මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි – දෙවන මුද්‍රණය – ගොඩගේ ප්‍රකාශකයන් වෙතින්
Posted on September 28th, 2017

මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමිඉවක් අනුව වන ලෝකය දැකීමක්- -වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි

උපතින් පසු විපත සටහන් වන දිනය දක්වා, කිසිවකුට ගමේ, රටේ, ලෝකයේ දී නිරන්තර ගනුදෙනුවක යෙදෙන්නට සිදුවන්නේ විවිධාකාර මිනිසුන් සමඟය. මේ ගනුදෙනුව ගැටළුකාරී නොවන්නට හා සතුටුදායී වන්නට උපයෝගී කොට ගත යුත්තේ, මිනිසුන් හරිහැටි හඳුනාගැනීමේ කුසලතාවයය. ඉවක් ගැන වන කතා බහකදී කෙනකුගේ මතකයට නැගෙන්නේ සුනඛයා වුවත්,මේ ඉව මිනිසුන් අතර ගැවසීමේදී මිනිසාටද අත්‍යවශ්‍යය. එබඳු ඉවක් ගොඩන`ගා ගත හැකිවන්නේ, සිය ජීවිතයේදී එක්කොටගන්නා හැදෑරීම් හා විවිධ අත්දැකීම් සමුදායකට අනුරූපවය. 

රුවන් එම් ජයතුංග වෛද්‍ය වරයාගේ, “මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි” කෘතියෙන් අප දකින්නේ ජීවිතයට අත්‍යවශ්‍ය මේ ඉව නොඅඩුව හිමිකොටගත් ලේඛකයකුගේ නිර්මාණශීලී ව්‍යායාමයක පිළිබිඹුවය. උපන් රටේදීද, නොරටදීද විවිධ අවස්ථාවලදී හමුවූ, විවිධාකාර පුද්ගල චරිත හරහා කතුවරයා අපට හෙලිදරව්  කරන්නේ පෞද්ගලික කතාවක්ම නොව ලෝකයට, මනුෂ්‍යත්වයට අතිශය පොදු වූ කතාවය. පාඨකයාට කියවා ලිස්සා යන්නට නොව හිතන්නට යමක් එක්කොට ගන්නට ඉඩ සලසන මේ ව්‍යායාමය තවදුරටත් සැලකිය හැක්කේ, කාලීන අවශ්‍යතාවයක් ඉටුකරලීමක්ද වශයෙනි. ශ්‍රි ලාංකිකයින් ලෙස කිසිවකුට වැරදුන තැන් හා කිසිවකු අදටත් වරද්දා ගන්නා තැන්ද එහිදී ලක්වන්නේ සාධාරණ විමසුමකටය. 

එවැනි, විමර්ශණශීලී සටහන් කිහිපයක් අතරින් මේ උපුටාගැනීම දක්වන්නේ එක් උදාහරණයක් වශයෙනි.   ‘ ඉංග්‍රීසීන් රෝමන් වරුන්ගෙන් සබන් පාවිච්චිය ඉගෙනගනිමින් සිටි කාලයේදී, වළගම්බා නරපතියා අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට මූලික විය. දියුණු භාෂාවක් වන සිංහල භාෂාව රටගිය ඇත්තන්ගේ දරුවෝ අමතක කරති. එසේම එංගලන්තයේ සිංහල දෙමාපියන් තමාගේ දරුවාට සිංහල නොහැකිබව පවසන්නේ ආඩම්බරයෙනි.නමුත් මව් භාෂාවක් නොමැති, තමාගේ සංස්කෘතික අනන්‍යතාව අහිමිකරගෙන සිටින සංස්කෘතික අවජාතකයන්ට සුද්දෝ නොසලකති. එය එංගලන්තයේ පමණක් නොව බොහෝ යුරෝපීය රටවල දක්නට ලැබෙන කරුණකි.’ 

යුරෝපීය රටවල දක්නට ලැබෙන මේ ස්වභාවයන්, පෞද්ගලිකව නොදකින හෝ නොතකන සංස්කෘතික අවජාතකයින් පිළිබඳව කතුවරයාගෙන් එලෙස සැපයෙන්නේ පැහැදිලි අර්ථකතනයකි.  යුරෝපීය රටවල විශ්වවිද්‍යාල නේවාසිකාගාර පහසුකම් ශ්‍රී ලංකාව හා සංසන්දනයට ලක්කරමින් වෛද්‍ය රුවන් සටහන් කරන්නේ පෞද්ගලිකව අපටද දෘෂ්‍යමාන කතාවය. වයිරස උණක් හෝ වෙනත් ආසාදනයක් එක් කාමරයකදී හතර පස් දෙනකුට හෝ ඇතැම්විට දහ පහලොස් දෙනකුට ලබාගැනීමේ පහසුකම මෙරටදී සැපයෙන මේ මාර්ගයේ දී, මානසික සමතුලිතතාවයටද හැකිවන්නේ පහසුවෙන් පිට පනින්නටය. 

සන්නිවේදනයේදී ගලපා ගත යුතු උපායශීලීබව හා සංයමය සම්බනෝයෙන්ද වැදගත් අදහස් ‍මෙම කෘතියට ඇතුළත්ව ඇත. ඒඩ්ස් රෝගය අප්‍රිකාවෙන් පැමිණි වසංගතයක් ලෙසට වෙනත් රටක සිසුවකු කළ අදහස් දැක්වීමකදී, පියෙර් නම් අප්‍රිකානු සිසුවා පළ කළ ප්‍රතිචාරය තුළ ගැබ්ව ඇත්තේ මේ කාරණයය.     ‘ මේ කරුණ නිසා අප්‍රිකානු සිසුන්ගේ මුහුණු වල  නොසන්සුන්තාවයක් දැකගන්නට මට හැකිවිය. නමුත් පියෙර් සන්සුන්ව සිටියේය. පන්තිය අවසානයේදී ඉතා පැහැදිලි ඉංග්‍රීසියෙන් නිනාද් ඇමතූ ඔහු , ක්‍ෂය රෝගය මුලින්ම සොයාගත්තේ යුරෝපයෙන් බවත්, එසේම මහාමාරිය විනාශකාරී අන්දමට පැතිරගියේ යුරෝපයේ නමුත් ඒ රෝග ගැන කතා කිරීමේදී අප යුරෝපය සමච්චලයට ලක් නොකරන බවත් පැවසීය.’ මේ උපුටා ගැනීම තුල  අන්තර්ගත වන්නේ යහපත් සන්නිවේදනයක පිළිබිඹුවය. 

අපට වෙච්ච දේ ගැනද කතුවරයා දක්වන අදහස්  එයීමට ලක්විය යුතුය. චීනය ගැන වන ලිපියේදී, චීන ජාතික චෙන්දිබුගෙන් ඉගෙනගත් පාඩමක් අපට පවසමින් වෛද්‍ය රුවන් කාලීන අර්ථකතනයක යෙදෙන්නනේ මෙලෙසිනි.  ‘සැලසුම් සහගතව දේශමාමක අදහස් වර්ධනය කිරීම, පරිසරය සුරකින පරම්පරාවක් ගොඩනැගීමට කටයුතු කිරීම මෙතෙක් ඉටුව නැත. දේශපාලන පාට අනුව අපි බෙදී සිටිමු. එසේම ජාතින් වශයෙන් මරා ගක්ස්මු. ඒ අතරතුරේ ලෝකයේ බුද්ධිමත් ජනයා දියුණුවනු ඇත. සයිබර් තාක්‍ෂනය, ජාන තාක්‍ෂනය මඟින් ආර්ථිකව හා ජීව විද්‍යාත්මකව ඔවුන් අපව අභිබවා යනු ඇත. අවසානයේ අපි වැද්දන් මෙන් චාරයක් නොමැති ජන කොට්ඨාශයක් ලෙස අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ පෙනී සිටිමු. අපට තිබුනේ අතීතයක් පමණි.’ 

අපට දැනෙන්නේ , මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි කෘතිය ලෝකයද, මිනිසුන්ද හරි හැටි හඳුනාගැනීමේ කුසලතාවයකට අනුරූපව වූ නිර්මාණයක් බවය.      

 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress