ඇත්තටම මෙරට ජනතාවට මේ ආණ්ඩුව පෙරලා දැමීමට උවමනාවක් තිබේද?
Posted on October 15th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ

වර්තමානයේදී, රටපුරාම සිදුකරන යල් පැනගිය සටන් කලාව දකින අපිට ඇතිවන සිතුවිල්ල එයයි. සටන් කලයුත්තේ කෙසේද? කුමකටද?

එයට පැහැදිලි අරමුණක් තිබිය යුතුය.

වර්තමානයේ සිදුකරන “මට ඌ ගැහුවා, ඌ මට ගැහුවා” සටන් කලාවෙන් හැම විටම ගුටි කන්නේ මෙරට උත්තරීතර පරමාධිපත්‍යවන  ජනතාවම මිස පවතින දුෂිත රජය නම් නොවේ.

මේ දැන් ගුටිකන්නේ, කදුළු ගෑස් ප්‍රහාරයන්ට ගොදුරු වන්නේත්, සිරගත වන්නේත් මෙරට පරමාධිපත්‍ය වන අතර, උත්තරීතර පරමාධිපත්‍යට මෙවන් ඉරණමක් ලබාදී ඇත්තේ මෙරට පරමාධිපත්‍ය සුරැකීමට දිවුරා පොරොන්දුවී වැඩ ආරම්භ කරන, මෙරට විධායකය, ව්‍යවස්ථාදායකය, හා අධිකරණය විසින්ම බව මෙරට පරමාධිපත්‍ය වන ජනතාව වටහා ගත යුතුය.

විධායකය, ව්‍යාවස්ථාදායකය  හා අධීකරණය  ඒකාබද්ධවී රටේ පරමාධිපත්‍යට එලව එළවා, පහර දෙමින්, කදුළු ගෑස් ප්‍රහාරයන්ද දෙමින්, අධිපිඩන ජල ප්‍රහාරයන්ද දෙමින්, අධීකරණය උපයෝගී කරගෙන ඔවුන් සැම සිරගත කරන තත්වයක් තුල රටේ පරමාධිපත්‍ය විසින් සිදුකල යුත්තේ කුමක්ද?

තමන්ව ආරක්ෂා කිරීමට තමන් විසින් බලය ලබාදුන් විධායකය, ව්‍යාවස්ථාදායකය හා අධීකරණය යන ආයතන තුනම පරමාධිපත්‍යයේ අභිමතය අනුව ක්‍රියා නොකරන හේතුවෙන් මේ ආයතන තුනම, ඔවුන්ට ලබාදී ඇති වගකීම් වලින් ඉවත් කිරීමයි.

ඒ සදහා පරමාධිපත්‍ය උරුම ජනතාවාදී  සටනක් ආරම්භ කල යුතුව තිබේ.

ඒ අනුව පළමුවන පියවර වන්නේ, මෙරට පරමාධිපත්‍යට පහරදීම නවතාලිමයි. එනම් පරමාධිපත්‍ය උරුම ජනතාව පහර කෑමේ ක්‍රියාවලියෙන් මුදා ගැනීමයි. පහරදීමේ ක්‍රියාවලිය බලගැන්වීමේ කාර්යය මෙන්ම, පහර කෑමේ ක්‍රියාවලිය බලගැන්වීමේ කාර්යයද ඇත්තේ මෙරට පරමාධිපත්‍යට බැවින්, එය උරුම ජනතාව විසින් පහර කෑමේ ක්‍රියාවලිය මුළුමනින්ම නවතා දැමිය යුතුය.

ඒ අරමුණ පෙරදැරිකරගත් මුළු රටේම ජනතාව එකාවන්ව නැගීසිට,වර්තමානයේදී සිදු කරන සියලුම ආකාරයේ,සටන් නවතා දැමිය යුතුය. ඒ අනුව අප විසින් යල්පැනගිය සටන් ක්‍රම ලෙස හදුන්වන, වැඩවර්ජන, පිකටින්, විරෝධතා පෙළපාලි, අඛණ්ඩ උපවාසයන් නැවතී ගොස්, පරමාධිපත්‍යයේ, ක්‍රියා හේතුවෙන්, පරමාධිපත්‍ය පිඩනයට ලක් කිරීමේ සියලුම මංමාවත් වසා දැමීම සිදුවෙයි. මෙය මෙරට ඉතිහාසයේ, විශේෂිත සිදුවීමක් වන අතර, සතුරා විසින් අපට නිත්‍යානුකුලව උරුම කරදී ඇති සටන් ක්‍රම වලින් ඉවත්වීම හේතුවෙන් නව සටන් මාර්ගයන් වලට අවතිර්ණයවිමේ දොරටු විවර කරයි.

මේ ක්‍රියාවත් සමග, පන්තිවර්ජිත සියලුම විශ්ව විද්‍යාල සිසුන් සුපුරුදු ලෙස සිය ජිවන කාර්යාවන් ඉගෙනීමේ කටයුතුවල නියැලීම ආරම්භ කරන අතර, ඔවුනගේ දෙමාපිය පරපුර, තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අර්බුදයන් විසින් නිර්මාණය කරන ලද, පීඩනයෙන් නිදහස්ව නව සටන් ක්‍රමවේදයකට උරදීමේ ක්‍රියාවලිය හා බද්ධවීමට ඉඩ සලසයි.

වෛද්‍යවරයා තමන් තනිවම මෙහෙයවන් ලද සටනෙන් මුදාහැරෙන අතර, වෛද්‍ය වැඩවර්ජන වලින් පීඩිතව සිටි රෝගීන්ද එම පීඩනයෙන් මිදී, තම වෛද්‍යවරයා හා සාමුහිකව සටන් මගට පිවිසීමට වරම් ලබයි.

පවතින සටනින් වියුක්ත වන්නේ, නව සටනක් ආරම්භ කිරීමටයි. නව සටනට ඉලක්කයක් තිබිය යුතුය.

එය “සයිටම් අහෝසි කරව!” “මාගම්පුර වරාය විදේශිකයින්ට පැවරීම නතර කරව!” “මත්තල ගුවන්තොටුපල විකිණීම නවතා දමව්!” වැනි සටන් පාඨ වලින් වියුක්තව;
 
 “මාස හයක් තුලදී මේ රජය පලවා හරිමු! ”
යන සටන් පාඨය අත ඇතිව කටයුතු කල යුතුය.

මෙරට ජනතාව එනම් පරමාධිපත්‍ය මුහුණ දෙන ගැටළු වලට විසදුම ඇත්තේද පරමාධිපත්‍ය අත බැවින්, ඒවා විසදා ගැනීමේ මංමාවත් දේශපාලනිකව ශුද්ධ කරගැනීමේ පළමු කාර්යයට ඇත ගැසිය යුතුය.

යමක් පවතින්නේ, එය පවත්වාගෙන යාමට අවැසි දේවල් පවතින්නේ නම් පමණි. එය පවතින යහපාලනයටත් අදාළ අතර, මේ පාලනය පවත්වාගෙන යාමට උපකාරීවන දේවල් අහෝසි කිරීම තුලින් මේ රජය බිද දැමිය හැක. මේ රජය පවත්වාගෙන යාමට අවශ්‍ය දේවල් මොනවාද? ඒවා සපයන්නේ කවුදැයි සොයා දැනගෙන ඒවා සැපයීම නතර කලවිට සිදුවන්නේ මේ රජය බිද වැටීමයි.එසේනම් අප විසින් සිදු කල යුත්තේ එම කර්තව්‍ය සම්පුර්ණ කරලීමයි.

සෑම සියලු රජයක්ම පවත්වා ගෙන යාමට අවැසි ප්‍රධානම දෙය මුදල් වන අතර, ඒ අවැසි මුදල් සපයන්නේ, මෙරට පරමාධිපත්‍ය උරුම ජනතාවයි. මෙරට පරමාධිපත්‍ය  මුදල් පමණක් නොව මේ රජය පවත්වාගෙන යාමට අවැසි මිනිසා බලයද සපයන අතර, මේ මිනිස් බලය, රජය උපයෝගී කරගෙන, පරමාධිපත්‍ය පෙළපාලි යනවිට තලයි, පෙළයි ඔලුද පලයි. මව හා පියා භුමියේ අයිතිය ඉල්ලා සටන් වදින විට, පුතා පොලිසියට සම්බන්ධවී මවට හා පියාට කදුළු ගෑස් ගසා පලවා හැර, තරු හා පදක්කම් ලබයි. මෙවන් තත්වයක් තුලදී, මවට හා පියාට මෙන්ම පුතාටද කළහැකි දේ තීරණය කිරීමේ අයිතියක් නැත. ඔවුන් සියල්ලක්ම අසරණය, ,මේ සෑම සියලු දෙයකටම මුදල් සපයන්නේ, මෙරට පරමාධිපත්‍ය වන ජනතාවයි. ඒ අනුව මේ සියල්ලක්ම රදාපවතින තීරණාත්මක සාධකය මුදල් බව තේරුම් ගත යුතුය. එමෙන්ම එය රදා පවතින්නේ මෙරට පරමාධිපත්‍ය අත බවද වටහා ගත යුතුය. එසේනම් පරමාධිපත්‍ය රජයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවූ සැනින් රජය බිද වැටේ. දැන් මෙරට ජනතාව මේ ආර්ථික සම්බාධක පවතින රජයට එරෙහිව යොදවන්නේ, කෙසේද යන්න සම්බන්ධවයි.

මෙවර අයවැයෙන් රජය රුපියල් බිලියන 3000කට ආසන්න මුදලක් අපේක්ෂා කරයි. වර්ෂයකට රුපියල් බිලියන 3000ක් අපේක්ෂා කරන රජයකට මාසයකට වියදම සදහා රුපියල් බිලියන 250ක මුදලක් අවැසිය. සෑම මාසයකදීම මේ මුදල මෙරට පරමාධිපත්‍ය විසින් රජයට මුදාහරි. ඒ මුදාහරින මුදලින්, මෙරට තරුණයින්ගේ කන්අඩිය පිපිරවීම උදෙසා දැලුවත්තලාට ගෙවන අතර, කදුළු ගෑස්, මඩවතුර පොම්ප කිරීමටද, තරුණයින්ගේ ඔලු පැලීමට යකඩ පොලු මිලදී ගැනීමට අමතරව ඔවුන් සිරගත කරන අධීකරණය නඩත්තුවටද යොදවයි. දැන් මේ ජනතා පරමාධිපත්‍ය විසින් සිදු කල යුත්තේ, මේ රජයට මුදල් සැපයීම නතර කිරීමයි. එනම් මාසයකට රුපියල් බිලියන 250ක් ලබාදීම නවතාලිමයි. එය කල හැකිද? එය කල හැක්කේ කෙසේද? යන පැනය අප ඉදිරියේ ඉස්මතුව සිටි.

පරමාධිපත්‍ය ජනතාව මිස අන් කිසිවෙක් නොවේ. පුර්ණ බලති විධායක ජනාධිපතිවරයාට ඉහලින් සිටින්නේ, මේ ජනතා පරමධිපත්‍යයි. විකාරරුපි රංගනයන්ගෙන් හෙබි පාර්ලිමේන්තුවට ඉහලින් වැජබෙන්නේ, මේ ජනතා පරමධිපත්‍යයි. මෙරට අධිකරණයන්ට ඉහලින් වැජබෙන්නේද මේ පරමාධිපත්‍යයි. මෙසේ සදහන් කරන්නේ, ව්‍යවස්ථාවේ තිබෙන නිසා නොව, සැබෑ ලෙසම පරමාධිපත්‍ය ජනතාව වන බැවිණි. මේ ජනතා පරමාධිපත්‍යට සියලුම බලතල තිබුනද ඔවුන් එය දන්නේ නැත. ඔවුන් සිතන්නේ, පරමාධිපත්‍ය උරුම විධායක ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව හා අධීකරණයට බවය. ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව හා අධිකරණයද සිතන්නේ, පරමාධිපත්‍යයේ උරුමය ඔවුන්ට අයත් බවය. මැතිවරණයෙන් පසු ඒ පරමාධිපත්‍ය බලය වසර 5කට ඔවුනට පවරාදී ඇති බවය. වරද ඇත්තේ ඔවුන් තුල ඇති ඒ සිතුවිල්ලේය. වරද නිවැරදි කිරීමට කාලය පැමිණ ඇත. අපට එය නිවැරදි කල හැක. එය නිවැරදි කල යුතුම තත්වයට රට පත්ව ඇත. එය කල හැක්කේ මාසිකව රජයේ නඩත්තුවට ජනතා පරමාධිපත්‍ය විසින් සපයන මිලියන් 250ක මුදල ලබාදීම නතර කිරීම තුලින් පමණි. එය කරන්නේ කෙසේද? අප විසින් රජයේ නඩත්තුවට මුදල් සපයන මාර්ග සියල්ලක්ම වසා දැමු විට සිදුවන්නේ, පරමාධිපත්‍ය අපේක්ෂා කරන දෙයයි.

රට පාලනය කරන්නේ, මාසිකව මේ රුපියල් බිලියන 250ක මුදල හසුරවන බලවේගයයි. මේ මුදල හැසිරවීමේ කාර්යය මෙරට පරමාධිපත්‍ය අතට ගත්විට රට පාලනය කරන්නේ ජනතාවයි. මේ මුදල් රජයට දෙන ජනතාවට එය දෙන ආකාරය හැසිරවිය හැක. සෑම මසකම ඩොලර් මිලියන් 600ක් මෙරටට එවන ජනතා පරමාධිපත්‍යට එය එවන ආකාරය හැසිරවිය හැක. තමන්ගේ මුදල් බැංකුවට දමන ජනතා පරමාධිපත්‍යට  එය දමන ආකාරයද හැසිරවිය හැක. තමන්ගේ මුදල් බැංකුවෙන් ගන්නා ජනතා පරමාධිපත්‍යට  එය ගන්නා ආකාරයද හැසිරවිය හැකිය. විදුලි බිල ගෙවන ජනතා පරමාධිපත්‍යට  එය ගෙවන ආකාරයද හැසිරවිය හැකිය. වතුර බිල ගෙවන ජනතා පරමාධිපත්‍යට  එය ගෙවන ආකාරයද හැසිරවිය හැකිය. ටෙලිෆෝන් බිල ගෙවන ජනතා පරමාධිපත්‍යට  එය ගෙවන ආකාරයද හැසිරවිය හැකිය. ලොතරැයි මිලදී ගන්නා ජනතා පරමාධිපත්‍යට  එය මිලදී ගන්නා ආකාරයද හැසිරවිය හැකිය.

මේ හැසිරීම රටාවට හොද රිද්මයකට කැටි කලවිට ජනතා පරමාධිපත්‍ය විසින් හසුරවනු ලබන ආර්ථික තරංග මාලාවක් නිර්මාණය කල හැක. ඒ අනුව, ජනවාරි, මාර්තු, මැයි ජුලි, සැප්තැම්බර් නොවැම්බර් යන මාස තුලදී තමන් ගෙවිය යුතු මුදල් ගෙවන මාස ලෙසත්, පෙබරවාරි, අප්‍රේල්, ජුනි, අගෝස්තු, ඔක්තෝම්බර් හා දෙසැම්බර් යන මාස මුදල් නොගෙවන මාස ලෙසට පත් වේ. මේ ආර්ථික තරංගය  නිර්මාණය කරගත් විට හා ජනතා පරමාධිපත්‍ය එයට අනුව එය හසුරවන විට නියම ජනතා පරමධිපත්යේ බලය කුමක්දැයි මෙරට ජනතාවට මෙන්ම, මෙරට පාලකයින්ටද දැනෙන්නට පටන් ගනී. මේ ක්‍රියා මාර්ගය තුලින් සරල රේඛාවක් සේ ගලා යන මෙරට ආර්ථික දේහයට ත්වරණයක් මෙන්ම මන්දනයක් ලබාදීමේ බලය ජනතාව අතට හිමිවේ. ත්වරණයේදී පාලකයින්ට සතුටත්, මන්දනයේදී පිඩනයත් ලබාදෙන  මේ ආර්ථික තරංගයේ සිදුකරන කලමනාකාරිත්වය මෙරට දේශප්‍රේමී බලවේගයන් අතට හිමි කරගැනීමේ කර්තව්‍ය අප විෂයන් ආරම්භ කල යුතුය. මෙය මනාව හැසිරවීම තුලින් ඕනෑම දුෂිත රජයක් මාස තුනක් වැනි කෙටි කාලයක් තුලදී බලයෙන් පහ කල හැක.

මා මෙය ඔබට පළමුව ඉදිරිපත් කරන්නේ මේ සම්බන්ධව ගැබුරින් සිතා බලන්න වන අතර මේ සම්බන්ධව ඔබට සිතෙන ආකාරය කරුණාකර පල කිරීම තුලින් අප අන්තර් ජාලිය පාර්ලිමේන්තුවක කාර්යයද ආරම්භ කරමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress