කැනඩාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන බ්‍රහ්මණගම මුදිත නාහිමිපාණන් වහන්සේ සමඟ පිළිසඳරක්.
Posted on October 13th, 2017

රාජේන්ද්‍ර අල්විස්

(කැනඩාවේ බෞද්ධ කොන්ග්‍රසයේ හිටපු සභාපති)

කැනඩාවේ, ඔටාවා අගනුවර හිල්ඩා ජයවර්ධනාරමධිපති සහ සිද්ධමුල්ල ශ්‍රී සංඝාරාම පුරාණ විහාරය, දීපංගොඩ වර්ධනාරාමය කුඩමාදුව  සංඝිකාරාමය යන විහාරස්ථානයන්හි ද ආධිපත්‍යය හොබවන බ්‍රාහ්මණගම මුදිත ස්වාමින් වහන්සේ වෙත පසුගියදා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් කැනඩාවේ ප්‍රධාන සංඝනායක පදවිය මහත් හරසරින් පිරිනමනු ලැබිණි.

ප්‍ර:       පසුගියදා ශ්‍රී ලංකාවේ කෝට්ටේ සංඝ සභාව විසින් ඔබ වහන්සේට කැනඩාවේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමනු ලැබූ බව අපට අදනගන්නට ලැබුණා. පළමුවෙන් ම, මේ උතුම් පදවි ලාභය ගැන කැනඩාවේ වෙසෙන ඔබ වහන්සේගේ දායක දායිකා පිරිස් වෙනුවෙනුත්, පෞද්ගලිකවත්, අපේ බැති බර සුබ පැතුම් මෙ සේ පුද කරන්නට කැමතියි.

පි:      මේ අවස්ථාවේදී ඔබ සැමගේ සුබ පැතුම් මා ඉතා නිහතමානිව, අදරින් පිළිගන්නා අතර ඒ ගැන ඔබ සැමට මගේ ආශීර්වාද පූර්වක ස්තුතියද ඉතා කාරුණිකව පිරිනමනවා. ඒ සමඟ ම කෙටියෙන් හෝ මේ ගැන පෙරවදනක් සැපයීම ද සුදුසුයැ යි මා කල්පනාකරනවා. නිරාමිස සුවය සොයා සසුන් ගත වූ අපට මෙවැනි තනතුරු  ගැන අපේක්ෂාවක් හෝ ඇල්මක් හෝ නැහැ. පසුගිය කාලයේ ශාසනික සේවාවන් සඳහා උතුරු ඇමෙරිකාවට නිතර නිතර වැඩම කළ මාදුළුවාවේ සෝභිත නාහිමියන් හා මැටිවිලියේ පඤ්ඤාකිත්ති නාහිමියන් වහන්සේලා මේ තනතුරට මා  පත් කරන ලෙස මීට වසර කිහිපයකට ම පෙර කෝට්ටේ සංඝ සභාවට යෝජනා කර තිබුණා. ඒ අනුව මේ තනතුර මා වෙත පිරිනැමීමට සියලු කටයුතු ද සුදානම් කර තිබුණා. එහෙත්, ඒ සඳහා අපගේ එකඟතාවයක් නොවූ බැවින් කලක් තිස්සේ ඒ කටයුතු යටපත් වෙමින් තිබුණා. ගතවන කාලයත් සමඟ මතුවූ ඇතැම් ප්‍රයෝගික හේතු සහ කෝට්ටේ සංඝ සභාවේ නියෝග මත පසුව මා මේ තනතුර පිළිගන්නට යෙදුණා.

ප්‍ර :      නව යොවුන් වියේදී ඔබ වහන්සේ සසුන් ගත වූ ආකාරය ගැන විස්තර ටිකක් දැන ගන්නට කැමතියි.

පි:       මා පැවිදි බිමට පිවිසුනේ වසර 1970 ජන්වාරි 22 දායි. මේ දිනය මගේ ජිවිතයේ ඉතා ශ්‍රේෂ්ඨත ම දිනය වශයෙනුයි මා සලකන්නේ. අපේ පවුලේ හිටියේ මල්ලිත් මාත් පමණයි.  මේ කාලයේ අප ඉගෙන ගනිමින් සිටියේ බ්‍රහ්මණගම ශ්‍රී මේධානන්ද මහා විද්‍යාලයේ යි. එවක මා සිටියේ අ:පො:ස උ/පෙළ හදාරමිනුයි. මා පැවිදි කරනු ලැබූ මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේලා වූ අති පුජනීය පරගස්තොට පියරතන හා මාවිත්තර අරියවංස යන ලොකු හාමුදුරුවරු මගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වූවා. මාවිත්තර අරියවංස ලොකු හාමුදුරුවරුවන් වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී විද්‍යාර්ථියෙකු වූවා සේ ම සිංහල පාලි සංස්කෘත ඉංග්‍රීසි දෙමළ හා හින්දි යන භාෂාවන්හි විශාරද දැනීමක් ඇති වියතෙක් ද වුණා. මේ නායක හාමුදුරුවන් වහන්සේලාගේ තීරණය අනුව, පැවිදි දිවියට අදාල වූ මුලික අධ්‍යාපනය ලැබීම සඳහා මහරගම සිරි වජිරඥාන ධර්මායතනයට ඇතුළු වීමේ අනගි අවස්ථාව මට උදා වුණා. මෙහිදී පැවදිවීම සඳහා අත පොත් තැබීමේ ශාසනික චාරිත්‍රය ඉතා කාරුණිකව ඉටු කරන ලද්දේ හපුතලේ අරියවංස නාහිමිපාණන් විසින්. (ලංකාවේ කීර්තිමත් විද්වතෙකු වූ වී.ජ.මු ලොකු බණ්ඩාර මහතා මේ නාහිමිපාණන්ගේ සමීප ඥාතිවරයෙකි).

ප්‍ර:       මහරගම ධර්මායතනය ශ්‍රි ලංකාවේ කීර්තිමත් භික්ෂු අභ්‍යාස ආයතනයක් ලෙස ඉතා ප්‍රසිද්ධයි. මේ කීර්තියට පාදක වන හේතු ඔබ වහන්සේගේ අත්දැකීම් ආශ්‍රිතව කෙටි පිළිතුරක් දිය හැකිද ?

පි:       ඔව්. මහරගම ධර්මායතනය ආධුනික භික්ෂුන්ට ශාසනික කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා මනා අනුස්ථාපනයක් ලබා දෙන අනුපමේය ගුරු භුමියක්. මඩිහේ පඥාසීහ මහනාහිමියන්ගේ පා සෙවනේ මේ පුණ්‍යභුමියෙදී මා ලද අධ්‍යාපනය පැවිදි ජීවිතයේදී මෙතෙක් මා ලද මහඟු සම්පත බව වෙසෙසින් සඳහන් කළ යුතුයි. මේ ආයතනයේ තිබූ විශේෂ ලක්ෂණයක් වූයේ මෙහි උගත් පැවිදි සිසුනට විදේශීය ධර්මප්‍රචාරක කටයුතු කිරීම සඳහා අවශ්‍ය සුවිශේෂ කුසලතා ලබ දිමට විධි විධාන යොදා තිබීමයි. අනෙක් විශේෂ කරුණ නම්, මෙහි ගුරුවරුන් ලෙස සේවය කරන ලද්දේ අම්පිටියේ රාහුල, වලස්මුල්ලේ රතනසාර, දවුල්දෙණ ඥානිස්සර, දෙවිනුවර අරියවංස, දැමුණුමෑයේ ඥාරතන, දික්වැල්ලේ උපතිස්ස, එළුවාපොළ පඥ්ඥාරතන ආදී පණ්ඩිත හාමුදුරුවරුන් සමඟ මහාචාර්ය රත්නවිජේතුංග,  මහාචාර්ය ටී. බී කාන්ගහ ආරච්චි, සිරිමල් රණවැල්ල, ගුණපාල සේනාධීර, උපාලි ආරියදාස, විමල් සෙනෙවිරත්න වැනි ප්‍රකට ගිහි විද්වත් පිරිසක් වීමයි.

ඕනෑ ම අධ්‍යාපන ක්ෂේත්‍රයක තිබිය යුතු ප්‍රධාන අංගයන් වන දැණුම, ආකල්ප හා කුසලතා ලබාදීම අතින් මේ ආයතනය ලංකාවේ පැවති කිසි ම ශාසනික අධ්‍යාපන ආයතනයකට දෙවැනි වුයේ නැහැ.

ප්‍ර:       ඔබ වහන්සේගේ අධ්‍යයන ප්‍රාප්තීන් මෙහි දායකවරුන්ගේ කතා බහට නිතර මාතෘකා වෙනවා. ඒ ගැන යමක් කීමට කාරුණික වෙනවද ?

පි:       ඒ ගැන මොකටද දැන් ? (සිනා සෙමින්) අධ්‍යාපනය ලබන්නේ එයින් යම්කිසි සේවාවක් කිරීම‍ට මිසක් ඒ ගැන කතා කර කර සිටීමට නොවෙයි නේ. ඒත් ඔබ ඔය ප්‍රශ්නය අහන ආකාරයේ හැටියට ඒ ගැන කෙටියෙන් හෝ යමක් කීමට සිදු වෙනවා.

මහරගම ධර්මායතනයේදී අපගේ ප්‍රධාන අධ්‍යාපන දිශානියතය වූයේ රාජකීය පණ්ඩිත විභාගයෙන් සමත් වීමයි. මේ සඳහා සැලසුම් කර තිබූ පුළුල් විෂය නිර්දේශමාලාව හදාරා නිම කිරීමට සාමාන්‍යයෙන් අවුරුදු දහයක් පමණ ගතවන වෙනවා. ඒත් අවුරුදු හතර හමාරක් වැනි කෙටි කාලයක් තුළ දී මා ඒ පාඨමාලාව හදාරා නිමකොට, 1975 දී රාජකීය පණ්ඩිත විභාගයෙන් සමත් වුණා. ඊට සමගාමිව, විද්‍යෝදය පිරිවෙන විසින් පවත්වනු ලැබූ ත්‍රිපිටකාචාර්ය විභාගයෙන්ද මා සමත් වුණා. පසුව මා පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් බී. ඒ. උපාධිය සදහා බාහිරව පෙනී සිට ඉන් සමත් වූ අතර ඊට පසුව පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය පවත්වූ බී. ඒ. උපාධියෙන්ද ගෞරව සාමාර්ථයක් ලැබුවා. ඉන් පසු 1985 දී, පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් පැවැත් වූ අධ්‍යාපන ඩිප්ලෝමා විභාගයෙන් ද විද්‍යාලංකාර පශ්චාත් උපාධි ආයතනයෙන් පවත්වනු ලැබූ ඩිප්ලෝමා විභාගයෙන් හා එම්. ඒ. විභාගයෙන්ද මා සමත් වුණා. සැබැවින් ම මා මෙහිදී සතුටු වන්නේ මේ විභාග සමත් වීම සම්බන්ධයෙන් නොව, මා ලද ඒ දැණුමෙන් යම්කිසි ශාසනික සේවාවක් කිරීම සඳහා මට අවස්ථාව ලැබීම ගැනයි. 

ප්‍ර:       ඔබ වහන්සේගේ අධ්‍යාපන ප්‍රාප්තින් ඉතා දීප්තිමත්. මේ අධ්‍යාපන සුදුසුකම් ශාසනික සේවාව සඳහා යෙද වුයේ කවර ආකාරයකට දැයි දැනගැනීමට අප කැමතියි.

පි:       පළමුවෙන් ම කිව යුත්තේ සාමාන්‍ය පාසල් අධ්‍යාපන ක්‍රමයත් භික්ෂු අධ්‍යාපන ක්‍රමයත් (පාරිවේණික) අතර මුලික වෙනසක් පවතින බවයි. පාසල් අධ්‍යාපනය බෙහිවින් ම දැනුම් කේන්ද්‍රීයයි. එහෙත් භික්ෂු අධ්‍යාපනයේ මුලික අරමුණ වන්නේ සීල, සමාධි, පඥ්ඥා යන ආකල්ප සම්පත්තිය සිසුනට පවරා දීමයි. අප ක්‍රියා කළේ මේ පදනමේ සිටයි.

මා වසර 1979 සිට 1986 දක්වා මහරගම ධර්මායතනයේ ආචාර්යවරයෙකු ලෙස සේවයෙහි දී සිටියා.1986 දී මඩිහේ පඥ්ඥාසීහ නාහිමිපාණන්ගේ ඇරයුමෙන් ධර්මායතනයේ විදුහල්පති තනතුරද භාරගන්නට යෙදුණා. තමා ඉගෙනගත් විද්‍යායතනයේ ම විදුහල්පති තනතුරට පත්වීම කෙනෙකුට කලාතුරකින් උදාවන භාග්‍යයක්. ඒ නිසාම මා ඒ තනතුරෙහි කටයුතු කළේ මහත් වූ සතුටකින්, ආයතනික භක්තියකින් හා ශාසනික ලැදියාවකින් බව අවධාරණයෙන් කිව යුතුයි.

මේ කටයුතු කරන අතරේ ම 1982/3 වර්ෂයන්හිදී මට පේරාදෙණියේ සුබෝධාරාමයේ හා මහනුවර වජිරාරාමයේත් ඉගැන්වීමේ කටයුතුවල නියැලෙන්නට සිදු වුණා. එමෙන් ම මේ අතරතුරේදී පේරාදෙණියේ සුබෝධාරාමයේ ඥානාලංකාර පිරිවෙණ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කටයුතු අරඹන්නට මට සිදු වූ අතර එහි ප්‍රථම පරිවෙනාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කිරීමටත් සිදුවුණා.

මෙසේ අලුතින් ආරම්භ කළ ඥානාලංකාර පිරිවෙණ පවතවාගෙන ගියේ තරමක නව ප්‍රවේශයකින් යුතුවයි. පාරම්පාරික බෞද්ධ සම්ප්‍රදායයන් වන පිණ්ඩපාතයෙන් යැපීම, භාවනා පුහුණුව ආදිය මෙහිදී ද එලෙසින් ම පවත්වාගෙන ගිය අතර ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයන් හැදෑරීම ද නොවෙනස්ව කරගෙන ගියා. මීට අමතරව ඉංග්‍රීසි වැනි ප්‍රතිචීන භාෂා ශාස්ත්‍රයන් ඉගෙනීම සඳහා ද මෙහි ප්‍රමාණවත් ඉඩ පහසුකම් සළසා තිබුණා. එමෙන් ම තෘතිය අධ්‍යාපනය සඳහා සරසවි පිවිසීමට ද මෙහිදී බාධාවක් තිබුණේ නැහැ. විදේශීය ධර්මදූත මෙහෙවර සඳහා මනා පෙරහුරුවක් මෙහිදී ලබා දුන් අතර ඊට අදාල බුද්ධිමය පෝෂණයද නොඅඩුව ලබා දුන්නා. කෙටියෙන් කියතොත් මේ ක්‍රමය යටතේ නව ලොව දෙස බැලීමට පැවිදි සිසුනට හොඳ කවුළුවක් විවෘත වුණා. දැනට මෙහි පැවිදි ශිෂ්‍යයන් 200 ක් පමණ ඉගෙනුම ලබනවා.

ප්‍ර:       ඔබ වහන්සේ උතුරු ඇමෙරිකාවට සැපත් වීමෙන් පසු ශාසනික වශයෙන් මේ කළාපයේ නව යුගයක උදාවක් ඇති වූ බව අප දන්නවා. මේ දිගු කතා පුවතේ ප්‍රධාන මං සලකුණු මොනවද ?

පි:       වසර 1990  දී මා ඇමෙරිකාවට මුලින්ම ගියේ ලොස්ඇන්ජලීස් නුවර බෞද්ධ විහාරයේ වැඩ සිටි අම්බලන්තොට කෝලිත හිමිපාණන්ගේ ආරාධනාවෙන්. පසුව මඩිහේ පඥ්ඥාසීහ මහනාහිමිපාණන් එහි වැඩ සිටින පණ්ඩිත අහංගම ධම්මාරාම නාහිමිපාණන් වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා, මගේ අභිවෘද්ධිය සැළසීමට අදාල සෑම උපකාරයක් ම උපරිම අන්දමින් ඉටුකිරීමට කාරුණික වන ලෙස. ඒ සියල්ල මා සිතුවාටත් වඩා හොදින් ඉටු වුණා. මෙහිදී ලොස්ඇන්ජලීස් බෞද්ධ විහාරයේ වැඩ සිටි අහංගම ධම්මාරාම නාහිමිපාණන්ගෙන් මා ලදා අනුග්‍රහයත් ඉතා ගෞරවයෙන් හා උපකාරානුස්මෘතියෙන් මෙහිදී සඳහන් කළ යුතුයි. ඇමෙරිකාවේ වාසය කිරීම සඳහා අවශ්‍ය චිරනිවාසී වරපත (Green Card) මා ලදුයේ ද උන්වහන්සේගේ අනුග්‍රහයෙන්.

මෙසේ  ලොස්ඇන්ජලීස් බෞද්ධ විහාරයේ ටික කලක් සිටින විට කැනඩාවේ, ටොරොන්ටෝ නගරයේ වැඩ විසූ මගේ සම්භක්ත (හදවතින් වැළඳගත්) මිත්‍රවර කුලුගම්මන ධම්මාවාස හිමිපාණන් මා අමතා විශේෂ ඉල්ලීමක් කළා. උන්වහන්සේ ඉල්ලා සිටියේ, තමන් වහන්සේ සමඟ එක්ව මිසිසාගා නුවර පන්සලක් ආරම්භ කිරීමට සක්‍රීයව දායක වීමට එහි පැමිණෙන ලෙස යි. සියලු සත්පුරුෂ ධර්මයන්ගෙන් සමූපේත මගේ ජීවීතයට ඉතා සමීප පූජණීය මිත්‍රවරයාණ කෙනෙකු වූ ධම්මාවාස නාහිමි පාණන්ගේ ඉල්ලීම මා එලෙසින් ම ඉටු කළා. මා මේ කීවේ දිග කතාවක් ඉතා කෙටියෙන්. හෝල්ටන් පීල් බෞද්ධ සංගමය නමින් එදා අප ඇරඹු මේ විහාරස්ථානය අද දායකවරුන් විශාල සංඛ්‍යාවකින් සමන්විත ඉතා දර්ශණීය බෞද්ධ මධ්‍යස්ථානයක්.

මේ අයුරින් ම අපගේ පරිශ්‍රමයෙන් 1997 ඇමෙරිකාවේ ඩිට්‍රොයිට් නගරයේ පන්සලත්, 2000 දී වින්ඩ්සර් නගරයේ පන්සලත්, 2001 දී මිනසෝටා ජනපදයේ පන්සලත් ආරම්භ කළා. මේ අතර,  ලෝස්ඇන්ජලීස් නුවර තිබූ බෞද්ධ විහාරය තව දුරටත් පුළුල් පරිශ්‍රයක පැසඩිනා නගරයේ ඉතා සාර්ථක අන්දමින් නැවත ස්ථාපනය කිරීමට කටයුතු කළා. ඒ 1999 දී.

මේ විහාරස්ථානයන් පිහිටුවීමේ හා පවත්වාගෙන යාමේ සෑම කටයුත්තක් ම ඉතා සාර්ථකත්වයට පත් වූයේ අපගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යයත්, දක්ෂතාවයත්, කැපවීමත් නිසා බව ස්තුති පෙරදැරිව වෙසෙසින් සඳහන් කළ යුතුය.  මෙහිදී ම විසින් මග පෙන්වා දෙන ලදුව ශාසනික සේවය ඉතාම ඉහළ මට්ටමෙන් කරන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද උසස් ම උපාධි ලද ඇමෙරිකාවේ හා කැනඩාවේ දෙරටේ ම ජීවත් වන අපේ ශිෂ්‍ය භික්ෂු පිරිස පිළිබඳ  මා තුළ ඇති ගෞරවය ද පළ කළ යුතු වෙනවා.

ප්‍ර:       වසර 2008 දී ඔබ වහන්සේ ඔටාවා නුවර හිල්ඩා ජවයවර්ධනාරාමයට පැමිණීම විශේෂ සිද්ධියක් වන්නට ඇති නේද?

පි:       සැබවින්ම හිල්ඩා ජවයවර්ධනාරාමයට පැමිණීම විශේෂ සිද්ධියක් තමයි. වසර 2008 දී හිල්ඩා ජවයවර්ධනාරාමය දායක සභාවේ ප්‍රධාන නිළතල දැරූ දායක පිරිසක්, ඔබත් ඇතුලුව, අපේ මිසිසාගා පන්සලට පැමිණ මා හට ආරාධනයක් කළා, හිල්ඩා ජවයවර්ධනාරාමයට වැඩම කර එහි විහාරාධිකම භාරගන්නා ලෙසට. දිගින් දිගටම කල්පනා කිරීමෙන් පසු අප ඒ ඉල්ලීමට එකඟ වුණා. 2008 සිට 2012 දක්වා කාලය තුළ මේ පන්සලේ නේවසිකව සිටි අනෙකුත් විහාරස්ථ ස්වාමින් වහන්සේලාත් සමඟ, මේ පන්සලේ කටයුතු ප්‍රවර්ධනය කිරීමට මා ලොකු වෙහෙසක් දැරුවා. අද මේ විහාරස්ථානයෙන් ලාංකික සම්භවයක් ඇති දරුවන්ටත්, වැඩි හිටියන්ටත්, මුල් කැනඩා ජාතිකයන්ටත් දහම් පන්ති, භාවනා වැඩ සටහන්, මාසික සිල් වැඩසටහන්, ධර්ම සාකච්ඡා සැසි ආදී පැවැත්වීම මගින් ලොකු මෙහෙවරක් කරනවා. ඒ වගේ ම ශ්‍රී ලංකාවෙන් විටින් විට මෙහි වැඩම කරන ස්වාමීන් වහන්සේලාටත් විදේශීය අලුත් පරිසරයකදී නව අත්දැකීම් සම්භාරයක් ලබා දීමට අප අවස්ථාව සළසා දී තිබෙනවා.

ප්‍ර:       හිල්ඩා ජයවර්ධනාරාමයේ විහාරාධිපතිත්වය දරණ අතරේ ම අර්ධ කාලීන වශයෙන් හෝ ශ්‍රී ලංකාවේ ශාසනිකව කටයුතු සඳහාත් සක්‍රීයව දායක වීමට ඔබ වහන්සේ තීරණය කළේ ඇයි?

පි:       මා පැවිදි වූ අපේ සඟ පරපුරේ මුල් පන්සල වන සිද්ධමුල්ල පුරාණ විහාරයේ යි. මේ පන්සල ද ඇතුලුව දීපංගොඩ ශ්‍රී වර්ධනාරාමය, කුඩමාදුව සංඝිකාරාමය යන පන්සල් දෙකත් අපේ සඟ පරපුරටම අයිති පන්සල්. මේ පන්සල් තුනේ ම ආධිපත්‍යය දැරුවේ මගේ ශාසනික සහෝදර ස්වාමින් වහන්සේලා විසිනු යි. උන්වහන්සේලා සියලු දෙනා ඉතා නුදුරු කාලයන්හි අපවත් වීමෙන් පසු මේ පන්සල් තුනම පවත්වාගෙන යාමේ විශාල අසීරු තත්වයක් මතු වුණා. එයට විශේෂිත ම හේතුව වූයේ මේ පන්සල් තුනේ ම සිටියේ  අධ්‍යයන කටයුතු නිමා  නො කළ පොඩි හාමුදුරුවරුන් වීමයි. එනිසා මේ පොඩි හාමුදුරුවන් රැක බලා ගැනීම සඳහාත්, සාමණේර හාමුදුරුවන් අධ්‍යාපන කටයුතුවල නිරත කරවීම සඳහාත්, අපේ දායක කාරකාදීන්ගේ ආගමික අවශ්‍යතා පිරිමැසීම සඳහාත් අර්ධාකලිනව හෝ ලංකාවට වැඩම කොට ඒ කටයුතු ඉටුකිරීම මට අතපසු කළ නොහැකි යුතුකමක් වුණා. සැබවින් ම මට ලංකාවට යෑමට සිදු වූයේ, මේ තත්වය නිසා අපේ සංඝ සභාව විසින් කරන ලද  නියෝගයක් අනුවයි. ඒ හැරත්, මා අධ්‍යාත්මික වශයෙනුත් මේ යුතුකම ඉටු කිරීමට බැඳී සිටිනවා.

ප්‍ර:       මේ මොහොත ඔබ වහන්සේ  කැනඩාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද අවස්ථාවක්. එමෙන් ම සැට පස්වැනි ජන්ම දිනයට සපැමිණි අවස්ථාවක්. අද අඩ සියවසකට ආසන්න, බැබලෙන පැවිදි ජීවිතයකට ප්‍රෞඩ ලෙස හිමිකම් කිව හැකි ඔබ වහන්සේ අද අපට දෙන පණිවුඩය කුමක්ද ?

පි:       ඒකට කියන්න තියෙන්නේ බුදු රජාණන් වහන්සේ වදාළ දේම යි. “අප්පමාදෙන සම්පාදේථ” කියලා කියපු දේ. මේ රටවලට ආපු අයට, බෞද්ධයන්ට විශේෂයෙන් ම හොඳ අවස්ථාවක් ලැබිල තියෙනවා මෙලොව පරලොව දෙකම දිනා ගන්නට කටයුතු කරන්නට. මෙලොව වශයෙන් ආර්ථික, අධ්‍යාපන, සාමාජික ක්ෂේත්‍රයන්හි ජයග්‍රහණ ලබා ගන්න ඕනෑ. යුතුකම්, වගකීම්, හා ශිලාචාරකම් හඳුනා ගෙන කටයුතු කරන්න ඕනෑ. අර ධම්මපදයේ ගාථාවක් තියෙනව නේ “අසාරේ සාරමතිනෝ” ආදී වශයෙන්. ඒ අනුව නිසරු දේ නිසරු වශයෙන් ම මිසක් සරු වශයෙන් දැකිය යුතුම නැහැ. තවත් එකක් තිබෙනවා අපේ බෞද්ධ පිරිස මේ පන්සල් විහාර ගොඩනගා ගෙන  නඩත්තු කරන්නේ තමන්ගේ ප්‍රයෝජනය සඳහා ම නොවෙයි. බුදු හාමුදුරුවන් වහන්සේගේ දහම් පණිවුඩය අනෙක් ලෝකයාටත් හැකි හැකි විධියට ලබා දීමටයි. ඒ සඳහාත් භෞතික සම්පත්වලින් වගේ ම ආදර්ශයෙන්, ආකල්පයෙන් හා කුසලතාවෙන් ද දායක වන ලෙස කරුණාවෙන් මතක් කළ යුතු වෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress