අනාගමික කුමන්ත්‍රණ
Posted on September 24th, 2017

කතු වැකිය උපුටා ගැන්ම දිවයින

දෙමළ සන්ධානය අපූරු යෝජනාවක්‌ ඉදිරිපත් කර ඇත. ඒ රට අනාගමික කරන ලෙසයි. එසේම උතුර – නැගෙනහිර එක්‌කළ යුතු බවත් ඔවුහු යෝජනා කරති. නව ව්‍යවස්‌ථාවෙන්ද බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබා දෙන බව යහපාලන ආණ්‌ඩුව මොර දෙයි. එහෙත් අනෙක්‌ පැත්තෙන් නව ව්‍යවස්‌ථාවක්‌ ඉල්ලා හඬා වැටෙන දෙමළ ජාතික සන්ධානය රට අනාගමික කළ යුතු යෑයි පවසන්නේ කවර අභිප්‍රායකින් ද? දෙමළ සන්ධානයේ තක්‌කඩි යෝජනාවලට ලබා දිය යුතු පිළිතුර කුමක්‌ද? වසර දෙදහස්‌ පන්සියයක ඉතිහාසය වළදමා රට අනාගමික කිරීමට එකඟ විය හැක්‌කේ කවරෙකුටද? රණවිරු ජීවිත තිස්‌දහසක්‌ පුදකර ලබාගත් ජයග්‍රහණ ආපසු හැරවිය යුතුද? උතුර නැගෙනහිර යළි ඒකාබද්ධ කිරීම යනු 2009 මැයි මාසයේ සමස්‌ත ජාතියම ලැබූ ජයග්‍රහණ පාවාදීමක්‌ නොවන්නේද? නව ව්‍යවස්‌ථාව ගැන බොහෝ දෙනකු උනන්දුවෙන් පසුවන බව පෙනේ. එහෙත් මේ නව ව්‍යවස්‌ථාව මගින් රටට යහපත කෙසේ වෙතත් අයහපත නම් ළඟා කරන බව පැහැදිලිව ප්‍රකාශ කළ හැක. විපක්‍ෂනායකවරයා යෝජනා කරන්නේ අනාගමික රටක්‌ තුළ ෙµඩරල් ව්‍යවස්‌ථාවක්‌ ද?

බහුතර සිංහල බෞද්ධයා කොන් කිරීම සඳහා මේ නව ව්‍යවස්‌ථාව සම්පාදනය වන්නේ දැයි සැක සිතේ. සංහිඳියාව ඇතිවන්නේ රට අනාගමික කිරීමෙන්ද? මෙය තවත් මුළාවක්‌ද? වසර දහස්‌ ගණනක සිට මෙරට සංහිඳියාව සුරැකුනේ බෞද්ධ සංස්‌කෘතිය නිසාය. නමුත් බෞද්ධ සංස්‌කෘතියට ඇති පූජනීය ස්‌ථානය බිඳ හෙළීමට දෙමළ සංධානයට ඉඩ දිය යුතු ද? රට අනාගමික කිරීමෙන් සුළු ජනයාගේ දුක්‌ ගැනවිලිවලට සහායක්‌ ලැබෙයිද? කිසිසේත්ම නැත. මානව හිමිකම් කොමසාරිස්‌වරයා නම් ලංකාව අනාගමික රාජ්‍යයක්‌ බවට පරිවර්තනය වීම වඩා වැදගත් යෑයි සැලකිය හැක. නමුත් මෙරට බහුතර බෞද්ධයන් මෙන්ම හින්දු ජනතාව ද ඊනියා අනාගමික රාජ්‍යයට අකැමැතිය. අනාගමික රාජ්‍යයෙන් සිදුවන්නේ ආරක්‍ෂා වී ඇති ආගමික සංහිඳියාව ද විනාශ වී යැමය.

1972 ජනරජ ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය හිමි විය. ශ්‍රේෂ්ඨ බෞද්ධ නායිකාවක්‌ වූ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය මෙහි නායකත්වය ගත්තාය. බුද්ධාගමට හිමිවිය යුතු නියම ස්‌ථානය ඇය ව්‍යවස්‌ථාව මගින් ම සහතික කළාය. ඒ කාර්යය පිළිබඳ සමස්‌ත ජාතියම මේ උතුම් නායිකාවට ගරු බුහුමන් කළ යුතුය. එහෙත් අද සිදුවන්නේ කුමක්‌ද? ප්‍රමුඛස්‌ථානය බිඳ දැමීමේ බෞද්ධ විරෝධී කුමන්ත්‍රණය සිදුවන්නේ නව ව්‍යවස්‌ථාව හරහාද?

දෙමළ සන්ධානයට මෙරට ඉතිහාසය පුරාම බුද්ධාගමට ඇති ප්‍රමුඛතාව ගැන හිත් අමාරුකම් තිබෙන්නේ ද යන්න ප්‍රශ්නයකි. දෙමළ සන්ධානයේ හිතේ අමාරුකම් වේවා, කවර කනස්‌සලයක්‌ වේවා ඒ සියල්ල මැකී යන්නේ රට අනාගමික කිරීමෙන් ද? මෙය කවර විහිළුවක්‌ද? සම්බන්ධන්ට හෝ සුමන්තිරන්ට අවශ්‍ය පරිදි ඉතිහාසය වෙනස්‌ කළ යුතු නැත.

ජාත්‍යන්තර ප්‍රජාව ද ලංකාවේ නව ව්‍යවස්‌ථාව ගැන වඩා උනන්දුවකින් සිටී. එහෙත් මෙරට බහුතරයට නව ව්‍යවස්‌ථාව ගැන කිසිම උනන්දුවක්‌ නැත. ඔවුනට අවශ්‍ය ජීවන බර කුමන හෝ ක්‍රමයකින් අඩුවනු දැකීමය.

පොල්ගෙඩිය රුපියල් සියය වූ විට කුමන නව ව්‍යවස්‌ථාද?. එනිසාම රට අනාගමික කිරීමේ කූට උපායන් පරාජය කිරීම වැදගත් ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress