තේ කාලේ කතාවක්!
Posted on October 1st, 2017

වරුණ චන්ද්‍රකීර්ති

පෙරදිග රටවල් මංකොල්ලකන්න පටන්ගත්තාට පස්සේ තමයි සුද්දෝ තේ ගැන දැනගත්තේ. ඒ, චීනයෙන්. චීන මිනිස්සු තේ වවන්නේ අවුරුදු දහස් ගණනක ඉඳලා. කොහොම හරි සුද්දොත් තේ බොන්න පටන්ගත්තා. චීන වෙළෙන්දෝ සුද්දන්ට තේ වික්කා. සුද්දෝ තමන් ගේ නිෂ්පාදන චීනයට වික්කා. පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම කියන කොම්පැනිය තමයි මේ වැඩේට සුද්දෝ යොදාගත්තේ. සුද්දෝ තේවලට වහවැටිලා හිටියේ. ඒකට ඇතිවෙච්ච ඉල්ලුමට ගැලපෙන තරමින් දෙයක් චීන්නුන්ට දෙන්න පුළුවන්කමක් මේ කොම්පැනියට තිබුණේ නෑ. ඉතින් 1793 අවුරුද්ද වෙද්දී මේ කොම්පැණිය පවුම් දස ලක්‍ෂ 28 ක් ණයවෙලා හිටියේ. මේ විදිහට ඇතිවෙච්ච වෙළෙඳ හිඟය පියවගන්න කියලා හිතාගෙන තමයි සුද්දෝ අබිං බිස්නස් එකට අතගැහුවේ.

අපේ රටේ වගේ ම චීනයේත් බෙහෙතක් විදිහට අබිං පාවිච්චිකරනවා. හැබැයි ඒවා දුම්කොළත් එක්ක මිශ්‍රකරලා උරන සිරිතක් තිබුණේ නෑ. ඒත් අපි ව ශිෂ්ටසම්පන්න කරන්න කියලා ආපු සුද්දන්ට පුළුවන් වුනා දුම්කොළ එක්ක මිශ්‍රකරලා අබිං උරන පුරුද්ද හඳුන්නලා දෙන්න. මුලින් ම මේ වැඩේට අතගැහැව්වේ පරංගි. ඒත් උන්ට වඩා එංගලන්තේ කට්ටිය දක්‍ෂයිනේ. ඉතින් 1804 අවුරුද්ද වෙද්දී පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමට පුළුවන්වුනා අවුරුදු දහයකට කලින් තිබුණු වෙළෙඳ හිඟය වෙළෙඳ අතිරික්තයක් බවට පත්කරගන්න. චීනයට අපනයනය කරපු අබිං හැදුවේ පාටලිපුත්‍රයේත් (ඒ කියන්නේ පැට්නා නගරයේ) බරණැස්නුවරත් පිහිටුවලා තිබුණු ෆැක්ටරිවල. කොහොම හරි, චීනයට ටොන් දහස් ගණනින් අබිං විකුණන්න සුද්දන්ට පුළුවන් වුනා.

සිද්දවෙමින් තිබුණු විනාශය තේරුම්ගත්ත චීන අධිරාජ්‍යයා කළේ අබිං වෙළෙඳාම තහනම් කරන එක. ඒ, 1799 අවුරුද්දේ දී. ඒත් මේ වෙළෙඳාම කෙරුණේ දකුණට වෙන්න තියෙන කු-අන් තුං පළාතේ හින්දා ඒ තහනමින් එච්චර වැඩක් වුනේ නෑ. මොකද ඒ පළාත තියෙන්නේ පෙයි-චිං අගනුවර ඉඳලා කිලෝ මීටර් තුන්දාහක් විතර ඈත. 1810 අවුරුද්දේ දී තවත් ආඥාවක් නිකුත්කළා. ඒත් අබිං වෙළෙඳාම ජයට ම කෙරීගෙන ගියා. අන්තිමේ දී 1838 අවුරුද්ද වෙද්දී චීන මිනිස්සු කෝටියකට වැඩි පිරිසක් අබිං දුම් උරන්න ඇබ්බැහි කරගන්න සුද්දන්ට පුළුවන් වුනා. ඉතින් චීන අධිරාජ්‍යයාට සිද්දවුනා තදබල තීරණයක් ගන්න. ඒ තමයි, ලින් ත්ස-ශු කියන නිලධාරියා ගේ නායකත්වයෙන් හමුදාවක් කු-අන් තුංවලට පිටත්කරලා යවන එක.

චීන අබිං වෙළෙන්දෝ 1700 ක් විතර අත්අඩංගුවට ගන්න ලින් ත්ස-ශුට පුළුවන් වුනා. ඒ විතරක් නෙවෙයි. සුද්දන් ගේ ගබඩාවල තිබුණු අබිං ටොන් එක්දාස් දෙසීයකට වඩා අල්ලලා විනාශකරන්නත් ඔහුට පුළුවන් වුනා. අළුහුණුයි ලුණුයි එක්ක මිශ්‍රකරලා ඒවා මුහුදට විසිකරන එකයි ඔහු කළේ. ඒ විදිහට අබිං තොගය විනාශකරන්න කම්කරුවෝ පන්සිය දෙනෙක්ට දවස් 23 ක් ගතවෙලා තියෙනවා. මේ වැඩේ හින්දා මුහුද අපවිත්‍රවීම ගැන මුහුදට අරක්ගත්ත දෙවිවරුන්ගෙන් සමාව ඉල්ලලා ලින් ත්ස-ශු ශෝක කාව්‍යයකුත් ලියලා තියෙනවා.

ඒ අවුරුද්දේ දී ම – ඒ කියන්නේ 1839 අවුරුද්දේ දී; ඔහු වික්ටෝරියා මහා රාජිනියට විවෘත සංදේශයකුත් ලිව්වා. තේ, පෝසිලේන්, සේද, කුළුබඩු වගේ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වටිනා දේවල් චීනයෙන් ඇරගෙන චීන මිනිස්සුන්ට වස විස පොවන්නේ ඇයි” කියන ප්‍රශ්නය ඔහු ඒ සංදේශයෙන් ඇහුවා. ඒත් වික්ටෝරියානු මහා රාජිනිය ඒ ප්‍රශ්නයට උත්තර දුන්නේ තමන් ගේ නාවික හමුදාව යොදාගෙන. ඒ තමයි පළමුවැනි අබිං යුද්ධයේ ආරම්භය.

මේක කෝපි කාලේ කතාවක්නේ කියලා කාට හරි කියන්න පුළුවන්. ඒක ඇත්ත. මොකද ඒ කාලේ සුද්දෝ උත්සාහ කළේ අපේ රටේ කෝපි වවන්න. ඒත් ඒක හරි නොගිය විත්තියත් ඒ වෙනුවට තේ වගාව හඳුන්නලා දුන්න විත්තියත් අපි දන්නවා. චීන අධිරාජ්‍යයා තමන් ගේ රටේ දොරවල් වහගත්ත හින්දාත් අබිං යුද්ධ වගේ කලකෝලාහල ඇතිවෙච්ච හින්දාත් එංගලන්තේ කට්ටියට තේ බොන්න මාර්ගයක් නැතිවුනා. ඉතින් චීනයෙන් ‍හොරකම් කරගත්ත තේ ඇට මුලින් ම පැලකළේ මියන්මාරයට යාබද ව තියෙන ඇසෑමයේ. ඒ පළමුවැනි අබිං යුද්ධය පටන්ගන්න ටික කාලයකට කලින්. ජේම්ස් ටේලර් කියන සුද්දා අපේ රටේ තේ වවන්න පටන්ගත්තේ 1867 අවුරුද්දේ දී. ඒ වෙද්දී දෙවැනි අබිං යුද්ධයත් ඉවරවෙලා.

ඒ මොනවා වුනත් දැන් අපිට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි සිලෝන් ටී. ඒ ගැන කතාව නම් එච්චර පරණ නෑ. ඒක අපි හැමෝ ම වගේ දන්නවා. ඒ හින්දා තේ ගැන වෙන කතාවක් මේ ලිපියෙන් කියන්නම්.

මං-චිං කියන පිටිසර ගම තියෙන්නේ චීනයේ යුන්-නාන් පළාතට අයිති ලන්-ත්සාං කෝරළයේ. යුන්-නාන් පළාත තියෙන්නේ මියන්මාරයට මායිම් වෙන්න. එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ගණන් හිලව්වල හැටියට 2001 අවුරුද්ද වෙද්දී මං-චිං කියන්නේ ඉතා ම දුප්පත් ගමක්. ලෝකයේ ම තිබුණු දුප්පත් ම ගම් සීයෙන් ඒකට හම්බවෙලා තිබුණේ දහතුන්වැනි තැන. ඒත් ඒක තමයි ලෝක ප්‍රසිද්ධ පු-අර් තේ හදන ප්‍රධාන ම ගම්මානය. මේ ගම්මානයේ තියෙනවා තේ කැලෑවක්. ඒ තේ කැලෑව හැදිලා තියෙන්නේ ලොකු තේ ගස්වලින්. 2009 අවුරුද්දේ දී ජපාන විශේෂඥයෙක් කිව්වා ඒ කැලෑව තේ කෞතුකාගාරයක් විදිහට හඳුන්වන්න පුළුවන් කියලා. ඉතින් දැන් ජාතික වස්තුවක් විදිහට ඒ තේ කැලෑව රකින්න චීන ආණ්ඩුව පෙළැඹිලා. ඒ වැඩේට කරගහලා ඉන්නේ ලන්-ත්සාං කෝරළයේ ආණ්ඩුව. 2008 අවුරුද්දේ පවත්වපු පෙයි-චිං ඔලිම්පික් ක්‍රීඩා උත්සවයේ නිල තේ පානය බවට පත්වෙන්නත් මං-චිං ගමේ හදන පු-අර් තේවලට පුළුවන් වුනා. ඉතින් මේ වෙද්දී පවුල් හයසීයක් විතර ඉන්න මං-චිං ගම්මානය චීනයේ තියෙන පොහොසත් ම ගමක් බවට පත්වෙලා ඉවරයි. මේ හැම දෙයක් ම වුනේ අවුරුදු දහයකටත් අඩු කාලයක් ඇතුළේ. මේ විපර්යාසය වුනේ කොහොම ද?

මං-චිං ගමේ තේ කැලෑව අවුරුදු 1800 කටත් වඩා පරණ වුනත් අලුත් දියුණු ක්‍රම හඳුන්නලා දුන්නාට පස්සේ මිනිස්සු ඒවාට පුරුදුවුනා. ඒ ගම්මුන්ට අලුත් ක්‍රම ගැන කියලා දුන්නේ ගමට ආපු කෘෂිකර්ම විශේෂඥයෝ. ගම්මුත් පරණ ක්‍රම අත ඇරලා අලුත් දියුණු ක්‍රම අනුගමනය කරන්න යොමුවුනා. ඉතින් 2003 අවුරුද්ද වෙන කල් ම මං-චිං ගමේ මිනිස්සු තේ අස්වැන්න වැඩි කරගන්න උත්සාහ කළේ රසායනික පොහොර, රසායනික වල්නාශක වගේ දේවල්වල පිහිටෙන්. ඒත් ඉස්සර ඉඳලා ම නම දරපු පු-අර් තේවල රසය අඩුවෙන්න පටන්ගත්තා. ඉවරයක් නැති අලුත් ලෙඩ තේ කැලෑවට බෝවෙන්න පටන්ගත්තා. තේ ගස් යට ඉස්සර හොඳින් වැවුණු වෙන වෙන පැලෑටි වර්ග නැතිවෙලා ගියා. තේ ගස්වල හැදිච්ච පෙඳ පාසි පවා අතුරුදහන් වෙන්න පටන්ගත්තා. ඒ විතරක් නම් කමක් නෑ. තේ දළු නෙලන්න ඒ ගස්වලට නගින ගමේ කාන්තාවන්ටත් ඉවරයක් නැති ලෙඩ හැදෙන්න පටන්ගත්තා. ඉතින් තේ වෙළෙඳාම නැත්තට ම නැතිවෙලා ගිහිල්ලා ගම දුප්පත්කමේ ආගාධයට ම ඇදිලා ගියා.

2003 අවුරුද්දේ දී මං-චිං ගමේ මිනිස්සු අලුත් වෙනසකට මුල පිරුවා. ඒ මිනිස්සු මුලින් ම කළේ ඉපැරැණි තේ වගාව සුරැකීමේ සංගමය” කියලා සංවිධානයක් හදාගන්න එක. ඊට අමතර ව, ගමේ ඉපැරැණි සාම්ප්‍රදායික සංස්කෘතිය රැකගන්න ව්‍යාපෘතියකුත් පටන්ගත්තා. ගමේ ගෙවල් දොරවල් පවා හැදුණේ පැරැණි වාස්තු ක්‍රම, ගෘහ නිර්මාණ කලාවට ගැලපෙන විදිහට. ඒ එක්ක ම තේ කැලෑවට රසායනික පොහොර දාන එකත් වල්නාශක ගහන එකත් මං-චිං ගමේ මිනිස්සු නැවැත්තුවා. ඒත් ස්වේච්ඡාවෙන් හදාගන්න සංවිධානවලට වැඩි දුරක් යන්න බෑ. අපේ ගම්වල හදාගන්න ඒ වගේ සංවිධානවලට වෙන දේ අපි හැමෝ ම වගේ දන්නවා. ඉතින් 2007 අවුරුද්දේ දී මං-චිං ගමේ මිනිස්සු අලුත් වැඩකට මුල පිරුවා. ඒ තමයි තමන් ගේ ගමේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ගැන වගකියන සමූහ සමාගමක් හදාගන්න එක.

ඒ වෙද්දී ගමේ ඉපැරැණි සංස්කෘතිය නැවතත් විධිමත් විදිහට ඉස්මතු කරගන්න පුළුවන්වෙලා තිබුණු හින්දා ඒ ගැනත් රට පුරා ම ප්‍රසිද්ධ වුනා. නගරවල ඉන්න මිනිස්සු ඒ අසිරිය විඳගන්න මං-චිං ගමට ඇදිලා එන්න පටන්ගත්තා. ඒ වෙද්දි, ගමේ ඇල දොළ පවා හොඳට පිරිසිදුවෙලා තිබුණේ. වස විස පාවිච්චිය අත් ඇරලා තිබුණු හින්දා තේ කැලෑවේ පුංචි පුංචි සත්තු, කුරුල්ලෝ කරක්ගහන්න පටන් ඇරගෙන. ඒ ගමේ ගෙවල් දොරවල් පවා ඒ ගමට ම ආවේනිකයි. ඉතාලි මෝස්තරයේ ගෙවල් බලන්න ඕන නම් මිනිස්සු යන්න ඕන ඉතාලියටනේ. ඉතින් දැන් ඒ ගමට එන සංචාරකයෝ දකින්නේ, අහන්නේ, විඳින්නේ ඒ ගමේ ම දේවල්.

මේ එක්ක ම ගුණාත්මක බවින් වැඩි පු-අර් තේවල මිල පුදුමාකාර විදිහට ඉහළ යන්න පටන්ගත්තා. ඒවා ආකර්ශනීය විදිහට වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න ඕන සුන්දර ඇසුරුම් වගේ දේවල් හදාගන්න ඕනකරන නවීන ශිල්ප ක්‍රම ගැන දැනුමත් යොදාගත්තා. පු-අර් තේවලින් රූපලාවන්‍ය ආලේප වගේ අලුත් අලුත් නිෂ්පාදනත් හදන්න පටන්ගත්තා. ටිකෙන් ටික මං-චිං ගමේ හදන පු-අර් තේ කියලා කියන්නේ බොහොම වටිනා සුඛෝපභෝගී (ලක්සරි) භාණ්ඩයක් බවට පත්වුනා. ඒ එක්ක ම ඒ නිෂ්පාදනවලට ඕනකරන වෙළෙඳනාම (බ්‍රෑන්ඩ් නේම්) හඳුන්වාදීමත් පටන්ගත්තා. ඉතින් දැන් ආර්ථික වශයෙන් දියුණු මං-චිං ගමේ මිනිස්සු පරණ පුරුදු සම්ප්‍රදායික විදිහට බොහොම සැහැල්ලුවෙන් සතුටින් ජීවත්වෙනවා.

මේ හපන්කම් හින්දා දැන් මං-චිං ගමේ මිනිස්සු රස්සා හොයාගෙන ගමෙන් පිටට යන්නේ නෑ. ගමෙන් පිට ගිය එවුනුත් ආපහු ගමට ඇවිල්ලා. මං-චිං ගමේ මිනිස්සු මේ හපන්කම් කළේ කොහොම ද? ඒ මිනිස්සුන්ගෙන් අපිට පාඩමක් ඉගෙනගන්න බැරි ද? ඒ පාඩම් අපේ දරුවන්ටත් කියලා දෙන්න බැරි ද?

 ෴

2 Responses to “තේ කාලේ කතාවක්!”

  1. aloy Says:

    Varuna,
    Thank you for a very interesting account of Tea. I have heard from many who have been to SL that the best cup of tea they had was in Katunayake BIA. According to some who had been to SL from here as tourist recently, it is our tea that one can drink without sugar and enjoy. This edge we have should be maintained by not using chemical fertilizer and weedicides, if not the same fate that fell on the Chinese village would fall on our tea plantations also.

  2. Christie Says:

    Thanks. A great article. We Sinhalese do not get much from our tea plantations. It is the Indian colonists who benefit from our land that Tea is grown.

    There is a huge market in China for our tea but our tea promoters have failed so far to promote and explore that market.

    As you say opium was processed in India. Lots of Indians were involved in the opium trade. Most of the opium retailers in our country were Indians. They made a lots and lots of money and destroyed our people.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress