විශ‍්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය
Posted on October 15th, 2017

පුවත් වාර්තාව

විශ‍්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය විසින් 2017.10.15 වැනිදා ප.ව. 2.00ට කොළඹ මහජන පුස්තකාලයේ ප‍්‍රවේශාගාරයේදී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. එහිදී ඊට සහභාගි වූ නියෝජිතයෝ පහත පරිදි අදහස් පළ කළහ.

ජනක තුෂාර, ජාතික සංවිධායක, විශ‍්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය

‘‘2016 වර්ෂයට අදාළ අයවැය මගින් රජයේ සේවකයන්ට හිමි පූර්ණ විශ‍්‍රාම වැටුප් අයිතිය අහිමි කිරීමට අදාළ තීරණය රජය ප‍්‍රකාශයට පත් කළා. ඒ වැරදි තීරණය මෙවර අයවැයේදී ඉවත් කර ගන්නා ලෙස විශ‍්‍රාම වැටුප සුරැුකීමේ සේවක මධ්‍යස්ථානය රජයට බල කර සිටිනවා. ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුව ප‍්‍රකාශයට පත් කර තිබුණා. ඒ අනුවයි මේ ඉල්ලීම, බලකිරීම සිදු කරන්නේ.

පහුගිය අගොස්තු මාසය වෙද්දී දරිද්‍රතා රේඛාව, ඒ කියන්නේ මාසයක් ජීවත්වීමට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සඳහා යන වියදම රුපියල් 4305ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. හතර දෙනෙක්ගෙන් යුතු පවුලක මාසික වියදම රුපියල් 59,001ක් කියලා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. බඩු මිල වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. ජීවත්වීම දිනපතා අමාරු වෙමින් තිබෙනවා. මේ තත්වය එන්න එන්න වර්ධනය වෙමින් තිබෙනවා.

ඒ වගේම, අපි මේ ජීවත් වෙන ධනවාදී සමාජය තුළ ආත්මාර්ථකාමීත්වය, හුදකලාභාවය වර්ධනය වෙමින් තිබෙනවා. අනෙකා නොතකා හරින, අනෙකා ගැන සංවේදී නොවන මනෝභාවය වර්ධනය වෙමින් තිබෙනවා. ඒ වගේම තවත් කෙනෙක්ගේ වගකීම දරන්න බැරි ආර්ථික සහ සමාජ අර්බුදයක් තිබෙන්නේ.

මේ ආර්ථික සහ සමාජ අර්බුදය දිනෙන් දින වර්ධනය වෙනවා. ඒ නිසා තවත් අවුරුදු විස්සකින්, තිහකින් මේ අර්බුදය තව තවත් උග‍්‍ර වෙනවා. පසුගිය දවස්වල මාධ්‍ය වාර්තා කරලා තිබුණා, විශ‍්‍රාමිකයන් 25,000ක් කාගෙවත් හව්හරණක් නැති අසරණ භාවයට පත් වෙලා ඉන්නවා කියලා. මේක තමයි වැඩිහිටියන් මුහුණ දෙන අර්බුදය.

ලංකාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වැඩි වෙමින් තිබෙනවා. මේ වෙද්දි 12.4%ක් විතර වෙන වැඩිහිටි ජනගහනය 2050 වෙද්දි 27.7%ක් දක්වා වැඩි වීමට නියමිතයි. මේ විදියට වැඩිහිටි ජනගහනය වැඩි වෙද්දී, රැකබලා ගත යුතු ජනගහනය වැඩි වෙද්දී රජයේ වගකීම විය යුත්තේ ඔවුන් රැක බලා ගන්න සමාජ ආරක්ෂණ ක‍්‍රම ශක්තිමත් කිරීම. නමුත් රජයේ පිළිවෙත මොකක්ද? 2015 දෙසැම්බර් අයවැය විවාදයට සම්බන්ධ වෙමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ කියන්නේ වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා, ඔවුන් ජීවත් වෙන කාලය වැඩි වෙනවා, ඒක ආණ්ඩුවට බරක් කියලා. ජනතාව ජීවත් වෙන කාලය වැඩි වෙන එක ආණ්ඩුවට බරක් කියලා කියන්නේ.

එහෙම කියන ගමන් වැඩිහිටි සුබසාධනය කප්පාදු කරනවා. සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශය 2016 නිකුත් කළ චක‍්‍රලේඛයක් මගින් අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ට ගෙවන පිං පඩිය මුළුමනින්ම කප්පාදු කර තිබෙනවා. මේ රුපියල් 2000 දීමනාව ගන්න නම් ඒ වැඩිහිටියාගේ පවුලේ ආදායම රුපියල් 3000ට වඩා අඩු වෙන්න  ඕන. ඒ කියන්නේ කාටවත් මේක ගෙවන්නෙ නෑ. එක ගෙදරක දීමනාව ලැබීමට සුදුසුකම් ලබන වැඩිහිටියන් කී දෙනෙක් හිටියත් උපරිම වශයෙන් ගෙවන්නේ දෙන්නටයි. ඒ විතරක් නෙවෙයි, සැමියා සහ බිරිඳ යන දෙදෙනාම සුදුසුකම් ලබලා තිබෙනවා නම් ගෙවන්නේ එක්කෙනාටයි.

අබල දුබල ජීවීන් විනාශ වෙන්න ඉඩ හැරීම සතුන්ගේ ක‍්‍රියාවක්. මිනිස් ශිෂ්ඨාචාරය ආරම්භයේදීම අබල දුබල වූ අය, වැඩිහිටියන්, ළමුන්, ආබාධිතයන් රැුක බලා ගන්න ක‍්‍රමවේද සකස් වුණා. තමන්ගේ මුළු ජීවිත කාලයම වැඩ කරලා අවසානයේ වැඩක් කරන්න බැරිව, රෝගී වෙලා, අබල දුබල වුණාට පස්සේ මේ විදියට කරන එක තිරිසන් ක‍්‍රියාවක්.

වැඩිහිටියන් ගැන මේ පාලකයන් හිතන්නේ කොහොමද කියන එක මේ ක‍්‍රියාමාර්ගවලින් පේනවා. ඒ විතරක් නෙවෙයි. රජය ජනතාව සම්බන්ධයෙන් වගකීම අත්හරිමින් ඉන්නවා. වැඩිහිටියන් සම්බන්ධ වගකීම අත්හරිනවා. අධ්‍යාපනයේ මුළු බර දෙමාපියන් මත පටවලා, අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරලා අධ්‍යාපනය සම්බන්ධ වගකීම අතහරිනවා. ජනතාවට සෞඛ්‍ය පහසුකම් දෙන්න තිබෙන වගකීම අතහරිනවා. පොදු ප‍්‍රවාහන සේවය සම්බන්ධ වගකීම අත්හරිනවා. දරුවන් සම්බන්ධ වගකීම අත්හරිනවා. මේ සියල්ල ජාවාරම්කාරයන්ගේ ලාභ උපයන මාර්ග බවට පත් කරමින් ඉන්නවා.

දැන් කියනවා, විශ‍්‍රාම වැටුප ගෙවන්න සල්ලි නෑ කියලා. 2015 අවුරුද්දේ රජයේ ආදායම රුපියල් බිලියන 1454යි. පෞද්ගලික සමාගම් සියයක ආදායම රුපියල් බිලියන 2134යි. මේ රටේ වැඩකරන ජනතාව නිදි වරාගෙන වෙහෙස වෙලා, වැඩ කරලා බිහි කරන ධනය තමයි මේ කෝටිපති පෞද්ගලික සමාගම්වල ලාභය විදියට ගොඩගැහෙන්නේ. රනිල් වික‍්‍රමසිංහලා, මෛත‍්‍රීපාල සිරිසේනලා, මහින්ද රාජපක්ෂලා අපිට කියද්දී විශ‍්‍රාම වැටුප ගෙවන්න සල්ලි නෑ කියලා, මේ කෝටිපති සමාගම්, ජාවාරම්කාරයන් විශ‍්‍රාමිකයන් සම්බන්ධයෙන් දරන වගකීම මොකක්ද කියලා අපි ප‍්‍රශ්න කරන්න  ඕන නැද්ද? දැන් ඒ සාකච්ඡාව ගන්න  ඕන. මේ රටේ වැඩකරන ජනතාව, සමාජය පාලකයන්ගෙන් ඒ ප‍්‍රශ්නය අහන්න  ඕන. අපේ ශ‍්‍රමය හූරගෙන කන ජාවාරම්කාරයන්, කෝටිපති සමාගම් මේ ගොඩගහගන්න ලාභයෙන් වැඩකරන ජනතාවගේ විශ‍්‍රාමික ජීවිතයේ වගකීම දරන්න  ඕන.

2016 දක්වා ක‍්‍රියාත්මක වුණු පූර්ණ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය අහෝසි කරලා ගේන්න යන්නේ දායක විශ‍්‍රාම වැටුප් ප්‍රෝඩාවක්. මීට පෙර දායක විශ‍්‍රාම වැටුපක් ක‍්‍රියාත්මක වුණු ගොවි ජනතාවට අද මොකද වෙලා තිබෙන්නේ? ගොවි විශ‍්‍රාම වැටුප ක‍්‍රියාවලියක් විදියට බිඳ වැටිලා ඉවරයි. හෙට දවසේ රජයේ සේවකයාටත් අත් වෙන්න නියමත ඒ ඉරණම. දැන් තිබෙන විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයේ විශ‍්‍රාමිකයා මිය යන තුරු විශ‍්‍රාම වැටුප ගෙවන්න රජය බැඳී ඉන්නවා. නමුත් මේ ගේන්න හදන දායකත්ව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයේදී එහෙම වගකීමක් නෑ. විශ‍්‍රාමිකයාට හිමි ගිනුමේ තිබෙන මුදල් ප‍්‍රමාණයට විතරයි වගකියන්නේ. අරමුදලේ සල්ලි ඉවර වුණාම තවත් උඹට විශ‍්‍රාම වැටුප් ගෙවන්න සල්ලි නෑ කියලා කියනවා. ඒ නිසා දායකත්ව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය මගින් සිද්ධ වෙන්නේ රාජ්‍ය සේවකයාගේ විශ‍්‍රාමික ජීවිතය මුළුමනින්ම අනතුරේ හෙළීමක්. ඒ නිසා තමයි අපි මේකට විරෝධය පළ කරන්නේ.

මේ වැරදි, අසාධාරණ තීරණය මේ අයවැයේදී ඉවත් කර ගන්න කියලා, මේ දක්වා රාජ්‍ය සේවකයන්ට හිමි වුණු පූර්ණ විශ‍්‍රාම වැටුප් අයිතිය තවදුරටත් ලබා දෙන්න කියලා අපි රජයට බල කරනවා. මේ අයවැයේදීත් ආණ්ඩුව තමන්ගේ තීරණය වෙනස් කරන්නේ නැත්නම් සියලූම වැඩකරන ජනතා බලවේග එකතු කර ගනිමින් උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ග වෙත අවතීර්ණ වෙන්න අපි බලාපොරොත්තු වෙනවා.’’

උපාලි සෙනෙවිරත්න, විධායක කමිටු සාමාජික, ඒකාබද්ධ ගුරුසේවා සංගමය

ගුරු ක්ෂේත‍්‍රයේ තුනෙන් එකක් විතර තමයි ගුරුවරුන් ඉන්නේ. අනෙක් සියලූ දෙනා ගුරුවරියන්. එහෙම වෙලා තිබෙන්නේ, ප‍්‍රමාණවත් වැටුපක් නොලැබෙන නිසා පුරුෂ පක්ෂය වැඩි ආදායමක් සොයාගෙන වෙනත් කුමන හෝ මාර්ගවලට යොමු වෙන නිසා. ගුරුවරියන් ගත්තත් ඔවුන් හැමෝගෙම බලාපොරොත්තුව විශ‍්‍රාම ගත්තට පස්සේ ලැබෙන විශ‍්‍රාම වැටුප. ජීවිතයේ අවසාන කාලය සඳහා ඉතිරි වෙන එකම රැකවරණය වන විශ‍්‍රාම වැටුපත් අහිමි වෙනවා නම් රාජ්‍ය සේවයට යොමු වෙන පිරිස සීමා වෙනවා. රජයේ අරමුණත් රාජ්‍ය සේවය හැකිළවීම නම් ඒක සැඟවුණු ව්‍යසනයක් විදියට අපි දකිනවා. ඒ සම්බන්ධයෙන් අපේ තදබල විරෝධය පළ කරනවා. විශ‍්‍රාම වැටුප කප්පාදු කරන්න ගත්ත තීරණය හකුළා ගන්න කියලා අපි බල කරනවා. ඒ වගේම රාජ්‍ය සේවකයාගේ විශ‍්‍රාම වැටුප් අයිතිය වෙනුවෙන් ඒකාබද්ධ ගුරුසේවා සංගමය සියලූම බලවේග එක්ක ඒකාබද්ධව කටයුතු කරනවා, ඒ වෙනුවෙන් ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගන්නවා.

චමින්ද නිලන්ත, සභාපති, සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය

සෞඛ්‍ය සේවයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට බඳවා ගත් 3000ක් පමණ දෙනා තවමත් ස්ථිර නොකර තියාගෙන ඉන්නවා. ඒ නිසා ඔවුන්ට ඉතා බරපතළ අසාධාරණයක් සිදු වෙලා තිබෙනවා. දින 180 සම්පූර්ණ කළ සියලූ දෙනා ස්ථිර කළ යුතුයි. නමුත් අවුරුදු හතරක් තිස්සේ ඔවුන් ස්ථිර කරලා නැහැ. මේ පිරිස ස්ථිර නොකරන්නේ ඔවුන්ට විශ‍්‍රාම වැටුප් ගෙවන්න සිද්ධ වෙන නිසා කියන එක පැහැදිලිය. අපි සෞඛ්‍ය සේවයේ අනෙකුත් වෘත්තීය සමිති එක්කත් විශ‍්‍රාම වැටුප රැක ගැනීම වෙනුවෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ වගේම විශ‍්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානයත් එක්ක එකතු වෙලා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ඉහත පුවත් වාර්තාව ඔබ මාධ්‍ය මගින් පළ කොට පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ජනක තුෂාර – 0715 355 557

ජාතික සංවිධායක

විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress