‍උතුරු නැ‍‍ඟෙනහිර අපේ උරුමය
Posted on September 29th, 2017

ආචාර්ය.  පී .ජී .පුංචිහේවා

බුදුරජාණන් වහන්සේ ලංකාවට තුන් වරක් වැඩම කරන ලදැයි මහා වංශයේ සඳහන් වේ. පළමුවරට මහියංගනයටත්, දෙවනුව නාගදීපයටත්, තුන්වනවර කැළණියටත් උන්වහන්සේ වැඩියේයයි තවදුරටත් එහි සඳහන් වේ.  කැළණියෙන් අනතුරුව, සමන්තකූටය, දීඝවාපිය, ශ්‍රිමහා බෝධිය, රුවන්වැලි සෑය, ථූපාරාමය සහ සෛල චෛත්‍යයය යන අනාගත පූජනීය ස්ථානයනට වැඩම කර ඒ ඒ තන්හි උන්වහන්සේ සමාධි සුවයෙන් ගත කර තිබේ.

            ලංකා සිතියම හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට බුදුරදුන් වැඩ සිටි ස්ථානයන්හි ආගමික මෙන්ම ඵෙතිහාසික හා භෞමික වැදගත් කමක් ඇත. දිවයිනේ උතුරෙන් නාගදීපයත්, බටහිරින් කැළණියත්, දකුණින් සමන්ත කූටයත්, නැ‍ඟෙනහිරින් දීඝවාපියත් ලෙස දිවයිනේ සතර දිග්භාගය ද, රුවන්වැලි සෑය, ශ්‍රිමහා බෝධිය හා ථූපාරාමය ලෙස රට මැදද උන්වහන්සේගේ පාද ස්පර්ෂයෙන් පූජනීය වී සමස්ත දිවයිනට ම ආශිර්වාදයක් වී ඇත.  මෙහි වැදගත්කම වඩාත් ඉස්මතුවන්නේ මහාවංශය අනුව උන්වහන්සේ පිරිනිවන් මංචකයේදී ශක්‍ර දේවේද්‍රයා අමතා සිංහල ද්වීපය ආරක්ෂා කරන ලෙස දන්වා සිටිම ය.  බුදුරදුන් වැඩම කර කාලයේ දිවයිනේ පදිංචිව සිටියේ යැයි සැලකෙන මහිංයගනයේ යක්ෂයන්ටත්, කැළණියේ හා නාගදීපයේ නාගයින්ටත්, සමත්තකූටයේ දේව ගෝත්‍රිකයින්ට උන්වහන්සේ දම් දෙසා ඇත.

            බුදුරදුන් වැඩම කර කාලයෙන් පසු විටින් විට දිවයිනට පැමිණි විවිධ ආර්ය කණ්ඩායම් දිවයිනේ වයඹ ප්‍රදේශය, මුලදී ජනාවාස කළේ ය.  එසේ ආරම්භ කරන ලද ජනාවාස අතර අනුරාධගම, උපතිස්ස ගම, උරුවෙල, උජ්ජේනි හා විජිත යන තැන් ගැන මහාවංශයේ සඳහන් වේ.  බුදුරදුන් වැඩම කළ කාලයේ දිවයිනේ අග්නිදිග ජනාවාස වී තිබෙන්නට ඇතැයි සිතිය නොහැක.  ‍එහෙත් අනතුරුව වරින්වර උතුරු ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ආර්යයෝ දිවයිනේ එකී ප්‍රදේශ ද ජනාවාස කර ගත්හ.  දේවානම්පියතිස්ස රජු කල ස්වාධීන ක්ෂත්‍රිය වංශික කණ්ඩායමක් යටතේ මාගම පාලනය වී තිබේ.  ශ්‍රීමහා බෝධිය ලංකාවට වැඩම කළ අවස්ථාවේ එය පිළි ගැනීමට කතරගම ක්ෂත්‍රියයන් අනුරාධපුරයට පැමිණ ඇත.  ශ්‍රීමහා බෝධියෙන් පැන නැඟුණ අෂ්ඨඵල බෝධිවලින් එකක් රෝපනය කරන ලද්දේ කතරගම යි.

            මේ අන්දමට අනුරාධපුරයත්, මාගමත් අතර ආගමික, සංස්කෘතික, වෘත්තික හා දේශපාලන වශයෙන් ඇති වූයේ දැඩි සබඳතාවකි.  කෘෂිකාර්මික ජන කොට්ඨාශ දෙකක් වූ ඔව්හු පරිසරයට අනුකූලව හා අවශ්‍යතා අනුව වැව් තැනූ හ.  නාගරික ජනතාවකගේ දෛනික හා කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා රජරට තිසාවැව, නුවර වැව, කලා වැව වැනි මහා වැව් තැනෙන විට, රුහුණෙහි මධ්‍යම හා සුළු පරිමාණයේ වැව් තැනිණ.  හැම ගමක් පාසාම කුඩා වැවක් තැනිණ.  වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංකල්පය මේ අනුව බිහිවි ය. විශාල වැව් වේවා, මධ්‍ය හෝ සුළු පරිමානයේ වේවා ඉන් පෝෂිත වූ ජනගහණය විශාල ය.  ක්‍රි. පූර්ව 3 වන ශතවර්ෂයේ සිට ක්‍රි. ව. 1 වන ශතවර්ෂය දක්වා කාලය තුල දිවයිනේ නැ‍ඟෙනහිර හා ගිණිකොන ජනගහනය ව්‍යප්ත වූ අන්දමට සාක්ෂියක් නම්, මහාචාර්ය පරණවිතාන මහතා ලියා පල කළ මුල් යුගයේ බ්‍රහග්මි ශිලාලිපි 1 කණ්ඩායමේ දක්වා ඇති ලෙන් ලිපි සංඛ්‍යාවයි.  ඒ අනුව, වර්තමාන නැ‍ඟෙනහිර පලාතට අයත් අම්පාර, දීඝවාපිය, මඩකලපුව දිස්ත්‍රික්කවල ලෙන් ලිපි 179 ක් ගැන මෙහි අඩංගු ය.  ලෙන් ලිපි පිහිටා ඇති තැන් දැක්වෙන සිතියම හා ඒ ප්‍රදේශයේ ඇති වැව් දැක්වෙන සිතියම බොහෝ දුරට අංගසමය (Congruent)

            පරණවිතාන ශූරීන් පල කළ මේ කෘතියෙන් ඒ යුගයට ඇතුළත් කරුණු සම්භාරයක් උකහා ‍ගත හැක.  ස්ථාන නාම, පුද්ගල නාම, ආර්ථික කරුණු, ආගමික කරුණු, රාජ්‍ය නිලධාරීන්, රැකියාවන් ආදිය ගැන ඒ ලෙන් ලිපි තුලින් දැනගත හැක.  එහෙත්, වඩාත් වැදගත් වන්නේ ඒවායේ ගැබ් ව ඇති ඵෙතිහාසික කරුණු ය.  මේ ලිපිවල වැදගත් කම ඒ අනුව කියා නිම කළ නොහැක.

            පරණවිතාන මහතා ඒ සම්බන්ධව සඳහන් කරන්නේ;

            ඉතිහාසඥයන් ට ඉතා ම වැදගත් වන ලෙන් ලිපියක් මේ සංග්‍රහයේ ඇතුළත් බවත්, එය රජගලින් සොයා ගත් බවත් ය.  මිහිඳු හිමියන් හා උන්වහන්සේ සමඟ වැඩි ඉත්තිය හිමියන්ගේ භෂ්මාවශේෂ මෙහි තැන්පත් කළ බව එහි සඳහන් වේ.  ක්‍රි. පූ. 2 වන ශතවර්ෂයට අයත් මේ ලෙන් ලිපිය අසල මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් දාගැබක් අතීතයේ තිබෙන්නට ඇතැයි පරණවිතාන මහතා කියයි.

            (‘යෙ ඉමා දීප පඨමාය ඉදිය අගතන ඉදික [තෙර ම] හිඳ තෙරහ තුබේ’).

            (ඉර්ධියෙන් මෙහි වැඩි ඉදික හා මිහිඳු තෙරුන්ගේ දාගැබ) ‍

මෙහි ඇතුළත් ලෙන් ලිපි අධ්‍යයනය කිරීමෙන් වංශ කතාවල සඳහන් කරුණුවල නිරවද්‍යතාව සනාථ වන බව ද එතුමා කිය යි.

            තවත් මෙවැනි ම ඵෙතිහාසික වශයෙන් වැදගත් කරුණු නම් දුටුගැමුණු රජතුමාගේ යෝධයන් ගැන සඳහන් වන ලෙන් ලිපි කීපයක් ම මෙහි ඇතුළත් වීමයි. කුඩුම්බිගල ලෙන් ලිපියෙහි ‘නන්දිමිත’ සෙනෙවි ගැන සඳහන් ය. 

රජගල හා කුඩුම්බිගල දෙක ම අයත් වන්නේ අම්පාර දිස්ත්‍රික්කයට ය.

            ලෙන් ලිපිවලට අමතරව, උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගත් ඵෙතිහාසික ස්ථාන 296 ක් ගැන සඳහන් වේ.  එයින් බහුතරය ත්‍රිකුණාමලය හා අම්පාර දිස්ත්‍රික්කවල ය.

            ඵෙතිහාසික සිහිවටන ආරක්ෂාව සඳහා 1940 දී ඉංග්‍රීසි රජය Antiquities ordinance පනත හඳුන්වා දෙන ලදුව, එය කලින් කල, සංශෝධනය කරන ලදුව, දැනුදු ක්‍රියාත්මක වේ.  මේ ආඥාපනත තිබුන ද එයින් බලාපොරොත්තු වූ තරම් පුරාවිද්‍යා බිම් ආරක්ෂා වී නැති අන්දම 2002 බුද්ධශාසන කොමිෂන් සභා වාර්තාවෙහි ඇතුළත් ය.  සමහර ඵෙතිහාසික සිහිවට ආරක්ෂාව සම්බන්ධයෙන් බෞද්ධ මහජනතාවට අධිකරණයේ පිහිට පැතීමට සිදු වූ අවස්ථා ඇත. 

            ඉහත සඳහන් ආඥාපනත අනුව පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂාව මධ්‍ය ආණ්ඩුවට අයත් වුවත්, වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව, ඒ විෂයය දැන් අයත් වන්නේ සමගාමී හා පළාත් සභා ලැයිස්තුවලට ය.  එසේ අයත් නොවන්නේ මධ්‍යම ආණ්ඩුව විසින් ජාතික වැදගත් කමක් ඇතැයි රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද ස්මාරකයන් හා ස්ථානයන් ය. 

            නැඟෙනහිර ප්‍රදේශය පුරා ආගමික හා පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් භූමි රාශීයක් ඇත.  උතුරෙන් හිරිහඬු සෑය සිට, කුච්චවේලි,ගෝකන්න විහාරය, විල්ගම් විහාරය, සේරුවිල, දීඝවාපී, මඟුල්මල් විහාරය, මූදු මහ විහාරය, කුඩම්බිගල, බුද්ධංගල ඉන් ස්වල්පයකි.  මෙතෙක් කැණීම් නොකරන ලද පුරාවිද්‍යාත්මක භූමි එමට ය.  අනාගතයේ කරන කැණීම් ද අයත් වනුයේ සමගාමී හා පළාත් සභා ලැස්තුවට ය.

            එහෙත්, යෝජිත නව ආණඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී කරන ලද විකල්ප යෝජනා අතර 13 වන සංශෝධනයේ සමගාමි ලැයිස්තුව ඉවත් කිරීම එකකී.  එසේ කළහොත් පුරාවිද්‍යා භූමි විෂයය පළාත් සභා යටතට එනු ඇත.

            නැඟෙනහිර පළාතේ 40% ක් දෙමළ ජාතිකයෝ ද, 30% ක් බැගින් සිංහල හා මුස්ලිම් ජාතිකයෝ ද ජීවත් වෙති.  මොවුන් අතරින් ජාතික උරුමය ගැන සංවේදී බවක් නැති පාලක කණ්ඩායමක් යටතට පැරණි ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක භූමි ගෙන ඒම ජාතික අපරාධයක් නොවේද? මේ අසාධාරණය වහා ‍නිවැරදි කළ යුත්තකි. 

      ආචාර්ය.  පී .ජී .පුංචිහේවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress