ලුවීට හැටයි!
Posted on September 22nd, 2017

වරුණ චන්ද්‍රකීර්ති

ලුවී ඉපැදුණේ 1957 අවුරුද්දේ. ඒ, මාර්ග්ටයි මෝර්ටයි දාව. ලුවීට අයියලා දෙන්නෙකුත් හිටියා. ඒ අයියලා දෙන්නා තවමත් ඉන්නවා ද කියන එක නම් මේ ලේඛකයා දන්නේ නෑ. ඒත් ලුවී නම් අයියා කෙනෙක්. එයා තවමත් හිටපු විදිහට ම ඉන්නවා. ලුවී ගේ කැරැට්ටුව ඒ තරම් හොඳ නෑ. මහ නරක, අපිරිසිදු, තුට්ටු දෙකේ වැඩ කරන, ඉවරයක් නැතුව ලෙඩ බෝකරන හාදයෙක් විදිහට තමයි ලුවී ව හඳුන්වලා තියෙන්නේ. ලුවී බයයි කියලා පෙන්නන දේකුත් තියෙනවා. ඒත් ඒක බොරු රඟපෑමක් බව පැහැදිළියි. මොකද ඒ දේ දැකපු ගමන් ම යටිගිරියෙන් කෑගහගෙන පැනලා දිව්වාට ලුවී තවමත් යහතින් ඉන්නවා. දැන් ලුවීට හැටයි. ලුවී තමයි එයාලා ගේ කට්ටිය අතරින් වැඩි ම කාලයක් ජීවත්වෙලා ඉන්න කෙනා. ඉතින් එයා තවත් බොහෝ කාලයක් යහතින් වැජඹේවි.

ලුවීට හැටක් පිරිච්ච මේ අවුරුද්දේ අපේ වටපිටාව ගැනත් යමක් හිතන්න අපිට පුළුවන්. අපේ ආර්ථිකය විවෘතකරලා ගතවෙච්ච පහුගිය අවුරුදු හතළිහක කාලය ඇතුළේ සිද්දවෙච්ච වෙනස්කම් මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ වෙනස්කම් වෙලා තියෙන්නේ අපේ ආර්ථිකයේ, අපේ සමාජයේ, අපේ ජීවිතයේ විතරක් නෙවෙයි. අපි වටේ තියෙන පරිසරයත් සෑහෙන විදිහට වෙනස්වෙලා. අපිත් එක්ක හිටිය සමහරු මේ කාලය ඇතුළේ අපි ව දාලා ගිහිල්ලා. අපි නොදැන ම නන්නාඳුනන සමහරු අපේ ජීවිතවලට ඇතුළුවෙලා. ඒ ගැන ටිකක් හිතලා බලමු.

අපිත් එක්ක ඉන්න බෑ කියලා මුලින් ම යන්න ගියේ ගමේ කුඹුරුවල, ඇල දොළ දිය කදුරුවල හිටපු පොඩි පොඩි තිත්තයෝ, දණ්ඩි වගේ අය. රට නොදියුණු මුල් කාලේ ගමේ කොලු ගැටවු එක්ක පොල් කටු, ටින් බෙලෙක්ක ඇරගෙන ඇල දොළවල් ගානේ, කුඹුරේ වක්කඩවල් ගානේ කරක් ගගහා තිත්තයෝ, දණ්ඩි වගේ එවුන් එක්ක සෙල්ලම්කරපු විස්තර නම් කතා විදිහට මේ ලේඛකයාට දැන් වෙනත් අයත් එක්ක කියන්න පුළුවන්. ඒත් දැන් ඉන්න එවුන් ඔය කතා විශ්වාසකරන එකක් නෑ.

ඒ කාලේ අවුරුද්දේ සමහර මාසවල සමනලයෝ ලක්‍ෂ කෝටි ගණන් අපේ වතු හරහා පියාඹලා ගියා. වැඩි හරියක් ගියේ සුදු පාට එවුන්. ලා කහ පාට එවුනුත් නොසෑහෙන්න ඒ ගමනට සම්බන්ධවෙලා හිටියා. උන් ඔක්කොම සිරීපාදේ වඳින්න යන බවක් තමයි අපේ දෙමව්පියෝ අපිට කියලා දීලා තිබුණේ. ඒත් දැන් ඒකත් තව පරණ කතාවක් විතරයි. ඉඳලා හිටලා දැන් ඔය පොඩි සමනලයෙක් දෙන්නෙක් මිදුලේ මල් ගහක් වටේ කැරකුනාට උන්වත් දන්නේ නැතුව ඇති උන් ගේ නෑදෑයෝ ඉස්සර කාලේ කරපු ඒ වික්‍රම ගැන.

තව අපූරු වැඩක් අපේ ගම්වල මිනිස්සු ඒ කාලේ කළා. අපි ගෙවල් ඇතුළේ මොකක් හරි වැඩක් කර කර ඉන්න සමහර වෙලාවට ම්… …” කියලා එක දිගට ම මහා සද්දයක් ඇහෙන්න පටන්ගන්නවා. ගමන් මීයක්, ගමන් මීයක්” කියලා ඒ සද්දේ ඇහිච්ච ගමන් අපි හැමෝ ම වගේ කෑ ගහනවා. ඉතින් අපි වගේ පොඩි එවුන් කරන්නේ උදලු තලයකුයි යකඩයකුයි ඇරගෙන එළියට පැනලා ටාන්, ටාන්” කියන සද්දේ මතුවෙන විදිහට යකඩෙන් උදලු තලේට තඩිබාන එක. වත්තට උඩින් පියාඹාගෙන යන මී මැසි රංචුවට – ඒ කියන්නේ අර ගමන් මීයට; ඒ සද්දය දරාගන්න අමාරුයි. ඉතින් උන් කරන්නේ තමන් ගේ ගමන නවත්තලා වත්තේ තියෙන මොකක් හරි ගහකට පාත්වෙලා ගුලි ගැහෙන එක. ඉතින් ඒ කිට්ටුවෙන් පරණ කළයක් තිබ්බා ම හරි. එතකොට දවසක් දෙකක් යද්දී අර මී මැසි පොදිය ඒ කළයට රිංගගන්නවා. ඒක තමන් ගේ වාසස්ථානය බවට පත්කරගන්නවා. ඒත් දැන් ඒ විදිහට ගමන් මී යන බවක් පත්තරේකවත් දකින්න නෑ. දැන් ගෙවල්වල කළ ගෙඩි පාවිච්චියකුත් නෑ. ඉතින් ඒකත් තව එක්තරා පරණ කතාවක් විතරයි.

අවුරුදු කාලෙට ගම්වල කොල්ලෝ නැටුවේ කජු නාවර පෙරාගෙන. ගෙවල්වලට අඳින හැම ඇඳුමේ ම පවා කජු කිරි ගෑවෙන එක වළක්වන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මාර්තු අප්‍රේල් මාස දෙකට අපි එක කොල්ලෙක්ට පුළුවන් කජු විසිදාහක් විතර අහුලන්න. ඊට අමතර ව හොඳ ගහක කජු පුහුලන් කඩාගෙන කපලා ලුණු දාලා කන සිරිතකුත් තිබුණා. සමහර වෙලාවට සෙල්ලමට ගියා ම ඔය කැපිලි, ලුණු දැමිලි ගැන වදවෙන්නේ කවුද? ඊට අමතර ව සතියකට දෙතුන් වතාවක් මාළු කජු කපන වැඩේ දී අම්මාට උදව්කරන්න වෙනවා. අහුලපු වේලිච්ච කජු නම් ඕන ඕන කරන වෙලාවට සුද්දකරන්නේ පොල් අත්තක් උඩ දාලා පුළුස්සලා. ඒත් දැන් ඒ ඔක්කොම පරණ කතා. දැන් පොඩි එකෙක්ට පෙන්නන්නවත් කජු පුහුලමක් හැදෙන්නේ නෑ. මී මැස්සෝ එන්නේ නැති හින්දා කජු ගස් තරහාවෙලා වෙන්නත් පුළුවන්.

මේ ලේඛකයා ගේ ගෙදර වැට මායිමට වෙන්න මහ විශාල කොට්ට පුළුන් ගහක් තියෙනවා. ඒක අයිති අල්ලපු වත්තේ අයට. ඒ ගහෙන් දෙපැත්තට ම කරදර හින්දා ගහ කපලා අයින්කරන්න ඕන කියලා අල්ලපු ගෙදර අය එකඟවුනා. ඒත් ඒ දවස්වල ගහ පුරා ම කොට්ට පුළුන් හැදීගෙන එනවා. ඒ හින්දා, පුළුන් ටික කඩාගත්තාට පස්සේ ගහ කපලා දාන්නම් කියලා අල්ලපු ගෙදර අය කිව්වා. ඒත් දවස් දෙකක් තුනක් ගතවුනාට පස්සේ ගෙදර ගිය මේ ලේඛකයා දැක්කේ කොට්ට ගහේ එක පුළුන් ගෙඩියක්වත් නැති බවක්. ඒ මොකද කියලා මේ ලේඛකයා අහල පහළ කෙනෙක්ගෙන් ඇහුවා. වවුළෝ රංචුවක් ඇවිල්ලා මුළු ගහ ම සුද්දකරලා. මෙහෙම දෙයක් කවදාවත් අහළා නෑ. ඒත් දැන් ඉස්සර වගේ ගස් මුල වැටිලා කුණු වෙන තරමට වැල වරකා හැදෙන්නේ නෑ. ඉතින් වවුළන්ට කන්න ඉතිරිවෙලා තියෙන්නේ කොට්ට පුළුන් වගේ දේවල් විතරයි.

ඉස්සර කාලේ අපේ වතුපිටිවල අපිට කරදරයක් වෙලා තිබුණේ දනපතිනට්ටං, වල් ළුෑණු වගේ දේවල්. වතු සුද්දකරනවා කියන්නේ ඒවා කපලා කොටලා අයින්කරන එක. දැන් ඒවා නැත්තට ම නැතිවෙලා. ඒත් දැන් පාරවල් අයිනේ ගණසාරෙට මානා වගයක් හැදෙනවා. ඒ මානාවල නම කවුරුවත් දන්නේ නෑ. ඒවා බෝවෙන්න පටන් ඇරන් අවුරුදු විස්සකට වැඩි නෑ. මුලින් බෝවුණේ මහ පාරවල් අයිනේ. පස්සේ පස්සේ අතුරු පාරවල් දිගේ පැතිරෙන්න ගත්තා. ගිණිතියලා විනාශකළත් ආයෙත් පැලවෙනවා. මේවා අපේ ගම්වලට ආවේ කොහොම ද?

මේ ගැන හිතද්දී මතක්වෙන තව දෙයක් තමයි ඉපිල් ඉපිල්. මේ ලේඛකයා පහේ පංතියේ ඉගෙනගන්න කාලේ තමයි ඉස්කෝලේ ගුරුවරු ඉපිල් ඉපිල් ඇට හත අට ගානේ ළමයින්ට බෙදලාදුන්නේ. ඒක මහ පුදුමාකාර ප්‍රයෝජන තියෙන ගහක් කියලාත් ඒ ගුරුවරු අපිට කියලා දුන්නා. ඇට පැලකරන විදිහත් කියලා දුන්නා. මතක විදිහට ඒ ඇට (උණු?) වතුරේ පෙ‍ඟෙන්න දාලායි පැලකරන්න කිව්වේ. ඊට පස්සේ හැම අහුමුල්ලක ම ඉපිල් ඉපිල් පැලවෙන්න පටන්ගත්තා. කුරුල්ලෙක්ට කන්නවත් ගෙඩියක් ඒ ගස්වල හැදෙන්නේ නෑ. ඕන තරම් දර තියෙන අපිට ඒ ගස්වලින් දර ගන්න උවමනාවකුත් නෑ. ඉතින් දැන් තියෙන ලොකු ම ප්‍රශ්නේ තමයි ඒවා දුරින් දුරුකරලා දාන්නේ කොහොම ද කියන එක.

තිත්තයෝ, දණ්ඩියෝ, සමනල්ලු, මී මැස්සෝ අපෙන් ඈත්වෙලා ගියත් මීයෝ, කැරපොත්තෝ, මදුරුවෝ (ලුවී ගේ කට්ටිය) අපි ව දාලා ගියේ නෑ. අපේ තනි රකින්න වගේ උන් ගේ ගහනය තව තවත් වැඩිවෙලා. ඉස්සර අපිට හැදුනේ මැලේරියාව. ඒත් දැන් අවුරුදු විස්සක විතර ඉඳලා අපිට හැදෙන්නේ ඩෙංගු. අපේ කුඹුරුවල ගොයම් ලොකු මහත් කරගත්තත් ඒවාට ඉවරයක් නැතිව ලෙඩ. බෙහෙත් ගහන්නේ නැතුව ඒවා ගොඩගන්න බෑ. ඉස්සර වගේ කුඹුරුවල වල් නෙලන්න වදවෙන මිනිස්සුත් දැන් නෑ. බෙහෙතක් ගැහුවා ම හරි. ඒ බෙහෙතින් වල් මැරුණේ නැතිනම් තව මොකක් හරි බෙහෙතක් ගහනවා.

දවසක් ගිරිඋල්ලේ ඉඳලා නාරම්මලට යන බස් එකක දී මේ ලේඛකයාට මෙහෙම කතාවක් ඇහුනා. මේ සැරේ නම් කුඹුරේ හාල් කන්න බෑ. විකුණලා දාලා කඩෙන් තමයි හාල් ගන්න වෙන්නේ. කීඩෑවන්ට පුදුම විදිහටනේ බෙහෙත් ගැහුවේ.”

මේ කියපු කතාවල තේරුම මොකක්ද? මේවා එකකට එකක් සම්බන්ධ ද? එහෙම නැතුව නිකම් ම නිකම් බහුභූත කතා ද?

ඒ කොහොම වුනත් මේ ලේඛකයා දන්න තවත් දෙයක් තියෙනවා. ඒ අපි හැමෝ ම දන්න දෙයක්. අපේ ගෙවල්වල මීයෝ ඉන්නවා. අපි උන් ව වඳකරන්න කොච්චර නම් දේවල් කරනවා ද? මී උගුල් අටවනවා. බළල්ලු ඇතිකරනවා. කූඩුවලට මීයෝ අල්ලලා ඈතට ගිහිල්ලා දානවා. වස විස තියනවා. සමහර මිනිස්සු කොස්සෙන් ගහලාත් මීයෝ මරනවා. ගෙවල්වලට ගැරැඬි රිංගනවාට කැමැති මිනිස්සුත් ඉන්නවා. ඔය මොනවා නැතත් වත්ත පිටිය හොඳින් සුද්ද පවිත්‍රකරලා, ගෙවල් පිළිවෙලකට තියාගත්තාමත් මීයෝ අඩුවෙනවා. ඒ කියන්නේ මී කරදරය නැතිකරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එක වැඩක් කරන්න මේ විදිහට ක්‍රම ගොඩක් තියෙන එක ලොකු දෙයක්. එක ක්‍රමයකින් බැරි නම් තව ක්‍රමයකින් අපිට මී ප්‍රශ්නෙට උත්තර හොයන්න පුළුවන්.

ඉතින් මේ විදිහට ම අපේ කුඹුරුවල ප්‍රශ්නත් විසඳගන්න අපිට බැරි ද? ඒකට හරියන්නේ වස විස පාවිච්චිකරන එක විතර ම ද? මේ වැඩේට ගැලපෙන දෙයක් අපේ අත්තලා මුත්තලාගෙන් අපිට ඉගෙනගන්න බැරි ද? දැන් මතුවෙලා තියෙන ඩෙංගු කරදරය ගැන හිතද්දි කුඹුරුවල ප්‍රශ්න මොනවා ද කියලා හිතෙනවා. ඩෙංගු මඩින්න අපිට කරන්න පුළුවන් තව දේවල් තියෙනවා ද? අපිට බැරි ද තව තවත් උපක්‍රම ගැන හිතන්න? එක වතාවක් පොල් වගාවට කුරුමිණියෙක් බෝවුනා ම ඒ වසංගතය අපි නැතිකළේ වස විස ගහලා නෙවෙයි.

ඒ කියන්නේ, වස විස ගහනවාට අමතර ව කරන්න පුළුවන් දේ තවත් තියෙනවා. අපි ඒ විදිහේ උපක්‍රම තව තවත් හොයමු. ඒවා ගැන පාඩම් අපි අපේ දරුවන්ටත් කියලා දෙමු.

වරුණ චන්ද්‍රකීර්ති 

3 Responses to “ලුවීට හැටයි!”

  1. NAK Says:

    Our Quebec ‘Monsanto’ ‘Pundith’ should read this.
    What has happened to the butterflies is a real tragedy and the day bees are extinct man on earth will have to get used to eating grass!

  2. Lionel Says:

    This remind the good old days we enjoyed as kids. Who is the main culprit for most of these irreversible changes Waruna is pointing out? This is an eye opener for pesticide advocates.

  3. NeelaMahaYoda Says:

    වස විස කතාවනම් ඇත්ත නමුත් ………..

    Only four countries have banned Glyphosate, i.e. Malta, Sri Lanka, Argentina and Netherland.

    However, the Dutch parliament (Netherland) voted to ban the sale of glyphosate-based herbicides to private parties only. though the ban, under which agricultural use is excluded.Glyphosate is heavily used in all EEC countries.

    I think people should understand that although you can have all these restrictions on use of insecticide and herbicide, the agricultural output of the country can be adversely effected by these decisions and very soon we may have to import very many agricultural products. A few years ago we were exporting rice and now the trend has reversed and we have to import rice again.

    I am sure Most of these anti-glyphosate commentators had never stepped into a paddy field and work there. We use 90% manual labour in agriculture and mechanisation is at it’s lowest level. Without chemicals the agriculture in Sri Lanka will face a slow and painful death instigated by population explosion. Recently I visited the rural area where I spent my childhood 60 years ago.

    It was a village in Warakapola area . The village was located in a valley surrounded by hills with virgin thick forest all four sides. It was so thick that we called these forests Kalu Kelaya (කලු කැලය). There were many streams of water (දොල පාරවල්) running through the face of the hills even during thickest of the drought season.

    After 60 years when I went there, I was really sad to see the thick forest has gone completely, there are no signs of water streams (දොල පාරවල්). Even the small river (ඔය) we used to go and swim occasionally has transformed into a culvert. This is the bitter results of the population explosion and forest clearance for agriculture.

    What we need is not an outright ban, but some institutionalised regulations to monitor and control the use of these chemicals just like in other developed countries (Australia, New Zealand, EEC)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress