30% කාන්තා නියෝජනය, එකම දිනයක ඡන්ද විමසීම් පැවැත්වීම ස්ථිර කෙරෙන ප්‍ර‍තිපාදන නැති ‘ඡන්ද කල් දමා ගැනීමේ‘ උප්පරවැට්ටියක් පමණයි – කැෆේ සංවිධානය කියයි.
Posted on September 25th, 2017

පුවත්පත් නිවේදනය – පළාත් සභා පනතේ සංශෝධන කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය   

30% ක කාන්තා නියෝජනය තහවුරු කිරීම සදහා සිදු කළ බව කියන පළාත් සභා පනතේ සංශෝධන තුල කාන්තා සංවිධාන, සිවිල් සංවිධාන පමණක් නොව සමස්ථ රාජ්‍යයම දැවැන්ත රැවටීමකට ලක් කොට ඇත.  මෙම පනත් සංශෝධනයේ ප්‍ර‍කාශිත අරමුණ 30% ක කාන්තා නියෝජනය නාම යෝජනා සදහා සහතික කිරීමය.  නමුත්, යම් නාමයෝජනා පත්‍ර‍යක නියමිත 30% කාන්තාවන් ප්‍ර‍මාණයක්  ඇතුලත් නොවේ නම් නාම යෝජනා පත්‍ර‍ය ප්‍ර‍තික්ෂේප කිරීම සදහා කිසිදු ප්‍ර‍තිපාදනයක් පනතේ සංශෝධනවලට ඇතුලත් කොට නොමැත. ඒ අනුව, ප්‍රායෝගිකව එවැනි නාම  යෝජනාවක් ප්‍ර‍තිකේෂප කිරීම තේරීම්භාර නිලධාරියාට හැකියාවක් නොමැත.  30% කාන්තා නියෝජනය තමන්ට හිමිවී ඇතැයි සිතා පළාත් සභා පනත සංශෝධන කිරීමේ ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී ව්‍යවහාරය පිළිබද මුනිවත රකින කාන්තා සංවිධාන හා සිවිල් සංවිධාන තමන් දැවැන්ත රැවටිල්ලකට හසුවී ඇතැයි මේ දක්වා අවබෝධ කොට ගෙන හෝ නොමැත.

පළාත් සභා පනත පස්සා දොරන් සම්මත කර ගැනීමට කටයුතු කළ පිරිස් තම උත්සාහය ජනතා ගත කිරීමට උත්සහ දැරුවේ ‘සියලු පළාත් සභා එකම දිනක මැතිවරණ පැවැත්වීම‘ යන සටන් පාඨයට ගොනු කරමිනි.  පාර්ලිමේන්තුවේ පස්සා දොරින් සම්මත වූ සංශෝධනය තුල සියලු පළාත් සභා එකම දිනක පැවැත්වීම සදහා කිසිදු ප්‍රතිපාදනයක් නොමැතිය.  එපමණක් නොව, පැහැදිලි හා ස්ථිර ලෙසම පළාත් සභා කඩින් කඩ (අවම වශයෙන් අවස්ථා දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක දී) පැවැත්වීමට සිදු වේ.

මෙම පනත් සංශෝධනය මගින් ඇතිකර ඇති තාක්ෂණික ගැටළු සහ මැතිවරණ ව්‍යහාරයේ ඇති නොගැලපීම්  (උදා- ඇප මුදල් තැන්පත් කිරීම) පිළිබද සංශෝධන දුසිම් ගණනක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීම සදහා නුදුරේම ඉදිරිපත් විය යුතුව ඇත.  පසුගිය පළාත් පාලන පනතේ සංශෝධන සැලකීමේ දී, ඒ සදහා වසර ගණනාවක් ගතවිය හැකිය.  පළාත් පාලන ඡන්දය ලෙසම පළාත් සභා ඡන්ද විමසීම ද හැකි උපරිම කාලයක් කල් දමා ගැනීමේ උත්සාහයට රජය නිරත වේ. 

ඒ සදහා දැනට පවතින ජාතික සීමා නිර්ණය කමිටුවට පරිබාහිරව අලුතෙනින් ‘සීමා නිර්ණය කමිටුවක් පත් කිරීම‘, පළාත් සභා පනතේ හදිසි ව්‍යවස්ථා විරෝධී සංශෝධනය හේතුවෙන් ඇති කළ නොගැලපීම් ‘නිවැරදි කිරීම‘ සදහා තවත් විශාල සංශෝධන සංඛ්‍යාවක් ගෙනඒමට රජය අනිවාර්යයෙන්ම කටයුතු කරනු ඇත.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය                             2017 සැප්තැම්බර් 25

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress