බවය. අස්ගිරි පාර්‍ශවය ප්‍රමුඛ ලංකාවේ සංඝ සභා දැන් ඉෂ්ට කරන්නේ රට ගලවා ගැනීමේ මෙම යුග කාරිය ය. මෙම විසඳුම් ක්‍රමය ලංකාවේ මහජනතාවට තේරුම් කරදීම ගමේ පන්සල් මගින් පක්‍ෂ දේශපාලනයෙන් තොරව ප්‍රචලිත කර මී ලඟ ජනාධිපති හා වෙනත් මැතිවරණ වල දී මෙයට ජනතා වරමක් ලබා ගත යුතුය. නැඟීගෙන එන තරුණ බුද්ධිමත් නායකයින් පිරිස දිරිගැන්‌වීමට ක්‍රමවේදයක් නොමැතිව අස්ගිරි නිවේදනය ඩොලර් බලයෙන් යටපත්‌වී  යනු ඇත.
ජන සභා සංකල්පය මිනිස් ස්වභාවය හා බැඳී ඇති ක්‍රියා දාමයකි. මිනිසා නමැති සතා තම කෙටි ජීවිත කාලය තුල දුරස්ථර ප්‍රදේශ හා අනාගත කාලය ගැන නොව ලඟ තොට හා අඩ හෙට (වත්මන් කාලය) ගැන අවධානය යොමු කරයි. ශීඝ්‍රයෙන් ගෝලිකරණය වීමත් සමග දක්නට ලැබෙන එක් ප්‍රවණතාවක් නම් මිනිසුන් තමන්ගේ අවට තදාසන්න ප්‍රදේශය, ගම, ටවුම, ගැන වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීමය. මේ නිසා බොහෝ කාලයක සිට පැවත එන ලෝකල් ගවර්න්මන්ට්, (යුරෝපා රටවල කවුන්ටි) යන අදහස දැන් කොමියුනිටි නේබර්හුඩ්ස් වශයෙන් විශේෂයෙන් බටහිර රටවල නගරවල විමධ්‍යගත වෙමින් පවතී. විශාල නගරවල මෙවැනි ජන සමාජ ඒකක විශාල සංඛ්‍යාවක් දැකිය හැකිය. මහා පරිමාණ (රාජ්‍ය හා පුද්ගලික කොම්පැනිවල) ව්‍යාපාර අසාර්‌ථක වීමට හේතුවක් වශයෙන්, පීපල් පාර්ටිසිපේසන්, කොමියුනිටි පාර්ටිසිපේසන් නොමැතිකම ඉස්මතු වීමත් සමඟ කුඩා ඒකක වල වැදගත්කම ලොව පුරාම පිළිගනිමින් පවතී.

‘ස්මෝල් ඊස් බියුටිෆුල්’ යනුවෙන් ෂූමාෂර් විසින් 1970 ගණන් වල ඉදිරිපත් කල ආර්ථික සංකල්පය, 1980 ගණන් වන විට ‘හියුමන් ස්කේල්’ යනුවෙන් කර්ක්පැට්‍රික් සේල් විසින් ඉදිරියට ගෙන යන ලද්දේ ද මෙම “අවුට් ඔෆ් සයිට්-අවුට් ඔෆ් මයින්ඩ්” යන මිනිස් ගතිය (ස්වභාවය) අනුවමය කියා සිතිය හැකිය. මෙසේ ලඟ, ආසන්න ප්‍රදේශයට සීමාවූ මිනිස් අවධාන පථයට, අනාදිමත් කාලයක සිට යම් මිනිස් සමාජ-භූමි ඒකකයක එක් රැස් වූ චාරිත්‍ර-වාරිත්‍ර, දැනුම් සම්භාරය (පීපල් කැපිටල්) අළුත් සාධකයක් වශයෙන් කරලියට පැමිණ ඇත.  මේ අනුව පාර්ටිසිපේසන් යන්න එම්පවර්‌මන්ට් වශයෙන් අළුතින් හඳුනා ගැනීමක් සිදුවී ඇත. නිලධාරීන් තමන්ගේ තීරණ වලට ගැමියන්ව හරවා ගන්නට තැත් කරනවා වෙනුවට ගැමියන් විසින්ම තමන්ගේ දැණුම් තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට යොදවා ගැනීම නියම වශයෙන් ගැමියන්ට බලය පැවරීමය. නිලධාරීන් විසින්, බටහිර, නූතන, මහා පරිමාණ ව්‍යාපාර හා අදහස් කලින් යටත් විජිතව තිබූ සමාජවලට බලෙන් පැටවීම එවැනි ව්‍යාපාර අසාර්‍ථක වන්නට ප්‍රධාන හේතුව බව එළිදරව්වීම මීට මූලික හේතුවක් විය. උදාහරණයක් වශයෙන් යුරෝපීය ක්‍රමයට ඉගෙන ගත් ලංකාවේ ඉංජිනේරුවන් අතීත වාරි කර්‍මාන්ත ගැනත්, දොස්තරලා ආයුර්වේදය ගැනත් සිතුවේ ඒවා “නොදියුණු” දේ කියාය.

මොන්ටෙස්කි විසින් ද කියා සිටියේ බලය බෙදා වෙන් කරන ලෙස නොව සමස්ත බලය උපරිම ඒකක සංඛ්‍යාවක් ඇති කර විසුරුවා හරින ලෙසය. මෙහිදී හොඳම නිදසුන නම් පෝප් ප්‍රධාන කරගත් කතෝලික පල්ලි සංවිධාන ක්‍රමය හා ලංකාවේ ගම් වල පන්සල් වල නායක හාමුදුරුවරුන්ගේ  ස්වෛරීභාවයය (ස්වාධිපත්‍යයය). පල්ලියේ පූජකතුමා කාර්ඩිනල්ගේ අණසකට යටත් ය. ව්‍යවස්ථාදායක හා විධායක බලය හා යම් අධිකරණ බලයක් සහිත කුඩා ඒකක විශාල ප්‍රමාණයක් ඇති කිරීම මොන්ටෙස්කිගේ අදහස විය. කුඩා ඒකක වලදී විශාල ඒකක වලදී මෙන් “පවර් කරප්ට්ස්, ඇබ්සොලියුට් පවර් කරප්ට්ස් ඇබ්සොලියුට්ලි” යන කතාවට ද එතරම් ශක්තියක් නොලැබේ. කුඩා ඒකක වලදී සම්මුති දේශපාලනයට ඇති අවකාශය වැඩිය. පංචයාත් අදහස අනුව පස් දෙනෙක් එකඟතාවයට ආ තැන දෙවියන් සිටී. කොල-නිල්-රතු වශයෙන් අන්‌ධයන්සේ බෙදී සිටින මිනිසුන්ට එවැනි එකඟතාවයකට එන ලෙස නීතියෙන් බලකර සිටීම මුල් අවස්ථාවලදී අවශ්‍ය විය හැකිය. අවුරුදු තිහක් පුරා යටි හිතේ කා වැදුණු මරණ බියකින් පෙලී සිටි ජනතාවක් අතිශයින් ආත්මාර්‍ථකාමී ලෙස හැසිරීම, මානසික වශයෙන් ඉවත් කිරීමට, සෑහෙන කාලයක් ගතවේ. කරුණාව, දයාව සමඟ බලය යොදා ගැනීමද අවශ්‍යය.

ලංකාව කුඩා දිවයිනක් වුවත් අධික ස්වාභාවික විවිධත්‌වයක් ඇති රටකි. (උඩරට ඇති ලිප්ටන්ගේ සීට් එකේ සිට බලන විට අහස පැහැදිලි දවසකදී ලංකාවේ හතර දිශාවෙන්ම මුහුද බලාගත හැකිය). බුල්ඩෝසර් දමා ඒවා සමතලා කර දැමීම නොව ඒවා රැක ගැනීම අපේ යුතුකමය, ගැලවීමය. ගංවතුර, නාය යාම් අපට කියා පාන්නේ මේ දුකය. මධ්‍යම කඳුකරයක සිට වටේට ගලනා ගංඟා ඇති මෙම දූපතේ කෘෂි-දේශගුණික (ඇග්‍රෝ-ක්ලයිමටික් සෝන්ස්) කලාප හතක් ඇත. දේශගුණය, පස, භූමි විෂමතාවය අනුව හඳුනාගත් කෘෂි-පරිසර කලාප 46 ක් ඇත. මෙම විවිධත්‌වය අප විසින් රැක ගත යුතුය. එය දේශීය හා විදේශීය සංචාරකයින්ට පෙන්වා දිය හැකි වස්තුවකි. ජන සභා ඒකක බෙදිය යුත්තේ මෙම විවිධත්‌වය රැකෙන ආකාරයටය. විශේෂයෙන්ම ලංකාවේ දෙවන අභියෝගය වන, සමාජ-ආර්ථික-සදාචාරාත්මක පරිහාණිය, ජයගත හැක්කේ තිරසර සංවර්‍ධනය නම් සංකල්පය ජන සභා මට්ටමෙන් ක්‍රියාවට නැගීමෙනි. ඇති-නැති පරතරය අඩු කිරීම, ගම හා කොළඹ අතර වෙනස මකා දැමීම (කොළඹට කිරි, අපිට කැකිරි, 1971 ජේ වී පී කැරැල්ල), ජනතාවට සමාන අවස්ථා ලබා දීම, රට ස්වයංපෝෂිත කිරීම, පරිසර දූෂණය හා ඊට සම්බන්‌ධ ලෙඩ රෝග, ගංවතුර, නියං, නාය යෑම් හා පාංශු ඛාදනය වැලැක්‌වීම, වනාන්තර සංරක්‍ෂණය, නීතිය සාමය විනය පවත්‌වා ගෙන යෑම යනාදී සියල්ලම තිරසර සවර්‍ධනය යන ත්‍රිකෝණයට–පරිසරය-සංවර්‍ධනය-මහජන යහපත–ඇතුලත් වේ. සම්පත් නාස්‌ති නොකිරීම යටතේ පුරා වස්තු රැක ගැනීම, දේශීය බෙහෙත් පැල රැක ගැනීම, දේශීය සම්ප්‍රදායික දැනුම සුරැකීමද වැදගත් ය. මහවැලි ව්‍යාපාරයටය කියා රට ජාතිය ඉතිහාසය ගැන නොදන්නා ඉංජිනේරු තරුණයින් අතීත වැව්, වාරිමාර්‍ග කඩා බිඳ කොන්ක්‍රීට් වලින් යට කර දැමීම තිරසර සංවර්‍ධනය නොවේ. තිර සර සංවර්‍ධනයකට ඇති බලවත්ම බාධකය නොනවත්‌වාම කළු සුද්දන් බිහි කරවන, යටත් විජිතව සිටි වෙනත් රටවල මෙන්ම ලංකාවේ ද බලය හා වරප්‍රසාද ලත් පන්තියකගේ උඩු හා යටි සිත් වල පැලපැදියන් වී ඇති, “යුරෝපීය දේ  ඉහලය යන හීන මානය ය.”

2 Responses to “ධර්මිෂ්ඨ විප්ලවය-සුද්දගෙ නීතිය අපට එපා -ගලගොඩ‌අත්තේ ඥානසාර හිමි (හෝමාගම උසාවිය, 2016 ජනවාරි 25) ”

  1. Senerath Says:

    “යුරෝපීය දේ ඉහලය යන හීන මානය ය.”

    (කට් එක ලැබෙන නිසා) ඉන්දියානු දේ නියමයි කියන බලු මානය අපේ දේසපාලුවන්ට වැලඳී ඇති අනික් රෝගයයි.

  2. Christie Says:

    Dear Chandrasiri:

    We are another Indian Colony. The British Empire was in fact was a British-Indian Empire. We Sinhalese suffer like the native Fijians, Creoles in Guyana and Mauritius.

    The British are gone. The Indian Colonial Parasites have not left.

    Idi Amin is the only person to kick out Indian Colonial Parasites out of Uganda.

    Mahatma Gandhi came to Jaffna and MalayNaudu 90 years ago and Modi came this year.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress