සෙක්කුවෙන් උනන සල්ලි
Posted on October 8th, 2017

වරුණ චන්ද්‍රකීර්ති 

එල්ලංගාවක් කියලා කියන්නේ ඇල මාර්ගවලින් එකිනෙකට සම්බන්ධ වෙන වැව් පද්ධතියකට. අපේ මුතුන් මිත්තෝ ඇල මාර්ග හදලා තිබුණේ වැව් එකිනෙකට සම්බන්ධ කරලා ජල පද්ධතියක් පවත්වාගෙන යන්න මිසක් වැවකින් කුඹුරුවලට ජලය බෙදන්න නෙවෙයි. ඉතින් බොහෝ වෙලාවට මේ ඇල මාර්ග හදලා තිබුණේ පොළොවේ සමෝච්ච මට්ටම්වල. හැතැප්මකට අඟලක් කියන ආනතියට යෝධ ඇල හදලා තිබුණා කියන කතාවේ තේරුමත් ඒකයි. කලාවැවේ ඉඳලා තිසාවැවට ජලය ගලාගෙන ගියේ මග දිගට තිබුණු එල්ලංගා ගණනාවක් ම පෝෂණය කරමින්. එල්ලංගාව හින්දා පොළොවේ තෙතමනය ආරක්‍ෂා වුනා. ගස් වැල් හොඳින් හැදිලා සතා සිව්පාවන්ට හොඳින් ජීවත්වෙන්න පුළුවන් ඒ වගේ පොළොවක තමයි. ඉතින් ඒ පොළොවේ මිනිස්සුත් තමන් ගේ ගොවිතැන් බත් කරගෙන බොහොම සතුටින් ජීවත්වුනා.

කාට හරි හිතෙන්න පුළුවන් මේක නිකම් ම නිකම් සුන්දර කල්පනාවක් කියලා. ඒත් දැනටත් මේ විදිහේ එල්ලංගා අපේ රටේ වියලි කලාපය කියලා හඳුන්වන ප්‍රදේශයේ තියෙනවා. ඒකට දෙන්න පුළුවන් හොඳ ම උදාහරණය තමයි හොරිවිල ගමත් ඊට යාබද ව තියෙන උඩකඩවල ගමත් පෝෂණය කරන එල්ලංගාව. මේ එල්ලංගාවට වැව් දොළහක් අයිතියි. අපි කවුරුත් දන්නවා හොරිවිල ගම තියෙන්නේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කියන එක. පලුගස්වැව කියන්නේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ දුෂ්කරයි කියලා නම් කරලා තියෙන ප්‍රදේශයක්. ඉතින් ඒ වගේ ප්‍රදේශයක මෙහෙම දෙයක් තියෙනවා කියලා හිතන එකත් පුදුමයක්.

මේ එල්ලංගාව ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත්කිරීමේ සූදානමකුත් තියෙනවා. ඒක හොඳ දෙයක්. මොකද අපේ මිනිස්සු අපේ ම දේක වැදගත්කම දැනගන්නේ ඒක හොඳයි කියලා බටහිර රටකින් ලේබලයක් ඇලෙව්වාම. ඉතින් මේ ගැන හොයලා බලන්න ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ලොක්කෙක් හොරිවිලට ආවා කියලා වාර්තාවක් 2016 දෙසැම්බර් මාසයේ පත්තරවල තිබුණා. ගෝලීය වශයෙන් වැදගත් කෘෂිකාර්මික උරුමයක් හඳුනාගන්නේ ආහාර සුරක්‍ෂිතතාවට ඒකෙන් ලැබෙන පිටුබලය, කෘෂි සහ ජීව විවිධත්වය, දේශීය හා සාම්ප්‍රදායික දැනුම භාවිතය, සංස්කෘතික සහ සාම්ප්‍රදායික අගය පද්ධතියට මුල් තැන දීම, සාම්ප්‍රදායික සමාජ සංවිධාන පවත්වාගෙන යෑම, අනන්‍ය වූ භූ දර්ශන පවත්වාගෙන යෑම වගේ කරුණු සළකලා කියලා ආහාර හා කෘෂිකර්ම සංවිධානය කියනවා. ඉතින් හොරිවිල ගමට ඒ අවශ්‍යතා ඔක්කොම සපුරාගන්න පුළුවන් වුනා ද කියන එක නම් මේ ලේඛකයා දන්නේ නෑ. ඒ කොහොම වුනත් හොරිවිල ගමේ එල්ලංගාව තවමත් හොඳින් තියෙනවා.

මේ එල්ලංගාව ලෝක උරුමයක් කරන වැඩේට අදාළ ව ආණ්ඩුවේ කාර්යාලවල ලිපිගොනු ඉවරයක් නැතුව ඉහළ පහළ යනවා ඇති. ඒත් මේ වැඩේ කරන්න ආණ්ඩුවටවත් ආණ්ඩුවේ නිලධාරීන්ටවත් බෑ. මේ උරුමය රැකගෙන පෝෂණය කරලා තියෙන්නේ ඒ ගමේ ම මිනිස්සු. ඉතින් ඉතිරි වැඩ ටිකත් කරන්න වෙන්නේ ඒ මිනිස්සුන්ට ම තමයි. රස්සා හොයාගෙන මිනිස්සු ගම් අත හැරලා යන කාලයක සාම්ප්‍රදායික දේවල් ආරක්‍ෂා කරගන්නවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒත් එහෙම කිය කියා හිටියා කියලා මේ වගේ වැඩ සිද්දවෙන්නේ නෑ. මේවා කරන්න පුළුවන් ක්‍රමයක් අපි අපි ම හොයාගන්න ඕන.

ඉතින් මේ වැඩේ කරන්න වෙන්නේ කොහොම ද?

මුලින් ම කරන්න ඕන ගමේ මිනිස්සු ගමේ ම නවත්තගන්න ක්‍රමයක් හොයාගන්න එක. ගමේ මිනිස්සු දුක් විඳගෙන ගමෙන් පිටට යන්නේ රස්සා හොයාගෙන. ඒ කියන්නේ අද පවතින ආර්ථික ක්‍රමය ඇතුළේ අපි කාටත් උවමනා කරන සල්ලි හොයාගෙන. ඉතින් සල්ලි උපයන ක්‍රම ගම ඇතුළේ ම හදාගන්න බැරි ද?

මේ කාරණය ගැන හිතද්දි මේ ලේඛකයාට මතක්වෙන්නේ තමන් කුඩා කාලයේ දැකලා තියෙන සෙක්කුව. කුඩා කාලයේ මේ ලේඛකයා පඬුවස්නුවර පැත්තේ ගමක ජීවත්වෙලා තියෙනවා. ඒ ගමේ එක වත්තක සේක්කුවක් තිබුණා. සෙක්කුවේ තෙල් හින්දේ සෝමතිලක අයියා. පොල් තෙල් විතරක් නෙවෙයි. තව තව ගොඩක් තෙල් ජාති ඒ සෙක්කුවේ හින්දා. සෝමතිලක අයියාට කරන්න තිබුණේ තෙල් හිදින්න ගන්න කොප්පරා ටික සෙක්කුට දාලා ගොනා ව දක්කන එක. ඉතින් සෙක්කුවෙන් තෙල් හිඳින වැඩේ ඒ කාලේ අපේ ගම්වල සාමාන්‍ය දෙයක්.

එත් ගම්වලට තෙල් මෝල් ආවට පස්සේ සෙක්කුවලට වැඩ නැතිවුනා. ඊ ළඟට වුනේ ගම්වල තිබුණු සෙක්කු ගල් ගලවාගෙන ගිහිල්ලා සංචාරක හෝටල් වටේ හිටවන එක. ඒක කරලා තිබුණේ උද්‍යාන සැරසිල්ලක් විදිහට. මිනුවන්ගොඩ ඉඳලා කොටුගොඩට යන පාර අයිනේ ගෙදරක සෙක්කු ගල් ගොඩක් ගොඩ ගහලා තියෙනවාත් මේ ලේඛකයා දැකලා තියෙනවා.

විවෘත ආර්ථිකයත් එක්ක තව තව තෙල් ජාතිත් අපේ රටට ගලාගෙන එන්න ගත්තා. ඒ එක්ක ම පොල් තෙල් අගුණයි කියලා කතාවකුත් පැතිරෙන්න ගත්තා. ඒත් අපේ මිනිස්සු තවමත් කෑම හදන්නේ පොල්තෙල් දාලා. මේ මෑතක ඉඳලා කියනවා වඩා හොඳ වර්ජින් කොකනට් ඔයිල් කියලා. වර්ජින් කොකනට් ඔයිල් කියන්නේ සෙක්කු තෙල්වලට. සෙක්කුවේ හිඳින තෙල් මෝලේ හිඳින තෙල් වගේ රත්වෙන්නේ නෑ. ඉතින් ගුණය වෙනස් කියන එක පුදුමයට කාරණයක් නෙවෙයි. කොහොම හරි සෙක්කු තෙල්වලට (වර්ජින් කොකනට් ඔයිල්වලට) ලෝකය පුරා ම ලොකු ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා. ඉතින් අපේ රටේ කට්ටියත් එක එක යන්ත්‍ර සූත්‍ර ගෙනැල්ලා වර්ජින් කොකනට් ඔයිල් හිඳින්න පටන් ඇරගෙන.

ඇයි අපිට බැරි අපේ ගම්වල ආයෙත් සෙක්කු කරකවලා තෙල් හිඳින්න. මේ විදිහට හිඳින්නේ වර්ජින් කොකනට් ඔයිල් හින්දා ඒවා අඩු ගණන්වලට දෙන්න ඕනකමක් නෑ. අනිත් කාරණේ මේ තෙල් විකුණන්න ගමෙන් පිටට යන්න ඕනත් නෑ. මේ විදිහට සේක්කුවලින් තෙල් හිඳිනවා කියලා දැනගත්තා ම නගරවලට, ඒ ආසන්නයේ ගෙවල්වලට ගාල්වෙලා ජීවත්වෙන අපේ මිනිස්සු ළමයි බමයි ඇරගෙන ගම්වලට ම එයි ඒ අසිරිය විඳගන්න. ඉතින් ඒ එන මිනිස්සුන්ට තෙල් විකුණන එක අමාරු දෙයක් නෙවෙයි.

බත්තරමුල්ලේ හදලා තියෙන්නේ අපේ ගමක් නෙවෙයි. ගමක් කිව්වා ම තව කොච්චරක් නම් දේවල් තියෙනවා ද? මැටි ගහපු ගෙවල් ටිකක් හදලා පොල් අතු ටිකක් බැන්ද පලියට ඒක ගමක් වෙන්නේ නෑ. ඉතින් වැව්, කුඹුරු, පන්සල් තියෙන අපේ ගම්වල ඇත්ත අපේ ගම් හදන එක අමාරු වැඩක් නෙවෙයි. ඒකට කරන්න ඕන ගමේ කරපු කර්මාන්ත ආයෙත් වතාවක් ගමට හඳුන්වලා දෙන එක විතරයි.

මේ ලේඛකයා ගේ නැගණිය ගේ ගෙදර අදටත් වී බිස්සක් තියෙනවා. මීට අවුරුදු දහයකට පහළොවකට කලින් ඒ ගෙදර වී බිහි දෙකක් තිබුණා. ඊටත් කලින් වී බිහි හත අටකට වඩා තිබුණු බවකුත් මේ ලේඛකයා අහලා තියෙනවා. කොහොම හරි දැන් ඉතිරිවෙලා තියෙන්නේ එක වී බිස්සයි. ඒ බිස්ස වහලා තියෙන්නෙත් තල අතුවලින්. ඒකට හේතුවෙලා තියෙන්නේ දැන් ගම්වල පිදුරු නැති එක. ගොයම් කපන්නේ භූතයාගෙන් හින්දා පිදුරු එළියට එන්නේ බොහොම කෙටියට කැපිච්ච කෑලි විදිහට. ඒවා වහළකට අතුරන්න බෑ. ඒ විතරක් නෙවෙයි. බිස්ස වෙනුවෙන් ම ගොයම් ටිකක් වෙනම කපාගෙන පිදුරු වෙන් කරගත්තත් ඒවා වැඩි කාලයක් පවතින්නේ නෑ. මොකද රසායනික පොහොර ගහලා හැදිච්ච ගොයමේ පිදුරු ඉක්මනින් දිරනවා.

ඒ කොහොම වුනත් වස විස ගහන්නේ නැතුව ගොයම් වවාගත්තොත් වී බිහි ටික ආපහු හදාගන්න බැරිවෙන එකක් නෑ. ඉතින් මී හරක් දාලා කුඹුරු හාන, අත්තමට කයියට ඒ කුඹුරුවල වැඩකරන, වී බිහි තියෙන, තෙල් හිඳින සෙක්කු තියෙන ගම් බලන්න අපේ මිනිස්සුත් විදේශවලින් එන සංචාරකයෝත් ඇදිලා ඒවි. ඉතින් ගමේ හිඳින තෙල්, ගමේ හැදෙන ගඩාගෙඩි, වී හාල්, ගමේ හදන කැවිලි, අත්කම් නිර්මාණ ඒ මිනිස්සුන්ට විකුණලා ආදායමක් උපයාගන්න අපේ මිනිස්සුන්ට බැරිකමක් නෑ. ගම තියෙන්නේ ප්‍රධාන පාරෙන් ඈත නම් ගමට මිනිස්සු ගෙනියන්න බරකරත්ත, බර භාග, බක්කි යොදවන්න බැරිකමකුත් නෑ. ඉතින් මේ විදිහට ගමට එන මිනිස්සු ගමේ සෙක්කුවේ හරකා එක්ක සෙල්ෆියක් ගහලා ෆේෂ් බුක් එකටත් දමාවි!

මේ හැම දෙයක් ම සාර්ථක වෙන්නේ ගමේ සංස්කෘතිය ඒ විදිහට රැකගන්න අපිට පුළුවන් නම් විතරයි. ඒ වගේ එක ගමක් අනෙක් ගමෙන් වෙනස්වෙන්න ඕන. හැම ගමකට ම පුළුවන් වෙන්න ඕන තමන් ගේ අනන්‍යතාව රැකෙන විදිහේ වැඩක් කරන්න. තම තමන්ට අදාළ විදිහට සංස්කෘතික අංග හදාගෙන වැඩිදියුණු කරගන්න එකත් මේ වැඩේට අදාළයි. තම තමන් ගේ ගම්වලට අදාළ කතන්දර හදාගන්න එකත් කෙරෙන්න ඕන. එහෙම වුනොත් විතරයි ඒ හැම ගමකට ම ඇති පදම් ආදායම් උපයාගන්න පුළුවන් වෙන්නේ.

මේ යෝජනාකරන්නේ ගමේ උරුමය විකුණාගෙන කන්න කියලා කාට හරි චෝදනා කරන්න පුළුවන්. ඒත් මේ වගේ වැඩවලින් ගමේ උරුමයට පණ එන බව අපි අමතක කරන්න හොඳ නෑ. එහෙම නැතුව මේ විදිහට ගම් පාළුවෙලා ගියොත් ඉතිරිවෙන දෙයක් නෑ. අපි පටන්ගන්න ඕන අද අපි වැටිලා ඉන්න තැනින්. අපි කවුරුත් කරන්නේ සල්ලි හොයන සෙල්ලම්නේ. ඉතින් ගමේ මිනිස්සුන්ටත් ගමේ ඉඳලා ම ඒ වැඩේ කරගන්න දෙන එකේ වැරැද්දක් නෑ.

මේ විදිහට මිනිස්සු ගම්වල රැ‍ඳෙනවා නම් තමයි එල්ලංගාව ලෝක උරුමයක් කරන වැඩේ සාර්ථක වෙන්නේ. ඉතින් මේ විදිහේ එක ගමක් හරි අපි හදමු!

වරුණ චන්ද්‍රකීර්ති 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress