සම්මුති හටන
Posted on September 17th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

විජ්ජාචරණ සම්පන්න කියලා කියන්නේ නව අරහාදී බුදුගුණවලට අයිති තුන්වැනි ගුණය. සම්මා සම්බුද්ධත්වය ලැබීමේ දී අප මහා බුදුරජාණන්වහන්සේට විද්‍යාව පහළවුනා. චක්ඛුං උදපාදි, ඥාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, අලෝකෝ උදපාදි” කියලා ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවෙන් ප්‍රකාශ කෙරුනේ ඒ අදහස. මෙතැන විද්‍යාව (විජ්ජා) කියලා කියන්නේ සංකල්ප, ප්‍රවාද වගේ දේවල්වල එකතුවකට නෙවෙයි. විජ්ජා කියන පාලි වචනයෙන් ප්‍රකාශවෙන්නේ විද්‍යාව කියන සිංහල වචනයේ අර්ථය ම බව ඇත්ත. ඒත් සිංහල අපි විජ්ජා කියලා හඳුන්වන්නේ විද්‍යාව කියන වචනයෙන් ප්‍රකාශවෙන දේ නෙවෙයි. එක එක විජ්ජා පෙන්නන මිනිස්සු අපි අතර ඕන පදම් ඉන්නවා. ඒ හින්දා විද්‍යාව කියන වචනයට පර්යාය වචනයක් විදිහට සිංහලෙන් විජ්ජා කියන වචනය පාවිච්චිකරන්න බෑ.

සිංහල අපි විද්‍යාව කියන වචනය පාවිච්චිකරන්නේ ඇත්ත – ඒ කියන්නේ සත්‍යය; කියන වචනයට සමාන අදහසකින්. මුසාවාදය” කියන වචනය පාවිච්චි වුනාට බොරුව” කියන වචනය බුද්ධාගමේ යෙදෙන්නේ නෑ. බුද්ධාගමේ සත්‍යය ගැන කියන්නේ ද්වේ සච්චානි අක්‌ඛාසී – සම්බුද්ධො වදතං වරො – සම්මුතිං පරමත්ථංච – තතියං නූපලබ්භති” කියලා. අපේ බුදුහාමුදුරුවෝ සම්මුති සත්‍යය හා පරමාර්ථ සත්‍යය කියලා සත්‍යය දෙකක් දේශනාකරනවා. එයින් බාහිර වෙච්ච තුන්වැනි සත්‍යයක් ගැන උන්වහන්සේ දේශනාකරන්නේ නෑ” කියන එක තමයි ඒ ගාථා පාඨයේ අදහස. හැබැයි කවුරු හරි සම්මුති සත්‍යය වරදවා ගන්නවා නම් ඒක බොරුවක්. නැගෙනහිරින් ඉර පායනවා කියලා කියන්නේ සම්මුති සත්‍යයක්. ඒත් ඉර පායන්නේ බටහිරින්” කියලා කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්.

ඉතින් බෞද්ධයෝ විදිහට අපි මේ වචන හරියට පාවිච්චිකරන්න පුරුදුවෙන්න ඕන. සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් ගැන අපි කතාකරන්නේ සම්මුතියෙන් ඒවා පිළිගන්න හින්දා. යම් සම්මුතියක් කාලයත් එක්ක වෙනස්වෙන්න පුළුවන්. අලුත් සම්මුති හදාගන්නත් පුළුවන්. හැබැයි සම්මුතියක් කියලා කියන්නේ එක්කෙනෙක් පිළිගන්න දේකට විතරක් නම් නෙවෙයි. ඒකට එක්තරා ආකාරයක සමාජ බලයක් ඕන කරනවා. ඉතින් යම් ආකාරයක අලුත් අදහසක් සම්මුතියක් බවට පත්කරන්න නම් ඒකට සෑහෙන්න මහන්සිවෙන්නත් වෙනවා. කාලයක් බලාගෙන ඉන්නත් වෙනවා.

අලුතින් බලවත් වෙච්ච සම්මුතියක් හින්දා කලින් පිළිගත්ත සම්මුතියක් පස්සට යන්න පුළුවන්. පරණ සම්මුතිය වැරැදි, අලුත් සම්මුතිය හරි” කියන එක නෙවෙයි මේකෙන් කියන්නේ. මිනිස්සු වැඩියෙන් කැමැතිවෙලා තියෙන්නේ එහෙම නැතිනම් මිනිස්සු වැඩියෙන් කැමැති කරවාගෙන තියෙන්නේ අලුත් සම්මුතියට කියන එක තමයි ඒකෙන් පැහැදිළි වෙන්නේ. අලුත් සම්මුතිය බලවත්වීමත් එක්ක පරණ සම්මුතිය පස්සට ගිහිල්ලා.

මේ ගතවෙන්නේ බටහිර රටවල් බලවත් වෙච්ච කාලයක්. මාධ්‍ය බලය වුනත් තියෙන්නේ ඒ අයට. ඉතින් ඒ අය ගේ දේවල් අගයකරන්න අපේ අයත් පෙළැඹෙන එක පුදුමයට කාරණයක් නෙවෙයි. ඒ හින්දා බටහිර ඇතිවෙච්ච සම්මුති සෑහෙන ප්‍රමාණයක් මේ වෙද්දි ඉස්සරහට ඇවිල්ලා. අපේ ම අපේ සම්මුති සෑහෙන ප්‍රමාණයක් පස්සට ගිහිල්ලා. මේ වගේ විපර්යාස හින්දා බටහිර සම්මුතිය විසින් අපේ සම්මුතිය යටකරලා” කියන අදහස පවා ඇතිවෙන්න පුළුවන්. ඉතින් රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙන අපේ දේශප්‍රේමීන් අතර මේ වගේ කාරණා සම්බන්ධයෙන් දුකක් කණගාටුවක් ඇතිවෙන එක පුදුමයට කාරණයක් නෙවෙයි. ඒක ස්වභාවිකයි.

ඒත් දුක් වෙවී හිටියා කියලා, කණගාටු වෙවී හිටියා කියලා ලබාගන්න පුළුවන් දෙයක් නෑ. රට ජාතිය දිනවන්නත් බෑ. ඉතින් රටට ජාතියට ආගමට හිතැති සමහර අය යොමුවෙනවා තමන් ගේ ඉපැරැණි සම්මුති ආයෙත් පණගන්වන්න. එහෙම නැතිනම් ඒවාට සමාජ බලයක් ලබාදෙන්න. ඔය අතර තවත් කාට හරි හිතෙන්න පුළුවන් බටහිර සම්මුතිත් වැරැදියි. අපේ පරණ එවුන් හදාගෙන හිටපු සම්මුතිත් වැරැදියි” කියලා. තවත් කාට හරි හිතෙන්න පුළුවන් පරණ සම්මුති ඒ විදිහට ම ඉස්සරහට ගන්න බෑ. ඒ හින්දා ඒවායේ අළු දූවිලි පිහදාලා අග මුල මාරුකරලා ටිකක් වෙනස් කරලා ගත්තා නම් හොඳයි” කියලා. ඉතින් මොන මොන අර්ථයෙන් හරි විවිධ සම්මුති පිළිගන්න අයට පුළුවන් තම තමන් ගේ කඳවුරු හදාගන්න.

විවිධ සම්මුති පිළිගන්න අය කඳවුරුවලට බෙදෙද්දී අපේ සම්මුතිය තමයි ඇත්ත. ඔයගොල්ලන් ගේ සම්මුතිය බොරුවක්” කියලා කියන්න එක සම්මුතියක් පිළිගන්න අය පෙළැඹෙන්න පුළුවන්. ඒ වගේ ම තමන් පිළිගන්න සම්මුතිය විද්‍යාවක් කියලා උස්සලා තියන්න පවා ඒකට අදාළ පාර්ශ්වය උත්සාහ කරාවි. එහෙම වෙද්දි විරුද්ධ පාර්ශ්වය අනෙක් පැත්තට කතාරන්න පෙළැඹෙන එක පුදුමයක් නෙවෙයි. උඹලා ගේ සම්මුතිය මොන විද්‍යාවක් ද? උඹලා පිළිගන්නේ මහ බොරුවක්” කියලා ඒ අයට කියන්න පුළුවන්. ඉතින් විවිධ සම්මුති පිළිගන්න අය අතර මේ විදිහේ ගැටුම් ඇතිවෙන එක මහ පුදුමයක් නෙවෙයි.

මේ විදිහට මොන වාද විවාද ඇතිකරගත්තත් අපි අපේ බුද්ධාගමේ වචන වැරැදි විදිහට පාවිච්චිකරන්න හොඳ නෑ. මේ සම්බන්ධයෙන් පෙන්නන්න පුළුවන් හොඳ ම උදාහරණය තමයි විද්‍යාව” කියන වචනය වැරැදි විදිහට පාවිච්චි කරන එක. විද්‍යාව උදාකරගත්තේ අප මහා බුදුරජාණන්වහන්සේ. මෙතැන විද්‍යාව කියලා කියන්නේ සම්මුති සත්‍යයකට නෙවෙයි. සම්මුති සත්‍යයක් කියලා කියන්නේ විවිධාකාර වූ සංස්කාර ධර්මවල එකතුවක්. සම්මුති සත්‍යයක් ඇතුළේ ඉවරයක් නැති ව නාම රූප තියෙනවා. උදාහරණයක් විදිහට නැගෙනහිරින් ඉර පායනවා කියන සම්මුති සත්‍යය ගැන අපිට හිතන්න පුළුවන්. මේ වැඩේ තේරුම්ගන්න අපි කොච්චරක් නම් නාම රූප යොදාගන්නවා ද? ඉතින් අපි පිළිගන්න අනිත් සම්මුති සත්‍යය වුනත් එහෙමයි.

සංස්කාර ධර්ම කියලා කියන්නේ අවිද්‍යාව මුල් කරගෙන අපි සකස්කරගන්න දේට. සංස්කාර කියන වචනය ඇතුළේ ම සකස්කරනවා කියන අදහස තියෙනවා. අවිද්‍යාව හින්දා වඩුවෝ වගේ ඉවරයක් නැති ව ගෙවල් හද හදා අපි මේ සංසාරයේ සැරිසරනවා. අනිත්‍යය වූ සංස්කාර හදාගන්නවා. සංස්කාරයෝ අවිද්‍යාව නිදානකොට ඇත්තාහ, අවිද්‍යාව සමුදය කොට ඇත්තාහ, අවිද්‍යාව ජාතිකොට ඇත්තාහ, අවිද්‍යාව ප්‍රභවකොට ඇත්තාහ” කියලා අපි ඉගෙනගන්නේ මේ ඇත්ත. ඉතින් අපි විද්‍යාව කියන වචනය පාවිච්චිකරන්න ඕන මේ ගැන අවබෝධයෙන්.

ඒත් සයන්ස්” කියන ඉංග්‍රීසි වචනය විද්‍යාව” කියලා සිංහලට පෙරලන්න අපේ බස් වඩුවෝ කටයුතු කළා. මේක මහ අවුලක්. බුද්ධාගමේ තියෙන විද්‍යාව (විජ්ජා) කියන වචනය සයන්ස්” කියලා අපි ඉංග්‍රීසියට පෙරලන්නේ නෑ. ඒත් සයන්ස්” කියන ඉංග්‍රීසි වචනය විද්‍යාව” කියලා සිංහලට පෙරලලා. සයන්ස්” කියන ඉංග්‍රීසි වචනය චීන භාෂාවට පෙරළලා තියෙන්නේ ක ෂු-එ” කියලා. බුද්ධාගමේ තියෙන විද්‍යාව” කියන වචනය චීන භාෂාවෙන් කියන්නේ මිං” කියලා. ඉතින් ක ෂු-එ” කියන්නේ මිං” නෙවෙයි. මිං” කියන්නේ ක ෂු-එ” නෙවෙයි. ඒ වගේ ම, සයන්ස්” කියලා කියන්නේ විද්‍යාව” නෙවෙයි. ඒත් සිංහල අපි මේක පටලවාගෙන.

සයන්ස්” කියලා කියන ඉංග්‍රීසි වචනයෙන් විස්තරකරන්නේ දැනුම කියන එකනේ. විශ්වය තේරුම්ගන්න, ඒ සම්බන්ධයෙන් ඕනකරන අනාවැකි කියන්න මේ දැනුම අපිට යොදාගන්න පුළුවන්. ඉතින් සයන්ස්” කියන වචනයට සිංහලෙන් ශාස්ත්‍ර” කියලා කිව්වා ම හොඳට ම ඇති. අපි දැනටත් වෛද්‍ය ශාස්ත්‍රය, භූගෝල ශාස්ත්‍රය, අර්ථ ශාස්ත්‍රය, තාරකා ශාස්ත්‍රය වගේ යෙදීම් පාවිච්චි කරනවානේ. ඉතින් මේ ද්‍රව්‍යමය ලෝකය තේරුම්ගන්න යොදාගන්න දැනුමට ස්වභාවික ශාස්ත්‍ර කියලාත් මිනිස්සු ගැන තේරුම්ගන්න දැනුමට මානව ශාස්ත්‍ර කියලාත් පාවිච්චිකරන්න පුළුවන්. දැනටත් අපේ විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර පීඨ තියෙනවානේ.

ටෙක්නොලොජි” කියන වචනය වුනත් එහෙමයි. සංස්කෘත භාෂාවෙන් කොපි කරගත්ත තාක්‍ෂණය කියන වචනයෙන් මේ ටෙක්නොලොජි කියන වචනයේ නියම අර්ථය නොකියැවෙන බව අභාවප්‍රාප්ත ඊලියන් ද සිල්වා මැතිතුමා හොඳින් විස්තර කරලාදීලා තිබුණා. අපිට ශිල්ප” කියලා හොඳට හුරු පුරුදු වචනයක් තියෙද්දි ඇයි අපි සංස්කෘත වචන කොපි කරගන්නේ? පරිගණක ශිල්ප, ඉංජිනේරු ශිල්ප වගේ වචන අපි අදටත් පාවිච්චිකරනවා.

පාරිභාෂික වචන හදන්න සංස්කෘත වචන කොපිකරන්න පටන්ගත්ත එකත් එක්ක අපේ භාෂාව එක තැන පල්වෙන තත්ත්වයකට පත්වෙලා. අපේ කොල්ලෝ කෙල්ලෝ ඉංග්‍රීසි වචනයක් දෙකක් කොපිකරනවා දැක්කා ම සංස්කෘත වචන කොපිකරන අය පරලවෙනවා. මේ ගැන වෙන ම කතාකරන්න පුළුවන්. අපි දැනට ශිල්ප ශාස්ත්‍ර ගැන කතාව කියලා ඉවරයක් කරමු.

මේ ලිපියේ මුල ඉඳලා ම කියපු විදිහට ශාස්ත්‍ර (සයන්ස්) කියලා කියන්නේ පරමාර්ථ සත්‍යය නෙවෙයි. ඒවා එක එක විදිහේ සම්මුති. ඉතින් මේ සම්මුති දැනුම පෙරදිග ඇති කරගත්තත් බටහිර ඇති කරගත්තත් ඒවායෙන් අපිට ප්‍රයෝජනයක් වෙන විදිහ ගැන කල්පනා කරලා අපිට ඒවා යොදාගන්න පුළුවන්. බෞද්ධයෝ විදිහට අපි කල්පනාකරන්න ඕන ඒ දැනුම (ශාස්ත්‍ර) ධාර්මික ද කියන කාරණය ගැන විතරයි. ඒ දැනුම ආශ්‍රයෙන් හදාගන්න ශිල්ප වුනත් එහෙමයි. ඉතින් මේ විදිහට තෝරලා බේරලා හඳුනාගත්ත දැනුම අපේ ළමයින්ට කියලා දෙන එකයි අපි කරන්න ඕන. ඒ විදිහට කියලා දෙන දැනුම අතර පෙරදිග බටහිර දැනුම වගේ ම අපේ ම අපේ දැනුම තියෙන්නත් පුළුවන්. සමහර දැනුම අදාළ අපේ රටේ අපේ ම මිනිස්සුන්ට. මොකද අයිස්ලන්තයේ දැනුම ඒ විදිහට ම අපිට අදාළ නැහැනේ.

 

වරුණ චන්ද්‍රකීර්ති ෴

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress