විද්‍යා පච්චයා දුක්ඛා?
Posted on September 10th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

අපේ අධ්‍යාපනය හරහා අපිට රස්සා හොයාගන්න පොටක් පාදලාදීලා තියෙනවා. ඉතින් උසස් පෙළ හරි උපාධිය හරි පාස්වුනාට පස්සේ මොකක් හරි ජරමරයක් කරලා අපි රස්සාවක් හොයාගන්නවා. අපිට ඉගැන්නුවා නම් රස්සාවලුත් දීපල්ලා” කියලා අපි ආණ්ඩුවටත් කියනවා. ඡන්ද නැති කරගන්න බයේ ආණ්ඩුවත් ඔය මොනව මොනවා හරි රස්සා ටිකක් හදලා අපේ එවුන් ව ඒවාට බඳවාගන්නවා. ඒ රස්සාවලින් රටටවත් මිනිස්සුන්ටවත් ඒ රස්සා කරන එවුන්ටවත් වැඩක් වෙනවා ද කියලා හිත හිතා ඉන්නේ කවුද?

ඉතින් අපේ කට්ටිය හැම දා ම උදේට ඇඳුමක් හොඳට මැදගෙන බත් මුලකුත් බැඳගෙන බස් එකක හරි කෝච්චියක හරි නැගලා රස්සාවට යනවා. පයින් ගිහිල්ලා රස්සාවක් කළොත් කිසි ලකයක් නෑ. ඉතින් ඈත ගම්වල ඉන්න එවුන් මහ පාරට එන්නේ බයිසිකලේක හරි මෝටර් සයිකලේක හරි නැගලා. ඒක පාර කිට්ටුව තියෙන මාමා” කෙනෙක් ගේ හරි අයියා” කෙනෙක් ගේ හරි ගෙදරක ගාල්කරනවා. ඔය දන්න කියන එකෙක් තමන් ගේ වත්තේ බයිසිකලයක් ගාල් කළා කියලා අපේ ගම්වල මාමාලා” අයියලා” සල්ලි ගන්නේ නෑ.

ඉතින් අපි රස්සාවට යනවා. බස් එකක එල්ලිලා යන අපිට සමහර වෙලාවට බස් එකකින් බස් එකකට එහෙමත් නැතිනම් කෝච්චියකට මාරුවෙන්නත් වෙනවා. නොදන්න මිනිස්සු විකාර කතා කිව්වාට මේක සෙල්ලමක් නෙවෙයි. හොඳ පණ යන වැඩක්. ඉතින් ඉර ගහන්න විනාඩියකට දෙකකට කලින් ඔෆිස් එකට රිංගාගන්න පුළුවන් වුනාට ගිය ගමන් ම වැඩ පටන්ගන්න පුළුවන්කමකුත් නෑ. මොකද අපි මේ කතාකරන්නේ ලේ මස් ඇට නහරවලින් හැදිච්ච මිනිස්සු ගැනනේ. හවස වැඩ ඇරුණාට පස්සේ මේ සෙල්ලම උදේටත් වඩා අමාරුයි. ඔෆිස් එක ඇරිච්ච ගමන් ම පණ කඩාගෙන දුවන්න ඕන. එක හුස්මට ගියේ නැතිනම් බස් එක හරි කෝච්චිය හරි අල්ලගන්න බෑ. ඉතින් ආපහු ගෙදර ගිහිල්ලා පහුවදාට ඕන කරන ඇඳුමක් මැදගන්නවා ඇරෙන්න වෙනත් දෙයක් කරන්න හිතකුත් නෑ. ඒත් එහෙම කියලා කොහොම ද? තව කොච්චරක් නම් දේවල් කරන්න තියෙනවා ද?

කවුරු මොනවා කිව්වාත් මේ විදිහේ රස්සාවක් නොකර පුළුවන් ද? මේ විදිහේ රස්සාවක් කරනවා නම් තමයි හොඳ කෙනෙක් – ඒ කියන්නේ මේ විදිහේ රස්සාවක් කරන තව කෙනෙක්; එක්ක කසාදයක් වුනත් කරගන්න පුළුවන්. හොඳට ඉහළට ඉගෙනගෙන ගමරාළ කෙනෙක් ව හරි ගම හාමිනේ කෙනෙක් ව හරි බැඳගන්න පුළුවන් කාට ද? අනිත් එක දැන් කාලේ කුඹුරු ගොවිතැන් කරන්නේ හරියකට ඉගෙනගත්තේ නැති එවුන්. දෙකයි එක්ස් එකතුකිරීම තුනයි වයි කියන්නේ මොකක් ද කියලා ඔය ගමරාළලාට හිතාගන්නවත් බෑ. එහෙම බැරිවෙච්ච හින්දානේ ඕකුන්ට සාමාන්‍ය පෙළවත් හරි හමන් විදිහට පාස්වෙන්න බැරිවුනේ.

ඉතින් රස්සාවක් නොකර බෑ. රස්සාවක් කරනවා නම් වැඩකරන ඔෆිස් එකෙන් හරි බැංකුවකින් හරි ණයක් ඇරගෙන පාරක් අයිනෙන් පර්චස් අටක් දහයක් ගන්න පුළුවන්. එහෙම තැනක ගෙයක් හදාගත්තොත් රස්සාවට යන්නත් ලේසියි. හදාගන්න ගෙදර පොළොවට ටයිල් ටිකක් අල්ලාගන්න ඕන. අඩු වියදම් සිවිලිමක් හරි ගහගන්න ඕන. පොඩියට හරි කාර් එකක් ගන්න ඕන. ණයක් තුරහක් වෙන්නේ නැතුව මේ වැඩ එකක් හරි කරන්න පුළුවන් ද? ඉතින් ඒ විදිහට ගන්න ණයක් වුනත් ගෙවන්න පුළුවන්වෙන්නේ මාස් පතා පඩි ලැබෙන මේ විදිහේ හරි හමන් රස්සාවක් තියෙනවා නම්.

මේක දුකක් තමයි. ඒත් මේ හැම දුකකින් ම මිදෙන්න පුළුවන් දරුවන්ට හොඳින් උගන්න ගත්තොත්. උන් ව හොඳ ඉස්කෝලෙකට නො දා ඒක කරන්න බෑ. ඉතින් ඒකට තියෙන හොඳ ම ක්‍රමය ළමයා ශිෂ්‍යත්වයෙන් පාස් කරවාගන්න එකනේ. උඩ බලාගෙන නිකම් ඉඳලා ළමයා ශිෂ්‍යත්වයෙන් පාස්කරන්න බෑ. ඒක මහා රේස් එකක්. ඉතින් ළමයින් ව පංති යවන්න ඕන. දේශනවලට යවන්න ඕන. පුළුවන් නම් ගුරුවරයෙක් ගෙදරට ගෙනැල්ලා හරි ළමයාට උගන්නන්න ඕන. යාළු මිත්‍රයෝ, නෑදෑයෝ රෙකමදාරු කරන පොත් පත්තර පවා ගෙනැල්ලා දෙන්න ඕන. ඒත් අපි මොන මහන්සිය ගත්තත් සමහර වෙලාවට විභාගය අමාරුකරනවා. තවත් සමහර වෙලාවට විභාගය ලේසියි. හැබැයි වෙලාව මදි. අපි ඒක දැන ගන්නෙත් යාළු මිත්‍රයන්ගෙන්. ප්‍රතිඵල ආව ම තමයි දන්නේ සමහර ළමයි පාස්. අනිත් ළමයි ෆේල්. එහෙම නැතුව ඉතින් වෙන කොහොම වෙන්න ද?

මොක වුනත් ළමයින්ට උගන්නන වැඩේ ඉස්සරහට ම කරගෙන යන්න ඕන. හොඳ ඉස්කෝලෙකට යවන්නේ ඒ ඉස්කෝලේ ගුරුවරු ළමයින්ට හොඳින් උගන්වයි කියන අදහසින් ම නෙවෙයි. ඒවා දිහා බලාගෙන ඉඳලා හරියන්නේ නෑ. සතියේ හැම දා ම ඉස්කෝලෙන් පස්සෙත් සෙනසුරාදාටත් ඉරිදාටත් ළමයින් ව ටියුෂන් යවන්න ඕන. විද්‍යාව කියන විෂයය ඉගෙනගන්න කණ්ඩායම් පංතියකට ළමයා යවන එක තමා වඩා හොඳ කියලා දන්න කියන අය කියන්නේ. ගණන්වලට නම් එහෙම කරලාත් බෑ. ඒ වැඩේ හරියට කරවාගන්න නම් ගුරුවරයෙක් ගෙදරට ම ගෙන්නගන්න ඕන. ඉතින් මේක හරි ජරමරයක්.

මහ එවුන් මොන සෙල්ලම දැම්මාත් ළමයින්ට – විශේෂයෙන් ම, පිරිමි ළමයින්ට; වගේ වගක් නෑ. කෙල්ලෝ නම් ටිකක් පාඩම්කරනවා. ගෙදර වැඩ කරනවා. ඒත් කොල්ලන් ගේ ඔළුවේ තියෙන්නේ වෙන බහුභූත. මේ ළඟ දී මේ ලේඛකයා තමන් හොඳින් දන්න කොලු ගැටයෙක් එක්ක කතාකළා. ඒ හාදයා තව මාස කීපයකින් සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න ඕන. ඒත් ඒකා කැමැති බ්ලැක් මෙටල් කියලා නම් කරලා තියෙන සංගීතයක් උදේ හවස අහන්න. බ්ලැක් මෙටල් කියන්නේ නොර්වේ වගේ ඈත රටවල්වලින් අපේ රටට ආපු සංගීත ක්‍රමයක්. ඒ සංගීත කණ්ඩායම්වල ඩ්‍රම්ස් ගහන එවුන් විනාඩියට පහර 300 ක් විතර වෙන වේගයකින් තමයි ඩ්‍රම් එකට තඩි බාන්නේ. ගිටාර් එක වුනත් ගහන්නේ කණ කීස්ගාන විදිහට. ඉතින් මේවා අහන්න පටන්ගන්න එවුන්ට ටික කාලයක් යද්දී ඒක නැතුව බැරි දෙයක් බවට පත්වෙනවා. හරියට ම කියනවා නම් කුඩු ගැහුවා වගේ තමයි. මේ කියපු හාදයාට වුනත් එහෙමයි. පොතක් බල බලා හිටියත් ඔළුවේ තියෙන්නේ බ්ලැක් මෙටල්. ඉතින් විනාඩි පහෙන් පහට පොඩි ෂොට් එකක් ගහනවා වගේ මේ හාදයා සැරෙන් සැරේට නැගිටලා ගිහිල්ලා හෙඩ් සෙට් එක කණේ ගහගන්නවා.

දෙමව්පියෝ කොහොම ද දන්නේ මේ මඟුල්? උන් පුරුදු විදිහට එළිවෙන්න පැය දෙක තුනකට කලින් නැගිටලා ළමයින්ටත් බත් මාළුපිණි තම්බලා තියලා සල්ලි හොයන්න පුරුදු විදිහට රස්සාවට දුවනවා. ඒ විතරක් නෙවෙයි. ඉස්සර වගේ දැන් කාලේ ළමයි බස් එකේ ඉස්කෝලේ යවන්නත් බෑ. දැන් රට හුඟක් දියුණුවෙලා හින්දා ළමයෙක් කොහොම ද තනියෙන් පාරේ යවන්නේ? ඉතින් ඉස්කූල් වෑන් එකටත් සල්ලි දෙන්න ඕන. ඉස්කූල් වෑන්කාරයා නිවාඩු කාලෙට පවා සල්ලි ගන්නවානේ. කොහොම කොහොම හරි ළමයා සාමාන්‍ය පෙළ පාස් කරගත්තොත් ඊ ළඟට එන්නේ උසස් පෙළ රේස් එක. ඒ වැඩේ දී නම් ඒකායන මාර්ගය තමයි ළමයා ව බයෝ සයන්ස් කරන්න යොමු කරවලා කොහොම හරි දොස්තර කෙනෙක් කරන්න බලන එක. ඒ මග හැර ‍වෙනත් සරණක් කොයින් ද?

දොස්තර කෙනෙක් වුනත් ළමයා දවල් රෑ නැතුව දුක් විඳියි. මොකද ඉස්පිරිතාලේ රස්සාව විතරක් කරලා ඒකාට හරි හමන් විදිහට ජීවත්වෙන්න බැහැනේ. ඉතින් ඒකා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න ඕන. තව පුළුවන් තරම් සෙල්ලම් දාන්න ඕන. ඒ කොහොම වුනත් ළමයා දොස්තර කෙනෙක් කරන අරමුණ අත්හරින්න හොඳ නෑ. මේ රටේ බැරි නම් බංගලිදේශයට යවලා හරි ළමයා ව දොස්තර කෙනෙක් කරන්න පුළුවන්. මේක තමයි එක ම මග. නත්ථි මෙ සරණං අඤ්ඤං!

කොහොම වුනත් හැම එකෙක්ට ම දොස්තරලා වෙන්න බෑ. ඉතින් එහෙම වුනොත් තියෙන එක ම විකල්පය තමයි කන්තෝරුවක රස්සාවකට යවන එක. ඒක ඉතින් තමන් කරන කන්තෝරු රස්සාවට ඉහළ එකක් වුනොත් හොඳයි. එතකොට ළමයාට බැරිවෙච්ච දේ මුණුපුරාලා හරි කරයි. ඉතින් ඇතුළේ ගම්වල ඉඳලා පාරේ අයිනේ පදංචියට ආපු දෙමව්පියන් ගේ ළමයි ලොකු මහත්වුනාට පස්සේ රස්සා හොයාගෙන කොළඹ කිට්ටුව පදිංචියට යනවා. හතර වටේට ණයවෙලා කොළඹ කිට්ටුව තට්ටු දෙකට ගෙවල් හදාගන්නවා. ඒත් හරියට ජීවත්වෙන්න නම් ඕස්ට්‍රේලියාවට හරි කැනඩාවට හරි ඇමෙරිකාවට හරි යන්න ඕන. ඒක තමයි දැන් කාලේ ඉන්න අපි සෑහෙන දෙනෙක්ට ලබාගන්න පුළුවන් ඉහළ ම මාර්ග ඵලය!

ගම් අත ඇරලා පාරවල් අයිනේ පදිංචියට ආපු එවුන් නාකිවෙද්දි තනිවෙනවා. තටු ආවට පස්සේ පොඩි එවුන් ඉගිල්ලිලා යන එක නවත්තන්න බෑ. දැන් පොඩි එකා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. අපිට දඹදිව යන්නත් සල්ලි එව්වානේ. කොහොම කොහොම හරි ළමයින්ට උගන්නගත්ත එක ලොකු දෙයක්.” ඉතින් තනිවුනා කියලා දුකක් නෑ. අහල පහළ එවුන් එක්ක කියන්න කතාවක් තියෙනවා. තව ටිකක් බැරිවුනොත් වැඩට කවුරු හරි හොයාගන්න බැරියෑ. ළමයි සල්ලි එවනවානේ. වැඩේ තියෙන්නේ දැන් අපේ ගම්වල සල්ලියක් දීලා වැඩක් කරගන්නවත් එකෙක් නෑනේ. මෙහෙම ගියොත් ඉතින් රටින් තමයි ගෙවල්වල වැඩකරන එවුන් ගෙන්න ගන්න වෙන්නේ.” ඉතින් ගෙදරක වැඩට එකෙක් හොයාගන්න බැරි ව නාකි එවුන් තවත් තනිවෙනවා. මෙහෙම ප්‍රශ්න තිබුණා කියලා ළමයින්ට කරදර කරන්නත් බැහැනේ. මොකද උන් රස්සා කරගන්න ඕන. ළමයින්ට උගන්නගන්න ඕන.

ඉතින් දැන් අපි කරන්න ඕන මොකක් ද? ආදාහනාගාරේ පයයි පාරේ අයිනේ පයයි තියාගෙන අපි ටිකක් හිතමු. ඉගෙනගන්න ඉගෙනගන්න අපි ගමෙන් පාරටත් පාරෙන් නගරයටත් එතැනින් කොළඹටත් අන්තිමේ දී රටිනුත් යන්නේ ඇයි? ඉගෙනගන්න එවුන්ගෙන් ටික දෙනෙක් හරි ගමේ ම තියාගන්න ක්‍රමයක් ගැන අපිට හිතන්න බැරි ද? අපේ අධ්‍යාපනය ක්‍රමය ඒකට ගැලපෙන විදිහට හදාගන්න බැරි ද?

වරුණ චන්ද්‍රකීර්ති

3 Responses to “විද්‍යා පච්චයා දුක්ඛා?”

  1. Senerath Says:

    මේක තමයි අයිසේ ඕනෑම රටක ජීවිතේ සිංදුව​. මේකට තමයි අපේ බුදුහාමුදුරුවො කිවුවේ දුක කියලා. විද්‍යා පච්චයා දුක්ඛා වෙන්නේ නෑ . අවිජ්ජා පච්චයා සංඛාරා … ආදී වශයෙන් .. දුක්ඛ දෝමනස්ස ඇතිවන්නට හේතුව පැහැදිලි කලා. මේවා විහිලුවට ගන්න එපා.

  2. Christie Says:

    බන්ඩට පින්වෙන්න අපේ ගමේ උන්නම් ඉගෙනගත්තෙ නැහැ. ඉන් ඔක්කොම රට. සවුදියෙ. කටාර්, මැද පෙරදිග. උනුත් හුඟක් කරන්නෙ ඔය කනදාවට, ඔට්ටෙලියාවට, අමරිකාවට ගිය හුඟක් අයකරන වැඩතමයි. උන්ගෙ මහ උනුත්

  3. Christie Says:

    බුදුහාමුදුරුවො කිව්වෙ මැද මග හා සන්සාරය ගැන.

    සමහරු දුක විතරයි බදා ගන්නෙ. පොඩි ජොලියකුත් දැම්මොත් නරකද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress