පළාත් සභා පනතට අදාල මැතිවරණ සංශෝධන කාරක සභා අවස්ථාවේ දී ඇතුලත් කිරිම ගරු කථානායකතුමාට CaFFE සංවිධානය ලියූ ලිපිය
Posted on September 18th, 2017

කීර්ති තෙන්නකොන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

2017 සැප්තෑම්බර් 18

කරු ජයසූරිය මැතිතුමා,
ගරු කථානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.

ප්‍රිය කථානායකතුමනි,

පළාත් සභා පනතට අදාල මැතිවරණ සංශෝධන කාරක සභා අවස්ථාවේ දී ඇතුලත් කිරිම

පළාත් සභා ඡන්ද විමසීමේ පනතේ නාම යෝජනා පත්‍ර‍යට 30% කාන්තා නියෝජනයක් ඇතුලත් කිරීම සදහා වන පනත් කෙටුපතක් මේ වන විට ගැසට් මගින් ප්‍ර‍කාශයට පත් කොට ඇත. එය මේ සතියේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කිරීමට නියමිත අතර, බදාදා (සැප්. 20) විවාදයට ගැනීමට රජය සුදානම් වේ.  

මෙම විවාදයේ දී, උක්ත කරණ සදහා පැවති ආංශික කාරක සභා රැස්වීමේ දී කිසිසේත්ම සාකච්ඡා නොකළ කරුණු එනම්, සමානුපාත ඡන්ද ක්‍ර‍මය වෙනුවට කොට්ඨාශ ක්‍ර‍මය ද ඇතුලත් මිශ්‍ර‍ සමානුපාතික ක්‍ර‍මය යෝජනා කර සම්මත කර ගැනීමේ ප්‍ර‍යත්නයක් ඇති බව දැනගැනීමට ඇත.

මෙසේ කරන්නේ පළාත්  ඡන්ද ක්‍ර‍මය කල් තැබීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ 20 වන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයේ එකගතාව ලබා නොගැනීම නිසා බව පැහැදිලිය.

මෙම යෝජනාව අව්‍යාජ නියමිත කාර්ය පටිපාටිය අනුගමයන කරමින් ඉදිරිපත් කළා නම්, ඡන්ද කල් දැමීමට එරෙහි පුරවැසියන්ට, දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන වෙත අධිකරණයේ පිහිට ඇයැදිමට අවස්ථාව තිබුණි. එම අවස්ථාව අහිමි කොට කූට අන්දමින් ඡන්ද විමසීම කල් දැමීම කිසිසේත්ම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ක්‍රියාමාර්ගයක් නොවේ. එය ජනතා අයිතිය උදුරා ගැනීමකි.

නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට පවරා ඇත්තේ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවලින් රිංගා යමින්, ජනතාවගේ ඡන්ද බලය, ජනතාවගේ ප්‍ර‍ජාතන්ත්‍රීය අයිතිය වූ සර්වජන ඡන්ද බලය මංකොල්ල කෑමේ නීති සකස් කිරීම සදහා නොවේ.

එබැවින් මේ අයුරින් ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී ලෙස ඡන්ද විමසීමේ නීති හොර රහසේ නීත්‍යානුකුල හා සදාචාරසම්පන්න නොවන අයුරින් සම්මත කර ගැනීම සම්පූර්ණයෙන්ම යහපාලන මූලධර්මවලට අනනුකූල බව කාරුණිකව පෙන්වා දෙමි.

අනුශාංගික කමිටුවල සාකච්ඡා නොකළ පළාත් සභා මැතිවරණ පනතේ කාන්තා නියෝජනයට සෘජුව සම්බන්ධ නොවන, පළාත් සභා මැතිවරණය කල් දමා ගැනීමට අදාළ කිසිම කරුණක් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ දී සංශෝධන ලෙස ඉදිරිපත් කිරීමට දරණ අනීතික ක්‍රියාව වැලක්වීමට පියවර ගනු ගෙන ඔබ යහපත් දේශපාලනඥයෙකු බව සනාථ කරනු මැනවි.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකොන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

පිටපත්

  1. ගරු ජනාධිපතිතුමා
  2. ගරු අගමැතිතුමා
  3. ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, සභානායකතුමා
  4. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකවරුන්

One Response to “පළාත් සභා පනතට අදාල මැතිවරණ සංශෝධන කාරක සභා අවස්ථාවේ දී ඇතුලත් කිරිම ගරු කථානායකතුමාට CaFFE සංවිධානය ලියූ ලිපිය”

  1. Ratanapala Says:

    gale paharoo balalek dan ke gahanawa – gandai gandai kiyala!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress