දන්ත චිකිත්සකවරියන්‍
Posted on September 15th, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

අපගේ විද්‍යාලයේ දන්ත ශල්‍යාගාරයක් හෙවත් ඩෙන්ටල් එකක් තිබුනේය​. මෙම ඩෙන්ටල් එකේ සේවය කලේ දන්ත චිකිත්සකවරියන්‍ ය​. ඔවුන් අති විශාල සේවාවක් පාසල් ළමා ප්‍රජාව උදෙසා කළහ​. අහේතුවකට මෙන් ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය සේවය ඉතා කුහක ලෙස මේ දන්ත චිකිත්සකවරියන්‍ විසින් දශක ගනනාවක් පුරා කල අනගි සේවය ගැන කතා නොකරති. සත්‍ය වශයෙන්ම මේ දන්ත චිකිත්සකවරියන්‍ අපගේ මෙන්ම අපට ඉහත පරම්පරාවේ දන්ත සෞඛ්‍ය රැක ගැනීම සඳහා අතිශයන්ම දායක වූහ​. 

හලාවත රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන විටදී මම සෙනසුරාදා දින වල උදෑසන විශේෂඥ දන්ත වෛද්‍ය ගාමිනී නවරත්න මහතා ගේ රෝගීන් නිර්වින්දනය කලෙමි. මෙම රෝගීන් අතර පාසල් දරුවන් යම් ප්‍රමාණයක් ද වූ අතර ඔවුන් ගේ දත් බෙහෙවින්ම දිරා තිබුනේය​. මේ ළමුන්ට දන්ත වෛද්‍ය පහසුකම් ලැබී තිබුනේ නැත​. මේ ළමුන් සමග බැලීමේදී අප වාසනාවන්ත වූයෙමු. අපට පාසලේදී නිති පතා දන්ත වෛද්‍ය පහසුකම් ලැබුණි. දන්ත චිකිත්සකවරියන්‍ අපට ප්‍රතිකාර නොකරන්නට අපගේ දත්ද නරක් වී යාමේ ඉඩ ප්‍රස්ථාව තිබුණි. මේ නිසා අප මෙම දන්ත චිකිත්සකවරියන්‍ට නය ගැති වන්නෙමු. 

අපගේ ඩෙන්ටල් එකේ සේවය කල දන්ත චිකිත්සකවරියන්‍ ළමුන්ට අතිශයින්ම  කරුණාවන්ත වූහ​. සත්‍ය වශයෙන් කියන්නේ නම් මේ දන්ත චිකිත්සකවරියන්‍ පාසලේ බොහොමයක් ගුරුවරියන්ට වඩා ළමුන්ට ආදරය සෙනෙහස පෙන්වූහ​. දත් පිරවීමේදී හා ගැලවීමේදී ඉතා ඉවසිලිවන්ත වෙමින් ආදරයෙන් කරුණාවෙන් කතා කොට ළමුන් ගේ බිය පහ කළහ​. ළමුන් මේ දන්ත චිකිත්සකවරියන්‍ට කතා කලේ ඇන්ටි කියාය​. 

පාසලේ දන්ත චිකිත්සක සේවය කෙරුනේ ඉතා ක්‍රමාණුකූලවය​. ප්‍රාථමිකයේ සිටි සෑම ළමයෙකුටම රෝස පැහැති කාඩ් එකක් තිබුනේය​. සෑම මාස 4 -6 වරක් අපගේ දත් පරික්‍ෂාව කරන ලදි. මෙම පරික්‍ෂාව කෙරුනේ අපූරු ලෙසටය​. මුලින්ම ඩෙන්ටල් එකට එන්නට කියා ළමුන් තුන් හතර දෙනෙකුට පණිවිඩ ලැබෙයි. ඔවුන් ඩෙන්ටල් එකට ගිය විට දන්ත චිකිත්සකවරිය ඉතා ආදරයෙන් කරුණාවෙන් කතා කොට දත් බලන්නීය​. දත් පිරවීම් අවශ්‍ය විටදී දත් පුරවන යන්තරය කකුලෙන් පාගමින් දත් පුරවන්නීය​. මෙම දත් පිරවීම වේදනාත්මකය​. ළමුන් නිබඳවම දඟලති. එහෙත් මේ ඉවසිලිවන්ත දන්ත චිකිත්සකවරියන් ළමුන්ට වේදනාව අවම වන ලෙසින් දත් පිරවීම කරති. 

දත් පිරවීම සිදු කිරීමෙන් පසු තවත් ළමුන් දෙතුන් දෙනෙකුගේ කාඩ් දත් පිරවූ ළමුන් අතට දී පන්ති වලට ගොස් ඔවුනට දෙන්න කියා කියති. එවිට ළමුන් අදාල පන්ති වලට ගොස් ගුරුවරියගේ අතට මෙම රෝස පැහැති කාඩ් දෙති . ගුරුවරිය කාඩ් එකේ නම බලා දත් පරික්‍ෂාව අවශ්‍ය කෙරෙන ළමුන්ට වහාම දන්ත චිකිත්සාගාරයට යන්නට කියා කියති. මෙලෙස එක් දිනකදී දන්ත චිකිත්සකවරියක් ළමුන් බොහෝ ගනනක් පරික්‍ෂා කරති. අපගේ දන්ත චිකිත්සාගාරයට අවට පාසල් වල ළමුන් ද ආවෝය​. මෙම ළමුන් ද චිකිත්සකවරියන් පරික්‍ෂා කළහ​. ඇත්ත වශයෙන් මෙම දන්ත චිකිත්සකවරියන් ඉතා කැප වීමෙන් මහන්සිවී තම සේවය කල බව කිව යුතුය​. 

සමහර අවස්ථා වලදී දන්ත චිකිත්සකවරියන් නරක් වූ දත් ඇති ළමුන් ගේ දත්  ගලවති. ඊට පෙර වේදනා නාශක ඉන් ජෙක්‍ෂන් එකක් ගසනු ලැබේ. ඉන් පසු අඞුවකින් දත අල්ලා ගලවා දමනු ලබයි. දත ගලවන විට තවත් දන්ත චිකිත්සකවරියක් මෙන්ම  ළමයෙකුගේ අම්මා කෙනෙක් කොල්ලාව අල්ලාගෙන සිටින්නේ ඔහු දැඟලීම වලක්වනු සඳහාය​. වේදනාවෙන් සහ භීතියෙන් මොර දෙන කොල්ලාට සැනසිලි වදන් කියන දන්ත චිකිත්සකවරිය අඞුවෙන් දත ගලවා එය බෙලෙක් කෝප්පයකට දමන්නීය​. එවිට අවශේශ කොල්ලෝ ලේ සහ කෙල වලින් සපිරි එම කෝප්පය දෙස ඈතින් සිට බලති. දත ගැලවූ පසු කොල්ලා සන්සුන් වෙයි. දත ගැලවූ ස්ථානයට පුළුන් ගුලියක් තබන දන්ත චිකිත්සකවරිය කොල්ලාට තම මුදල් වලින් සත දහයක් දෙන්නේ අයිස් ක්‍රීම් එකක් කෑමටය​. 

නාලන්දේ ඩෙන්ටල් එකේ සිටි දන්ත චිකිත්සකවරියන්‍ අතරින් පර්ල් ඇන්ටි මට සිහිපත් වෙයි. ඇය ඉතා කාරුණික තැනැත්තියකි.  පර්ල් ඇන්ටි  දත් පුරවන විට මම ඇය අසල සිටියෙමි. ඇය මට දත් විදින කටු බහාලන හිස් ප්ලාස්ටික් කොපු දෙන්නීය​. මේවා එකතු කරගෙන ගෙදර යන මම ඉන් පසු මේ ප්ලාස්ටික් කොපු වලින් සෙල්ලම් කරමි. සමහර විට වැඩ කිරීම නිසා වෙහෙසවී සිටින පර්ල් ඇන්ටි වතුර උණු කොට තේ එකක් බොන්නීය. පර්ල් ඇන්ටි තේ බොන විට මටද හකුරු කෑල්ලක් ලැබෙයි. 

වරක් 1974 වසරේ දෙකේ පන්තියේ සිටින විට මම පාසැලෙන් පසුව අපගේ පන්ති පසුපස භූමියට ගොස් තාප්පයෙන් එහා පාරට වැටෙන සේ ගල් ගැසුවෙමි. මට මේ ක්‍රියාව ඉගැන්වූයේ සරත්න රත්න හෙවත් ටිප් ටොප් විසිනි. මෙසේ වරක් මම ගල් ගසන විට සරමක් ඇඳි දාමරිකයෙකු බඳු මිනිසෙක් පාසැලට කඩා වැදී මා පසුපස එලවාගෙන ආවේය​. බියගත් මා ඩෙන්ටල් එකට දිව ගොස් දත් පුරවමින් සිටි පර්ල් ඇන්ටි ගේ පසුපස සැඟවූනෙමි. දන්ත චිකිත්සාගාරය තුලට ඒමට උත්සහ නොගත් මිනිසා දොරකොඩ අසල රැඳී සිටිමින් බොහෝ වේලාවක් යන තෙක් ම​ට දෙස් දෙවොල් තැබීය​. පසුව පර්ල් ඇන්ටි මාව සුරක්‍ෂිතව බසයකට නැංවීම සඳහා වෙනත් සිසුවෙකුගේ මවකට භාර දුන්නාය​. 

පර්ල් ඇන්ටි විසින් 1973 වසරේදී මගේ දතක්  පිරවූවාය​. මෙම ශක්තිමත් බදාමය 2016 වසර තෙක් තිබූ අතර එම වසරේදී කැනඩාවේදී දන්ත වෛද්‍ය බහීරදන් මහතා එම පැරණි බදාමය ගලවා අළුත් බදාමයක් දැමුවේය​. එම පැරණි බදාමය ගැලවී යත්ම මට පර්ල් ඇන්ටි සිහිවී භාවාත්මක දුකක් දැණුනි. 

1997 වසරේ මම මිනිපේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ලෙස සේවය කරන විට මගේ දතක වේදනාවක් ආවේය​. මම දත පෙන්වීම සඳහා මහියංගන රෝහලේ සේවය කරන දන්ත වෛද්‍යවරයෙක් වෙත ගියෙමි. මෙම දන්ත වෛද්‍යවරයා මගේ දත බේරා ගත නොහැකි බවත් එය ගලවා දැමිය යුතු බවත් කීවේය​. එහෙත් දත ගැලවීමට මම එක​ඟ නොවූයෙමි. ඉන් පසු මම හසලක දන්ත චිකිත්සකවරිය ලෙස සේවය කරන නිලන්තී වතුලියැද්ද මෙනෙවිය වෙත ගියෙමි. ඇය මගේ දත පුරවා දැමුවාය​. ඉන් පසු දතේ වේදනාව ඇති නොවීය​. මේ දක්වා එම දත නිරෝගීව තිබේ. සමහරක් විට සූර්‍ය එළියට නොපෙනෙන දේවල් කුඩා පහන් එළියට පෙනෙති. 

යුද හමුදා රෝහලේ සේවය කරන ලද කාලයේ මම දත් පිරවීම සඳහා ගියේ එම රෝහලේම සේවය කල මේජර් වෛද්‍ය ඇන්ජලෝ ලඟටය​.  ඇන්ජලෝ ඉතා දක්‍ෂ දන්ත වෛද්‍යවරයෙකි. එසේම ඉතා හිත හොඳ මිනිසෙකි. පසු කාලයක ඇන්ජලෝ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන ලදි. ඇන්ජලෝ පිටරට යාම නිසා මට ස්ථිර දන්ත වෛද්‍යවරයෙක් නොවීය​. මෙම කාලයේ ඉතා දක්‍ෂ අත්දැකීම් බහුල දන්ත චිකිත්සකවරියක් වූ කරුණා ගමගේ මිය හඳුනා ගැනීමට හැකි විය​. ඇය ඉතා සාර්ථකව මට ප්‍රතිකාර කලාය​. මේ නිසා මගේ බිරිඳ මෙන්ම දරුවාද දන්ත ප්‍රතිකාර සඳහා කරුණා ගමගේ මිය වෙත යාම ඇරඹූහ​. 

නවක දන්ත වෛද්‍යවරු ක්‍ෂේත්‍රයට ඒම නිසා දන්ත චිකිත්සකවරියන්‍ ගේ සේවය ක්‍රමක් ක්‍රමයෙන් අභහාවයට යාම ඇරඹුනි. නමුත් දන්ත චිකිත්සකවරියන්‍ තුල තිබූ කැපවීම , කරුණාවන්ත බව , ඉවසීම නවක දන්ත වෛද්‍යවරු විසින් අධ්‍යනය කොට ඒවා තමන් තුල වගා කර ගත යුතුය​. දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳව දැණුම සහ උසස් පුහුණුව තිබූ පමනින් කෙනෙකු හොඳ දන්ත වෛද්‍යවරයෙකු වෙන්නේ නැත​. පර්ල් ඇන්ටි , කරුණා ගමගේ මිය වැනි  දන්ත චිකිත්සකවරියන්‍ තුල තිබූ මානව දයාව​, වෘත්තීය කැපවීම නව පරම්පරාවේ දන්ත වෛද්‍යවරු තුල දකින්නට මම උත්සහ කරමි. එහෙත් සමහර දන්ත වෛද්‍යවරු තුල එම ගුණාංග දැකීමට නොමැති බව කණගාටුවෙන් යුතුව මම ප්‍රකාශ කරමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

One Response to “දන්ත චිකිත්සකවරියන්‍”

  1. Senerath Says:

    Thank you for this article. Yes, we should pay tribute to these sisters. They did an exceelent job. I too have my upper central tooth filled by such a kind චිකිත්සකවරිය, Miss Mallika and still standing after 50 years. She tool 1-2 hours to do this difficult job.

    “එහෙත් සමහර දන්ත වෛද්‍යවරු තුල එම ගුණාංග දැකීමට නොමැති බව කණගාටුවෙන් යුතුව මම ප්‍රකාශ කරමි. ”
    A good example is Rajitha.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress