ලොකු බන්ඩා ඒකනායක – 71 කැලෑ සටන්කරුවා
Posted on September 17th, 2017

වෛද් රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි 

71 කැරැල්ලට සම්බන්ධ වී කැලේ සැඟවී සිටියදි අත්අඩංගුවට ගත් ඒකනායක නැමැති ගුරුවරයකු පිලිබදව පුවතක් 1977 වසරේ දිනක දිනමිණ පුවත්පතේ පල වී තිබුනි. මම මේ පුවත කියවූ බව  හොදින්ම මතකය. (මෙම පුවත කියවන විට මම පහ වසරේ සිසුවෙකි) ඒකනායක යන නම මගේ මතකයේ හොදින්ම රැඳී තිබුනි. මෙම පුවත පලවී වසර 32 පසුව ඒ සුප්‍රකට ඒකනායක මා ඉදිරියෙන් සිටී. වියපත් වූ ඔහුගේ මුහුනේ ඒ අතීත සිද්ධීන් සියල්ලම ලියවී ඇත. එම සිද්ධීන් නිරාවරණය කිරීම ලොකු බන්ඩා ඒකනායක මහතාට මම භාර දෙමි.

මගේ ගම් පලාත නුවර බෝපිටිය. 1959 වසරේ මම ගුරුවරයෙකු ලෙස රැකියාවට බැදුනා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවයි සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලූ නායකයන්ගේ කටයුතු නිසා කලකිරීමට පත්වූ මා 1968 දි සමසමාජ පක්ෂයට එකතු උනා. සමසමාජ පක්ෂය තුලත් තිබු යල් පැන ගිය අදහස් නිසා මම රැඩිකල් දේශපාලනයට ඇදී ගියේ නිරායාසයෙන්.

ගලෙන්බිදුනු වැව පාසලේ ධනපාල හා කෝනාර ගුණරත්න යන ගුරුවරු මගේ ජීවිතයට සම්බන්ධව හිටිපු අය. මේ ගුරුවරු මගේ මිතුරන්. ඒ අය හරහා මම ව්‍යාපාරයට බැදුණා. 

1971 අප්‍රේල් 5 දින ප්‍රහාරය  සඳහා අපි පිරිස සංවිධානය කළා. ඒ කාලයේ මම ගලෙන්බිඳුනු වැව පළුගොල්ලාගම විද්‍යාලයේ විදුහල්පති. මම අප්‍රේල් 4 දින උදේ පිරිස එකතු කරන්න ගියා. මට 71 අප්‍රේල් 5 දින ප්‍රහාරය ගැන නිශ්චිතවම දන්නලා තිබුනෙ නැහැ. මට දැනුම් දී තිබුනේ සාකච්ඡාවක් පැවැත්වෙනවා කියලයි.

එදා මාව හොයන්න පොලිසියෙන් අපේ ගේ වටකරලා. පාසලටත් පොලිසියෙන් පැන්නා. මේ බව මට ගම්මුන්ගෙන් ආරංචි උනා. 1971 අප්‍රේල් 4 දා හැන්දෑවේ මට කියපු ලෙසට කැලේ හේනකට ගියා. මම ඒකාලේ විවාහ වෙලා නොවෙයි හිටියේ. 1971 දි මට වයස අවුරුදු 33යි. පොලිසිය මාව හොයන නිසා මම දිගටම ඒ හේනේ රැදී හිටියා.

අප්‍රේල් 8 දින යළි ගලින්බිදුනු වැව ටවුමට ආවා. මට ආරංචි උනා ගුණපාල, පොඩි අප්පුහාමි ඇතුලූ පිරිස ගලෙන් බිඳුණු වැව පොලිසියට පහර දීලා පොලිසියේ දෙන්නෙක් මළ බව. එත් ඒ ප්‍රහාරය අසාර්ථකයි. පොලිසිය දිගින් දිගටම අපිව සොයනවා. ඒ නිසා අපි තීරණය කලා පසු බසින්න. කළුදැවේ කැලේට. එතන 150 විතර පිරිසක් හිටියා. ගමේ තුවක්කු අපි එකතු කරලා තිබුනේ. ඒ නිසා අපි ලඟ තුවක්කු සෑහෙන ප්‍රමාණයක් තිබ්බා. කැලේදි අපට නන්දන මාරසිංහ හමු උනා.

අපි කළුදැවේ රිටිගල කන්ද අසල කඳවුරක් හැදුවා. 150 විතර පිරිසක් සන්නද්ධව හිටියා. එතන නන්දන මාරසිංහ, සෝමපාල ගරුසිංහ, නොච්චියංකුලමේ රණසිංහ එහෙමත් හිටියා. කාන්තා සාමාජිකාවන් 5 එහෙමත් හිටියා. මාස දෙක තුනක් අපි කලූදැවේ ඉන්න කොට නන්දන මාරසිංහ අපේ 20-25 විතර පිරිසකුත් අරගෙන විලිපත්තු ගියා. විල්පත්තුවේ පහසුකම් තියනවා. රහසිගත රෝහලකුත් තියනවා කියලා කිව්වා. අපිව ගෙනියන්න කීප දෙනෙකුත් එවනවා කියලයි ගියේ. මේ අතර තුරේ නොච්චියංකුලමේ රණසිංහ අපේ ඉතිරි පිරිසෙන් 18-20 ක් විතර අරගෙන අපටත් නොදන්වා ගියා.

අන්තිමට ඉතිරි උනේ ලෙඩ, සටන් කිරීමට නොහැකි හා කාන්තා සාමාජිකයන් විතරයි. ගරුසිංහයි මමයි මේ අය බලා ගත්තා. අපි හිටියේ කැකිරාව, හබරන පාර, හබරන ත්‍රිකුණාමල පාර, කැකිරාව හොරොව්පතාන හරහා ත්‍රිකුණාමල පාර යන මාර්ග යා කෙරුණු විශාල කැලෑ ප්‍රදේශයක.

කළුදැවේ දී  අපි යලි ලොරියක් අත්අඩංගුවට අරගෙන, හාල් කඳවුරට ගෙනිච්චා. තාර පාරේ ඉඳං කැලෑවේ තිබ්බ කඳවුරට හාල් මිටි ඇද්දේ අමාරුවෙන්. අපේ පිරිස වැඩිමනක් කට්ටිය දුර්වල ලෙඩ අය. මමයි ගරුසිංහයි මත වැඩි බරක් පැටවුනා. හාල් මිටි කීපයක් අපිට ඇද ගන්න බැරි වෙලා අතරමඟ දාලා ගියා. දවස් 3 කට පස්සේ අපි රාජාංගනය පැත්තට ගියා. ඒ අතරවාරයේ හමුදාව ඇවිල්ලා අපේ ආහාර ගබඩා විනාශ කරලා. කන්නට දෙයක් ඉතිරි වෙලා නැහැ. අන්තිමට අපිට ඇදගන්න බැරි වෙලා මඟ දමලා ආපු හාල් මළු ටික තමයි පිහිට උනේ.

කැලේ ජීවිතය දුෂ්කරයි. මේක දරා ගන්න බැරුව සමහරු ගියා. ඉතිරි උනේ සුළු කණ්ඩායමක් විතරයි. අපි කොහොම හරි කැලේ ජීවත් උනා. ප්‍රහාරවලට ගියේ නැහැ. ඒත් වරින් වර වෙනත් කණ්ඩායම් හමු වෙන්න ගියා.

අපි හේන් වලත් හිටියා. ගම්මුන් සමඟ සම්බන්ධතා පැවැත්තුවා. ගංජා හේන්. අනවසර ලී කපන අය පවා අපි හොඳට දැන හිටියා. ඒ අය අපට කරදරයක් කලේ නැහැ. අපිත් ඒ අයට හිරිහැර කලේ නැහැ. කෑමට සත්තු දඩයම් කළා. මගේ ඉලක්කය කවදාවත් වැරදුනේ නැහැ. දුවන ගෝනා මුවා උනත් මගේ වෙඩි පාරට වැටෙනවා. මම තමයි කන්ඩායමේ හිටපු හොඳම ඉලක්කය ගන්නා.

අපි වල් ඌරෝ. මුවෝ, ගෝන්නු, මීමින්නෝ, වඳුරන් දඩයම් කළා. මී වද කැඩුවා. හාල් හිඟ වෙන කොට ගම පැත්තට එනවා. සමහර විට සමූපකාර කැඩුවා. අපි අපේ පැවැත්මට සමූපකාර දහයක් දොලහක් කඩන්න ඇති. හාල් සීනි, තේ කොළ, කරවල වගේ ආහාර ද්‍රව්‍ය අපිට ඉතා දුර්ලභයි. ඒ නිසා අපි සමූපකාර වලට ගියා. අපි සමූපකාර කැඩුවේ සඳුදා සිට බදාද දක්වා දවස් අත් ඇරලා. ඒ දවස්වල මිනිසුන්ට බඩු ගන්න අවශ්‍යයි. බ්‍රහස්පතින්දා හා ඉරිදා දක්වා බඩු නිකුත් කිරීම අඩුයි. ඒ නිසා මේ දවස් වල රෑට අපි යනවා. මුර කාරයාව බය කරලා එලවා දමනවා. ඊට පස්සේ සමූපෙ කඩලා අවශ්‍ය බඩු විතරක් ගෙනි යනවා.

මම කැලේදී ඇන්දේ සරම හා කමීසේ. බාටා දෙක කකුලට දා ගන්නවා. ගෝනි වලින් අපි සැක් මැහුවා. සැක් එකක් කරේ ගෙනියනවා. අත්‍යාවශ්‍ය බඩු එක්ක. ෂොට් ගන් එක අතට අරගෙන පතුරං පටිය ඉනේ බැදගෙන තමයි අපි කැලේ කරක් ගැහුවේ. අපි ඉද හිට කන්තලේ ටවුමටත් යනවා.

අපිව අල්ල ගන්න පොලිසිය හමුදාව නිතරම උත්සාහ කලා. අපිව අල්ලලා දෙනවනං තෑගි පවා දෙන බවට ප්‍රසිද්ධ කළා. කාලයක් තෑග්ග රුපියල් 5000 යි ඊට පස්සේ 15 000ක් උනා. අන්තිමට 45 000යි. ගම්මු කොච්චර දුප්පත් උනත අපිව පාවලා දීලා මුදල් ගන්න හැදුවේ නැහැ. මටයි ගරුසිංහටයි තමයි වැඩියෙන්ම ඉල්ලූම තිබුනේ.

1974 කාලයේදී මට කොළඹට යන්න හිතුනා. කැලෙන් කන්තලේට ඇවිල්ලා දිග කලිසමක් කමිසයකුත් ඇඳලා කන්තලෙන් බස් එකේ නැගලා කොටුවට ආවා. කොටුවට ඇවිදින් දෙල්ගොඩ කැප්ටන් සෙනෙවිගේ නෑදෑ ගෙදරකට ගියා. කැප්ටන් සෙනෙවි වරින් වර අපි හිටපු කැලෑ වලට එනවා. ඒත් එයා වැඩිය කැලෑ ජීවිතයට කැමති නැහැ.

අපි බොරැල්ලට ඇවිල්ලා එන්ටර් ද ඩ්‍රැගන් කියන බෘස්ලිගේ චිත්‍රපටය බැලූවා. කැලේ ජීවත්වූ මට මේ චිත්‍රපටිය හීනයක් වගේ. අමුතු ලෝකයකට ගියා වගෙ දැනුනා. චිත්‍රපටය ඉවර වෙලා මමයි කැප්ටන් සෙනෙවියි දෙල්ගොඩ පොලිසියට ගියා. දෙල්ගොඩ පොලිසියේ කැප්ටන්ගේ අයියා කෙනෙක් හිටියා. එයා හමු වෙන්න තමයි ගියේ. පොලිසියේ දී සෙනෙවිගේ අයියා මාව පැත්තකට අරගෙන ගිහිල්ලා බිත්තියේ අලවලා තිබූ පත්‍රිකාවක් පෙන්නුවා. ඒකේ මගේ ෆොටෝ එක හා මගේ නම එක්ක අවශ්‍ය කර තිබේ හා ඔත්තුදෙන අයකුට තෑගි මුදල් දෙන බවත් සඳහන් උනා. අපි ඉක්මනට පොලිසියෙන් පිට උනා. මම එදාම කැලේට ආවා.

1974 අග විතර අපි 30 විතර පිරිසක් අරගෙන කෝංවැව සමූපකාරය කඩන්න ගියා. අනපේක්ෂිත විදිහට පොලිස් ජීප් එකක් ආවා. අපි ජීප් එකේ රෝද වලට වෙඩි තිබ්බා. ජීප් එක නැවතුනා. ඒකේ පොලිසියේ තුන් දෙනෙක්. ඒ අය අපි හමුදාවේ අය කියලා හිතලා කෑ ගැහුවා. ඩෝන්ට් ෂූට් වී ආ පොලිස් කියලා. 

මම කෑගහලා කිව්වා “වී ආ ලිබේරෂන් ආමි හෑන්ඩස් අප් ” කියලා. එක්කෙනෙක් ජීප් එකේ පස්සා දොරෙන් පැනලා දිව්වා. දෙන්නෙක් යටත් උනා. බලනකොට එස්.අයි මහත්තයයි සාජන් කෙනෙකුයි. ඒ අය අපේ කණ්ඩායමේ හතර දෙනෙකුට භාර දීලා අපි බඩු පටවන්න ගියා.

අපි හොර හරක් ගෙනියන ලොරියක් අත්අඩංගුවට අරගෙන තිබුනේ. සමූපකාරයේ බඩු ලොරියට පටවන්න අපි ගියා. ඒ අතරේ දොදොල්, බිස්කට්, වගේ අපිට කන්න කැමති කෑම වර්ග ටිකකුත් හොයාගන්න මම ඉස්සරහ කඩ පේලියට ගියා.

අපි බඩු පටවන අතරේ අර හතර දෙනා එස්.අයි. මහත්තයටත් සාජන්ටත් වෙඩි තියලා මරලා. මේකට මටයි ගරුසිංහටයි පුදුම තරහක් ආවා. මුංව මෙතනම මරන්න ඕනේ කියලා ආවේගයක් ඇවිත් අපි මේ හතර දෙනා කැලේට අරගෙන ගියා. සාජන් ලඟ තිබූ මැෂින් තුවක්කුවයි මැගසින් 2යි මගේ භාරයට ගත්තා.

කැලේදි මමයි ගරුසිංහයි මේ හතර දෙනාට හොඳටම බැන්නා. දවස් 3කට කෑම නොදී නිරාහාරව තිබ්බා. යටත් වෙච්ච සතුරෙකු නොමැරිය යුතු බව මම පුන පුනා කිව්වා. ඒ දවස් ටිකේ ගරුසිංහ හිටියේ පුදුම තරහින්. අපි මැෂින් තුවක්කුව ලඟ තියා ගත්තත් ඒක පාවිච්චි කරන හැටි දැන හිටියේ නැහැ. ඒක අපිට නුහුරුයි. මට මගේ ෂොට් ගන් එක තරම් කිසිම තුවක්කුවක් විශ්වාස නැහැ.

1975 විතර මට අම්මා තාත්තා බලන්න යන්න හිතුනා. කාලයකින් ඒ අය දැකලත් නැහැ. අපේ ජීවිත කැලෑවක් වෙලා. අපේ දුටුවැව මහ ගෙදර 71 දි පොලිසියෙන් ගිනි තිබ්බ නිසා දෙමවුපියන් හිටියේ නුවර. මම නුවරට ගියා. අම්මා, තාත්තා බලලා එදාම එන්න ආවා.

1976 වෙනකොට අපෙ පිරිස අඩුවෙලා 10 හෝ 12 පමණයි හිටියේ. සමහරු පැනලා ගියා. සමහරු බඩු ගේන්න ගම් වලට ගිහිල්ලා අහු වෙලා. අපි සුළු පිරිස විතරයි කැලේ රහසිගතව හිටියේ. උණ්ඩ මූනිස්සම් අඩු නිසා වැඩිය දඩයම් කලේ නැහැ.ගෝනෙක්ට වෙඩි තියලා මස් ගාතයක් ගැමියන්ට දීලා පතුරන් ගන්නවා. හේන් වල බෝග වලටත් පුරුදු උනා.

1977 මමයි ගරුසිංහයි තවත් 6 දෙනෙකුයි විතරයි හිටියේ. අපේ අනික් ප්‍රාදේශීය නායකයෝ ඔක්කෝම වගේ අත්අඩංගුවේ නැත්නම් බාර වෙලා. පොලිසිය හමුදාව දිවා රාත්‍රි අපේ පසු පසින් පන්නවා. අපිව අල්ලලා දෙන අයට මුදල් තෑගි දෙනවා කියලා පත්‍රිකා ඛෙදනවා. ඔත්තුකාරයෝ අපේ පිටුපස.

අපිට මරණ භයක් තිබුනේ නැහැ. ඒත් ප්‍රවේශමින් කටයුතු කළා. සමහරවිට අපි පොලිසියට කොළොප්පමුත් කෙරුවා. 77ට පෙර ඒ කියන්නේ නොබැඳි සමුළුව තිබ්බ 1976 විතර වගේ කාලේ අපි හිටියේ කියුලේකඩ කැලයක. එහේ ගුණපාල කියලා හේන් ගොවියෙක් හිටියා. මිනිහාගේ මස්සිනා සිප්පුකුලමේ සිරිසේන අපිව පොලිසියට අල්ලලා දෙන්න දත කනවා කියලා අපිට තේරුණා. ගුණපාලත් අපිට ඒ බව කිව්වා.

දවසක් මමයි ගරුසිංහයි කථා උනා සිරිසේනටයි පොලිසියටයි ලනුවක් දෙන්න. අපි නිතර හිටපු මඩුවක ගිනි ගොඩක් ගහලා රේඩියෝ එක හයියෙන් දාලා කැලේ හැංගිලා හිටියා. සිරිසේන පොලිස් කන්ඩායමක් එක්ක වාඩිය පැත්තට යනවා. අපි දෙන්නා හිනා වෙවී කැලේ වෙන පැත්තකට ගියා ඒ කාලේ අපට පත්තර සඟරා හිටන් ලැඛෙනවා. ඒ නිසා තමයි දන්නේ නොබැඳි සමුළුව පැවැත්වූ කාලය කියලා.

අපේ පිරිස අඩු වුනාට පස්සේ අපි හිටියේ වඩා සුරක්ෂිතව. මමයි ගරුසිංහයි බොහෝ විට එකට හිටියා. ඒත් රෑට නිදා ගත්තේ වෙන් වෙන් වශයෙන්. රෑට ඉන්න තැන කාටවත් දැන්වූයේ නැහැ. වැඩි පරිස්සමට.

මම පඩිකාරමඩුව පාසලේ උගන්නන කොට ජානිස් කියලා කොළුවෙකු ට උදව් කලා. ඒ කොල්ලාට මම මගේ වියදමින් ඉගැන්නුවා. පස්සේ ඉස්කෝල පත්වීමකුත් ලබා ගත්තා. ජානිස් හෙවත් ජයසිරිත් අපිට කෑම බීම ගේනවා. ගරුසිංහ මට කිව්වා ජානිස් ගැන සැකයි කියලා. ඒත් මේ මගේ ගෝලයෙකු නිසා මම සැක කලේ නැහැ.

1976 ඔක්තෝම්බර් මාසයේදි අපි දෙන්නා හුරුළුවැව ඉස්මත්තේ හේන් දෙකක හිටියා. මම රෑ පැලේ ඉඳලා බිම නිදන්න පල්ලෙහා මැස්සට ආවා. මට දැනුනා රතිඥා පුපුරනවා වගේ වෙඩි හ~ වැලක්. මට තේරුනා පොලිසියෙන් බව. ඒක ඇහුනේ ගරුසිංහ හිටපු හේන දිහාවෙන්. එතැනට හැතැම්ම බාගයක දුර. 

මම ගහකට නැගලා බැළුවා. රෑ හඳ එළිය විතරයි තියෙන්නේ ඈතින් කට්ටියක් මම හිටපු හේන පැත්තට එනවා. මම ගසින් බැහැලා කැලෑ වැදුනා. හෙමිහිට කැලේ පැත්තෙන් වැව ඉස්මත්තට ගිහිල්ලා ගරුසිංහ හිටපු හේන පැත්තට බඩ ගෑවා. එතන පැල ලඟ කවුරුත් නැහැ. පොත් අවුස්සලා බිම දාලා. පැලේ කවුරුවත් පේන්න හිටියේ නැහැ. මම හිමීට තුවක්කුව සූදානම් කර ගෙන ගරුසිංහ හිටපු ගහ උඩ පැලේ ඉනිමග හෙල්ලූවා. ගරු ගරු කියලා කථා කලා. උත්තරයක් නැහැ. මට තේරුනා ගරුසිංහ පොලිසියෙන් ගෙනිහිල්ලා බව. මම යලිත් වැව ඉස්මත්තේ කටු පදුරු වල හැංගුනා. උදේ වෙනකම්ම හිටියා. ගරුසිංහ නැහැ.

ගරුසිංහ අත්අඩංගුවට ගත් බව මම පසුවදා උදේ දැනගත්තා. මට පාළුවත් දුකක් දැනුනා. 1970 සිට අපි එකිනෙකා දන්නවා. පොලිසිය හමුදාව එන කොට මමයි ගරුසිංහයි එකට හිටියේ. මට හිටපු විශ්වාසවන්ත සගයා  ගරුසිංහ. මට ආරංචි උනා ජානිස් තමයි ඔත්තුව දුන්නේ කියලා. මම ජානිස් හෙව්වා වෙඩි තියන්න. මගේ ගෝලයා මාව පාවලා දුන්නා. ජානිස් මාව මඟ ඇරියා.

ගරුසිංහ පොලිසියට ගෙන ගියාට පසුව අපේ ඉතිරි හය දෙනා හම්බන්තොට කපු වගා කරන ගොවිපලකට ගියා. මේ අයගේ නායකයා ගැටෑවේ සමරකෝන්. මම තනියම කාඳනාව රඹෑව කැලේට ගියා.

ගරුසිංහ නැතුව පාළුයි. කථා කරන්නවත් කෙනෙක් හරියට නැහැ. ජානිසාගේ පාවාදීමෙන් පසු මට ගම්මු පවා සැකයි. ඒ වගේම අපිට උදව් කරනවා කියලා ගැමියන්ට නිතරම පොලිසියට ගෙනිහිල්ලා කෝටුමස් කරනවා. මේ හේතුවෙන් මම ඉඳීම ගම්මුන්ට හිරිහැරයක්. මම කැලේ ඇතුලට ගියා. ගම්මුන් හමු වෙන්න ආවේ හදිසි උවමනාවක් උනොත් විතරයි. 

මට කැලේදි මැලේරියා උණ හැදුනා. ඇඟ පත පණ නැහැ. දවස් ගානකින් කෑමක් බඩට වැටුනෙත් නැහැ. මම කහඳනාව කැලේ ඔය අසලට ආවා. පඩිකාරමඩුවේ ඉස්කෝලේ ළමයි මට සාත්තු කලා. දවසක් රෑ මම නිදා ගෙන හිටියේ ඔය ලඟ වැල්ලේ පැදුරක් එලාන. මට හොඳටම උණ. නින්දේම මට තේරුනා කට්ටියක් මාව උස්සනවා කියලා. මම හිතුවේ මට සාත්තු සම්පායම් කරන ළමයි මාව උස්සන් යනවා කියලා  විහිළුවට. මම කිව්වා ළමයිනේ විහිළු නොකර මාව පැදුරෙන් තියපල්ලා මට හොඳටම උණ ඇඟටත් පණ නැහැ කියලා. ඒත් මේ අය මාව බිම තියන්නේ නැතිව උස්සගෙන යනවා.

මම ඇස් ඇරියා. එතකොට පොලිස් ජීප් එක දැක්කා. මට තේරුණා  වැඩේ හමාර බව. එක්දාස් නමසිය හත්තෑ හතේ ජනවාරි විසි තුන දින මගේ කැලෑ ජීවිතය හමාර කරමින් හේරත් මහත්තයා මාව අත්අඩංගුවට ගත්තා. ගෙනිච්චේ ත්‍රිකුණාමලේ පොලිසියට. මට උණට ඛෙහෙත් දුන්නා. පහුවදාම නියෝගයක් ආවා මාව කොළඹ ගේන්න කියලා.

මාව කොළඹ රහස් පොලිස් මූලස්ථානයට ගෙනාවා. මට උපාලි සෙනෙවිරත්න මහතා තේ එකක් දුන්නා. ඇහුවා ඇයි බාර නූනේ කියලා. මම කිව්වා ගේ ගිනි තිබ්බ නිසා බයට කැලේ හැංගිලා හිටියා කියලා. මාව දවස් 13 රහස් පොලිසියේ රඳවලා සිටියා. මගේ කට උත්තරයට මම කිව්වේ ගේ ගිනි තියපු නිසා බයට කැලේ පැන්නා කියලා විතරයි. කැලේ හිටියේ තනියම බවත් කිව්වා.

ඊට පස්සේ මාව මැගසින් බන්ධනාගාරයට ගෙනිච්චා. එහිදී ජෝඩන් මහත්තයා මාව පිලිඅරගෙන හොඳට සැලකුවා කාටවත් හිරිහැර කරන්න දුන්නේ නැහැ.

මම රිමාන්ඩ් බන්ධනාාගරයේ ඉන්න කොට 77 මැතිවරණය. මම වාමාංශික එක්සත් පෙරමුණ හරහා හොරොව්පතාන ආසනයට ඉල්ලූවා. ඒ නිසා මට ඇප දුන්නා. සී.ෙජ්.සී. කොමිසමෙන් ඇප අරගෙන එලියට ගිය එකම කෙනා මමයි.

ඡන්දට පෙර මම විජේවීර​ සමඟ කථා කලා. හිර ගෙදර අපේ වාට්ටු දෙක අතර තිබූ බෝක්කුවක් හරහා. මම ඡන්දයට යනවට විජේවීර​ගේ කැමැත්තක් තිබුනේ නැහැ. මගේ නඩුවට කථා කලේ නීතිඥ රංබංඩා සෙනෙවිරත්න. ඡන්දෙ නිසා මම හිටිය ඇප පිට එලියේ. CJC කොමිසම අහෝසි කලාට පස්සේ මම නිදහස් කියලා මට ලියුමක් ගෙදරටම ආවා.

මට නිදහස ලැබුනේ ලිපියකින්. එතකොටත් මම නිදහසේ එලියේ. යලි බන්ධනාගාරයට යන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ.

1978 දි මට මගේ පරණ පාසල පළුගොල්ලාගම පාසලට පත්වීම ලැබුනා. කාර්ය නියතු විදුහල්පති ලෙසට. මම මගේ පරණ ඉස්කෝලෙට යන කොට අළුත් විදුහල්පති කෙනෙක් වැඩ බලනවා. පාසල වෙනස් වෙලා. මම අවුරුදු 7 පසුව යළි මගේ පරණ විදුහල්පති පුටුවේ වාඩි උනා. මාසයකට පසුව යළිත් මට ටික්කම්පතාන විදුහලේ විදුහල්පති ලෙස මාරුවක් ලැබුනා. ඒ සමඟම මගේ හිඟ වැටුප් ගෙව්වා. 

1978 දි මම විවාහ උනා. මගේ බිරිඳ ගුරුවරියක්. යලිත් මම දේශපාලන වැඩ වලටගියේ නැහැ. 1988 දි මට මරණ තර්ජන ආවා. ඒ වගේම පොලිසියෙනුත් ප්‍රශ්න. මාව රක්ෂිත බන්ධනාගාර ගත කලා. මාස දෙකක්. ඒ ප්‍රශ්න වලටත් මුහුණ දීලා 1991 දි මම විශ්‍රාම ගියා.

ඒ වසරේදිම මම ගලෙන් බිදුනු වැව ප්‍රාදේශිය සභාවට තරඟ කරලා ප්‍රාදේශීය සභා මන්ත්‍රි කෙනෙක් උනා. 1997 දි මම ප්‍රාදේශීය සභාවේ සභාපති බවට තේරුණා. 2002 දක්වා මම ඒ තනතුරේ රැදී සිටියා.

දැන් මගේ ජීවිතය නිසංසලයි. මට ඉඳහිට අතීතය සිහි වෙනවා. කැලේ ගත කරපු කාලය, ආරක්ෂිත අංශ ලූහු බැඳීම්, හේන් වල ගත කරපු කාලය. ගරුසිංහයි මමයි අතර මිත්‍රත්වය තාම තියනවා. අපි ඉඳහිට හමු වෙනවා. නිතරම දුරකථනයෙන් කථා කරනවා. ඔහු මට සහෝදරයෙකු බඳුයි. අපි දෙන්නා අසීරු අවස්ථාවල කැලේ එකට හිටියා. ඒ අතීතය අමතක කරන්න බැහැ. අපිට යම් යම් වැරදීම් සිදු වෙන්න ඇති. ආයුධ සන්නද්ධ දේශපාලනය අද මම අනුමත කරන්නේ නැහැ. ඒක යල් පැනපු ගමනක්.

වෛද් රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress