මහත්තයා ගේ ඒ කතාව
Posted on October 15th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

මීට මාස දෙකකට විතර කලින් ඥාතියකු ගේ මළගෙදරට මේ ලේඛකයා ගියා. දැන් කාලේ බොහෝ වෙලාවට නෑදෑයෝ මුණගැහෙන්නේ මළගෙවල්වල දී. නෑදෑගමන් යනවා කියන චාරිත්‍රය දැන් නැත්තට ම නැතිවෙලා වගේ. මොකද ළමයි ටියුෂන් යවන්න තියෙන හින්දා කාටවත් ගමන් බිමන් යන්න ඉස්පාසුවක් නෑ. ඉතින් මේ කියපු මළගෙදරත් නෑදෑයෝ එකතුවෙන තැනක් බවට පත්වුනා. කාලකෙට පස්සේ එකතුවෙච්ච තමන් ගේ නෑදෑයෝ එක්ක මේ ලේඛකයාත් සෑහෙන්න විස්තර කතාකළා. අපි කතාකරන්න ගියාම අහසේ පොළොවේ තියෙන හැම දෙයක් ගැන ම ඉවරයක් නැතුව කියවනවානේ. ඉතින් ඒ මළගෙදර දී විවිධ කාරණා ගැන දවස් දෙකක් විතර අදහස් හුවමාරු කරගන්න මේ ලේඛකයාට පුළුවන් වුනා.

වලපනේ පැත්තේ ඉඳලා ආපු ඥාති සහෝදරයෝ දෙන්නෙක් තමන්ට අහන්න ලැබුණු දේශනයක් ගැන කිව්වා. ඒ දේශනයෙන් කියලා දීලා තියෙන්නේ ගම්වල තම තමන් ගේ ව්‍යවසාය කටයුතු පටන්ගනිද්දි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන. විස්තර කතාකරද්දි මේ ලේඛකයා දැනගත්තා අදාළ දේශක මහත්තයා තමන් ගේ හොඳ මිත්‍රයෙක් බව. ඉතින් ඒ ඥාති සහෝදරයෝ දෙන්නාට දේශක මහත්තයා එක්ක දුරකථනයෙන් කතාකරන්නත් අවස්ථාවක් මේ ලේඛකයා සළස්සලා දුන්නා. ඇත්තෙන් ම, ඒ දේශකයා ඉතා ම දක්‍ෂ කෙනෙක්. අහන්නෝ වශී කරගෙන ඒ අයට යමක් ඒත්තු යන විදිහට තමන් ගේ කතාව කරන්න ඒ දේශක මහත්තයාට පුළුවන්. මේ කියපු දේශනය ගැනත් අහගෙන හිටිය හැම දෙනෙක් ම පැහැදිලා තියෙනවා.

ඉතින් ඊට පස්සේ?

ඊට පස්සේ ඉතින් අහගෙන හිටිය අය මහත්තයා ගේ ගුණ කියනවා. ඒ දේශනයේ අපූර්වත්වය ගැන වර්ණනාකරනවා. එච්චරයි! එතකොට අලුත් ව්‍යවසාය කටයුතු? එහෙම පටන්ගත්ත අලුත් ව්‍යවසාය කටයුත්තක් නෑ. ඔය කතා අහගෙන හිටියා කියලා අලුත් බිස්නස් එකක් පටන්ගන්න පුළුවන් කීයෙන් කී දෙනාට ද? මේ දේශන ප්‍රයෝජනවත් බව, ඒ හරහා මිනිස්සුන්ට යම් දැනුමක් ලබාගන්න පුළුවන් බව අමුතුවෙන් කියන්න උවමනා නෑ. ඒත් එතැනින් එහාට යන වැඩපිළිවෙලක් මේ දේශන සංවිධානය කරන අයට නෑ. දේශනයකින් කෙරෙන්නේ මූලික අධ්‍යාපනයක් ලබාදීම විතරයි. එතැනින් එහාට යන්න නම් තවත් කරන්න ඕන දේවල් සෑහෙන්න තියෙනවා.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් කෙරෙන මේ වගේ දේශනයකට පස්සේ ඒ පැත්තේ යමක් දන්න කියන අයත් එක්ක කතාකරලා මේ විදිහේ ව්‍යවසාය කටයුතු කරන්න පුළුවන් ගමක් දෙකක් හඳුනගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න ඕන ඒ ගම්වලට යන එක. මේ කියන්නේ ඒ ගම්වලත් දේශන පවත්වන්න කියන එක ද? නෑ.

මුලින් ම කරන්න ඕන ගමට නායකත්වය දෙන්න පුළුවන් පිරිසක් එකතු කරගෙන සංවිධානය කරගන්න එක. නිලධාරි මට්ටමේ අයත් සෑහෙන ප්‍රමාණයක් ගම්වල ඉන්නවා. ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නියාමක, කෘෂිකර්ම නිලධාරි වගේ සෑහෙන පිරිසක් ඒ ඒ ගම්වලට ම අනුයුක්ත කරලා තියෙනවා. ඊට අමතර ව, ගමේ පන්සලේ හාමුදුරුවෝ, ඉස්කෝලේ විදුහල්පතිතුමා, දායක සභාව – සංවර්ධන සමිති – කාන්තා සමිති – තරුණ සංගම් වගේ සමාජ සංවිධානවල නායකයෝ මේ වගේ නායකත්ව කාර්යයකට එකතු කරගන්න පුළුවන්.

මේ විදිහට ගමේ නායකයෝ එකතුකරලා හදාගන්න සභාවකින් තමයි ගම ගැන හරි හමන් අධ්‍යයනයක් කරන්න පොටක් පාදගන්න පුළුවන් වෙන්නේ. ගමේ තියෙන සම්පත් ගැන මුලින් ම හොයන්න ඕන. වැදගත් ම සම්පත තමයි මිනිස්සු. හැම මනුස්සයා ම වීර්යවන්ත නෑ. ඒ එක්කම තේරුම්ගන්න ඕන තව දෙයක් තියෙනවා. හැම වැඩේට ම වීර්යවන්ත මිනිස්සු උවමනාකරන්නෙත් නෑ. ඉතින් ගමේ ඉන්න හැම කෙනෙක් ගැන ම හොඳ අවබෝධයක් ඇති කරගැනීම මුලින් ම කරන්න ඕන. ඊ ළඟට ගමේ තියෙන ඉඩකඩම් ගැන, හැදෙන ගස්වැල් ගැන, කරන්න පුළුවන් ගොවිතැන් ගැන, හදන්න පුළුවන් සත්තු ගැන, වැව් – ඇල දොළ – කඳු – කැලෑ, වතුර – විදුලිය – පාරවල් ගැන හොයලා බලන්න ඕන. ගමේ ඉතිහාසය සංස්කෘතිය ගැනත් හොයලා බලන්න පුළුවන්.

ඉතින් මේ විදිහට හැම සම්පතක් ම හරියාකාර ව හඳුනාගත්තොත් විතරයි ඒ ගමේ කරන්න පුළුවන් කර්මාන්ත ගැන හිතන්න පුළුවන් වෙන්නේ. ඊ ළඟට කරන්න ඕන හවුල් කරගන්න පුළුවන් සම්පත්වලට ගැලපෙන විදිහට ඒ ඒ කර්මාන්ත සැලසුම් කරගන්න එක. සම්පත්දායකයොත් විවිධයි. සමහර මිනිස්සුන්ට පුළුවන් ශ්‍රමය ලබාදෙන්න විතරයි. ඉඩකඩම් තියෙන අයත් ඉන්නවා. මුදල් හදල් තියෙන අයත් ඉන්නවා. කළමනාකරණ හැකියාව තියෙන අයත් වෙළෙඳ හැකියාව තියෙන අයත් ඉන්නවා.

මෙන්න මේ විදිහට ගමේ කරන්න පුළුවන් කර්මාන්තත් ඒවාට සම්බන්ධ කරගන්න පුළුවන් මිනිස්සුත් හඳුනාගත්තාට පස්සේ අවශ්‍ය පිටස්තර සම්පත් දායකත්වය ලබාදෙන්න පටන්ගන්න පුළුවන්. මූලික ම දේ තමයි මිනිස්සුන් ව දැනුම්වත් කරලා පුහුණු කරන එක. ඉතින් ශ්‍රම දායකත්වය විතරක් ලබාදෙන්න පුළුවන් මනුස්සයාට කළමනාකරණය ගැන, මූල්‍ය කටයුතු ගැන පාඩම් කියලා දීලා හරියන්නේ නෑ. ඒ ඒ මනුස්සයාගෙන් බලාපොරෙත්තු වෙන සේවයට ගැලපෙන විදිහට පාඩම් වෙන වෙන ම සැලසුම් කරන්න ඕන. ශිල්පීය පුහුණුව ඕන කරන අය ඒ වැඩේටත්, ගිණුම් – මූල්‍ය කටයුතු ගැන පුහුණුකරන්න ඕන අය ඒ වැඩවලටත් යොමු කරවන්න ඕන.

බැංකු වගේ මූල්‍ය ආයතනවල, සැලසුම්කරුවන් ගේ, අවශ්‍ය කරන වෙනත් ක්‍ෂේත්‍රවල කෙළ පැමිණි විශේෂඥයන් ගේ, ඒ වගේ ම, විශේෂඥ ආයතනවල, වෙළෙඳ සමාගම්වල සේවය මේ වැඩේට යොදාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. කාර්මික විද්‍යාලවල, විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට, ගුරුවරුන්ට මේ වැඩවලට දායකවෙන්න පුළුවන්. අමතක නොකළ යුතු අනිත් වැදගත් කාරණය තමයි මේ විදිහේ උපකාර සේවාවල දායකත්වය කර්මාන්තයේ විවිධ අවස්ථාවල දී උවමනා වෙනවා කියන එක. හැම පුහුණුවක් ම කර්මාන්තය පටන්ගන්න කලින් ම දෙන්න උවමනා කරන්නේ නෑ. සමහර දැනුම ඕනකරන්නේ කර්මාන්තය කරගෙන යද්දි. ප්‍රශ්න ඇති වෙද්දිත් ඒවාට විසඳුම් හොයලා බලන්න වෙනවා. ඉතින් මේ විදිහට වැඩ සලසුම්කරනවා නම් තමයි මහ පොළොවේ මාළිගා හදන්න පුළුවන් වෙන්නේ.

මේ විදිහේ ග්‍රාමීය ව්‍යවසාය කටයුතු ගැන කරුණු සඳහන්කරද්දි මේ ලේඛකයා නිතර නිතර ම ග්‍රාමීය සංචාරක කටයුතු දියුණුකිරීමේ වැදගත්කම පෙන්නලා දීලා තියෙනවා. බොහෝ රටවල්වල කෙරෙන ග්‍රාමීය සංචාරක කටයුතු වැඩියෙන් ම ප්‍රචලිතවෙලා තියෙන්නේ ඒ රටවල්වල ම මිනිස්සු අතර. මේ වැඩේ හරහා නගරවල ඉන්න මිනිස්සු ගම් ගැන ඉගෙනගන්නවා. මේ මාර්ගයෙන් තමන් ගේ ළමයින්ටත් ඒ ගැන කියලා දෙන්න අවස්ථාවක් ඒ මිනිස්සුන්ට හිමිවෙනවා. ඉතින් මේ අධ්‍යාපන කටයුත්ත නරක දෙයක් කියලා කියන්න පුළුවන්කමක් නෑ. පොත්වලින් දැනගන්න ගම ගැන දැනුම මේ වගේ වැඩ හරහා ප්‍රායෝගිකව ම අත්විඳින්න අපේ ළමයින්ට පුළුවන් වෙනවා.

දැන් නිවාඩු කාලයට ළමයි එක්කරගෙන යන්න ඉතිරිවෙලා තියෙන්නේ නුවරඑළිය, යාල – කතරගම, අනුරාධපුර – පොළොන්නරුව වගේ තැන් කීපයක් විතරයි. ඉතින් ළමයින් ගේ ලෝකය හග්ගලට, ලෝකාන්තයට සීමාවෙලා. 2015 අවුරුද්ද අන්තිමේ යාල ගිය මිනිස්සුන්ගෙන් ඒ මහ කැලේ වාහන තදබදයක් ඇතිවුනා කියලාත් වාර්තා පළවුනා. මේ වගේ දේවල් වෙන්නේ මිනිස්සුන්ට විකල්ප නැතිවුනාම. ඉතින් මේ වගේ වැඩ හරහා අපේ රටේ අපේ ම මිනිස්සුන්ට විකල්ප සංචාරක අවස්ථා පවා හිමිවෙනවා. ඒ මාර්ගයෙන් ගම්වල ඉන්න මිනිස්සුන්ට යමක් හම්බ කරගන්න අවස්ථාත් ලැබෙනවා.

අනෙක් වැදගත් කාරණය තමයි මේ හරහා ග්‍රාමීය නිෂ්පාදනවලට වෙළෙඳපොලක් විවෘතවීම. දැන් කෙරෙන විදිහට ගමේ නිෂ්පාදන අවසාන පාරිභෝගිකයාට යන්නේ අතරමැදියෝ ගණනාවක් හරහා. ඉතින් නිෂ්පාදකයාට ලැබෙන්නේ පොඩි මුදලක්. අවසන් පාරිභෝගිකයාට හොඳ භාණ්ඩයක් ලැබෙන්නෙත් නෑ. නගරයේ දී මිල දී ගන්නා කෙසෙල් ඇවැරියක් ගැන හිතලා බලන්න. ගස්ලබු ගෙඩියක් ගැන හිතලා බලන්න. ඒවා කාබයිට් ගහලා බලෙන් ඉදවපු ඒවා. කිසි ම රහකුත් නෑ. ගුණයකුත් නෑ. ඉතින් ඊට වඩා නරක ද අවුරුද්දකට වතාවක් දෙකක්වත් ගමක වත්තකින් කෙහෙල් කැනක් කපාගන්න අවස්ථාවක් ඒ මිනිස්සුන්ට ලැබෙනවා නම්. ඒක නිෂ්පාදකයාටත් වාසියි. පාරිභෝගිකයාටත් වාසියි.

හැම දෙයක් ම මුදල්වලට තීරණය වෙන සමාජ ආර්ථික ක්‍රමයක් ඇතුළේ ගම්වල මිනිස්සු රැ‍ඳෙන්නේ ඒ වඩෙන් තමන්ට යමක් ලැබෙනවා නම් විතරයි. ගම් අත ඇරලා නගරයට ගිය, එහෙමත් නැතිනම් රටත් අත ඇරලා ඒරොප්පෙට ගිය කාට හරි කියන්න පුළුවන් අපේ මුතුන් මිත්තෝ එල්ලංගාව වගේ දේවල් නිර්මාණය කළේ ගහකොළ, සතා සිව්පාවුන් ගේ මිනිස්සුන් ගේ යහපතට මිසක් එක එකාට ඒවා පෙන්නලා සල්ලි කොටාගන්න නෙවෙයි කියලා. ඒත් දැන් කාලේ වැව් හැදෙන්නේ, හදලා තියෙන වැව් රැකෙන්නේ, ඒවා වෙනුවෙන් කැපවෙන එවුන් නඩත්තුවෙන්නේ ඒ අතීත කාලේ තිබුණු සමාජ ආර්ථික ක්‍රමය ඇතුළේ නෙවෙයි කියලා මෙහෙම කියන අය හිතන්නේ නෑ. අපේ මිනිස්සු දවසින් දවස ආර්ථික වශයෙන් දුර්වල වෙලා අසරණ වෙන එක ගැන මේ අය හිතන්නේ නෑ. වැව් ටික කැඩිලා බිඳිලා පාළුවෙලා යද්දි, ගම්වල එවුන් බොන්න වතුර ටිකක් නැතුව දුක් විඳින එක ගැන මේ අය හිතන්නේ නෑ.

ඇත්තෙන් ම මේ වගේ මනස්ගාත කියවන අය ගැන අපි හිතන්න ඕනත් නෑ!

වරුණ චන්ද්‍රකීර්ති

One Response to “මහත්තයා ගේ ඒ කතාව”

  1. Senerath Says:

    Indians capturing Sri Lanka. Better write is Hindi.

    ඉන්දීය වීක්‌සි පාවහන්වලට පෑගී – අපේ පාවහන් කර්මාන්තය අවසන් ගමනේ!

    ආයෝජන මණ්‌ඩලයේ අවසරය යොදාගෙන මෙරටට පැමිණ සිටින ඉන්දියානු පාවහන් කර්මාන්ත ආයතනයක්‌ ඔවුන් නිපදවන සෙරෙප්පු සහ සපත්තු ශ්‍රී ලංකාව තුළ විකිණීමට පටන්ගෙන ඇති අතර එමගින් ශ්‍රී ලාංකික පාවහන් කර්මාන්තය බලවත් අර්බුදයකට පත්ව ඇත.

    වීක්‌සි ස්‌ලිපර්ස්‌ ලංකා පුද්ගලික සමාගම යන නමින් මෙරට ක්‍රියාත්මක වන එම පාවහන් සමාගම වීක්‌සි ඉන්දියා නමැති සමාගමේ ශාඛාවකි. එහි නිෂ්පාදනාගාරය මීගමුවේ පිහිටුවා ඇත.

    මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත ලිපියක්‌ යවමින් කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්‌ඩ නිෂ්පාදන සංගමය සඳහන් කරන පරිදි වීක්‌සි ඉන්දියා සමාගම ඉන්දියානු වෙළෙඳපොළ තුළද දැවැන්තයෙකි.

    දිනකට පාවහන් ජෝඩු එක්‌ලක්‌ෂ පනස්‌ දහසක්‌ නිපදවීමේ හැකියාව එම සමාගමට ඇත. ඒ අනුව නිෂ්පාදන අමුද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර යනාදිය සම්බන්ධයෙන් මෙම සමාගමට විශාල බල අධිකාරියක්‌ ඇති අතර එය ශ්‍රී ලංකාවේ සෙරෙප්පු සහ පාවහන් නිෂ්පාදකයන්ට විශාල බලපෑමක්‌ වනු ඇත. එපමණක්‌ නොව වීක්‌සි සමාගමේ මිල අඩු නිෂ්පාදන හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාවහන් කර්මාන්තය සම්පූර්ණයෙන්ම මියයනු ඇතැයිද ව්‍යාපාරික ප්‍රජාව පවසති.

    වීක්‌සි සමාගම මෙරටට පැමිණ ඇත්තේ ඩොලර් 2,50,000 ක්‌ වැනි ඉතා සුළු ආයෝජනයක්‌ සමගය. මේ සුළු මුදල හරහා දේශීය පාවහන් නිෂ්පාදනය මරා දමන්නට ඔවුන්ට හැකිවීම ෙ€දජනක තත්ත්වයක්‌ බවද පාවහන් නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

    වීක්‌සි සමාගමට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී බරපතළ අක්‍රමිකතාවක්‌ සිදුව තිබේද යන ප්‍රශ්නය මේ දිනවල වාණිජ ලෝකයේ කතාබහට ලක්‌ව ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress