දේශපාලන වේදිකාවේ නැටවෙන සරණාගත සහ ත්‍රස්තවාදී රූකඩ
Posted on October 3rd, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

ශ්‍රී ලංකාවට ඇතුලුවී සිටින රොහින්ග්‍යා සරණාගතයින් පිරිස පිලිබඳ ප්‍රශ්නය මේ වන විට රට තුල දැඩි කතාබහට ලක්ව ඇත. රට තුල පමනක් නොව ජාත්‍යන්තරය තුල පවා මෙය මහත් ආන්දෝලනයකට තුඩු දී තිබුනේ රොහින්ග්‍යාවරුන් ජීවත්වන රට වන මියන්මාරයේ නායිකාව වූ අවුන් සාං සුකී එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරයට සහභාගී නොවන බවට පලවූ පුවතත් සමගය. ඉතින් සියල්ලටම පෙර මේ රොහින්ග්‍යාවරුන් යනු කවුද කියා විමසා බැලීම වටී.

ලක්ෂ 8 – 10 ක් පමන වූ මෙම ජනතාව පරම්පරා බොහෝ ගණනක් තිස්සේ ජීවත් වනුයේ මියන්මාරයේ රාඛීන් දිස්ත්‍රික්කයේය. ‘රොහින්ග්‍යා’ යන නම මේ ජනවර්ගයට මියන්මාරයේ සිටින සහ හිටපු බලධාරීන් ලබා දී ඇති නමයි. ඒ මොවුන් බංග්ලාදේශයෙන් පලාවිත් නීති විරෝධීව රැඳී සිටින සංක්‍රමනිකයන්ය යන පදනමේ රැඳී සිටිමිනි. නමුත් මේ ජනවර්ගය එම නම ප්‍රතික්ශේප කරති. ‘අරකාන්’ යනු ඔවුන් තමන්ව හඳුන්වා ගන්නා නමයි. ඔවුන් කතා කරන භාෂාව සමග සසඳා බලන කල්හි එම ඉතිහාසය පිලිබඳ නොබිඳිය හැකි සාක්ෂි තිබේ.

කෙසේ වුවද ඒ බව තබා, දැනට තිබෙන කරුණු මත ඔවුන් පරම්පරා ගණනක් තම රටේ ජීවත් වුවත් ඔවුන් මියන්මාර වැසියන් සේ පිලිගැනීමට එරට රජය සූදානම් නැත. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය තුල මොවුන් හැඳින්වෙන්නේ ‘රටක් නොමැති ජන කොට්ඨාශයක්’ ලෙසය. බෞද්ධ රටක් ලෙස පිලිගැනෙන මියන්මාරය තුල ජීවත්වන මේ ජන කොටස අදහන්නේ මුස්ලිම් ආගමයි. අරකාන් යන නමින් ගත්කල මොවුන්ගේ ඉතිහාසය ශත වර්ෂ ගණනක් ඈතට දිවෙයි. ඊට අනුව 8 -9 ශත වර්ෂ කාලයේදී  මුස්ලිම් ආගමට හැරුන මොවුන් මේ වනවිට පවතින්නේ සුන්නි මුස්ලිම් නිකායෙන් බිඳී ආ තවත් ප්‍රභේදයක් ලෙසය.

මොවුනට පුරවැසිබව ලබා නොදෙන තත්වය මත මෙම ජන කොටසට රටේ තමන් කැමති ස්ථානයක පදිංචි වීමට, රජයේ අධ්‍යාපනය ලැබීම සහ රජයේ පිලිගත් රැකියාවල නිරතවීමට වැට බැඳී ඇත. මෙසේ ඔවුනට ලැබෙන සැලකිලි, මානුෂිකත්වයට එරෙහිව කෙරෙන අපරාධ ගනයේ ලා සැලකේ. දරිද්‍රතාවයෙන් සහ අඩු අධ්‍යාපනයෙන් පීඩා විඳින මෙම ජනතාව වෙත රාජ්‍ය මර්ධනයේ දැඩි හස්තය ක්‍රියාත්මක වනුයේ ඉතා ඛෙදජනක ආකාරයෙනි. රජයේ හමුදාවන් මගින් සිතුමතේ අත්අඩංගුවට ගැනීම, වදහිංසා පැමිනවීම, මරා දැමීම ආදිය සිදු වන්නේ අද ඊයෙක සිට නොවේ. මියන්මාරය මේ සියල්ල සිදු කරනුයේ මොවුන් එහි සිටින නීති විරෝධී බංගලාදේශ වැසියන් බව පවසමිනි. නමුත් අසල්වැසි බංගලාදේශයද ඒ තමන්ගේ රට වැසියන් බවට පිලි නොගනී. රොහින්ග්‍යා ත්‍රස්තවාදීන් බිහිවන්නට ඇත්තේ ඒ අනුවය. 2017 අගෝස්තු 25 දා රොහින්ග්‍යා ත්‍රස්තවාදීන් විසින් ප්‍රදේශයේ පොලිස් ස්ථාන කිහිපයකට පහරදී පොලිස් නිළධාරීන් 12 දෙනෙකු මරා දැමූ පසු, රජයේ හමුදාවන් විසින් ප්‍රදේශය ‘සුද්ධකර දැමීමේ මෙහෙයුමක්’ අැරඹූ අතර, සැප්තැම්බරය වනවිට රොහින්ග්‍යා වැසියන් 3000 ක් පමන මරා දැමිනි. ගම්මාන පිටින් ගිනි තබන ලද අතර තුවාල සිදු කිරීම්, ස්ත්‍රී දූෂණ දරාගත නොහුන තැන රොහින්ග්‍යාවරුන් 400,000 ක් පමන අසල්වැසි රටවල් කරා පලා යමින් සිටිති. මේ කරුණු සොයා බැලීමට මියන්මාරයට පැමිනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිළධාරීන්ට එම ප්‍රදේශවලට ඇතුලුවීමට එම රජය ඉඩ තැබුවේ නැත. මියන්මාරයට පැහැදිලිවම අවශ්‍යව ඇත්තේ මේ ජන කොට්ඨාශයේ බරින් නිදහස් වීමටය.

මොවුන්ට එරෙහිව මෙවැනිම මිලිටරි පහරදීම් 1978, 1991, 2012 සහ 2015 දී ත් සිදු කෙරුන අතර එවන් තදබල පිපිරීමක් අවසානයේ බොහෝ දෙනෙකු මියයන බව කිවයුතු නොවේ. එමෙන්ම ඒ අතරවාරයේ තත්වය මඳක් සමනය වී තිබෙන අවස්ථාවල රටෙන් පලාගොස් තමන්ට ආරක්ෂිතය කියා වැටහෙන තැනකට සේන්දු වීමටද මේ රොහින්ග්‍යාවරු උත්සාහ දරති. ඒ සඳහාද තම ජීවිත පරදුවට තැබීමට ඔවුනට සිදුවී ඇත. මෙසේ පලායන්නට තැත් කරන අයට ඒ සඳහා මුදලට සේවා සැපයීමට සැදී පැහැදී සිටින මිනිස් ජාවාරම්කරුවන්, පාලු පෙදෙස්වලදී ඒ මිනිසුන්ගේ අත ඇති මුදල් පැහැරගෙන ඔවුන්ව මරා දමන්නටද පසුබට නොවෙති. 2015 මාර්තුවේදී මැලේසියානු දේශ සීමාවේදී සොයාගත් මිනී වලවල් මෙවන් අමානුෂික සිදුවීම්වල සලකුණුය.

2008 දී මෙසේ පැමින මුහුද මැද බෝට්ටුවක අතරමංව සිටි පිරිසක් නාවික හමුදාව විසින් මුදාගෙන රට තුලට ගෙනවුත්, ඇමරිකාව සහ කැනඩාව සමග සාකච්ඡාකොට එම රටවලට පිටත්කර හැරීමට එවක සිටි රජය කටයුතුකල අතර 2013 දී ද එවැනිම සිද්ධියක් සිදුවිය. එවකට සිටි රජය එම සිදුවීම සෑහෙන තරම් සාධාරණව ඉටුකල අතර මේ රජයද එලෙස නොකරාවිය කියා කියන්නට අප ඉක්මන් විය යුතු නැත.

රොහින්ග්‍යා ත්‍රස්තවාදීන් සිටින්නේ 600 ක පමන ප්‍රමානයක් යයි කියනු ලැබේ. ඉතින් මෙසේ පලායන සියලුම මිනිසුන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වනුයේ කෙසේද?

ඔබ පරම්පරා ගණනාවක් තිස්සේ ජීවත්වන රට ඔබව පුරවැසියෙකු සේ පිලිගන්නට නොහැකිය කියනවා නම්, ඒ හේතුවෙන්ම ඔබට මනුෂ්‍යයෙකු සතු මූලික අයිතිවාසිකම් නොලැබී යනවා නම්, එම තත්වය දඩමීමා කරගෙන ඔබ හැරුනත්, කතාකලත් ඔබව වරදකරුවෙකු කර, සිර ගතකර වද හිංසා පමුනුවනවා නම්, හිතු මනාපයේ ඔබේ බිරිඳ, දියණිය දූෂණය කරනවා නම්! ඔබ තෝරා ගන්නේ කුමක්ද? කූඹියෙකු වුවද තමන්ව පාගන්නට උත්සාහ කරනවා නම් තමන්ට හැකි වේගයෙන් දිවගොස් ආරක්ෂාව සලසා ගන්නට බලන අතර, එසේ බැරි වුනොත් දෂ්ඨ කරන බව සොබා දහමේ රීතියයි. මේ රොහින්ග්‍යාවරුන්ට, ජාත්‍යන්තරයේ ගර්හාවට ලක්වූ මියන්මාරයේ මිලිටරි ජුන්ටාවෙන් මෙන්ම, ජාත්‍යන්තරයේ ප්‍රසාදය හිමිව සිටි අවුන් සාං සූ කී වෙතින්ද ලැබුනේ එකම ප්‍රතිචාරයකි.

නමුත් ප්‍රශ්නය වනුයේ මේ ප්‍රශ්නවලට අවස්ථාවාදීන් සහ අන්තවාදීන් අත දැමූ විට සිදුවන දේය. මියන්මාරයේ, රාඛීන් ප්‍රදේශයේ සිටින, එම රජය විසින් ‘බෙංගාලි මුස්ලිමුන්’ ලෙස හඳුන්වන මේ මිනිසුන්ට ‘මියන්මාර වැසියෙකු’ ලෙස අවශ්‍ය නීත්‍යානුකූල තත්වය ලබා ගන්නට සටන් වදිනවා වෙනුවට, වෙනම රාජ්‍යයක් සඳහා සටන් වදින තරමට කරුණු දුරදිග ගොස් ඇත්තේ එහෙයිනි. මියන්මාරය ථෙරවාදී බුද්ධ ධර්මය පිලිගත් රටක් වුවද, රොහින්ග්‍යාවරු මුස්ලිම් ආගම අදහන්නෝය. එබැවින් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් ඉතා සතුටෙන් මේ සඳහා ඉදිරිපත් වනු ඇත. අවාසනාව වනුයේ රටේ සාමකාමීව ජීවත්වීම පසෙකලන එරට බහුතර බෞද්ධාගමිකයෝද රොහින්ග්‍යා සංහාරය පිනිස නැගී සිටින්නේ බුද්ධාගමේ හරයද පසෙකට ලමින් වීමයි. 

මෙවන් ප්‍රශ්නවලදී ලෝක බලවතුන් මෙන්ම රොහින්ග්‍යා සරණාගත ප්‍රශ්නය බලපාන රටවල දේශපාලකයන්ද ක්‍රියා කරන්නේ මහත් සේ අවස්ථාවාදී වෙමිනි.

ඊට හොඳම උදාහරණය 2008 දී සහ 2012 දී, මුහුදේ අතරමංව සිටියදී අප රටට රැගෙන ආ රොහින්ග්‍යාවරුන් පිරිසයි. මේ පිරිස බේරා ගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි. එකල ආරක්ෂක ලේකම් වූයේ ගෝඨාභය රාජපක්ෂය. ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නගන ජාත්‍යන්තරය මෙම සිදුවීම් දකිනුයේ කෙසේද? අඩු තරමින් අන්තර්ජාලයේ රොහින්ග්‍යා සරණාගතයිනට පිලිගත හැකි රැකවරණයන් සැලසූ රටවල් අතර ශ්‍රී ලංකාවේ නම සහ මේ දින වකවානු ගැන සඳහනක්වත් නැත. අද මතුවී ඇති ප්‍රශ්නයේදී, සුලු ජාතික ඡන්ද පදනම මත විශ්වාසය තබා බලයේ සිටින යහපාලන රජයට පහර දෙන්නට රජයට එරෙහි පිරිස් ඉදිරිපත්ව ඇත. එබැවින් යමෙකු යුධ අපරාධ සම්බන්ධව, හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහ හමුදාවන්හි නිර්දෝශීභාවය ගැන කතා කරත් නම් ඊට හොඳ අවස්ථාවක් සපයන මෙවන් සිද්ධීන් ගැන කතාකල යුතුය. නමුත් ඒ වෙනුවට මෙතැන සිදුවන්නේ රජයේ බලය සිඳ දැමීමට ගල්කිස්සේ  සිද්ධිය උපයෝගී කර ගැනීමයි. ඒ තුල අපේ ජනතාව සමහරෙකු, 1983 දී එදා ලොව හමුවේ ප්‍රදර්ශනයකල අමානුෂිකත්වයම යලි චිත්‍රණය කරන්නට සැරසෙති. ඊලඟට පවතින රජයේ සමහරුන්ද තම ඇඟ බේරා ගන්නට උත්සාහ දරන්නේ ‘අපි නෙමෙයි ඔන්න ගෝඨාභයලා  තමයි අපට කලින් මේව කලේ’ කියමිනි.

එක්සත් ජාතීන්ගේ උපදෙස් මත ගල්කිස්සේ රඳවා තැබූ සරණාගතයින් ‘දරුණු ගනයේ ත්‍රස්තවාදීන්ය’ කියා ලේබල් කරනුයේ කෙසේද? ඒ ද තම පණ කෙන්ද රැකගෙන, උපන් මහ පොලොව මත මිනිසෙකු ලෙස ජීවත්වීමේ අපේක්ෂාවෙන් පැමින සිටින පිරිසකි. 

ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවල සරණාගත රැකවරනය පතා යන පිරිස් ඕනෑ තරම් සිටිති. මෙසේ පවසන කල්හි බොහෝ දෙනෙකුට මතක් වනු ඇත්තේ දෙමල ඩයස්පෝරාවය. නමුත් අප විශ්ව විද්‍යාල සිසුන්ව සිටි 80 දශකය අග භාගයේ, තරුණ කොටස් ලෙස අපට බලපෑ, දරාගත නොහැකි ජීවිත අවදානම හමුවේ යුරෝපා රටවල හෝ ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව යන රටවල සරණාගත රැකවරන පතා පලාගිය පිරිස් ඕනෑ තරම් සිටියහ. යම් හේතූන් නිසා එදා එසේ පලා නොයන්නට තීරණය කලද, අප ද පණ කෙන්ද රැකගත් අසීරුවද, එදා අප විඳි මරණ භයද මතක් වනවිට, අද අර මිනිසුන් බිහිසුණු ත්‍රස්තවාදීන්ය කියා හඳුන්වන්නේ කෙසේද? මන්ද එදා තිබූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අනිවාර්යෙන්ම ත්‍රස්තවාදී ස්වරූපයක් විය. නමුත් රජයේ මර්ධන හස්තය ක්‍රියාත්මක වනවිට එහි බලපෑම දැනුනේ ත්‍රස්තවාදීන්ට පමනක් නොවේ. එදා රජය තම සතුරන් සේ මූලිකවම සැලකූ විශ්ව විද්‍යාල ප්‍රජාවට අපිද අයත් වූයෙමු. නමුත් අප අතින් කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් සිදු වුනේ නැත. ඒ හේතූන් නිසා රටින් පලාගිය පිරිසද ත්‍රස්තවාදීන් නොවූහ.  දේශපාලනික වේවා, ජනවාර්ගික වේවා, මෙවන් සරණාගත ප්‍රශ්නයකට සම්බන්ධ වන පිරිස අරභයා කියැවෙන්නේ එකම කතාවකි. ජන කොටසක් තලා පෙලා දැමීම, මෙය නොඉවසන ත්‍රස්තවාදයක් බිහිවීම, ඊට එරෙහි මර්ධනය සහ මේ ආරවුල් මැදට කොටුවන අසරණයන් යන පාර්ශ්වයන් හරහා දේශපාලනීකරනය වෙමින් දිග හැරෙන කතාවයි.

ශ්‍රී ලංකාවේ මෙම රොහින්ග්‍යා ප්‍රශ්නය විශාල මාතෘකාවක් වී ඇත්තේ මෙසේ දේශපාලනීකරනය වීමේ ප්‍රතිඵලයක් ලෙසය.

ශ්‍රී ලංකාවේදී සරණාගතයින් භාර ගැනීමේ කතාව වෙනස්ය. අපේ රට පොහොසත් රටක් නොවේ. තවත් අය පිටතින් රට ඇතුලට ගෙනත් දමාගෙන ඔවුන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු සොයනවාට වඩා දැනට සිටින මිනිසුන්ට උත්තර සොයන්නත් තිබෙන ප්‍රශ්න ඉහටත් උඩිනි. එමෙන්ම මෙවන් සරණාගතයන් පිරිසක් තාවකාලිකව රඳවා ගන්නාවිට, ඔවුන් අරභයා තමන්ට කල හැක්කේ කුමක්ද, ඔවුන්ගේ වියදම දරන්නේ කෙසේද අාදී දේ රජයක් ලෙස විනිවිද භාවයෙන් පැවසීමේ හැකියාව රජයකට තිබිය යුතුය. එමෙන්ම අප්‍රේල් මාසයේ සිට ගල්කිස්සේ රැඳී සිටි මේ පිරිස පිලිබඳව ආරවුල මතුවුනේ අසාද් සාලි, මරික්කාර් ඇතුලු පිරිස මියන්මාර් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කල පසුවයි. ඔවුන්ද අන්තවාදී මුස්ලිම් දේශපාලකයන් වන අතර, ඔවුන්ගේ අරමුණද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන මේ සරණාගතයන් පිරිස මේ රටේ රඳවා ගැනීමටයි. 6.7%ක ජනගහනයක් දරිද්‍රතා රේඛාවෙන් පහල සිටින තත්වයක් මත, ඇති නැති පරතරය දිනෙන් දින පුලුල් වෙමින් යන රටක ප්‍රායෝගික වශයෙන් සරණාගත ජනතාවක් භාරගත නොහැකිය. එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන්කර නොමැති නිසා ඊට බලයකුත් නැත. ආදායම මෙන්ම ජනතාවගේ මූලික හා ක්‍රමෝපායි අවශ්‍යතා සැපිරී ඇති ප්‍රමානය අනුව ශ්‍රී ලංකාවට එවන් දෙයකට මැදිහත් වීමේ ඉඩකඩක්ද නොවෙයි.

ඊලඟට අසාද් සාලිලා, නසීර් අහමඩ්ලා කියන පරිදි මෙසේ මෙවන් පිරිසක් රටේ නවත්වාගෙන ඔවුන්ට ඉඳුම් හිටුම් දෙන්නේ කොහේද? දැනටමත් මේ දේශපාලකයින් තම වර්ගයා අතර තම දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ ආත්මාර්ථකාමී අරමුණෙන් සිදු කරන වන විනාශය, පුරාවස්තු කෙලෙසීම ආදිය සඳහා මෙය තවත් හොඳ හේතුවක් සපයනු නියතය. අද වනවිට තිරුකෝවිල්හි ඇති වට්ටමඩු තෘණ භූමියට අත්ව ඇති ඉරණම දකින විට මේවා ගැන සැකයක් සිතන්නට අවශ්‍ය නොවෙයි. ඒ සමගම සුලු ජාතික ඡන්ද පදනම සහ ජාත්‍යන්තරය දිනා ගැනීමේ අරමුණ මත රැඳී සිටින යහපාලන රජයෙන් මෙවන් ප්‍රශ්නවලට පිලිතුරු අපේක්ෂා කිරීමත් අසීරුය.

ඒ සමගම සරණාගතයින් ගැන සැක ඇතිවන සිද්ධීන්ද ලෝකයේ සිදු වේ. බර්ලිනයේ, පැරිසියේ හෝ බාසිලෝනාහිදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මීට උදාහරණ සපයයි. එබැවින් මෙවන් සිද්ධියකදී ජනතාවගේ සිත් තුල සැක බිය ඇති වීමද වැලැක්විය නොහැක්කකි. මෑතකදී ජර්මනියේ අලුතින් නැගී එන අති දක්ෂිණාංශික නාසිවාදී දේශපාලන පක්ෂයක් ගැන ලිපියක් කියවීමි. එහි සඳහන්ව තිබුනේ අප සරණාගතයින් දෙස වෙනස් කෝණයකින් නොබැලිය යුතු බවටත් ජර්මනියට පැමින ස්ථිර වීසා ලැබී වසර දෙක තුනක් යනවිට සිරියානුවාත් නියම ජර්මානුවෙකු වන බවයි. මම නම් එයට එකඟ නොවෙමි. මෙයට පෙර තමන් හසුව සිටි සංස්කෘතියේ බලවත්කම මත එය පදනම් වන බව මගේ හැඟීමයි. මහා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් සහ ලන්ඩන් බ්‍රිජ්හි දී සිදුවූ ප්‍රහාර සිදුකලේ බ්‍රිතාන්‍යයේම උපත ලද මුස්ලිමුන් විසිනි. අයි එස් සංවිධානයට බැඳීම සඳහා නිවෙස්වලින් පලා ගිය යුරෝපීය රටවල උපන් තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව 600 ක් පමන වෙතැයි කියති. නමුත් මෙය මෙසේ වූවාට සියල්ලන්ටම එක හැන්දෙන් බෙදීම යුරෝපීය රටවල ප්‍රතිපත්තිය නොවේ.

ඒ ත්‍රස්තවාදී ගැටලුවයි. එයින් පිටත ලෝකය ගත්විට පවා යුරෝපයේ ඉපදුනාය කියා තම ජීවන රටාව වෙනස්කර ගෙන යුරෝපීයයන් බවට පත්වන්නට අසතුටු මිනිසුන් ඕනෑ තරම් සිටිති. ඔවුන් තම ජනවර්ගයට අනුව තමන් වෙසන රටේ එකම පෙදෙසකට සංක්‍රමනය වී, එතැන උප සංස්කෘතීන් නිර්මාණය කරගෙන ජීවත් වනවා විනා, තමන් ජීවත්වන රටේ භාෂාව කතා කිරීමට ඉගෙන ගන්නටවත් උනන්දුවක් නොදක්වති. මේ රටවලින් යම් කටයුතුවලදී මෙවන් මිනිසුන් ගැන මානුෂීය කෝණයකින් බලා භාෂා පරිවර්තන සේවාවක් ලබා දීමට කටයුතු කරන නිසා ඔවුන්ටද එය ගැටලුවක් නොවේ. මේ උප සංස්කෘතීන් තුල මානවයාගේ සදාචාරාත්මක පැවැත්මට හානි සිදුවන දේ ද සිදුවීම මෙහි අහිතකර ප්‍රතිඵලයයි. සෝමාලියාව ඇතුලු අප්‍රිකානු රටවල බහුලව සිදුවන කාන්තාවන්ගේ අයිතිවාසිකම් දරුණු ලෙස උල්ලංඝනය කරන සංස්කෘතිකමය චාරිත්‍රයක් වූ කාන්තා ලිංගික අවයව කප්පාදුව පිලිබඳ සිද්ධින් 1200 ක් ලන්ඩන් නගරයේදී පමනක් 2010 -2014 කාලය තුල වාර්තා වූයේ එය මෙරට තුල නීතියෙන් තහනම්ව තිබියදීය. ඒ හැර මෙම අමානුෂික චාරිත්‍රයට භාජනය කරනු පිනිස ගිම්හාන නිවාඩුවේ දැරියන් දහස් ගණනින් තම මව් රටවලට ගෙන යන්නේද මෙසේ පුරවැසි භාවය ලද්දවුන්ය.

පකිස්ථානු – බ්‍රිතාන්‍යයන් බොහෝ ජීවත්වන බ්‍රැඩ්ෆර්ඩ් නගරයේ සිදුවූ පවුලේ ගරුත්වය වෙනුවෙන් කල මිනීමැරුම් සිද්ධීන් කිහිපයක් පසුගිය කාලයේදී රට තුල මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර ඒ සියල්ලෝමත් පරම්පරා ගණනාවක් තිස්සේ එංගලන්තයේ ජීවත් වූවෝය. ඒ හැර දැරියන් බලහත්කාරයෙන් විවාහකර දීම, ලිංගික වහලියන් රඳවා ගැනීම, ගෘහස්ත හිංසනද මෙවන් උප සංස්කෘතීන්ට අයත්ය.

මේවාද සිතේ මතු වුවත් අප මෙම සරණාගතයන් දෙස තරහෙන් බැලිය යුතු නොවේ. මන්ද කවුරු කෙසේ නැටුවත් මොවුන් රටේ නවතා ගැනීමට ශ්‍රී ලංකාවට බලයක් නැත. ‘අරය තමයි අපට කලින් මේව කලේ’ කියමින් බෝල පාස් නොකර රජය මේ සිද්ධිය පිලිබඳ ජනතාවට හරිහැටි වටහා දිය යුුතුය. එසේ නොවන තැන ජනතාවගේ සැකය මතුවීම වැලකිය හැක්කේ කාටද? නමුත් මේ සරණාගතයින් හෙලා දැකීමට ආගම් යොදා ගැනීම නම් අනුමතකල නොහැකිය. මෙතැන ගැටෙන්නේ ආගම් දෙකක අන්තවාදයන් විනා දර්ශනයන් නොවේ.

පුවත්පතක ශීර්ෂ පාඨයක් දුටුවෙමි. ‘ට්‍ර්ම්ප්ට හොඳයි. සූකීට නරකයි’ හැබැයි අප කල යුත්තේ මෙවන් සාධාරණීකරනය කිරීම් නොවේ.  ‘අරය කල නිසා එයත් කලා. ඉතින් අපිත් කරමු’ කියමින් ත්‍රස්තවාදයේ බීජ වැපිරීමට භූමිය සකස් කිරීම නොව මේ ප්‍රශ්නවල අග මුල වටහාගෙන එදෙස බැලීමය.

මෙවන් ආකල්ප ඔස්සේ සිදුවූ අත්වැරදීම් නිසා අපි දශක තුනක් විඳවූයෙමු. අද තවත් ජාතික ප්‍රශ්නයකට අත වනමින් පටු හැඟීම් සහිත වැකි සමාජ වෙබ් අඩවි පුරා වපුරවන තරුණ අයට වඩා ඒ විඳවීම අප දන්නේ ඒ දශක තුනේ ඇරඹීමේ සිට ප්‍රායෝගිකව අත්දුටු හෙයිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress